දරු දෙදෙනා බෙන්තර පාලම මත තබා ගඟට පැන්න මව බේරාගනී

දරු දෙදෙනා බෙන්තර පාලම මත තබා ගඟට පැන්න මව බේරාගනී


දරු දෙදෙනා බෙන්තර පාලම මත තබා ගඟට පැන්න මව බේරාගනී

(27.02.2023 – 10:53 +0530 – hirunews.lk/sinhala)

සැමියා සමග ඇතිකරගත් ආරවුලකින් පසුව සිය දරු දෙදෙනා (2) බෙන්තර පාළම මත තබා ගඟට පැන සියදිවි හානි කරගැනීමට තැත්කළ මවක් බේරාගෙන ඇති බව අලුත්ගම පොලිසිය සඳහන් කළා.

මෙම කාන්තාව මේ වනවිට බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඊයේ (26) පස්වරුවේ අවුරුදු 9 ක් වයසැති පුත්‍රයා සහ අවුරුදු එකහමාරක් (1½) වයසැති දියණිය රැගෙනවිත් මෙම කාන්තාව බෙන්තර පාලම මත තබා එහි ගොඩබිම දෙසට ඇති ආරක්ෂක වැටෙන් අඩි 40 ක් පමණ උසක සිට ජලයට පැන තිබෙනවා.

ජලයේ ගසාගෙන යමින් සිටි කාන්තාව ඒ අසළ රැඳී සිටි ජල ක්‍රීඩා කරන තරුණයෙකු බේරාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

බලපිටිය ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව ඇල්පිටිය – ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පුද්ගලයෙකු සමඟ විවාහ වී ඇති අතර, දෙදෙනා අතර කලක් තිස්සේ ආරවුල් පවතින බවට ද පරීක්ෂණවල දී අනාවරණ වී තිබෙනවා.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ (26) දිනයේදී අම්බලන්ගොඩ, දිවුලපිටිය සහ රත්ගම ප්‍රදේශවල ඝාතන කිහිපයක් සිදුව ඇති බවයි.

අම්බලන්ගොඩ – ඉඩම්තොට ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබුණේ පෞද්ගලික ආරවුලක් හේතුවෙන්.

සිද්ධියෙන් මියගිය තරුණයාගේ වයස අවුරුදු 22 ක්.

එමෙන්ම දිවුලපිටිය – මරදගහමුල මංසන්ධියේදී මාර්ගයේ ගමන් කළ මෝටර් රථයක් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) විසින් මග හරස් කර නවතා මෝටර් රථයේ රියදුරුට තියුණු ආයුධයකින් සහ යකඩ පොල්ලකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

සිද්ධියෙන් මියගියේ මිනුවන්ගොඩ – වටිනාපහ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 49 ක පුද්ගලයෙක්.

මියගිය පුද්ගලයා අවන්හලක් තුළ පිරිසක් සමඟ මත්පැන් පානය කර ඉන් පිටතට පැමිණි අවස්ථාවේදී ඇතිකරගත් බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව තිබෙනවා.

මේ අතර රත්ගම – ඕවකන්ද ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකුට (2) තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් එක් (1) කාන්තාවක් මියගොස් තිබෙනවා.

ඊයේ (26) රාත්‍රියේ මෙලෙස මියගියේ 20 හැවිරිදි විවාහක කාන්තාවක්.

මවගේ බාල සහෝදරයා නිවසට පැමිණ ඇයට සහ ඇගේ මවට තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා.

මියගිය තැනැත්තියගේ සැමියාගේ නැගණිය සහ සැකකරුගේ පුත්‍රයා අතර පවතින ප්‍රේම සබඳතාවක් මෙම ආරවුලට හේතු වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ ෴


කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන්නැයි ඉල්ලීමක්

(27.02.2023 – 10:54 +0530 – hirunews.lk/sinhala)

කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් සිදුවිය හැකි මාර්ග තදබදය අවම කරගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

පසුගිය පෙබරවාරි 22 වනදා නැවත ආරම්භ කළ මෙම ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු මැයි මස 31 වනදා දක්වා සිදු කෙරෙන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.

අදාළ කාලය තුළ කොහුවල මංසන්ධිය හරහා මගී බස්රථ හා සැහැල්ලු වාහන සඳහා ගමන් කිරීමට හැකියාව පවතිනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ජනතාව දැනුවත් කිරීම සඳහා විකල්ප මාර්ග සඳහන් දැනුවත් කිරීමේ පුවරු, ගාලු පාර – විලියම් මංසන්ධිය, නුගේගොඩ, කිරුළපන, බොරලැස්ගමුව, ගම්සභා හන්දිය, පැපිළියාන, පාමංකඩ යන මංසන්ධිවල මෙන්ම කහතුඩුව අධිවේගී මාර්ග පිවිසුමේ ද සවිකර තිබෙනවා ෴


විදේශ සංචාරකයන්ගේ ආරක්ෂාවට ජංගම යෙදවුමක්

(27.02.2023 – 10:55 +0530 – hirunews.lk/sinhala)

මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් මාර්තු 01 වන දා සිට ජංගම යෙදවුමක් ක්‍රියාත්මක වන බව සංචාරක අමාත්‍යාංශය පවසනවා.

ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් සංචාරකයින්ට සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙන් ලද පැමිණිලි හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව ත්‍රිරෝද රථ ලියාපදිංචි කර කේතයක් ලබා දී සංචාරකයින්ට ඔවුන් ගමන් ගන්නා වාහනය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට හැකි පරිදි මෙම ජංගම යෙදවුම නිර්මාණය කෙරෙන අතර ඊට සමගාමීව 24 පැය පුරා ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කිරීමට නියමිතයි ෴


‘පැරෂුට් ක්‍රමය’ට වී වගා කිරීමට රුපියල් මිලියන 400 ක් වෙන් කරයි

(27.02.2023 – 10:57 +0530 – hirunews.lk/sinhala)

කුඹුරු අක්කර 13,000 ක් පැරෂුට් ක්‍රමය යටතේ වී වගා කිරීමට මෙම වසර තුළ දී රුපියල් මිලියන 400 ක් වෙන් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

චීනයේ අතිසාර්ථක වී වගා ක්‍රමයක් වන මෙහිදී සිදුවන්නේ පැළ තැටිවල වගා කර ඒවා කුඹුරුවලට ඉසීමයි.

එය අඩු ශ්‍රමයකින් සිදු කිරීමට හැකිවීම ද විශේෂත්වයක්.

පැරෂුට් ක්‍රමය යටතේ අක්කරයකට වී තවාන් තැටි 350 ක් පමණ අවශ්‍ය වන අතර, මෙම මුදල් යොදාගනිමින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා තාක්ෂණික දැනුම සහ ගොවීන්ට තවාන් තැටි නොමිලයේ ලබාදීමටයි එම අමාත්‍යාංශය සැළසුම් කර ඇත්තේ.

පැරෂුට් ක්‍රමය භාවිතයෙන් ගොවියෙකුට දැනට ලැබෙන ආදායම අක්කරයකට රුපියල් 35,000 කින් ඉහළ නංවාගැනීමට හැකිවන අතර, පොහොර සහ වල්නාශකවලට වැයවන වියදමද අවම වන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ෴


වැසුණු පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය අද (27) සිට විවෘත වෙයි

(27.02.2023 – 11:00 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම – පිටිපන පිහිටි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අද (27) ආරම්භ කෙරුණු බව උපකුලපති මහාචාර්ය මහෝපාධ්‍යාය පූජ්‍ය නෙළුවේ සුමනවංශ හිමියන් පවසනවා.

ඒ අනුව පළමු (1) වසරේ සිසුන් සඳහා අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙනු අතර, ලබන මස 03 වනදා හතරවන (4) වසරේ සිසුන්ගේ විභාග කටයුතු ආරම්භ කෙරෙන බවයි උන්වහන්සේ කියා සිටියේ.

නවක වද සිද්ධියක් මුල් කරගනිමින් ඇතිවූ ගැටළුකාරී තත්වයක් මත හෝමාගම – පිටිපන පිහිටි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පසුගිය වසරේ දෙසැම්බර් මස 19 වනදා සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කළා.

+


මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයෙන් ඉවත්වනවා – මයන්ත දිසානායක

(27.02.2023 – 11:07 +0530 – hirunews.lk/sinhala)

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ අද (27) මාධ්‍ය හමුවක් කැඳවමින්.

මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේ මේ සම්බන්ධයෙන් අද (27) දිනයේ කථානායකවරයාට නිල වශයෙන් දැනුම් දෙන බවයි.

පසුගිය බ්‍රහස්පතින්දා රැස්වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස මයන්ත දිසානායකව ආණ්ඩු පක්ෂය විසින් යෝජනා කළා.

ඒ, විපක්ෂය විසින් එම තනතුර සඳහා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා නම් කර තිබියදියි.

පසුව මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මෙන්ම ඉන් පිටතදී ද වාද විවාද ඇතිවුණා.

+


විදුලි සේවකයින් වෘත්තිය ක්‍රියාමාර්ගයක

(27.02.2023 – 11:09 +0530 – hirunews.lk/sinhala)

විදුලි ගාස්තු ඉහළ දැමීම, සේවකයින්ගේ දීමනා කප්පාදුව ඇතුලු ඉල්ලීම් හයක් මුල් කරගනිමින් ලංකා විදුලි පොදු සේවක සංගමය, තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරින්ගේ සංගමය ඇතුලු විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති 15 ක් අද (27) ලෙඩ නිවාඩු වාර්තා කර, වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවනවා.

ඊට සමගාමීව ඔවුන් අද (27), ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් ද පවත්වන බවයි එහි සභාපති මාලක වික්‍රමසිංහ කියා සිටියේ ෴


රුහුණු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨ සිසුන්ට තහනමක්

(27.02.2023 – 14:19 +0530 – hirunews.lk/sinhala)

රුහුණු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨ සිසුන්ට විශ්වවිද්‍යාල භූමිය තහනම් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් තාක්ෂණ පීඨයේ පීඨාධිපතිවරයා සඳහන් කළේ අද (27) දහවල් 12 වන විට එම පීඨයේ සියලුම සිසුන්ට නේවාසිකාගාරවලින් ඉවත්වන ලෙසට දැනුම් දී ඇති බවයි.

විශ්වවිද්‍යාලයේ පිරිමි නේවාසිකාගාරයේ සිසුන් පිරිසක් ඊයේ (26) රාත්‍රී 9 න් පසු පිටතට යාමට උත්සහ කිරීමේ දී ආරක්ෂක නිලධාරියෙකු සමඟ බහින්බස්වීමක් ඇති කරගෙන තිබෙනවා.

නේවාසිකාගාරයේ ශාලාධිපති එම ස්ථානයට පැමිණි අවස්ථාවේ සිසුන් ඔහුව කාමරයක දමා පැය එකහමාරක (1½) කාලයක් සිර කර තබා ඇති බව සඳහන්.

එහිදී ඇතිවූ නොසන්සුන්කාරී තත්වයේ දී තුවාල ලැබූ ශාලාධිපතිවරයා, ඔහුගේ බිරිඳ සහ තවත් කාන්තාවක් කඹුරුපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව තාක්ෂණ පීඨ භාර මහාචාර්යවරයා කියා සිටියා ෴


ෂාෆ්ටර්ගේ මරණය ගැන සොයන්න විශේෂඥ කමිටුවක් පත් කෙරේ

(27.02.2023 – 14:21 +0530 – hirunews.lk/sinhala)

කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සිය දිවි නසාගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන්න කරුණු අවබෝධ කරගැනීම සඳහා වෝහාරික වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේඥයින් සහ විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් සමන්විත 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක් අද (27) පත් කෙරුණා.

ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය විසින්.

වෝහාරික වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අසේල මෙන්ඩිස් ප්‍රමුඛ මහාචාර්යවරුන් තුන්දෙනෙකු (3) සහ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වී.ආර්. රුවන්පුර ප්‍රමුඛ අධිකරණ වෛද්‍ය විශේෂඥයින් දෙදෙනෙකු (2) ගෙන් මෙම කමිටුව සමන්විතයි.

අපරාධ අනුවිධාන සංග්‍රහ පනතේ 373 වගන්තියෙන් අධිකරණයට පැවරී ඇති බලතල ප්‍රකාරව පත් කළ එම කමිටුවට අධිකරණය හමුවේ ඇති මෙම මරණයට අදාළ සියලු වාර්තා නිසි ආකාරයෙන් භාරදෙන ලෙසටයි අතිරේක මහේස්ත්‍රාත්වරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේ.

දිනේෂ් ෂාෆ්ටර්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා මෙන්ම මරණකරු සම්බන්ධයෙන් විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති වෝහාරික පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ද ඇතුළු සියලු ලේඛන මෙලෙස භාරදෙන ලෙස දැනුම් දුන්නා.

ඒ අනුව මෙම නඩුව මාර්තු 14 වැනිදා යළි කැඳවනු ඇති ෴


ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවෙන් මෙරට බැංකු 3 කට ඩොලර් මිලියන 400 ක්

(27.02.2023 – 14:36 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට පහසුකම් සැළසීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව විසින් කොමර්ෂල්, නේෂන්ස් ට්‍රස්ට් සහ සම්පත් යන බැංකු වෙත වසරක් තුළ ඩොලර් මිලියන 400 ක් ලබාදීමට එකඟත්වය පළ කර තිබෙනවා.

එම මූල්‍ය සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ආහාර, ඖෂධ සහ පොහොර ආනයනය සඳහා අදාළ පහසුකම් ලබාදෙන්නේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට සහායවීම සඳහා පමණක් බවයි.

එමඟින් පෞද්ගලික අංශයට සහයක් හිමිවනු ඇති බව ද එහි දැක්වෙනවා ෴


නෙලන අස්වැන්නට කණකොකා හඬලලා – ගොවීන්ගෙන් මැසිවිලි

(27.02.2023 – 14:39 +0530 – hirunews.lk/sinhala)

වී අස්වනු නිසි මිලකට විකුණාගත නොහැකිවිමෙන් තමන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බව මැදිරිගිරිය, මීගස්වැව ගොවීන් පවසනවා.

ගොවීන් මැසිවිලි නගන්නේ වගා කළ වී අස්වනු නිසි මිලකට විකුණාගැනීමට නොහැකි වුවහොත් ඉදිරියේදී තම වගා කටයුතුවලින් සම්පූර්ණයෙන් ඉවත්වීමට තමන්ට සිදුවන බවයි.

මැදිරිගිරිය, මීගස්වැව වී ගොවීන් මේ වනවිට සිය වී අස්වනු නෙලීම ආරම්භ කර ඇති අතර, එම අස්වැන්නට නිසි මිලක් නොමැති වීම හේතුවෙන් ගොවීන් දැඩි පීඩාවට ලක්ව සිටිනවා.

මහා පරිමාණ වී මෝල් හිමියන් සිය වී අස්වනු මිලදී ගන්නේ රුපියල් 65 ත් 70 අතර වූ අඩු මුදලකට බවත්, ඒ මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් ගොවීන් පෙන්වා දෙනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ අමු වී කිලෝවක් අවම වශයෙන් රුපියල් 100 ක මිලක් ලබාදෙන ලෙසටයි.

මැදිරිගිරිය කවුඩුල්ල වැව, වඩිගවැව ප්‍රදේශයේ ගොවීන් ද සිය වී අස්වනුවලට නිසි මිලක් නොමැතිව පීඩාවට පත්ව සිටිනවා.

ඔවුන් පවසන්නේ වී අස්වනු අලෙවි කරගැනීමට නොහැකි වුවහොත් තමන්ට වී ගොවිතැනින් ඉවත් වීමට සිදුවනු ඇති බවයි.

මේ අතර, වී සඳහා ලැබෙන මිල ප්‍රමාණවත් නොවන බවට පොළොන්නරුව, සිංහ උදාගම ප්‍රදේශයේ ගොවීන් පවසනවා.

නිසි කලට පොහොර නොලැබීම නිසා ගොයම් කහවීමේ රෝගයට ගොදුරු වීම හේතුවෙන් මෙවර සිය අස්වැන්න ද බොහෝ සෙයින් පහළ ගොස් ඇති බවයි ගොවීන් ප්‍රකාශ කළේ.

මේ අතර මහකන්නය වෙනුවෙන් බඩඉරිඟු වගා කල ගොවීන්ගේ වගා භූමි නිරීක්ෂණය කිරීම සඳහා ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකොන්, ජාතික භික්ෂු ජන එකමුතුවේ ජාතික කැඳවුම්කරු පූජ්‍ය ඇලපත්ගම ඥාණරතන ස්වාමීන්වහන්සේ ඇතුළු පිරිසක් ගලෙන්බිඳුනුවැව, යකල්ල, කරුවලගස්වැව ප්‍රදේශයන් සංචාරයකට එක්වුණා.

මෙහිදී අනාවරණ වුණේ බඩඉරිඟු වගාව වෙනුවෙන් පොහොර නිසි ලෙස නොලැබීම නිසාත්, නෙලූ අස්වැන්න නිසි මිලකට අලෙවිකර ගැනිමට නොහැකි වීම නිසාත් ගොවින් පීඩාවට පත්ව සිටින බවයි.

+


විදුලි බිලට සහනයක් දෙන්න – කංචනට කාරුණික ඉල්ලීමක්

(27.02.2023 – 14:40 +0530 – hirunews.lk/sinhala)

විදුලි ඒකක 30 ත් 120 ත් අතර භාවිත කරන විදුලි පාරිභෝගිකයින්ගේ බිල්පත සඳහා සහනයක් ලබා දෙන ලෙස සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.

කොළඹ දී පැවති ප්‍රවෘත්තිත සාකච්ඡාවක් අමතමින් එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ විදුලි ගාස්තු ඉහළ යාම හේතුවෙන් වතුකරයේ ජනතාවගේ දෛනික කටයුතුවලට විශාල බලපෑමක් එල්ල වී ඇති බවයි.

මේ අතර විදුලි ගාස්තු ඉහළ යාමෙන් සන්නිවේදන සේවා ගාස්තු ද ඉහළ දැමීමට සිදුව ඇති බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

මේ අතර දිවයින පුරා විදුලි සේවකයින් අද ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුණා.

සංශෝධිත බදු ප්‍රතිපත්තියට සහ විදුලි බිල වැඩි කිරීමට එරෙහිව දිවයින පුරා විදුලි සේවකයින් කොළඹට පැමිණ විරෝධතාවයේ නිරත වුණා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *