ඡන්දය කල් ගියත්, ලබාගත් නාමයෝජනාවල වෙනසක් නැහැ

ඡන්දය කල් ගියත්, ලබාගත් නාමයෝජනාවල වෙනසක් නැහැ


ඡන්දය කල් ගියත්, ලබාගත් නාමයෝජනාවල වෙනසක් නැහැ

(19.02.2023 – 07:26 +0530 – hirunews.lk/sinhala)

යම් හෙයකින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම නියමිත දිනට පැවැත්වීමට නොහැකි වුවහොත් ලබාගත් නාමයෝජනා ඡන්ද විමසීම පැවැත්වෙන තෙක් වලංගු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ මීට පෙර පසුගිය 2020 වසරේදී කොරෝනා වසංගත සමයේ දී මහ මැතිවරණයට නාමයෝජනා ලබාගෙන තිබුණත්, ඡන්ද විමසීම කල් දැමීමට සිදුවීමෙන් අනතුරුව ලබාගත් නාමයෝජනාවලටම මහ මැතිවරණය පැවැත්වූ බවයි.

මේ අතර, මුදල් නොමැතිවීම හේතුවෙන් පළාත් පාලන ඡන්ද විමසීම පොරොන්දු වූ පරිදි පැවැත්වීමට නොහැකි තත්වයක් මතු වී ඇති බව හෙට (20) හෝ අනිද්දා (21) මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම නියමිත පරිදි පැවැත්වීමට පියවර ගන්නා බවට මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට පසුගිය 10 වනදා ප්‍රතිඥාවක් ලබා දී තිබුණා.

ඒ පළාත්පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ගොනුකර තිබූ පෙත්සම් දෙකක් (2) එදින කැඳවූ අවස්ථාවේදීයි.

කෙසේ වෙතත් එම ප්‍රතිඥාවට අනුව කටයුතු කිරීමට මේ වනවිටත් මුදල් ලැබී නොමැතිවීම හේතුවෙනුයි මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පිළිබඳව දැනුම් දී ඇත්තේ ෴


පොලිසිය අස්සේ සිරුරට ගිනි තබාගත් පුද්ගලයා කළුබෝවිල රෝහලේ

(19.02.2023 – 07:39 +0530 – hirunews.lk/sinhala)

මිරිහාන මූලස්ථාන පොලිසිය තුළ දී සිරුරට ගිනි දල්වා ගෙන සිය බිරිඳ වැළඳ ගැනීමට උත්සාහ කළ පුද්ගලයා තවදුරටත් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

එම පුද්ගලයා විසින් බිරිඳට එරෙහිව කරන ලද පැමිණිල්ලක් විභාග කිරීම සඳහා පැමිණ සිටි අවස්ථාවේදීයි ඊයේ (18) මෙම සිද්ධිය සිදුවුණේ.

මිරිහාන පොලීසියේ විවිධ පැමිණිලි අංශය තුළදී සැකකරු එකවරම ලයිටරයක් දල්වා ඔහුගේ සිරුරට ගිනි අවුලාගෙන අසල සිටි බිරිඳ වැළඳ ගැනීමට තැත් කර තිබුණා.

කෙසේ වෙතත්, ඇය පිටතට දිවගොස් දිවි බේරාගත් බවයි පොලිසිය පැවසුවේ.

පසුව පොලිසිය සැකකරු පාලනය කර රෝහල්ගත කිරීමට කටයුතු කළා.

එම අවස්ථාවේ ඔහුගේ ඇඳුම්වලින් පෙට්රල් ගඳක්ද වහනය වී තිබෙනවා.

34 හැවිරිදි සැකකරුට මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ නඩු පවතින බව සඳහන් ෴


නීතිවිරෝධීව මෙරටට ගෙන්වූ වාහන අමතර කොටස් තොගයක් විනාශ කිරීමට පියවර

(19.02.2023 – 08:06 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසර 5 ක කාලසීමාව තුළ නීතිවිරෝධිව මෙරටට ගෙන්වූ වාහන අමතර කොටස් තොගයක් විනාශ කිරීම ඔරුගොඩවත්ත බහලුම් පර්යන්තයේ දී හෙට (20) සිදු කිරීමට නියමිතයි.

ඒවා රාජසන්තක කර තිබුණේ රේගු විමර්ශනවලින් අනතුරුවයි.

රේගු භාරයට ගත් මෙවැනි අමතර කොටස් විශාල තොගයක් පවතින අතර, ඉන් කොටස් 100 ක පමණ ප්‍රමාණයකුයි මෙලෙස මුල් අදියරයේ දී විනාශ කරනු ලබන්නේ.

වෙනත් භාණ්ඩ ආනයන කිරීමේ මුවාවෙන් ව්‍යාජ ලිපිලේඛන සකසා මෙම අමතර කොටස් ගෙන්වා තිබුණා.

යම් හෙයකින් මෙම අමතර කොටස් වෙළඳපොලට නිකුත් වුවහොත් ප්‍රමිතියෙන් තොර වාහන එකලස් කිරීමේ අවදානමක් පවතිනවා.

ඒ හේතුවෙන් මෙලෙස එම අමතර කොටස් විනාශ කිරීමට පියවර ගන්නා බවයි රේගුව වැඩිදුරටත් සඳහන් කළේ ෴


සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බකලා අත්අඩංගුවට

(19.02.2023 – 09:41 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘සිසිර කුමාර ජයසිංහ’ හෙවත් ‘බකලා’ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුවයි ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ සිටියදී සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මොහු සතුව තිබූ කඩුවක්, තහනම් පිහියක් සහ යුද හමුදාව භාවිත කරන කබායක් සොයාගෙන තිබෙනවා. සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ප්‍රදීප් කුමාර ජයවර්ධන’ හෙවත් ‘මයිකල්’ නමැත්තා සමඟ එක්ව අපරාධ ක්‍රියාවල නිරතව ඇති බවට අනාවරණ වී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ෴


නීතිවිරෝධී විදේශ රැකියා ඒජන්සියක් වටලා පුද්ගලයෙකු අත්අඩංගුවට

(19.02.2023 – 10:21 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුව – කාත්තන්කුඩි නගරයේ බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය නීතිවිරෝධී විදේශ රැකියා ඒජන්සියක් වටලා තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමේදී එම ස්ථානයේ සේවයේ යෙදී සිටි 26 හැවිරිදි සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මෙම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 88 ක් සොයාගෙන ඇති අතර, රැකියා ඒජන්සිය පවත්වාගෙන ගිය ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ෴


CCTV පරීක්ෂාවෙන් අතටම හසුවූ වංචාව

(19.02.2023 – 11:22 +0530 – hirunews.lk/sinhala)

ප්‍රධාන පෙළේ භාණ්ඩ අලෙවිකරණ ආයතනයක ගබඩාවෙන් භාණ්ඩ සොරකම් කළ එම ආයතනයේම සේවකයින් දෙදෙනෙක් (2) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ අවස්ථා කිහිපයකදී එම සැකකරුවන් විසින් රුපියල් ලක්ෂ 25 කට අධික විදුලි උපකරණ, ඇඟලුම් සහ භාණ්ඩ සොරකම් කර ඇති බවට අනාවරණය වී ඇති බවය.

පසුගිය දිනක මෙම සැකකරුවන්ගෙන් එක් (1) අයෙක් ත්‍රීරෝද රථයකින් පැමිණ ගබඩාවෙන් භාණ්ඩ සොරකම් කර රැගෙන ගිය අවස්ථාවකදී, භාණ්ඩ පුරවාගත් එක් පොහොර උරයක් අමතකවී දමා ගොස් තිබේ.‍

එම පොහොර උරය දුටු අනෙක් සේවකයින් ඒ සම්බන්ධයෙන් ආයතනයේ ප්‍රධානීන්ට දැනුම්වත් කර ආයතනයේ CCTV දර්ශන පරීක්ෂා කර ඇත.

පසුව ඒ සම්බන්ධයෙන් මොරටුව පොලීසියට කළ පැමිණිල්ලක් මත එම සැකකරුන් දෙදෙනා (2) අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ තවත් අයෙක් (1) මෙම සොරකමට සහාය වී ඇති බවය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 51 සහ 45 වයස්වල පසුවන නිකවැරටිය සහ මිහින්තලය ප්‍රදේශය වන පදිංචි විශ්‍රාමික හමුදා සෙබළුන් දෙදෙනෙකි (2).

ඔවුන් දෙදෙනා (2) දැඩිව මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වී ඇති අතර එක් (1) පුද්ගලයකු අවස්ථා කිහිපයකදීම පුනරුත්ථාපනයට යොමු කර ඇති පුද්ගලයෙක් බව අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර අනෙත් සැකකරු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

+


පොළොන්නරුවේ බඩඉරිඟු ගොවීන්ගෙන් මැසිවිල්ලක්

(19.02.2023 – 13:44 +0530 – hirunews.lk/sinhala)

නිසි කළට පොහොර නොලැබීම සහ ප්‍රමිතියෙන් තොර බීජ හේතුවෙන් තමන්ගේ බඩ ඉරිඟු වගා හානිවී ඇති බවට පොළොන්නරුව – අලුත්වැව දිවුලපිටිය ප්‍රදේශයේ ගොවීන් චෝදනා කරනවා.

මෙම තත්ත්වය මත එම ප්‍රදේශයේ අක්කර විස්සක (20) පමණ බඩ ඉරිඟු වගාවක් නිසි පරිදි වර්ධනය වී බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.

+


පිටරට සමාගම් මෙරට හැරයාමේ අවදානම රාජතාන්ත්‍රික අර්බුදයක් නොවේ

(19.02.2023 – 13:48 +0530 – hirunews.lk/sinhala)

ඇතැම් විදේශීය සමාගම් මෙරට ආයෝජන ඉවත්කරගැනීමේ සූදානමක් පිළිබඳ ඇතිව තිබෙන කථාබහ රාජතාන්ත්‍රික ගැටළුවක් නොවන බව විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

මේ හේතුවෙන් තානාපති අංශ සමඟ සාකච්ඡා කර විසඳා ගැනීමේ තත්ත්වයක් නොමැති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

සුප්‍රසිද්ධ ජපාන සමාගමක් වන මිට්සුබිෂී ආයතනය වසර 60 කට පසු මෙරට ආයෝජන ඉවත් කරගන්නා බවට පසුගිය දිනවල නිවේදනය කර තිබුණා.

එමෙන්ම ඇතැම් වෙබ් අඩවි වාර්තා කර ඇත්තේ ජර්මානු ව්‍යාපාර කිහිපයක් ද රටින් ඉවත්ව යාමේ සූදානමක් පවතින බවයි.

මුදල් අමාත්‍යාංශය පවසන්නේ පවතින ආර්ථික අර්බුදය හමුවේ දේශීය මෙන්ම විදේශීය සමාගම් ද නිෂ්පාදන පිරිවැය ඉහළ යාම වැනි ගැටළුකාරී තත්ත්වයන්ට මුහුණදෙන බවයි.

එමෙන්ම ආර්ථික අර්බුදය කළමනාකරණය සඳහා මහ බැංකුව ආනයන සීමා පැනවීම ද ඇතැම් නිෂ්පාදන ක්‍රියාවලීන්ට බලපා තිබෙනවා.

ඒ, අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ දී මතුව ඇති දුෂ්කරතා හේතුවෙන්.

කෙසේ වෙතත් මෙම තත්වයන් කෙටිකාලීන බවයි මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

ආර්ථිකය සාමාන්‍ය තත්වයට පත්වූ වහාම පවතින සීමා ලිහිල් කිරීමට නියමිතයි.

එහිදී යළි ආයෝජකයන්ට වඩාත් හිතකර වටපිටාවක් ගොඩනැගෙනු ඇති බවටයි එම අමාත්‍යාංශය විශ්වාසය පළ කළේ.

මේ වසරේ අවසන් කාලසීමාව වනවිට එම ඉලක්කය ප්‍රශස්ථ මට්ටමකට ළඟා කරගත හැකිවනු ඇති බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ.

කෙසේ වෙතත් වත්මන් තත්වය කළමනාකරණය කරගැනීම සඳහා දේශීය සහ විදේශීය ව්‍යාපාරිකයන් සමඟ සාකච්ඡා කර පවතින වපසරිය තුළ ඔවුන්ට අවශ්‍ය උපරිම පහසුකම් ලබාදීමට කටයුතු කරන බවද මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

+


කෘෂිවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීම සීමා කර ඇති බවට චෝදනා

(19.02.2023 – 13:49 +0530 – hirunews.lk/sinhala)

කෘෂිකර්ම විද්‍යාලවලට බඳවාගන්නා සංඛ්‍යාව සීමා කිරීම හේතුවෙන් තමන් අසාධාරණයට ලක්ව තිබෙන බව සිසුන් පවසනවා.

2020 – 2021 ජාතික වෘත්තිය නිපුණතා මට්ටම් හය විභාගයට පෙනී සිටි සිසුන් පෙන්වා දෙන්නේ 2018 වර්ෂයේ සිසුන් 400 කට වැඩි පිරිසක් බඳවා ගත්ත ද, මෙවර වර්ෂ දෙකක් (2) සඳහා සිසුන් 151 ක් පමණක් බඳවාගැනීමට බලධාරීන් තීරණය කර ඇති බවයි.

‘හිරු ප්‍රවෘත්ති අංශය’ මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන අංශයෙන් විමසීමක් කළ අතර, එහි අධ්‍යක්ෂවරයෙකු කියා සිටියේ සිසුන් බඳවා ගැනීම සඳහා ගැටලු රැසක් පවතින බවයි.

ඒ අනුව සිසුන්ගේ ආහාර සඳහා දිනකට ලබාදෙන රුපියල් 125 ක දීමනාව ප්‍රමාණවත් නොවීම, අධ්‍යයන සහ අනධ්‍යයන සේවක කාර්ය මණ්ඩලයේ හිඟතාව, සිසුන්ට ලබාදෙන ආහාර පිළියෙළ කිරීමට අවශ්‍ය සුපවේදීන්ගේ හිඟය සහ නේවාසිකාගාර පාලනයට සුදුසු නිලධාරීන් නොමැතිවීම ආදී ගැටළු රැසක් ඇති බවයි.

කෙසේ වෙතත් ලබන සතියේ මහා භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කොට සිසුන් සඳහා ලබාදෙන රුපියල් 125 ක දිනක ආහාර දීමනාව වැඩිකිරීම සඳහා සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි එම උසස් නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේ ෴


ජාඇළ පොදු වෙළෙඳපොලේ බහින කලාව ඇරඹෙයි – ජනතාවගෙන් දොස් මුරයක්

(19.02.2023 – 14:12 +0530 – hirunews.lk/sinhala)

බලධාරීන්ගේ නිසි අවධානය යොමු නොවීම හේතුවෙන් සිය වෙළෙඳ කටයුතු කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව ජාඇල පොදු වෙළෙඳපොළේ වෙළෙඳුන් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය හමුවේ පාරිභෝගිකයින්ගේ පැමිණීම ද බොහෝ සෙයින් පහළ ගොස් ඇති බවයි.

වසර ගණනාවක් තිස්සේ ජාඇල සහ ඒ අවට ජනතාව බහුතරයක් එළවළු ඇතුළු නිවෙස්වලට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පැමිණෙන්නේ ජාඇල පොදු වෙළෙඳ පොළ වෙතයි.

ජාඇල නගර සභාව යටතේ පාලනය වන මෙම පොදු වෙළෙඳ පොළ කඩකාමර 105 කින් සමන්විත වනවා.

කෙසේ වෙතත්, එහි වෙළෙඳුන් පෙන්වා දෙන්නේ පොළේ නඩත්තු කටයුතු කිරීම නගර සභා බලධාරීන් විසින් පැහැර හැරීම හමුවේ තමන්ට අපහසුතා රැසකට මුහුණ දීමට සිදුව ඇති බවයි.

නිසි නඩත්තුවක් නොමැති පසුබිම හමුවේ මෙහි පවතින කඩකාමර 105 න්, කඩකාමර 30 ත් 40 ත් අතර සංඛ්‍යාවක් වසා දැමීමට අදාළ වෙළෙඳුන් තීරණය කර ඇත්තේ පාරිභෝගිකයින්ගේ පැමිණීම බොහෝ සෙයින් පහළ යාම හේතුවෙන්.

මේ අතර, මෙතෙක් මෙම කඩකාමර සඳහා අය කළ මාසික කඩ කුළියද විශාල ලෙස ඉහළ දැමීමට ජාඇල නගර සභාව පියවර ගෙන ඇති බවටයි වෙළෙඳුන් චෝදනා කරන්නේ.

රුපියල් 400 – 600 ත් පැවති මාසික කඩ කුළිය රුපියල් 6000 – 9000 ත් දක්වා ඉහළ දමා තිබෙනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *