මැතිවරණ කොමිසමෙන් ඡන්දදායකයින්ට දැනුම්දීමක්

මැතිවරණ කොමිසමෙන් ඡන්දදායකයින්ට දැනුම්දීමක්


මැතිවරණ කොමිසමෙන් ඡන්දදායකයින්ට දැනුම්දීමක්

(13.02.2023 – 07:53 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන 09 වන දා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට හිමිකම් ඇති සියළුම ඡන්ද හිමියන් වෙත හා තැපැල් ඡන්දදායකයින් වෙත මැතිවරණ කොමිසම විසින් දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව එක් ඡන්දදායකයෙකුට එක් ඡන්දයක් පමණක් හිමිවන බවයි එම කොමිසම දැනුම් දෙන්නේ.

ඡන්ද විමසීමේ දී ඡන්ද පත්‍රිකාවේ තරඟ කරන පක්ෂ වල නම් හා සලකුණු ද, ස්වාධීන කණ්ඩායම් තරඟ කරන්නේ නම් ස්වාධීන කණ්ඩායම් යන වචනද හදුනා ගැනීමේ අංක හා සලකුණු පමණක් මුද්‍රණය කර තිබෙනවා.

අපේක්ෂකයින්ගේ හෝ කොට්ඨාසවල නම් සහ අංක ඡන්ද පත්‍රිකාවේ සඳහන් නොවන බවයි මැතිවරණ කොමිසම දැනුම් දෙන්නේ. ඒ අනුව සළකුණු කිරීමට ඇති තීරුවේ කතිරය සළකුණු කරන ලෙස ද ඉල්ලීමක් කරනවා.

මේ අතර අද (13) දිනයේ දී සියළුම පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

එහිදී මැතිවරණයට අදාළ ප්‍රතිපාදන මේ දක්වා නොලැබීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරෙන බවයි වාර්තා වන්නේ.

+

පළාත්පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත ඇසුරුම් බෙදාහැරීම් අනිද්දා (15) සිට ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ ප්‍රකාශ කළා.

ලබන 22, 23 සහ 24 යන දිනවල දී පළාත්පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සිදු කෙරෙන අතර, එම දිනවල දී ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන අයට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ඉදිරියේ තැපැල් ඡන්දය ලකුණු කිරීමට හැකියාව පවතිනවා.

එමෙන්ම ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කළ තැපැල් ඡන්ද අයදුම්පත්‍රවලින් 36,000 ක් විවිධ දෝෂ හේතුවෙන් ප්‍රතික්ෂේප වී තිබෙනවා ෴


දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු වෙයි

(13.02.2023 – 08:05 +0530 – hirunews.lk/sinhala)

අද (13) දිනයේදී කාර්යාල දුම්රිය 5 ක් ඇතුලුව දුම්රිය ගමන්වාර 10 ක් අවලංගු කර තිබෙනවා.

රියදුරන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් මෙලෙස දුම්රිය ගමන් වාර අවලංගු කිරීමට හේතු වී ඇති බව සඳහන්.

ඒ අනුව පොල්ගහවෙල – මරදාන දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය 2 ක්, මහව – කොළඹ කොටුව දුම්රියත්, රඹුක්කන – කොළඹ කොටුව සහ කුරුණෑගල – කොළඹ කොටුව දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ දුම්රිය කීපයක් ද, මුහුදු බඩ මාර්ගයේ ගමන් කිරීමට නියමිතව තිබූ හික්කඩුව – මරදාන , අලුත්ගම -මරදාන සහ කළුතර – මරදාන දක්වා ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය ගමන්වාර 3 ක් අවලංගු වුණා.

මීට අමතරව පුත්තලම මාර්ගයේ හලාවත – කොළඹ දක්වා ධාවනය විමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර දෙකක් (2) අවලංගු වූ බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ. ඉඳිකොලගේ කියා සිටියේ ෴

++++++++

සාකච්ඡා සාර්ථකයි – දුම්රිය රියදුරන් වර්ජනය අතහැර දමති

(13.02.2023 – 11:53 +0530 – hirunews.lk/sinhala)

බලධාරින් සමග පැවති සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන් දුම්රිය රියදුරන් ආරම්භ කළ වැඩ වර්ජනය අතහැර දමා තිබෙනවා.

අද (13) පෙරවරුවේ සිට දුම්රිය රියදුරන් විසින් වැඩ වර්ජනයක් ආරම්භ කරනු ලැබුවේ සිය වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්.

මේ හේතුවෙන් කාර්යාල දුම්රිය 5 ක් ඇතුලුව දුම්රිය ගමන්වාර 10 ක් අවලංගු කෙරුණා ෴


මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් ඉන් මුදවා ගැනීමට තවත් වැඩසටහනක්

(13.02.2023 – 09:30 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් ඉන් මුදවා ගැනීමේ අරමුණෙන් බස්නාහිර පළාතේ ක්‍රියාත්මක “සවිය” වැඩසටහනේ තවත් වැඩසටහනක් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පිළියන්දල නගර ශාලාවේ දී පැවැත්වුණා.

ගල්කිස්ස පොලිස් කොට්ඨාශයට අයත් පිළියන්දල, කැස්බෑව, කහතුඩුව, මත්තේගොඩ පොලිස් වසම්වලින් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවන් 200 දෙනෙකු සහ ඔවුන්ගේ භාරකරුවන් 200 දෙනකුගේ සහභාගීත්වයෙනුයි මෙම වැඩසටහන් පැවැත්වුණේ.

එහිදී එම පවුල්වලට වියලි ආහාර පාර්සල් බෙදා දීම ද සිදු කෙරුණා.

මත්ද්‍රව්‍යට ඇබ්බැහි වීමට හේතුව, මත්ද්‍රව්‍ය මිල දී ගන්නා ආකාරය, ඊට මුදල් උපයා ගන්නා ආකාරය, දිනකට පානය කරන මත්ද්‍රව්‍ය ප්‍රමාණය ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවන් සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අතර විවෘත සංවාදයක් පැවැත්වුණා.

තවද මෙම වැඩසටහනට ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිය මංගල දෙහිදෙණිය ඇතුළු පිරිසක් ද සහභාගී වූ බවයි වාර්තා වෙන්නේ ෴

මොරටුව ප්‍රදේශයේ පමණක් දිනකට රුපියල් එක්කෝටි විසි ලක්ෂයක හෙරොයින් අලෙවි වන බව බස්නාහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් මුදාගැනීමේ අරමුණින් බස්නාහිර පළාතේ ක්‍රියාත්මක සවිය ප්‍රජාපාදක වැඩසටහනකට 12.02.2023 දින මොරටුව ප්‍රදේශයේ දී එක්වෙමින්.

මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් මේ වසරේ ගතවූ කාලසීමාව තුළ රුපියල් මිලියන 28 ක මත්කුඩු සිය භාරයට ගෙන තිබෙනවා ෴


කඩාගෙන වැටෙන ඉදිකිරීම් ක්ෂේත්‍රය

(13.02.2023 – 12:50 +0530 – hirunews.lk/sinhala)

රටේ පවතින ආර්ථික අර්බුදයත් සමග ඉදිකිරීම් ක්ෂේත්‍රය සහ ඊට සම්බන්ධ පාර්ශ්ව රැසක් දැඩි දුෂ්කරතාවකට පත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගයේ සභාපති සුසන්ත ලියනාරච්චි සඳහන් කළේ වගකිව යුතු කිසිවෙකුගේ අවධානය යොමු නොවීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

මෙරට පවතින ආර්ථික අර්බුදය මේ වනවිට ක්ෂේත්‍ර රැසකට එල්ල කර ඇත්තේ දැඩි බලපෑමක්.

ඉදිකිරීම් ක්ෂේත්‍රය ද මේ වනවිට අර්බුදයට ලක්ව ඇත්තේ සිමෙන්ති, වැලි, ගොඩනැගිලි ද්‍රව්‍ය මිල ගණන ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති පසුබිමකයි.

මේ අතර ඉදි කිරීම් ක්ෂේත්‍රයේ කඩා වැටීම ඊට සම්බන්ධ තවත් ක්ෂේත්‍ර රැසකට දැඩි බලපෑම් එල්ල කර තිබෙනවා.

+


පාලමක් වෙනුවෙන් හීන දකින වැලිකන්දේ ගම්වැසියෝ

(13.02.2023 – 12:53 +0530 – hirunews.lk/sinhala)

මෙරට සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කළ ද එහි අවසානයක් දැකීම සඳහා ජනතාවට වසර ගණන් බලා සිටීමට සිදුවන්නේ බොහෝ විට බලධාරීන්ගේ නිද්‍රාශීලී පිළිවෙත හේතුවෙන්.

මේ, එලෙස වසර ගණනක් තිස්සේ පාලමක් වෙනුවෙන් තම ගම්මානයද දෙකඩ කරගනිමින් බලා සිටින ගම්වාසීන් පිරිසක් පිළිබඳ තොරතුරුයි.

වැලිකන්ද, කාලිංගවිල ගම්මානයේ ඉදිකර තිබූ මෙම පාලම අලුත්වැඩියා කටයුතු සඳහා කඩා දමා ඇත්තේ මීට වසර 5 කට පමණ ඉහතදීයි.

මහවැලි අධිකාරිය මගින් පෞද්ගලික සමාගමක් වෙත අදාළ කොන්ත්‍රාත්තුව ලබා දී ඇති අතර මේ වනවිටත් පාලමෙහි වැඩකටයුතු අවසන් වී නොමැති වීමෙන් ගම්වාසීන් දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා.

මෙම තත්ත්වය හමුවේ ගම්මානයේ වෙසෙන පවුල් 800 දෙකඩ වී අති බවටයි එම ගම්වැසියන් පෙන්වා දෙන්නේ.

පාලම නිසි ලෙස සකසා නොදීම මෙන්ම ඒ හරහා කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය සපයාගත නොහැකි වීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව පත්ව ඇත්තේ දැඩි අර්බුදයකටයි.

කඩිනමින් මේ පිළිබඳව අවධානය යොමුකර මෙම ගැටළුවට විසඳුම් ලබාදෙන ලෙස ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

+


රතු කට්ට පනින්න ඔන්න මෙන්න ඇති අත්‍යවශ්‍ය ඖෂධ හිඟය

(13.02.2023 – 13:31 +0530 – hirunews.lk/sinhala)

රට තුළ අත්‍යවශ්‍ය ඖෂධ 150 ක පමණ දැවැන්ත හිඟයක් නිර්මාණය වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මේ අතර රජයේ රෝහල්වලදී සිදුකෙරෙන, වෛද්‍ය උපදෙස් මත කල්දැමිය හැකි සැත්කම් කල් දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් තීරණයත් සමග රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.

මෙරට සියලුම රජයේ රෝහල්වල ඖෂධ හිඟය උග්‍රවී ඇති බවත් වෛද්‍ය උපකරණ හිඟයක් පවතින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයින් පසුගිය කාලය පුරා පෙන්වා දුන්නා.

ජනතාව චෝදනා කළේ මේ හේතුවෙන් පෞද්ගලික ඔසුසල්වල ඖෂධ මිල ගණන් ද ඉහළ ගොස් ඇති බවයි.

එවන් පසුබිමක රජයේ රෝහල්වල සිදුකෙරෙන, වෛද්‍ය උපදෙස් මත කල් දැමිය හැකි සැත්කම් කෙටි කාලයකට කල් දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (12) සඳහන් කළා.

කෙසේවෙතත් අත්‍යවශ්‍ය සැත්කම් කිසිඳු බාධාවකින් තොරව සමාන්‍ය පරිදි සිදුකරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර රට තුළ නිර්මාණය වී ඇති ඖෂධ සහ වෛද්‍ය උපකරණ ගැටලුව ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අර්බුද සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ වුණා.

+


රියදුරු අසුනේ දී හටගත් හෘදයාබාධයකින් පුද්ගලයෙකු මරුට

(13.02.2023 – 13:44 +0530 – hirunews.lk/sinhala)

හිඟුරක්ගොඩ – මින්නේරිය බස් මාර්ගයේ බස් රථ රියැදුරෙකු හදිසි හෘදයාබාධයක් හටගැනීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (13) පෙරවරුවේ අදාළ රියදුරු සිය බස් රථය ධාවනය කරමින් සිටියදියි ඔහුට මෙම හෘදයාබාධය හටගෙන ඇත්තේ.

හෘදයාබාධය හේතුවෙන් රියදුරු රියදුරු අසුනේ ම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, පාලනයෙන් තොර වූ බස් රථය මාර්ගයෙන් ඉවතට පැනීමෙන් අසල තිබූ සාප්පුවක ගැටී නතර වී තිබෙනවා.

කෙසේවෙතත් ප්‍රදේශවාසීන් එක්ව රියදුරුව රෝහල්ගත කළ ද ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.

රියදුරුට හෘදයාබාධය හටගැනීමෙන් පසුව බස් රථය පාලනයකින් තොරව පැමිණ සාප්පුවේ ගැටෙන ආකාරය එහි සවිකර තිබූ සීසීටීවී කැමරාවක ද සටහන් ව තිබුණා.

++++++++

+


රියැදුරා රිය අසුනේම මියගිහින් තෙල් බවුසරය පාර පුරා යයි අධිබලැති විදුලි කණුවකට හා පොල් ගස් දෙකකටත් හානි

(13.02.2023 – dinamina.lk)

මහමඟ ධාවනය වෙමින් තිබූ ඉන්ධන බවුසරයක රියැදුරා පස්යාල ප්‍රදේශයේ දී රියදුරු අසුනේ ම මිය යාමෙන් පසුව බවුසරය මාර්ගයෙන් පිටතට පැන අධිබලැති විදුලි රැහැන් කණුවක් ද කඩා ගෙන ගොස් පොල් ගස් දෙකක (2) ද හැපී අනතුරක් සිදු වී ඇති බව නිට්ටඹුව පොලීසියේ රථවාහන අංශය පෙරේදා (11) පැවසීය.

එසේ මිය ගොස් ඇත්තේ තෝරයාය පදිංචිව සිටි මොහොමදු ඉබ්‍රාහිම් මොහොමදු සහීර් නමැති හැටතුන් (63) හැවිරිදි තිදරු (3) පියෙකි. මියගොස් ඇති රියදුරා පෙරේදා (11) දහවල් ඉන්ධන ලීටර් එකොළොස් දහසක් (11,000) රැගත් ඉන්ධන බවුසරයක් පස්යාල ගිරිඋල්ල මාර්ගයේ පස්යාල දෙස සිට ගිරිඋල්ල දෙසට පදවා යද්දී පස්යාල ප්‍රදේශයේ දීම එය මාර්ගයෙන් පිටතට පැන අධිබලැති විදුලි රැහැන් කණුවක්ද කඩා ගෙන ගොස් පොල් ගස් දෙකක (2) ද හැපී නැවතී තිබිණ. එම අනතුර සැලවූ වහාම නිට්ටඹුව පොලීසියේ රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ ගම්වාසීන්ගේ ද සහායෙන් පැයක (1) පමණ කාලයක් බලවත් පරිශ්‍රමයක් දරා එහි හිර වී සිටි රියැදුරා හා සහායකයා පිටතට ගෙන 1990 ගිලන් රථයකින් වතුපිටිවල රෝහලට රැගෙන ගොස් ඇත.

එහිදී දෙදෙනාම වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කළ අවස්ථාවේ රියදුරා මිය ගොස් ඇති බවත් සහායකයාට බරපතළ තුවාල සිදු වී ඇති බවත් හෙළි වී තිබිණ. මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (11) පස්වරුවේ වතුපිටිවල රෝහලේදී එහි අධිකරණ වෛද්‍ය නිලධාරී රොමේෂ් අලගියවන්න මහතා විසින් පැවැත් වූ අතර අනතුර සිදුවීමට මොහොතකට පෙර හෘදය රෝගයක් හේතුවෙන් රියැදුරා මිය ගොස් ඇති බවට වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කළේය.

එම තැනැත්තාට මෙයට දින දෙකකට (2) පෙරත් හෘදය රෝගයක් හට ගෙන ඇති බවත් අනතුරින් ඔහුට සිදු වී තුවාල මරණීය තුවාල නොවන බවත් වෛද්‍ය වාර්තාවේ සඳහන් කොට තිබිණි.

බරපතළ තුවාල ලබා ඇති සහායකයා එම රෝහලේ ම ප්‍රතිකාර ලබමින් සිටී. අනතුරත් සමඟ පයින් ගමන් කරමින් සිටි අධිකරණ සේවයේ නියුතු නිලධාරිණියකට ද සුළු විදුලි කාන්දුවක් ශරීර ගත වීම හේතුවෙන් ඇය ද වතුපිටිවල රෝහලට ඇතුළත් කොට වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කළ බවත් ඇයට කිසිදු රෝගී තත්ත්වයක් නොමැති බවට හෙළි වීමෙන් අනතුරුව ඇය රෝහලින් පිටව ගිය බව ද පොලීසිය කියා සිටියේය. අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරි ප්‍රසාද් ප්‍රනාන්දු මහතා ගේ උපදෙස් පරිදි නිට්ටඹුව පොලීසියේ රථවාහන අංශයේ උප පොලිස් පරීක්ෂක ජී.ඩී. මංජුල රාජපක්ෂ හා එහි පොලිස් සැරයන් සුමේධ 2035 යන මහත්වරු ප්‍රමූඛ පොලිස් නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *