මත්ද්‍රව්‍ය මෙහෙයුමකින් පසු 489 දෙනෙකු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය මෙහෙයුමකින් පසු 489 දෙනෙකු අත්අඩංගුවට


මත්ද්‍රව්‍ය මෙහෙයුමකින් පසු 489 දෙනෙකු අත්අඩංගුවට

(29.01.2023 – 17:22 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදුකළ විශේෂ මෙහෙයුමකින් පුද්ගලයින් 285 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (29) අලුයම 05 සිට දහවල් 12 දක්වා කාලය තුළ දිවයිනේ තෝරාගත් ප්‍රදේශ කිහිපයක මෙම මෙහෙයුම සිදුකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කළේ.

ඒ සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ගුවන් හමුදාව එක්ව ඇති අතර මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ උපදෙස් මතයි මෙම විශේෂ මෙහෙයුම සිදුකර ඇත්තේ ෴

+

+


ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත් අභාවප්‍රාප්ත වෙයි

(29.01.2023 – 17:09 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත් අද (29) දහවල් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 81 වැනි වියෙහි පසුවුණා.

කුරුණෑගල, නවගත්තේගම ප්‍රදේශයේ උපත ලද කේ.බී. හේරත් ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත් ඔහු පසුව ගුරුවරයෙකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළා.

ස්වතන්ත්‍ර නාට්‍ය 20 කට තිර රචනයෙන් සහ නිෂ්පාදනයෙන් කේ.බී. හේරත් සිය දායකත්වය ලබාදී තිබෙනවා.

මායාදේවි, නාගගුරුලා, දෝන කතිරිනා, දෙවැනි මහින්ද, වාසුදේව, යසෝදරා, ජගන්මා, කළු කුමාරි, දොන් ජුවන්, සිරිබෝ තට්ටුව සහ දිවිය ප්‍රේමය යන නාට්‍ය සඳහා මොහු තිර රචනයෙන් සහ නිෂ්පාදනයෙන් දායකත්වය ලබාදී ඇත්තේ.

කේ.බී. හේරත් සිය ප්‍රතිභාව පිළිබිඹු කළ වෘතාන්ත ටෙලිනාට්‍ය 300 ක්.

ඊට අමතරව ඒකාංගික ටෙලිනාට්‍ය 200 කට වැඩි සංඛ්‍යාවකට මොහු සිය දායකත්වය ලබාදුන්නා.

වේදිකා නාට්‍ය සඳහා කළ මෙහෙය වෙනුවෙන් සම්මාන 50 කට පමණ හිමිකම් කියන කේ.බී. හේරත් මෙරට නාට්‍යකරුවෙකුට හිමිවන නාට්‍ය කීර්ති සම්මානයෙන්ද පිදුම් ලැබුවා ෴

+++++++

කේ.බී. හේරත් වේදිකාව නිමා කරයි

(29.01.2023 – 17:27 +0530 – lankadeepa.lk)

ප්‍රවීණ නාට්‍යවේදී, ආචාර්ය කේ.බී. හේරත් මහතා අද (29) අභාවප්‍රාප්ත විය.

හදිසි රෝගී තත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ ඔහු මියයන විට 81 හැවිරිදි වියෙහි පසුවිය.

කේ.බී. හේරත් මහතා, විශිෂ්ඨ වේදිකා, ටෙලිනාට්‍ය හා චිත්‍රපට තිර පිටපත් රචකයකු, මෙන්ම වේදිකා නාට්‍ය නිෂ්පාදකවරයෙකි. 1979 වසරේදී ‘සුදුකරල්’ වේදිකා නාට්‍යය රචනා කරමින් ක්‍ෂේත්‍රයට පිවිසි ඔහු ටෙලිනාට්‍ය පිටපත් 500 ක් පමණ සහ ඒකාංගික නාට්‍ය පිටපත් 200 ක් පමණ රචනා කර ඇත.

ඔහු විසින් රචිත ‘මායාදේවී’, ‘නාග ගුරුළා’, ‘දෝන කතිරිනා’, ‘දෙවැනි මහින්ද’, ‘කළුකුමාරි’, ‘වාසුදේව’, ‘යසෝදරා’ හා ‘ජගන්මා’ යන නාට්‍ය රාජ්‍ය නාට්‍ය උලෙළවලදී හොඳම නාට්‍ය රචනය, අධ්‍යක්‍ෂණය ආදී අංශ යටතේ සම්මාන හිමිකර ගත්තේය.

‘දෝන ඉසෙබෙලා නොහොත් ගජමන් නෝනා’, ‘සක්විත්තෝ’, ‘ඉසිවර අසපුව’, ‘ඉති අතු’, ‘ගිරි දෙරණ’, සඳගිරි පව්ව’, ‘මිහිමඩල ගිනිවදී’, ‘සුවඳ පත්ම’, ‘දෙනුවර මැණිකේ’, ‘දියවඩන මළුව’, ‘ටිකිරි නිලමේ’, ‘සසර සෙවණැලි’ ඔහු විසින් රචනා කළ ටෙලි නාට්‍ය අතුරින් කිහිපයකි.

එමෙන්ම ‘ඉංගම්මාරුව’ ඒකාංගික ටෙලි නාට්‍ය මාලාව ඇතුළු ඒකාංගික ටෙලි නාට්‍ය ඔහු රචනා කළේය.

වසන්ත ඔබේසේකරයන්ගේ ‘දොරකඩ මාරාව’ චිත්‍රපටයේ පිටපත රචනා කිරීමට ද සහාය වී ඇති කේ.බී. හේරත් මහතා ‘සුදු සළු’, ‘අපි මැරෙන්නෙ නෑ’ සිනමා පටයන් ද රචනා කළේය. ඔහු තමා රචිත පිටපත් ගණනාවක් කෘතීන් ලෙස ද පළකළ අතර එම නාට්‍ය පිටපත් වෙනුවෙන් රාජ්‍ය සාහිත්‍ය සම්මාන ද හිමි වී ඇත. කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි නවගත්තේගම ගම්මානයේ ඉපදී, ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ කේ.බී. හේරත් මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි.

ඔහු විසින් කලා ක්‍ෂේත්‍රයට ඉටු කළ අනුපමේය මෙහෙවර අගයමින් සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය මගින් ඔහු වෙත ආචාර්ය උපාධියක් ද පිරිනැමීය.

ඔහුගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම් දෙනු ඇත ෴

++++++++

+


ඉදිරි පැය 36 සඳහා කාලගුණයෙන් අවවාදාත්මක විශේෂ නිවේදනයක්

(29.01.2023 – 18:03 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි පැය 36 සඳහා කාලගුණ නිවේදනයක් එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, ජනවාරි 31 සහ පෙබරවාරි 01 දෙදින දිවයිනේ තැනින් තැන මි.මී.150 ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අතර තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ෴


සභාපතිට විරුද්ධව චෝදනා පත්‍රය සකස් කර අවසන් – ඕනෑම දෙයකට ඔට්ටුයි සභාපතිගෙන් පිළිතුරු

(29.01.2023 – 20:02 +0530 – hirunews.lk/sinhala)

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක අද (29) අවස්ථා දෙකකදී (2) මාධ්‍යහමු පවත්වමින් එකිනෙකාට චෝදනා එල්ල කළා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක එම ධුරයෙන් ඉවත්කිරීමට අවශ්‍ය නීතිමය කටයුතු ක්‍රියාත්මක කරමින් සිටින බවයි.

ඊට අදාළ චෝදනා පත්‍රයද මේ වන විට සකස්කර ඇති බව ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් අද (29) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක කියා සිටියේ ස්වාධීන කොමිෂන් සභාවකින් දෙන ලද තීරණයක් නිලධාරින් විසින් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් හෙට (30) දිනයේ සිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ෴

+

+


වකුගඩු රෝගීන් ජීවිතයත් මරණයත් අතර සටනක

(29.01.2023 – 19:49 +0530 – sinhala.adaderana.lk)

ප්‍රමාණවත් තරම් ඖෂධ රජයේ රෝහල්වල නොමැතිවීමෙන් වකුගඩු රෝගීන් දැඩි අවදානමකට මුහුණ පා ඇතැයි රජරට වකුගඩු සුරැකීමේ පදනම පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ ඒ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුව නොමැති බවය.

පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ ඉකුත් කාලය තුළ රට තුළ ඖෂධ හිඟයක් මතුවුණි.

එම ඖෂධ හිඟය පිළිබඳව දිගින් දිගටම රජය දැනුවත් කළද ඊට විධිමත් පිළිතුරක් නොලද පසුබිමක රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඉකුත් 26 වැනිදා ඒ පිළිබඳව දැනුවත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයටද ලිපියක් භාරදුනි.

රජරට වකුගඩු සුරැකීමේ පදනම අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූයේ එවැනි පසුබිමකය.

එහිදී අදහස් දැක්වූ රජරට වකුගඩු සුරැකීමේ පදනමේ සභාපති ජේ.බී. වර්ණසූරිය මහතා :

“දවස් දෙකේ තුනේ යන්න වෙනවා ‌බෙහෙත් ගන්න. ඒ යනකොට කියනවා ඊළඟ දවසේ එන්න කියනවා. එදත් යනකොට තුන්වෙනි දවස වෙනකොට අපේ කට්ටියට යන්න මුදල් නැහැ. ඒ ගියත් ෆාමසිවලින් ගන්න කියලා බෙහෙත් නියම කරනවා. ඇත්තටම කනගාටුවට කරුණක් ඒ තියෙන අධික මිල ගණන්දීලා බෙහෙත් ගන්න කිසිකෙනෙකුට බැහැ. ජීවත් විය හැකි රෝගීන් ගොඩක් මරණයට පත්වෙනවා. කබලෙන් ළිපට වැටුනා වගේ මේ බෙහෙතුත් නැති වෙනවා. මෙහෙම ගියගොත් මාසයක් ඇතුළත මේ මිනිස්සු ගෙවල් ඇතුළෙම මැරිලා වැටෙයි.”


යකඩ පොලු අතැතිව මැරයෝ නිවසට කඩා පනිති – දෙදෙනෙකු (2) රෝහලට

(29.01.2023 – 18:48 +0530 – sinhala.adaderana.lk)

හෝමාගම, ගොඩගම ප්‍රදේශයේ නිවසට යකඩ පොලු රැගෙන කඩා වැදුණු දස (10) දෙනකුගෙන් යුත් පිරිසක් සිදුකළ පහරදීමකින් පුද්ගලයින් දෙදෙනෙකු (2) තුවාල ලබා තිබේ.

එසේ පහරකෑමට ලක්ව රෝහල්ගතව ඇත්තේ, ගොඩගම ප්‍රදේශයේම පදිංචි බස්රථ හිමියෙක් හා රියදුරකි.

ඊයේ (29) රාත්‍රීයේ තියුණු ආයුධ රැගෙන එම පිරිස පැමිණ ඇත.

පහරදීම සඳහා ‘මාපිලා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයකු, ඔහුගේ සහෝදරයා ඇතුළු පිරිසක් පැමිණ ඇතැයිද පොලීසිය පැවසීය.

ත්‍රීරෝද රථ, මෝටර් රථ සහ යතුරුපැදිවලින් පැමිණ තිබූ සන්නද්ධ පිරිස දෙමහල් නිවසේ ඉදිරිපස දොර කඩා නිවස තුළට කඩා වැදී තිබුණි.

ඔවුන් නිවසේ ඇති දේපළවලට අලාභානි කරමින් බස්හිමියාගෙන් “කෝ උඹගේ ඩ්‍රයිවර්ලා, ගෝලයෝ” යනුවෙන් පවසමින් බස්හිමියාට බිම දමා හිස හා පපු ප්‍රදේශයට ද පහරදී ඇතැයි පොලීසිය පැවසීය.

පැමිණි පිරිසගේ ශබ්දය ඇසී ඉහළ මාලයේ නිදා සිටි රියැදුරකු පහත මහළට පැමිණීමත් සමඟම ඔහුට ද එම පිරිස එක්ව පහරදී ඇත.

අනතුරුව එම පිරිස මීගොඩ කොස්හේන ප්‍රදේශයේ පිහිටි බස් හිමියාගේ පුතුගේ නිවසට සහ එහි නවතා තිබු යතුරුපැදියකට ගල් මුල්වලින් පහර දී අලාභානි කර ඇතැයි ද පොලිස් නිලධාරියකු පැවැසීය.

බස් හිමියාට අයත් බස් රථයක් ඊයේ (28) කොළඹ සිට හෝමාගම දෙසට පැමිණීමේදී තවත් බස් රථයක් ද කොළඹ සිට පාදුක්ක වෙත පැමිණ ඇත.

එහිදී මහමඟ රැඳී සිටි මගීන් ගැනීමේදී ඇති වූ රියදුරන් දෙදෙනා සහ කොන්දොස්තරලා දෙදෙනා අතර ඇතිවූ ගැටලුවක් එදිනම සමථයකට පත්වී තිබූ බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

එම බස් රථය හිමි පුද්ගලයා සහ ඔහුගේ ගෝල බාලයන් පිරිසක් එම පහරදීම සිදුකර ඇති බව පහර කෑ බස් රථ හිමියා හඳුනාගෙන ඇතැයි ද පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

පහර කෑ බස්හිමියා හා රියදුරු හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි ෴

+

පුල්මුඩේ ජල පොප්පාගාර ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු (2) මියගොස් තිබේ.

ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් එම ගැටුම හටගෙන ඇති අතර එහිදි තවත් පුද්ගලයින් තිදෙනෙකු (3) තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කළේය.

තුවාල ලැබුවන් ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

මියගිය පුද්ගලයින් දෙදෙනා අවුරුදු 41 සහ 45 වයස්වල පසුවන්නන් බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් පුල්මුඩේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴

+

+


තුම්මුල්ල හන්දියේ දාපු දැමිල්ල – සියල්ල කැමරාවේ

(29.01.2023 – 16:02 +0530 – sinhala.adaderana.lk)

තුම්මුල්ල හන්දියේ දී ත්‍රීරෝද රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් ත්‍රීරෝද රථ රියදුරු තුවාල ලබා තිබේ.

අනතුර සිදුවන ආකාරය මෝටර් රථයේ ඉදිරිපස සවි කර තිබූ කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි.

මෝටර් රථය සහ ත්‍රිරෝද රථය එකිනෙක ගැටීමත් සමග තීරෝද රථ රියදුරු වාහනයෙන් පිටතට තල්ලු වෙන අතර ත්‍රීරෝද රථය මාර්ගයේ පෙරළී යයි.

https://www.youtube.com/watch?v=hyKb3Ktprt0

+


කොළඹට තවත් සෞඛ්‍ය අවදානමක් – ලාදුරු

(29.01.2023 – 13:41 +0530 – sinhala.adaderana.lk)

පසුගිය වසරේ වැඩිම ලාදුරු රෝගින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වීම විශේෂත්වයකි.

ලාදුරු රෝගය මැඩපැවැත්වීමේ අරමුණින් නම් කර ඇති ලෝක ලාදුරු දිනය අදට (29) යෙදී තිබේ.

සෞඛ්‍ය අංශ පවසන්නේ අදවන විට මෙරට වයස අවුරුදු 14 ට අඩු පාසල් දරුවන් අතරේ ලාදුරු රෝගය ව්‍යාප්තවීම වැඩිවීමේ අවදානමක් මතුව ඇති බවය.

‘මයික්‍රෝ බැක්ටීරියම් ලෙප්‍රෙ’ නමැති බැක්ටීරියාවක් මගින් බෝවන රෝගයක් වන ලාදුරු රෝගය මිනිස් ශරීරයේ සමට සහ ස්නායු පද්ධතියට බලපෑම් එල්ල කරයි.

මෙම රෝගයේ බෝවිම සිදුවෙන්නේ රෝගය බෝකළ හැකි මට්ටමේ පවතින අයෙකුගේ කෙළ සහ සෙම බිඳිති තවත් පුද්ගලයෙකුගේ ශ්වසන පද්ධතියෙන් ශරීරයට ඇතුළු වීම මගිනි.

1995 වසර වන විට ශ්‍රී ලංකාව ලාදුරු රෝගය තුරන් කළ රටක් ලෙස නම් කළද, 2000 වසරේ සිට යළි රෝගින් වාර්තා වීමක් සිදුවුණි.

මේ වන විට මෙරටින් වසරකට රෝගින් 1,500 ත් – 2,000 ත් අතර සංඛ්‍යාවක් වාර්තා වේ.

මේ පිළිබඳ අදහස් දැක්වු ලාදුරු මර්දන ව්‍යාපාරයේ, චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය :

“ඉස්සර හිතුවා ලාදුරු කියන්නේ ඇල්ලීමෙන් (ස්පර්ෂයෙන්) බෝවෙන රෝගයක් කියලා. දැන් උනත් කෙනෙක් කොන් කරනකොට ‘ආ මට ලාදුරු කියලා හිතනවා ද’ අහනවා. ඒක ඇත්තටම වැරදියි. ස්පර්ශයෙන් බෝවෙන්නේ නෑ. බෝ වෙන්නෙ හුස්මෙන්. හැබැයි කොවිඩ් වගේ ඉතා පහසුවෙන් බෝ වෙන්නේ නෑ. දීර්ඝ කාලීන සම්බන්ධතාවයක් තියෙන්න ඕනෙ. රෝග කාරක විෂබීජ පිටකරන්න පුළුවන් කෙනෙක් එක්ක සාමාන්‍යයෙන් සතියකට පැය 20 ක වගේ ආශ්‍රයක් මාස තුනක් (3)හතරක් (4) වත් තිබුනොත් මෙය බෝ විය හැකියි.”

ලාදුරු මර්දන ව්‍යාපාරයේ, අධ්‍යක්ෂ, වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා,

“දළ වශයෙන් වාර්තාවන රෝගීන්ගෙන් 10% ක් පමණ ළමයි. ගිය වසර ගත්තත් මුළු රෝගීන් සංඛ්‍යාව 1,326 යි. එයින් 137 ක් ළමයි. ළමයින් ඉන්නවා කියන එකෙන් අදහස් වෙන්නේ නෑ ළමයි අතර මේක පැතිරෙනවා කියලා. ළමයි ඉන්නවා කියන්නේ සමාජය තුළ මේ රෝගය සම්ප්‍රේෂණය වෙනවා කියන නිදර්ශකයක්.”

+


නීතිවිරෝධී දුරකථන ජාවාරමක් ?

(29.01.2023 – 10:57 +0530 – sinhala.adaderana.lk)

නීතිවිරෝධී ලෙස මෙරටට දුරකථන ගෙන්වනු ලබන ජාවාරමක් ක්‍රියාත්මක වන බව ‘ජංගම දුරකථන ආනයනකරුවන්ගේ එකමුතුව’ පවසයි.

‘ජංගම දුරකථන ආනයනකරුවන්ගේ එකමුතුවේ’ සාමාජික ප්‍රියන්ත ජයසිංහ මහතා සඳහන් කළේ, රජයට බදු අහිමි කරමින් පාර්සල් ගෙන්වන්නන් හරහා සංවිධානාත්මක ලෙස ජංගම දුරකථන මෙරටට ගෙන්වන බවය.

“දුරකථන ආනයනය කරද්දි අපි හඳුනාගෙන තියෙනවා රජයට හිමිවිය යුතු බදු මුදල් නොගෙවමින් බැග්වල දාගෙන ෆෝන් ගෙන එනවා. ලොකු බදු මුදලක් අහිමිවෙනවා වගේම අපි ගණන් හදලා තියෙන විදියට බැලුවොත් 2021 – 2022 වසරවල විතරක් ඩොලර් මිලියන 100 ක් විතර ‘උණ්ඩියල්’ ක්‍රමයට පිටට ගිහින් තියෙනවා. කිසිම ගනුදෙනුවක් පිළිගත් බැංකු ක්‍රමයක් යටතේ සිදුවන්නේ නෑ. අපි ආසන්න වශයෙන් ගණනය කරලා තියෙන විදියට රුපියල් බිලියන තුනහාමාරක (3½) පමණ මුදලක් රජයට බදු වශයෙන් අහිමිවෙලා තියෙනවා. ලංකාවෙම සංවිධානය වුණ 20 ක පිරිසක් මේ විදියට ලංකාවට දුරකථන ගේනවා. මේ කිසිම ‘මොබයිල් ඩිවයිස්’ එකක් TRC එකේ අනුමත වෙලා නෑ. මේ ගැන කිසිම තොරතුරක් ආණ්ඩුව සතුව නෑ. ඒ නිසා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන විදියට මේ ‘ලැගේජ් සිස්ටම්’ එකට මේ දුරකථන ගේන එක වෙනවා.”


පොත්වල PDF File අනවසරෙන් මුදාහරින ජාවාරමක්… ලේඛකයන් යළි නොලියන තීරණයක…

+


රාජපක්ෂ පවුලට කාල බෝම්බයක් .. මහින්දගේ බලය පවුලේ අය යෙදවූ හැටි හිටපු ලේකම් හෙලි කරයි ..

(29.01.2023 – 22:02 +0530 – lankacnews.com)

රාජපක්ෂ පාලනයට වැරදුණු ආකාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් වරයා ලෙස කටයුතු කළ කුමාරසිරි හෙට්ටිගේ මහතා අදහස් දක්වයි.

දශක කිහිපයක්ම මහින්ද රාජපක්ෂ මහතා සමග සමීපව කටයුතු කළ ඒ මහතා විසින් තම ‘මුහුණු පොත් ගිනුමේ’ තබා ඇති සටහන මෙසේය :

වැරදුණු හැටි ….

‘ගෝඨා ගෝ හෝම්’ යන වැකියට යෝෂිත රාජපක්‍ෂගේ සම්බන්දයක් ඇති බවට දිලිත් ජයවීර කළ ප්‍රක්ෂයක් සමාජ මාධ්‍ය ජාල වල සංසරණය වේ. මෙය රජපක්ෂ පවුල මැදට අත හැරුණු කාල බෝම්බයක් වැනි ය. එහි සත්‍ය අසත්‍ය බව මම නොදනිමි. එයින් දැන් රටේ ජනතාවට වැඩකුත් නැත. කෙසේ වුවද රාජපක්‍ෂ දේශපාලනයෙන් දේශපාලනඥයින්ට බොහෝ දේ ඉගෙන ගත හැකිය.

රාජපක්ෂ දේශපාලනයේ මුද්‍රාව වන්නේ මහින්ද රාජපක්‍ෂයන් ය. පවුලේ සැමට මුල සිට ආලෝකය වැටුනේ ඔහුගෙනි. ඔහු ජනතාවාදී නායකයෙක් විය. හිත හොඳ මිනිසෙකි. බොහෝ දෙනෙක් ඔහුට ආදරය කළේ ඒ නිසාය. රටට යමක් කළ නායකයෙකි. ජනතාවගේ කැමැතෙන් දෙවරක් ජනාධිපති වුයේ තමා ගොඩ නගා ගත් පෞරෂය නිසා ය.

එහෙත් ඔහු යම් තැනකදී වරද්දා ගත්තේය. ඔහුගේ බලය පවුලේ කීප දෙනෙකු අනිසි ලෙස පාවිච්චි කළේය. වැරදුනේ දේශපාලනය සහ රාජ්‍ය පාලනය දෙකක් නොව එකක් සේ සලකා ක්‍රියා කිරීමට යාමෙනි. පවුලේ ඥාතීන් අනවශ්‍ය ලෙස දේශපාලනයටත් රාජ්‍ය පාලනයටත් සම්බන්ධ කළේය. නැත්නම් ඊට ඉඩ හැරියේ ය. ඒ නිසා ඔහුට එතෙක් තිබූ ජනතා ආකර්ෂණය ආදරය ගෞරවය අයිස් කන්දක් සේ දිය වී යාම ආරම්භය විය. තමන් සමඟ දිගු කාලයක් සිටි කල්‍යාණ මිතුරන් බොහෝ දෙනෙකු අහිමි කර ගත්තේය.

ගෝඨාභය ජනාධිපති වීමෙන් පසු තව තවත් තත්වය ආකුල ව්‍යාකුල විය. වියත් මගත් පුපුරා ගියේය. පාලනය විකාර රූපී විය. ජනාධිපති ලෙස ගෝඨාභය ද ඥාති සංග්‍රහය තවත් ශක්තිමත් කළේය. බලය ගත්ත ද බලය පවත්වාගෙන යාමට තිබිය යුතු ප්‍රත්‍යක්ෂ ඥානය ඔහුට තිබුනේ නැත. සොයුරු මහින්දගේ අත්දැකීම් වලින් ගත යුතුව තිබූ දේ ගත්තේ ද නැත. දේශපාලනය නොදන්නා නිසා දුර දිග නොබලා ක්‍රියා කිරීමෙන් ජනතාවගේ වෛයරයට ක්‍රෝධයට ගෝඨාභය ගොදුරු වූයේ ඉතා වේගයෙනි. රටට යහපත් දෙයක් කරන්නට සිතා සිටියත් ඊට ද ඉඩ නොලැබුණි. අවසානයේදී ඔහුට අත් විඳීමට සිදු වු ඉරණම ගැන කවුරුත් දනිති.

  • ජනප්‍රියත්වය වැරදි ලෙස තේරුම් ගැනීම
  • අත්මර්ථකාමිත්වය
  • බලයෙන් අහංකාර වීම
  • බලය සැමදා ඇතැයි සිතීම
  • තමන්ට සිටි කල්‍යාණ මිතුරන් අහිමි කර ගැනීම
  • සීමාවක් නැති ව ඥාති සංග්‍රහයේ යෙදීම

මේ සාධක රාජපක්‍ෂවරුන්ගේ පරිහානියට හේතු විය. ඔවුන් තවමත් එය තේරුම් ගෙන සිටී ද යන්න ප්‍රශ්නයකි.

ඉහත කරුණු අනාගතයේ නායකයන් වීමට බලා සිටින සියලු දෙනාත් දනට සිටින නායකයන් සියලු දෙනාත් සිහිපත් කර ගන්නේ නම් යහපති ෴

~ කුමාරසිරි හෙට්ටිගේ

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *