ව්‍යවස්ථාව කිසිදා නොරැකපු රනිල්, 13 සම්පූර්ණයෙන් බලාත්මක කරලා ව්‍යවස්ථාව රකින්න හදන්නේ ඔහුගේ බෙදුම්වාදී උරුමය නිසා – වෛද්‍ය වසන්ත බණ්ඩාර

ව්‍යවස්ථාව කිසිදා නොරැකපු රනිල්, 13 සම්පූර්ණයෙන් බලාත්මක කරලා ව්‍යවස්ථාව රකින්න හදන්නේ ඔහුගේ බෙදුම්වාදී උරුමය නිසා – වෛද්‍ය වසන්ත බණ්ඩාර


ව්‍යවස්ථාව කිසිදා නොරැකපු රනිල්, 13 සම්පූර්ණයෙන් බලාත්මක කරලා ව්‍යවස්ථාව රකින්න හදන්නේ ඔහුගේ බෙදුම්වාදී උරුමය නිසා – වෛද්‍ය වසන්ත බණ්ඩාර

(02.02.2023 – 18:10 +0530 – lankaleadnews.com)

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමට සැරසෙන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අත්තනෝමතික තීරණයට එරෙහිව ‘ජාතික සංවිධාන’ අද (02) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වන ලදී.

එහිදී ජාතික සංවිධාන මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවසුවේ එදා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කරන අවස්ථාවේදී ඔහු රටේ ජනතාවට පැවසුවේ ‘මට නැතිවුනේ කිරීටය පමණයි, ඒත් උඹලාට උඹලාගේ රටත් නැතිවෙනවා’ යන්න බවත්, ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ඇමරිකාවට ගොස් ඒ දේම පැවසිය හැකි බවත් සදහන් කළේය.

එදා 1815 දී සුද්දන්ට රට භාරදුන් ලෙසම මෙදා සුද්දන්ට ඕනෑ ලෙස රට පාලනය කිරීමට සූදානම් ජනාධිපතිවරයකුට රට භාරදී ඇති බවද, විරුද්ධ පක්ෂය හෝ ආණ්ඩු පක්ෂය රනිල් වික්‍රමසිංහගේ පදයට නැටීමට සැදී පැහැදී සිටින බවද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පැවසුවේය.

13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතුයැයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පවසන විට එදා එයට විරුද්ධව කටයුතු කළ බොහෝ දෙනෙකු අද ඔහු අසල නිහඩව පසුවන බවත් ඔහු සදහන් කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අගමැති දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැනි රට බෙදීමට විරුද්ධව කටයුතු කළ හා එයට උරුමයක් ඇති පුද්ගලයන් එම උරුමය පාවාදීමට කටයුතු කර ඇති බවත්, රනිල් වික්‍රමසිංහ කවදත් සිදුකළේ බෙදුම්වාදීන්ගේ වුවමනාවන් ඉටුකිරීම බවත්, එය ඔහුගේ උරුමය බවත් ඒ මහතා පෙන්වා දෙයි.

මෙහි ලොකුම පාවාදීම සිදුකර ඇත්තේ ‘ජනතා විමුක්ති පෙරමුණ’ බව සදහන් කරන වසන්ත බණ්ඩාර මහතා පවසන්නේ, 1987 දී 13 බලාත්මක කිරීමට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කිරීම නිසා එදා 60,000 තරුණ තරුණියන් අමු අමුවේ මරාදමනු ලැබූ බව ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන නායකයාට අද අමතක වී ඇති බවද සදහන් කරයි.

‘ජාතික ජනබලවේගයේ’ හා ‘ජනතා විමුක්ති පෙරමුණේ’ නායකයා තමන්ගේ මන්ත්‍රීවරියක් හරහා 13 සම්පූර්ණයෙන් බලාත්මක කිරීමට තමන් එකඟවන බව සදහන් කර ඇති බවද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

හඬ ඇමූණුම පහළින් :

++++++++

13 සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට යන ජනාධිපතිවරයාට ජනතාවගෙන් ලැබුණු ජනවරමක් නැහැ – ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම

(02.02.2023 – 21:50 +0530 – lankaleadnews.com)

13 සම්පූර්ණයෙන් බලාත්මක කරනවා යැයි පවසන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ජනතාවගෙන් ලැබුණු ජනවරමක් නැති බව ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

ජාතික සංවිධාන එකමුතුව විසින් අද (02) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ මෙතෙක් මෙරට පාලනය කළ ජනාධිපතිවරුන් 7 දෙනෙකු සිටිය ද ඔවුන් කිසිවෙක් 13 වෙනි සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට උත්සාහ නොකළ බවයි.

2002 වසරේදී ද රනිල් වික්‍රමසිංහ මහතා බෙදුම්වාදය ශක්තිමත් කිරීමට කටයුතු කළ බවත්, 2015 සිට 2019 දක්වා කාලයේ ව්‍යවස්ථාවක් ගෙනවිත් රට බෙදීමට උත්සාහ කළ බවත්, පසුව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය මෙරට යුද විරුවන් යුද අපරාධකරුවන් බවට පත්කළ යෝජනාවට ද ඔහු පක්ෂ වූ බවත් ඒ මහතා පවසයි.

69 ලක්ෂයක් ජනතාව ඡන්දය ලබාදුන්නේ රට බෙදීමට නොව ඒකීය රට ආරක්ෂා කිරීමට බව පොහොට්ටුවේ සාමාජිකයන් තේරුම්ගත යුතු බවද කල්‍යානන්ද තිරාණගම මහතා සදහන් කරයි.

උතුරේ දෙමළ නායකයන් සැමදා ඉල්ලා සිටියේ ෆෙඩරල් රාජ්‍යයක් බවද, උතුර හා නැගෙනහිර ඒකාබද්ධ කිරීම, දෙමළ නිජබිම් අයිතිය හා ස්වයංනීර්ණ අයිතිය ඔවුන් සැමදා ඉල්ලා සිටි බවද පෙන්වා දෙන කල්‍යානන්ද තිරාණගම මහතා පවසන්නේ ජනාධිපතිවරයා එම බෙදුම්වාදී න්‍යායපත්‍රය ක්‍රියාත්මක කරමින් රට බරපතළ අනතුරකට ලක්කරමින් සිටින බවයි.

හඬ ඇමුණුම පහළින් :

+++++++

13 සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමෙන් රටට සිදුවන්නේ කුමක්ද? – ආචාර්ය ගුණදාස අමරසේකර පැහැදිළි කරයි

(02.02.2023 – 23:18 +0530 – lankaleadnews.com)

පසුගිය දා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා 13 සම්පූර්ණයෙන් බලාත්මක කරන බව පවසා එමගින් රට නොබෙදෙන බව ප්‍රකාශ කළ ද එය සිදුවන්නේ කෙසේදැයි නොපැවසූ බව වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ලබන 08 වැනිදා ජනාධිපතිවරයා 13 සම්පූර්ණයෙන් බලාත්මක කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කියා ඇති බවත්, ඔහු මෙයින් විශාල ප්‍රයෝගයක් කිරීමට උත්සාහ දරන බවත් වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා සදහන් කරයි.

ඒ මහතා මේ බව පැවසුවේ ‘ජාතික සංවිධාන එකමුතුව’ විසින් අද (02) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

කලකට ඉහත මාක්ස්වාදීන් බොහෝ දෙනෙකු මෙම 13 වැනි සංශෝධනය බලාත්මක කළාට රට බෙදීමක් සිදු නොවන බව හේතු දෙකක් (2) උඩ පළිගත් බව ඔහු සදහන් කරයි. එනම් උතුරට බලතල ලබාදී වෙනම රාජ්‍යක් බවට පත් කළ ද ඔවුන්ට එය පවත්වාගෙන යාම සදහා ආර්ථික ශක්තියක් නොමැති බව හා ඉන්දියාව කිසිසේත්ම උතුරේ වෙනම රාජ්‍යයක් ඇති කිරීමට කැමැත්තක් නොදැක්වීම යන කාරණා දෙක (2) උඩ එකල මාක්ස්වාදීන් මෙම කාරණය නොපිළිගන්නා ලද බව ඒ මහතා පවසයි.

එහෙත් මෙම මත දෙකම (2) අද වන විට මිත්‍යාවක් බවට පත්වී ඇති බව ඉන්දියාව හැසිරෙන ආකාරයෙන් සනාථ වන බවයි වෛද්‍ය අමරසේකර මහතා පවසන්නේ.

13 සංශෝධනය හරහා බෙදී වෙන්වී ගිය පසුව උතුරේ වෙනම රාජ්‍යයක් පාවත්වාගෙන යාමට අද ඔවුන්ට ආර්ථික ශක්තියක් ඇති බවද, ඉන්දියාව විසින් උතුරේ විවිධ ව්‍යාපෘති මේවන විට ආරම්භකර ඇත්තේ තමන්ට වාසි අත්වන ආකාරයටම බවද වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා සදහන් කරයි.

උතුරේ ඊළාම් ආර්ථිකය ශක්තිමත්කර ගැනීම සදහා කන්කසන්තුරේ හා ත්‍රිකුණාමල වරායන් ඔවුන් මේ සදහා අනිවාර්යයයෙන්ම යොදාගන්නා බවත්, ශ්‍රී ලංකාවේ දකුණට සියලු ආර්ථික සම්පත් මේ නිසා අහිමිවන බවත් ඒ මහතා මෙහිදී පෙන්වා දෙයි.

හඬ ඇමුණුම පහළින් :

+++++++++

ආර්ථික අර්බුදය විසඳන්න ආව ජනාධිපතිවරයා රටේ සම්පත් ටික ඊළමට දෙන්න සූදානම් වෙනවා – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභික ප්‍රීමාල් ප්‍රනාන්දු

(02.02.2023 – 21:12 +0530 – lankaleadnews.com)

රටේ ජනතාව 2022 දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහකරේ 13 වැනි සංශෝධනයක් අවශ්‍ය නිසා නොව පවතින ආර්ථික අර්බුදය නිසා බව ‘ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ’ විධායක සභික ප්‍රීමාල් ප්‍රනාන්දු මහතා පවසයි.

අද (02) පැවැති ‘ජාතික සංවිධාන එකමුතුවේ’ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සදහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්කරන ලද්දේ 69 ලක්ෂයක ජන වරමින් පාර්ලිමේන්තුවට පැමිණි පොහොට්ටුවේ සාමාජිකයන් බවද, එම ජනවරම ලැබුනේ 13 වැනි සංශෝධනය පූර්ණලෙස බලාත්මක කිරීමට නොවන බව දන්නා පොහොට්ටු සාමාජිකයන් මෙම ක්‍රියාවට ඉඩදී බලාසිටීම අවාසනාවන්ත තත්ත්වයක් බවද ප්‍රීමාල් ප්‍රනාන්දු මහතා පවසයි.

රටේ ආර්ථික අර්බුදය විසදීමට නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගිය යුතු බවත්, ලෝකයේ ආර්ථික බලවතුන් ලොව පීරමින් සොයන ‘ග්‍රැෆයිට්’ නම් ඛනිජය මෙරට තිබීම හේතුවෙන් ‘ග්‍රැෆයිට්’ මගින් ‘ග්‍රැෆීන්’ නිපදවා මෙරට ආර්ථිකය ගොඩනැගිය හැකි බවත් ඒ මහතා පෙන්වා දෙයි.

එමෙන්ම මැණික් හා ස්වර්ණාභරණ මගින් තවමත් මෙරටට ලැබෙන්නේ අවුරුද්දකට ඩොලර් මිලියන 200 ක පමණ සුළු ආදායමක් බවත්, එවැනි කිසිදු සම්පතක් නැති සිංගප්පූරුව මෙමගින් ඩොලර් බිලියන එකහමාරක් දෙකක් (1½ – 2) සොයන බවත්, ඉන්දියාව වාර්ෂිකව ඩොලර් බිලියන 30 ක පමණ ආදායමක් එමගින් ඉබන බවත් ඔහු පෙන්වා දෙයි.

මෙරට අධික වටිනාකමකින් යුතු ටයිටේනියම් නිධිය ඇත්තේ මන්නාරමේ බවද, එහි ගෑස් හා තෙල් නිධි ද පිහිටා තිබීම නිසා 13 වැනි සංශෝධනය හරහා රට දෙකඩ කිරීමෙන් මෙම සම්පත් සියල්ල ‘ඊළම’ට ලබාදීමට සිදුවන බවද ඔහු පවසයි.

ජනාධිපතිවරයා IMF ණය ලැබෙන තෙක් බලානොසිට රටේ සම්පත් නිවැරදිව පරිපාලනය කිරීමට කටයුතු කළා නම් මෙරට ආර්ථික අර්බුදය විසදාගැනීමට තිබූ බවත් ඒ මහතා සදහන් කරයි.

හඬ ඇමුණුම පහළින් :

+++++++++

රනිල්ගේ රාජාසන කතාවෙන් ගහන ගේම මෙන්න

ජනපති රනිල් සැරසෙන්නේ රාජාසන කතාවේදී ’13 බලාත්මක කර ශ්‍රී ලංකා රාජ්‍යයේ ගෙල සිඳින හැටි’ කියන්නයි. මේ රාජාසන කතාව වැඩි ඡන්දයෙන් සම්මත වුවහොත් එය රජයේ ප්‍රතිපත්තිය වෙනවා.

‘රට බේරාගත්තු නායකයා’ටත් අගමැති දිනේෂ්ටත් අද ‘ජනපති රනිල්ගේ ශ්‍රී ලංකා මාතාවගේ ගෙළ සිඳීමේ පෙරහැරේ’ යන්න වෙලා.

කවරකු අතීත භාවිතයට පිටුපස හැරවූවත් රට බෙදන්න ආ සෑම උප්පරවැට්ටියක්ම දිවිහිමියෙන් පැරදවූ අපි ‘දේශපාලන පෙන්දන්ගේ’ මේ සැලසුමත් පැරදවීමට කළ හැකි සියල්ල කරනවා.

~ විමල් වීරවංශ මහතා

(‘රනිල් 13 බලාත්මක කර – රට බෙදන හැටි’ : ප්‍රසිද්ධ දේශනය/2023-02-02)

+


බ්‍රොයිලර් චිකන් දරුවන් නොලැබීමට හේතුවක් ද?

(02.02.2023 – 09:32 +0530 – lankaleadnews.com)

බ්‍රොයිලර් කුකුළු මස් දිගින් දිගටම ආහාරයට ගැනීම නිසා මෙරට දරුවන් වැඩිහිටියන් බවට පත්වූ පසුව දරුවන් නොලැබී යාමේ අවදානමක් ඇතිවන බව හෙළිදරව් කෙරෙන වීඩියෝවක්…

බ්‍රොයිලර් චිකන් දරුවන් නො ලැබීමට හේතුවක් ද? – වෛද්‍ය සුදත් ගුණතිලක මහතා

10-01-2023

උසස් පෙළට ජල විදුලියෙන් විදුලිය දිය හැකි බවට ප්‍රකාශයක්

(02.02.2023 – 20:06 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ විභාගය අවසන් වන මේ මස 17 වනදා තෙක් විදුලිය විසන්ධි නොකර සිටීමේ හැකියාව පවතින බව බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රළපනාව පවසනවා.

එසේම, මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ද කියා සිටියේ විභාග කාලසීමාවේදී විදුලිය කප්පාදුවකින් තොරව ලබාදීම සඳහා ගතහැකි සියලු පියවර ගන්නා බවයි.

මෙවන් පසුබිමක හෙට (03) දිනයේදී විදුලි කප්පාදුවක් සිදු නොකරන බවට ලංකා විදුලිබල මණ්ඩලය අද (02) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදුන්නා.

ඒ, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අපහාස කළේ යැයි එම කොමිසම, ලංකා විදුලිබල මණ්ඩලය ඇතුලු පාර්ශ්ව කිහිපයකට එරෙහිව ගොනු කෙරුණු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට ලබාදුන් එකඟතාව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා, විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු පාර්ශව විසින් කඩ කිරීම හේතුවෙනුයි මානව හිමිකම් කොමිසම පසුගිය සතියේ මෙම පැමිණිල්ල ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළේ.

ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද එය කැඳවනු ලැබුවා.

එහිදී ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු පාර්ශව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායම පැමිණිල්ල සම්බන්ධයෙන් තම සේවාදායකයන්ගේ උපදෙස් ලබා ගැනීම සඳහා කාලය අවශ්‍ය බව අධිකරණයට දැනුම් දුන්නා.

එබැවින් මෙම පෙත්සම හෙට (03) දිනයේ කැඳවන ලෙසයි ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ.

කෙසේ වෙතත්, මෙය හදිසි කටයුත්තක් බැවින් කල් දැමීම නුසුදුසු බව විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ පෙන්වා දුන්නා.

එහිදී ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදෙමින් සඳහන් කළේ හෙට (03) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි.

ඒ අනුව පෙත්සම හෙට (03) දිනයේ කැඳවීමටයි නියෝග කෙරුණේ.

මේ අතර, බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රළපනාව හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ උසස් පෙළ අවසන් වනතුරු ජල විදුලිය මගින් අවශ්‍ය විදුලිය උත්පාදනය කරගත හැකි බව කියා සිටියා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *