පොලිස් පරීක්ෂණ ගැන මැතිවරණ කොමිසමේ සභාපති නොසතුටින්

පොලිස් පරීක්ෂණ ගැන මැතිවරණ කොමිසමේ සභාපති නොසතුටින්


පොලිස් පරීක්ෂණ ගැන මැතිවරණ කොමිසමේ සභාපති නොසතුටින්

(30.01.2023 – 19:32 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට එල්ලවී ඇති තර්ජන සම්බන්ධයෙන් පොලිසිය සිදුකරන විමර්ශන පිළිබඳ සෑහිමකට පත්විය නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා ප්‍රකාශ කළා.

අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමේ දැන්වීම ගැසට් පත්‍රයේ පළකිරීම සඳහා දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින් විසින් අද (30) දිනයේ රජයේ මුද්‍රණාලය වෙත යොමුකර ඇති බවයි.

එම දැන්වීම් මුද්‍රණය කිරීම අද (30) දිනයේ සිදුකරන බව අපකළ විමසීමකදී රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංඟානි ලියනගේ ප්‍රකාශ කළා.

+


‘සිංහල සංස්කෘතික ආයතනය’ට මොකද වෙන්නේ ?

(30.01.2023 – 21:59 +0530 – hirunews.lk/sinhala)

‘සිංහල සංස්කෘතික ආයතනය’ පවත්වාගෙන යාම සහ එහි ඉදිරි කටයුතු වෙනුවෙන් සුදුසු අමාත්‍ය මණ්ඩල සංදේශයක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක වෙත උපදෙස් ලබා දුන්නා.

මෙරට සංස්කෘතික අනන්‍යතාව සුරකින සිංහල සංස්කෘතික ආයතනයේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම වෙනුවෙන් සංස්කෘතික අමාත්‍යාංශය හා සිංහල සංස්කෘතික ආයතනය එක්ව ඒකාබද්ධ කමිටුවක් පත් කරගන්නා ලෙස ද ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබුවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම උපදෙස් දෙනු ලැබුවේ සිංහල සංස්කෘතික ආයතනයේ භූමිය සම්බන්ධව අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සකච්ඡාවේදී.

සිංහල සංස්කෘතික ආයතනය පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුනා.

සිංහල සංස්කෘතික ආයතනය පවතින භූමියේ වාණිජමය වටිනාකම ඉතා ඉහළ බැවින් ආයතනයේ ගොඩනැඟිලි පහසුකම් සංවර්ධනය කර ආයතනයට ගැළපෙන ක්‍රියාකාරකම් මගින් ආදායම් ඉපැයීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසත්, ඒ සඳහා යම් මූල්‍ය ප්‍රතිපාදනයක් අවශ්‍ය නම් එය සංස්කෘතික අමාත්‍යාංශය හරහා ලබාදීමට අවශ්‍ය කටයුතු කළ හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළා.

දැනට සිංහල සංස්කෘතික ආයතනයේ සාමාජිකයෝ 300 ක් පමණ සිටින අතර, තවදුරටත් එම සාමාජිකත්වය පුළුල් කර උගත් තරුණ පරපුරට අවස්ථාව සළසා දීම තුළින් නව අදහස් ලබාගත හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, සිංහල සංස්කෘතික ආයතනයේ හිටපු සභාපති ජීවන් කුමාරතුංග සහ සිංහල සංස්කෘතික ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ අදාළ ආයතනවල රාජ්‍ය නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියා ෴


මහ දවල් සිදුකළ රුපියල් ලක්ෂ 20 මුදල් කොල්ලය වැළකූ පොලිස් වීරයෝ

(30.01.2023 – 21:36 +0530 – sinhala.adaderana.lk)

රුපියල් ලක්ෂ 20 ක මුදලක් සොරකම් කර පළායමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු (2) පසුපස පන්නාගොස් අත්අඩංගුවට ගත් පුවතක් කැබිතිගොල්ලෑව ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 32 හැවිරිදි වියේ පසුවන ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි (2).

ඉන් එක් අයෙකු යුද හමුදා රියදුරෙකු බවට හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

සැකකරුවන් දෙදෙනා (2)ගෙන් එක් අයෙකු තමන් නාවික හමුදාවේ කපිතාන්වරයෙකු බවට ව්‍යාජ ලෙස හඳුන්වාදෙමින් මෙලෙස රුපියල් ලක්ෂ 20 ක මුදලක් සොරකම් කර ඇත.

එහිදී ඔහු ව්‍යාපාරිකයෙකුට පවසා ඇත්තේ පූනෑව නාවික හමුදා කඳවුරේ ඩීසල් සහ ඔයිල් ටෙන්ඩර් ක්‍රමයට ලබාදෙන බවත් රුපියල් ලක්ෂ 22 ක් පමණ වටිනා ඩීසල් සහ ඔයිල් බැරල් 20 ක් රුපියල් ලක්ෂ 20 ක මුදලකට ටෙන්ඩර් ක්‍රමයෙන් බැහැරව අද දිනයේ ලබා ගත හැකි බවය.

ඒ අනුව සැකකරුවන්ගේ උපදෙස් පරිදි අදාළ ව්‍යාපාරිකයා මුදල් රැගෙන කුලී ලොරි රථයකින් පූනෑව නාවික හමුදා කඳවුර අසලට පැමිණ තිබේ.

එහිදී ප්‍රථමයෙන් ඔවුන් අසලට පැමිණ ඇති සැකකරුවන් කඳවුරතුළට පිවිසීම සඳහා අවසර ලබාගත යුතු බව පවසමින් ව්‍යාපාරිකයාගේ හැඳුනුම්පත සහ ලොරි රථ රියදුරුගේ රියදුරු බලපත්‍රය ඉල්ලාගෙන නාවික හමුදා කඳවුරේ ප්‍රධාන දොරටුව අසලට ගොස් ඇත.

අනතුරුව නැවත පැමිණි සැකකරුවන් ව්‍යාපාරිකයාට පවසා ඇත්තේ ඒ සඳහා අවසර හිමිවූ බවත් අදාළ රුපියල් ලක්ෂ 20 ක මුදල ඔවුන් වෙත ලබාදෙන ලෙසටය.

පසුව මුදල් සැකකරුවන් වෙත ලබාගැනීමෙන් අනතුරුව ඔවුන් පසුපස ලොරි රථය ධාවනය කරගෙන එන ලෙස පවසා එක්වරම යතුරුපැදිය පණගන්වා ඔවුන් එම ස්ථානයෙන් පළාගොස් ඇත.

පසුව ව්‍යාපාරිකයාද අදාළ ලොරි රථයෙන් ඔවුන් පසුපස හඹාගොස් තිබේ.

එම අවස්ථාවේ පූනෑව නගරයේ රාජකාරියේ යෙදී සිට ඇති කැබිතිගොල්ලෑව රථ වාහන අංශයේ පොලිස් සැරයන් රන්බණ්ඩා විසින් එම යතුරුපැදිය ගැන සැකසිතී එය නවතන ලෙසට සංඥා නිකුත් කළද සැකකරුවන් නොනවත්වා එම ස්ථානයෙන්ද පළාගොස් තිබේ.

පසුව සැකකරුවන් පිළිබඳව ඇතිවූ සැකය මත කඩිනමින් ඔවුන්ද සැකකරුවන් පසුපස ලුහුබැඳීම ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

ක්ෂණයකින් ක්‍රියාත්මක වූ සැරයන් රන්බණ්ඩා විසින් මැදවච්චිය ප්‍රදේශයේ අධිවේගී යතුරුපැදිවල රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ටද සැකකටයුතු යතුරුපැදිය ගැන දැනුම්දී තිබේ.

ඒ අනුව එම නිලධාරීන්ද යතුරුපැදිය නවතන ලෙසට සංඥා කළද එයද නොතකා සැකකරුවන් පළාගොස් තිබේ.

පසුව පොලිස් නිලධාරීන් අඛණ්ඩව යතුරුපැදිය හඹාගොස් ඉකිරිගොල්ල පාසල අසලදී පළායමින් සිටි සැකකරුවන් දෙදෙනා (2) අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය සහ පූනෑව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

පොලීසිය විසින් ක්ෂණිකව ක්‍රියාත්මක වීම නිසා සිදුවන්නට ගිය විශාල සොරකමක් මෙලෙස වළක්වා ගැනීමට හැකියාව ලැබුණි ෴


Little Hearts වෙනුවෙන් දැවැන්ත මුදලක්

(30.01.2023 – 21:15 +0530 – sinhala.adaderana.lk)

‘ලිට්ල් හාර්ට්ස්’ ව්‍යාපෘතියට STAR POINTS පරිත්‍යාග කරන ලෙස ‘මනුසත් දෙරණ’ කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ලැබුණු ‘ඩයලොග් STAR POINTS’ එකතුව රුපියල් කෝටි දෙකහමාර (2,50,00,000) ඉක්මවා ගොස් තිබේ.

අපගේ ඉල්ලීමට අනුව ඔබ පරිත්‍යාග කළ STAR POINTS පරිත්‍යාගයෙන් ලද මුදල නිල වශයෙන් ‘ලිට්ල් හාර්ට්ස්’ අරමුදල වෙත ප්‍රදානය කිරීම අද (3) සිදුකෙරුණි.

හදවතේ සිදුරු නිසා මෙලොව හැරයන දහස් ගණනක් වූ පුංචි පැටවුන්ගේ ජීවිත රැකගන්නට දියත් කෙරුණු ‘ලිට්ල් හාට්ස්’ ව්‍යාපෘතියේ ඉලක්කය, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල සඳහා මහල් 12 කින් සමන්විත අංගසම්පූර්ණ හෘද හා වෛද්‍ය දැඩි සත්කාර ඒකකයක් ඉදිකිරීමය.

ඒ සඳහා වැයවන මුදල රුපියල් බිලියන 2 කි.

ඊට අරමුදල් එක්රැස්කිරීම ඇරඹුණේ 2016 වසරේදීය.

ඒ ‘මනුසත් දෙරණ’ සහ ‘ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ’ මැදිහත්වීමෙනි.

අරමුදල සම්පාදනයේ‍ එක් පියවරක් ලෙස ‘මනුසත් දෙරණ’, ඩයලොග් පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කළේ සෑම වසරකම අවසන් දිනට කල්පිරෙන STAR POINTS අරමුදලට පිරිනමන ලෙසටය.

ඒ ඉල්ලීමට සංවේදී වූ කාරුණික හදවත් ලක්ෂ ගණනක් අප සමග එක්වූයේ මිනිස්කමට උපරිම අරුතක් ගෙනදෙමිනි.

පසුගිය වසර අවසානයේ පරිත්‍යාග කෙරුණු STAR POINTS, රුපියල් දෙකෝටි හැත්තෑ අට ලක්ෂ දාහතරදහස් පනස් අටයි ශත හැටහතරක මුදල (27,814,058.64) ‘ලිට්ල් හාට්ස් අරමුදල’ වෙත පිරිනැමීම ඩයලොග් ආයතනයේදී අද සිදුකෙරුණි.

පරිත්‍යාගශීලී ඔබේ දායකත්වයෙන් මේ වනවිට අරමුදලට රුපියල් බිලියනයක පමණ මුදලක් එකතු වී තිබේ.

පුංචි පැටවුන්ගේ හදවත් අකලට නතරවෙන්නට ඉඩ නොදී අප හා එක්වූ සුවහසක් ඩයලොග් පාරිභෝගික ඔබ සැමට ‘දෙරණ’ අප ආචාරය පිරිනමන අතර මෙම උතුම් අරමුණ සැබෑවන තෙක් අඛණ්ඩව එම දායකත්වය ලබාදෙන ලෙස ‘මනුසත් දෙරණ’ ඔබෙන් යළිත් ඉල්ලා සිටියි.

+


ජනාධිපතිවරු 7 දෙනෙකු නොකළ දේ, එනම් 13 සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට ජනාධිපති රනිල් උත්සාහ කරද්දී ජීවිත කාලයක් ඊට විරුද්ධ වූ දිනේෂ් ගුණවර්ධන මොකද කියන්නේ? – මහාචාර්ය චන්න ජයසුමන ප්‍රශ්න කරයි

(30.01.2023 – 17:18 +0530 – lankaleadnews.com)

ජනාධිපතිවරුන් 7 දෙනෙකු විසින් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට උත්සාහ නොකළේ ඒ මගින් රට බෙදුම්වාදයේ ගොදුරක් වන නිසා බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා තවදුරටත් ප්‍රශ්න කළේ ජීවිත කාලයක් 13 ට විරුද්ධව සටන් කළ දිනේෂ් ගුණවර්ධන මහතා අගමැති පුටුවේ වාඩිවී ඊට පක්ෂ වන්නේ කෙසේ දැයි යනුවෙනි.

ඊට අමතරව ජාතික ජනබලවේගයට සහ ජනතා විමුක්ති පෙරමුණට ද 13 බලාත්මක කිරීම පිළිබදව තම මතය රටට කියන ලෙසට ඔහු අභියෝග කළේය.

+


බස්රථ රියදුරුගේ ‘තැනට සුදුසු නුවන’ නිසා මගීන් 50 කට අධික පිරිසකගේ ජීවිත බේරේ

(30.01.2023 – 15:47 +0530 – lankadeepa.lk)

බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ බසයක තිරිංග ක්‍රියාවිරහිත වී ප්‍රපාතයට ඇදී යද්දී බස් රථය පස් කන්දකට අල්ලා නතර කරගැනීමට එහි රියැදුර සමනත්වීම නිසා මගීහු පනහකට (50) අධික මගින් පිරිසකගේ ජීවිත බේරා ගැනීමට හැකි වී ඇතැයි පොලීසිය කියයි.

මෙම බස් රථය හපුතලේ බෙරගල දැඩි බෑවුම් සහිත මාර්ගයේ ධාවනය වෙමින් තිබියදී එක්වරම තිරිංග ක්‍රියාවිරහිත වී ඇති බවත් බස් රථය වේගයෙන් පහළට ඇදී යද්දී දකුණු පස කාණුවක් හරහා පස් කණ්ඩියකට අල්ලා බසය නතර කර ගත් බවත් බස් රථයේ රියදුරු ගේ දස්කමින් සිය ජීවිත බේරා ගැනීමට හැකිවූ බවත් එම බස් රථයේ සිටි මගීහු පැවසූහ.

++++++++

+


ගොඩ ආ ‘මිනිමුතු මෝරා’

(30.01.2023 – 19:33 +0530 – lankadeepa.lk)

මාදැලකට හසුවි නාවක්කාඩු වෙරළකට ආ දැවැන්ත ‘මීනිමුතු මෝරකු’ නාවික හමුදා ‘වෝටර් ජේට්’ යාත්‍රාවකින් ධීවරයන්ගේ සහයෝගයෙන් නැවත මුහුදට යැවිමට කටයුතු කළ බව නොරෝච්චෝල පොලිසිය 30 කියයි.

අඩි 38 කට ආසන්න දිගකින් යුතු කිලෝ 4000 කට වඩා බරකින් යුත් දැවැන්ත මීනිමුතු මෝරේකු මෙසේ පැමිණ ඇති බව කියයි.

ගොඩට ආ මෝරා මාදැලේ හිමිකරුවන් හා ආසන්නයේ සිටි ධිවරයින් පිරිසක් මෙම මීනිමුතු මෝරා මුහුදට යැවිමට කටයුතු කර තිබුණද නොහැකි විය.

එම ස්ථානයට පැමිණි නොරෝච්චෝල පොලිසිය හා ඉලන්තඩිය වනජීවි නිළධාරි කාර්යාලයේ නිළධාරින් නාවික හමුදාව දැනුවත් කිරීමේන් පසු මෙම මිනිමුතු මෝරා මුහුදට රැගෙන ඇදගෙන යාමට ‘වෝටර් ජේට්’ යාත්‍රාවකින් කඹ ආධාරයෙන් පැය තුනකට (3) පසු මහ මුහුදට රැගෙන යාමට හැකිවු බව පොලිසිය කියයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *