2022 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපළ නිකුත් වෙයි

2022 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපළ නිකුත් වෙයි


2022 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපළ නිකුත් වෙයි

(25.01.2023 – 23:03 +0530 – hirunews.lk/sinhala)

2022 වර්ෂයට ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව www.doenets.lk වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබා ගත හැකියි.

+


මැතිවරණ කොමිසමේ සාමාජිකා චාල්ස් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට යවයි

(25.01.2023 – 21:55 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්. චාල්ස් කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස් වී ඇති බවට ආරංචිමාර්ග සදහන් කරනවා.

ඇයගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට ලැබී ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග තහවුරු කළා ෴


රටින් පිටත ඩොලර් සැඟවීම : ඇත්ත සහ බොරුව

(25.01.2023 – 11:14 +0530 – lankaleadnews.com)

අප රටේ අධිකරණ අමාත්‍යවරයා ප‍්‍රමුඛ බැංකු සේවක සංගම් ආදී විවිධ පාර්ශව අපනයනකරුවන් මෙන්ම උන්ඩියල් සහ හවාලේ වැනි විණිමය ජාවාරම්කරුවන් විසින් රටින් පිටත සඟවා තබාගන්නා ඩොලර් ප‍්‍රමාණය පිළිබඳව විවිධ සංඛාලේඛන ඉදිරිපත් කරති.

එක් පාර්ශ්වයක් සඳහන් කරන ආකාරයට පසුගිය වසර 10 ක් තුළ ඒ ආකාරයට ඩොලර් බිලියන 40 කට අධික ප‍්‍රමාණයක් පිටරටවල සඟවා තබාගෙන ඇත. එම තොරතුරුවල සත්‍ය අසත්‍යතාවය විමසීමේදී පැතිකඩ දෙකක් (2) අවධානයට ලක්වේ. පළමුවැන්න ඩොලර් ප‍්‍රමාණය වන අතර දෙවැන්න කාලරාමුවයි. ප‍්‍රමාණය ඇස්තමෙන්තු කරන ආකාරය 100% ක් නිවැරදි විය නොහැකි වුවද දළ වශයෙන් ගණනය කිරීමේ හැකියාව ඇත. එහෙත් ඔවුන් සඳහන් කරන කාලරාමුව පිළිබඳව ගැටළුවක් ඇත. පසුගිය වසර 10 ක හෝ 20 ක කාලය පිළිබඳව කතා කිරීම මගින් ඉතා පැහැදිළිව සත්‍ය වසන් කිරීමක් සිදුවේ. එනම් සැබෑ ලෙසම එම ක‍්‍රියාවලිය ආරම්භ වන්නේ මීට වසර 5 කට පෙර සිට බව හෙළිදරව්වීම වළක්වනු ලබයි.

වර්තමානයේදී අප රටේ විදේශ විනිමය ලැබීම් සහ ගෙවීම් වලට අදාල සියලූ කටයුතු මූලික වශයෙන් නියාමනය කරනු ලබන්නේ 2017 අංක 12 දරන විදේශ විනිමය පනත මගිනි. එම පනත සම්මත කරනු ලැබූ 2017 ජුලි 28 දක්වා ඒ සියලූ කටයුතු පාලනය වූයේ 1953 අංක 27 දරණ විනිමය පාලන පනත මගිනි. එමපනත යටතේ පිහිටවූ විනිමය පාලන දෙපාර්තමේන්තුව විසින් මහ බැංකුව සහ මූල්‍ය මණ්ඩලයේ උපදෙස් අනුව විනිමය පාලනයට අදාළ සියලු කටයුතු ස්වාධීනව සිදුකරනු ලැබීය. ඒ අනුව විදේශ විනිමය ගනුදෙනු පිළිබඳ සියලු තොරතුරු බැංකු පද්ධති තුළ ඒකරාශී වූ අතර බැංකු පද්ධතියට පරිබාහිරව කළු වෙළඳපළක් වර්ධනය කළ නොහැකි ආකාරයට දැඩි සීමා පැණවින. එම පනත යටතේ සිදු කෙරෙන යම් වැරදි සඳහා රේගු ආඥා පනත යටතේ පවා දඩුවම් කළ හැකි විය. එම පනත උල්ලංඝනය කිරීම අපරාධ වරදක් බවට පත්වන අතර වසර 5 ක් දක්වා සිර දඬුවම් සහ දඩ නියම කළ හැක. එපමණක් නොව 2017 ට පෙර ක‍්‍රියාත්මක වූ පනත යටතේ වරදක් කිරීමට උත්සාහ කිරීම ද පනත යටතේ වරදක් බවට පත් කිරීම විශේෂ තත්වයකි. එම දැඩි පාලනය නිසා අපනයන ආදායම් සියල්ල නිසි ලෙස බැංකු පද්ධති හරහා රට තුළට පේ‍්‍රෂණය විය. ඊට අමතරව කළු වෙළඳපළ හරහා විදේශ විනිමය ලැබීම් සහ ගෙවීම් සිදුකිරීම බරපතල වරදක් වූ බැවින් අද මෙන් කළු වෙළෙඳපොළ හරහා මහා පරිමාන ගනුදෙනු කිරීමට අපරාධකරුවකු හැර අන් කිසිවෙකු දිරිමත් නොවීය.

එම තත්ත්වය වෙනස් කර විදේශ විනිමය ජාවාරම් දිරිමත් කිරීම සඳහා පළමු උත්සාහය ගනු ලැබුවේ ‘යළි පුබුදුමු ශ‍්‍රී ලංකා’ වැඩසටහන යටතේ 2003 දීය. ඒ ‘විදේශ විනිමය කළමනාකරණ පනත’ නමින් නව පනත්කෙටුම්පතක් ඉදිරිපත් කිරීම මගිනි. එම පනත මගින් මහ බැංකුව සහ මූල්‍ය මණ්ඩලය විසින් ස්වාධීනව ක‍්‍රියාත්මක කළ බලතල සියල්ල මුදල් අමාත්‍යවරයා සහ මුදල් ලේකම්වරයා යටතට පත් කිරීමට නියමිත විය. ඊට අමතරව 1953 පනත් මගින් අපරාධ වැරදි ලෙස සිර දඩුවම් නියම වන වැරදි සියල්ල සිවිල් නඩු නිමිති බවට පත්කෙරිණි. එහෙත් එම විනාශකාරී පණත් කෙටුම්පතට එරෙහිව ජේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව එම පනත සම්මත කිරීම සඳහා විශේෂ බහුතරය සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවට නියම විය.

එහෙත් එදා 2003 දී තනි පුද්ගලයෙකුගේ මැදිහත්වීම මත එම බරපතළ වරදක් නිවැරදි කරගත හැකි වුවත් 2017 දී පැවති තත්ත්වයන් යටතේ ඊට ඉඩක් නොලැබුණි. ඒ නිසා 2006 මුදල් විශුද්ධිකරණ පනත යටතේ විදේශ විනිමය පාලනය සඳහා පැවැති ප‍්‍රතිපාදන පවා අභියෝගයට ලක් වන ආකාරයට 2017 විදේශ විනිමය පනත සම්මත කිරීමට ඉඩක් ලැබුණි. ඉහත සඳහන් කළ ආකාරයට 2003 කෙටුම්පත මෙන්ම මෙම පනත මගින් ද මහ බැංකුව සහ මූල්‍ය මණ්ඩලය සතු මෙහෙයවීමේ බලය මුදල් අමාත්‍යවරයාට ලැබුණි. එසේම නව පනත මගින් ඊට පෙර අපරාධ වැරදි ලෙස හැඳින්වූ පනත යටතේ වැරදි සියල්ල සිවිල් නඩු නිමිති බවට පත්කෙරිණි. එහිදී මහ බැංකුව විසින් වැරදි කරුවෙකුට පනවනු ලබන දඩ මුදල් පිළිබඳව අභියාචනා විභාග කිරීම සඳහා අභියාචනා මණ්ඩල පිහිටුවීමේ බලය ද අමාත්‍යවරයා යටතට පත්විය. ඊට අමතරව පනත් ක‍්‍රියාත්මක වන දිනයට පෙර සිදුකළ සියළු වැරදි පිළිබඳව තවදුරටත් අපරාධ නීතිය යටතේ දඬුවම් කළ නොහැකි බවට ප‍්‍රතිපාදන පනතට ඇතුල් කෙරිණි.

ඒ ආකාරයට 2017 විදේශ විනිමය පනත මගින් විදේශ විනිමය පාලනය ඉතා බරපතළ ලෙස දුර්වල කිරීම නිසා අපනයන ආදායම් රට තුළට බැංකු පද්ධතිය හරහා පේ‍්‍රෂණය කිරීමේ ක‍්‍රියාවලිය නිසි පරිදි පාලනය කිරීම සිදුනොවේ. එබැවින් විවෘත ගිණුම් මගින් එම ආදායම් අවභාවිතා කිරීමට හැකියාව ලැබී ඇත. පසුගිය මාස 6 ක කාලය තුළ අපනයන ආදායම් දළ වශයෙන් 10% – 20% අතර ප‍්‍රමාණයකින් පමණ ඉහළ ගොස් ඇති තත්ත්වයක් යටතේ පවා අදාළ විදේශ විනිමය ආදායම් රට තුළට ගලා ඒම සිදු නොවන්නේ ඒ නිසාය. ඊට අමතරව බැංකු පද්ධතියට තරගකාරීව කළු වෙළෙඳපොළ මහා පරිමාණයෙන් පුළුල් කිරීමට ජාවාරම්කාරයන්ට හැකි වී ඇත්තේ නව පනත නිසා මහ බැංකුවට අසරණව ඒ දෙස බලා සිටීමට සිදු වී ඇති බැවිනි. එම තත්ත්වය තුළ සංවිධානාත්මක අපරාධකරුවන් සහ අන්තවාදී බලවේගවලට එසේ කළු වෙළඳපළ හරහා රටේ ආර්ථිකය හැසිරවීමට පවා හැකියාව ලැබී ඇත. ඊට අමතරව 2017 පනතේ පවතින දුර්වල ප‍්‍රතිපාදන නිසා මුදල් විශුද්ධිකරණ පනත පවා උල්ලංඝනය කරමින් ත‍්‍රස්තවාදී ක‍්‍රියා සඳහා පවා විදේශ විනිමය අවභාවිතා කිරීමට හැකියාව ලැබී ඇත.

ඒ අනුව මහ බැංකුවේ අවසරය නොමැතිව පුද්ගලික ගිණුම්වලට බැරවෙන විදේශ අරමුදල් වලින් විදේශීය ගෙවීම් සිදු කිරීමේ හැකියාව ද ඇත. ඊට අමතරව කළු වෙළෙඳපොළ මගින් එකතු කරනු ලබන විදේශ අරමුදල් පවා බැංකු ගිණුම් වලට බැර කිරීම මගින් ඒවා නීත්‍යානුකූල කිරීමට සහ එම විදේශ විනිමය රටින් බැහැර කිරීමට ද හැකියාව ඇත. එවැනි ගනුදෙනු පිළිබඳව මහ බැංකුව සතුව තොරතුරු නොමැති බව සහ එම ගනුදෙනු වැළැක්වීම සඳහා මහ බැංකුවට බලතල නොමැති බව පාස්කු ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ දී හෙළිදරව් විය. එවැනි තත්වයක් නිර්මාණය වී ඇත්තේ 2017 දී සම්මත කරනු ලැබූ විදේශ විනිමය පනත නිසා බව එම කාරක සභා අවස්ථාවේදී තවදුරටත් පැහැදිලි විය. එම පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම සඳහා 2019 ජුලි 26 දින මහබැංකු ප‍්‍රධානීන් කැඳවනු ලැබීය. එම අවස්ථාවට එවකට මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සහ අධ්‍යක්ෂකවරුන් වන ඞී.එම්. රණසිංහ සහ ආර්.ආර්. ජයරත්න යන මහත්වරුන් සහභාගී විය. එහිදී සාක්ෂි ලබාදුන් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සඳහන් කරන්නේ වාණිජ බැංකු විසින් විදේශීය පේ‍්‍රෂණවලට අදාලව සියලූ තොරතුරු සටහන් කර නොගන්නා බවය.

එහිදී තවදුරටත් සාක්ෂි ලබාදුන් බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණය කිරීමේ ඒකකයේ අධ්‍යක්ෂ ආර්.ආර්. ජයරත්න මහතා සඳහන් කළේ පවතින නීතිය අනුව බැංකු පද්ධතියෙන් පරිබාහිරව බොහෝ විදේශ විනිමය ගනුදෙනු සිදුවන බවය. ඊට අමතරව එම ගනුදෙනු නියාමනය කිරීම සඳහා තමාට බලයක් නොමැති බව ද ඔහු විසින් පිළිගනු ලැබීය. ඒ අනුව නීත්‍යානුකූල බැංකු පද්ධතියෙන් පරිබාහිරව මහා කලු වෙළඳපොළක් පවතින බව එදා එළිදරව්විය. ඒ පිළිබඳව සහ එවැනි තත්ත්වයක් ඇතිවීමට හේතු වූ 2017 විදේශ විනිමය පනත මගින් විනිමය පාලළනයට අදාලව ඇති කරන අවුල් සහගත තත්වය පිළිබඳව ජේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා විසින් පුවත්පත් මගින් හෙළිදරව් කරනු ලැබීය. අද උත්සන්න වී ඇති රෝගයේ මූලික ලක්ෂණ ඔහු විසින් පෙන්වා දුන්නද පනත ශෝධනය කර අදාල වැරදි නිවැරදි කළ යුතු බවට සමාජ සංවාදයක් ඇති නොවීය. අද ඉතා නරකම තත්වයක් යටතේ පවා රටින් පිටත විදේශ විනිමය රදවා ගැනීම පිළිබඳව කතා කරන පිරිස් පවා 2017 පනත වහාම සංශෝධනය කළ යුතු බව නොකියති. කෙසේ වෙතත් ඉහත සඳහන් කළ තේරීම් කාරක සභාවේ දී 2017 දී එම පනත සම්මත කළ ආකාරය පිළිබඳ සුවිශේෂී හෙළිදරව්වක් ද සිදුවිය. එදා 2003 දී ‘යළි පුබුදමු ශ‍්‍රී ලංකා’ වැඩසටහන යටතේ සම්මත කිරීමට නියමිත වූ පනත් කෙටුම්පත් බාහිර පිරිසක් විසින් සකස් කරන බවට එල්ල වූ චෝදනා එහිදී සනාථ විය. එම කාරක සභාවේ දී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සඳහන් කළේ පනත් කෙටුම්පත සකස් කිරීමේ ක‍්‍රියාවලියට මහ බැංකුව සම්බන්ධ නොවූ බවය.

මේ වනවිට රට තුළ පවතින ආර්ථික අර්බුදය විශේෂයෙන්ම විදේශ විනිමය අර්බුදයට අදාළව නිසි පියවර ගත නොහැකි වී ඇත්තේ පවතින පනතේ දුර්වලතා නිසා බවට වර්තමාන මහ බැංකු අධිපතිවරයා විසින් හෝ අදහස් ප‍්‍රකාශ කරන්නේ නැත. නමුත් ඒ පිළිබඳව ගැඹුරු අවබෝධයක් ඔහුට තිබිය යුතු බව ඉතා පැහැදිළිය. එසේ නම් ඔහු ඊට අදාලව නිහ‌ඬ වතක් අනුගමණය කරන්නේ කුමක් නිසාද? එසේම ඔහුගේ සම්ප‍්‍රප්තියට පෙර මාරතු 07 වැනිදා හදිසි තීන්දුවක් මගින් අර්බුදය උත්සන්න වන ආකාරයට රුපියලේ අගය වෙළඳපොළ විසින් තීරණය කිරීම හෙවත් සම්පූර්ණයෙන්ම පා කිරීම සඳහා මූල්‍ය මණ්ඩලයට බලකිරීමේ වරද පිළිබඳවද ඔහු කිසිවක් කියන්නේ නැත. නමුත් රුපියල පා කිරීම අවස්ථානෝචිතව සහ තාක්ෂණිකව වරදක් ලෙස පිළිගත් මූල්‍ය මණ්ඩලය ඊට දින 4 කට පෙර මාර්තු 03 වැනිදා තීරණය කරනු ලැබුවේ පාලනයක් සහිතව රුපියල් 10 බැගින් වෙළදපොල තත්වයන්ට අනුව ක‍්‍රමණාකූලව අවප‍්‍රමාණය කිරීමටය. එම තීන්දුව වෙනස් කිරීමට අයුතු බලපෑම් කරනු ලැබුවේ කුමක් නිසාද යන්න සහ කවුරුන් විසින්ද යන්න ඔහු ඉතා හොඳින් දන්නා බවටද සැකයක් නැත. ඊට අමතරව ආණ්ඩුව විවේචනය කරන සහ තමන්ට ආණ්ඩුබලය ලබා දුනහොත් මාස 6 කින් අර්බුදය විසඳා පෙන්වන්නම් කියන විපක්ෂයේ දේශපාලන නායකයින් පවා මෙම මූලික පූර්ව කොන්දේසිය ඉටු කරන ලෙස බලපෑම් කරන්නේ නැත. තම ඉල්ලීම පරිදි විදේශ රැකියා නියුක්තිකයන් විසින් රටට එවන ඩොලර්වලින් අර්බුදය විසඳිය හැකි යැයි පවසන අය අඩු තරමින් තමා රට බාරගත් විට ඉටු කරන පළමු කර්තව්‍ය වන්නේ විනාශකාරී විදේශ විනිමය පනත සංශෝධනය කිරීම මගින් කළු වෙළඳපොළ පාලනය කිරීම බව කිව යුතු නොවේද?

කෙසේ වෙතත් මේ වනවිට ‘ජාතික බලවේග’ විසින් අර්බුදය විසඳීම සඳහා නිශ්චිත මාර්ග සිතියමක් සකස් කළ හැකි ආකාරයට 61 වැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත. ඒ තුල උපාය මාර්ග 5 ක් යටතේ සංකල්ප ලෙස නොව නිශ්චිත ක‍්‍රියාමාර්ග ලෙස යෝජනා 61 ක් සහ ක‍්‍රියාකාරකම් 108 ක් මෙන්ම මහජන මනස සුවපත් කිරීම සඳහා ප‍්‍රතිඥා 11 ක් සහිත සංෂිප්ත ලියවිල්ලක් රටට ඉදිරිපත් කර ඇත. එම වැඩපිළිවෙළ ගරු කථානායකතුමාට සහ අගමැතිතුමාට නිල වශයෙන් පිළිගැන්වූ අතර සියලුම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට තැපැල් මගින් යවා ඇත. එම වැඩපිළිවෙළ මගින් විදේශ විනිමය පනත සංශෝධනය කිරීම අර්බුදය විසඳීම සඳහා වන මූලික පූර්ව කොන්දේසියක් බව අවධාරණය කර ඇත.

නමුත් මේ වන තුරු ආණ්ඩුව හෝ විපක්ෂය හෝ ආණ්ඩුවෙන් ස්වාධීන වූ බලවේග විසින් කිසිදු වැඩපිළිවෙළක් රටට ඉදිරිපත් කර නැත. මැතිවරණ සමයකදී පවා තමාට බලය ලබාදුනහොත් අර්බුදය විසඳන්නේ මෙසේ යැයි එක් පිටුවක් ලෙස හෝ වැඩපිළිවෙළක් ඔවුන් විසින් රටට ඉදිරිපත් කරන්නේ නැත. ඕනෑම දේශපාලන නායකයෙකු විසින් ජනතාවගෙන් බලය ඉල්ලා සිටිය යුත්තේ ජනතා අපේක්ෂා ඉටු කරන වැඩපිළිවෙළක් ජනතාව වෙත ඉදිරිපත් කරමිනි. එසේ වැඩපිළිවෙළක් නොමැති නායකයින්ට මහජනයා ඡන්දය ලබාදුන් පමණින් ඔවුන්ගේ මොළයට අදහස් හෝ දැනුම ප‍්‍රාදුර්භූත වන්නේ කෙසේද? ඒ නිසා ආණ්ඩුව විවේචනය කරන දේශපාලන නායකයින් සහ අනාගතයේදී ආණ්ඩු බලය ඉල්ලා සිටින දේශපාලන නායකයින් විසින් ඉටු කළ යුතු පළමු සදාචාරමය කොන්දේසිය වන්නේ මහජනයා තවදුරටත් ගොනාට ඇන්ඳ වීමෙන් තොරව අර්බුදය විසඳන ආකාරය පිළිබඳව නිශ්චිත යෝජනාවලියක් රටට ඉදිරිපත් කිරීමය. එවැනි යෝජනාවලියක් එක පිටුවක් ලෙස හෝ රටට ඉදිරිපත් කළ ද පවතින විදේශ විනිමය පනත සංශෝධනය කිරීමේ උවමනාව ඊට ඇතුළත් විය යුතුය.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
ලේකම්
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය


25-01-2023

පසුගිය වසරේ (2022) ලාදුරු රෝගීන් 1,325 ක්

(25.01.2023 – 16:45 +0530 – lankadeepa.lk)

ශ්‍රී ලංකාව ලාදුරු තුරන් කළ රටක් වශයෙන් සහතික කර ඇතත් පසුගිය වසරේ (2022) ද ලාදුරු රෝගීන් 1,325 දෙනකු වාර්තා වී ඇතැයි ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි.

ඒ අනුව මෙරටින් වාර්ෂිකව ලාදුරු රෝගීන් 2,000 ක් පමණ වාර්තා වන බව ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවසීය.

වාර්තා වන රෝගීන්ගෙන් සියයට 10 ක් පමණ වයස අවුරුදු 15 ට අඩු ළමයින් බව ද වෛද්‍යවරයා කීවේය.

එම රෝගීන්ගෙන් සියයට 40 ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, එයිනුත් සියයට 50 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇතැයි කී ප්‍රසාද් රණවීර මහතා කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇතැයි ද පැවසීය.

ශරීරයේ සමේ පැහැයට වඩා පැහැයෙන් අඩු සැක සහිත ලපයක් ඇත්නම් ළඟම ඇති රජයේ රෝහලේ සමේ රෝග සායනයට ගොස් පරීක්‍ෂා කරවා ගත යුතු බව කී වෛද්‍යවරයා කොළඹ ජාතික රෝහලේ වෙනම ‘මධ්‍යම ලාදුරු සායනයක්’ තිබෙන බව ද සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි ෴


බදු එකතු කරන පද්ධතිය නතරවී රුපියල් කෝටි දාහක් (1000) වතුරේ

(25.01.2023 – 16:29 +0530 – lankadeepa.lk)

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු එකතු කිරීමේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා ‘ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය’ (RAMIS) නමැති මෘදුකාංග පද්ධතිය ආරම්භ කිරීම සඳහා රුපියල් කෝටි 1000 ක් වැයකර ඇතත් එය මේ වනවිට අක්‍රිය තත්වයේ පවතින බව තොරතුරු අනාවරණයවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) පවසයි.

මෙම පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා පසු කාලීනව තවත් විශාල මුදලක් වැය කර ඇති හෙයින් මේ සඳහා තවදුරටත් මුදල් වැය වැයකිරීම ප්‍රතිඵලදායකද යන්න සොයාබැලීම වැදගත් බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) සභාපති කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (24) රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී අදහස් දැක්වූ විගණකාධිපතිවරයා පැවසූවේ එම පද්ධතිය සම්බන්ධයෙන් වන සේවා ගිවිසුම සහ ඊට අදාළ මුදල් ගෙවීම් පිළිබඳ තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තමාට නොදෙන බවයි ෴

+

+


26-01-2023

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන යළි හඬ අවදි කරයි

(26.01.2023 – 07:32 +0530 – hirunews.lk/sinhala)

තමාට ස්ථාන මාරුවක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත්තද මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි කණිෂ්ඨ සේවකයාට එරෙහි ව විධිමත් ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කර නොමැති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ, සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන චෝදනා කරනවා.

රෝහල්වල ඇතැම් සේවකයන් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට පසුගියදා වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන විසින් හිරු ප්‍රවෘත්ති ඔස්සේ අනාවරණයක් සිදු කළා.

ස්ථාන මාරුවෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ‘හිරු හාඩ්ටෝක්’ විශේෂාංගයෙන් ඔහුගෙන් ඍජුව ම ප්‍රශ්න කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *