තැපැල් ඡන්දය ගැන ලබන සතියේ තීරණයක් දෙනවා – මැතිවරණ කොමිසම

තැපැල් ඡන්දය ගැන ලබන සතියේ තීරණයක් දෙනවා – මැතිවරණ කොමිසම


තැපැල් ඡන්දය ගැන ලබන සතියේ තීරණයක් දෙනවා – මැතිවරණ කොමිසම

(16.02.2023 – 12:51 +0530 – hirunews.lk/sinhala)

මෙම සතිය අවසානය වනවිට තැපැල් ඡන්දයට අදාළ ඡන්ද පත්‍රිකා නොලැබුණහොත්, ලබන සතියේ දී තැපැල් ඡන්දය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ තැපැල් ඡන්දය පවත්වන දිනය වෙනස් කිරීමට මේ දක්වා තීරණයක් ගෙන නොමැති බවයි.

කෙසේ වෙතත්, ඡන්ද පත්‍රිකා නොලැබුණහොත් තැපැල් ඡන්දය පවත්වන දිනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවනු ඇති බව ඔහු සඳහන් කළා.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

මීට පෙර කිසිදු අවස්ථාවක ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා මුදල් ලබාදෙන ලෙසට රජයේ මුද්‍රණාලය විසින් ඉල්ලීමක් සිදුකර නොමැති බව ද ඔහු කියා සිටියා.

+


සබරගමුව විශ්වවිද්‍යාලයේ ගැටුමකින් 9 දෙනෙකු රෝහලට

(16.02.2023 – 12:56 +0530 – hirunews.lk/sinhala)

සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පළමු (1) වසරේ සිසුන් පිරිසක් හා එම විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන තවත් පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් සිසුන් 09 දෙනෙකු බලංගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

2020 / 2021 අධ්‍යයන වසරවල සිසුන් හැර අනෙකුත් සියලු සිසුන් සඳහා සබරගමුව විශ්ව විද්‍යාලයේ සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය අද (16) තීරණය කළා.

එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උදය රත්නායක සඳහන් කළේ අද (16) පස්වරු 04 වන විට නේවාසිකාගාරවලින් ඉවත්වන ලෙස ද සිසුන්ට දැනුම්දුන් බවයි.

කළමනාකරණ පීඨයේ පළමු (1) වසරේ සිසුන් පිරිසක් හා එම විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන තවත් සිසුන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් අනතුරුවයි මෙම පියවර ගෙන ඇත්තේ.

ගැටුමෙන් තුවාල ලැබූ සිසුන් 09 දෙනෙකු බලංගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔවුන්ට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් ඊයේ (15) රාත්‍රියේ නේවාසිකාගාරයට ඇතුළු වී පහර දී ඇත්තේ කොණ්ඩ කපා නොමැති බව පවසමින්.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර සමනල වැව පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබනවා.

මේ අතර විශ්ව විද්‍යාලය වසා දැමීමට තීරණය කිරීමෙන් පසුවද සිසුන් පිරිසක් උප කුලපතිවරයාගේ කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත වූ බව අප වාර්තාකරු සඳහන් කළා ෴

+


දඹුල්ල – හබරණ මාර්ගයේ වනඅලින් ගෙන්, රථ වාහන ගමනාගමනයට බාධා

(16.02.2023 – 13:07 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල සිට හබරණ මාර්ගයේ සැරිසරන වනඅලි දෙදෙනෙකු (2) ප්‍රධාන මාර්ගයට පැමිණ ධාවනය කෙරෙන වාහනවලින් ආහාර ඉල්ලා සිටීමට පුරුදු වීම නිසා ඉදිරියේදී අනතුරුදායක සිදුවීමක් ඇතිවිය හැකි බවට ප්‍රදේශවාසින් පෙන්වා දෙනවා.

මෙම වනඅලින් වාහනවලට හොඬවැල දමා ආහාර ඉල්ලා සිටින අතර ආහාර නොදීම හේතුවෙන් පහරදීමේ සිද්ධින් කිහිපයක් ද පසුගියදා වාර්තා වී තිබුණා.

මාර්ගයේ ගමන්කරන ඇතැම් කණ්ඩායම් වනඅලින්ට ආහාර ලබාදෙමින් ඉදිරියේදී ජීවිත අවදානමකට මුහුණදිය හැකි බවත්, ඒ පිළිබඳව තවමත් වනජීවී දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී නොමැති බවයි ප්‍රදේශවාසීන් කියා සිටියේ.

+


වල් පැළ අහස උසට වැඩුණු අභාවයට යන වී ගබඩාව

(16.02.2023 – 13:28 +0530 – hirunews.lk/sinhala)

මහ කන්නයේ වී අස්වනු නෙලීමේ කටයුතු මේ වන විට (16) ආරම්භ කර තිබෙනවා.

නමුත් මහවැලි-සී කලාපයට අයත් ගොවීන් පිරිසකට තම අස්වැන්න අලෙවි කීරීමට ඇති ආසන්නතම ස්ථානය අභාවයට යාම හේතුවෙන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

මහවැලි-සී කලාපයට අයත් ගිරාඳුරුකෝට්ටේ පිහිටි මෙම ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වී ගබඩා සංකීර්ණයෙහි ප්‍රතිසංස්කරණ කටයුතු අතර මඟ නවතා දමා ඇත්තේ මීට වසර ගණනකට පෙර සිටයි.

මහවැලි-සී කලාපයේ හෙක්ටයාර 25,000 ක පමණ වී වගාව සිදු කරන අතර එම අසවැන්නේ අඩක් පමණම අලෙවි කිරීමට ඇත්තේ එම ගොවිබිම් ආසන්නයේ පවතින ගිරාඳුරුකෝට්ටේ පිහිටි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වී ගබඩා සංකීර්ණයයි.

නමුත් අද වන විට එම වී ගබඩා සංකීර්ණය අභාවයට පත්වීම හේතුවෙන් ගොවීන් පත්ව ඇත්තේ දැඩි අපහසුතවයකටයි.

1983 වසරේ ආරම්භ කළ මහවැලි-සී කලාපයට අයත් ගිරාඳුරු කෝට්ටේ පිහිටි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වී ගඩඩා සංකීර්ණය කලක වී ගොවීන්ගේ අස්වනු මිලදී ගැනීම සදහා භාර දී තිබුණ ද මේ වන විට එම වී ගබඩා සංකීර්ණය වල් බිහි වී එහි ගොඩනැඟිලි සහ වහලය දිරාපත් වී විනාශ වෙමින් පවතින බවට ගොවීන් චෝදනා කරනවා.

විශාල ගොඩනැඟිලි හතරක් (4), කාර්යාලයක් සහ මුර කුටියකින් සමන්විත මෙම ගබඩා සංකීර්ණය ප්‍රදේශයේ ගොවි ජනතාවට විශාල සේවයක් සැපයූ ස්ථනයක්.

මෙම ගබඩා සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු පසුගිය කන්න කිහිපයකම ආරක්ෂක අංශ විසින් සිදු කරගෙන ගිය ද කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වැඩ කටයුතු නවතා දැමුණා.

එම ප්‍රතිසංස්කරණ කටයුතු මේවන තෙක් නැවත ආරම්භ නොකළ බවයි ජනතාව පවසන්නේ.

ප්‍රතිසංස්කරණ කටයුතු අතරමඟ නවතා දැමීම හේතුවෙන් මෙහි ඇතැම් ගොඩනැඟිලි වල තිබෙන උපකරණ සහ ගොඩනැගිලි කොටස් ද විනාශ වීමේ අවදානමකටයි ලක්ව තිබෙන්නේ.

+


කුරුණෑගල ඒ.ටී.එම්. කොල්ලයේ සැකකරු අත්අඩංගුවට

(16.02.2023 – 13:57 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල – ගැට්ටුවාන මංසන්ධියේ සවිකර තිබූ රාජ්‍ය බැංකුවකට අයත් ඒ.ටී.එම්. යන්ත්‍රයක් කඩා රුපියල් කෝටියකට (1,00,00,000) ආසන්න මුදලක් සොරකම් කළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

33 හැවිරිදි එප්පාවල පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ බිංගිරිය – ඌරතැන්න පාර ප්‍රදේශයේ සැඟව සිටියදීයි.

සැකකරු භාරයේ තිබී සොරකම් කරන ලද මුදල් වලින් රුපියල් හතලිස් පන්ලක්ෂ හැටදෙදහසක (45,62,000) මුදලක් සොයා ගෙන තිබෙනවා.

එමෙන්ම, සොරකම් කළ මුදල්වලින් මිලදී ගත් 6,50,000 ක් වටිනා රන් අත්පලදනාවක් හා රන් මාලයක්, රුපියල් 5,50,000 ක් වටිනා යතුරුපැදියක්, රුපියල් 3,70,000 ක් වටිනා ජංගම දුරකථනයක් සොයා ගෙන ඇති බවයි පොලීසිය කියා සිටියේ.

ඔහු ගමන් වියදම් සඳහා රුපියල් ලක්ෂ 2 කට ආසන්න මුදලක් වියදම් කර ඇති බවට ද අනාවරණ වී තිබෙනවා.

සැකකරු මින්නේරිය යුද හමුදා කඳවුරු ඉදිරිපිට තිබූ ඒ.ටී.එම්. යන්ත්‍රයක් කඩා මුදල් සොරකම් කර ඇති අතර, බිංගිරිය සහ අනුරාධපුර ඒ.ටී.එම්. යන්ත්‍ර කඩා මුදල් කොල්ලකෑමට උත්සාහ කිරීම නිසා රක්ෂිත බන්ධනාගාර ගතව ද සිට ඇති බවටයි හෙළි වී ඇත්තේ ෴


මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිගේ කාර්යාලයට මුද්‍රා තබයි

(16.02.2023 – 14:21 +0530 – hirunews.lk/sinhala)

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායකගේ කොල්ලුපිටිය මයිකල් පාරේ පිහිටි කාර්යාලය මුද්‍රා තැබිමට පොලීසිය අද (16) කටයුතු කළා.

ඒ කොල්ලුපිටිය පොලිසිය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කළ කරුණු දැක්විමක් මත, මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් ලබා දුන් නියෝගයකට අනුවයි.

මේ වන විට එම කාර්යාලයට පොලිස් ආරක්ෂාව ලබා දී තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා මේ වන විට විදේශගතව සිටින අතර අදාළ කාර්යාලය තුළ කිසියම් රාජ්‍ය විරෝධි කටයුත්තක් සිදුවන බවට බී-වාර්තාවක් මගින් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත්කර තිබුණා.

ඒ අනුවයි උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා මෙරටට පැමිණෙනතුරු එම කාර්යාලයට මුද්‍රා තබන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

මේ අතර විදේශගතව සිටින මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මෙම තත්ත්වය සම්බන්ධයෙන් සුම් තාක්ෂණය ඔස්සේ අදහස් පළ කළා.

+


ළමා අපයෝජන සිද්ධියක් නිසා වැලිගම පොලිසිය උණුසුම් වෙයි

(16.02.2023 – 15:01 +0530 – hirunews.lk/sinhala)

දස (10) හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු (2) නිදහස් කරන ලෙස ඉල්ලා අද (16) පෙරවරුවේ වැලිගම පොලීසිය ඉදිරිපිට ඔවුන්ගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවක නිරත වුණා.

එහිදී පොලීසිය සහ උද්ඝෝෂකයින් අතර උණුසුම් තත්ත්වයක් ද හටගත්තා.

වැලිගම – කොළේදණ්ඩ ප්‍රදේශයේදී දැරිය අපයෝජනයට ලක්ව තිබූ අතර පොලීසිය මෙම විසිහැවිරිදි (20) තරුණයින් දෙදෙනා (2) ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබුණේ දෙණිපිටිය ප්‍රදේශයේදීයි.

මෙම දැරිය උපකාරක පන්තියකට යමින් සිටියදී පැහැරගෙන ගොස් තිබූ අතර ඇය අපයෝජනයට ලක්ව දින 14 කට පසුවයි ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබුණේ.

අදාළ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා මාතර රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරුවන් අද (16) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන සදුදා (20) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

කෙසේ වෙතත් සැකකරුවන්ගේ ඥාතීන් සහ විරෝධතාවට එක්වූවන් කියා සිටියේ අත්අඩංගුවට ගෙන ඇති එම තරුණයන් දෙදෙනා (2) ඊට සම්බන්ධ වී නොමැති බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *