අනවසර විදුලි කප්පාදු ගැන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මහජනතාව ගෙන් තොරතුරු ඉල්ලයි

අනවසර විදුලි කප්පාදු ගැන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මහජනතාව ගෙන් තොරතුරු ඉල්ලයි


අනවසර විදුලි කප්පාදු ගැන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මහජනතාව ගෙන් තොරතුරු ඉල්ලයි

(27.01.2023 – 21:40 +0530 – sinhala.adaderana.lk)

අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන 2023 ජනවාරි 26 සිට 2023 පෙබරවාරි 17 දක්වා කාලය තුළදී විදුලි කප්පාදු සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර දී නොමැති බව එහි සභාපති ජනක රත්නායක මහතා දැනුම්දෙයි.

ඒ හේතුවෙන් අනවසර විදුලි කප්පාදුවලට මුහුණ පෑමට සිදු වුවහොත් ඒ පිළිබඳව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ලිඛිතව පැමිණිලි ඉදිරිපත් කරන ලෙස එම කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා ඇත.

අදාළ පැමිණිලි පහත පරිදි යොමු කළ හැකිය :

වට්ස්ඇප් – 077 568 7387
ඊමේල් – consumers@pucsl.gov.lk
ෆැක්ස් – 011 239 2641

++++++++

මානව හිමිකම් කොමිසම නඩු මඟට

(27.01.2023 – 17:35 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විධානය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සහ ඊට අගෞරව වන පරිදි අපහාස කිරීමේ වරදට අදාළ පාර්ශ්වයන් වෙත නඩු පැවරීමට එම කොමිසම තීරණය කර තිබේ.

ඒ, අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන ජනවාරි 23 වනදා සිට පෙබරවාරි 17 වනදා දක්වා අඛණ්ඩව විදුලි බල සැපයුමක් ලබාදීමේ විධානය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙනි.

ඒ අනුව අදාළ කොමිසම දැනුම් දෙන්නේ ඊට අදාළ සහතික ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අද (27) දින යොමු කළ බවය.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. ඩී. යූ. මාපා පතිරණ, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එස්. ඉලංගකෝන් මහතා සහ නීතිපතිවරයා මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස සඳහන් කර ඇති බවද මානව හිමිකම් කොමිසම පවසයි.

++++++++

විදුලි බල ඇමති කාංචනගෙන් චෝදනාවක්

(27.01.2023 – 17:28 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ විභාගය අවසන්වන පෙබරවාරි මස 17 වනදා තෙක් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට එළැඹි සමථයට අදාළ විධානය පැහැර හැරීමට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන තිබෙනවා.

එම නඩු පැවරීමට අදාළ සහතික අද (27) ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුකළ බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව සඳහන් කළේ.

නඩුවේ වගඋත්තතරකරුවන් ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම්කර ඇති බව සඳහන්.

මේ අතර පෙබරවාරි 17 වනදා දක්වා විදුලිය කප්පාදු කිරීම සඳහා වන ඉල්ලීම් කිරීමෙන් වැළකිය යුතු බව මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලය වෙත අවධාරණය කර තිබෙනවා.

එම කාලසීමාව තුළ දී විදුලි සැපයුම සීමා කිරීමක් සිදුකළහොත් එය බලපත්‍ර කොන්දේසි කඩකිරීමක් බවත්, විදුලිබල මණ්ඩලය ඒ සඳහා නීත්‍යානුකූලව වගකිව යුතු බවත්, මහජන උපයෝගීතා කොමිසම පෙන්වා දෙනවා.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා විසින් ලංකා විදුලි බල මණ්ඩලයේ බලධාරීන් වෙත ලිපියක් යොමු කරමිනුයි මේ බව සදහන් කර ඇත්තේ.

විදුලිබල මණ්ඩලය විසින් ජනවාරි මස 27 වන දින සිදු කිරීමට අපේක්ෂිත විදුලි කප්පාදුවට අදාළ ඉල්ලීම ඇතුළත් ලිපියකට ප්‍රතිචාර ලෙස මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා මෙම ලිපිය යොමුකර තිබෙනවා.

එහි වැඩිදුරටත් සදහන් වන්නේ ජනවාරි 26 වන දින සිට පෙබරවාරි 17 දක්වා කාලය තුළ කිසිදු ආකාරයක විදුලි කප්පාදුවට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා නොදෙන බවයි.

331,709 ක් වන උසස්පෙළ විභාග අපේක්ෂකයන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරිම සදහා මෙම පියවර ගන්නා බවද එම ලිපියේ සදහන්.

මේ අතර මානව හිමිකම් කොමිෂන් සභාව සමඟ පැවති සාකච්ඡාවේදී එකඟතාව පළනොකළ ලේඛන 02 කට තම අමාත්‍යංශ නිලධාරින්ගෙන් අත්සන් ලබාගෙන ඇති බවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

‘ට්විටර්’ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ සිරදඩුවම් නියමකරන බවට තර්ජනය කරමින් කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකු (2), තම නිලධාරින්ට බලපෑම් කර මෙම අත්සන් ලබාගෙන ඇති බවයි.

ඒ අනුව මානව හිමිකම් කොමිසමේ නිලධාරින්ට එරෙහිව ගතයුතු පියවර සම්බන්ධයෙන් දැනටමත් නීතිමය අදහස් විමසා ඇති අතර මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට ද ඊයේ (26) පෙරවරුවේ කටයුතු කළ බව අමාත්‍යවරයා පවසනවා.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ද මේ පිළිබඳ ඉදිරියේදී ලිඛිත දැනුවත් කිරීමක් සිදුකරන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය ‘ට්විටර්’ සටහනේ දක්වා ඇත්තේ.

එමෙන්ම පසුගිය 25 වනදා මානව හිමිකම් කොමිසම කැඳවූ සාකච්ඡාවේදී තමන් නියෝජනය කරමින් සහභාගි වූ නිලධාරින් මතු කළ කරුණු සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු නොවූ බවට චෝදනා කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

හුදෙක් මානව හිමිකම් කොමිසන් සභාවේ ඒකපාර්ශවීය මතය වෙත ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන්ගේ අනුමැතිය ලබාගත් බවට අදාළ නිලධාරීන් තමන්ට වාර්තා කළ බවයි කළමනාකාර අධ්‍යක්ෂවරයා එම ලිපියේ දක්වා ඇත්තේ.

එබැවින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත අසාධාරණයක් සිදුව ඇති අතර, මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශය යළි සළකා බැලීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බව කළමනාකාර අධ්‍යක්ෂවරයා එම ලිපියෙන් ඉල්ලා තිබෙනවා.

උසස් පෙළ විභාගය අවසන් වනතෙක් විදුලිය ලබාදීමට නම්, අවශ්‍ය පිරිවැය සපයා ගැනෙන ගාස්තු සංශෝධනයකට යනතුරු විදුලිය කප්පාදු කිරීමට සිදුවන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් සඳහන් කළේ.

මුදල් ප්‍රතිපාදන ලැබුනහොත් කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමේ හැකියාව පවතින බවි ඔහු කියා සිටියා.

කෙසේ වෙතත්, මානව හිමිකම් කොමිෂන් සභාවේ පසුගිය 25 වැනිදා පැවති සාකච්ඡාවකදී විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය, මහජන උපයෝගිතා කොමිසන් සභාව, විදුලිබල මණ්ඩලය සහ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සමථයකට එළැඹුනේ ඊයේ (26) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි විදුලිය කප්පාදු නොකිරීමටයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලබාදුන් විධානයන් කඩකරමින් ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (26) විදුලිය කප්පාදු කිරීමට පියවර ගත් අතර අද (27) දිනයේද ප්‍රදේශ රැසක පස්වරුවේ විදුලිය කප්පාදු කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර කොළඹ ඊයේ (26) පැවති සම්මන්ත්‍රණයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පෙන්වා දුන්නේ ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය අගෝස්තු මාසයේ සිදුකළ ගාස්තු සංශෝධනයෙන් පසු ලාභ ලබන බවයි.


‘ඔබතුමාට ව්‍යවස්ථාව ගැන දැනුමක් නැහැ’ – ජනපතිගෙන් ගෙවිඳුට සැර පිළිතුරක්

(27.01.2023 – 20:48 +0530 – hirunews.lk/sinhala)

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධයෙන් ඊයේ (26) සර්ව පාක්ෂික සමුළුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වුණා.

එහිදී ගෙවිඳු කුමාරතුංග ජනාධිපතිවරයාට පවසනුයේ , හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත්වූයේ 69 ලක්ෂයක ජන වරමකින් බවත්, ඔහුව ජනතාව පත් කළේ 13 වැනි ව්‍යවස්ථාවේ රහිත ඇතැම් කරුණු අඩංගු නොවන නව ව්‍යවස්ථාවක් සැකසීමට බවයි.

එමෙන්ම හිටපු ජනපතිවරයාගේ ධුරයේ ඉතිරි වූ කාලය සඳහා පමණක් ජනපති ධුරය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හිමිවී ඇති බවයි මන්ත්‍රී කුමාරතුංග වැඩිදුරටත් අවධාරණය කළේ.

එවන් තත්ත්වයක් තුළ 13 ව්‍යවස්ථාව බලාත්මක කිරීමට මේ වනවිට ජන වරමක් පාර්ලිමේන්තුවේ නොමැති බව ද ජනාධිපතිවරයා වෙත ගෙවිඳු කුමාරතුංග විසින් පහදා දීමට උත්සාහ කරනු ලැබුවා.

ජනාධිපතිවරයා එහිදී මන්ත්‍රී ගෙවිඳුට පැවසුවේ, ඔහුට ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නිසි දැනුමක් නොමැති බවයි.

තමන් විධායකය මිසක් ව්‍යවස්ථාදායකය නොවන බවත්, තමන්ව පත් කිරීමේ දී සජිත්ට ඡන්දය දුන් පිරිස සේ ම ගෝඨාභයට ඡන්දය දුන් අය ද මනාපය දුන් බැවින් දෙපාර්ශ්වයේ ම වරම තමන් වෙත තිබෙන බවයි ජනාධිපතිවරයා මන්ත්‍රී ගෙවිඳුට මතක් කර සිටියේ.

ජනාධිපති වුව ද, කිසිදු නීතියක් සම්මත කිරීමේ බලය තමන් වෙත නොමැති බවත්, එය ක්‍රියාත්මක කිරීමේ බලයක් පමණක් ඇති බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

එහිදී ජනාධිපතිවරයා මන්ත්‍රීවරයාට පැවසුවේ මෙවැන්නක් :

“නෑ නෑ ඕන එකක් කියන්න.. ව්‍යවස්ථාව ගැන නොව විධායක බලය විතරයි මට තියෙන්නෙ.. ඔබතුමත් මං වගේ.. ඔබතුමත් ආවෙ ලිස්ට් එකෙන්. මමත් ආවේ ලිස්ට් එකෙන්. අපි දෙන්නම එකයි. මොකක්ද වෙනස…?” යනුවෙන් යැයි ජනාධිපතිවරයා සර්ව පාක්ෂික සමුළුව මධ්‍යයේ ගෙවිඳු මන්ත්‍රීවරයාගෙන් සිනහවෙමින් විමසා සිටියා.

+

+


යූරියාවල පණුවන් සිටින බවට පළ වූ වාර්තා ගැන කෘෂිකර්ම ඇමති වාර්තාවක් කැඳවයි

(27.01.2023 – 14:04 +0530 – hirunews.lk/sinhala)

රජය විසින් සපයන ලද යූරියා පොහොරවල කළු පැහැති පණුවන් විශේෂයක් සිටින බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර වාර්තාවක් ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

පොළොන්නරුව – මනම්පිටියේ ගොවීන් පිරිසක් විසින් සිදු කළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් අද (27) ජාතික පුවත්පතක මේ සම්බන්ධයෙන් වාර්තාවක් ද පළ වී තිබූ අතර, ඒ අනුවයි අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරියට, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයාට මෙම උපදෙස් ලබා දී ඇත්තේ.

යූරියා යනු, ඇමෝනියා බහුල වශයෙන් පවතින රසායනික පොහොරක් බැවින් කිසි ලෙසකින් එහි ජීවියෙකු සිටිය නො හැකි බවයි පොහොර ලේකම් කාර්යාලය පවසන්නේ ෴


බුදු පිළිමයක ඌර්ණ රෝම ධාතුව සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

(27.01.2023 – 14:06 +0530 – hirunews.lk/sinhala)

කළුබෝවිල හත්බෝධි විහාරස්ථානයේ බුදු පිළිමයේ තැන්පත් කර තිබූ රනින් නිම කරන ලද ඌර්ණ රෝම ධාතුව සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුබෝවිල ජය සමගි මාවතේදී ඊයේ (26) අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ 43 හැවිරිදි වියේ පසුවන සැකකරු සතුව මෙම ඌර්ණ රෝම ධාතුව ද තිබී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

පසුගිය 19 වනදා බුදු මැදුරේ දොර කඩා ග්‍රෑම් 16 ක් බරැති රන් ඌර්ණ රෝම ධාතුව සොරකම් කර ඇති බවට බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයට ලද පැමිණිල්ලක් මත අදාළ වැටලීම සිදු කර තිබෙනවා ෴


‘රැමිස්’ (RAMIS) මෘදුකාංග පද්ධතියේ ක්‍රියාකාරිත්වය පිළිබඳ රන්ජිත් සියඹලාපිටිය ගෙන් ප්‍රකාශයක්

(27.01.2023 – 14:14 +0530 – hirunews.lk/sinhala)

වසර 10 ක පමණ කාලයක සිට අක්‍රිය තත්ත්වයේ පවතින ආදායම් බදු දෙපාර්තමේන්තු වේ රැමිස් මෘදුකාංග පද්ධතිය මේ වසරේදී ක්‍රියාකාරී තත්ත්වයට පත් කළ හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ ඊයේ (26) මේ සම්බන්ධයෙන් පළ වු අදහස් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

රුපියල් බිලියන 10 ක් වැය කර 2014 වසරේ දී ආදායම් බදු දෙපාර්තමේන්තුවට ලබාගත් RAMIS මෘදුකාංග පද්ධතිය තවමත් ක්‍රියාකාරී මට්ටමේ නොපවතින බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පැවසුවා.

එම පද්ධතිය ක්‍රියාත්මක තත්ත්වයට ගෙන ඒම සඳහා තවත් විශාල මුදලක් වැය කිරීමට සිදුවන බවට කළ ප්‍රකාශයට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අද (27) ප්‍රතිචාර දැක්වුවා.

+


කළු විරෝධතාව තවදුරටත්

(27.01.2023 – 14:16 +0530 – hirunews.lk/sinhala)

රජයේ බදු ප්‍රතිපත්තිවලට එරෙහිව වෘත්තීයවේදීන් ප්‍රකාශයට පත්කර ඇති කළු විරෝධතා සතිය අද (27) පස් වැනි (5) දිනටත් ක්‍රියාත්මක වුණා.

ඒ අනුව අදත් (27) විවිධ ප්‍රදේශවලදී වෘත්තියවේදීන් විරෝධතා ව්‍යාපාරවල නිරත වුණා.

රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තියවේදීන් කළු විරෝධතා සතියක් ආරම්භ කළේ පසුගිය 23 වැනි දා යි.

රජය විසින් ඉදිරිපත් කර ඇති බදු ප්‍රතිපත්තිවලට එරෙහිව පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය ද විරෝධතාවක නිරත වුණා.

මේ අතර, ලංකා බැංකුවේ ගම්පහ දිස්ත්‍රික් සේවක සංගමය ද කළු විරෝධතා සතියට සහය පළ කරමින් විරෝධතාවක් සංවිධාන කර තිබුණා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *