වරාය, විදුලි, තෙල්, බැංකු, වෛද්‍ය, සරසවි ඇතුළු ක්‍ෂේත්‍ර රැසක් හෙට (01) වර්ජනයේ

වරාය, විදුලි, තෙල්, බැංකු, වෛද්‍ය, සරසවි ඇතුළු ක්‍ෂේත්‍ර රැසක් හෙට (01) වර්ජනයේ


වරාය, විදුලි, තෙල්, බැංකු, වෛද්‍ය, සරසවි ඇතුළු ක්‍ෂේත්‍ර රැසක් හෙට (01) වර්ජනයේ

(28.02.2023 – 19:38 +0530 – hirunews.lk/sinhala)

රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය දක්වමින් සෞඛ්‍ය, වරාය, තෙල්, විදුලි සහ බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති ගණනාවක් හෙට (01) දිනයේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනවා.

මේ හරහා හෙට (01) දිනයේදී ක්ෂේත්‍ර රැසක කටයුතු අඩාල වනු ඇති බවයි ඊට සහය දෙන වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.

එමෙන්ම හෙට (01) පැවැත්වෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සිය සහයෝගය දැක්වීමට අද (28) පස්වරුවේ කැඳවූ විශේෂ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණය කළ බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නිවේදනය කළේ.

ඒ අනුව දිවයින පුරා රෝහල්වල සාමාන්‍ය ප්‍රතිකාර සේවා හෙට (01) දිනයේදී ක්‍රියාත්මක නොවනු ඇති.

එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික ප්‍රසාද් කොළඹගේ හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී කියා සිටියේ මහරගම අපේක්ෂා රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, කාසල් රෝහල, වකුගඩු රෝහල් ඇතුළු රෝහල් කිහිපයක මෙම වර්ජනය ක්‍රියාත්මක නොවන බවයි.

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක්ද හෙට (01) දිනයේදී කළු විරෝධතාවක් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව හෙට (01) දිනයේදී ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් කළු ඇදුමෙන් සැරසී, කළු පටි බැඳ පාසල් වෙත පැමිණෙන බවයි ලංකා ගුරු සංගමය සඳහන් කළේ.

මේ අතර හෙට (01) දිනයේදී දිවයින පුරා සියලු විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතුවලින් ඉවත්වී සිය විරෝධය පළකරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකාශ කළා.

එමෙන්ම තෙල්, විදුලි, ජල ක්‍ෂේත්‍රවල වෘත්තීය සමිති හෙට (01) දිනයේදී ලෙඩ නිවාඩු වාර්තා කරමින් සිය විරෝධතාව පළකිරීමට නියමිතයි.

ඒ අනුව විදුලි සහ ජල ක්ෂේත්‍රවලට අදාළව හදිසි බිඳවැටීම් යථාවත් කිරීමට පමණක් සේවා සපයන බවයි බවයි එම වෘත්තීය සමිති සඳහන් කළේ.

වරාය වෘත්තීය සමිති හෙට (01) දිනයේදී අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට නියමිත අතර ඒ හරහා භාණ්ඩ ගොඩබෑම්, නැව් පැමිණීම් සහ පිටවීම් සම්පූර්ණයෙන් අඩාල වනු ඇති බවයි ඔවුන් කියා සිටියේ.

මේ අතර රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය දක්වමින් හෙට (01) දිනයේදී මහබැංකු සේවකයින්, රජයේ සහ පෞද්ගලික බැංකුද වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වනවා.

ඒ හේතුවෙන් හෙට (01) දිනයේදී රාජ්‍ය සහ පෞද්ගලික බැංකු බොහොමයක කටයුතු අඩාල වනු ඇති බවයි වෘත්තීය සමිති පැවසූවේ.

කෙසේ වෙතත් හෙට (01) දිනයේදී උපරිම සේවාවක් සැලසීම සඳහා තම බැංකු සූදානම් බවට මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ සභාපතිවරුන් අද (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී අවධාරණය කර තිබෙනවා.

මේ අතර හෙට (01) දිනයේදී දුම්රිය වෘත්තීය සමිති සන්ධානය, දුම්රිය රියදුරු සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති ගණනාවක්ම වර්ජනයේ නිරත වීමට නියමිතව තිබෙනවා.

කෙසේ නමුත්, හෙට (01) දිනයේදී සාමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතු සිදුවන බව අප කළ විමසීමකදී දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වී.එස්. පොල්වත්තගේ ප්‍රකාශ කළා.

මේ අතර හෙට (01) ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සිය සහය පළනොකරන බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ ෴


විදුලි ගාස්තු වැඩි කරන්න අවසර දුන් කොමිසමට එරෙහිව උපයෝගීතා කොමිසමේ සභාපති නඩු මගට

(28.02.2023 – 23:20 +0530 – hirunews.lk/sinhala)

විදුලි ගාස්තු සංශෝධනය සිදුකිරීමට අනුමැතිය ලබාදුන් මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව එහි සභාපති ජනක රත්නායක පවසනවා.

විදෙස් ගතව සිටි ඔහු ඊයේ (27) දිනයේ දිවයිනට පැමිණි අතර, අද (28) මහජන උපයෝගීතා කොමිසම වෙත පැමිණ ඇත්තේ කොල්ලුපිටිය පොලිසියද දැනුවත් කරමින් ෴

මුද්‍රා තබා ඇති මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායකගේ නිල කාමරයේ මුද්‍රා ඉවත් කර විවෘත කිරීමට අද (28) දිනයේදී ඔහු අපේක්ෂා කළත් එය සාර්ථක වූයේ නැහැ.

ඒ, පොලිස් නිලධාරීන් එහි නොපැමිණීම හේතුවෙන්.

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති, ජනක රත්නායකගේ නිල කාමරයට කොල්ලුපිටිය පොලීසිය පසුගියදා මුද්‍රා තැබුවේ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් අනුවයි.

කෙසේ වෙතත් විදෙස්ගතව සිට දිවයිනට පැමිණි සභාපතිවරයා අද (28) සිය නිල කාමරයට ඇතුළු වීම සඳහා එහි පැමිණියත් එහි මුද්‍රා ඉවත් කර තිබුණේ නැහැ.

ජනක රත්නායක පැවසුවේ, කාර්යාලය විවෘත කර දෙන ලෙස පොලීසියට මීට පෙර දැනුම් දී තිබුණද අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොමැති බවයි.

කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැමිණි නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානය පරීක්ෂාකර බලා පිටව ගොස් තිබෙනවා ෴


පිංවත්තේ වෙඩි තැබීමට සැකකරුවන් පැමිණි යතුරුපැදිය වාද්දුවෙන් සොයාගනී

(28.02.2023 – 19:26 +0530 – hirunews.lk/sinhala)

පානදුර – පිංවත්ත – ටි. ඩීමන් සිල්වා මාවතේදී අද (28) උදෑසන සිදුවූ වෙඩි තැබීමට සැකකරුවන් පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදිය වාද්දූව – වේරගම, සයිප්‍රස් උද්‍යාන මාර්ගය අසළ දමාගොස් තිබියදී පොලීසිය සොයාගෙන තිබෙනවා.

යතුරුපැදියේ අංක තහඩු දෙක (2) සහ ජැකැට්ටුවක් ද ඊට නුදුරින් වැටී තිබියදී හමුවූ බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ වෙඩි තැබීමෙන් සුඛෝපබෝගි ජීප් රථයක ගමන් කරමින් සිටි කඩවත – කිරිල්ලවල ප්‍රදේශයේ පදිංචි සම්පත් කුඩාගොඩ නැමැති 56 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් මියගියා.

මොහු කිරිල්ලවල ප්‍රදේශයේ මත්පැන් අලෙවිසැළක හිමිකරුවෙකු ද වනවා.

මියගිය පුද්ගලයාට පානදුර – පිංවත්ත – ටී. ඩීමන් සිල්වා මාවතේදී ඉදිකරමින් පවතින දෙමහල් නිවසක්ද පවතිනවා.

ඔහු දරුවෙකු පාසලට ඇරළවා අදාළ නිවස වෙත එමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව සඳහන්.

එසේම මියගිය පුද්ගලයා සිය බිරිඳගෙන් වෙන්වීම සඳහා දික්කසාද නඩුවක් මහර මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති බවට පොලිසියට තොරතුරු වාර්තාවී තිබෙනවා.

එසේම තවත් තරුණියක් සමඟ මෙම පුද්ගලයා ඇසුරක් පවත්වා ඇති අතර, ඇයද ඔහු සමඟ ඉදි කෙරෙමින් පවතින නිවසට නිරන්තරයෙන් පැමිණෙන බවටයි හෙළිවී ඇත්තේ.

පවුල් ආරවුලක් මත වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

මේ අතර, අම්බලන්ගොඩ – මීටියාගොඩ මාර්ගයේ කුලීගොඩ, රොන්නදූව ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ සැකකරුවන් සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.

අද (28) උදෑසන යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු ටී-56 වර්ගයේ ගිනි අවියකින් කළ වෙඩි තැබීමකින් මෙලෙස මියගියේ අම්බලන්ගොඩ – ඉඩම්තොට ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු සිය බිරිඳ සේවා ස්ථානයට ඇරලවා, යළි යතුරුපැදියෙන් නිවස වෙත පැමිණෙමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්වුණා.

මොහු පෙරේදා මාදම්පේ – වැල්ලබඩ ප්‍රදේශයේ සිදුවූ පුද්ගල ඝාතනයකට සම්බන්ධ සැකකරුවන්ගේ ඥාතියෙකු බවට හෙළිවී තිබෙනවා.

එදින තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබුණේ ‘හේෂාන් මෙන්ඩිස්’ හෙවත් ‘දොයියා’ නැමති 22 හැවිරිදි පුද්ගලයෙක්.

එසේම ‘දොයියා’ නැමැත්තා අම්බලන්ගොඩ ඝාතන රැසකට මුල්වී ඇති ‘සොයිසා පරපුර’ නියෝජනය කරන ‘වසන්ත සොයිසා’ගේ පාර්ශවයේ සමීපතමයෙකු බවයි වාර්තාවන්නේ ෴


ජාතික ජනබලවේගයේ විරෝධතාවයේදී මියගිය පුද්ගලයාගේ සිරුර පුතුට භාරදෙයි

(28.02.2023 – 19:23 +0530 – hirunews.lk/sinhala)

ජාතික ජනබලවේගයේ විරෝධතාවට එක්ව සිටියදී මියගිය නිවිතිගල ප්‍රාදේශීය සභාවේ අපේක්ෂක නිමල් අමරසිරිගේ දේහය ඔහුගේ පුතුට අද (28) භාරදුන්නා.

ඒ, පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර එය ඔහුගේ පුත්‍රයාට භාරදෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ලබාදුන් නියෝගය අනුවයි.

පසුගිය ඉරිදා කොළඹ පැවති විරෝධතාවයේදී කඳුළු ගෑස් හේතුවෙන් ඇතිවූ වමනය නිසා නිමල් අමරසිරි කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වුණා.

ඔහුගේ මරණය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (28) කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් සිදුකළා.

එහිදී සිරුර භූමදානය කරන ලෙසටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් පසු සුදුසු නියෝගයක් නිකුත් කිරීම සඳහා නඩුව ලබන මස 13 වනදා යළි කැඳවීමට තීරණය කෙරුණා.

එසේම මියගිය නිවිතිගල ප්‍රාදේශීය සභාවේ අපේක්ෂක නිමල් අමරසිරිගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (28) සිදු කෙරුණු අතර, එහිදී ඔහුගේ දේහයේ කොටස් රස පරීක්ෂක සහ රසායනාගාර වෙත යොමු කිරීමෙන් පසු අවසන් වාර්තාව ලබාදෙන බවයි පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අධිකරණ වෛද්‍යවරයා සඳහන් කර ඇත්තේ.

ඉන්පසු දේහය ඔහුගේ පුත්‍රයාට භාරදුන් අතර, අවසන් කටයුතු හෙට (01) නිවිතිගලදී සිදුකිරීමට නියමිතයි.

මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වෙන ස්ථානයට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ද පැමිණ සිටියා ෴


යුද හමුදාවෙන් තැබූ බුදුපිළිමය බෙදුම්වාදීන්ගේ වුවමනාවට යුද හමුදාව විසින් ඉවත්කරගනු ලබයි

(27.02.2023 – 13:09 +0530 – lankaleadnews.com)

යාපනය, අච්චුවේලි පොලිස් වසමේ හමුදා කඳවුරක් සමීපයේ යුද හමුදාව විසින් අලුතින් තැන්පත් කරනුලැබූ බුදු පිළිමයක් වලිකාමම් ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු පිරිසකගේ විරෝධය හමුවේ ඉවත්කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

අච්චුවේලි පොලිස් වසමේ නිලාවරෛ ප්‍රදේශයේ යුද හමුදා කදවුර අසල පිහිටි පැරණි බෝ ගසක් යට බුදු පිළිමය තැන්පත් කිරීමට යුද හමුදාව පියවර ගෙන ඇත්තේ 23 වැනි සිකුරාදා රාත්‍රී කාලයේදීය.

පසුදා උදෑසන එය දුටු පිරිසක් ඒ සම්බන්ධයෙන් අච්චුවේලී පොලීසියට සහ වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශීය සභාවට පැමිනිලි කිරීමට පියවර ගෙන ඇති අතර, වලිකාමම් ප්‍රාදේශීය සභාවේ සභාපති ත්‍යාගරාජා නිරෝෂ් සහ පොලිස් නිලධාරීන් නිලාවරෛ වෙත පැමිණ යුද හමුදා නිලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව බුදු පිළිමය ඉවත් කිරීමට යුද හමුදාව කටයුතු කළ බවයි වාර්තා වන්නේ.

එම ප්‍රදේශවලින් හමුදාව ඉවත් කර පොලිස් බලතල පළාත් සභාවට පැවරීමට කටයුතු සිදුවන තත්වයක් යටතේ මෙවැනි දෑ සිදුවීම තුළින් පිළිඹිබු කුමක්දැයි හොදින් තේරැම්ගත යුතුව ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.

+


ශ්‍රී ලංකාව වෙනුවෙන් අමෙරිකාවේ බලාපොරොත්තුව තානාපතිවරිය පහදයි

(28.02.2023 – 21:46 +0530 – hirunews.lk/sinhala)

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සඳහා ශක්තිමත් ඉන්දු ශාන්තිකර කලාපයක වැදගත්කම තීරණාත්මක බව මෙරට අමෙරිකානු තනාපතිනී ජූලි චන්ග් පවසනවා.

ඇය මේ අදහස් පළ කළේ ඉන්දු ශාන්තිකර කලාපයට පොදු දැක්මක් ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින්.

ජෙනරාල් සර් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය විසින් සංවිධාන කරන ලද ‘ඉන්දු ශාන්තිකර කලාපයට පොදු දැක්මක් – දකුණු ආසියාවට ඇති බලපෑම්’ කෘතිය එළි දැක්වීම සිදු කෙරුනේ මෙරට අමෙරිකානු තනාපතිනි ජූලි චන්ග්ගේ ප්‍රධානත්වයෙන්.

කලාපීය විශ්ලේශකයින් සහ එක්සත් ජනපද විශේෂඥයින් විසින් ඉන්දු ශාන්තිකර ක්‍රමෝපාය සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු අදහස් මෙම ග්‍රන්ථයට ඇතුලත් කර තිබෙනවා.

එහි දී අමෙරිකානු තනාපතිනි‍ය පැවසුවේ, “ඉන්දු පැසිෆික් කලාපීය ක්‍රමෝපාය සම්බන්ධයෙන් අමෙරිකාවේ අදහස් සහ දැක්ම ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමඟ බෙදාගන්න කැමතියි. ලෝක ආර්ථික සංවර්ධනයේ විශාල කොටසකට දායක වන ඉන්දු- පැසිෆික් කලාපය, 21 වන සියවසේ භූ දේශපාලනයේ කේන්ද්‍රයයි. වෙනත් කිසිදු කලාපයකට වඩා එය ලෝකයට වැදගත්. එය විශේෂයෙන් ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ අප සැම දන්නා පරිදී ශ්‍රී ලංකාව ලොව කාර්ය බහුලතම නෞකා මාර්ගයක් අසන්නයේ පිහිටා තිබීම නිසයි. ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර සබඳතාව ඉතා පුළුල් සහ ගැඹුරු වන අතර , එහි හදවත වන්නේ ජනතා ප්‍රගතිය සහ සහයෝගීතාව උදෙසා වන අපේ කැපවීමයි. නෞකා ගමනාගමනයේ නිදහස තුළින් කොළඹ වරාය, කලාපයේ වඩාත් කාර්යබහුල වරායක් බවට පත්ව තිබෙනවා.

ඒ නිසයි ඉන්දු පැසිෆික් කලාපයේ නිදහස් නෞකා ගමනාගනය ප්‍රවර්ධනය කිරීම සඳහා උත්සාහයක නිරත වන්නේ. විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් ශ්‍රී ලංකාවට සෘජුවම බලපාන බව කිව හැකියි. අමෙරිකාව තනි රටක් ලෙස ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළඳපොළ වනවා ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 11 ක් වන වාර්ෂික අපනයන ආදායමින් ඩොලර් බිලියන 2.8 ක් හිමිවන්නේ අමෙරිකාවට සිදු කරන අපනයන හරහායි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් මූල්‍ය සහායක් අපේක්ෂා කරන මේ මොහොතේ. ශ්‍රී ලංකාවේ අනාගතය උදෙසා අයෝජනය කළ ප්‍රධාන රටවල් සියල්ල වෙතින් නිශ්චිත සහ විශ්වාසනීය මූල්‍ය සහතික කඩිනමින් ලැබෙනු ඇතැයි අමෙරිකාව අපේක්ෂා කරනවා ශ්‍රී ලංකාවට නැවතත් ආර්ථිකමය වශයෙන් ප්‍රකෘතිමත් වීමේ මාවතට අවතීර්ණ වීමට එය උපකාරී වනු ඇති.” යනුවෙන්.

+


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වත්කම් බැරකම් හෙළි කිරීම අනිවාර්යයි – අධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්

(28.02.2023 – 23:08 +0530 – hirunews.lk/sinhala)

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතේ ප්‍රතිපාදන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද අදාළ වන බවත් වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ඔවුන් නීතියෙන් බැඳී සිටින බවත් අභියාචනාධිකරණය විසින් අද (28) තීන්දු කළා.

ඒ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් මුදාහරින ලෙස තොරතුරු කොමිසම විසින් දුන් තීරණයක් තහවුරු කරමින් සම්පත් අබේකෝන් සහ පී. කුමාරන් රත්නම් යන විනිසුරුවන්ගෙන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කිරීමත් සමගයි.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් ප්‍රකාශ කර ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු යනු මහජනතාව විසින් පත් කරන ලද පිරිසක් බවයි.

එම පිරිස මහජනතාව විසින් නඩත්තු කරන අතර ඔවුන් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශයට පත් කිරීමට නීතියෙන් බැඳී සිටින බවත් තීන්දුවේ සඳහන් කර තිබෙනවා.

එසේ වත්කම් හා බැරකම් ප්‍රකාශයට පත් නොකිරීම නීතියෙන් වරදක් යැයි පෙන්වා දෙන විනිසුරුවරයා මෙම චෝදනාවට වරදකරු වන පුද්ගලයෙකුට අවුරුද්දක් (1) නොඉක්මන සිර දඬුවමක් හෝ රුපියල් දහසක් (1000) නොඉක්මවන දඩයක් හෝ එම දඬුවම් දෙක ම වුව ද නියම කිරීමට මහේස්ත්‍රාත්වරයෙකුට හැකියාව තිබෙන බවත් පෙන්වා දී තිබෙනවා.

2018 වසරේ ජුනි මස 21 වනදා මාධ්‍යවේදී ‘චාමර සම්පත්’ විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් වත්කම් හා බැරකම් ප්‍රකාශයට පත්කොට තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් තමන් වෙත නිකුත් කරන ලෙස ඉල්ලීමක් කර තිබුණා.

එහෙත් එම ඉල්ලීම පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ප්‍රතික්ෂේප කළ අතර ඊට එරෙහිව මාධ්‍යවේදී චාමර සම්පත් විසින් තොරතුරු කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

එම පැමිණිල්ල විභාග කළ තොරතුරු කොමිසම පැමිණිලිකරු ඉල්ලා සිටින තොරතුරු මුදාහරිණ ලෙස පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරියාට නියෝග කර තිබුණා.

එම තීරණයට එරෙහිව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

දීර්ඝ කරුණු විභාගයකින් අනුව තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ, මෙම පෙත්සම තුළ අන්තර්ගත කරුණු පදනම් විරහිත බවයි.

ඒ අනුව වත්කම් හා බැරකම් ප්‍රකාශ මුදාහරිණ ලෙස තොරතුරු කොමිසම විසින් 2021 වසරේ පෙබරවාරි මස 02 වන දා දුන් නියෝගය තහවුරු කරමින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ අභියාචනය ප්‍රතික්ෂේප කරන බවත් තීන්දුවේ සඳහන් කොට තිබෙනවා ෴


ජය ශ්‍රී මහා බෝධිය අපවත් කරන්න එළාරටත් බැරි වුණා – මුන් ඒක කරන්නයි හදන්නේ (28.02.2023)

+


28-02-2023

+


27-02-2023

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *