කොමිෂන් සභාවල නියෝග නොතකා අදත් (26) විදුලිය කපයි

කොමිෂන් සභාවල නියෝග නොතකා අදත් (26) විදුලිය කපයි


කොමිෂන් සභාවල නියෝග නොතකා අදත් (26) විදුලිය කපයි

(26.01.2023 – 19:29 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලබාදුන් විධානයන් කඩකරමින් ලංකා විදුලිබල මණ්ඩලය අද (26) දිනයේදීත් විදුලිය කප්පාදු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ප්‍රදේශ කිහිපයක හිරු වාර්තාකරුවන් සඳහන් කළේ පෙරදිනවල පරිදිම අද (26) දිනයේදීත් විදුලි කප්පාදුව සිදුකළ බවයි.

මානව හිමිකම් කොමිෂන් සභාවේ ඊයේ (25) පැවති සාකච්ඡාවකදී විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය, මහජන උපයෝගිතා කොමිසන් සභාව, විදුලිබල මණ්ඩලය සහ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සමථයකට එළැඹුනේ අද (26) සිට බලපැවැත්වෙන පරිදි විදුලිය කප්පාදු නොකිරීමටයි.

එය උසස් පෙළ විභාගය අවසන් වන පෙබරවාරි මස 17 වනදා දක්වා ක්‍රියාත්මක කිරීම සඳහා එහිදී සමථයකට එළැඹුනු අතර එය විධානයක් ලෙස අද (26) දිනයේදී මානව හිමිකම් කොමිෂන් සභාව නිකුත් කරනු ලැබුවා.

ඊට අදාළව කටයුතු කර අද (26) පස්වරු 04 ට පෙර මානව හිමිකම් කොමිෂන් සභාවට වාර්තාකළ යුතු බවටද අදාළ විධානයේ දැක්වුණා.

කෙසේ වෙතත් අදාළ විධානයට අනුව කටයුතු නොකළහොත් මානව හිමිකම් කොමිෂන් සභා පනතට ප්‍රකාරව කොමිෂන් සභා අධිකාරියට විරුද්ධවීමේ හෝ ඊට අගෞරව වන පරිදි අපහස කිරීමේ වරදට වරදකරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කරන බවයි මානව හිමිකම් කොමිසම නිවේදනය කළේ.

එසේම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසන් සභාව, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබුණේ අද (26) සිට උසස් පෙළ විභාගය අවසන් වන පෙබරවාරි 17 වනදා දක්වා විදුලිය කප්පාදු නොකරන ලෙසයි.

කෙසේ වෙතත් ඊට පටහැනිව කටයුතු කරන්නේ නම් කොමිසම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද එහි වැඩිදුරටත් සඳහන් වුණා.

මේ අතර මහජන උපයෝගිතා කොමිසමේ සමාජිකයන් දෙදෙනෙකුට (2) තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සමඟි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත සහ විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික ඇපමත මුදාහැරීමට අධිකරණය අද (26) නියෝග කළා.

ඔවුන් අද (26) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන් රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02 බැගින් නියම කෙරුණා ෴


ATM යන්ත්‍රය ගලවාගෙන ගිය, වෑන් රථයේ රියදුරු ගැන පොලිසියේ අවධානය

(26.01.2023 – 07:44 +0530 – hirunews.lk/sinhala)

ගම්පොළ නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රය ගලවාගෙන යෑමේ සිද්ධියට අදාළ ව පොලිස් භාරයට ගත් වෑන් රථයේ සිටි රියදුරු සම්බන්ධයෙන් මේ වන විට පොලිසියේ දැඩි අවධානය යොමු ව තිබෙනවා.

ඒ, ඔහු සිදු කරන පරස්පර ප්‍රකාශ හේතුවෙන්.

ඒ.ටී.එම්. යන්ත්‍රය ගලවාගෙන යාමේ සිද්ධියට කොල්ලකරුවන් පැමිණි වෑන් රථය පේරාදෙණිය ප්‍රදේශයේ දමාගොස් තිබිය දී ඊයේ (25) සොයාගත් අතර, එහි රියදුරු පොලීසිය විසින් මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටිනවා.

ගම්පොල නගරයේ පිහිටි පෞද්ගලික බැංකු ශාඛාවක මුදල් තැන්පතු යන්ත්‍රය ආයුධ සන්නද්ධව වෑන් රථයකින් පැමිණි පුද්ගලයින් සිව් (4) දෙනෙකු විසින් ගලවාගෙන රැගෙන ගොස් තිබුණේ ඊයේ (25) අලුයම් කාලයේයි.

මොවුන් බැංකුවේ ආරක්ෂක නිලධාරියාගේ හිසට පිස්තෝලයක් එල්ල කර ඔහුව පුටුවක ගැටගසා මෙම සොරකම සිදු කර තිබුණා.

කොල්ලකරුවන් කුලී පදනම මත අදාල වෑන් රථය මෙම සිද්ධියට රැගෙනවිත් ඇති අතර, පසුව වෑන් රථය පේරාදෙණිය ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයා ගෙන තිබුණේ එහි රියදුරු පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබාදුන් තොරතුරක් මතයි.

කොල්ලකරුවන් වෑන් රථය තුල රියදුරුගේ දෑත් බැඳ දමා පලාගිය බව වාර්තා වූ අතර පසුව ඔහු දෑත් ගලවා ගෙන පොලීසියට ඒ පිළිබඳව දැනුම්දී තිබුණා.

වෑන් රථය කොල්ලකරුවන් විසින් අරණායක ප්‍රදේශයෙන් අන්තර්ජාලය හරහා කුලී පනම මත ලබාගෙන ඇති අතර, රියදුරුට දැනුම්දී ඇත්තේ වෑන් රථය පේරාදෙණිය හරහා ගලහා ප්‍රදේශයට රැගෙන එන ලෙසටයි.

එහි දී ගලහ ප්‍රදේශයෙන් වෑන් රථයට තිදෙනෙකු (3) ගොඩවී තිබෙනවා.

ඔවුන් දෙල්තොට ප්‍රදේශයට ගොස් එම ස්ථානයෙන් ද තවත් දෙදෙනෙකු (2) වෑන් රථයට නංවාගෙන ඇති අතර මද දුරක් ගිය පසු තමාගේ දෑස් බැඳ එක් අයෙකු දෙල්තොට ප්‍රදේශයේ ස්ථානයකින් බැස්ස වූ බවටයි රියදුරා පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ.

අනතුරුව කොල්ලකරුවන් පෞද්ගලික බැංකුවේ මුදල් තැන්පතු යන්ත්‍රය ගලවා ඉවත් කර, තමන්ව රථයට නංවාගෙන පේරාදෙණිය ගලහ ප්‍රදේශයෙන් වෑන් රථය දමාගිය බව රියදුරු පොලීසියට ප්‍රකාශ කර තිබුණා.

එහෙත්, ඔහුගේ ඇතැම් ප්‍රකාශ පරස්පර වන බවයි විමර්ශන සිදුකරන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

කෙසේ වෙතත්, සොරාගෙන ගිය ඒ.ටී.එම්. යන්ත්‍රය හෝ ඊට අදාළ සැකකරුවන් මෙතෙක් අනාවරණ කරගෙන නොමැති අතර, පොලිසිය සඳහන් කළේ ඒ.ටී.එම්. යන්ත්‍රයේ රුපියල් 7,646,700 ක් තිබූ බව යි ෴


මව විදේශගත වීම වැළැක්වීමට පියෙකු දරුවාට වස පොවයි

(26.01.2023 – 08:04 +0530 – hirunews.lk/sinhala)

බිරිඳ විදේශගත වීම වැළැක්වීම සඳහා තම 12 හැවිරිදි දරුවාට වස පෙවූ පියෙක් පිළිබඳ තොරතුරු පොළොන්නරුව – බකමූණ ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

සිද්ධියට අදාළ ව 48 හැවිරිදි පියා ඊයේ (25) පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, දරුවා ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මව සහ පියා අතර කලක සිට පවුල් ආරවුලක්ද පවතින බව ද වාර්තා වනවා ෴


දියවන්නාවේ ඔරුවක් පෙරළීමෙන් අයෙකු අතුරුදන්

(26.01.2023 – 11:09 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුව අසල කිඹුලාවල ප්‍රදේශයේ දියවන්නා ඔයේ අධිආරක්ෂිත කලාපයේ අනවසරයෙන් මසුන් අල්ලමින් සිටි දෙදෙනෙකු (2) ගමන් ගත් ඔරුවක් පෙරලීමෙන් අයෙකු අතුරුදන්ව තිබෙනවා.

අනෙක් පුද්ගලයා පිහිනා ගොඩට පැමිණ දිවි ගලවාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අද (26) අලුයම 2 ට පමණ මොවුන් මෙලෙස මසුන් ඇල්ලීම සඳහා පැමිණ ඇති අතර, අලුයම 04:30 ට පමණ අනතුර සිදු ව ඇති බව පොලීසිය සඳහන් කළා ෴


ජනතා විමුක්ති පෙරමුණ ගැන මුජිබර් රහුමාන්ගෙන් ප්‍රකාශයක්

(26.01.2023 – 13:00 +0530 – hirunews.lk/sinhala)

ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා ඉතිහාසයේ කිසිදු මොහොතක ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් නොවු බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.

හිරු ප්‍රවෘත්ති සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ, ඉතිහාසයේ ඇතැම් රජයන් බලයට ගෙන ඒමට ද ජනතා විමුක්ති පෙරමුණ සහය දැක්වූ බවයි.

+


පලා ගිය කංජිපානි විදේශ රටක සිට යළි වැඩ අරඹයි

(26.01.2023 – 13:25 +0530 – hirunews.lk/sinhala)

ඇප ලබා ගැනීමෙන් අනතුරු ව දැනට ඉන්දියාවට පලා ගිය බවට වාර්තා වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන්’ හෙවත් ‘කංජිපානි ඉම්රාන්’ විදෙස්ගත ව සිට යළි මෙරට අපරාධවලට සම්බන්ධ වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව, ඔහු මෙරට පාතාල සාමාජිකයන් සමඟ දුරකථනයෙන් සම්බන්ධ වී විවිධ අපරාධ සහ ජාවාරම් සිදු කරන බවට යි පොලීසිය හෙළි කරගෙන ඇත්තේ.

පසුගිය දා ඔහුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නියම වූ අතර, පසු ව ඔහු ඉන්දියාවට පලා ගිය බවට තොරතුරු වාර්තා වුණා.

පසුගිය 04 වැනි දා පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීම් සහ ඒ සඳහා ආධාර අනුබල ලබාදීම යන චෝදනා යටතේ ‘කංජිපානි ඉම්රාන්’ ඇතුළු සැකකරුවන් තුන්දෙනෙකුට (3) එරෙහි ව පවරා තිබූ නඩුවක් අද (26) කැඳවූ අවස්ථාවේ දී කොළඹ අපරාධ කොට්ඨාශය ද අධිකරණයට දැනුම් දුන්නේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘කංජිපානි ඉම්රාන්’ රහසිගත ව විදෙස්ගත වී ඇති බව යි.

එහි දී ‘කංජිපානි ඉම්රාන්’ට ඇප බැඳුම්කර අත්සන් කළ තිදෙනාට (3) වහා ම අධිකරණයේ පෙනී සිටින ලෙසට යි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා සිතාසි නිකුත් කරනු ලැබුවේ ෴


ශිෂ්‍යත්ව විභාගයට ලකුණු 195 ක් ලබා ගත් සිසුන් දෙදෙනෙකු (2) මිනුවන්ගොඩින් සහ වේයන්ගොඩින්

(26.01.2023 – 13:31 +0530 – hirunews.lk/sinhala)

2022 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලවලට අනුව ලකුණු 195 බැගින් ලබාගත් සිසුන් දෙදෙනෙකු (2) මිනුවන්ගොඩ රෙජී රණතුංග විද්‍යාලයෙන් සහ වේයන්ගොඩ ප්‍රාථමික විද්‍යාලයෙන් ‘හිරු ප්‍රවෘත්ති’ වෙත වාර්තා වුණා.

ඊට අමතර ව, වයඹ රාජකීය විද්‍යාලයේ කේ.එම්. තිසල් දිනුජය බණ්ඩාර ලකුණු 193 ක් ලබාගෙන ඇති බව යි වාර්තා වුණේ.

ප්‍රතිඵලවලට අනුව කොළඹ නාලන්ද විද්‍යාලයේ වැඩිම ලකුණු සංඛ්‍යාව 188 ක් වන අතර විභාගය සඳහා පෙනීසිටි 61 දෙනෙකු එම කඩඉම සමත්ව ඇති බව විද්‍යාලයේ ප්‍රකාශයෙකු සඳහන් කළා.

කොළඹ ආනන්ද විද්‍යාලයේ වැඩිම ලකුණු සංඛ්‍යාව 186 ක් වන අතර සිසුන් 66 දෙනෙකු ශිෂ්‍යත්ව විභාගය සමත්ව තිබුණා.

කෙසේ වෙතත්, විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ වැඩිම ලකුණු පිළිබඳ හෝ දිස්ත්‍රික් මට්ටමේ ශ්‍රේණිගත කිරීම් කිසිවක් වාර්තා නො කරන බව යි.

පසුගිය වසරේ දෙසැම්බර් මස 18 වනදා පැවති ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් 334,805 දෙනෙකු අයදුම්කර තිබූ අතර ඒ අතරින් සිසුන් 329,668 දෙදෙනකු මධ්‍යස්ථාන 2,894 ක දී විභාගය සඳහා පෙනී සිටියා.

ඒ අනුව මාසයකුත් දින 07 කට පසුව එනම් ඊයේ (25) රාත්‍රියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරුණා.

මෙම විභාගයේ නැවත පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය නම් පෙබරවාරි මස 28 වනදාට පෙර අභියාචනා ඉදිරිපත් කරන ලෙසයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

එමෙන්ම, ශිෂ්‍යත්ව විභාගයේ දිස්ත්‍රික් කඩයිම් අවම ලකුණු සීමා මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මේ අතර, ගල්ගමුව අධ්‍යාපන කොට්ඨාසයේ ඇහැටුවැව බණ්ඩාරනායක ජාතික පාසලේ විභාග මධ්‍යස්ථානයේ ගුරුවරියක විසින් ප්‍රශ්න පත්‍ර බෙදාහැරීමේදී අසාධාරණයක් සිදු වූ බව කියන සිසුන් 11 දෙනා අතරින් එක් (1) අයෙකු ශිෂ්‍යත්ව විභාගය සමත්වීමේ පුවතක්ද වාර්තා වුණා.

+


ආනයන සීමා පැනවීමේ යහපත් ප්‍රතිඵලයක් ගැන රංජිත් සියඹලාපිටියගෙන් ප්‍රකාශයක්

(26.01.2023 – 13:35 +0530 – hirunews.lk/sinhala)

ආනයන සීමා පැනවීමෙන් පසු ගෙවී ගිය මුල් මාස 6 තුළ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 2500 කට ආසන්න මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා.

2023 ජාත්‍යන්තර රේගු දින සැමරුමට කොළඹ දී අද (26) එක්වෙමින් ඔහු සඳහන් කළේ, පවතින ආර්ථික තත්ත්වය හමුවේ තවදුරටත් එම සීමා පවත්වාගෙන යාමට සිදු වන බව යි.

+


ප්‍රංශයේ රී-යූනියන් දූපතට ඇතුළු වීමට තැත් කළ ශ්‍රී ලාංකිකයින් 38 දෙනෙකු පිටුවහල් කෙරේ

(26.01.2023 – 13:54 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ලෙස මුහුදු මගින් ප්‍රංශයේ රී-යූනියන් දූපතට ඇතුළු වීමට තැත් කළ ශ්‍රී ලාංකිකයින් 38 දෙනෙකු මෙරටට පිටුවහල් කර තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ, පසුගිය දෙසැම්බර් මස පළමු (01) වැනි දා මීගමුව ධීවර වරායෙන් පස් (5) දෙනෙකු, බහුදින ධීවර යාත්‍රාවකින් පිටත්ව ඇති අතර, අනතුරුව පුත්තලම, බත්තලන්ගුණ්ඩුව දූපතේ සිට ඩිංගි යාත්‍රා 3 කින් පුද්ගලයින් 64 දෙනෙකු ඊට නංවාගෙන තිබෙනවා.

පසුගිය දෙසැම්බර් 31 වන දින බ්‍රිතාන්‍ය නාවික හමුදාව විසින් මොවුන් අත්අඩංගුවට ගෙන නැවත පිටුවහල් කිරීමෙන් අනතුරුව මිනිස් ජාවාරම්කරුවන් විසින් ශ්‍රී ලාංකීය පිරිස ප්‍රංශයට අයත් රී-යූනියන් දූපත වෙත රැගෙන ගොස් ඇති බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

එම දූපතේ බලධාරින් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඉන් 38 දෙනෙකු යළි ඊයේ (25) මෙරටට පිටුවහල් කෙරුණා ෴


+

+


‘ෆේස්බුක් පෝස්ට්’ දැමූ පුද්ගලයෙක් අත්අඩංගුවට

(26.01.2023 – 22:33 +0530 – sinhala.adaderana.lk)

75 වන නිදහස් උත්සවය සම්බන්ධයෙන් ෆේස්බුක් හරහා තර්ජනාත්මක අදහස් පළකළ පුද්ගලයෙක් ව මහරගම දී අත්අඩංගුවට ගත් බව පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය පවසයි.

ඔහු 40 හැවිරිදි පුද්ගලයෙකි.

පුද්ගලයකු සිය ෆේස්බුක් හි මහජන කැලඹීමක් ඇති වන ආකාරයෙන් නිදහස් උත්සවයට සමගාමීව විවිධ අදහස් (පොස්ට්) පළකර ඇති බවට ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනවලදී සැකකරුව අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලීසිය කියයි.

සැකකරු ඉහත ආකාරයෙන් මහජන කැලඹීමක් ඇතිවන ආකාරයේ අදහස් (පෝස්ට්) විවිධ ආකාරයෙන් සකස්කර ඔහුගේ මුහුණු පොතට ඇතුළත් කර තිබූ බව පරිගණක අපරාධ කොට්ඨාසය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

ඒ අනුව එලෙස අදහස් පළ කළ සැකකාර පුද්ගලයාගේ මුහුණු පොතේ ගිණුම පරීක්ෂාකර ඔවුන්ගේ සවිස්තර වාර්තාවක් ලබා ගැනීමෙන් අනතුරුව මහරගම ප්‍රදේශයේ දී ඔහුව අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

සැකකරුව නුගේගොඩ ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *