මැතිවරණයට වෙන් කළ මුදල් රඳවා තබාගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කරයි

මැතිවරණයට වෙන් කළ මුදල් රඳවා තබාගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කරයි


මැතිවරණයට වෙන් කළ මුදල් රඳවා තබාගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කරයි

(03.03.2023 – 15:31 +0530 – lankadeepa.lk)

පළාත් පාලන මැතිවරණ කටයුතු සඳහා වෙන් කර ඇති මුදල් රඳවා තබාගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහත්වරුනට අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඊට අමතරව ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා රඳවා ගෙන ඇති මුදල් රඳවා තබා ගැනීම වළකාළමින් අතුරු තහනමක් නිකුත් කළේය.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු කළ රට් පෙත්සමක් සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය ෴

+++++++++

ඡන්ද දිනය තීරණය කිරීම තවත් සතියකින් කල්යයි

(03.03.2023 – 16:06 +0530 – sinhala.adaderana.lk)

මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කිරීම ලබන සතියේ මුල් දින කිහිපයට කල්දැමූ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණය පැවැත්වීම සඳහා දිනයක් තීරණය කිරීමට අද (03) මැතිවරණ කොමිෂන් සභාව රැස්වී තිබුණි.

කෙසේවෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍යවරයා ඇතුළු එහි ලේකම්වරයාට නිකුත් කළ නියෝගයක් හේතුවෙන් මෙලෙස දිනයක් තීරණය කිරීම කල්දමා තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති, නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්, මුද්‍රණාලයාධිපතිනිය ඇතුළු ඡන්දයක් පැවැත්වීමට අදාළ වන පාර්ශ්ව සමඟ සාකච්ඡා කර පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බවය.

ඒ අනුව ලබන සතියේ මුල් දින කිහිපය තුළ මෙම සාකච්ඡා පැවැත්වෙන බවත් ඉන් අනතුරුව පළාත් පාලන ඡන්දය විමසීම පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බවත් නිමල් ජී. පුංචිහේවා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

පාර්ලිමේන්තුව මගින් සම්මත කර තිබෙන අයවැය තුළින් 2023 වසරේ මැතිවරණ කටයුතු සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවාගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුදල් අමාත්‍යවරයා ඇතුළු එහි ලේකම්වරයා වෙත තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය.

සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදී තිබුණි.

එම කරුණ පදනම් කරගනිමින් මැතිවරණ කොමිසම මෙම තීරණය ගෙන තිබේ.

+

+


ඩොලරයට සාපේක්ෂව රුපියල අද (03) තවත් ශක්තිමත් වෙයි

(03.03.2023 – dinamina.lk)

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමත් වී ඇති ශ්‍රි ලංකා මහබැංකුව නිවේදනය කරයි

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 334.50 ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 348.03ක් ලෙසත් දැක්වෙයි

ඊයේ (02) ඩොලරයේ ගැනුම් මිල රුපියල් 343.97 ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 356.73 ක් ලෙසත්,

පෙරේදා (01) දින ඩොලරයේ ගැනුම් මිල රුපියල් 352.72 ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 362.95 ක් ලෙසත් සඳහන් වී තිබිණි ෴

+


මුදලට විකිණූ කුඩා පුතුව හමුවෙයි – සැකකරුවන් අත්අඩංගුවට

(03.03.2023 – 14:54 +0530 – sinhala.adaderana.lk)

යාචක කාන්තාවකගේ මාස එකහමාරක් (1½) වයසැති පිරිමි දරුවා පැහැරගත් බව කියන කාන්තාව වනාතවිල්ලුව ප්‍රදේශයේදී ඊයේ (02) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලීසිය සඳහන් කරයි.

බිලිඳු දරුවා ද පොලිස් භාරයට ගෙන ඇත.

දරුවා පැහැරගැනීමට ආධාර අනුබල දුන් බව කියන ත්‍රිරෝද රථ රියදුරෙකු, බ්‍රෝකර්වරයෙකු ඇතුළු පිරිමි පුද්ගලයන් සිව් (4) දෙනෙකු ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාරියගේ සැමියා විදේශගතව සිටින අතර ඇය දරු ප්‍රසූතියක් සඳහා කොළඹ ප්‍රදේශයේ ඥාති නිවසක රැඳී සිටියදී දරු ගැබට මාස හතක් (7) තිබියදී දරුවා මියගොස් තිබේ.

ඉන් අනතුරුව කෙසේ හෝ දරුවකු සොයා නැවතත් ගමට යාමේ අධිෂ්ඨානයෙන් කල්ගෙවා ඇතැයි ද පොලීසිය කියයි.

දරුවකු මිලදීගැනීමට රුපියල් ලක්ෂ තුනක (3,00,000) මුදලක් ඇය සතුව තිබී ඇති අතර දෙමටගොඩ ප්‍රදේශයේ දන්නා හඳුනන පුද්ගලයකුට දරුවකු සොයාදෙන ලෙස කාන්තාව පවසා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ අනුව එම පුද්ගලයා මෙම කාන්තාව සමග දෙමටගොඩ, බොරැල්ල, බම්බලපිටිය ආදී ප්‍රදේශවල දරුවෙකු සොයා දින කිහිපයක් ඇවිදිමින් සිටියදී බම්බලපිටිය ප්‍රදේශයේ සපත්තු මසන පුද්ගලයකු ලබාදුන් තොරතුරක් අනුව යාචක කාන්තාව මුණගැසී ඇය අත දරා සිටි මාස එක හමාරක් (1½) වයසැති පිරිමි දරුවා මුදලට ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

එයට කැමැත්ත පළකළ යාචක කාන්තාවට ප්‍රධාන සැකකාර කාන්තාව රුපියල් ලක්ෂයක (1,00,000) මුදලක් ලබාදී ඇති අතර බ්‍රොකර්ට රුපියල් 50,000 කුත් ත්‍රීරෝද රථ රියදුරුට රුපියල් 25,000 ක් සහ අනෙක් පුද්ගලයන් දෙදෙනාට (2) ද රුපියල් 25,000 බැගින් දී තිබූ බව පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

යාචක කාන්තාව සමග දෙමටගොඩ ප්‍රදේශයේ රෙදිපිළි අලෙවිසැලකට ගොස් තිබූ සැකකාරිය, දරුවා වෙනුවෙන් රුපියල් 1,900 ක් වියදම් කර ඇඳුම් පැළඳුම් මිලදීගෙන ලබාදී තිබු බවද පොලීසිය කියයි.

දරුවා කාන්තාවට ලබාදීම වෙනුවෙන් යාචක කාන්තාව රුපියල් ලක්ෂයක (1,00,000) මුදලක් ලබා ගත්තත් පසුව දරුවා ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති අතර කොම්පඤ්ඤවීදිය රථ ගාලකදී දරුවා යාචක කාන්තාව අතින් උදුරාගෙන කුලී මෝටර් රථයක නැගී වනාතවිල්ලුවට රැගෙන ගොස් තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

තම දරුවා පැහැරගත් බවට යාචක කාන්තාව කරන ලද පැමිණිල්ලක් අනුව CCTV දර්ශන අනුව සිදුකළ පරීක්ෂාවේදී ත්‍රිරෝද රථයක ලියාපදිංචි අංක ඔස්සේ සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

පැමිණිලිකාර යාචක කාන්තාව සහ ඇයගේ සැමියා තදින් මත්කුඩුවලට ඇබ්බැහිවූවන්ය.

අත්අඩංගුවට ගත් 53 හැවිරිදි ප්‍රධාන සැකකාරිය ඇතුළු සැකකරුවන් සියලුදෙනා සහ යාචක කාන්තාව ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

බම්බලපිටිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් පද්මලාල් මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වෙයි.


වළවේ ගඟට පැන්න කතක් බේරා ගැනේ

(03.03.2023 – 15:29 +0530 – sinhala.adaderana.lk)

අම්බලන්තොට පාලමෙන් වළවේ ගඟට පැන සියදිවි හානි කරගැනීමට උත්සාහ කළ කාන්තාවකගේ දිවි බේරාගැනීමට ඔරුවක යමින් සිටි පුද්ගලයෙකු සමත්වී තිබේ.

එම පුද්ගලයා පවසන්නේ කාන්තාව බේරාගැනීමට ආධාරක කිහිපයක් දැමුවද කාන්තාව එය ප්‍රතික්ෂේප කිරීමත් සමග තමන් ඇයගේ කෙස්වැටියෙන් අල්ලාගෙන ගොඩබිම වෙත පැමිණි බවය.

ප්‍රදේශවාසීන් පවසන්නේ මෙලෙස කාන්තාව ගඟට පැන්න ස්ථානය කිඹුලන්ගෙන් ගහන ස්ථානයක් බවය.

කාන්තාව මෙලෙස ගඟට පැන ඇති හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර බේරාගත් කාන්තාව ප්‍රතිකාර සඳහා අම්බලන්තොට රෝහල වෙත ඇතුළත් කර තිබේ.

අම්බලන්තොට පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

+


අපේ වැඩ කොටස අවසන් – මහ බැංකු අධිපති

(03.03.2023 – 17:47 +0530 – sinhala.adaderana.lk)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අදාළව ශ්‍රී ලංකාව විසින් සිදුකළ යුතු සියලු වැඩකටයුතු මේ වනවිට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව මහ බැංකු අධිපතිවරයා පවසයි.

මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

“ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහන දැන් සම්පූර්ණයෙන්ම.. අපි විසින් කළ යුතු සියලුම වැඩකටයුතු කර අවසන්.”

“අපි බලාපොරොත්තු වෙනවා ඉතා සාර්ථකව ඉදිරියට යන්න පුළුවන් අවස්ථාවක් ඉක්මණින් ලැබෙයි කියලා.”

“එතකොට මීටත් වඩා සාමාන්‍ය තත්ත්වයට පත්වෙයි.”

“මේ ගත්ත ක්‍රියාමාර්ගවල සාර්ථකත්වය අනුව විනිමය අනුපාත, සංචිත වැඩි කරගැනීම, උද්ධමනය පාලනයවීම, වෙළෙඳපොළ පොලී අනුපාතය තවදුරටත් අඩුවීමේ ප්‍රවණතාවය, රජයේ ආදායම වැඩිවීම ආදී වශයෙන් යහපත් ප්‍රවණතාවයන් ඇතිවෙලා තියෙන්නේ.”

“IMF මූල්‍ය පහසුකම බලාපොරොත්තු වුණ කාලසීමාවේදී නොලැබුණොත් මේ දැන් තිබෙන වර්ධනයත් සමග දිගටම යන්න පුළුවන් ඕනේ නම්.”

+

මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 100 කින් ඉහළ නැංවීමට තීරණය කර තිබේ. ඒ, 2023 මාර්තු 03 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පිළිවෙලින් සියයට 15.50 සහ සියයට 16.50ක් වන පරිදිය ෴


ණය සහනයක් දෙන්න මහ බැංකුවෙන් පියවර දෙකක් (2)

(03.03.2023 – 17:28 +0530 – sinhala.adaderana.lk)

වැඩි පොලී අනුපාත සහ බදු හේතුවෙන් පීඩාවට පත්වී සිටින ණය ලබාගත් පුද්ගලයින්ට සහනයක් දීමට චක්‍රලේක දෙකක් (2) නිකුත් කර ඇති බව මහ බැංකුව පවසයි.

විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඒ බව පැවසීය.

“වැඩි පොලී අනුපාත නිසා සහ බදු නිසා ණය ලබාගත් අයට ණය ගෙවීමේ අපහසුතාවයක් තියෙනවා කියලා අපිට පැමිණිලි ලැබෙනවා. ඒවට අපි දැනටමත් අලුත් චක්‍රලේක දෙකක් (2) නිකුත් කරලා තියෙනවා. ඒ ගැන සලකාබලා බැංකුවල ණය ගෙවීමේ හැකියාව ඇති අයට යම් ආකාරයක ණය සහනයක් දෙන්න.. ණය ප්‍රතිව්‍යුහගතකරණය කරලා ඒ අයට සහනයක් දෙන්න.”

+


කාසල්රී හා මාවුස්සාකැලේ හිස් වෙයි – නටබුනුත් මතුවෙයි

(03.03.2023 – 16:59 +0530 – hirunews.lk/sinhala)

කාසල්රී හා මාවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව ශීඝ්‍රයෙන් පහත ගොස් , ජලාශයේ නටබුන් මතු වී තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, මේ දිනවල මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල ඇති අධික වියළි කාලගුණය හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇති බවයි.

ජලාශ කෙතරම් හිඳී ගොස් ඇත්දැයි එම ජලාශවල නටබුන් පවා ගොඩට මතු වී ඇති අයුරු දැකිය හැකියි.

කාසල්රී ජලාශයේ ජල මට්ටම අද (03) දහවල් වනවිට පිටාර මට්ටමේ සිට අඩි 25 ක් ද, මාවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමේ සිට අඩි 50 ක් ද පහළ බැස තිබෙන බව ජලාශ ඉංජිනේරුවරුන් පැවසුවා.

+


උසස් පෙළ ඇගයීම් සිදුකරන පරීක්ෂකවරුන්ට රුපියල් 2000 ක දීමනාවක්

(03.03.2023 – 16:15 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ ඇගයීම් කටයුතු සඳහා සම්බන්ධ වන පරීක්ෂකවරුන් වෙත රුපියල් 2000 ක දෛනික යැපීම් දීමනාවක් ගෙවීම සඳහා අනුමැතිය ලබාදී ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ අනුව උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සිදුකරන පරීක්ෂකවරුන් සඳහා ඔන්ලයින් ක්‍රමයට අයදුම්පත් කැඳවීම මේ මස 08 වැනිදා දක්වා දීර්ඝ කළ බවයි ෴


ගෝල්ෆේස් කිඹුලා ගොඩබිමට

(03.03.2023 – 16:09 +0530 – hirunews.lk/sinhala)

ගාලු මුවදොර වෙරළ තීරයේ සිටි කිඹුලෙකු අද (03) දහවල් ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරිපිට ඇති තණබිස්ස මතට පැමිණ තිබෙනවා.

මෙම කිඹුලා ගැන පළමුව තොරතුරු වාර්තා වූයේ ඊයේ (02) දිනයේදියි.

කිඹුලා මුහුදු රළ සමග ගොඩබිමට පැමිණෙන අයුරු දැක්වෙන වීඩීයෝ පටයක් ද සමාජ මාධ්‍යයෙහි සංසරණය වුණා.

මෙම කිඹුලායි අද (03) දහවල් ගොඩබිමට පැමිණ ඇත්තේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *