15 හැවිරිදි දියණිය ගණිකා ජාවාරමේ යෙදවූ මව ඇතුළු හයක් (6) රිමාන්ඩ්

15 හැවිරිදි දියණිය ගණිකා ජාවාරමේ යෙදවූ මව ඇතුළු හයක් (6) රිමාන්ඩ්


15 හැවිරිදි දියණිය ගණිකා ජාවාරමේ යෙදවූ මව ඇතුළු හයක් (6) රිමාන්ඩ්

(28.01.2023 – 07:42 +0530 – hirunews.lk/sinhala)

පානදුර ප්‍රදේශයේ 15 හැවිරිදි සිය දියණිය ගණිකා ජාවාරමේ යෙදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මවක, ඇතුළු 6 දෙනෙකු ලබන මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරුවන් ඊයේ (27) ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

සැකකරුවන් අතර දැරියගේ මව, ගණිකා ජාවාරම මෙහෙයවූ තවත් කාන්තාවක් සහ පුද්ගලයින් 4 දෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.

බාලවයස්කාර දැරියක මෙලෙස වැඩිහිටි පුද්ගලයන්ට අලෙවි කරන බවට ලද තොරතුරක් මත පානදුර පොලීසිය විසින් සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.

එම අවස්ථාවේදීයි ගණිකා ජාවාරම මෙහෙයවූ තවත් කාන්තාවක් මෙන්ම දැරිය සමග ලිංගිකව හැසිරුණු පුද්ගලයින් 4 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවේ. සැකකරුවන් පානදුර, කෙසෙල්වත්ත සහ ගොරකාන ප්‍රෙද්ශයේ පදිංචිකරුවන්.

සැකකරුවන් අතර 84 හැවිරිදි ලියවන පට්ටල්කරුවෙකු, මාළු වෙළෙන්දෙකු, හාඩ්වෙයාර් හිමිකරුවෙකු සහ ව්‍යාපාරිකයෙකු ද වන බවයි පොලීසිය සදහන් කළේ.

ජාවාරම මෙහෙය වූ කාන්තාවක විසින් ඇයව වැඩිහිටි පුද්ගලයින්ට අලෙවි කර හෝටල් කාමර වලට සහ නිවෙස් වලට රැගෙන ගොස් මුදලට අලෙවි කර ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා පානදුර රෝහලට ඇතුළත් කර ඇති අතර, දැරිය සහ මව පානදුර – ගොරකාන ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිට තිබෙනවා.

මෙම දැරිය ඉගෙනීමට දක්ෂ සිසුවියක් බවත්, ඇය එම ස්ථානයේ සිට පාසල් ද ගොස් ඇති අතර අවුරුදු 13 ක කාලසීමාවේ සිට මවගේ අනුබලය ඇතිව මෙලෙස ගණිකා ජාවාරමේ යෙදී ඇති බවත් පොලීසිය ප්‍රකාශ කරයි ෴


ශ්‍රී ලාංකික ධීවරයින් පහක් (5) මියන්මාරයේ පොලිසියක

(28.01.2023 – 07:34 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයින් 05 දෙනෙකු මියන්මාරයේ යැන්ගොන් ප්‍රදේශයේ පොලිසියක රඳවා සිටින බවට ඔවුන්ගේ ඥාතීන් පවසනවා.

පසුගිය වසරේ දෙසැම්බර් 29 වන දින එම පිරිස ත්‍රිකුණාමලය ධීවර වරායෙන් මුහුදු ගොස් තිබෙන අතර, ඔවුන් දික්වැල්ල, වැලිගම සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන්ගේ බෝට්ටුව වෙනත් යාත්‍රාවකින් රැගෙන යන බවට ධීවරයින්ගේ ඥාතීන්ට තොරතුරක් ලැබී තිබූ අතර, ඔවුන් විසින් විසින් මීට පෙර ධීවර දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති, නාවික හමුදාවෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව යි ෴


අපේක්ෂකයෙකුගේ පියෙකුට පහර දුන් පිරිසක් සොයා විමර්ශන

(28.01.2023 – 07:54 +0530 – hirunews.lk/sinhala)

මෙවර පළාත් පාලන ඡන්ද විමසීම සඳහා කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවට ඊතලවිද්දවැව කොට්ඨාසයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වන අපේක්ෂකයෙකු ගේ පියෙකුට කිසියම් පිරිසක් විසින් නිරුවත් කර පහරදීමක් සිදුකර තිබෙනවා.

ඊයේ (27) අලුයම මුහුණ ආවරණය කරගෙන පැමිණි පිරිසක්, ඔහු නවාතැන්ගෙන සිටි නිවසෙන් පිටතට රැගෙන ගොස් මෙම පහර දීම සිදු කර තිබුණේ අසළ පිහිටි කණුවක ගැට ගැසීමෙන් පසුව යි.

ඉදිරි පළාත්පාලන ඡන්ද විමසීමට සිය පුත්‍රයා ඉදිරිපත් නො කරන ලෙස පහර දුන් පිරිස ඔහුට තර්ජනය කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ ෴

+


විදුලිබල මණ්ඩලය සහ උපයෝගීතා කොමිසමේ මත ගැටුම තවදුරටත් (28.01.2023)

+


‘හරක් කටා’ගේ ප්‍රධාන ගෝළයෙක් තිහගොඩ දී අත්අඩංගුවට

(28.01.2023 – 13:09 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ‘හරක්කටා’ගේ ප්‍රධාන ගෝළයෙක් හොරොයින් සමග තිහගොඩ ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රැම් 15 යි මිලිග්‍රැම් 100 ක් ද සිය භාරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කළේ.

සැකකරු වැලිගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අයෙකු වන අතර ඔහු අපරාධ කල්ලි නායක ‘නදුන් චින්තක වික්‍රමරත්න’ හෙවත් ‘හරක්කටා’ගේ මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු මෙහෙයවා ඇති බවට යි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

මේ අතර, සැකකරු පසුගිය 11 වනදා ‘මදුර ලක්ෂිත’ හෙවත් ‘මිදිගම හිච්චි මල්ලි’ ඝාතනයට ආධාර අනුබල දුන් බවට ද තොරතුරු හෙළි ව තිබෙනවා.

ඔහුට එරෙහි ව 2018 වසරේ ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් ද මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කළේ.

මේ අතර, පාණදුර දකුණ – පිංවල ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී හෙරොයින් ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 750 ක් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊට අමතර ව සැකකරු සතු ව තිබූ කඩුවක්, මුදලින් රුපියල් 66,800 ක මුදලක් සිය භාරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 47 හැවිරිදි පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴


චීනයට කෙසෙල් අපනයනය කිරීමට සැලසුමක්

(28.01.2023 – 13:21 +0530 – hirunews.lk/sinhala)

මෙරට කෙසෙල් විශේෂ කිහිපයක් ඉදිරියේ දී චීනයට අපනයනය කිරීමට සැලැසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

කෙසෙල් අපනයනය සඳහා චීන රජය හා ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුමක් මීට වසර කිහිපයකට පෙර අත්සන් කර තිබුණ ද එය මෙතෙක් ක්‍රියාත්මක වූයේ නැහැ.

ඒ අනුව, මෙරට වගා කෙරෙන පලතුරු චීනයට අපනයනය කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීම‍ට පියවර ගන්නා බව යි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

එම අමාත්‍යාංශයේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය මඟින් සෑම සතියකට ම වරක් ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 12,500 ක් ඩුබායි වෙළඳපොළට මේ වන විටත් අපනයනය කරනු ලබනවා ෴


ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවාගැනීමේ අදාළ තරග විභාගය ගැසට් කෙරේ

(28.01.2023 – 13:30 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ජාතික පාසල් හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් බඳවාගැනීමට අදාළ තරග විභාගය ගැසට් කර තිබෙනවා.

ඒ අනුව https://applications.doenets.lk/ යන වෙබ් අඩවි ඔස්සේ විභාග අයදුම්පත් බාගත කරගත හැකි යි. (අවසාන දිනය : 11-02-2023)


ගොයම් කහ පැහැ වීමේ රෝගය හේතුවෙන් වී වගාව අනතුරක

(28.01.2023 – 13:52 +0530 – hirunews.lk/sinhala)

මෙවර මහ කන්නය සඳහා වගා කළ වී වගාවේ ගොයම් කහ පැහැ වීමේ රෝගය හේතුවෙන් සිය වගා බිම් විශාල ප්‍රමාණයක් අත්හැර දැමීමට සිදුව ඇති බව ප්‍රදේශ රැසක ගොවීන් මැසිවිලි නගනවා.

ඔවුන් චෝදනා කරන්නේ, මේ සම්බන්ධයෙන් බලධාරීන් කොතෙකුත් දැනුම්වත් කළද මෙතෙක් ඊට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවටයි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ගිරිතලේ ගොවි ජනපද ව්යාපාරයේ මෙවර මහ කන්නය සඳහා දහසකුත් බලාපොරොත්තු මැද වගාකළ පැළ ගොයමට මේ වනවිට අත්ව ඇති ඉරණමයි මේ.

මෙවර මහ කන්නය යටතේ හේන්කොළවැව ප්‍රදේශයේ පමණක් 250 කට ආසන්න ගොවින් පිරිසක් කුඹුරු අක්කර 800 කට ආසන්න ප්‍රමාණයක් වී වගාකර ඇති අතර එම වගාවන්ගෙන් සැළකිය යුතු ප්‍රමාණයක් මේ වනවිටත් ගොයම කහ පැහැ වීමේ රෝගයට ගොදුරු වී අවසන්.

රෝග ලක්ෂණ හඳුනාගත් මුල් අවස්ථාවේදීම මේ සම්බන්ධයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්ක කෘෂි බලධාරීන් දැනුවත් කිරීමට ගොවීන් කටයුතු කළ නමුත් ඒ පිළිබඳව සොයා බැලීමට කිසිඳු වගකිව යුත්තෙකු නොපැමිණි බවටයි ගොවීන් චෝදනා කරන්නේ.

රජය විසින් සපයනු ලැබූ ප්‍රමිතියකින් තොර පොහොර භාවිතය මෙම ගැටලුවට ප්‍රධාන වශයෙන් බලපාන්නට ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා.

+


බදු ප්‍රතිපත්තිය පිළිබඳ එක්සත් ව්‍යවසායකයින්ගේ සංගමයෙන් චෝදනාවක්

(28.01.2023 – 13:57 +0530 – hirunews.lk/sinhala)

රජයේ බදු ප්‍රතිපත්ති නිසා ව්‍යාපාරිකයන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවට එක්සත් ව්‍යවසායකයින්ගේ සංගමය පවසනවා.

ඔවුන් මේ අදහස් පළ කළේ, කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී.

+


ගතින් නැතත් සිතින් නැඟිටින කැකිරාවේ දිරිය කත

(28.01.2023 – 14:04 +0530 – hirunews.lk/sinhala)

ශරීරයේ ඇතිවන යම් ආබාධයක් නිසා පීඩාවට පත්වුවත් තම ජීවිතය සාර්ථක කරගන්නට එය බාධාවක් කර නොගත් දිරිය කාන්තාවක් පිළිබඳ අපට කැකිරාව ප්‍රදේශයෙන් වාර්තා වුණා.

කාන්තාවකගේ හිත කොතරම් ශක්තිමත්ද යන්න ගැන ඇය අපට කියා දෙන්නේ හරි අපූරු ආදර්ශයක්.

වයස අවුරුදු 47 ක් වන ජේ.එච්.එම්. චන්ද්‍රලතා එක් (1) දරු මවක් වුවත් මේ වනවිට සිය සැමියා සහ එකම දරුවා ඇයව හැරගොස් අවසන්.

කිසිදු හව්හරණක් නොමැති වුවත් කිසිවෙකුට අත නොපා හිතේ දිරියෙන් ජීවිත ගමන ගෙන යන්නට ඇය අදිටන් කරගෙන ඇත්තේ ජීවිතය යන්න හොඳින් අවබෝධ කරගනිමින්.

උපතින්ම පෝලියෝ ආබාධ සහිත කාන්තාවක‍ වන ඇය උපාධිධාරී ගුරුවරියක් වුවත් මුහුණ පාන්නට සිදුවූ හැලහැප්පීම් ගණනාවක් නිසා ඇයට සිය රැකියාවද අහිමි වී තිබෙනවා.

ඇයගේ එක් පාදයක අස්ථි මේ වනවිට බිඳී ගොස් ජීවිතය රෝද පුටුවට සීමා වී ඇත්තේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය මුදල් හදල් නොමැතිවීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

නමුත් ඒ බාධා කිසිවක් ජීවිතය ගෙන යන්නට අවහිර කර නොගනිමින් මේ වන විට ඇය තවත් අයෙකුගේ උදව් උපකාර ඇතිව සබන් නිෂ්පාදනයට යොමුවී තිබෙනවා.

ජීවිතය ජයගන්නට ගතේ සවියට වඩා හිතේ සවිය අවැසිය බව යළි යළිත් ලොවට කියන චන්ද්‍රලතා මහත්මියගේ ජීවිත කතාව අප සැමට ලබා දෙන්නේ ලොකු ආදර්ශයක්.

+


දේශපාලුවන්ගේ රැවටීම්වලට එරෙහිව දොරුවාදෙණිය ගම්වාසීන්ගෙන් අපූරු පිළිතුරක්

(28.01.2023 – 14:54 +0530 – hirunews.lk/sinhala)

වසර ගණනාවක් තිස්සේ බලධාරින්ගේ ඇස නොගැටී දැඩි ලෙස අබලන්ව පැවති නාවලපිටිය – දොරුවාදෙණිය මාර්ගය, එම මාර්ගය භාවිත කරන ගම්මාන කිහිපයක වැසියන්ගේ මූල්‍යමය හා ශ්‍රම දායකත්වය යටතේ තනිව ම සාදා නිම කර ගැනීමට ගම්වාසීන් විසින් මේ දිනවල (28) කටයුතු කරනවා.

මැතිවරණ කිහිපයක දී ම දේශපාලකයන් විසින් මෙම මාර්ගය දඩ මීමා කර ගනිමින් තම ඡන්ද මඩි පුරවා ගැනීමට කටයුතු කළත්, එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී දේශපාලකයන්ගේ උප්පරවැට්ටිවලට තමා හසු නොවී, “අපේ පාර අපි ම හදා ගමු” යි යනුවෙන් ගම්වැසියන් මෙලෙස එක් රැස් වී සිටින්නේ රටේ අනෙකුත් ප්‍රදේශවල ජනතාවට ද ආදර්ශයක් සපයමින්.

ජාති ආගම්, ස්ත්‍රී- පුරුෂ සහ බාල මහලු හා තරුණ භේදයකින් තොරව ප්‍රදේශවාසීන් මෙම කාර්යයට දායකත්වය දක්වන අතර මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට අවශ්‍ය තාක්ෂණික සහ ඉංජිනේරු සහාය කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට අනුබද්ද අදාළ පාර්ශ්වවලින් ලබාගෙන, මාර්ගයට ‘ප්‍රිමික්ස් කෝලා’ අතුරා ප්‍රමිතිගතව සංවර්ධනය කිරීම මෙහි විශේෂත්වයක්.

දොරුවාදෙණිය, සමගිපුර, කහමාන සහ මැණික්වත්ත යන ගම්මානවල ග්‍රාම සංවර්ධන සමිති, සමෘද්ධි සමිතිවල නිලධාරින් සහ ඒවායේ සාමාජිකයින් ප්‍රදේශවාසින් එක්ව සිදු කරන මෙම කටයුත්තට එම ගම්මානවලට අනුබද්ධව රාජකාරියේ නියැලෙන ග්‍රාම නිලධාරින්, සංවර්ධන නිලධාරින් සහ සමෘද්ධි නිලධාරින් මෙන් ම කොත්මලේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ ද දැඩි සහයෝගයක් සහ අනුග්‍රහයක් ලැබෙන බවයි ගම්වාසීන් ප්‍රකාශ කරන්නේ.

ගම්වාසීන්ගේ ශ්‍රම සහ මූල්‍යමය දායකත්වය යටතේ සිදු කෙරෙන අදාළ ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දක්වන ගම්වාසින් පවසන්නේ, අබලන් වූ මාර්ගය සාදා දෙන්නම් යනුවෙන් මැතිවරණ කාලවල දී ගම්වාසීන් මුලා කරමින් දේශපාලකයන් ඡන්ද ලබා ගන්නට කටයුතු කළත්, මෙවර පළාත් පාලන මැතිවරණයේ දී අබලන් මාර්ගය දඩ මීමා කරමින් තමාව රැවටීමට එන දේශපාලකයන්ට ගම්වැසියන්ගේ එකමුතුවෙන් පිළිතුරක් දුන් බවයි.

කෙසේ නමුත් ගම්වාසින් විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු කිරීමත් සමග ප්‍රාදේශීය තලයේ දේශපාලකයන් රැසක් ම මූල්‍යමය අනුග්‍රහ සැපයීමට කටයුතු කළත් ප්‍රදේශවාසින් විසින් ඒවා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *