සැලසුම් කරලා තිබ්බෙ මාව නිදහස් කරන්න නෙවෙයි මරන්න! – වසන්ත මුදලිගේ

සැලසුම් කරලා තිබ්බෙ මාව නිදහස් කරන්න නෙවෙයි මරන්න! – වසන්ත මුදලිගේ


සැලසුම් කරලා තිබ්බෙ මාව නිදහස් කරන්න නෙවෙයි මරන්න! – වසන්ත මුදලිගේ

(02.02.2023 – 16:07 +0530 – hirunews.lk/sinhala)

සැලසුම් කර තිබුණේ තමාව නිදහස් කරන්න නොව හැකිනම් ඝාතනය කරන්න බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසනවා.

දින 167 ක් රක්ෂිත බන්ධනාගාරගත ව සිට ඊයේ (01) ඇප හිමි වූ වසන්ත මුදලිගේ විසින් අද (02) කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් කියා සිටියේ, “මර්දනය ඉදිරියේ ජනතාව හිස නොනැමීම හමුවේ අපිව නිදහස් කරන්න සිදු වුණා.” යනුවෙන්.

තමන්ව පෑලියගොඩ පොලීසියට රැගෙන ගොස් සඟවා තබා ගත් බවත්, පසුදා පාන්දර රෙදිවලින් ඔතා තමන් ව එඬේරමුල්ල පොලීසියට අරන් ගිය බවත්, තමා එහි රැගෙන යන විට එම පොලිස් ස්ථානය හිස් කොට තැබූ බවත්, “විජේවීරට වුණු දේ උඹට මතක ද?” යනුවෙන් අසා මරණ තර්ජන කරමින් දිගින් දිගට ම රඳවාගෙන ශාරීරිකව සහ මානසිකව වධ හිංසා පැමිණ වූ බවත් විශේෂ මාධ්‍ය හමුවේදී ඔහු පැවසුවා.

ඔහුට සිදු වූ දෑ විස්තර කරමින් වසන්ත මුදලිගේ අදාළ මාධ්‍ය සාකච්ඡාවේ දී :

“ඊට පස්සේ වාහනයක දාගෙන වෙරළබඩ පැත්තේ පොලිස් නේවාසිකාගාරයකට අරන් ගිහින් බිම් මහලේ කරුවල කාමරයක දාලා පැය ගාණක් රෙදිවලින් ඔතලා තිබ්බා.”

“අවසාන කෑම වේල කන්න ඕනෙ ද කියලා ඇහුවා.”

“තව දවසක් වාහනයක දාගෙන නවගමුවේ දේවාලය පහළ ගඟ අයිනේ පාළු පැත්තකට අරන් ගිහින්.. කෝල් එකක් අරගෙන කාටද කියනවා ‘සර් අපි අදාළ තැනට ඇවිත් තියෙන්නේ.. මොකද කරන්න ඕනේ’ කියලා.”

“ඒ වෙලාවේ නවගමුව දේවාලේ ආරක්ෂාවට හිටිය පොලිස් නිලධාරියෙක් එනවා.. ‘අන්න අරූ එනවා; ඌව නවත්වන්න’ කියලා තව නිලධාරියෙකුට කිව්වා”

“මදූෂ්ව ඝාතනය කළ හැටි කිව්වා. මාව ඝාතනය කරන්න සැලසුම් කළා.”

“මාව අරන් ගියේ විමර්ශන ස්ථානවලට ද? මේවට නිශ්චිත උත්තරයක් පොලීසිය දෙන්න ඕනේ. මේක සැලසුම්සහගතව කරපු දෙයක්.”

“ඊට පස්සේ තමයි ත්‍රස්ත විමර්ශන ඒකකයට භාර දුන්නෙ.”

“හොර රහසේ අපිව අරන් යද්දි, පොලීසියේ ඉන්න විශාල පිරිසක් අපිව ආරක්ෂා කළා. ඒ නිසා තමයි අද මම නිදහස් වුණේ.”

“හැබැයි තාම මර්දනය නතර කරලා නැහැ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කියන්නේ කුරිරු පනතක්.”

“නිදහස් කළා කියලා අරගලය ඉවර නැහැ. අරගලය අඛණ්ඩව යනවා.”

“ඔවුන් ත්‍රස්තවාදය වපුරලා අපිට ලේබල් ගහනවා.”

“ආණ්ඩු කොහොම පත්වුණත් අපේ ප්‍රශ්නය එහෙමමයි. එහෙම නැහැයි කියනවා නම් ආපසු හැරිලා බලන්න.”

“අපේ ඇත්ත අයිතීන් වෙනුවෙන් අපි අඛණ්ඩව අරගල කරනවා. ඕනෑම ආණ්ඩුවක් දණ ගස්වන බලයක් මේ රටට අවශ්‍යයි. ඒ සඳහා මැදිහත් වෙමු.”

“ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් දැනටමත් ගොනුකර තිබෙනවා. පීඩාවට පත් කරපු නිලධාරීන්ට විරුද්ධවත් තනි තනිව නීතිමය පියවර ගන්නවා.”

“අපි 04 වනදා විරෝධතාවයක් ප්‍රකාශයට පත්කරලා තිබෙනවා. 04 වනදා කොළඹ එන්න අපේ නිදහස දිනා ගන්න. කොළඹ එන්න බැරි අය ළඟම හන්දියට කළු කොඩියක් අරගෙන එන්න.”

“අඩි 4 යි 7 තේ යකඩ කූඩුවක දාලා තිබුණා. අඳුරුම අඳුරු.. කිසිම ඉර එළියක්වත් එන්නේ නැහැ. නාන්න දුන්නේ කොමඩ් එකේ හෑන් ෂවර් එකෙන්. කෑම එක බිම දාගෙන යකඩ තහඩුවක කෑවේ. අපිව අසනීප කරන්නමයි එහෙම කළේ. ප්‍රතිකාරවලට යොමු කළෙත් ගොඩාක් පහු වෙලා.”

“පොලීසියේ තරු ගහගන්න හීන නැති හැමෝම කතා කළා. මල්ලී අපිත් අරගලයේ තමයි කියලා කිව්වා.”

අදාල මාධ්‍ය හමුවේ දී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු විසින් වැඩිදුරටත් අනාවරණය කළේ, ඕනෑම ආණ්ඩුවක් දණ ගස්වන බලයක් නිර්මාණය කිරීම වෙනුවෙන් කැපවෙන බවයි.

මේ අතර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරමින් අධිකරණය ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් පවතින නෛතික විධිවිධාන අනුව අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා පොලිස් මූලස්ථානය නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

+++++++

++++++++

වසන්තගේ නඩුව ගැන බෝපගේ පැහැදිලිකරයි නීතියට ඉහලින් යුක්තිය පැවතිය යුතුයි (02.02.2023)

+++++++

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරමින් අධිකරණය ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් පවතින නෛතික විධිවිධාන අනුව අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා පොලිස් මූලස්ථානය නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා ෴


අරගලය සමයේ පුවත් මැවූ බ්‍රිතාන්‍ය කත ආගිය අතක් නැහැ – සෙවීමට මහජන සහාය පතයි

(02.02.2023 – 17:16 +0530 – hirunews.lk/sinhala)

ගාලු මුවදොර අරගලය ක්‍රියාත්මක වන සමයේ සමාජ මාධ්‍ය තුළ ක්‍රියාකාරී වූ පසුව සමාජයේ දැඩි ලෙස කතාබහට ලක් වූ බ්‍රිතාන්‍ය ජාතික කයිලී ෆ්‍රේසර් (Kayleigh Fraser) සොයා ගැනීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මහජනතාවගේ සහාය ඉල්ලා සිටිනවා.

වීසා කොන්දේසි කඩ කිරීමක් සම්බධයෙන් ඉකුත් අගෝස්තු මාසයේ දී ආගමන හා විගමන නිලධාරීන් විසින් ඇයගේ නිවසට ගොස් ප්‍රශ්න කළ අතර ඇයගේ විදේශ ගමන් බලපත්‍රය ද ඔවුන් භාරයට ගනු ලැබුවා.

ඉකුත් අගෝස්තු 15 වන විට රට හැර යන ලෙස නියෝග ලබා සිටි මෙම විදෙස් කාන්තාව මේ වන විට ඇය රැඳී සිටි නිවෙසින් පලා ගොස් ඇති බවයි කරුණු වාර්තා වන්නේ.

කෙසේ නමුත් ආගමන හා විගමන නිලධාරීන් විසින් ඇයව සොයා ගැනීම සඳහා මහජන සහාය පතන අතරවාරයේ විශ්වාසය පළ කරන්නේ ඇයගේ විදේශ ගමන් බලපත්‍රය රාජසන්තක කර ඇති බැවින් එය ලබා ගැනීම සඳහා ඔවුන් වෙත පැමිණිය යුතු බවයි.

එසේ ම ඇය කිසි ලෙසකින්වත් රට හැර ගොස් නොමැති බවත් ඇය විසින් ආගමන විගමන බලධාරින් මග හරිමින් සිටින බවත් අදාල දෙපාර්තමේන්තුව විසින් විශ්වාසය පළ කරනවා ෴


පොළොන්නරුව මහරෝහලේ විකිරණශිල්පීන් 06 වැනිදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක

(02.02.2023 – 17:20 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව මහරෝහලේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් ලබන මස 06 වැනිදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

ඒ එම රෝහලට අලුතින් මිල දී ගත් විකිරණ යන්ත්‍රයක් සම්බන්ධයෙන් වෘත්තීය ක්‍රියාමාර්ගක යෙදුණු නිලධාරින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින්.

ඔවුන් ඊට විරෝධය පළකරමින් අද (02) සංකේත වැඩවර්ජනයක නිරත වෙනවා ෴


රුසියන් රැකියාවෙන් බැටකන ශ්‍රී ලාංකිකයෝ – කිව්ව පඩියවත් නෑ

(02.02.2023 – 18:42 +0530 – hirunews.lk/sinhala)

රුසියාවේ ඔෂියෝ ප්‍රදේශයේ පිහිටි ආර්.ටෙක්ස්ටයිල්ස් ඇඟලුම් කම්හලේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික සේවක සේවිකාවන් හට නිසි පරිදි වැටුප් නොගෙවන බවට වන පුවතක් අපට වාර්තා වනවා.

මෙම කර්මාන්ත ශාලාවේ ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දියාව, වියට්නාමය, උතුරු කොරියාව ආදී රටවල් හතරක සේවක සේවිකාවන් 700 කට ආසන්න පිරිසක් සේවය කරනවා.

නමුත් මේ වනවිට එම කර්මාන්තශාලාවේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික සේවක සේවිකාවන්ට මෙන් ම සෙසු සේවකයින්ට ද නිසි පරිදි වැටුප කලට වේලාවට නොලැබෙන ගැටලුවක් පැන නැගී ඇති බවයි වාර්තා වන්නේ.

වියට්නාම සහ උතුරු කොරියාවේ සිට පැමිණි සේවකයින් හට එම ඇඟලුම් කර්මාන්තශාලාවෙන් රුසියානු රූබල් 60,000 ක වැටුපක් ලැබෙන අතර, ඉන්දියාව සහ ශ්‍රී ලංකා සේවක සේවිකාවන් හට ගෙවනුයේ රුසියානු රූබල් 30,000 ක් පමණ බවයි එහි සේවයේ නිරත ශ්‍රී ලාංකිකයින් සඳහන් කරන්නේ.

එහෙත් රුසියානු රූබල් 30,000 ක මුදල ගිවිසුම් පරිදි ඉන්දියානුවන්ට ගෙවීම් කළ ද ශ්‍රී ලාංකිකයින් හට තම නියමිත වැටුපෙන් ලැබෙන්න අඩක් – එනම් රුසියානු රූබල් 15,000 ක පමණ වැටුපක් පමණක් බව ඔවුන් චෝදනා කරනවා.

එම මුදල වුව ද නිසි වේලාවට නොලැබෙන බවත්, මේ වනවිට දෙසැම්බර් සහ ජනවාරි වැටුපවත් ගෙවීම් සිදු කර නොමැති බවයි වාර්තා වන්නේ.

මෙවැනි තත්ත්වයක් හමුවේ දින කිහිපයක සිට රුසියාවේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින් 180 ක් පමණ කන්නවත් නොමැති ව කර්මාන්ත ශාලාවේ සේවයේ නිරත බවට වාර්තා වනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් රුසියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැන්වූවත් කිසිදු පිළිසරණක් ඉන් නොලැබුණු බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

එහි සේවය කරන ශ්‍රී ලාංකික සේවක සේවිකාවන් සදහන් කරන්නේ, තමන්ව ලංකාවෙන් රුසියාවට එවූ පුද්ගලික ඒජන්සිකරුවන් ව්‍යාජ වැටුප් පෙන්වා මෙම ආයතනයට යොමුකර ඇති බවයි ෴


රිදීගම සත්ත්ව උද්‍යානයේ වනසතුන් ජාවාරමක් හා සුනඛ ඝාතන ගැන අනාවරණයක්

(02.02.2023 – 18:51 +0530 – hirunews.lk/sinhala)

රිදීගම විවෘත සත්ත්ව උද්‍යානයේ වනසතුන් ජාවාරමක් හා සුනඛ ඝාතන සිදුවන බවට සඳහන් කරමින් සතුන් හා සොබාදහම සඳහා යුක්තිය සංවිධානය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම සංවිධානය පවසන්නේ, එම තොරතුරු පිළිබඳව ආරක්ෂක අංශ දැනුවත් කළ බවයි.

සුනඛයින් ඝාතනය කර ඇත්තේ එහි සේවකයින් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මේ පිළිබඳව ඇති සාක්ෂි වසන් කිරීමේ තැතක් ගැන ද ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් ඔවුන් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තුමා දැනුවත් කර තිබෙනවා.

නමුත් එසේ තිබියදීත් අද (02) සවස 2 ට පමණ සතුන්ගේ මරපු කොටස් සැඟවූවා යයි සැක කෙරෙන ගලි වලක් බවුසර් මගින් පිටතට ගෙනයාම ආරම්භ කර ඇති බවයි එම සංවිධානය වැඩිදුරටත් පවසන්නේ ෴


පිටකොටුවේ විදුලි උපකරණ හිඟවෙයි

(02.02.2023 – 19:26 +0530 – hirunews.lk/sinhala)

ආනයන සීමා කිරිමත් සමඟ පිටකොටුව තොග වෙළඳපොළෙහි විදුලි උපකරණවල හිඟයක් පවතින බවට වෙළඳපල ආරංචි මාර්ග පවසනවා.

පළමු (1) හරස් විදියේ සහ දෙවන (2) හරස් විදියේ පවතින විදුලි උපකරණ තොග අලෙවිසැල් රැසක විදුලි උපකරණ නොමැති විමත් සමඟ මිළ ගණන් ද ඉහළ ගොස් ඇති බව සඳහන්.

මේ හේතුවෙන් පිට පළාත්වලින් තොග රැගෙන යාම සඳහා පැමිණෙන වෙළෙන්දන් ද අඩු වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙරට ප්‍රධාන පෙළේ විදුලි උපකරණ අලෙවි කරන සමාගම්වලට අමතරව බහුතරයක් පිරිස් විදුලි උපකරණ මිල දී ගනු ලබන්නේ පිටකොටුව පළමුවන (1) සහ දෙවන (2) හරස් වීදීයේ තොග වෙළඳසැල්වලින්.

මේ වනවිට විදුලි උඳුන්, ඇඹරුම් යන්ත්‍ර, විදුලි කේතල සහ විදුලි ඉස්තිරික්ක ඉහළ මිළ ගණන් යටතේ අලෙවි වන අතර ඇතැම් විදුලි උපකරණවල මිල රුපියල් 3000 සිට 12,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *