මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට තර්ජනාත්මක ඇමතුම් ආවේ ඩුබායිවලින්

මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට තර්ජනාත්මක ඇමතුම් ආවේ ඩුබායිවලින්


මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට තර්ජනාත්මක ඇමතුම් ආවේ ඩුබායිවලින්

(30.01.2023 – dinamina.lk)

= මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට තර්ජනාත්මක ඇමතුම් ආවේ ඩුබායිවලින් – දුරකතනයේ හිමිකරු ඩුබායිවල ඉන්න බලපිටියේ කුඩුකාරයෙක් ! – තවත් අයට ඇමතුම් ගත්තාදැයි විමර්ශන =

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් තිදෙනකුට (3) මේ වන විට ලැබී ඇති තර්ජනාත්මක දුරකතන ඇමතුම් සහ ‘වට්ස් ඇප්’ ඇමතුම් සියල්ලක්ම ඩුබායි සිට ලැබී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශනවලින් හෙළි වී තිබේ.

මෙරට දුරකතන සමාගමකට අයත් ජංගම දුරකතන සිම්කාඩ්පතකින් එම ඇමතුම් ලැබී ඇත්තේ ඩුබායි සිට ජාත්‍යන්තර දුරකතන ඇමතුමක් ලෙසින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත. මෙම දුරකතන සිම්කාඩ්පත ලබාගෙන ඇත්තේ ද මේ වන විට ඩුබායි හි රැඳී සිටින මත්කුඩු පානය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පුද්ගලයකුගේ ජාතික හැඳුනුම්පතක් උපයෝගි කරගෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය. බලපිටියේ පදිංචිකරුවෙක් වන ඔහු වසරක පමණ කාලයක් තිස්සේ රැඳී සිටින්නේ ඩුබායි හි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් කර ඇති විමර්ශනවලින් අනාවරණය වී ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් එම දුරකතන සිම්කාඩ්පත හිමි පුද්ගලයාගේ අනන්‍යතාව හඳුනාගෙන ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ සහාය ඇතිව එම පුද්ගලයාට දුරකතන ඇමතුමක් ගෙන ඇති බව ද සඳහන්ය. එහිදී ඔහු පවසා ඇත්තේ තමා ඩුබායි පැමිණීමට පෙර ජාතික හැඳුනුම්පත අස්ථානගත වූ බවය. ඒ සම්බන්ධයෙන් එම පුද්ගලයා පොලිසියේ පැමිණිල්ලක්ද දමා ඇති බව සඳහන් කර ඇති බව එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා ඇති බව ආරංචි මාර්ග අනාවරණය කළේය. එම දුරකතන අංකයෙන් මෙරට තවත් පුද්ගලයන්ට ඇමතුම් ලබාගෙන තිබේදැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්ලේෂණයක නිරතවෙමින් සිටියි.

මුලින්ම මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනකුට (2) සිය ධුරවලින් ඉවත්වන්නැයි බලකරමින් තර්ජනාත්මක දුරකතන ඇමතුම් ලැබී ඇත්තේ පසුගිය 18 වෙනිදාය. ඒ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන කේ.පී.පී. පතිරණ සහ සෙනෙවිරත්න බණ්ඩාර දිවාරත්න යන මහත්වරුන්ටය.

තර්ජනයට ලක්වන තෙවැනි (3) සාමාජිකයා වන්නේ එම්.එම්. මොහොමඩ් මහතාය. පසුගිය 27 වෙනිදා රාත්‍රී කාලයේ දුරකතන ඇමතුමක් ලබාදුන් පුද්ගලයෙක් විසින් ඔහුට මරණීය තර්ජන එල්ලකර තිබේ. මේ සම්බන්ධයෙන් ඒ මහතා නිට්ටඹුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර ඇත. ඒ 072 948 8— යන දුරකතන අංකයෙන් තමාට ඇමතුමක් ලබාදුන් පුද්ගලයෙක් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා අස්වන ලෙසට දැනුම් දෙමින් මරණීය තර්ජන එල්ල කළ බවටය. එම්.එම්. මොහොමඩ් මහතාට මෙම තර්ජනාත්මක දුරකතන ඇමතුම ලැබෙන විට ඔහු රැඳී සිට ඇත්තේ නිට්ටඹුවේ පිහිටි සිය නිවසේය.

තර්ජනයට ලක්ව සිටින මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ ආරක්ෂාවට පොලිස්පති නියමයෙන් මේ වන විට සන්නද්ධ පොලිස් නිලධාරීන්ද යොදවා ඇත. මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකාවක් වන පී.එස්.එස්.එම්. චාල්ස් මහත්මිය පසුගිය 25 වෙනිදා සිය ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත්කර ඇත්තේද මෙසේ ඇයට එල්ලවුණු තර්ජනයක් හේතුවෙන්දැයි සැකයක්ද මේ වන විට මතුව තිබේ. ඇගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් තවම පිළිගෙන නැත ෴


රාජ්‍ය බුද්ධි නිලධාරියා අයිස් ගහද්දී මාට්ටු

(30.01.2023 – dinamina.lk)

රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියෙකු තවත් දෙදෙනෙකු (2) සමඟ පෑලියගොඩ නිවසක ‘අයිස්’ නමැති මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටියදී බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් පෙරේදා (28) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ මූලස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටින පොලිස් කොස්තාපල්වරයෙකි. මෙම බුද්ධි නිලධාරියා මත්කුඩු භාවිතයට තදින්ම ඇබ්බැහි වී සිටින බවත් ඔහු නිතර පෑලියගොඩට පැමිණ මත්කුඩු ලෝලීන් පිරිසක් සමඟ මත්කුඩු භාවිත කරන බවටත් ලද තොරතුරකට අනුව බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙම වැටලීම කර තිබේ.

එහිදී ඔහු සතුව තිබී ‘අයිස්’ මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 550 ක් සහ ‘ඈෂ්’ නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06 යි මිලි ග්‍රෑම් 80 ක් තිබී හමුවූ බව පොලිසිය කියයි. මෙම සැකකරු හැටන් ප්‍රදෙශයේ පදිංචිකරුවෙකි ෴


වෘත්තිකයන් හයදාහක් (6000) රට හැර ගිහින්

(29.01.2023 – 12:28 +0530 – lankadeepa.lk)

ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිවේදීන්, ගණකාධිකාරිවරුන්,සරසවි ආචාර්යවරුන් (ආචාර්ය, මහාචාර්ය) ඇතුළු විවිධ වෘත්තිකයන් හයදහසකට (6000) වැඩි පිරිසක් පසුගිය වසර තුනක (3) පමණ කාලයේදී රට හැර ගොස් (බුද්ධි ගලනය) ඇතැයි වාර්තා අනුව පෙනී යන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.

සේවක වැටුප් මත අධික බදු අය කිරීම හේතුවෙන් ඉදිරි කාලයේදී වෘත්තිකයන් තවත් විශාල වශයෙන් රට හැර යෑමේ අවදානමක් පවතින බවද ඔහු පෙන්වා දුන්නේය.

මේ අතර පසුගිය වසරේ මුල් මාස නවය තුළ ලක්ෂ 8 කට ආසන්න පිරිසක් විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන ලක්ෂ 6 ක පමණ පිරිසක් රට හැර ගොස් ඇති බව පැවසූ මන්ත්‍රීවරයා පසුගිය 2021 වර්ෂයේද ලක්ෂ 4 ක ට වැඩි පිරිසක් විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන තිබූ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලාංකිකයන් රට රැකියා සඳහා යෑම සියයට 136 කින් ඉහළ ගොස් ඇතැයිද ගාමිණී වලේබොඩ මහතා පැවසීය.

ලක්ෂ තුනකට (3) වැඩි පිරිසක් පසුගිය වසරේදී අධ්‍යාපනය සඳහා විදේශ විශ්වවිද්‍යාලයන්ට ගොස් ඇති බව පැවසූ මන්ත්‍රීවරයා මේ හේතුවෙන්ද විශාල මුදල් ප්‍රමාණයක් රටට අහිමිවූ බව අනාවරණය කළේය.

මේ ආකාරයට බුද්ධි ගලනය සිදුවීම රටේ ඉදිරි ගමනට විශාල බාධාවක් බවත් බුද්ධි ගලනය වැලැක්වීමට රජය කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් හෙතෙම ප්‍රකාශ කළේය ෴


බ්‍රිතාන්‍ය ජාතික ව්‍යාපාරික කතගේ රන් බඩු සොරාගෙන – කළුතර පොලිසිය පරීක්‍ෂණ අරඹයි

(30.01.2023 – divaina.lk)

බ්‍රිතාන්‍ය ජාතික ව්‍යාපාරික කාන්තාවක විසින් මිලදී ගත් රුපියල් ලක්ෂ 83 ක පමණ වටිනාකමකින් යුත් සුදු රත්තරං, කහ රත්තරං වළලු සහ කරාබු ඇතුළු ස්වර්ණාභරණ තොගයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව කළුතර උතුර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

කළුතර උතුර සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටින බ්‍රිතාන්‍ය ජාතික ලින්ඩා බ්‍රව්මන් නැමැති 75 හැවිරිදි කාන්තාවක විසින් පෙරේදා (28) රාත්‍රි 11:00 ට පමණ කළ පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය සඳහන් කරයි.

පැමිණිලිකාර කාන්තාව කළුතර උතුර සංචාරක හෝටලයේ සිට ත්‍රිරෝද රථයකින් අළුත්ගම ප්‍රදේශයට ගොස් එහි ප්‍රධාන ස්වර්ණාභරණ අලෙවිසලකින් රන් ආභරණ මිලදී ගෙන ඇති බවත් ඒ සඳහා සංචාරක මඟපෙන්වන්නන් ලෙසින් කටයුතු කළ දෙදෙනකු (2) රන් ආභරණ ලබාගත් බවටත් ප්‍රකාශ ලබාදී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

පැමිණිලිකාර කත එංගලන්තයේ සසෙක්ස් ප්‍රාන්තයේ පදිංචිකාරියක බවත් ඇය සති දෙකකට (2) පෙර ලංකාවට පැමිණ ඇති බවත් සඳහන් වේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස, සහකාර පොලිස් අධිකාරී සුනෙත් ශාන්ත යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වති ෴


ජනශක්ති සභාපති ඝාතනයේ අභිරහස වෙනත් දිශාවකට – අන්තිම කැමැති පත්‍රයෙන් සියල්ල වෙනස් වෙන ලකුණු!

(29.01.2023 – 13:52 +0530 – sinhala.asianmirror.lk)

අභිරහස් ලෙස මරණයට පත් වූ ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා තම අන්තිම කැමැති පත්‍රය ලියා ඇති බව පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඔහුගේ මරණයට සති දෙකකට (2) පෙර මෙම අන්තිම කැමැති පත්‍රය ලියා ඇති බවද වාර්තා වෙනවා.

පවුලේ සියලු දෙනාටම ඔහු සතු දේපළ වලින් උරුම කොටස එම අන්තිම කැමති පත්‍රයෙන් පවරා දී තිබෙනවා.

දැනට අන්තිම කැමති පත්‍රයේ විස්තර පොලිසිය සතු වන නිසා එම මරණයට අදාළ පරීක්ෂණ නව මාවතකට යොමු වී තිබෙනවා ෴


උසස් පෙළ විභාග සමයේ විදුලි කප්පාදුවට පන්දම් විරෝධයක්

(30.01.2023 – 07:55 +0530 – hirunews.lk/sinhala)

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ප්‍රධාන පාර්ශ්ව හයක් (6) වෙත රුපියල් බිලියන 281 ක මුදලක් ගෙවීමට තිබෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ට්විටර් සටහනක් තබමින් ඔහු සදහන් කළේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ පෞද්ගලික බලාගාර වෙත ලංකා විදුලිබල මණ්ඩලය පිළිවෙළින් රුපියල් බිලියන 112 ක් සහ බිලියන 80 ක් ගෙවීමට ඇති බවයි.

ඊට අමතරව පුනර්ජනනීය බලශක්ති සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 40 ක්, නිවාස මත සූර්ය පැනල ස්ථාපිත කර ඇති පාර්ශ්වයන්ට රුපියල් බිලියන 4 ක් සහ පෙබරවාරි මාසයේ ගල්අගුරු වෙනුවෙන් රුපියල් බිලියන 35 ක මුදලක් විදුලිබල මණ්ඩලය විසින් ගෙවීමට පවතිනවා.

එමෙන්ම ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 10 ක මුදලක් මාසික බැංකු ණය පොලිය ලෙස ගෙවිය යුතු බව ද අමාත්‍යවරයා එම ට්විටර් සටහනේ දක්වා තිබෙනවා.

පසුගිය වසරේ ආරම්භයේ දී ලංකා විදුලිබල මණ්ඩලය, විදුලිය ජනනය සදහා පැවති ජල සම්පත යොදාගත් බැවින් එම කාලයේදී විදුලිබල කප්පාදුවක් නොකළ ද එහි ප්‍රතිඵලයක් ලෙස වසර මැද දී පැය 4 ත් 6 ත් අතර කාලයක විදුලි කප්පාදුවක් සිදුකළ යුතු වූ බව ඔහු පෙන්වා දෙනවා.

මේ අතර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ විදුලිය කප්පාදු කිරීමට එරෙහිව කොළඹ 12, ගුණසිංහ පිළිරුව අසල ඊයේ (29) පස්වරුවේ විරෝධතාවක් පැවැත්වුණා.

ප්‍රදේශවාසීන් විසින් සංවිධාන කර තිබූ මෙම විරෝධතාවයේ දී පැමිණ සිටි පිරිස පන්දම් දල්වමින් විරෝධතාවයේ නිරතවන අයුරු දක්නට ලැබුණා.

+


වැලිවිට සුද්දා ඇතුලු මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ කිහිපදෙනෙකු අත්අඩංගුවට

(30.01.2023 – 08:04 +0530 – hirunews.lk/sinhala)

පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රදේශ කිහිපයක සිදුකරන ලද වැටලීම්වලදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ඇතුලු මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නමගිය කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 46 හැවිරිදි ‘සුදත් කිත්සිරි තුෂාර’ හෙවත් ‘වැලිවිට සුද්දා’ හෙරොයින් සමඟ ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබුණේ කඩුවෙල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදියි.

එමෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ජයලත් ද සිල්වා’ හෙවත් ‘කරන්දෙණියේ සුද්දා’ සමඟ සමීප සබඳතාවක් පවත්වන පුද්ගලයෙකු බලපිටිය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබුණා.

‘තුප්පහිමුදලිගේ රමිත්’ හෙවත් ‘ආඳාදොළ රංග’ නැමති මොහු 33 වන වියේ පසුවනවා.

(sinhala.adaderana.lk)

එමෙන්ම ‘උදේනි ඉනුකා පෙරේරා’ හෙවත් ‘ඩිස්කෝ’ නැමති කාන්තාව තියුණු ආයුධ සහ හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබුණේ මෝදර ප්‍රදේශයේ කළ වැටලීමකදියි.

42 හැවිරිදි කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන ඇයගේ නිවස පරීක්ෂා කිරීමේදී තියුණු ආයුධ 4 ක්ද සොයාගෙන තිබුණා.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දැනට ප්‍රංශයේ ජීවත්වන ‘රූබන්’ නැමැත්තා සමඟ මෙම කාන්තාව සබඳතා පවත්වන බවට විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා ෴

+

කරන්දෙණියේ සුද්දාගේ ගෝලයා ‘රංග’ හෙරොයින් සමග අල්ලයි

(30.01.2023 – 08:26 +0530 – hirunews.lk/sinhala)

කරන්දෙණියේ සුද්දා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමග සබඳතා පවත්වන ‘රංග’ නමැති අයෙක් හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්‍ය බලකාය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (29) අම්බලන්ගොඩ පොලිස් වසමේ වසමේ වතුගෙදර ප්‍රදේශයේ දී මෙම සැකකරු අත් අඩංගුවට ගෙන ඇත්තේ.

එහි දී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘සොබනාහන්දි ජයලත් ද සිල්වා’ නොහොත් ‘කරන්දෙනියේ සුද්දා’ යන අය සමඟ සමීප සම්බන්ධතා පවත්වන බලපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 පසුවන ‘තුප්පහි මුදලිගේ රමිත්’ නොහොත් ‘ආදාදොළ රංග’ යන අය හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 ක් සමග අත්අඩංගුවට ගැනුණා.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිස් ස්ථානය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මේ අතර, විශේෂ කාර්‍ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක දී හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම වැටලීම සිදු කර ඇත්තේ කෙසෙල්වත්ත – වේල්ල වීදිය පොලිස් වසමේ පිහිටි නිවසක දියි. වැටලීම සිදු කරන අවස්ථාවේ දී හෙරොයින් ග්‍රෑම් 02 ක් සමග 34 හැවිරිදි අයෙක් පොලිස් අත් අඩංගුවට ගැනුණා. සිද්ධිය සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

මේ අතර තවත් පුද්ගලයෙකු හෙරොයින් සමග කොටු වී තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට මෙලෙස පත්ව ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 11 ක් සොයා ගැනුණා. සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴


බස්නාහිර ඩෙංගු අධිඅවදානම්

(30.01.2023 – 08:06 +0530 – hirunews.lk/sinhala)

ඩෙංගු රෝගීන්ගේ වාර්තාගත ඉහළයාමක් යළිත් වරක් පෙන්නුම් කරන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

මෙම වසරේ ගතවූ දින කිහිපය තුළ පමණක් ඩෙංගු රෝගීන් 4,387 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් සියයට 32.5 ක් ම වාර්තාවී ඇත්තේ බස්නාහිර පළාතෙන් වීම විශේෂත්වයක්.

ගතවූ මාස 10 තුළ පමණක් ඩෙංගු බවට සැක කරන රෝගීන් 20,334 ක් වාර්තා වී තිබුණා.

රෝගීන් 145 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ දිනවල වාර්තාවන ඉන්ෆ්ලු‍වෙන්සා රෝගයේ ලක්ෂණ ද ඩෙංගු රෝග ලක්ෂණ හා බොහෝ සෙයින් සමාන වන බැවින් රෝගී තත්ත්වය නිශ්චය කර නොගෙන ලබාගන්නා ඖෂධ හේතුවෙන් විවිධ සංකූලතා ඇති වූ අවස්ථාවන් ද පසුගිය දිනවල වාර්තා වී තිබුණා ෴


ATM කාඩ්පත් ජාවාරමක් – අසුවෙන්න එපා !

(30.01.2023 – 08:08 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල නගරයේ පිහිටි බැංකුවල ඒ.ටී.එම්. යන්ත්‍ර අසළ රැඳී සිටිමින් පුද්ගලයින් රවටා ඔවුන්ගේ කාඩ්පත්වල රහස් අංක ලබාගෙන ඒ.ටී.එම්. කාඩ්පත් මාරු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා.

ඒ, කොටිකාපල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු ඒ.ටී.එම්. කාඩ්පත් හයක් (6) සමඟ ඊයේ (29) අත්අඩංගුවට ගැනීමත් සමඟයි.

මොහු කුරුණෑගල නගරයේ පිහිටි බැංකුවල ඒ.ටී.එම්. යන්ත්‍ර අසළ රැඳී සිටිමින් මුදල් තැන්පත් කිරීමට සහ මුදල් ලබාගැනීමට පැමිණෙන පුද්ගලයින් රවටා මෙම ජාවාරම සිදුකරන බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *