ජනපතිට ජනතාව සමග ගිවිසුමක් නෑ – නීතිඥ උදය ගම්මන්පිල

ජනපතිට ජනතාව සමග ගිවිසුමක් නෑ – නීතිඥ උදය ගම්මන්පිල


ජනපතිට ජනතාව සමග ගිවිසුමක් නෑ – නීතිඥ උදය ගම්මන්පිල

(01.02.2023 – facebook.com/UdayaGammanpilaFanPage)

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හැකියාව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ජනවරමේ ඉතිරි කොටස ක්‍රියාත්මක කිරීමට බවත්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනවරම ලබා ගත් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නැති කාරණා ක්‍රියාත්මක කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ජනවරමක් නොමැති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.

පිවිතුරු හෙළ උරුමයේ නායකයා මේ බව සඳහන් කර සිටියේ අද දින (2023.02.01) එම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී නීතිඥ උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය :

රනිල්ට ජනතාව සමග ගිවිසුමක් නෑ

දැනට 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ක්‍රියාත්මක කිරීමට ඉතිරි වෙලා තිබෙන්නේ ජාතික ඉඩම් කොමිසම පිහිටුවීමත් පලාත් පොලිස් කොමිෂන් සභා 9 ක් පිහිටුවීමත් විතරයි. ජනපති රනිල් නැති බලයක් මවා ගෙන 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරනවාලු. රනිල්ට බලයක් නෑ කියන එකේ තාර්කික පසුබිම මොකක්ද? ජනතාව සහ ජනාධිපති අතර තිබෙන ගිවිසුම තමයි ජනපතිවරණයට දිනන අපේක්ෂකයා ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය. ගෝඨාභය ජනාධිපතිතුමා සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක කරන්න බැඳිලා හිටියා. ඒ වෙනුවට බැසිල් දැක්ම ක්‍රියාත්මක කරන්න ගිහින් ජනතාව ඔහුව එලවා ගත්තා.

අපේ රටේ ව්‍යවස්ථාවේ හැටියට ජනාධිපති කෙනෙක් ඉවත් වූ විට අතුරු මැතිවරණයක් පවත්වා ඉන් ජනාධිපතිවරයෙක් තේරී පත්වන්නේ නැහැ. ඉදිරි කාලය සඳහා පාර්ලිමේන්තුවයි ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගන්නේ. එහෙම නම් දැන් ජනාධිපතිවරයාට ජනවරමක් විදියට තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වරයාගේ ජනවරමයි. ඒ ජනවරම ඉතිරි කොටස ක්‍රියාත්මක කිරීම තමයි තුමාට පැවරී තිබෙන වගකීම වෙන්නේ.

එතුමාට ‘සෞභාග්‍යය දැක්මේ’ නැති වෙනස් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වෙලා තියනව නම් ඊලඟ ජනාධිපතිවරණය දිනලා එන්න ඕනෑ.

‘සෞභාග්‍යයේ දැක්මේ’ 13 සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරනවා කියලා නෑ. ඒකෙ තිබෙන්නේ නව ව්‍යවස්ථාවක් ගෙනැවිත් ඔය 13 තිබෙන ව්‍යවස්ථාව අහෝසි කරනවා කියලා. ඒ ජනවරම අනුව තමයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කමිටුව පත් කරලා නව ව්‍යවස්ථාවක් හැදුවේ. ඔන්න ඒක ජනාධිපති ලේකම් කාර්යාලයේ ලාච්චුවක් ඇති. ඒ ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරනවා මිස 13 ක්‍රියාත්මක කරන්න එතුමාට කවුරුවත් බලයක් දීලා නෑ.

13 සමග රනිල්ට පිස්සුද?

ජේ.ආර්.ගේ සිට ගෝඨාභය දක්වා සිටි ජනාධිපතිවරු හත්දෙනෙක් (7) 13 සම්පූර්ණයෙන් ක්‍රියාත්මක නොකිරීමට හේතුවක් තිබෙනවා. ඒක නොදැන 13 ක්‍රියාත්මක කරන්න ගියොත් ‘ඉරන කොටයක් මැද කූඤ්ඤයක් ගහලා තිබෙන්නේ මොකද’ කියලා නොදැන ලොකු වෙහෙසක් අරන් ඒක ගැලෙව්ව වඳුරාට වුණු දෙයමයි රනිල් ජනාධිපතිතුමාට වෙන්නේ කියන එක අපි එතුමාට අනතුරු ඇඟවීමක් විදියට කියනවා. එතුමා කියවන ඉංග්‍රිසි පොත්වල ඔය කතාව නැතිව ඇති. ඒ නිසා සිංහල දන්න උපදේශකයෙකු ගෙන් 13 ක්‍රියාත්මක කරන්න කලින් ඔය කතාව ජනාධිපතිතුමා අසා දැන ගත්තොත් ශරීර සෞඛ්‍යයට හොඳයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා 2001 දී සහ 2015 දී බලයට ඇවිල්ලා අතරමග යන්න වුණේ බලය බෙදීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න ගිය නිසා. ඒ නිසා ‘රෑ දෙපාරක්ම වැටුණු වලේ දවල් වැටෙන්න ඔන්න මෙන්න’ කියන අනතුරු ඇඟවීම අපි කරනවා. ‘එකම පරීක්ෂණය එකම කොන්දේසි යටතේ වෙනස් ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙන් යමෙක් වරින් වර කරනවා නම් ඔහු පිස්සෙක්’ කියලා කියන්නේ මම නොවේ, ඇල්බට් අයින්ස්ටයින්. ඒ වගේම අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා ‘මානසික රෝගයකට අපේ ජනාධිපතිවරයා ගොදුරු වුවහොත් ඔහුව තනතුරෙන් ඉවත් කළ යුතුයි දෝශාභියෝගයක් ගෙනල්ලා’ කියලා. ඇල්බට් අයින්ස්ටයින්ට අනුව නම් ජනාධිපතිතුමනි ඔබට හොඳටෝම පිස්සු. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නම් දැන් ඔබතුමාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන්න කාලෙ හරි කියන එක අපි එතුමාට සිහිපත් කරනවා.

පොලිස් බලතල නුදුන්නේ ඇයි?

හිටපු ජනාධිපතිවරු පලාත් සභාවන්ට පොලිස් බලතල නොදෙන්න හේතු තිබෙනවා. කොටි ත්‍රස්තවාදය පරාජය කළත් දෙමළ බෙදුම්වාදය පරාජය කරලා නෑ. ඒක ලංකාවෙන් පිටත වෙනදාටත් වඩා හොඳින් ක්‍රියාත්මකයි. අද වන විට භූමීයක් නොමැති රාජ්‍යයක් ලෙස දෙමළ ඊලම පිහිටුවා ඉවරයි. Transnational Government of Tamil Eelam නැති නම් ‘රාජ්‍යයන් පුරා විහිදුනු දෙමළ ඊලාම් ආණ්ඩුව’ නමින් ඒක හඳුන්වන්නේ. කොටි සංවිධානයේ ප්‍රධාන නීති උපදේශක ‘විශ්වනාදන් රුද්‍රකුමාරන්’ තමයි ඒකෙ අගමැති. ඒ අගමැතිවරයා ලෝකයේ රටවල්වල අගමැතිවරු මුණ ගැසෙමින් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර තුල දෙමළ ඊලමට භූමිය ලබා ගන්න සාකච්ඡා කරනවා.

පලස්තීනය, නැගෙනහිර තිමෝරය වැනි රටවල් මුලින්ම පිහිටුවූයේ භූමියක් නැතිවයි. අදටත් දලයි ලාමා තුමාගේ ටිබෙට් ආණ්ඩුව ඉන්දියාවේ ධර්මශාලාවේ තිබෙන්නේ භූමියක් නැතිවයි. දෙමළ ඊලම ‘විශ්වනාදන් රුද්‍රකුමාරන්’ නමැති ඔවුන් පත් කරගත් අග්‍රාමාත්‍යවරයා යටතේ පලස්තීනය, නැගෙනහිර තිමෝරය, ටිබෙට් රාජ්‍යය ගමන් කළ පාරේ ගමන් කරන බව අද අපි ආණ්ඩුවට මතක් කර දෙනවා.

දෙමළ ඊලම පිහිටුවීමේ සටන අතරමඟ නවතින්නේ ඔවුන්ගේ යුද බලය අහිමි වුණු නිසා. උතුරු පලාතට පොලිස් බලතල ලැබුණාම උතුරේ බෙදුම්වාදී බලවේග වල දේශපාලන අංශය වුණු දෙමළ ජාතික සංධානයට පොලිස් බලතල සහිත අවි ආයුධ දරන හමුදාවක් නිල වශයෙන් ලැබෙනවා. එදා විදේශ රටවල් කොටින්ට අවි පුහුණුව දුන්නා. අවි ආයුධ දුන්නා. නමුත් ඒවා කලේ හොර රහසේ. හෙලි කලාම ප්‍රතික්ෂේප කලා. මොකද ත්‍රස්තවාදින්ට උදව් කිරීම ජාත්‍යන්තර නීතියෙන් තහනම් නිසා. අනාගතයේ බෙදුම්වාදි යුද්ධය ඇති වෙන්නේ ලංකාවේ හමුදාවයි උතුරේ පොලිසියයි අතර. දෙකම නිල හමුදාවන්. ඒ නිසා එදා හොර රහසේ අන්තවාදීන්ට පුහුණුව සහ ආයුද ලබා දුන්න රාජ්‍යයන්ට පුළුවන් වෙනවා ප්‍රසිද්ධියේම ඇවිල්ලා ඒවා ලබා දෙන්න. මොකද ඔවුන් සහාය දෙන්නේ තවදුරටත් කොටි සංවිධාන‍ය කියන ත්‍රස්තවාදී සංවිධානයට නෙවෙයි ‘උතුරේ පොලිස් හමුදාව’ට.

රට ගිනි ගොඩක්, ලේ විලක් බවට පත් කරලා ජීවිත තිස් දහසක් (30,000) පමණ පූජාකරලා රැකගත්ත මේ රට දෙපලු කරන්න එපා කියන ඉල්ලීම අපි ජනාධිපතිතුමාගෙන් කරනවා. රට කැබලි වීම විතරක් නොවේ පොලිස් බලතල ලබා දීමෙන් සිදු වෙන්නේ. අපේ වගේ අපරාධ බහුල කුඩා රටක පොලිසි දහයක් (10) බිහි කිරීම මගින් අපරාධ මර්දනය, අන්තවාදීන් පිළිබඳ තොරතුරු රැස් කිරීම සම්පූර්ණයෙන්ම අඩපණ වෙනවා. අපි ඒක ඉදිරියේ දී පැහැදිලි කරනවා.

අද අප සිටින්නේ ලංකා ඉතිහාසයේ දැවැන්තම අර්බුදය හමුවේ. වටු රෑන දැල ඔසවාගෙන අහසට පියඹා ගිය ලෙසින්ම සමස්ත මිලියන 22 ජනගහනය එක මිටියට සමගියෙන් බැදිලා අර්බුදයට මුහුණ දෙන්න ඕන අවස්ථාවක අප මේ ඉන්නේ. අපේ සමාජයේ තියුණුම බෙදීම තියෙන ප්‍රශ්නය තමයි බලය බෙදීම. බලය බෙදීමේ ප්‍රශ්ණය නිසාම මේ රට ලේ විලක් බවට පත්වුණා. මේ සමස්ත ජාතියේම සමගිය වඩාත්ම වැදගත් මොහොතක බලය බෙදීම කියන වසර 70 ක් පරණ ප්‍රශ්නය ගෙනඑමින් අපේ සමාජයේ තියන සමගිය නැති කරන්න එපා කියලා අපි ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටිනවා.

ප්‍රශ්නය :
මැතිවරණ සඳහා ඔබ තුමන්ලාගේ පාර්ශවයේ සූදානම කොහොමද ?

පිළිතුර :
අපි මැතිවරණයට සූදානම්. අත්දැකීම් තිබෙන කුණු නොවූ චරිත අප පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කර තිබෙනවා. මේ නිසා මේ පළාත් පාලන මැතිවරණය තුළ විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට අපට හැකි වේවි යැයි අප බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය :
විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසම අතර දිගින් දිගටම ඇති වන ගැටලු සම්බන්ධයෙන් ඔබතුමා මොකද හිතන්නේ?

පිළිතුර :
ලංකාවේ තෙත් කලාපයේ වියලි කාලය වන ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ හැමදාමත් කළේ වැඩි මිලට තෙල් ගෙනල්ලා විදුලිය නිෂ්පාදනය කරන එක; ඒක කරන්න ඩොලර් නැති උනාම විදුලිය කප්පාදු කරන එක. හැමදාමත් අපි අහන ප්‍රශ්නය තමයි ඕක කරන්න ආණ්ඩුවක් ඕනෙද? බොහෝ රටවල විදුලියේ ඉහලම ඉල්ලුම වාර්තා වන්නේ දිවා කාලයේ. ඒ කර්මාන්තශාලා නිසා. අපේ රටේ ඉහළම විදුලි ඉල්ලම වාර්තා වන්නේ සවස 6 සිට රාත්‍රී 10 දක්වා. ඉන් අදහස් වන්නේ මේ විදුලි ඉල්ලුම ඇති කරන්නේ ගෘහස්ථ පරිභෝජනයෙන්. වහල මත සවි කරන සූර්ය පැනල පද්ධති හඳුන්වාදීම හරහා මෙයට විසඳුම් ගේන්න පුළුවන්. ඒ සඳහා සල්ලි අච්චු ගහලා සූර්ය පැනල ලබා ගැනීම සඳහා මිනිසුන්ට ණය ලබා දුන්නත් එය රටටත් වාසියක් ආණ්ඩුවටත් වාසියක්. නමුත් ඒ දිගුකාලීන විසඳුම ක්‍රියාත්මක නොකර තෙල් ගෙනැවිත් විදුලිය නිෂ්පාදනය කිරීමේ මේ මාෆියා ක්‍රමයට යටවීම නිසා තමයි ජනතාවට විදුලි බිල වැඩි වන්නේ. ඒ වගේම විදුලි කප්පාදුවකට මුහුණදීමට සිදුවී ඇත්තේ.

මෙම මාධ්‍ය අමු සඳහා පිවිතුරු හෙළ උරුමය මහරගම ආසන සංවිධායක කිංස්ලි නිහාල් කොළොන්නාව ආසන සංවිධායක අමිල මනතුංග යන මහත්වරුන්ද සහභාගී විය.

+

+++++++++

+


සාමාන්‍ය පෙළට අයදුම්පත් කැඳවීම අද සිට මාර්ගගත ක්‍රමයට

(01.02.2023 – 07:43 +0530 – hirunews.lk/sinhala)

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම්පත්‍ර කැඳවීම අද (01) සිට මේ මස 28 වනදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදු කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව සියලු ම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පතිවරයා මගින් ද පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවමද අදාළ උපදෙස් අනුව මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

විභාග දෙපාර්තමේන්තුවේ https://www.doenets.lk හෝ
https://onlineexams.gov.lk/eic/index.php/clogin/
යන නිල වෙබ් අඩවිවලට පිවිස හෝ විභාග දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකථන යෙදවුම වන Exams Sri Lanka (DoE) වෙත පිවිස අදාළ අයදුම්පත්‍ර යොමු කළ හැකියි.

අයදුම්පතේ මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවක දී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබාගන්නා ලෙස ද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

අයදුම්කරුවන් ඉදිරිපත්කිරීම සඳහා භාවිත කළ යුතු පරිශීලක නාම සහ මුරපද පාසල් ප්‍රධානීන් වෙත ලබා දී ඇති බවද අදාළ නිවේදනයේ සඳහන්.

මේ මස 28 වනදා මධ්‍යම රාත්‍රී 12 න් පසුව සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් කළ නොහැකි අතර, ඉන්පසුව මාර්ගගත ප්‍රවේශය වසා තබන බවයි විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

කිසිදු හේතුවක් මත අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නො කරන බව ද ඔවුන් අවධාරණය කරනවා ෴


නීතිවිරෝධී ලෙස ජංගම දුරකථන ආනයනය වැළැක්වීමට පියවර

(01.02.2023 – 08:31 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ලෙස සිදු කෙරෙන ජංගම දුරකථන ආනයනය වැළැක්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ජංගම දුරකථන ආනයනකරුවන් සමඟ මුදල් අමාත්‍යාංශයේ ඊයේ (31) පැවති සාකච්ඡාවක දී ඔහු කියා සිටියේ, මේ හේතුවෙන් රටට විශාල බදු ආදායමක් අහිමි වන බව යි.

නීත්‍යානුකූල ව ආනයනය කෙරෙන සියලුම දුරකතනවල ඉමි අංක විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි කෙරෙනවා.

එහෙත් නීතිවිරෝධී ලෙස ආනයනය කෙරෙන දුරකතන එවැනි ලියාපදිංචි කිරීමක් සිදු නො කරන බව යි එහි දී අනාවරණ වුණේ.

නීතිවිරෝධී ලෙස ජංගම දුරකතන ආනයනය වැලැක්වීමට ගත හැකි ක්‍රියාමාර්ග ගැන ලබන සඳුදා වන විට වාර්තාවක් ලබාදෙන ලෙසයි අමාත්‍යවරයා එහි දී දැනුම් දී ඇත්තේ.

+


රාජ්‍ය සේවා කොමිසමේ තීරණය ගැන පරිපාලන සේවා සංගමයට සැකයක්

(01.02.2023 – 09:13 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නව ලේකම්වරයෙකු පත් කරගැනීමේ ක්‍රියාපටිපාටිය වෙනස් කිරීමට පියවර ගෙන ඇත්තේ, රජයට අවශ්‍ය පුද්ගලයෙකු එම තනතුරට තෝරාගැනීමට පවතින අවශ්‍යතාවය නිසාදැයි සැක මතුවන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසනවා.

ඒ අනුව, මෙම තීරණය අත්හිටුවන ලෙස කොමිෂන් සභාවේ සභාපතිවරයාට දැනුම් දුන් බවයි එම සංගමයේ සභාපති රෝහණ ද සිල්වා කියා සිටියේ.

පුරප්පාඩුව පවතින ලේකම් ධුරයට සුදුස්සෙකු තෝරාගැනීම සඳහා අයදුම්පත් පසුගිය වසරේ දෙසැම්බර් මස 14 වැනිදා කැඳවනු ලැබුවා.

ඉතිහාසයේ ප්‍රථම වතාවට එම ධුරය සඳහා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ වසර 8 ක් සපුරා තිබීම අනිවාර්ය කර තිබූ අතර වයස් සීමාව මෙවර ලේකම්වරයෙකු තෝරා පත්කර ගැනීමේ දී සළකා බලන්නේ නැහැ.

පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරින් 423 දෙනෙකු සිටින අතර මෙම නව ක්‍රමවේදයට අනුව වසර 08 ක් සපුරා තිබෙන නිලධාරින් සිටින්නේ, 79 දෙනෙකු පමණයි.

ඉන් 70 දෙනෙකුම මෙම වසරේ දී විශ්‍රාම යාමට නියමිතව ඇති අතර ඉතිරි 9 දෙනා අයදුම් කිරීමට සුදුකම් සපුරා තිබෙනවා.

කෙසේ වෙතත් ඔවුන් අතරින් 5 දෙනෙකු පමණක් ලේකම් ධුරය සඳහා අයදුම් කරනු ඇති බවයි වාර්තා වන්නේ.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වර්තමාන සාමාජිකයන්ගේ සේවා කාලය අවසන් වීමට ආසන්නයේ මෙවැනි ආකාරයෙන් රාජ්‍ය ප්‍රතිපත්තියට පටහැනිව කටයුතු කිරීම ආන්දෝලනාත්මක බවයි කොමිෂන් සභාවේ නිලධාරින් පෙන්වා දෙන්නේ.

මෙලෙස රාජ්‍ය ප්‍රතිපත්තියට බැහැරව අයදුම්පත් කැඳවීම පිළිබඳ ජනාධිපති ලේකම්වරයා විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් හේතු විමසා ලිපියක් ද යොමුකර තිබෙනවා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මේ වනතෙක් අදාළ පාර්ශවයන්ගෙන් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි වාර්තා වන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *