රත්නපුර ළමා නිවාසයක දැරියන් 11 ක් අපයෝජනය කළැයි පාලිකාවගේ සැමියා අත්අඩංගුවට

රත්නපුර ළමා නිවාසයක දැරියන් 11 ක් අපයෝජනය කළැයි පාලිකාවගේ සැමියා අත්අඩංගුවට


රත්නපුර ළමා නිවාසයක දැරියන් 11 ක් අපයෝජනය කළැයි පාලිකාවගේ සැමියා අත්අඩංගුවට

(26.02.2023 – 19:29 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර – රක්වාන ප්‍රදේශයේ ළමා නිවාසයක දැරියන් 11 දෙනෙකු අපයෝජනයට ලක්කළ බව කියන සිද්ධියකට එහි පාලිකාවගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු 60 හැවිරිදි දෙදරු පියෙක්.

ළමා නිවාසයක සිටින දැරියන් අපයෝජනය වන බවට ගොඩකවෙල ප්‍රදේශයේ පුද්ගලයෙකු ලබාදුන් තොරතුරකට අනුවයි ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර මෙම පුද්ගලයා ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණේ.

මෙම ළමා නිවාසය රාජ්‍ය නොවන සංවිධානයක් විසින් පවත්වාගෙන යනු ලබන අතර එහි ළමයින් 17 දෙනෙකු සිටිනවා.

පොලිසිය ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්නකිරීම්වලින් අනාවරණ වී ඇත්තේ දැරියන් 11 දෙනෙකු වරින්වර සැකකරු අපයෝජනයට ලක්කර ඇති බවටයි.

එමෙන්ම බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්වූ බව කියන දැරියක් (1) ප්‍රතිකාර සඳහා කහවත්ත රෝහලටද ඇතුළත් කර තිබෙනවා.

අනෙක් දැරියන්ද පොලිසිය ප්‍රකාශ ගැනීමෙන් අනතුරුව වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අත්අඩංගුවට ගත් සැකකරු පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට අද (26) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණා ෴

++++++

+


පොලිස් භාරයට ගත් වැලි, නිලධාරින්ම අලෙවිකිරීමේ සිද්ධියක් ගැන විමර්ශන

(26.02.2023 – 19:26 +0530 – hirunews.lk/sinhala)

බලපත්‍ර රහිතව නීති විරෝධී ආකාරයට දැදුරු ඔයෙන් ගොඩ දමන ලද වැලි තොගයක් සිය භාරයට ගෙන රැගෙන යමින් තිබියදී එහි ආරක්ෂාවට ගිය පොලිස් නිලධාරීන් පිරිසක් ඉන් කොටසක් විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකගේ උපදෙස් මත මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ලද පැමිණිල්ලකට අනුව මෙම වැලි තොගය පොලිස් භාරයට ගැනීමට කටයුතු කරනු ලැබුවේ කුරුණෑගල පොලිස් කොට්ඨාසයේ විශේෂ විමර්ශන ඒකකයක නිලධාරීන් පිරිසක් විසින්.

ඉන් පසුව එම වැලි තොගය අධිකරණමය කටයුතු සඳහා ලොරි කීපයක පටවා වැල්ලව පොලීසිය වෙත රැගෙන එමින් තිබියදී එහි ආරක්ෂාවට ගමන් කළ පොලිස් නිලධාරියකු හෝ නිලධාරීන් කිහිපදෙනකු එක්ව ඒවා විකුණා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ ෴


අම්බලන්තොටදී සොරකමේ පැමිණි සොහොයුරාට විදුලිසැර වද්දවා පහරදී ඝාතනය කරයි

(26.02.2023 – 18:58 +0530 – hirunews.lk/sinhala)

සොරුන්ගෙන් සිය ත්‍රිරෝද රථය ආරක්ෂා කිරීම සඳහා අනවසරෙන් ඇඳ තිබූ විදුලි රැහැනක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස මියගියේ අවුරුදු 35 ක් වයසැති එම ප්‍රදේශයේම පදිංචි, නිවසේ හිමිකරුගේ සහෝදරයෙකු බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ නිවසක ගරාජයේ නවතා තිබූ ත්‍රීරෝද රථයක බැටරිය සොරකම් කිරීමට පැමිණි පුද්ගලයෙකු නිවෙස් හිමියා අල්ලාගෙන සිටින බවට 119 ක්ෂණික ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කර තිබුණේ පසුගිය 25 වනදායි.

පොලිස් නිලධාරින් එම නිවසට ගොස් පරික්ෂා කිරීමේදී ගරාජය අසළ අත්පා ගැට ගැසූ පුද්ගලයෙකු බිම වැටී සිට ඇති අතර පසුව නිලධාරින් විසින් මෙම පුද්ගලයා රෝහල්ගතකිරීම සඳහා 1990 ගිලන් රථ සේවයට දැනුම් දී තිබුණා.

එම ගිලන් රථයේ පැමිණි හෙද නිලධාරියා මෙම පුද්ගලයා පරීක්ෂා කර මියගොස් ඇති බවට තහවුරු කරනු ලැබූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

පසුව සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ නිවසේ හිමිකරු සිය ත්‍රිරෝද රථය සොරුන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා එහි අනවසරෙන් ඇඳ තිබූ විදුලි රැහැනක ගැටීමෙන් මෙම පුද්ගලයා එම ස්ථානයේ වැටී ඇති බවයි.

විදුලිබලය අක්‍රියකර නිවෙස් හිමියා අදාළ පුද්ගලයාට යකඩ බටයකින් පහරදී අත්පා ගැටගසා ඇති බවද විමර්ශනවලදී අනාවරණය වුණා.

ඝාතනය සම්බන්ධයෙන් 49 හැවිරිදි සැකකරු සහ ඔහුගේ 44 හැවිරිදි බිරිඳ අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම අපරාධය සඳහා යොදාගන්නා ලද විදුලි රැහැන සහ පහරදීමට යොදා ගන්නා ලද යකඩ බටයද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය අද (26) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසුව මාර්තු මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණා ෴


19-02-2023

23-02-2023

21-02-2023

+


හෙලිකොප්ටරයත් බදුල්ලේ විරෝධතාවයක

(26.02.2023 – 20:00 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමට එරෙහිව විපක්ෂයේ සියලු දෙනා එකමුතුව පෙල ගැසිය යුතු බව නිදහස් ජනතා සන්ධානය පවසනවා.

එය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ජි.එල්. පිරීස් මේ බව සදහන් කළේ බදුල්ල නගරයේ අද (26) පැවති විරෝධතාවයකට එක්වෙමින්.

පළාත් පාලන ඡන්දය කල්දැමීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනමිනුයි ඔවුන් මෙම විරෝධතාව ආරම්භ කරනු ලැබුවේ.

+


ජාතික ජනබලවේගයේ කොළඹ විරෝධතාවට ජල හා කදුළු ගෑස් ප්‍රහාර – 28 ක් රෝහලේ

(26.02.2023 – 20:03 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව , විරෝධය කොළඹට , යන මැයෙන් ජාතික ජනබලවේගය පැවැත්වූ විරෝධතා පා ගමනට ටවුන් හෝල් ප්‍රදේශයේදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර විසුරුවා හරිනු ලැබුවා.

ජල හා කදුළු ගෑස් ප්‍රහාරයන්ට ලක්ව තුවාල ලැබූ 28 දෙනෙකු පමණ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු බවයි වාර්තාවන්නේ.

මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව ජාතික ජනබලවේගය විරෝධතා පාගමනක් අද (26) පස්වරුවේ ආරම්භ කරනු ලැබුවේ විහාරමහා දේවී උද්‍යානය අසළින්. ඒ අධිකරණ දෙකකින් (2) නියෝග නිකුත් කර තිබූ පසුබිමකයි.

කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විරෝධතාකරුවන්ට කොල්ලුපිටිය, කොම්පඤ්ඤවීදිය, කොටුව පොලිස් වසම්වලට රැස්වී පාගමනින් විවිධ මාර්ගවලින් ගොස් ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්යාලය, මුදල් අමාත්‍යංශය සහ ගාලු මුවදොර පිටිය පරිශ්‍රය ඇතුළු නම්කරන ලද ස්ථාන කිහිපයකට ඇතුළු වීමෙන් වළකින ලෙස ආඥාවක් නිකුත් කළා.

පසුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ විරෝධතාකරුවන්ට රෝහල් චතුරස්‍රයට සහ ඒ අවට රෝහල් වලට බාධා වන අයුරින් ලිප්ටන් වටරවුමේ සිට ඩීන්ස් පාර, සීමන්ස් පාර හන්දිය දක්වා ඇති මාර්ගය සහ පදික වේදකා අවහිර කරමින් උද්ඝෝෂණ සහ පෙළපාලි සිදු කිරීම තහනම් බවටයි.

පා ගමන රෝහල් චතුරස්‍රය පසුකර ඉබ්බන්වල මංසන්ධිය ගමන් ඇරඹීමත් සමඟ ටවුන්හෝල් අවට මාර්ග සියල්ලම පාහේ අවහිර වුණා.

ඉබ්බන්වල මංසන්ධිය ආසන්නයේ දී පොලිස් කැරළි මර්ධන ඒකකය සහ පොලිසිය ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු විරෝධතාකරුවන්ට ඉදිරියට ගමන් කිරීමට ඉඩ නොදීමත් සමඟ ඇති වූයේ උණුසුම් තත්ත්වයක්.

කෙසේ වෙතත් ආරක්ෂක අංශවල දැනුම් දීම නොතකා එම ස්ථානයේ රැදී සිටි පිරිසට පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

පසුව ජාතික ජනබලවේගයේ පිරිස් එම ස්ථානයේ ජනහමුවක් පැවැත්වුවා.

+


විදුලි බල මණ්ඩලයෙන් රජයට විශාල මූල්‍ය පාඩුවක්

(26.02.2023 – 20:46 +0530 – hirunews.lk/sinhala)

ඇඹිලිපිටියේ ‘ඒස් පවර්’ පෞද්ගලික බලාගාරය ලංකා විදුලි බල මණ්ඩලය මගින් මිලදී ගෙන, මෙරට විදුලිබල අවශ්‍යතාව වෙනුවෙන් දායකකර නොගැනීම හේතුවෙන් රජයට විශාල මූල්‍ය පාඩුවක් සිදුව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

බලාගාරය මිලදී ගැනීමට නොහැකි වී ඇත්තේ රජයේ තක්සේරුකරු එම බලාගාරයට ලබාදුන් තක්සේරුව සම්බන්ධයෙන් මතුවූ ගැටලුවක් මත බවයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විශේෂ විගණන වාර්තාවක් මගින් අනාවරණ කර ඇත්තේ.

දිගුකාලීන ජනන සැලසුම් ළඟා කර ගැනීමට නොහැකි වීමේ පසුබිම මත දේශීය විදුලි ඉල්ලුම සපුරා ලීම සඳහා ‘ඒස් පවර් ඇඹිලිපිටිය පෞද්ගලික සමාගමෙන්’ විදුලිය මිලදී ගැනීම සඳහා 2005 වර්ෂයේ අප්‍රේල් 06 වැනිදා සිට වසර 10 ක ගිවිසුමකට එළැඹීමට විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබුණා.

2016 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබුණේ, අදාළ කාලසීමාව අවසන් වීමෙන් පසුව බලාගාරය ලංකා විදුලි බල මණ්ඩලය මගින් මිලදී ගැනීම පිළිබඳව සළකා බැලීමටයි.

එහෙත් එලෙස කටයුතු නොකර 2016 වසරේ අප්‍රේල් මස 06 වැනිදා සිට 2022 වසරේ සැප්තැම්බර් 08 වැනිදා දක්වා අවස්ථා 4 කදී මූලික ගිවිසුම දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා.

ජාතික විගණන කාර්යාල වාර්තාව මගින් පෙන්වා දෙන්නේ, ‘ඒස් පවර් ඇඹිලිපිටිය’ බලාගාරය ලංකා විදුලිබල මණ්ඩලට ලබාගෙන රජයට වඩා වාසිදායක ලෙස කටයුතු කිරීමට තිබූ අවස්ථාව මෙම ක්‍රියාමාර්ගය හරහා අහිමි වී ඇති බවයි.

රජයේ තක්සේරුකරුගේ තක්සේරු වටිනාකම සමාගමේ හිමිකරු විසින් සමාගම විකිණීමට කැමැත්ත ප්‍රකාශ කරන ලද මිලට වඩා අඩුවෙන් තක්සේරු කර තිබීම හේතුවෙන් එය මිලදී ගැනීමේ අවස්ථා ඇහිරී ඇති බව විගණන වාර්තාවෙන් පෙන්වා දෙනවා.

රජයේ තක්සේරුකරගෙන් ලංකා විදුලිබල මණ්ඩලය ලබාගත් තක්සේරුව රුපියල් මිලියන 2,370 ක්ව තිබු අතර, බලාගාරයේ වත්මන් හිමිකරුවන් දී තිබු වටිනාකම රුපියල් මිලියන 2,446 ක්.

එහෙත් විගණන වාර්තාව මගින් පෙන්වා දෙන්නේ නිසි ලෙස තක්සේරුව සිදු කළේ නම් බලාගාරයේ වටිනාකම රුපියල් මිලියන 4,176 කට ආසන්න අගයක් විය යුතු බවයි.

ඒ අනුව ‘ඒස් පවර් ඇඹිලිපිටිය’ බලාගාරය මිලදී නොගෙන විදුලිය මිලදී ගැනීම සඳහා ගිවිසුම්ගත වීම මගින් ලංකා විදුලි බල මණ්ඩලයට බරපතල පාඩුවක් වන ආකාරයෙන් විශාල මුදලක් එම සමාගම වෙත ගෙවීමට සිදුව ඇති බවද ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙනවා.

එම නිසා බලාගාරය මිලදී ගැනීම පිළිබඳව නැවත සමාලෝචනය කර මිලදී ගැනීමේ වාසිදායක තත්ත්වය තහවුරු වන්නේ නම් නොපමාව හෝ පවත්නා ගිවිසුම අවසන් වීමෙන් අනතුරුව බලාගාරය මිලදී ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි ජාතික විගණන කාර්යාලය නිර්දේශ කරන්නේ.

එමෙන්ම රජයේ තක්සේරුකරු විසින් තක්සේරු කිරීමේදී අවධානය ලක් කළ යුතු කරුණු සඳහා ප්‍රමාණවත් අවධානය යොමු නොකිරීම හෝ නොසැලකිලිමත්භාවය හේතුවෙන් නිවැරදි තක්සේරු වටිනාකමට වඩා අඩු වටිනාකමක් ලැබී ඇත්නම් ඒ සඳහා වගකිව යුතු පාර්ශ්වයන් හඳුනාගෙන සුදුසු පියවර ගත යුතු බවද අදාළ විගණන වාර්තාවේ සඳහන් ෴


උඩරට මැණිකේ දුම්රියේ ගිය සංචාරක කතට සෙරෙප්පුවෙන් ගැසූ තරුණයා අත්අඩංගුවට

(25.02.2023 – gossiplankanews.com)

උඩරට මැණිකේ ශීඝ්‍රගාමී දුම්රියේ ගමන් ගත් විදේශීය සංචාරක කාන්තාවකට සෙරෙප්පුවකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට තරුණයෙකු අත්අඩංගුවට පත්ව තිබේ.

දුම්රිය මාර්ගය අසල සිටි සැකකරු පා පුවරුවේ මිටේ (ආධාරකයේ) එල්ලී සිටි සංචාරක කාන්තාවට සෙරෙප්පුව විසි කර ඇති නමුත් පහරදුන් සෙරෙප්පුව වදින්නේ ආසනයක වාඩිවී සිටි කාන්තාවකටය. එම අවස්ථාවේ තවත් විදෙස් කාන්තාවකගේ විඩියෝ පටිගතවීමට එකී පහරදීම පැහැදිලිව සටහන්කරගන්නට හැකිවී ඇත. සමාජ මාධ්‍යවල ක්ෂණිකව දර්ශනයවූ මෙම පහත්පෙළේ හැසිරීම විශාල විවේචනයකට ද ලක්ව තිබුණි.

පොලිසිය මේ ගැන සොයන්නට අනතුරුව පියවර ගෙන ඇති අතර දර්ශන නැරඹීමෙන් පසු පොලිසිය එකී තරුණයා සොයාගෙන බ්‍රහස්පතින්දා (23) අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් 28 හැවිරිදි තරුණයා ඊයේ (24) බණ්ඩාරවෙල වැඩබලන මහේස්ත්‍රාත් කෙනත් ඩී. සිල්වා මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. සැකකරු බණ්ඩාරවෙල වලස්බැද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවේ බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් කළුපහන මෙම සිද්ධිය රූපවාහිනිය ඔස්සේ නරඹා සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස බණ්ඩාරවෙල, හපුතලේ සහ දියතලාව පොලිසියට උපදෙස් දුන් බවයි. බණ්ඩාරවෙල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත දිසානායක මහතා යටතේ පොලිස් කණ්ඩායම් පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

+


ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහගේ මරණය : CIDය බ්‍රසීල පොලිසියේ සහය ඉල්ලයි

(27.02.2023 – 09:09 +0530 – mawbima.lk)

‘ඔපෙක්ස් හෝලිඩින්ග්ස්’ අධිපති සහ කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ බිරිය සහ සහායිකාව කොටු කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලිසිය හරහා බ්‍රසීල පොලිසියේ සහය ඉල්ලා තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු කීවේ, ඉන්දුනීසියාවේ ජකර්තා පොලිසියද බ්‍රසීල පොලිසියෙන් එවන් ඉල්ලීමක් කර ඇති බව ය.

ඔනේෂ් සුබසිංහගේ බ්‍රසීල ජාතික බිරිය සහ ඇගේ සහයිකාව මේ වන විට බ්‍රසීලයේ සිටින බවට තහවුරු කළ හැකි තොරතුරු ලැබී ඇති බැවින් රහස් පොලිසිය බ්‍රසීල පොලිසියෙන් මෙම ඉල්ලීම කර ඇතැයි එම නිලධාරියා සඳහන් කළේ ය.

ඔනේෂ්ගේ බිරිය බ්‍රසීලයේ පුරවැසිභාවය හිමි කාන්තාවකි.

කෙසේ වෙතත් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇරඹි විමර්ශනයේදී එම නිලධාරීන් ඔනේෂ් සුබසිංහගේ සොහොයුරා වූ සුබාෂ් සුබසිංහ ඇතුළු ඥාතීන් සහ ඔනේෂ්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදෙන කාන්තාවන් පස්දෙනෙකු (5) ගෙන් ද මේ වන විට ප්‍රකාශ ලබා ගෙන තිබේ.

ඔනේෂ්ගේ සොහොයුරා වූ සුභාෂ් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිය සොහොයුරාගේ මරණය සම්බන්ධයෙන් පැමිණිලි කරනු ලැබ තිබිණි.

ඔනේෂ් ඝාතනය ශ්‍රී ලංකාවේ සිට සැලසුම් කර ඇති බවට නොයෙකුත් වාර්තා පළ වුව ද එය තහවුරු කර ගැනීම සඳහා විමර්ශනයක් අරඹා ඇති බව ද රහස් පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඉන්දුනීසියාවේ ජකර්තා බලා පිටත්ව යාමට සූදානමින් සිටින බව ත් ඒ සඳහා මෙතෙක් අනුමැතිය ලැබී නැති බව ත් වාර්තා වේ.

හතළිස් පස් (45) හැවිරිදි ඔනේෂ් සිය බ්‍රසීල ජාතික බිරිය ‘රොසැලියා නස්කි මොන්ටෝ කාර්ඩෝයෝ ද සිල්වා’ සහ ඇගේ බ්‍රසීල ජාතික සහායිකාව සහ සිවු (4) හැවිරිදි දියණිය සමග ඉකුත් මස 20 වන දා ඉන්දුනීසියාවේ ජකර්තා සුඛෝපභෝගී මහල් නිවාසයක රැඳී සිට ඇත.

ඔනේෂ්ගේ මළ සිරුර හමුවන්නේ එම මහල් නිවාස සංකීර්ණයේ නිවසක තිබියදී ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකරගේ උපදෙස් මත විමර්ශන පැවැත්වේ ෴


+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *