අකුණක් වැදීමෙන් නාවල-කොස්වත්තේ නිවසක ගින්නක් – කාලගුණයෙනුත් අනතුරු ඇඟවීමක්

අකුණක් වැදීමෙන් නාවල-කොස්වත්තේ නිවසක ගින්නක් – කාලගුණයෙනුත් අනතුරු ඇඟවීමක්


අකුණක් වැදීමෙන් නාවල-කොස්වත්තේ නිවසක ගින්නක් – කාලගුණයෙනුත් අනතුරු ඇඟවීමක්

(20.02.2023 – 17:49 +0530 – hirunews.lk/sinhala)

අකුණු අනතුරක් හේතුවෙන් නාවල කොස්වත්තේ දෙමහල් නිවසක ගින්නක් ඇති වී තිබෙනවා.

ගින්නෙන් පිලිස්සුම් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල් ගත කර ඇති බවත් ඔහුගේ තත්ත්වය එතරම් බරපතළ නැති බව යි වාර්තා වන්නේ.

කෝට්ටේ මහ නගර සභාවට අයත් ගිනි නිවීම් ඒකකය ගින්න පාලනය කිරීම සඳහා කටයුතු කර තිබෙන අතර, නිවසේ තිබුණු ඇස්බැස්ටස් සිවිලිම සහ සීට්වලට අකුණ වැදීම නිසා මෙම ගින්න ඇති වී ඇති බව සඳහන්.

මේ අතර, අකුණු ඇති වීමේ අවදානමක් සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීමක් ද සිදු කර තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව පළාත්වලට මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයට ද ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති විය හැකි බව යි.

මේ හේතුවෙන් ඇති විය හැකි අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස යි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාව දැනුම්වත් කරන්නේ.

+


දකුණු වෙරළ තීරයේ ඇති ගානට් නිධිය සම්බන්ධයෙන් පර්යේෂණයක්

(20.02.2023 – 09:36 +0530 – hirunews.lk/sinhala)

දකුණු දිග වෙරළ තීරයේ කළමැටිය – උස්සන්ගොඩ, හම්බන්තොට දක්වා ඇති වටිනා පාෂණ වර්ගයක් වන ‘ගානට්’ නිධියක් සම්බන්ධයෙන් ජාතික ජලජ සම්පත් පර්යේෂණ ආයතනය හෙවත් නාරා ආයතනය නව පර්යේෂණයක් ආරම්භ කර තිබෙනවා.

වසරක් තුළ අදාළ පර්යේෂණ කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කමල් තෙන්නකෝන් සඳහන් කළේ.

+


ඡන්දය කල් දාන්නැයි ඉල්ලූ පෙත්සම කළින් කැඳවීමේ අවශ්‍යතාවක් නෑ! – පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

(20.02.2023 – 10:38 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන මාර්තු 09 වැනි දා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල් දමන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් වූ පෙත්සම මෝසමක් මාර්ගයෙන් කැඳවීම කඩිනම් කිරීම අවශ්‍ය නොවන කාරණාවක් බව පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා අධිකරණයට අද (20) දැනුම් දුන්නා.

ඒ එළඹෙන 23 වැනිදා විභාග වීමට නියමිත වූ අදාල මෝසම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙමින්.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා අධිකරණය වෙත දන්වා සිටියේ මේ මස 22, 23 සහ 24 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබූ තැපැල් ඡන්ද විමසීම කල් දමා ඇති බවට විශ්වාස කටයුතු මාර්ගවලින් දැනුම් දී ඇති බැවින් මෝසමක් මාර්ගයෙන් අදාල නඩුව කලින් කැඳවීමේ අවශ්‍යතාවක් පැන නොනගින බවයි.

ඒ අනුව අදාළ පෙත්සම සළකා බැලීම සඳහා කළින් නියම කළ පරිදි 23 වනදාම කැඳවීමටයි එස්. තුරෙයි රාජා සහ ශිරාන් ගුණරත්න යන විනිසුරුවන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල නියම කළේ.

රටේ බරපතල ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බරපතල කොන්දේසි පනවා ඇති මෙම අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීම සුදුසු නොවන බවට සමාජය තුළ මතයක් නිර්මාණය වී ඇති බව පෙන්වා දෙමින්, ඡන්ද විමසීමේ කටයුතු අත්හිටුවීමේ රිට් ආඥාවක් මැතිවරණ කොමිසම වෙත නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර විසින් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනු කිරීමට කටයුතු කර තිබුණා.

+


ගුරුවරියකගේ අනියම් සැමියෙක් පාසල් ශිෂ්‍යාවක ලිංගික අපයෝජනයට ලක් කරයි – සැකකරුට මාංචු

(20.02.2023 – 12:31 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් – විශ්වමඩු ප්‍රදේශයේ දී ගුරුවරියකගේ අනියම් සැමියා විසින් පාසල් ශිෂ්‍යාවක් ලිංගික අපයෝජනයට ලක් කර තිබෙනවා.

එම චෝදනාව සම්බන්ධයෙන් අදාළ සැකකරුව ඊයේ (19) පුදුකුඩි ඉරිප්පු පොලිසිය මගින් අත් අඩංගුවට ගනු ලැබුවා.

පාසල් ගුරුවරියගේ විවාහක සැමියා ඇයව අතහැර වෙනම නිවසක පදිංචි අතරතුර දී, ගුරුවරිය වෙනත් පළාතක පුද්ගලයෙකු සමග මෙලෙස අනියම් ඇසුරක් පවත්වා ගනිමින්, ඔහු හා එකම නිවසේ වාසය කර තිබෙනවා.

අදාළ ශිෂ්‍යයාව අධ්‍යාපන කටයුත්තක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ගුරුවරියගේ නිවසට ගිය විට දියි මෙම ලිංගික හිරිහැරයට ලක්ව ඇත්තේ.

මෙම සිදුවීම සිදුවන අවස්ථාවේදී ගුරුවරිය නිවසෙහි රැඳී නොසිට ඇති බවයි සිදු කළ මූලික විමර්ශනවල දී හෙළි ව ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිසුවිය විසින් සිය දෙමව්පියන්ට පැවසූ විට, ඔවුන් විසින් ඒ පිළිබඳ පොලිසියට දැනුම්දී පැමිණිලි කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක අතර සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මුලතිව් රෝහලට ඇතුළත් කෙරුණා ෴


උසස් පෙළ ප්‍රතිඵල ජූනි මස අවසානයේ

(20.02.2023 – 13:29 +0530 – hirunews.lk/sinhala)

පසුගියදා අවසන් වූ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළැඹෙන ජුනි මස අවසානයේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා ගුරුවරුන් සැලකිය යුතු සංඛ්‍යාවක් අයදුම් නොකිරීම ගැටලුකාරි තත්ත්වයක් බවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ගුරුවරුන් මෙලෙස අයදුම් කිරීම අවම වී ඇත්තේ දෛනික දීමනාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන්. ඔවුන් ඉල්ලා සිටියේ තමන්ට ලැබෙන රුපියල් 500 ක දීමනාව කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි.

කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යවරයා එම දීමනාව රුපියල් 3000 ක් දක්වා ඉහළ නැංවීමට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගත්තා.

ගුරු සංගම් පවසන්නේ එය පොරොන්දුවලට පමණක් සීමා නොකර චක්‍රලේඛයක් ලෙස නිකුත් කළ යුතු බවයි.

මේ අතර රජයේ සහ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන (3) වාරයේ අවසන් අදියර අද (20) ආරම්භ වුණා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ දිවයින පුරා පාසල්වල සිසුන්ගේ පැමිණීම ප්‍රශස්ත මට්ටමක පැවති බවයි ෴


ඡන්දය තියන්න ප්‍රමාණවත් පහසුකම් නෑ! මැකොස අධිකරණයට දන්වයි

(20.02.2023 – 14:14 +0530 – hirunews.lk/sinhala)

නියමිත පරිදි පළාත්පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා බවට මීට පෙර ලබාදුන් ප්‍රතිඥාව ඉටු කිරීමට අපහසු තත්වයක් මතුවී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන සහ අනෙකුත් පහසුකම් නොලැබීම ඊට හේතුව බවයි එම කොමිසම ප්‍රකාශ කළේ.

පලාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දයාසිරි ජයසේකර, ලක්ෂ්මන් කිරිඇල්ල, අනුර ප්‍රියදර්ශන යාපා සහ එම්.ඒ. සුමන්දිරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විසින් ගොනු කළ පෙත්සමට අදාළව මෝසමක් ඉදිරිපත් කරමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් මෙම දැනුම් දීම සිදුකරනු ලැබුවා.

නීතිඥ යොහාන් පීරිස් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙන එම මෝසමෙන් මැතිවරණ කොමිසම සඳහන් කළේ පළාත් පාලන ඡන්ද විමසීම පවතින නීතියට අනුකූලව පැවැත්වීමට පියවර ගන්නා බවට තමන් විසින් ජනවාරි මස 18 වනදා සහ පෙබරවාරි මස 10 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දුන් බවයි.

ජනතාවගේ සර්වජන අයිතිය ආරක්ෂා කිරීමට මැතිවරණ පැවැත්වීම අත්‍යවශ්‍ය කරුණක් වන නමුත් මැතිවරණ කොමිසමට පාලනය කළ නොහැකි ගැටලු‍කාරී තත්ත්වයන් කිහිපයක් උද්ගත වීම නිසා ප්‍රතිඥාව නිසි පරිදි ඉටු කිරීමට බාධා පැමිණ තිබෙන බවයි එම මෝසමේ සඳහන් කර ඇත්තේ.

පලාත් පාලන ඡන්ද විමසීම සංවිධානය කොට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මුදා නොහැරීමද හේතුවී ඇති බව එහි සඳහන්.

එමෙන්ම රුපියල් මිලියන 410.6 ක මුදලක් ගෙවන තුරු මුද්‍රණය කළ ඡන්ද පත්‍රිකා මුදා හැරිය නොහැකි බවට රජයේ මුද්‍රණාලාධිපතිනිය දැනුම් දී තිබෙන බවත් එය මීට පෙර පැවති මැතිවරණ වලදී රජයේ මුද්‍රණාලය අනුගමනය කළ සාමාන්‍ය ක්‍රියාපටිපාටිය නොවන බවත් මෝසමෙන් පෙන්වා දී තිබෙනවා.

පොලිස්පතිවරයාද ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මුදාහරින ලෙස ඉල්ලීම් කර තිබෙනවා.

එමෙන්ම මැතිවරණ කටයුතු සඳහා යොදා ගන්නා මෝටර් රථවලට ලබාදෙන ඉන්ධන පංගුව වැඩි කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කලත් එම ඉල්ලීමද මෙතෙක් ඉටු වී නොමැති බවයි මැතිවරණ කොමිසම සිය මෝසමෙන් දක්වා ඇත්තේ.

එබැවින් හදිසි කටයුත්තක් සේ සළකා මෙම මෝසම හෙට හෝ ලබන 23 වනදා යන දිනවල විවෘත අධිකරණයේදී කරුණු තහවුරු කර ගැනීම සඳහා කැඳවන ලෙස මැතිවරණ කොමිසම ඉල්ලා තිබෙනවා.

මේ අතර බොරැල්ලේ පිහිටි රජයේ මුද්‍රණාලයට අද (20) දිනයේදී හමුදාව සහ පොලිසියේ විශේෂ ආරක්ෂාවක් යොදවා තිබූ අයුරු දක්නට ලැබුණා.

එමෙන්ම අද (20) මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවකදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය හිමිවනවා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන වගන්ති ප්‍රකාරවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන පරිදි, “පාර්ලිමේන්තුව විසිරුවා හරින ලෙස යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහොත් මිස, ඒ පාර්ලිමේන්තුව පළමු වරට රැස්වීමට නියමිත දින සිට අවුරුදු දෙකකුත් (2) මාස හයකට (6) නො අඩු කාලසීමාවක් ඉකුත් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා නොහැරිය යුත්තේය.” යන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම බලය හිමිවනු ඇති.

මෙරට හත්වැනි (7) විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් 2020 මාර්තු මාසයේ දී පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවූ අතර කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් එම මැතිවරණය පැවැත් වුණේ 2020 වසරේ අගෝස්තු 05 වැනි දිනයි.

ඒ අනුව හත්වැනි (7) විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ විසින් එම වසරේ අගෝස්තු 20 වැනි දා නව වැනි පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය කැඳ වූ අතර ඉන් වසර දෙකකුත් (2) මාස හයක (6) කාලයක් ගෙවෙන අද (20) දින මධ්‍යම රාත්‍රියේ සිට ජන විරෝධය මත ඉල්ලා අස් වූ හිටපු ජනාධිපතිවරයාගේ අනුප්‍රාප්තිකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ව්‍යවස්ථානුකූලව මෙම හැකියාව උදා වෙනවා ෴


දෙමටගොඩ නිවසකින් තියුණු ආයුධ තොගයක් සොයා ගැනෙයි

(20.02.2023 – 14:57 +0530 – hirunews.lk/sinhala)

දෙමටගොඩ – ධර්මාරාම පාර, කාලිපුල්ලවත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ තියුණු ආයුධ තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදු වන බවට කොළඹ අපරාධ කොට්ඨාසයට ඊයේ (19) ලද තොරතුරකට අනුවයි අදාළ නිවස පරික්ෂාවට ලක්කර ඇත්තේ.

එම අවස්ථාවේ නිවසේ සඟවා තිබූ කඩු 13 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සිද්ධියට අදාළව නිවෙස් හිමියා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ තම මිත්‍රයෙකු විසින් අදාළ තියුණු ආයුධ යළි රැගෙන යන පොරොන්දුව මත නිවසේ තබාගන්නා ලෙස කළ ඉල්ලීමකට අනුව ඒවා ළඟ තබාගත් බව යි ෴


ලාෆ් ගෑස් සිලින්ඩර නිල් කරන ජාවාරමක්

(20.02.2023 – 19:43 +0530 – hirunews.lk/sinhala)

ලාෆ් ගෑස් සමාගමට අයත් කහ පැහැති සිලින්ඩර නිල් පැහැයට වෙනස්කර ප්‍රවාහනය කරමින් තිබූ ගෑස් සිලින්ඩර තොගයක් සහිත ලොරි රථයක් කඩවත පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

කටුනායක අධිවේගි මාර්ගයට කඩවත පිවිසුමෙන් ඇතුළුවන අවස්ථාවේ එය නවත්වා පරික්ෂාකර ඇත්තේ ලාෆ් සමාගමට ලද තොරතුරක් මතයි.

අදාළ ලොරි රථය තුළ ඇති සිලින්ඩර තවදුරටත් පරික්ෂා කරමින් තිබෙන අතර මේ වන විට එහි තිබී වර්ණය වෙනස්කරන ලද කිලෝ ග්‍රෑම් 37 යි ග්‍රෑම් 500 ක හිස් සිලින්ඩර 04 ක් සොයාගෙන තිබෙනවා.

කෑගල්ල ප්‍රදේශයේ බෙදාහැරීම් නියෝජිතයෙකුගේ ගබඩාවක සිට මෙම සිලින්ඩර කෙරවලපිටිය ලිට්‍රෝ ගෑස් පර්යන්තය වෙත රැගෙන යමින් සිට ඇති බවයි රියදුරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් අප ලිට්‍රෝ සමාගමෙන් විමසීමක් කළ අතර එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ කෙරවලපිටිය පර්යන්තයේදී පිරවුම් සිදුකිරීම සඳහා භාරගනු ලබන්නේ තම සමාගමට අයත් සිලින්ඩර බවට නිශ්චිත පරික්ෂාවකින් තහවුරු කරගැනීමෙන් පසුව පමණක් බවයි ෴


‘හිරු’ගේ අනාවරණයෙන් පසු කිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ් අලෙවිසල්වලට සුබ ආරංචියක්

(20.02.2023 – 19:48 +0530 – hirunews.lk/sinhala)

තලවතුගොඩ – කිඹුලාවල ප්‍රදේශයේ වීථි ආහාර අලෙවිසැල් ඉවත්කිරීමට ගත් තීරණය අද (20) දහවල් හිරු ප්‍රවෘත්ති තුළින් කළ අනාවරණයෙන් පසු මාර්ග සංවර්ධන අධිකාරිය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස්. වීරකෝන් කියා සිටියේ තවදුරටත් සාකච්ඡා කිරීමෙන් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි.

විදෙස් සංචාරකයින්ගේ ද ආකර්ෂණයට පවා ලක්වී ඇති මෙම ස්ථානයේ වෙළඳසැල් 33 ක් පමණ පවතින අතර, ඒ හරහා පවුල් 150 කට වැඩි පිරිසක් සිය ජීවනෝපාය සරිකරගන්නවා.

කෙසේ වෙතත් මෙම වෙළඳසැල් හිමියන් ‘හිරු ප්‍රවෘත්ති අංශය’ට කියා සිටියේ තම වෙළඳසැල් දින තුනක් (3) තුළ ඉවත්කරගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දී ඇති බවයි ෴

++++++

21-02-2023

+


රජයේ සේවකයන්ට දීමනාවක්

(21.02.2023 – 08:05 +0530 – hirunews.lk/sinhala)

මේ වසර අවසන් වන විට රජයේ සේවකයින්ට කිසියම් දීමනාවක් ලබා දීම කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ගන්නෝරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ ඊයේ (20) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනු යි ඔහු මේ බව සඳහන් කළේ.

මේ අතර, වැටුප් රහිත නිවාඩු ලබා මෙවර පුංචි ඡන්දයට ඉදිරිපත්ව සිටින රාජ්‍ය සේවකයන්ට ඡන්දය කල්යාම නිසා මාස තුනක් (3) යනතුරු වැටුප් නොලැබීමේ අවධානමක් මතුවී තිබෙනවා.

ඒ, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් නිකුත් කළ චක්‍රලේඛයකට අනුවයි.

ඡන්දය කල්ගිය හොත් නාම යෝජනා බාරදුන් දිනයේ සිට මාස තුනක් (3) ගතවන තෙක් එම අපේක්ෂකයා වැටුප් රහිත නිවාඩු ලබා සිටිය යුතු බවද එහි සඳහන්.

කෙසේ වෙතත් ඒ පිළිබඳව සංශෝධනයක් සිදුකර අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කොට එය වෙනස් කිරීමට කටයුතු කරන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශට සඳහන් කළේ.

පසු ව එය අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කරන බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *