සැමියාගේ විශ්‍රාම වැටුප ඉල්ලා අබාධිත රණවිරු බිරිඳක් නිහඬ විරෝධයක

සැමියාගේ විශ්‍රාම වැටුප ඉල්ලා අබාධිත රණවිරු බිරිඳක් නිහඬ විරෝධයක


සැමියාගේ විශ්‍රාම වැටුප ඉල්ලා අබාධිත රණවිරු බිරිඳක් නිහඬ විරෝධයක

(31.01.2023 – 11:02 +0530 – hirunews.lk/sinhala)

වසර 22 ක පූර්ණ සේවා කාලයකින් පසුව විශ්‍රාම ලබා සිටියදී මිය ගිය තම රණවිරු සැමියාගේ විශ්‍රාම වැටුප මාස 07 කට ආසන්න කාලයක් ගතවුව ද මෙතෙක් තමන්ට නො ලැබීම පිළිබඳ පවසමින් රණවිරු බිරිඳක් නිහඬ විරෝධතාවක නිරත වී තිබෙනවා.

මෙම කාන්තාව පාදයක් ද අහිමි ව රෝගී තත්ත්වයෙන් පසුවන බව ද වාර්තා වනවා.

ඉපලෝගම රණජයපුර රණවිරු ගම්මානයේ දී ඇය විරෝධතාවයේ නිරත වී ඇති අතර, තම සැමියාගේ විශ්‍රාම වැටුප කඩිනමින් ලබා දෙන ලෙස යි ඇය ඉල්ලා සිටින්නේ.

මිය ගිය මෙම රණවිරුවා යුධ හමුදා ලාන්ස් කෝප්‍රල්වරයකු වන අතර, ඔහුගේ අබාධිත බිරිඳ ඉපලෝගම රණජයපුර රණවිරු ගම්මානයේ පදිංචි ගම්මානයේ පදිංචි ආර්.කේ.පී. විමලාවතී නමැති 57 හැවිරිදි කාන්තාවක්

එම රණවිරුවා ජීවත් ව සිටි සමයේ පටන් එම නිවසේ ආදරයෙන් ඇති දැඩි කළ බිංදු නමැති සුරතල් සුනඛයා ද ඇය සමඟ එම නිහඩ විරෝධතාවයට එක්ව සිටීම ද විශේෂත්වයක්.

වසර 22 ක යුද හමුදා පූර්ණ සේවා කාලය තුළ මෙඅ රණවිරුවා පුර්ණභූමි පදක්කම, උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම, රිවිරැස මෙහෙයුම් පදක්කම, 50 වන නිදහස් ස්වර්ණ ජයන්ති පදක්කම, 50 වන යුද්ධ හමුදා සංවත්සර පදක්කම, නැගෙනහිර මානුෂිය මෙහෙයුම් පදක්කම හා උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම ආදී පදක්කම්වලින් ද පිදුම් ලබා ඇති බව යි ඔහුගේ බිරිඳ පවසන්නේ.


නිරාගමික මිසදිටු සේපාල් ලබ්බා අමරසිංහ යළි රිමාන්ඩ්

(31.01.2023 – 11:10 +0530 – hirunews.lk/sinhala)

= සේපාල් අමරසිංහ යළි රිමාන්ඩ් =

දළදා වහන්සේට අපහාස වන අයුරෙන් ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සේපාල් අමරසිංහ ලබන මස 14 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ සැකකරු අද (31) පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන කුරුප්පු අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සිය සේවාදායකයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව අයැද සිටීමට සූදානම් බවයි.

ඒ පිළබඳව තමන් නීතිපතිවරයා වෙත කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බවද නීතිඥ දර්ශන කුරුප්පු අධිකරණය හමුවේ දන්වා සිටියා.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කරමින් සඳහන් කළේ සැකකරුගේ කටහඩ පිලිබඳ පරීක්ෂණයක් සිදුකිරීමට අවශ්‍ය බැවින් ඒ සඳහා ඔහු රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

ඒ අනුව එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් සැකකරු ලබන 02 වනදා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට නියෝගයක් නිකුත් කළා ෴


මෛත්‍රීගෙ සමාව අපි පිළිගන්නේ නෑ! – කතෝලික සභාව

(31.01.2023 – 15:11 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කතෝලික ප්‍රජාවගෙන් සමාව අයැදීම කතෝලික සභාව නොපිළිගන්නා බව සමාජ සන්නිවේදනය සඳහා ජාතික කතෝලික අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පවසනවා.

+


නව දෙමුහුන් ඇන්තූරියම් විශේෂ සහ නව අන්නාසි ප්‍රභේද හඳුනා ගැනේ

(31.01.2023 – 15:37 +0530 – hirunews.lk/sinhala)

නව දෙමුහුන් ඇන්තූරියම් විශේෂ 44 ක් සහ අන්නාසි ප්‍රභේද 02 ක් කුලියාපිටිය, මාකඳුර කෘෂිකර්ම පර්යේෂණ ආයතනය විසින් හදුනාගෙන තිබෙනවා.

ඇන්තූරියම් වගාව, ස්වයං රැකියාවක් ලෙස ප්‍රවර්ධනය වී ඇති බැවින් කඩිනමින් එම ප්‍රභේද ඉදිරියේ දී රටට හදුන්වා දෙන බවයි මාකඳුර කෘෂිකර්ම පර්යේෂණ ආයතනය සඳහන් කළේ.

මෙම ඇන්තූරියම් විශේෂ 44 ට අමතරව ‘ලංකා බියුටි’ සහ ‘ලංකා කුමාරි’ ලෙස නම්කරන ලද නව ඇන්තූරියම් විශේෂ 02 ක් ද හඳුනාගෙන ගෙන තිබෙනවා.

මේ අතර රසායනික පොහොර යෙදීමකින් තොරව පහසුවෙන් වගාකළ හැකි කටු රහිත නව අන්නාසි ප්‍රභේද 02 ක් ද මාකඳුර කෘෂිකර්ම පර්යේෂණ ආයතනය හදුනාගෙන ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ ෴


පුංචි ඡන්දයට අපේක්ෂකයන් 80,000 ක්

(31.01.2023 – 16:08 +0530 – hirunews.lk/sinhala)

මෙවර පළාත්පාලන ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයන් 80,720 දෙනෙකු ඉදිරිපත් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ, පිළිගත් දේශපාලන පක්ෂ 58 කින් සහ ස්වාධීන කණ්ඩායම් 329 කින්. පළාත්පාලන ආයතන 339 කට අදාළව මෙවර ඡන්ද විමසීම පැවැත්වෙන්නේ මාර්තු මස 09 වනදායි.

ඊට අදාළව නාමයෝජනා භාරගැනීම පසුගියදා අවසන් කෙරුණු අතර, තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාරගැනීමේ කටයුතු ද මේ වනවිට අවසන් කර තිබෙනවා.

එමෙන්ම මැතිවරණ කොමිසමේ සහ ඡන්දයට ඉදිරිපත්වන අපේක්ෂකයින් සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ඉහළ දමන ලෙස මැතිවරණ කොමිසන් සභාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන්.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීමේ දී රාජ්‍ය සම්පත් අවභාවිත වීම සම්බන්ධයෙන් රාජ්‍ය සම්පත් භාරව සිටින සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අද (31) උදෑසන මැතිවරණ කොමිසම වෙත කැඳවා තිබුණා.

පළාත් පාලන ආයතන විසුරුවා හැර නොමැති අවස්තාවක දී ඡන්ද විමසීම අතරතුරදී සිදුවිය හැකි රාජ්‍ය දේපල අවභාවිත කිරීම් වැලැක්වීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කරන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

මේ අතර කඩුවෙල මහ නගර සභාව, මැතිවරණ පනත උල්ලංගනය වන අයුරින් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් වන පෙත්සමක් කඩුවෙල මහ නගර සභාවේ නියෝජිතයින් පිරිසක් අද (31) මැතිවරණ කොමිසමට පෙත්සමක් භාරදී තිබුණා.

එහි නගරාධිපති හා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සංවර්ධන යෝජනා වෙනුවෙන් රුපියල් මිලියන 1,000 කට අසන්න මුදල් අනුමත කිරීමේ සූදානමක් වහාම වැලැක්වීමට කටයුතු කරන ලෙසයි එමඟින් ඔවුන් ඉල්ලා සිටියේ.

මේ අතර මහ මැතිවරණයක් ඉල්ලමින් එක්සත් ලංකා පක්ෂයේ මහ ලේකම් දීපාල් රොද්‍රිගූ ද මැතිවරණ කොමිසමට අද (31) සන්දේශයක් භාරදෙනු ලැබුවා ෴

+

කායික දුබලතාවයන්ගෙන් යුත් පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමට ඉල්ලුම් පත්‍ ප්‍රදේශයේ තේරීම්භාර නිලධාරියා වෙත ඉදිරිපත් කළ යුතු බව මැතිවරන කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක නිවේදනය කර තිබෙනවා.

මාර්තු මස 02 වැනිදාට පෙර එම ඉල්ලුම් පත් භාර දිය යුතු අතර, එම අයදුම්කරුවන්ට ප්‍රවාහන පහසුකම් සඳහා අවසර පත් නිකුත් කරන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.


ඉදිරි පැය 36 තුළ පළාත් කිහිපයකට තද වැසි

(31.01.2023 – 16:37 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි පැය 36 තුළ උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 150 ක පමණ ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම, සෙසු ප්‍රදේශවලට ද මිලි මීටර 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ ෴


පාසල් පෝෂණ ආහාර වැඩසටහනේ හිඟ මුදල් ගෙවා දැමේ

(31.01.2023 – 17:30 +0530 – hirunews.lk/sinhala)

පාසල් පෝෂණ ආහාර වැඩසටහන යටතේ පළාත් මට්ටමින් ආහාර සැපයුම්කරුවන්ට ගෙවිය යුතුව තිබූ රුපියල් බිලියන 2.4 ක මුදල මේ වනවිට පළාත් ගිණුම්වලට බැර කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ, පසුගිය වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලට අදාළව මෙම මුදල් බැරකර ඇති බවයි.

අද (31) දිනයේ දී ඊට අදාළ මුදල් ගිණුම්වලට බැරකර ඇති අතර, ආහාර සැපයුම්කරුවන්ට කළාප අධ්‍යාපන කාර්යාල හරහා ගෙවීම් කටයුතු මේ වනවිටත් සිදු කෙරෙනවා.

වැඩිම මුදල වන රුපියල් 39,94,18,020 ක මුදල බස්නාහිර පළාතේ සැපයුම්කරුවන් වෙනුවෙන් බැර කර ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා ෴


ආර්ථික මධ්‍යස්ථානවල ඇති වෙළඳසැල් ගැන තීරණයක්

(31.01.2023 – 17:54 +0530 – hirunews.lk/sinhala)

ආර්ථික මධ්‍යස්ථානවල අතුරු බදු දී ඇති වෙළඳසැල්, දැනට වෙළඳාමේ නියැලෙන පිරිස් වෙතම පවරා දීමට කටයුතු යොදන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, දිස්ත්‍රික් ලේකම්වරුන්ට අද (31) උපදෙස් ලබා දී තිබෙනවා.

දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථානවල කටයුතු සොයාබැලීම පිළිබඳ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අද (31) පැවැති අතර, එහිදියි අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *