නාරම්මල සමෘද්ධි බැංකුවක රුපියල් කෝටි 9 ක වංචාවක් – නිලධාරිනියක ඇතුළු 4 ක් රිමාන්ඩ්

නාරම්මල සමෘද්ධි බැංකුවක රුපියල් කෝටි 9 ක වංචාවක් – නිලධාරිනියක ඇතුළු 4 ක් රිමාන්ඩ්


නාරම්මල සමෘද්ධි බැංකුවක රුපියල් කෝටි 9 ක වංචාවක් – නිලධාරිනියක ඇතුළු 4 ක් රිමාන්ඩ්

(04.03.2023 – 20:13 +0530 – hirunews.lk/sinhala)

තැන්පත්කරුවන්ට ණය ලබාදෙන අයුරින් ව්‍යාජ ලේඛන සකස් කර, නාරම්මල සමෘද්ධි බැංකුවක මුදල් රුපියල් නව කෝටි විසි පන් ලක්ෂයක (9,25,00,000) මුදලක් වංචා කිරීමක් සම්බන්ධයෙන් සමෘද්ධි නිලධාරිනියක ඇතුළු 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

48 හැවිරිදි සමෘද්ධි නිලධාරිනිය කිරිමැටියාව ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර, වැඩ තහනමට ලක්වූ සමෘද්ධි බැංකු කළමනාකරුවෙකු ද, සැකකරුවන් අතර වන බවයි පොලිසිය සඳහන් කළේ.

අනෙක් සැකකරුවන් දෙදෙනා (2), කිරිමැටියාව හා හොරොම්බාව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයන් දෙදෙනෙක්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිලක් මත අදාළ විමර්ශන සිදුකර තිබූ අතර, සැකකරුවන් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා ෴


හිටපු එස් එස් පී සිසිල කුමාරගේ නිවසට ගංජා ගෙන ගිය බුද්ධි අංශ කොස්තාපල්ගේ වැඩ තහනම්

(04.03.2023 – 20:24 +0530 – hirunews.lk/sinhala)

මොනරාගල කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලෙස කටයුතු කළ සිසිල කුමාරගේ නිවසින් හමුවූ ගංජා කිලෝග්‍රෑම් 22 යි ග්‍රෑම් 510 ක තොගය මොනරාගල පොලිස් ස්ථානයේ සිට ඔහුගේ නිවසට රැගෙන යාමට සහාය වූ බවට විමර්ශන වලදී අනාවරණ වූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා.

වැඩ තහනමට ලක්වූයේ මොනරාගල කොට්ඨාශ බුද්ධි අංශයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ බව සඳහන් ෴


පොහොර සහ රසායනික තහනම නිසා පසුගිය වසරේ රුපියල් කෝටි විසිහතර දහසක (24,000) පාඩුවක්

(04.03.2023 – 20:52 +0530 – hirunews.lk/sinhala)

පොහොර ඇතුළු කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය තහනම් කිරීම හේතුවෙන් පසුගිය වර්ෂයේ සිදුවූ පාඩුව රුපියල් කෝටි 24,000 ක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය සිදුකළ අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

එම අධ්‍යයනය සඳහා සහභාගි වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යායන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල කියා සිටියේ පොහොර ආනයනය නතර කිරීම හේතුවෙන් 2022 මහ කන්නයේ වී නිෂ්පාදනය සියයට 36 කින් පමණ පහළ ගොස් ඇති බවයි.

+


රත්තරන් මිල පහළට

(04.03.2023 – 21:23 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකානු ඩොලරය හමුවේ රුපියල ශක්තිමත්වීම හේතුවෙන් රත්‍රං මිල පහළ ගොස් තිබෙනවා.

අද (04) කැරට් 24 රන් පවුමක් රු. 170,500 සහ කැරට් 22 රන් පවුමක් රු. 157,500 ක් ලෙස මිල සටහන් වූ බව ‘සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමය’ සඳහන් කළා ෴


උමතු මවක් වයස අවුරුදු එකහමාරක් වූ තම දියණියට කළ දේ

(04.03.2023 – 19:10 +0530 – sinhala.adaderana.lk)

තම පණ දෙවැනි කොට දරුවන් රැකබලා ගන්නා මව්පියන් අතරේ හිත්පිත් නැති දෙමව්පියන් පිළිබඳව ද වරින් වර පුවත් වාර්තා විය.

අප අද වාර්තා කරන්නේ ද එවැනි මවක් තම වයස අවුරුදු එකහමාරක් (1½) වූ දරුවාට සිදුකළ අපරාධයක් පිළිබඳවය.

හලාවත ප්‍රදේශයෙන් අපට එවැනි පුවතක් වාර්තා විය.

මෙම අපරාධය සිදුවන්නේ හලාවත උඩප්පුව කට්ටකාඩු ප්‍රදේශයේ පිහිටි ඉස්සන් අභිජනනය කරන ස්ථානයකදීය.

එහි සවිකර තිබූ CCTV කැමරාවල ඉකුත් 02 වනදා එම සංවේදී සිදුවීම පටිගතවී තිබුණි.

ඉස්සන් කොටුවේ ජලය පිරුණු ටැංකිය අසල එහෙමෙහෙ ඇවිද යන අවුරුදු එකහමාරක් (1½) වයසැති තෙනුලි ඔයානා නම් දැරිය ඇගේ මව විසින් ඉස්සන් කොටුවේ ටැංකිය තුළට තල්ලුකර දමනු ලබන අයුරු සහ ඉන් පසු දැරියගේ මව දිවගොස් තවත් පුද්ගලයෙකු රැගෙන පැමිණෙන අයුරු සහ ඔහු විසින් දැරිය ගොඩට ගනුලබන අයුරු සීසීටීවී දර්ශනවල සටහන්වී තිබේ.

ක්ෂණිකව ක්‍රියාත්මක වූ සේවකයින් දැරිය මුන්දලම රෝහල වෙත ඇතුළත් කළ අතර පසුව ඇය කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවුණි.

මේ වනවිට ඇයව ජීවිත අවධානමෙන් මුදාගන්න රෝහලේ වෛද්‍යවරුන් සමත්වී ඇත.

තම දියණිය ඉස්සන් කොටුවේ ටැංකිය තුළට වැටුණු බව පවසා ඇයගේ මව උදව් ඉල්ලා ඇති අතර පසුව ඒ පිළිබඳව සැක සිතූ සේවකයින් එහි සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව සත්‍ය හෙළිවී තිබුණි.

ඒ අනුව දැරියගේ මව උඩප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

බීමත්ව පැමිණෙන තම ස්වාමියාගේ කරදර ඉවසා ගත නොහැකිව දැරිය මෙලෙස මරා දමා පසුව තමාද සියදිවි හානි කරගැනීමට තීරණය කළ බව දැරියගේ මව පොලීසිය වෙත පවසා තිබේ.

මෙවැනි අවාසනාවන්ත පුවත් බොහොමයක් ගෙවුණු සති කිහිපය තුළ අසන්නට සහ දකින්නට ලැබුණි.

පවුල් ආරවුලක් මුල් කරගිනිමින් අරණායක පොල්අඹේගොඩ ප්‍රදේශයේ පදිංචි පියෙක් අම්බලමක් තුළ සිය දරුවන් දෙනොව (2) ඝාතනය කර ඔහුද සියදිවි හානි කරගත්තේ පසුගිය පෙබරවාරි 06 වනදාය.

ඒ අතරේ වයස අවුරුදු 7 ක සහ අවුරුද්දක් (1) වයසැති තම දරුවන් දෙදෙනා (2) ළිඳට දමා පසුව ඔවුන්ගේ සිරුරු තේ වත්තක සඟවා මවද වස පානය කළ පුවත්ක් පෙබරවාරි 19 වනදා රත්නපුරෙන් වාර්තා විය.

එසේම වයස අවුරුදු 1½ ක් වූ සිය දියණිය සහ නව (9) හැවිරිදි පුතු බෙන්තර පාලම මත තබා ගඟට පැන දිවි හානි කර ගැනීමට කාන්තාවක් උත්සාහ කළේ පසුගිය පෙබරවාරි 27 වනදාය.


මහනුවර සිට මහියංගනය ට යන පිරිසට විකල්ප මාර්ග

(05.03.2023 – 07:44 +0530 – sinhala.adaderana.lk)

ගල් සහ පස් කඳු කඩා වැටීම හේතුවෙන් මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගය හෙවත් 18 වංගුව මාර්ගය ඊයේ (04) තාවකාලිකව වසා දැමීමට පොලීසිය කටයුතු කර තිබුණි.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම මාර්ගයේ 13 සහ 14 වංගු අතර මාර්ගයට පස්කඳු කඩා වැටී ඇති බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත.

ඒ අනුව එම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දී තිබේ.

මහනුවර සිට මහියංගනය දෙසට ධාවනය වන වාහන තැන්නෙකුඹුර ඔරලෝසු කණුව හන්දිය අසලින් රන්දෙණිගල – බදුල්ල මාර්ගය හෙවත් රජ මාවත ඔස්සේ පැමිණ 21 හන්දියෙන් වමට හැරී බදුල්ල – මහියංගනය මාර්ගය ඔස්සේ මහියංගනය නගරයට පැමිණිය හැකිය.

මේ අතර මාර්ගයට කඩා වැටුණු පස් ඉවත් කිරීමේ කටයුතු අද (05) උදෑසන සිදුකරන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් පැමිණ අදාළ ප්‍රදේශය පරීක්ෂා කිරීමෙන් අනතුරුව පස් ඉවත් කිරීමේ කටයුතු සිදුකරන බව එම මධ්‍යස්ථානය පැවසීය.

අදාළ ප්‍රදේශය නිරන්තරයෙන් පස්කඳු කඩා වැටීම් සහ නායයාම් සිදුවන ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන ඇති අතර ඒ පිළිබඳව ද අද (05) දිනයේදී පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතය ෴


ආබාධවලට අභියෝග කළ පුංචි පුතෙක්

(04.03.2023 – 13:49 +0530 – sinhala.adaderana.lk)

තමන්ට අත්විඳීමට සිදුවන බාධාවන්ට අභියෝග කරමින් අනාගතය පිළිබඳව සුභ සිහින දකින කුඩා දරුවෙකු පිළිබඳව දිඹුලාගල මහදමන ප්‍රදේශයෙන් වාර්තා විය.

මේ පුංචි පුතාගේ නම කේ .ඩබ්ලිව් උෂාන් ආකාෂ් ය.

දිඹුලාගල මහදමන කනිෂ්ට විද්‍යාලයේ දෙවැනි (2) වසරේ ඉගෙනුම ලබන මෙම දරුවා උපතින්ම ආබාධිතය.

ඉපදීමෙන් දින කිහිපයකට පසු උෂාන් මෙලොව හැරයන බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබුණත් කෙසේ හෝ මරණයට අභියෝග කළ උෂාන්ව කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් එක්වී බේරාගැනීමට සමත්වී තිබුණි.

අද වනවිට පුංචි උෂාන් ආබාධිත තත්ත්වයේ පසු වුණත් ඔහු තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු ඉතා හොඳින් සිදු කිරීමට පුරුදු වී සිටී.

උෂාන් හදවත් සැත්කම් කිහිපයකටද ලක් කර තිබුණත් ඔහු ඉතා ක්‍රියාශීලී හා උනන්දුවෙන් සිය කටයුතු සිදුකරයි.

උෂාන් තම අපේක්ෂාවන් පිළිබඳව අපට පවසා සිටියේ, “මේසයයි.. පුටුවයි.. කකුල් දෙකකුයි.. එච්චරයි,” යනුවෙනි.

මෙම පුවත පිළිබඳ තවත් විස්තර ලබාගැනීම සඳහා අප වාර්තාකරු හා සම්බන්ධවන්න.

077 341 6157
කාංචන කුමාර ආරියදාස
දඹුල්ල ප්‍රාදේශීය වාර්තාකරු

https://www.youtube.com/watch?v=wQHVOXqaFa4#t=7

+


ඝාතකයින් භුක්තිවින්ඳ දේපළ තහනම් කෙරේ

(04.03.2023 – 13:45 +0530 – sinhala.adaderana.lk)

රුපියල් කෝටි 20 ක පමණ දේපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ, රුපියල් කෝටි පනහකට (5) අධික වටිනාකමකින් යුත් දේපළ ලබාගැනීමේ අරමුණින් 2018 වසරේදී ඝාතනය කරන ලද ඉංජිනේරුවරයෙකුට අයත් දේපළ කොටසකි.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මෙම පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වසර විසිපහක (25) පමණ කාලයක් වරලත් ඉංජිනේරුවෙකු ලෙස මෙන්ම ලෝක බැංකුවේ මෙරට ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කළ 63 හැවිරිදි සමන් විජේසිරි මහතා ඝාතනය කර තිබුණේ 2018 වසරේදීය.

ඔහුගේ රුපියල් කෝටි 50 ක පමණ දේපළ ලබාගැනීමේ අරමුණින් මෙම ඝාතනය සිදුකළ බව ඊට අදාළ විමර්ශනවලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු (3) සංවිධානාත්මක අපරාධ හා මිනිමැරුම් විමර්ශන කොට්ඨාසය වෙත පාපොච්චාරණය කර තිබුණි.

එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ ජෙරාඩ් ලින්කන්, රුවන් චන්දන හා ඉංජිනේරුවරයාගේ පවුලේ සමීපතමයෙක් වන නිහාල් දේවප්‍රිය යන තිදෙනා (3) ය.

සැකකරුවන් විසින් ඝාතනයෙන් පසු ඉංජිනේරුවරයාට අයත් දේපළ ව්‍යාජ ඇටෝනි බලපත්‍රයකින් සිය නමට පවරාගෙන තිබුණි.

පසුව අදාළ දේපළ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබීය.

ඒ අනුව එහි නිලධාරීන් කණ්ඩායමක් අදාළ ඉංජිනේරුවරයාගේ දේපළ පිහිටි හලාවත ප්‍රදේශයට ගියේ එම දේපළ පිළිබඳව විමර්ශනය කිරීම සඳහාය.

එහිදී හලාවත නගරයේ පිහිටි පර්චස් 20 ක ඉඩම සහ එහි ඉදිකර ඇති තෙමහල් ගොඩනැගිල්ල මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අදාළ නිලධාරීන් විසින් තහනම් කරනු ලැබීය.

එමෙන්ම මියගිය ඉංජිනේරුවරයාට අයත් හලාවත පිහිටි තවත් පර්චස් 12.6 කින් යුත් ඉඩමක් සහ තෙමහල් ගොඩනැගිල්ලක් ද විමර්ශන නිලධාරීන් විසින් තහනම් කර ඇත.

අනතුරුව හලාවත පිහිටි පර්චස් 51 ක ඉඩමක් ද එම නිලධාරීන් විසින් තහනම් කළේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේය.

මෙම දේපළ ඝාතකයන් විසින් වෙනත් පාර්ශ්ව වෙත කුලී පදනම මත ලබාදී ඇති අතර ඔවුන් මේ වනවිට බන්ධනාගාර ගතව සිටීම හේතුවෙන් කුලී මුදල් ඔවුන්ගේ බිරින්දෑවරුන් විසින් ලබාගෙන ඇති බවත් අනාවරණ වී තිබේ.

අදාළ දේපළවල වටිනාකම රුපියල් කෝටි 20 ක් පමණ වන අතර ඝාතනයට ලක්වූ ඉංජිනේරුවරයාට අයත් තවත් පර්චස් 105 ක පමණ ඉඩමක් සම්බන්ධයෙන් ද ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට නියමිත බව වාර්තා වෙයි.

+


තනි පුද්ගල ණය ප්‍රතිලේඛනගත කිරීමට උපදෙස්

(04.03.2023 – 12:41 +0530 – sinhala.adaderana.lk)

2020 වසරේ ජනවාරි 01 වනදායින් පසු සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ තනි පුද්ගල ගනුදෙනුකරුවන් ලබාගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම හෝ ප්‍රතිලේඛනගත කළ හැකි චක්‍රලේඛයක් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර තිබේ.

මේ අතර උද්ධමනය පාලනය කිරීම ඉලක්ක කරගත් සැලසුම් සහගත ක්‍රියාවලියකට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීම මේ මොහොතේ ගත් වඩාත් ගැළපෙන තීරණයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අගය කර තිබේ.

උද්ධමන ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ කැපවීම එමගින් පිළිබිඹු කෙරෙන බවත්, එය ශ්‍රී ලංකාව අපේක්ෂා කරන විස්තීරණ මුල්‍ය පහසුකම ලබාගැනීමේ ක්‍රියාවලියේ කොටසක් බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වා දෙයි ෴


දරුවා වඩාගෙන හිටි අම්මාගේ – මාලෙ කඩන් ගිය හැටි (05.03.2023)

+


05-03-2023

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *