බදු පනතට එරෙහිව අදත් (26) විරෝධතා

බදු පනතට එරෙහිව අදත් (26) විරෝධතා


බදු පනතට එරෙහිව අදත් (26) විරෝධතා

(26.01.2023 – 19:47 +0530 – hirunews.lk/sinhala)

රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව පසුගිය 23 වැනිදා ආරම්භ කළ කළු විරෝධතා සතිය සිව්වැනි (4) දිනටත් ක්‍රියාත්මක වුණා.

ඊට සමගාමීව වෘත්තිය සමිති එකමුතුව විසින් දිවයිනේ ස්ථාන රැසකදී විරෝධතා ව්‍යාපාර සංවිධානය කර තිබුණා.

මහබැංකු විධායක නිලධාරින්ගේ සංගය විසින් නව බදු පනතට එරෙහිව සංවිධානය කළ විරෝධතාව අද (26) මහබැංකුව ඉදිරිපිටදි පැවත්වුණා.

සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් ද එම විශ්ව විද්‍යාලය ඉදිරිපිටදි සහ රත්මලාන ජල සම්පාදන මණ්ඩලයේ සේවකයින් එම මණ්ඩලය ඉදිරිපිටදි නව බදු ප්‍රතිපත්තියට විරෝධය පලකරමින් උද්ඝෝෂණයක නිරත වුනා.

+

+


සමේ රෝගයක් නිසා දුක්විඳින මැල්සිරිපුර දරුවන් දෙදෙනා (2)

(26.01.2023 – 14:27 +0530 – hirunews.lk/sinhala)

මෙලොව එළිය දැක හය (6) මසකට පසු සමේ වැලඳුණු රෝගී තත්ත්වයක් හේතුවෙන් පීඩා විඳින දරුවන් දෙදෙනෙකු (2) පිළිබඳ කුරුණෑගල මැල්සිරිපුර කුඹුක් වැව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

පවතින රෝගී තත්ත්වය හේතුවෙන් මෙම දරුවන් දෙදෙනාට (2) කෙළිදෙලෙන් ගත කිරීමට පවා නොහැකි තත්ත්වයකුයි මතුව ඇත්තේ.

දරුවන් තිදෙනෙකු (3) ගෙන් යුත් පවුලේ වයස අවුරුදු හයක (6) සහ හතරක (4) මෙම පිරිමි දරුවන් දෙදෙනාගේ (2) කුෂ්ඨ රෝගයට ප්‍රතිකාර සිදු කළත් දිගින් දිගටම එය වර්ධනය වී තිබෙනවා.

මේ නිසා ඔවුන් මේ වන විටත් කුරුණෑගල රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්නා බවයි දරුවන්ගේ මව සඳහන් කළේ.

මෙම රෝගී තත්ත්වය හේතුවෙන් දැනට සය (6) හැවිරිදි වියේ සිටින පවුලේ දෙවැනි (2) දරුවාගේ පෙර පාසල් ගමන ද අඩාල වී තිබු අතර පාසල් ගමන ද මේ වනවිට සිහිනයක් බවට පත්වී තිබෙනවා.

සිව් (4) වැනි වියේ පසුවන අනෙක් දරුවාගේ ද පෙර පාසල් අධ්‍යාපන සිහිනයක් බොඳ වී අවසන්.

පොදු ප්‍රවාහන සේවා භාවිත කරමින් ප්‍රතිකාර සඳහා දරුවන් දෙදෙනා (2) රැගෙන යාමේ දී බෝහෝ පුද්ගලයින් දරුවන් දෙස පිළිකුලෙන් බැලීම හේතුවෙන් බස් රථයේ දරුවන් රැගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව මව්පියන් පවසනවා.

දරුවන් දෙදෙනා (2) කෙසේ හෝ සුව කර ගැනීම මෙම මව්පියන්ගේ එකම අරමුණයි.

+


පොළොන්නරුව පඹුරාන අමුණ කැඩීයාමේ අවදානමක්

(26.01.2023 – 14:31 +0530 – hirunews.lk/sinhala)

ගොවිපවුල් 1000 කට අධික පිරිසක් සිය වගාකටයුතු සඳහා ජලය ලබා ගන්නා පොළොන්නරුව පඹුරාන අමුණ කැඩීයාමේ අවදානමක් මතුව තිබෙනවා.

ගොවීන් ඉල්ලා සිටින්නේ බලධාරීන්ගේ නිසි අවධානය යොමු කර කඩිනමින් මෙම අමුණ පිළිසකර කරදීමට කටයුතු කරන ලෙසයි.

+


ඉල්ලා අස්නොවන බවට මැතිවරණ කොමිසමෙන් සහතිකයක්

(26.01.2023 – 19:25 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු දැනට සිටින සෙසු සාමාජිකයින් කිසිදු අවස්ථාවක ඉවත්නොවන බවට තමන් වෙත දැනුම් දුන් බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා.

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ කොමිසම සහ නිරීක්ෂකයින් අතර අද (26) සාකච්ඡාවක් පැවැත්වුණා.

ඊට පැෆරල් සංවිධානය, ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනය ඇතුළු තවත් නිරීක්ෂණ සංවිධාන කිහිපයක සාමාජිකයින් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

මේ අතර හිටපු මැතිවරණ කොමසාරිස්වරයෙකු වන මහින්ද දේශප්‍රියද මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මුහුණු පොතේ සටහනක් එක්කර තිබෙනවා.

ඔහු දක්වා ඇත්තේ කොමිෂන් සභාව ක්‍රියාත්මක වීමට සාමාජිකයන් තිදෙනෙකු (3) සිටීම ප්‍රමාණවත් බවයි.

+


රජයේ වෛද්‍ය නිලධාරින්ගෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට සංදේශයක්

(26.01.2023 – 19:32 +0530 – hirunews.lk/sinhala)

පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් රජය දැනුවත් කළද ඊට විධිමත් පිළිතුරක් නොලැබුනු බව පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලයට අද (26) ලිපියක් භාරදුන්නා.

ඒ රජයේ බදු ප්‍රතිපත්තිවලට එරෙහිව වෘත්තීයවේදීන් ප්‍රකාශයට පත්කළ ‘කළු විරෝධතා සතිය’ට සමගාමීවයි.

+


සර්ව පාක්ෂික සමුළුව ඇරඹේ – විපක්ෂ නායක සහ අනුර නැහැ

(26.01.2023 – 19:51 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ සහභාගිත්වයෙන් පක්ෂ නායක හමුවක් මේ වන විට ජනාධිපති කාර්යාලයේදි පැවැත්වෙනවා.

ජනාධිපතිවරයා විසින් කැඳවූ එම හමුවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහභාගි වී නොමැති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඊට එක්ව සිටියා.

එහෙත් දෙමළ සන්ධානය නියෝජනය කරන ටෙලෝ, ප්ලෝට් සංවිධානයන්හි නායකයින් මෙන්ම දෙමළ ප්‍රගතිශිල් සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් ද මෙම සාකච්ජාවට එක්වුයේ නැහැ.

එහෙත්, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවට සහභාගි වී සිටිනවා.

මෙම පක්ෂ නායක හමුව ජනාධිපතිවරයා ධුරයට පත්වීමෙන් පසු පැවත්වු දෙවන (2) පක්ෂ නායක රැස්වීමයි. පළමු (1) පක්ෂ නායක රැස්වීම පසුගිය වසරේ දෙසැම්බර් 13 වනදා පැවැත්වුණා.

+

+

+


ඩී.එස්. සේනානායක මහතාට මල්මාලා දාන්න රුපියල් 97,000 ක් – මම පුදුම වුණා

(26.01.2023 – 21:24 +0530 – hirunews.lk/sinhala)

75 වන නිදහස් සැමරුම අවම වියදමින් අභිමානවත්ව සැමරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට අද (26) උපදෙස් ලබා දුන්නා.

ඒ නිදහස් සමරුව සම්බන්ධයෙන් නිලධාරීන් සමග අද (26) පැවති සාකච්ඡාවකදීයි.

75 වැනි නිදහස් දින සමරුවට සමගාමීව ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී මෙම සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ :

“සමහර ඇස්තමේන්තු ගැන මම පුදුම වුණා. ඩී.එස්. සේනානායක මහතාට මල්මාලා දාන්න රුපියල් 97,000ක්. එ.ජා.ප.යෙන් කරද්දි වියදම් කළේ මල්මාලාවලට විතරයි. මම දන්නේ නැහැ රුපියල් 97,000 ක් වුණේ කොහොමද කියලා. ජාතික ගීය ගයන්න රුපියල් ලක්ෂ 18 ක් ඉල්ලලා. අපි නම් ඉස්සර කළේ… ප්‍රවාහන දීමනා සහ ආහාර දුන්නා… ලේකම්තුමා මේ වියදම් ගැන බලන්න ඕනේ.”

“මම උදාහරණයක් කියන්නම්, සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් ප්‍රසංගයක් කරනවා. ඒකට අවශ්‍ය මුදල් ඒ අයම හොයාගන්නවා. අපි දෙන්නේ නෙළුම් පොකුණ නොමිලේ දෙන එක විතරයි. අන්න එහෙම අපි වැඩකටයුතු කරන්න ඕනේ.”

“75 වන සංවත්සරය තියන්න ඕනේ. අපි ඒක කරන්නේ නැත්නම් රටටටයි හොඳ නැත්තේ. ලෝකය කියයි මේක කරන්නත් සල්ලි නෑ කියලා. ආයෝජකයෝ, සංචාරකයෝ ගේන්න නම් මේ වගේ වැඩ කරන්න ඕනේ.”

+


ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් මුදල් කොල්ලකන කල්ලියක් අත්අඩංගුවට

(26.01.2023 – 21:58 +0530 – hirunews.lk/sinhala)

පෞරාණික භාණ්ඩ විකිණීමට ඇති බව පවසා ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් මුදල් කොල්ලකන සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් පිළිබඳ ‘හිරු CIA’ ලබාදුන් තොරතුරු මත, ත්‍රිකුණාමල මුලස්ථාන පොලිසිය මගින් ඔවුන් අද (26) අත්අඩංගුවට ගනු ලැබුවා.

අද (26) CIA අනාවරණය ඒ පිළිබඳවයි.

නිධානයකින් ලබාගත් බව කියන පෞරාණික භාණ්ඩ ත්‍රිකුණාමලය නගරය කේන්ද්‍ර කර ගනිමින් අලෙවි කිරීමේ ජාවාරම්ක් පිළිබඳ ‘හිරු CIA’ තොරතුරු අනාවරණය කර ගත්තා.

රාජ්‍ය බුද්ධි අංශ සමඟ මේ පිළිබඳ තොරතුරු සොයාගිය ‘හිරු CIA’ කණ්ඩායම තහවුරු කර ගත්තේ අදාල ජාවාරම පුසාරිවරයෙකු ලෙස පෙනී සිටිනා පුද්ගලයෙකු හරහා සිදුවන බවයි.

නිධානයකින් ලබාගත් බව කියමින් අදාල භාණ්ඩවල ඡායාරූප ‘වට්ස්ඇප්’ හරහා ධනවත් ව්‍යාපාරිකයන්ට යොමු කරන ලෙසයි ඔහු තැරුව්කරුවන්ට පවසා ඇත්තේ.

ඒ අනුව මෙම භාණ්ඩ අතර මැණිකක් ඔබ්බවන ලද ශිව ලිංගයක්, හවඩියක්, පිත්තල කෙන්ඩියක්, දේවරූප, සත්ව රූප ආදිය ඇති බවට තැරැව්කරුවන් පෙන්වන්නේ මෙලෙසින්.

+


15 හැවිරිදි දැරිය මුදලට අලෙවි වේ

(26.01.2023 – 22:05 +0530 – sinhala.adaderana.lk)

15 හැවිරිදි දැරියක් ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ පුද්ගලයන්ට මුදලට අලෙවි කිරීමේ සිද්ධියක් පානදුර ප්‍රදේශයෙන් වාර්තා විය.

ඒ, සම්බන්ධයෙන් එම දැරියගේ මව සහ දැරියගේ පහස ලැබූ බව කියන පුද්ගලයින් සිව්දෙනෙකු (4) ද අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලීසිය පවසයි.

අත්අඩංගුවට පත්වූවන් අතර අවුරුදු 84 ක් වයසැති ලියවන පට්ටල්කරුවෙකු ද සිටින බව සඳහන්ය.

පානදුර, කෙසෙල්වත්ත සහ ගොරකාන ප්‍රදේශයේ පදිංචිකරුවන් මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.

එම දැරියව මුදලට ලබාගත් තවත් පුද්ගලයින් සොයා පොලිස් පරීක්ෂණ සිදු කෙරේ.

බාල වයස්කාර දැරියක් වැඩිහිටි පුද්ගලයින්ට මුදලට අලෙවි කරන බවට ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් දැරියව ඉන් මුදාගෙන රෝහල්ගත කර තිබේ.

පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත්තේ ප්‍රදේශයේ ව්‍යාපාරික කාන්තාවක විසින් දැරියගේ මවද රවටා ඇයටද මුදල් ලබාදී දැරියව ලිංගික කටයුතු සඳහා වැඩිහිටි පුද්ගලයින්ට අලෙවිකර ඇති බවය.

සැකකාර ව්‍යාපාරික කාන්තාව ප්‍රදේශයේ හැරහොස් සිටින බවත් ඇය සොයා පරීක්ෂණ සිදුකරන බවත් පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ 42, 45, 54 සහ 84 හැවිරිදි සැකකරුවන් ය ෴


පාස්කු ප්‍රහාරය ගැන සෙවූ මලල්ගොඩ කමිටු වාර්තාව මුදාහැරීමට තීන්දු වෙයි

(26.01.2023 – 20:10 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ප්‍රහාරයට සම්බන්ධයෙන් සොයාබැලීමට ජනාධිපතිවරයා විසින් පත්කළ විනිසුරු විජිත් මලල්ගොඩගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ වාර්තාව තොරතුරු පනත යටතේ මුදාහැරීමට ජනාධිපති ලේකම් කාර්යාලය අද (26) එකඟවී තිබේ.

ඒ අනුව එම වාර්තාව කොමිසමට ද පිටපතක් සහිතව පෙබරවාරි 09 වනදාට පෙර මුදාහරින ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව නියෝග කළේය.

විජිත් මලල්ගොඩ කමිටු වාර්තාව මුදාහරින ලෙස වසර හතරකට (4) ආසන්න කාලයක් තිස්සේ කාදිනල්තුමා ඇතුළු විවිධ පාර්ශ්ව ඉල්ලීම් කළත් එය නිකුත් නොකළ අතර වාර්තාව මුදාහැරීමට වසර හතරකට (4) පසු තීන්දු කිරීම තොරතුරු පනත අනුව ලැබූ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි බව සඳහන්ය.

සමාජය සහ සාමයික කේන්ද්‍රයේ (සීඑස්ආර්) පර්යේෂණ කණ්ඩායම වෙනුවෙන් ධනුෂ්ක සිල්වා මහතා විසින් ඉදිරිපත් කර තිබූ මෙම අභියාචනය අවස්ථා ගණනාවකදී තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව හමුවේ කැඳවීය ෴


පුංචි චෙනුලි ට උපකාරයක් අවැසි මොහොතක්

(26.01.2023 – 15:19 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රවණාබාධිත තත්ත්වයක් හේතුවෙන් පාසලේ අධ්‍යාපන කටයුතු නිසි පරිදි සිදුකර ගැනීමට නොහැකි දැරියක් පිළිබඳ පුවතක් පොළොන්නරුවෙන් වාර්තා වේ.

කවුඩුල්ල මහා විද්‍යාලයේ 4 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන චෙනුලි සදිස්මා ලබන වසරේදී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටී.

ඇය දරුවන් තිදෙනෙකු (3) ගෙන් යුතු පවුලක දෙවැනියා (2) ය.

ඉපදී මාස 3 ක් පමණවන විට ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කෙරුණු ඇය වයස අවුරුදු 1½ පමණවන විට සම්පූර්ණ ශ්‍රවණාබාධිත තත්ත්වයට පත්ව තිබුණි.

අනතුරුව පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී චෙනුලිට සැත්කමක් සිදුකර ශ්‍රවණ උපකරණයක් සවිකර ඇති අතර, ඉන් කොටසක් ඇයගේ ශරීරය තුළත් අනෙක් කොටස කනට බාහිරිනුත් සවිකර තිබේ.

එම උපකරණයට මේ වන විට වසර 8 ක පමණ කාලයක් ගෙවී ඇති නිසා එහි බැටරියේ ආරෝපණය පවතින්නේ පැය භාගය (½) කටත් වඩා අඩු කාලයකි.

මේ හේතුවෙන් ලබන වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත චෙනුලිට පාසලේදී අධ්‍යාපන කටයුතු පවා සිදුකර ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව තිබේ.

ඇයගේ මව්පියන් පවසන්නේ, එම ශ්‍රවණ උපකරණයේ කොටස් මේ වන විට මෙරටදී මිලදී ගැනීමට නොමැති බවය.

චෙනුලිගේ මව :

“එක පාරට ෆිට් එක හැදුනා. ICU එකට දැම්මා. බෙහෙත් විද්දා. විදපු බෙහෙත්වල අතුරු ප්‍රතිඵලයක් කියලා තමා වෛද්‍යවරු කිව්වේ. දුවගේ කන් දෙකම ඇහෙන්නේ නෑ. රුපියල් ලක්ෂ 28 මැෂින් එකක් අපිට රජයෙන් පාස් කරලා දුන්නා. ඒ මැෂින්එකේ දැන් බැටරිය බහිනවා. බබාට එතකොට ඇහෙන්නේ නෑ. බබාගේ අධ්‍යාපනය සේරම වැටිලා තියෙන්නේ දැන්. මහත්තයා කුලී වැඩකරන්නේ. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මගේ දුවට අලුත් මැෂින් එකක් ගන්න උදව් කරන්න.”

චෙනුලි සදිස්මා පුංචි දියණියට උදව්වක් කිරීමට හැකි අයෙක් වෙතොත් පහත දුරකථන අංකයෙන් වැඩිදුර විස්තර ලබාගත හැකිය.

දුරකථන අංකය : 077 523 1617

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *