හෙලිකොප්ටරය මෙරට ප්‍රධාන ගාමක බලවේගයයි – මැතිවරණ ජයග්‍රණයෙන් රනිල්ගේ සෙල්ලම් ඉවර කරනවා – විමල් කියයි

හෙලිකොප්ටරය මෙරට ප්‍රධාන ගාමක බලවේගයයි – මැතිවරණ ජයග්‍රණයෙන් රනිල්ගේ සෙල්ලම් ඉවර කරනවා – විමල් කියයි


හෙලිකොප්ටරය මෙරට ප්‍රධාන ගාමක බලවේගයයි – මැතිවරණ ජයග්‍රණයෙන් රනිල්ගේ සෙල්ලම් ඉවර කරනවා – විමල් කියයි

(29.01.2023 – 07:57 +0530 – lankaleadnews.com)

මෙවර පළාත් පාලන ඡන්දයේදී ප්‍රතිඵල එන විට හෙලිකොප්ටරය මෙරට ප්‍රධාන ගාමක බලවේගය බවට පත්වීම වැළැක්විය නොහැකි බවත්, එම ජයග්‍රහණය තුළින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රට විනාශ කරන ක්‍රියාදාමය අවසන් කරන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, උත්තර ලංකා සභාගයේ සභාපති, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

කෘතිම රැළි ඕනෑතරම් ඇති බවද, එහෙත් රට ඉල්ලා සිටින්නේ වළට වැටිච්ච රට ගොඩගතහැකි බලවේගයක් මිස වළට වැටුණු රටෙන් ප්‍රයෝජන ගැනීමට සැරසෙන පිරිසක් නොවන බව ද ඒ මහතා පවසයි.

රටේ ඇතිවූ වාතාවරණය තුළ වර්තමාන ජනාධිපතිවරයා ගැලවුම්කාරයා ලෙස පැමිණ 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට සරසෙන බව ප්‍රකාශ කරන විමල් වීරවංශ මහතා, ජේ.ආර්. ජයවර්ධන පවා 13 වැනි සංශෝධන ගෙන ආවේ කැමැත්තකින් නොවන බව ද පවසයි.

ජේ.ආර්. ජයවර්ධනට එය ගෙන ඒමට ඉන්දියාව දැඩි බලපෑමක් සිදුකළ බවත්, එහෙත් ජේ.ආර්. ජයවර්ධනවත්, රණසිංහ ප්‍රේමදාසවත්, ඩී.බී. විජේතුංගවත්, චන්ද්‍රිකා බණ්ඩාරනායක හෝ මහින්ද රාජපක්ෂවත් 13 තිබූ ඇතැම් වගන්ති කිසිදා ක්‍රියාත්මක නොකළ බවත් විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

එහෙත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එම සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමෙන් රට කෑලිවලට කඩාදැමීමට සැරසෙන බවද ඒ මහතා පෙන්වා දෙයි.

+


ජවිපෙ දැන් 13 ට පක්‍ෂද ? එදා විජේවීර වැරදිද ? රනිල් 13 දෙද්දී ඇග බේරාගෙන හැංගිලා..

(29.01.2023 – 11:20 +0530 – lankacnews.com)

රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර ඇති පරිදි තවත් සති කිහිපයක් ඇතුළත දහතුන් (13) වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාවට නැංවීම සඳහා ‘ජාතික ජන බලවේගය’ එකඟද නැති ද යන කාරණය අප්‍රමාදීයව රටට හෙළිදරව් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා මැදවච්වියේ පැවති රැස්වීමක දී පැවසීය. ජේ.ආර්. ජයවර්ධනගේ සිට ගෝඨාභය රාජපක්ෂ දක්වා විධායක ජනාධිපතිවරු හත් (7) දෙනෙක් 13 වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින් ක්‍රියාවට නො නැංවූයේ එයින් අත්වන ප්‍රතිවිපාක ගැන යම් හෝ අවබෝධයක් තිබු නිසා බව ද මහාචාර්ය ජයසුමන මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් එවකට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වූයේ විනිසුරුවරුන් හතර (4) දෙනෙකු 13 ව්‍යවස්ථා සංශෝධනය නිසා රටේ ඒකීය බව නැති වන බවත්, තවත් විනිසුරු හතර (4) දෙනෙකු එය ඒකීය බවට ප්‍රශ්නයක් නොවන බවටත් තවත් එක් (1) විනිසුරුවරයකු වගන්ති කිහිපයකට යටත් වන්නේ නම් පමණක් ඒකීය බව රැකෙන බවත් ලෙසටය. අද ව්‍යවස්ථාව මුළුමුනින් ක්‍රියාවට නැංවීමට කතා කරන රනිල් වික්‍රමසිංහ මහතා 13 ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අධිකරණ තීන්දුව වැරදි ලෙස අර්ථ නිරූපණය කරමින් ජේ.ආර්. ජයවර්ධන සිදු කළ වංචාව ගැන නිහඬව සිටින්නේ මන්ද යනුවෙන් ද ඔහු ප්‍රශ්න කළේය.

1987 වසරේදී 13 ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන අවස්ථාවේදී ඊට මාරාන්තික ලෙස එරෙහි වෙමින් රට තුළ දැවැන්ත අරගලයක් දියත් කරමින් ජීවිත සහ දේපල හානි රැසක් සිදු කිරීමට ජනතා විමුක්ති පෙරමුණ මුල් වූ බවත් එදා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ කළ ජනතා විමුක්ති පෙරමුණ මූලිකව අද බිහිව ඇති ‘ජාතික ජන බලවේගය’ 13 වෙනි සංශෝධනය මුළුමනින්ම ක්‍රියාවට නැංවීමට රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් තමන්ගේ ස්ථාවරය රටට හෙලිදරව් කළ යුතු බවත් මහාචාර්ය චනන ජයසුමන පැවසීය. තමන්ට අදාල නොවන කරුණක් සේ දක්වමින් මේ මොහොතේ ඇඟ බේරාගෙන සිටීම බරපතළ වංචාවක් බව ද ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම එදා 13 සංශෝධනය ගෙන ආ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් පවා අස් වූ වත්මන් කතානායකවරයා ඒ සම්බන්ධයෙන් දරන ආකල්පය ද, 13 වෙනි සංශෝධනයට විරුද්ධව දිගින් දිගටම කටයුතු කළ වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දරන ස්ථාවරය ද රටට හෙලිදරව් කළ යුතු බව ද හෙතෙම වැඩි දුරටත් පැවසීය ෴


මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට තර්ජනය කළ දුරකථන ඇමතුම් ගැන විමර්ශන ඇරඹේ

(29.01.2023 – 07:47 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ට මරණ තර්ජන එල්ල කළ දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පොලීසිය මේ වනවිට (29) අධිකරණ නියෝග ලබාගෙන තිබෙනවා.

ඒ අනුව දුරකතන ඇමතුම් මඟින් පළමුව තර්ජන එල්ල වූ කොමිෂන් සභාවේ සාමාජිකයන් වන එස්.බී. දිවාරත්න සහ කේ.පී.පී. පතිරණ සිදුකළ පැමිණිලි මත දුරකතන විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.

මේ අතර, මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන එම්.එම්. මොහොමඩ්ගේ නිවසටත් පොලිස් ආරක්ෂාව ලබාදීමට පියවර ගැනුණා.

ඒ, කොමිසමේ සාමාජිකත්වයෙන් ඉවත්වන ලෙස පවසමින් පෙරේදා රාත්‍රියේ ඔහුට ලැබුණු තර්ජනාත්මක ඇමතුමකින් පසුවයි.

තමන් ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව ඔහු ප්‍රකාශ කළා.

කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනෙකු (2) වන එස්.බී. දිවාරත්නට සහ කේ.පී.පී. පතිරණට මරණ තර්ජන එල්ල වූ සිද්ධිය වාර්තා වුණේ පසුගිය 19 වනදායී.

එකම දුරකතන අංකයකින් බොහෝ විට මෙම තර්ජනාත්මක ඇමතුම් සහ පණිවුඩ ලැබී ඇති අතර, ඒ සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබෙනවා.

මේ අතර, පසුගියදා මැතිවරණ කොමිෂන් සභාවේ රාජකාරීවලින් ඉල්ලා අස්වන බව පවසමින් එහි සාමාජිකාවක වන පී.එස්.එම්. චාල්ස් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබුණත්, ජනාධිපතිවරයා එය පිළිගෙන නොමැති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග තහවුරු කළා.

මේ අතර, පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු පෙබරවාරි මාසය මැද භාගයේදී පැවැත්වීමට අදහස් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව දින දෙකක (2) දී තැපැල් ඡන්ද විමසීම පැවැත්වීමට අදහස් කරන බවයි එම කොමිසමේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

මේ වනවිට ලැබුණු නාමයෝජනාවල අදාළව අපේක්ෂක ලැයිස්තු සකස් කිරීමේ කටයුතු සිදු කෙරෙනවා.

ඒ අනුව නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු සඳහා ඉදිරියේදී රජයේ මුද්‍රණාලය වෙත භාරදීමට නියමිතයි.

තැපැල් ඡන්ද විමසීමට පෙර අදාළ මුද්‍රණ කටයුතු සිදුකර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද මැතිවරණ කොමිසමේ උසස් නිලධාරීයා සඳහන් කළා.

+


ගොයම් කහ පැහැ ගැනීමෙන් වගා හානි වූ ගොවීන්ට වන්දි

(29.01.2023 – 07:51 +0530 – hirunews.lk/sinhala)

මහ කන්නයේ වී වගාව ආශ්‍රිතව ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වන ගොයම් කහ පැහැ ගැන්වීමේ තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවන ගොවීන්ට කෘෂි රක්ෂණය හරහා වන්දි ලබා ගැනීමේ හැකියාව පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ සම්බන්ධයෙන් ගොවීන් වාර්තා කිරීමෙන් අනතුරුව කෘෂිරක්ෂණ මණ්ඩලයේ නිලධාරීන් ගොස් තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් පසුව අදාළ වන්දි ලබාගත හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

වන්දි ලෙස ලබාගත හැකි මුදල රුපියල් 40,000 ක්.

ගොයම් කහපැහැ ගැන්වීමේ තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පසුගියදා විෂය භාර අමාත්‍යවරයාට භාර දෙනු ලැබුවා.

ඒ, දිස්ත්‍රික්ක 14 ක නිලධාරින් යොදවා සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි.

එමගින් කහපැහැ වීමට හේතු කිහිපයක් දක්වා තිබෙනවා. ඉන් ප්‍රධානම හේතුව වන්නේ පොස්පරස්, පොටෑසියම් ඌණතාවයයි.

එසේම, ‘නෙමටෝඩා’ හෙවත් ‘වට පණුවන්’ ගොයම් ගස්වල මූල පද්ධතියට හානි කිරීම, ‘පැල මැක්කා’ගේ හානිය, ‘දුඹුරු පැළ කීඩෑ’ උවදුර, කුඹුරුවල ලවණතාවය, යකඩ විෂ වීම ද ගොයම් කහපැහැ ගැන්වීමට හේතුවී ඇති බවයි අදාළ වාර්තාවේ දක්වා ඇත්තේ.

මහ කන්නයේ වගා කර ඇති කුඹුරු හෙක්ටයාර 7,80,000 න් සියයට 10 ක පමණ ප්‍රමාණයක ගොයම් කහපැහැ ගැන්වීමේ රෝගී තත්ත්වය වාර්තා වන බව එහි දැක්වෙනවා.

ඊට අමතරව සියයට 2 ක පමණ කුඹුරු ඉඩම් වල ‘නෙමටෝඩා’ නමැති රෝගී තත්ත්වය වාර්තා වන බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අමාත්‍යවරයාට ලබාදුන් වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

+


කුලප්පු වූ අලියෙකුගෙන් බේරුණු තරුණයින්

(29.01.2023 – 10:12 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (28) උදෑසන 11:00 ට පමණ අනුරාධපුර යාපනය හන්දිය ප්‍රදේශයේ මහින්ද ප්‍රාථමික විද්‍යාලය අසලදී නුවර වැව දෙසට ගමන් කරමින් තරුණයින් 5 දෙනෙකුට කුලප්පු වු වන අලියෙකු හමු වීම හේතුවෙන් එම තරුණයින් පිරිස අසල තිබූ ගසකට නැග තිබෙනවා.

එහිදී එම වන අලියා තරුණයින් පිරිස නැග සිටි ගස වටා දුවමින්, වැල් අදිමින්, ගස මුල තිබූ සෙරෙප්පු සිය හොඩයෙන් විසි කරමින් තරහා පිට කරන අයුරු එහි සිටි තරුණයෙක් සිය ජංගම දුරකතනයෙන් වීඩියෝගත කර තිබුණා.

කෙසේ වෙතත් ටික වේලාවකින් මෙම කුලප්පු වූ වන අලියා නැවතත් නුවර වැව දෙසට ගමන් කර ඇති අතර සිද්ධියට මුහුණදුන් තරුණයින් පැවසුවේ සිය ජිවිත ‘අනු නවයෙන්’ බේරා ගන්නට හැකියාව ලැබුණු බවයි.

+


මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සභාපති ධුරයෙන් ඉවත් කිරීමට තීරණයක් – කංචනට ජනකගෙන් පිළිතුරක්

(29.01.2023 – 11:34 +0530 – hirunews.lk/sinhala)

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක එම ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ, සභාපතිවරයාට අදාළ ව එම චෝදනා පත්‍රය ද මේ වනවිට (29) සකසා අවසන් කර ඇති බවයි.

ඒ අනුව එම චෝදනා පත්‍රය සහ ජනක රත්නායකව ධුරයෙන් ඉවත් කිරීමට ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාව ද හිමිව ඇති බවයි අමාත්‍යවරයා අද (29) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී වැඩිදුරටත් සඳහන් කළේ.

තමන්ට එරෙහිව විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර විසින් සකසනු ලැබ ඇතැයි පවසන චෝදනා පත්‍රයට මුහුණදීමට තමන් නොඉවසිල්ලෙන් බලා සිටින බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

මේ අතර ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කැබිනට් අනුමැතිය හිමිවූ නව විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වූ නීතිපතිවරයාගේ මතය මහජන උපයෝගීතා කොමිසම වෙත ලබා දී ඇති බව ද අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළා.

ඒ අනුව එම කොමිසමට අද (29) හෝ හෙට (30) රැස්වී නව ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් කඩිනම් තීරණයක් ගත හැකි බවයි අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නේ.

+


ඩෙංගුත් ඉන්ෆ්ලුවෙන්සාත් හිස ඔසවයි – වෛද්‍ය අංශයෙන් රතු එළියක්

(29.01.2023 – 12:57 +0530 – hirunews.lk/sinhala)

ඩෙංගු රෝගයේ සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයන් දෙකෙහිම (2) වර්ධනයක් මේ දිනවල පෙන්නුම් කරන බැවින්, වෛද්‍ය උපදෙස් ලබාගැනීම ඉතා වැදගත් බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රුධිර පරීකෂණයක් මගින් මෙම රෝග දෙක (2) වෙන් වෙන්ව හඳුනා ගැනීමෙන් පසු ඖෂධ ලබාගැනීමෙන් සිදුවන සංකූලතා අවම කරගැනීමේ හැකියාව පවතින බවයි.

මේ දිනවල වර්ධනයක් පෙන්නුම් කරන ඩෙංගු සහ ඉන්ෆල්වෙන්සා යන රෝගී තත්ත්වයන් දෙකෙහිම (2) බොහෝ සෙයින් සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි වෛ‍ද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

එම හේතුව නිසාම රෝගී තත්ත්වය නිශ්චය කර නොගෙන ලබා දෙන ඖෂධ හේතුවෙන් විවිධ සංකූලතා ඇති වූ අවස්ථා රැසක් ද පසුගිය දිනවල වාර්තා වුණා.

උණ, කැස්ස, අඟපත වේදනාව, හිසරදය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේනම් වහාම රුධිර පරීක්ෂණයක් සිදු කර රෝගී තත්ත්වය නිශ්චය කර
ගැනීමෙන් අනතුරුව ඖෂධ ලබාගන්නා ලෙසයි වෛද්‍යවරුන් උපදෙස් ලබා දෙන්නේ.

+


පුංචි ඡන්දයේ ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් කර නැහැ – රජය

(29.01.2023 – 13:07 +0530 – hirunews.lk/sinhala)

පළාත්පාලන ඡන්ද විමසීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන ගැසට් නිවේදනය මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ අනෙකුත් සාමාජිකයන්ගේ අත්සනින් මේ වන තෙක් (29) ගැසට් කර නොමැති බව රජය පවසනවා.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මේ බව සඳහන් කළේ නිවේදනයක් නිකුත් කරමින්.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය මැතිවරණ කොමිසන් සභාවේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවාගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ පළාත්පාලන මැතිවරණයක දී මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමේ බලය පැවරී ඇත්තේ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත බවයි ෴

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

තම සාමාජිකයින්ට එල්ල වී ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් මෙන්ම නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය වටපිටාව සකස්කර දෙන්නැයි ඉල්ලමින් එම ලිපිය යොමුකළ බවයි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී සඳහන් කළේ.

මැතිවරණය සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුලු රජයේ ආයතනවල ක්‍රියාකාරීත්වය පිළිබඳව අවධානය යොමුකරන ලෙසද සභාපතිවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

මේ අතර මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට එල්ලවන මරණ තර්ජන සම්බන්ධයෙන් අද (29) පොලිස් මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව අදහස් පළ කළා.

එමෙන්ම මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට එල්ලවන මරණ තර්ජන සම්බන්ධයෙන් කඩිනම් පියවර ගත යුතු බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.

මේ අතර කඩුවෙල මහ නගර සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් මාර්ග ප්‍රතිසංස්කරණයට යෙදවීම සඳහා රුපියල් ලක්ෂ 1500 ක මුදලක් අනුමත කරගැනීමට තැත්කරන බව පවමසමින් එම නගර සභාවේ ස්වාධීන කණ්ඩායමක නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් විසින් අද (29) මැතිවරණ කොමිසම වෙත පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

මේ අතර රජයේ මුද්‍රණාලය සඳහන් කළේ මේ වනවිට ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ආරම්භ කර ඇති බවයි ෴


ගුරුවරියකට අතවර කළ බවට ඇල්ලූ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී රිමාන්ඩ්

(29.01.2023 – 15:49 +0530 – hirunews.lk/sinhala)

ගුරුවරියකට ලිංගික අතවර කළ බව කියන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ හොරණ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක්.

39 හැවිරිදි ගුරුවරිය ප්‍රතිකාර සඳහා හොරණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අදාළ ගුරුවරිය පසුගිය දිනෙක වෙළඳසැලකට යමින් සිටි අවස්ථාවකදී හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇයට බලහත්කාරකමක් කිරීමට උත්සහ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *