අනුරාධපුර – ඇලයාපත්තුව – මාන්කඩවල ප්‍රදේශයේ නිවසක ගින්නකින් මවක සහ දරුවන් දෙදෙනෙකු (2) මිය යයි

අනුරාධපුර – ඇලයාපත්තුව – මාන්කඩවල ප්‍රදේශයේ නිවසක ගින්නකින් මවක සහ දරුවන් දෙදෙනෙකු (2) මිය යයි


අනුරාධපුර – ඇලයාපත්තුව – මාන්කඩවල ප්‍රදේශයේ නිවසක ගින්නකින් මවක සහ දරුවන් දෙදෙනෙකු (2) මිය යයි

(27.01.2023 – 07:59 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර – ඇලයාපත්තුව – මාන්කඩවල ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් මවක, කුඩා දරුවන් දෙදෙනෙකු (2) මිය ගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පස් (5) හැවිරිදි පිරිමි දරුවෙකු, දස (10) හැවිරිදි වියේ පසුවන ගැහැණු දරුවෙකු සහ 30 හැවිරිදි මවක්.

ඔවුන් නිදමින් සිටි කාමරයේ ඊයේ (26) රාත්‍රියේ අදාළ ගින්න හටගෙන ඇති අතර, දරුවන් සහ බිරිඳ බේරාගැනීමට ගිය 37 හැවිරිදි ස්වාමිපුරුෂයා පිළිස්සුම් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අසල පිහිටි නිවසකින් අදාළ නිවසට විදුලිය ලබාගෙන ඇති අතර, ගින්නට හේතුව නිශ්චිතව ප්‍රකාශ කළ නො හැකි බව යි ඇලයාපත්තුව පොලිසිය සඳහන් කළේ ෴

+

+

+


පහේ විභාගයෙන් සිසුන් 48,257 දෙනෙකු කඩඉම් ලකුණු සපුරයි

(27.01.2023 – 07:30 +0530 – hirunews.lk/sinhala)

2022 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අපේක්ෂකයින් 329,668 ක් පෙනී සිට ඇති අතර ඉන් 48,257 දෙනෙකු වෙනත් පාසල් සඳහා කඩඉම් ලකුණු සපුරා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, සියයට 14.64 ක් ඊට සුදුසුකම් ලබා ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

2021 වසරේ දී සිසුන් 335,158 ක් ශිෂ්‍යත්ව විභායට පෙනී සිට ඇති අතර ඉන් 47,536 දෙනෙකු වෙනත් පාසල් සඳහා කඩඉම් ලකුණු සපුරා තිබුණා.

2021 වසරට සාපේක්ෂව 2022 වසරේදී අපේක්ෂකයින් අඩු ප්‍රමාණයක් ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වුව ද මේ වසරේ දී වෙනත් පාසල් සඳහා කඩයිම් ලකුණු සපුරා ඇති ප්‍රමාණයේ වැඩි වීමක් දක්නට ලැබෙන බව යි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මේ අතර, 2022 වසරේදී 157,624 දෙනෙකු ලකුණු 100 හෝ ඊට වැඩියෙන් ප්‍රතිඵල ලබාගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 47.81 ක්.

එමෙන්ම, ලකුණු 70 හෝ ඊට වඩා වැඩියෙන් 273,515 දෙනෙකු ලකුණු ලබාගෙන ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස සියයට 82.97 ක් බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

2022, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව ලකුණු 195 බැගින් ලබාගත් සිසුන් දෙදෙනකු (2) මිනුවන්ගොඩ රෙජී රණතුංග විද්‍යාලයෙන් සහ වේයන්ගොඩ ප්‍රාථමික විද්‍යාලයෙන් වාර්තා වුණා.

ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ කටයුතු සිදු කිරීමට අවශ්‍ය නම් පෙබරවාරි 28 වැනි දා පෙරට අභියාචනා ඉදිරිපත් කළ යුතු වනවා.

මේ අතර, ගල්ගමුව අධ්‍යාපන කොට්ඨාශයේ ඇහැටුවැව බණ්ඩාරනායක ජාතික පාසලේ විභාග මධ්‍යස්ථානයේ දී ගුරුවරියක විසින් ප්‍රශ්න පත්‍ර බෙදා හැරීමේ දී අසාධාරණයක් වූ බව කියන සිසුන් 11 දෙනාගෙන් දෙදෙනෙකු (2) ද විභාගය සමත් වී තිබෙනවා.

මේ අතර, ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් කියා සිටියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලය කුමක් වූවත්, දරුවන්ගේ මානසික මට්ටම ඉහළ නැංවෙන ආකාරයට දෙමව්පියන් කටයුතු කළ යුතු බව යි ෴


මිතුරෙකු සමඟ බීර පානය කළ වරදට උරණ වී මනාලියක්, මනාලයාගේ කණ සපා කයි

(27.01.2023 – 07:40 +0530 – hirunews.lk/sinhala)

විවාහ වී මධුසමය ගතකර පැමිණ තම මනාල සැමියාගේ කන සපා කෑ මනමාලියක පිළිබඳ පුවතක් ගම්පොල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මිතුරෙකු සමඟ මත්පැන් පානය කිරීම සම්බන්ධයෙන් කෝපයට පත්වීමෙනුයි ඇය මෙම ක්‍රියාව සිදුකර ඇත්තේ.

දෙවන ගමන නිමාකර මනාලයාගේ නිවසට පැමිණි මෙම නව යුවළ නිවැසියන් විසින් උණුසුම් අයුරින් පිළිගෙන ඇති අතර, පසු ව මිතුරෙකු සමඟ බීර පානය කර තිබෙනවා.

එයින් කෝපයට පත් මනාලිය ඔහුගේ කන සපා කා පහරදී මංගල මුදුවද මනාලයාට ගලවා දී නැන්දම්මාට සහ මාමන්ඩියටද බැන වැදී ඇයගේ නිවසට ගොස් තිබුණා.

මෙම යුවල වසර 07 ක් පෙම්වතුන් ලෙස ගත කිරීමෙන් අනතුරුව යි විවාහ වී ඇත්තේ ෴


වෛද්‍ය සභාවේ සභාපති ඇතුළු හතර (4) දෙනෙකුගේ කටයුතු අත්හිටුවමින් අධිකරණ නියෝගයක්

(27.01.2023 – 07:51 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානායක සහ සෙසු සාමාජිකයින් හතර (4) දෙනෙකුට එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කළා.

අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ හිටපු සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි තමන්ව වෛද්‍ය සභාවේ තනතුරුවලින් ඉවත් කිරීමට ගත් තීරණයට එරෙහිව හිටපු සභාපති මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා සහ තවත් හිටපු සාමාජිකයින් පිරිසක් ගොනුකළ පෙත්සම ඊයේ (26) සළකා බැලූ අවස්ථාවේදියි.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මොහොමඩ් ලෆාර් සහ එස්.යූ.බී. කරලියැද්ද යන විනිසුරු මඩුල්ල සඳහන් කළේ වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයා ඇතුලු සාමාජිකයින් ඉවත් කිරීමේ දී හිටපු අමාත්‍යවරිය ද්වේශ සහගත සහ අත්තනෝමතික ව කටයුතු කර ඇති බව යි.

ඉවත් කිරීමට පෙර පෙත්සම්කරුවන්ගෙන් කරුණු විමසීමක් සිදු කිරීමට හෝ හිටපු අමාත්‍යවරිය කටයුතු කර නොමැති බව ප්‍රකාශ කළ අධිකරණය එමඟින් ස්වභාවික යුක්ති ධර්මය නැමති නීතිමය මූලධර්මය උල්ලංඝණය කර ඇති බව ප්‍රකාශ කළා ෴


මාවනැල්ල – හෙම්මාතගම මාර්ගයේ ජල නළයක් පුපුරා යාමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

(27.01.2023 – 07:52 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ල – හෙම්මාතගම මාර්ගයේ වෑත්තෑව දක්වා අලුතින් එලන ලද ජල නළයක් පුපුරා යාමෙන් මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ (26) මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාවනැල්ල – දුනුගම ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පුද්ගලයෙකු බවයි මාවනැල්ල පොලිසිය සඳහන් කළේ.

මාවනැල්ල ජල සම්පාදන මණ්ඩලයට අනුබද්ධ සමාගමක් අදාළ නළයේ පීඩනය පරීක්ෂා කරමින් සිට තිබෙනවා.

එම අවස්ථාවේ නළය පුපුරා ඇති අතර, අසළින් ගමන් කරමින් සිටි මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ ෴


හම්බන්තොට මහ රෝහලේ ඖෂධ නොමැති බවට හෙළිදරවුවක්

(27.01.2023 – 10:37 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට මහ රෝහලට පැමිණෙන රෝගීන් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග එකසිය විස්සකට (120) වැඩි සංඛ්‍යාවක් රෝහලෙහි නොමැති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ හේතුවෙන් රෝගීන් මෙන් ම වෛද්‍යවරුන් ද දැඩි අපහසුතාවට පත් ව ඇති බව යි වාර්තා වන්නේ.

මේ අතර, යම් අවස්ථාවල ‘හදිසි හෘද රෝග ප්‍රතිකාර ඒකකය’ වසා දැමීමට ද සිදු වූ බව රෝහල් ආරංචි මාර්ග පවසන අතර, මේ තත්ත්වය හමුවේ පසුගිය මාස කිහිපය තුළ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකු (3) ඇතුළු වෛද්‍යවරු 38 දෙනෙකු රෝහල හැර ගොස් ඇති බවත් සඳහන් වනවා.

ඉදිරියේ දී තවත් වෛද්‍යවරු කිහිප දෙනෙකු විදේශගත වීම සඳහා ඉල්ලුම් කර ඇතැයි ද ආරංචි මාර්ගවල සඳහන්.

හම්බන්තොට මහ රෝහලේ රෝගී අංශ සඳහා විශේෂඥ වෛද්‍යවරුන් තිස් පස් දෙනෙකු (35) අවශ්‍ය වුවත් මේ වන විට සිටින්නේ වෛද්‍යවරුන් තිස්දෙනෙකු (32) පමණක් වීම හේතුවෙන් ශල්‍යකර්මවලට මෙන් ම විශේෂඥ වෛද්‍ය සායන කරගෙන යාම ද දැඩි අර්බුදයකට පත් ව ඇති බව සඳහන් වනවා.

දරු ප්‍රසූතියක දී අධික රුධිර වහනය වැළැක්වීම සඳහා භාවිත කරන ඖෂධ කිසිවක් රෝහලේ නැති බවත් දියවැඩියා රෝගීන් සඳහා ලබා දෙන ඉන්සියුලින් පවා රෝහලේ නැති බවත් වෛද්‍යවරුන් පවසනවා ෴


ශිෂ්‍යත්වය විභාගයෙන් ලකුණු 198 ක් ගත් සිසුවෙක්

(27.01.2023 – 12:34 +0530 – hirunews.lk/sinhala)

ලකුණු 198 ක් ලබා ගනිමින් ශිෂ්‍යත්වය සමත් වූ සිසුවෙකු පිළිබඳ පුවතක් පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාලයෙන් වාර්තා වෙනවා.

ඒ, මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමු, දෙවන හා තෙවන ස්ථාන ලබාගත් සිසුන් පිළිබඳව විභාග දෙපාර්තමෙන්තුව මෙතෙක් නිවේදනය නොකර ඇති පසුබිමකයි.

‘චෙනිත නෙත්දිනු පෙරේරා’ වන මෙම සිසුවා හෝමාගම, දියගම ප්‍රදේශයේ පදිංචි අයෙක්.

චෙස් ක්‍රීඩාවට, චිත්‍ර කලාවට මෙන්ම සංගීතයට ද බොහෝ සෙයින් දස්කම් දක්වනවා ෴

+


තම දියණිය දූෂණය කළ පියෙකුට වසර 48 ක සිරදඬුවමක්

(27.01.2023 – 12:49 +0530 – hirunews.lk/sinhala)

තම දියණිය දූෂණය කර දරුවකු ප්‍රසූත කිරීමට බල කළ පියෙකුට කෑගල්ල මහාධිකරණය වසර 48 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබෙනවා.

කෑගල්ල මහාධිකරණ විනිසුරු ජයකි ද අල්විස් මහත්මිය විසින් ඊයේ (26) ඔහුට දඬුවම් නියම කළා.

එම අවස්ථාවේ දී ඔහු වරද පිළිගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

තිදරු (3) පියෙකු වන වරදකරුට, වින්දිත දැරිය වෙත රුපියල් ලක්ෂ පහක (5,00,000) වන්දියක් ගෙවන ලෙස ද නියෝග කෙරුණා.

වින්දිත දැරියට වයස අවුරුදු 13 දී, ඇගේ මව රැකියාවක් සඳහා කුවේට් බලා පිටත්ව ගොස් ඇති බව ද අධිකරණයට දන්වා තිබෙනවා.

එම නිසා දැරිය, ඇගේ පියා සහ ඇගේ සහෝදර සහෝදරියන් දෙදෙනා (2) සමඟයි පදිංචිව සිට ඇත්තේ.

මෙම කාලය තුළ මෙම පුද්ගලයා තම දියණිය කිහිප වතාවක් දූෂණය කර ඇති බව අධිකරණයට දන්වා තිබෙනවා ෴


මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ අඩුපාඩු පවතින බවට හෙළිදරවුවක්

(27.01.2023 – 13:17 +0530 – hirunews.lk/sinhala)

මෑතක දී සම්මත වූ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ අඩුපාඩු පවතින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

මෙම පනත පිළිබඳ කොළඹ ඊයේ (26) පැවති මහජන කථිකාවතට එක්වෙමින් ඔහු මේ බව කියා සිටි අතර, මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එක්ව මෙය සංවිධාන කර තිබුණා.

මෙම අවස්ථාවට මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය එක්වුණා.

මේ අතර, නිදහස් ජනතා සන්ධානය අපේක්ෂක හමුවක් ඊයේ (26) කොළඹ නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වුණා ෴

+


නිදහසට කරුණු දක්වමින් තෙල් සංස්ථාවෙන් මානව හිමිකම් කොමිසමට ලිපියක්

(27.01.2023 – 13:22 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ සමයේ විදුලි කප්පාදුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මානව හිමිකම් කොමිසම කැඳවා තිබූ සාකච්ඡාවට සහභාගිවීමට නොහැකිවීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

පසුගිය 25 වනදා පැවති එම සාකච්ඡාවට සහභාගි වීමට නොහැකිවුණේ නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට එදින සහභාගිවීම හේතුවෙන් බවයි ඔහු එමඟින් දක්වා ඇත්තේ.

කෙසේ වෙතත් තමන් නියෝජනය කරමින් සහභාගිවූ ඛනිජ තෙල් නීතිගත සංස්ථා නිලධාරීන් අදාළ සාකච්ඡාවේදී මතු කළ කරුණු සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු නොවූ බවද එමඟින් ඔහු දක්වා තිබෙනවා.

හුදෙක් මානව හිමිකම් කොමිසන් සභාවේ ඒකපාර්ශවීය මතය වෙත ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන්ගේ අනුමැතිය ලබාගත් බවට අදාළ නිලධාරීන් තමන්ට වාර්තා කළ බවයි කළමනාකාර අධ්‍යක්ෂවරයා ලිපියෙන් පෙන්වා දෙන්නේ.

එබැවින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත අසාධාරණයක් සිදුව ඇති අතර, මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශය යළි සළකා බැලීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බව ඔහු එමඟින් අවධාරණය කර තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලයට අඛන්ඩව දැවිතෙල් සහ නැප්තා ආනයනික ඉන්ධනවලට වඩා අඩු පිරිවැයක් යටතේ නිකුත් කළ හැකි වුවද ඒ සඳහා මුදල් නොලැබීම සහ ණය පදනම මත දැනට පවතින තොග නිකුත් කිරීමෙන් ඉදිරියේ දී පිරිපහදුව යළිත් වතාවක් අකර්මණ්‍ය වීමෙ අවදානමක් මතුව ඇති බවයි ඔහු පවසන්නේ.

විදුලිය සැපයීම ජාතික අවශ්‍යතාවක් සේ සළකා රුපියල් බිලියන 111 ක වටිනාකමින් යුත් ඉන්ධන ලංකා විදුලිබල මණ්ඩලයට අද (27) වනවිට ලබා දී ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අදාළ ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

කොළඹ ඊයේ (26) පැවති වැඩසටහනක දී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පෙන්වා දුන්නේ, ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය අගෝස්තු මාසයේ සිදු කළ ගාස්තු සංශෝධනයෙන් පසු ලාභ ලබන බව යි ෴

+++++++

+


චන්ඩිකම් දැමු දේශබන්දුට එරෙහි අධිකරණයෙන් නොතීසි (27.01.2023)

+


මහනාහිමිවරුගෙන් ජනපතිට ලිපියක්

(27.01.2023 – 13:23 +0530 – hirunews.lk/sinhala)

උතුර – නැගෙනහිර පළාත්වල මෙන්ම දිවයිනේ සෙසු පළාත්වල පිහිටා ඇති ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානවල ආරක්ෂාව සඳහා යොදවා ඇති ආරක්ෂක හමුදා නිලධාරින් එලෙසම එම විහාරස්ථාන ආශ්‍රයෙහි යෙදවීම සුදුසු බව මහනායක හිමිවරුන් පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ, උතුර නැගෙනහිර පළාත්වල විහාරස්ථාන ආශ්‍රිත ව පවතින හමුදා කඳවුරු එම ප්‍රදේශවල ආරක්ෂාව උදෙසා එලෙසම පවත්වාගෙන යාම සුදුසු බවයි.

මෙහි දී ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, පසුගිය කාල වකවානු තුළ සුවිශේෂි ඓතිහාසික වැදගත්කමක් ඇති විහාරස්ථානවල ආරක්ෂාව සහ සංවර්ධන කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව සුවිශේෂි දායකත්වයක් ලබාදුන් බවයි.

ඒ අනුව එම ආරක්ෂක අංශ සාමාජිකයන් අදාළ ස්ථානවලින් ඉවත්කළ හොත් විහාරස්ථාන සංවර්ධන කටයුතු අඩාලවිය හැකි බව මහනායක හිමිවරු ජනාධිපතිවරයාට යොමුකළ ලිපියෙන් වැඩිදුරටත් දක්වා තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *