පිළිකා ඖෂධ මුදලට අලෙවි කළ මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධවේදියා රිමාන්ඩ්

පිළිකා ඖෂධ මුදලට අලෙවි කළ මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධවේදියා රිමාන්ඩ්


පිළිකා ඖෂධ මුදලට අලෙවි කළ මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධවේදියා රිමාන්ඩ්

(16.02.2023 – 16:24 +0530 – hirunews.lk/sinhala)

මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධ මුදලට අලෙවිකළ ඖෂධවේදියා ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.

ඒ ඔහු අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රුපියල් විසිදෙදහසක (22,000) වටිනාකමකින් යුත් පිළිකා රෝගීන් සඳහා ලබාදෙන ඖෂධයක් අපේක්ෂා රෝහලේ නොමැති බව පවසමින් රුපියල් විසිඑක්දහසක (21,000) මුදලක් ලබාගනිමින් අලෙවිකරන අවස්ථාවේ සැකකරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් ඊයේ (15) අත්අඩංගුවට ගනු ලැබුවා.

අපේක්ෂා රෝහලට පරිත්‍යාගශීලින් විසින් ලබාදුන් ඖෂධ රෝහලෙන් සොරකම් කර මොහු මෙලෙස අලෙවි කළ බවටයි හෙළිවී ඇත්තේ.

අදාළ ඖෂධවේදියාගේ නිවස පරික්ෂාකිරීමේදී එහි තිබී තවත් ඖෂධ විශාල තොගයක් නිලධාරින්ගේ භාරයට ගැණුනු අතර ඒවා රාජ්‍ය ලාංඡන සහිත පෙට්ටිවල අසුරා තිබූ බව සඳහන්.

ඖෂධවලට අමතරව රුපියල් හාරලක්ෂ විසිපන්දහස් නවසිය හැත්තෑවක (4,25,970) මුදලක් ද සොයාගෙන තිබෙනවා.

මේ අතර පෝලිමේ රැදී නොසිට කෙටි මාර්ගයෙන් විදේශ ගමන්බලපත්‍රයක් සකස් කර දීම සඳහා පුද්ගලයෙකුගෙන් අල්ලස් ලබාගැනීමට තැත්කළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහායිකාවක් (1) සහ තැරැව්කරුවන් තුන්දෙනෙකු (3) ද අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

+


කළුතර ජනතාව බිය වැද්දූ රන්මාල කොල්ලකරුවන් අල්ලයි

(16.02.2023 – 08:16 +0530 – sinhala.adaderana.lk)

රන්මාල කොල්ලකෑම් සම්බන්ධයෙන් වරෙන්තු 11 ක් නිකුත් කර තිබූ සැකකරුවන් දෙදෙනෙක් (2) කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (15) කළුතර පොලිස් වසමේ සුමංගල මාවත දුම්රිය හරස් මාර්ගය අසලදී කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් වැටලීමක් සිදුකර ඇත.

එහිදී යතුරුපැදියක් යොදා ගනිමින් රුපියල් ලක්ෂ 10 ක් වටිනා රන්මාල 5 ක් කොල්ලකන ලද වරෙන්තු 11 ක් නිකුත් වී ඇති සැකකරුවන් දෙදෙනෙක් (2) අත්අඩංගුවට ගෙන පයාගල පොලීසිය වෙත ඉදිරිපත් කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26 ක් හා 32 ක් වන උණවටුන හා කළුතර උතුර ප්‍රදේශවල පදිංචි ‘ගාල්ලේ හොනට් සුද්දා’ නොහොත් ‘සලිත් හර්ෂණ’ සහ ඔහුගේ ගෝලයෙක් බවට හඳුනාගෙන ඇත.

‘හොනට් සුද්දා’ට පොලීසියෙන් මිදී පළායෑමේ විශේෂ හැකියාවක් ඇති අයෙක් බවත් රන්මාල කොල්ලකෑම් සිදුකර එසැනින් ගමන් කරන යතුරුපැදියේ පිටුපස අසුනට පැනීමේ සුවිශේෂී හැකියාවක් ඔහු සතු බවත් පොලීසිය පවසයි.

සැකකරුවන් විසින් පයාගල, මොරොන්තුඩුව, අගලවත්ත, බදුරලිය හා මිද්දෙණිය පොලිස් වසම්වල සිදුකරන ලද රන්මාල කොල්ලකෑම්වලට අදාළ ග්‍රෑම් 31 මිලිග්‍රෑම් 190 ක් බර රන් භාණ්ඩ හා අපරාධ සඳහා යොදාගත් යතුරුපැදියක් සොයාගෙන ඇත.

එම සැකකරුවන් රන් භාණ්ඩ කොල්ලකෑම් හා යතුරුපැදි සොරකම් කිරීම සම්බන්ධයෙන් විභාග වන නඩු සඳහා මාතර, ගාල්ල, අවිස්සාවේල්ල, මතුගම, කළුතර, කලවාන, වැල්ලවාය, වලස්මුල්ල, දෙයියන්දර යන අධිකරණ මගින් වරෙන්තු නිකුත් කර තිබේ ෴


විදුලි ගාස්තු සංශෝධනයෙන් වැඩිම බලපෑම ඒකක 0 ත් 90 ත් අතර පාරිභෝගිකයන්ට

(16.02.2023 – 20:25 +0530 – hirunews.lk/sinhala)

අද (16) සිට විදුලි ගාස්තුව සියයට 66 කින් ඉහළ දැමිමත් සමඟ වැඩිම බලපෑමක් එල්ල වන්නේ ඒකක බින්දුවේ (0) සිට 90 දක්වා විදුලි පාරිභෝගිකයින්ටයි.

මේ අතර, නව ගාස්තු සංශෝධනය නිත්‍යානුකුල නොවන බැවින් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළා.

වාර්ෂිකව රුපියල් බිලියන 287 ක අමතර ආදායමක් ලැබෙන පරිදි විදුලි ගාස්තුව සියයට 66 කින් ඉහළ දැමිම සඳහා පසුගිය ජනවාරි මාසයේ විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් අනුමැතිය ඉල්ලා තිබුණා.

කෙසේ වෙතත්, සියයට 36 ක ගාස්තු වැඩි විමක් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක අනුමත කළ තිබු අතර, සෙසු සමාජිකයින් තිදෙනා (3) ඊයේ (15) අනුමැතිය පළ කර තිබුණේ විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ සියයට 66 ක ගාස්තු ඉහළ නැංවිමටයි.

මේ අනුව, එම සමාජිකයින්ගේ ගාස්තු වැඩිවිමේ යෝජනාවලියට අනුව සියයට 66 කින් අද (16) සිට විදුලි ගාස්තු ඉහළ නංවන බව විෂය භාර අමාත්‍ය කාංචන විජේසේකර කොළඹදී මාධය හමුවක් කැඳවමින් සඳහන් කලා.

එමගින් ඒකක බින්දුවේ (0) සිට 30 දක්වා ගාස්තුව රුපියල් 30 දක්වා ද ස්ථාවර ගාස්තුව රුපියල් 400 දක්වා ද ඉහළ දමා තිබෙනවා.

ඒකක 31 සිට 60 දක්වා ඒකකයක ගාස්තු රුපියල් 37 දක්වා ද ස්ථාවර ගාස්තුව රුපියල් 550 දක්වා ඉහළ දමා ඇති අතර, ඒකක 61 සිට 90 දක්වා ඒකකයක ගාස්තුව ඉහඝ දැමුණේ රුපියල් 42 දක්වායි. එහි ස්ථාවර ගාස්තුව රුපියල් 650 ක් වනවා.

ඒකක 91 සිට 120 දක්වා සහ ඒකක 121 සිට 180 දක්වා වන කාණ්ඩ දෙකේ (2) ඒකක ගාස්තුව සංශෝධනය නොකර ස්ථාවර ගාස්තුව පමණක් රුපියල් 1500 දක්වා ඉහළ දැමුණා.

ඒකක 181 න් ඉහළ කාණ්ඩයේ ඒකක ගාස්තුව ද වෙනස් කර නොමැති අතර, එම කාණ්ඩයේ නව ස්ථාවර ගාස්තුව රුපියල් 2000 ක්.

ඒ අනුව, ඒකක 30 දක්වා පාරිභෝගිකයින්ගේ රුපියල් 214 ක් පැවැති මාසික විදුලි බිල රුපියල් 453 දක්වා ඉහළ යන්නේ සියයට 251 කින්.

ඒකක 31 සිට 60 දක්වා පාරිභෝගිකයින්ගේ රුපියල් 677 ක්ව පැවැති විදුලි බිල රුපියල් 2178 දක්වා ඉහළ යන අතර, එහි ප්‍රතිශතය සියයට 221 වනවා.

ඒකක 61 ත් 90 දක්වා පාරිභෝගිකයින්ගේ මාසික විදුලි බිල සියයට 144 කින් ඉහළ යන අතර, රුපියල් 1825 ක්ව පැවැති එම විදුලි බිල රුපියල් 9370 ක් දක්වා ඉහළ යන්නේ ඒ අනුවයි.

ඒකක 91 සිට 120 දක්වා පාරිභෝගිකයින්ගේ නව විදුලි බිල රුපියල් 6238 ක් වන අතර, රුපියල් 3358 සිට එලෙස විදුලි බිල ඉහළ යන්නේ සියයට 86 කින්.

ඒකක 121 සිට 180 දක්වා විදුලි බිල රුපියල් 5467 සිට රුපියල් 8347 දක්වා ඉහළ යන අතර, එහි ප්‍රතිශතය සියයට 53 ක්. ඒකක 181 කින් ඉහළ පාරිභෝගිකයින්ගේ විදුලි බිල ඉහළ දමා ඇත්තේ සියයට 18 කින්.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි අඩු ආදායම්ලාභී සහ අඩුවෙන් විදුලිය පරිභෝජනය කරන පිරිස් සඳහා ඉදිරියේදී සහන ලබාදීමට අපේක්ෂා කරන බව අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියා.

මේ අතර විදුලි ගාස්තු ඉහළ දැමිම අනුමත නොකරන අතර, තමන් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක අද (16) විදෙස්ගතව සිට සුම් තාක්ෂණය ඔස්සේ අදහස් පළ කරමින් කියා සිටියේ.

+++++++

නව ගෘහස්ථ විදුලි ගාස්තුව හරියට ම දැනගන්න

(16.02.2023 – 18:33 +0530 – hirunews.lk/sinhala)

අද (16) සිට ඉහළ යන ගෘහස්ථ විදුලි පරිභෝජනයට අය කරන විදුලි ගාස්තුව සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

එවන් පසුබිමක ‘හිරු ප්‍රවෘත්ති අංශය’ විසින් නව යෙදවුමක් හරහා මහජන ඔබේ දැනගැනීම පිණිස මසකට ඔබට සාමාන්‍යයෙන් ඉදිරියේ දී ගෙවීමට සිදුවන විදුලි බිල් ගාස්තුව දැනගැනීමට අවස්ථාවක් උදා කර දීමට කටයුතු කළා.

මෙම යෙදවුම හා සම්බන්ධ වී සාමාන්‍යයෙන් ඔබේ නිවසෙහි පරිභෝජනය කෙරෙන මාසික විදුලි ඒකක ගණන කොපමණ දැයි අපගේ වෙබ් අඩවිය වෙත පිවිස එහි ඇති ඒකක ගණන යන තීරුවේ සටහන් කිරීමෙන් දළ වශයෙන් ඔබට ගෙවීමට සිදුවන විදුලි බිලෙහි මුදල දැනගත හැකි වනු ඇති.

මෙම යෙදවුම නිර්මාණය කර ඇත්තේ සංශෝධිත නව විදුලි ගාස්තුවලට අනුගත වන අතර, එය උපරිම දින 30 ක් සඳහා බලපැවැත්වෙනු ඇති බව ද මහජන ඔබට අපි දැනුම්දීමට කැමැත්තෙමු.

+


වී කිලෝවකට රුපියල් 100 කට වඩා ගෙවන්න බැහැ – ජනපති

(16.02.2023 – 19:18 +0530 – hirunews.lk/sinhala)

රජය මගින් සහල්වලට පාලන මිලක් පනවා තිබිය දී කිසිම විටෙක ගොවීන්ගෙන් මිල දී ගන්නා වී කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 100 ක මුදලක් ගෙවීමට වී මෝල් හිමියන්ට නොහැකි බව වී මෝල් හිමියන්ගේ සංගමය පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ වී මෝල් හිමියන් අතර අද (16) ජනාධිපති ලේකම් කාර්‍යාලයේ දී පැවති සාකච්ඡාවක දී මේ බව අවධාරණය කෙරුණා.

කෙසේවෙතත් ‘නිව් රත්න’ සහල් මෝල් අධිපති ‘මිත්‍රපාල ලංකේශ්වර’ වී කොලෝවක් රුපියල් 100 ට මිලට ගැනීම සම්බන්ධයෙන් පැවසුවේ රජයේ එම තීන්දුව ගොවීන්ට සහනයක් බවයි.

නමුත් ඊට ප්‍රතිවිරුද්ධ අදහසක් ඉදිරිපත් කරමින් ‘ඩඩ්ලි සිරිසේන’ සඳහන් කළේ රුපියල් 100 කට වී මිල දී ගැනීම මගින් ගොවියන්ට අසාධාරණයක් සිදුවන බවත්, ඊට වඩා මුදලක් ඔවුන් වෙත ලැබිය යුතු බවයි.

කෙසේවෙතත් ජනාධිපතිවරයා සමග වී මෝල් හිමියන් තමන් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර, ඔවුන් සඳහන් කළේ ජනාධිපතිවරයා විසින් ගොවීන්ට ගෙවීමට එකඟ වූ රුපියල් 100 වී කිලෝවකට වූ සහතික මිල කිසිසේත්ම ඊට වඩා වැඩි මිලක් නියම කිරීමට තමන්ට නොහැකි බවට පැවසූ බවයි ෴


බාධා පැමිණියත්, සහාය ඇත්නම් ඡන්දය පැවැත්විය හැකියි – මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය

(16.02.2023 – 20:22 +0530 – hirunews.lk/sinhala)

බාධා පැමිණියත් අනෙකුත් පාර්ශවවල සහාය ලැබෙන්නේ නම් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

මේ අතර, රජයේ මුද්‍රණාලයට ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ හැකියාව පවතින බව රජයේ මුද්‍රණ සේවක සංගමය අද (16) ප්‍රකාශ කළා.

ඒ, ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට ප්‍රතිපාදන ලැබී නොමැති බවට මුද්‍රණාලයාධිපතිනිය ඊයේ (15) සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්.

මේ අතර, පළාත් පාලන ඡන්ද විමසීම බාධාවකින් තොරව පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන 23 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

ඒ, එම පෙත්සම අද (16) ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියෙහි කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන සඳහන් කළේ මෙම පෙත්සම සලකා බැලීම සඳහා තමන් සාමාජිකත්වය නොදරන විනිසුරු මඩුල්ලක් වෙත යොමු කරන ලෙසයි.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ අධිකරණය හමුවේ කරුණු දක්වනු ලැබුවා. එහිදී ඔහු අධිකරණයට දන්වා සිටියේ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඇප මුදල් භාර නොගන්නා ලෙස දන්වමින් තේරීම් භාර නිලධාරීන් වෙත රාජ්‍ය පරිපාලන ලේකම්වරයා විසින් නිකුත් කළ ලිපිය මේ වනවිටත් ඉල්ලා අස් කරගෙන ඇති බවයි.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය සඳහන් කළේ පලාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට රජය විවිධාකාර බාධා පමුණුවමින් සිටින බැවින් පෙත්සම සලකා බැලීම සඳහා කඩිනම් දිනයක් ලබා දෙන ලෙසයි.

ඒ අනුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන 23 වනදා කැඳවන ලෙස අධිකරණය නියෝග කළා.

මේ අතර, ජාතික ජනබලවේගය අද (16) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් යොමු කළා. ඒ, ජනතාවගේ ඡන්ද අයිතිය අහිමි කිරීමේ කුමන්ත්‍රණයක් රාජ්‍ය නිලධාරීන්ගේ සහයෙන් සිදු කෙරෙන බව පවසමින් ෴


කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතකයින් සිටින තැන හෙළිවෙයි

(16.02.2023 – 20:30 +0530 – sinhala.adaderana.lk)

මෙරට ප්‍රධාන පෙළේ පොහොර ආනයන සමාගමක් වන ‘ඔපෙක්ස් හෝල්ඩිංග්ස්’ හි කළමනාකාර අධ්‍යක්ෂ, කෝටිපති ව්‍යාපාරික ‘ඔනේෂ් සුබසිංහ’ මහතා මෙරටදී ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් තිබූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණ කරගෙන තිබේ.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඔහුගේ බ්‍රසීල ජාතික බිරිඳ විසින් ඔනේෂ් සුභසිංහ මහතාට මෙරට තුළදී අවස්ථා කිහිපයකදීම මරණ තර්ජන කර ඇති බවටද කරුණු අනාවරණ වූ බවය.

ඉන්දුනීසියාවේ ජකර්තා හි මහල් නිවාසයකදී මිය ගොස් සිටි කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ මහතාගේ දේහය එරට ආරක්ෂක අංශ විසින් පසුගිය 03 වනදා සොයාගත්තේය.

ඒ අනුව එරට විමර්ශන අංශ මෙන්ම මේ වනවිට මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද මරණය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

එහිදී අනාවරණ වී ඇත්තේ ඔනේෂ් සුබසිංහ මහතාගේ බිරිඳ වන ‘රෝසා සිල්වා’, සිව් (4) හැවිරිදි දියණිය සහ බ්‍රසීල ජාතික මෙහෙකාර කාන්තාව පසුගිය 03 වනදා ‘දෝහා’ වෙත ගොස් ඇති බවය.

පසුව ඔවුන් ‘බ්‍රසීලයේ, සාවෝ පාවුලෝ’ වෙත ගොස් ඇති බවට CIDය සිදුකළ විමර්ශනයේදී අනාවරණ වී ඇත.

අනතුරුව CIDය විසින් ඕනේෂ් සුබසිංහ මහතාගේ කොළඹ පිහිටි නිවස පරීක්ෂා කර එහි තිබූ පුද්ගලයන් 25 කට ආසන්න පිරිසකගේ ඇඟිලි සලකුණු, DNA සාම්පල ලබාගැනීම සඳහා යොමුකර තිබුණි.

එමෙන්ම ‘සොකෝ’ නිලධාරීන් විසින් විද්‍යාත්මක සාක්ෂි සඳහා ලබාගත හැකි නිවසේ වූ භාණ්ඩ රැසක් සිය භාරයට ගත් බව වාර්තා වෙයි.

සුබසිංහ මහතාගේ බ්‍රසීල ජාතික බිරිඳ හා ඔහු අතර පසුගිය කාලය පුරාම පවුල් ආරවුල් මතුවී ඇති බවට නිවසේ සේවකයන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී විමර්ශකයින් අනාවරණ කරගෙන තිබේ.

එම අවස්ථාවලදී ඔහුගේ බිරිය විසින් මරණ තර්ජනය කර ඇති බවද අදාළ ප්‍රකාශවල සඳහන් බව CIDය පවසයි.

එමෙන්ම බිරිය දරුවා ද රැගෙන බ්‍රසීලය බලා යාමට අවස්ථා ගණනාවකදී උත්සා දරා තිබුණ ද ඊට සුබසිංහ මහතා විරෝධය දක්වා තිබේ.

“මාව මරනවා කිව්වා, ඔබලා තමයි මාව බලාගන්න ඕනේ” යනුවෙන් සුබසිංහ මහතා ආරවුල් ඇතිවූ අවස්ථාවලදී තමන්ට පැවසූ බවද ඔහුගේ සේවකයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශවල සඳහන් වෙයි.

ඒ අනුව විමර්ශන නිලධාරීන් පසුගිය 14 වනදා මේ සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබීය.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඉදිරි සතියේදී ඉන්දුනීසියාවේ ජකර්තා වෙත ගොස් ඒකාබද්ධ විමර්ශනයක් සිදු කිරීමට නියමිතය.

ඔනේෂ් සුබසිංහ මහතාගේ බිරිඳ හා ඇයගේ සහායිකාව අතර ‘සමීප සබඳතාවක්’ තිබී ඇති බවත් ඔවුන් මේ වනවිට බ්‍රසීලයට පළාගොස් සිටීම නිසාත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසියේ සහාය ලබාගන්නා බවත් පොලීසිය සඳහන් කරයි.

අදාළ සහායිකාව ‘බ්‍රසීල මාෆියා කණ්ඩායමක’ සාමාජිකාවක් බවට සැක කරන බවද පොලීසිය වැඩිදුරටත් පැවසීය.

++++++

+


පාස්පෝට් කාර්යාලයේ සේවිකාවක් සහ තැරැව්කරුවන් පිරිසක් අත්අඩංගුවට

(16.02.2023 – 16:56 +0530 – sinhala.adaderana.lk)

‘එක්දින සේවා’ යටතේ ගුවන් ගමන් බලපත්‍රයක් ලබාදීම සඳහා අල්ලස් ලබාගත් පුද්ගලයින් 04 දෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල සහායක සේවිකාවක් සහ තැරැව්කරුවන් 03 දෙනෙකුවය.

ඔවුන් විසින් ‘එක්දින සේවාව’ යටතේ ගුවන් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා එලෙස රුපියල් 42,000 ක අල්ලසක් ලබාගෙන තිබේ.

එලෙස ගුවන් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා රුපියල් 22,000 ක මුදලක් වැය වෙන අතර අනෙක් රුපියල් 20,000 ක් සැකකරුවන් විසින් බෙදාගෙන තිබේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *