රත්නපුර දිස්ත්‍රික්කය තුළ අවුරුදු පහට (5) අඩු දරුවන් 1,336 කට උග්‍ර මන්දපෝෂණය

රත්නපුර දිස්ත්‍රික්කය තුළ අවුරුදු පහට (5) අඩු දරුවන් 1,336 කට උග්‍ර මන්දපෝෂණය


රත්නපුර දිස්ත්‍රික්කය තුළ අවුරුදු පහට (5) අඩු දරුවන් 1,336 කට උග්‍ර මන්දපෝෂණය

(02.02.2023 – 10:49 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර දිස්ත්‍රික්කය තුළ උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන වයස අවුරුදු පහට (5) අඩු දරුවන් 1,336 දෙනෙකු වාර්තා වී ඇතැ යි රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සැලසුම් අධ්‍යක්ෂ ඩබ්ලිව්.පී. සමන් තිලක රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී පවසා තිබෙන බව අද (02) ජාතික පුවත්පතක් වාර්තා කළා.

ඒ අතරින් ආර්ථික අපහසුතා ඇති පවුල්වල දරුවන් 838 දෙනෙකු වාර්තා වෙන බවත්, එම දරුවන්ට ආහාර ලබා දීමට කැපකරු ක්‍රමයක් ද රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් හඳුන්වා දී ඇති බවත් දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂවරයා එහි දී සඳහන් කර තිබෙනවා.

මේ අතර, මාසික ව රුපියල් පන්දහසක (5000) ආහාර ද්‍රව්‍ය ලබාදීම සඳහා හඳුන්වා දුන් මෙම කැපකරු ක්‍රමයට අනුව, මෙතෙක් දරුවන් 279 දෙනෙකුට කැපකරුවන් ලැබී නොමැති බව සඳහන් කරන ඔහු, එහි දී වැඩිදුරටත් පවසා ඇත්තේ, ඒ සඳහා පරිත්‍යාගශීලීන්ට දායකත්වය ලබාදිය හැකි බව යි.

කෙසේ නමුත් මාස හයක් (6) සඳහා ම දරුවන් 130 දෙනෙකුට ද මාස දෙකක් (2) සඳහා දරුවන් 169 දෙනෙකුට ද මාසයක් (1) සඳහා දරුවන් 279 දෙනෙකුට ද රුපියල් පන්දහසක (5000) ආහාර ලබා දීමට මේ වන විට අනුග්‍රහය ලැබී තිබෙන බව ඔහු එහි දී වැඩිදුරටත් සඳහන් කළා.

උඩවලව සහ ඇඹිලිපිටිය යන කොට්ඨාසවලින් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් වැඩි පිරිසක් වාර්තා වී තිබෙන බව යි ඔහු රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී පැවසුවේ.

කැපකරුවන් නොලැබුණු දරුවන් සඳහා මාසිකව රුපියල් පන්දහසක (5000) ආහාර ද්‍රව්‍ය ලබා දීමට කැමති පරිත්‍යාගශීලීන්ට රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ඒ සඳහා විමසීම් කළ හැකි බවත් ඔහු එහි දී කියා සිටියා ෴


සති අන්තයේ දී ගෑස් මිල යළි වැඩි වන ලකුණු

(02.02.2023 – 13:47 +0530 – hirunews.lk/sinhala)

කිලෝ ග්‍රෑම් 12.5 වර්ගයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 ත් 400 ත් අතර අගයකින් ඉහළ යනු ඇති බව ලිට්‍රෝ සමාගමේ ආරංචි මාර්ග සඳහන් කළා. මෙම සති අන්තයේ සිට එලෙස මිල සංශෝධනය වනු ඇති බවයි පැවසෙන්නේ.

පසුගිය ජනවාරි මාසයේ මැද භාගයේදි ලිට්‍රෝ සමාගම මේ සම්බන්ධයෙන් පෙර දැනුම්දීමක්ද කර තිබුණා.

ගෑස් මිල සූත්‍රයට අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 700 ත් 800 ත් අතර මිලකින් ඉහළ යාමට නියමිතයි. එහෙත් එලෙස වැඩි අගයකින් මිල වැඩි කිරීම නිසා පාරිභෝගිකයින් අපහසුතාවයට පත්වීම වැළැක්වීම සඳහා මෙලෙස රුපියල් 300 ත් 400 ත් අතර අගයකින් මිල වැඩි කිරීමට ලිට්‍රෝ සමාගම තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

රුසියාව සහ යුක්‍රේනය අතර හටගෙන ඇති යුධමය වාතාරවරණය හේතුවෙන් ගෑස් මිල ඉහළ ගොස් තිබෙනවා.

මේ වන විට 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් වෙළඳපලේ අලෙවි වන්නේ රුපියල් 4409 කටයි.

මේ අතර, පෙට්‍රල් මිල ඉහල දැමුවද ත්‍රිරෝද රථ ගාස්තු වැඩි නොකරන බව ත්‍රිරෝද රථ වෘත්තීය සමිති ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ඔක්ටේන්-92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 30 කින් ඉහල දැමීමට ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව පියවර ගැනීමත් සමඟ ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසල දැඩි තදබදයක් පැවතුණා ෴


ඇඟලුම් ඇනවුම් නො ලැබීමෙන් කර්මාන්තකරුවන් අර්බුදයක

(02.02.2023 – 13:55 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමාණවත් පරිදි ඇඟලුම් ඇණවුම් නොලැබීම හේතුවෙන් කර්මාන්තශාලා රැසක් දැඩි අර්බුදයකට මුහුණ පා තිබෙනවා.

ඇතැම් ඇඟලුම් කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු අඩු විම නිසා සේවා මුර පවා අඩු කර ඇති බවටයි වාර්තා වන්නේ.

ප්‍රධාන පෙළේ ඇඟලුම් කර්මාන්තශාලා රැසකටම ඇඟලුම් ඇණවුම් ලැබෙන්නේ යුරෝපය, එක්සත් රාජධානිය, ඇතුළු රටවලින්.

එහෙත්, ගෝලීය ආර්ථික අර්බුදය සහ තවත් කරුණු කිහිපයක් මත ඇඟලුම් ඇණවුම් මේ වනවිට අඩු වී තිබෙනවා.

ඇඟලුම් කර්මාන්තශාලා හිමියන් ප්‍රකාශ කරන්නේ සිය කර්මාන්තශාලා පවත්වා ගෙන යාම පවා මේ වනවිට අර්බුදයක පවතින බවයි ෴


හෙට (03) දක්වා විදුලි කප්පාදුවක් නොමැති බවට විදුලි බල මණ්ඩලයෙන් ප්‍රතිඥාවක්

(02.02.2023 – 14:06 +0530 – hirunews.lk/sinhala)

හෙට (03) දිනය දක්වා විදුලි කප්පාදුවක් නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (02) ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදුන්නා.

ඒ, උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලි කප්පාදුවක් නොකරන බවට බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ විදුලිබල මණ්ඩලය ඇතුළු පාර්ශව ලබාදුන් එකඟතාව කඩකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ගොනුකළ පැමිණිල්ල අද (02) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි මෙම පෙත්සම කැඳවනු ලැබුවේ.

එහිදී ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු පාර්ශව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට කියා සිටියේ මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් තම සේවාදායකයින්ට උපදෙස් ලබා ගැනීම සඳහා කාලය අවශ්‍ය බවයි.

එබැවින් මෙම පෙත්සම හෙට (03) දින කැඳවන ලෙස එම නීතිඥවරු ඉල්ලා සිටියා.

මෙහිදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ පෙන්වා දුන්නේ මෙය හදිසි කටයුත්තක් බැවින් කල් දැමීම නුසුදුසු බවයි.

මේ අතර රජයේ නව බදු ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් ඉදිරියේදී අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තිය සමිති පවසනවා.

විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මේ බව සඳහන් කළේ කොළඹ අද (02) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙම මාධ්‍ය හමුවට ඛනිජ තෙල් සංස්ථාව, ජාතික ජල සම්පාදන මණ්ඩලය සහ වරාය අධිකාරියේ වෘත්තිය සමිති නියෝජිතයින්ද එක්ව සිටියා.

එමෙන්ම, විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම සියයට 50 කට වැඩි ධාරිතාවයකින් තවදුරටත් පවතිනවා.

මේ කොළඹ අද (02) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විදුලි පාවිච්ච් කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජිව ධම්මික අදහස් දැක්වූවා.

+


උතුරේ ඉඩම් අක්කර 108 ක් හෙට (03) නිදහස් කෙරේ

(02.02.2023 – 14:14 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ආරක්ෂක අංශ භාරයේ පවතින උතුරේ ඉඩම් අක්කර 108 ක් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, එම ඉඩම් පවුල් 197 ක් අතර බෙදාදීම නිදහස් දිනයට සමඟාමීව හෙට (03) දිනයේ දී සිදුකිරීමට නියමිතයි ෴


නිදහස් දින විශේෂ සමරු මුද්දරය සහ සමරු කාසිය ජනපතිට

(02.02.2023 – 14:25 +0530 – hirunews.lk/sinhala)

75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සමරු මුද්දරය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විශේෂ සමරු කාසිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්වීම අද (02) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී සිදු වුණා.

සමරු මුද්දරය ජනමාධ්‍ය ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් ද සමරු කාසිය මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූවා.

සම්ප්‍රදායිව තැපැල් දෙපාර්තමේන්තුව විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ගයන්ට අනුකූලව රුපියල් 50 ක වටිනාකමකින් යුතුව නිකුත් කර ඇති මෙම සමරු මුද්දරය සහ මුල්දින කවරය අද (02) සිට දිවයිනේ සියලුම තැපැල් කාර්යාල සහ උපතැපැල් කාර්යාලවලින් අළෙවි කෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරන්නේ.

මේ හා සමගාමීව ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය විසින් මහනුවර, ත්‍රිකුණාමලය, කුරුණෑගල, ගාල්ල සහ මීගමුව ප්‍රදේශවල ස්ථාපිත කර ඇති විශේෂ මුද්දර කවුළු මගින් මෙම සමරු මුද්දරය සහ මුල්දින කවරය මිල දී ගැනීමට අවස්ථාව සළසා තිබෙනවා.

75 වන ජාතික නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ නිදහස් මුද්දර දැක්ම සහ කෞතුකාගාර ප්‍රදර්ශනය පෙබරවාරි 06 වනදා සිට 12 වනදා දක්වා පෙ.ව. 09:00 සිට ප.ව. 07:00 දක්වා කොළඹ 10 ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිත බව යි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ.

මේ අතර රුපියල් දහසක (1000) වටිනාකමකින් යුතු 75 වන නිදහස් දින සමරු කාසිය සංසරණය සඳහා නොවන අතර ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිකුත් කරන ලද 71 වන සමරු කාසිය මෙයයි.

’75’ අංකය විශාල ඉලක්කමකින් සහ ශ්‍රී ලංකා ජාතික ධජය ඔසවාගෙන සිටින ආකාරය කාසිය මධ්‍යයේ දැක්වෙන අතර කාසියේ ඉහළ දාරයේ පරිධියේ ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවලින් ‘නිදහස් සැමරුම’ ලෙස දැක්වෙන බවත් ‘1948 – 2023’ වර්ෂ කාසියේ පහළ දාරයේ පරිධියේ දැක් වෙනවා.

මෙහි මුහුණත වටිනාකම ‘1000’ විශාල ඉලක්කමින් කාසිය මධ්‍යයේ දැක්වෙන මෙහි සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් ‘රුපියල්’ යන වචන මුහුණත වටිනාකමට පහළින් දැක්වෙන අතර ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය මුහුණත අගයට ඉහළින් දැක්වෙනවා.

ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවලින් ‘ශ්‍රී ලංකා’ යන වචන කාසියේ ඉහළ දාරයේ පරිධියේ දැක්වෙනවා.


ජී.එල්. පීරිස් සහ ඩලස් අලහප්පෙරුම පක්ෂයෙන් ඉවතට – සාගර කාරියවසම්

(02.02.2023 – 14:32 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වත්මන් සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් සහ ඩලස් අලහප්පෙරුම ඇතු‍ලු ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණ හැරගිය සියලු දෙනා පක්ෂයෙන් ඉවත් කරන බව පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා.

ඔහු මේ බව පැවසුවේ, ‍‍පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණෙ පක්‍ෂ කාර්යාලයේ පැවති වි‍ශේෂ සාකච්‍ඡාවකින්අ නතුරුව මාධ්‍යට අදහස් දක්වමින්.

+


‘ස්ලේව් අයිලන්ඩ්’ නාමය ඉවත් කර ‘කොම්පඤ්ඤවීදිය’ ලෙස භාවිත කිරීමට උපදෙස්

(02.02.2023 – 15:49 +0530 – hirunews.lk/sinhala)

ඉංග්‍රීසි භාෂාවෙන් ‘ස්ලේව් අයිලන්ඩ්’ (Slave Island) හෙවත් ‘වහල් දූපත’ ලෙස යටත් විජිත සමයේ හැඳින්වූ ‘කොම්පඤ්ඤවීදිය’ භාෂා ත්‍රිත්වයෙන්ම ‘කොම්පඤ්ඤවීදිය’ ලෙස භාවිත කිරීමට කඩිනම් සංශෝධනයන් සිදුකරන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයාට එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුම් දී ඇති බව සඳහන්.

75 වැනි නිදහස් දිනයට සමඟාමීව ගෙන ඇති මෙම තීරණය සම්බන්ධයෙන් තැපැල්පතිවරයා සහ කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයා ද දැනුවත් කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *