උසස් පෙළ අවසන් වනතුරු විදුලි කප්පාදුවක් නැහැ – මානව හිමිකම් කොමිසම හමුවේ එකඟතාවක්

උසස් පෙළ අවසන් වනතුරු විදුලි කප්පාදුවක් නැහැ – මානව හිමිකම් කොමිසම හමුවේ එකඟතාවක්


උසස් පෙළ අවසන් වනතුරු විදුලි කප්පාදුවක් නැහැ – මානව හිමිකම් කොමිසම හමුවේ එකඟතාවක්

(25.01.2023 – 19:57 +0530 – hirunews.lk/sinhala)

අද (25) සිට උසස් පෙළ නිමවන ලබන මස 17 වනදා දක්වා විදුලිය විසන්ධි නොකර පැය 24 ම විදුලිය ලබාදීමේ එකඟතාවයකට පැමිණි බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළා.

මානව හිමිකම් කොමිසම හමුවේ අද (25) පස්වරුවේ යළි පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

විදුලිබල අමාත්‍යාංශයට, මහජන උපයෝගිතා කොමිසමට සහ විදුලිබල මණ්ඩලයට මානව හිමිකම් කොමිසම අද (25) කැඳවීමක් සිදුකර තිබුණේ උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේදී විදුලි විසන්ධි කිරීම වළක්වාලීමට අවශ්‍ය සුදුසු පියවරක් නොගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහායි.

අද (25) පෙරවරුවේ කැඳවීම් ලත් පාර්ශවයන් මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටිය ද විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයා පැමිණ සිටියේ නැහැ.

ඒ අනුව, යළි පස්වරුවේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අදාළ පාර්ශවයන්ට මානව හිමිකම් කොමිසම දැනුම් දුන්නා.

පස්වරුවේ ද විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයා කොමිසම හමුවට නොපැමිණි නමුත් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු පැමිණ සිටියා.

ඊට අමතරව මහජන උපයෝගිතා කොමිසම, විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, රාජ්‍ය බැංකු දෙකේ ප්‍රධානීන්ද කොමිසම හමුවේ පෙනී සිට තිබෙනවා ෴

+


මධ්‍යම පාන්තික නිවාස අලෙවි කිරීමෙන් ඩොලර් ලක්ෂ 05 කට වැඩි අදායමක්

(25.01.2023 – 15:08 +0530 – hirunews.lk/sinhala)

විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් සදහා නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පාන්තික නිවාස අලෙවි කිරීමේ ව්‍යාපෘතියෙන් මේ වන විට ඩොලර් 502,170 ක් උපයාගෙන ඇති බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය පවසනවා.

එය මෙරට මුදලින් රුපියල් මිලියන 181 ක්.

මෙම ව්‍යාපෘතියේ ප්‍රවර්ධන කටයුතු ජාත්‍යන්තර මට්ටමින් ඇරඹිම පෙබරවාරි මස 11 වැනිදා ඩුබායි හිදී මෙරට නිදහස් දින සැමරුමේ දී සිදුකිරීමට නියමිතයි.

මේ වසරේ නාගරික සංවර්ධන අධිකාරිය සතු මධ්‍යම පාන්තික නිවාස විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට අළෙවි කිරීමෙන් ඩොලර් මිලියන 2 ක අදායමක් අපේක්ෂිත බව නාගරික සංවර්ධන අධිකාරිය සදහන් කර තිබෙනවා.

එම අධිකාරිය මේ වන විට ඉදිකිරීම් අවසන් කර ඇති කොළඹ ‘හාබර් වීච් රෙසිඩන්සිස්’ නිවාස ව්‍යාපෘතිය ද මෙම වැඩපිලිවෙල සඳහා වෙන් කිරීමට ද නියමිතයි.

නිවාස 400 කින් යුත් එහි එක් නිවසක් මිල දී ගැනීම සදහා ඩොලර් 40,000 ක් ගෙවිය යුතු වෙනවා ෴


ණය ප්‍රතිව්‍යූහගත කිරීම අවසන් වූ විගස අයි.එම්.එෆ්. ණය ලැබෙනු ඇති බව මහබැංකු අධිපති කියයි

(25.01.2023 – 15:21 +0530 – hirunews.lk/sinhala)

ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ කටයුතු අවසන් වූ විගස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මූල්‍ය ප්‍රතිපාදන මෙරටට ලබාදෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

විනිමය අනුපාතය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉදිරි ක්‍රියාකාරිත්වය සහ රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මහබැංකුවේ අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මෙහිදී මාධ්‍යවේදීන් මහබැංකු අධිපතිවරයාගෙන් විමසා සිටියේ මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීම සුදුසුද නැද්ද යන්න පිළිබඳවයි.

එය මහබැංකුවට අදාළ කරුණක් නොවන බවයි මහබැංකු අධිපතිවරයා සදහන් කළේ ෴


හෙට (26) සර්වපාක්ෂික හමුවක්

(25.01.2023 – 16:16 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් හෙට (26) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙනවා.

හෙට (26) පස්වරු 4 ට මෙම හමුව පැවැත්වෙන අතර එහි ප්‍රධානත්වය දරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහයි.

මීට අමතරව කතානායකවරයා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා, මෙන්ම හිටපු ජනාධිපතිවරුන් ද මෙම හමුවට එක්වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

පසුගිය වසරේ දෙසැම්බර් මස 13 වනදින පැවති පක්ෂ නායක හමුවේදී සාකච්ඡාවට බදුන් වූ සංහිඳියාව වැඩදියුණු කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව එහිදී වැඩිදුරටත් සාකච්ඡාවට බඳුන් කෙරෙනු ඇති.

ඒ පිළිබඳව පක්ෂ නායකයන්ගේ එකඟතාවයක් ද ඇති කර ගැනීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

+

මේ අතර ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ’ පළමු රැස්වීම පාර්ලිමේන්තු සංකිර්ණයේදි අද (25) පැවත්වුනේ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

කථානායකවරයාගේ රැස්වීම් කාමරයේ පැවති එම රැස්වීමේදි කොමිෂන් සභා ස්ථාපිත කිරීම පිලිබද සාකච්ජා කර ඇති අතර එම සභාවලට සමාජිකයන් ලෙස පත්කිරීම සදහා ඊට උනන්දුවක් දක්වන සහ සුදුසුකම්ලත් පුද්ගලයින්ගෙන් පුවත්පත් දැන්වීම් හරහා අයදුම් පත් කැදවීමට එහිදි එකගත්වය පලව තිබෙනවා.

ඒ අනුව මැතිවරණ, රාජ්‍ය සේවා, ජාතික පොලිස්, විගණන සේවා, මානව හිමිකම්, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශනය, මුදල්, සීමා නිර්ණය සහ ජාතික ප්‍රසම්පාදන යන කොමිෂන් සභා සදහා එලෙස අයදුම් කැදවීමට නියමිතයි.

අදාල අයදුම්පත් ඉදිරිපත් කිරීම සදහා දැන්වීම් පළ කල දින සිට සති දෙකක (2) කාලයක් ලබා දීමටද ව්‍යවස්ථා සභාවේදි තීරණය කර තිබෙනවා.

එම අයදුම්පත් අයදුම් කිරීමේ ක්‍රියාවලිය පිළිබද තොරතුරු පිලිබද වැඩිවිස්තර පුවත්පත් දැන්වීම් හරහා දැනුම් දීමට නියමිතයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සමාජිකයින් වන කථානායකවරයා, අග්‍රාමාතවරයා, විපක්ෂ නායකවරයා මෙන්ම ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් සහ විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි කබීර් හෂීම් අද (25) පැවති පළමු රැස්වීමට එක්ව සිටියා.

එමෙන්ම, සිවිල් සමාජිකයින් ලෙස පසුගියදා පත් කෙරුණු ආචාර්ය ප්‍රභාත් රාමානුජන්, වෛද්‍ය අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂ් සමරත්න ද ඊට සහභාගි වී තිබෙනවා ෴

+


ජානකී සිරිවර්ධනට විදෙස් ගත වීමට අධිකරණයෙන් අවසර නැහැ

(25.01.2023 – 16:53 +0530 – hirunews.lk/sinhala)

තිලිණි ප්‍රියමාලිගේ මහා පරිමාණ මුදල් වංචා කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන විදේශ ගත වීම සඳහා කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ව්‍යාපාරික කටයුත්තක් සඳහා ඇයට ඉන්දියාවට යාමට අවශ්‍ය බව පවසමින් ඇගේ නීතිඥවරුන් අධිකරණයෙන් අද (25) මෙම ඉල්ලීම සිදුකර තිබුණා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට විරෝධය පළ කිරීම හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමටයි තීරණය කළේ ෴


සොරාගත් ගම්පොල ඒ.ටී.එම්. යන්ත්‍රයේ රුපියල් හැත්තෑ-හය ලක්ෂයක්

(25.01.2023 – 19:43 +0530 – hirunews.lk/sinhala)

ගම්පොල නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවෙන් සොරකම් කළ ඒ.ටී.එම්. යන්ත්‍රයේ රුපියල් 76,46,700 ක මුදලක් තිබී ඇති බව පොලීසිය පවසනවා.

මේ අතර, ඒ.ටී.එම්. යන්ත්‍රය ගලවාගෙන යාමේ සිද්ධියට කොල්ලකරුවන් පැමිණි වෑන් රථය පේරාදෙණිය ප්‍රදේශයේ දමාගොස් තිබියදී සොයා ගත් අතර එහි රියදුරු පොලීසිය විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ගම්පොල නගරයේ පිහිටි පෞද්ගලික බැංකු ශාඛාවක මුදල් තැන්පතු යන්ත්‍රය ආයුධ සන්නද්ධව වෑන් රථයකින් පැමිණි පුද්ගලයින් සිව් (4) දෙනෙකු විසින් ගලවාගෙන රැගෙන ගොස් තිබුණේ අද අලුයම් කාලයේයි.

මොවුන් බැංකුවේ ආරක්ෂක නිලධාරියාගේ හිසට පිස්තෝලයක් එල්ල කර ඔහුව පුටුවක ගැටගසා මෙම සොරකම සිදු කර තිබුණා.

කොල්ලකරුවන් කුලී පදනම මත අදාල වෑන් රථය මෙම සිද්ධියට රැගෙනවිත් ඇති අතර, පසුව, වෑන් රථය පේරාදෙණිය ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයා ගෙන තිබුණේ එහි රියදුරු පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබාදුන් තොරතුරක් මතයි.

කොල්ලකරුවන් වෑන් රථය තුල රියදුරුගේ දෑත් බැඳ දමා පලාගිය බව වාර්තා වූ අතර පසුව ඔහු දෑත් ගලවා ගෙන පොලීසියට ඒ පිළිබඳව දැනුම්දී තිබුණා.

වෑන් රථය කොල්ලකරුවන් විසින් අරණායක ප්‍රදේශයෙන් අන්තර්ජාලය හරහා කුලී පනම මත ලබාගෙන ඇති අතර, රියදුරුට දැනුම්දී ඇත්තේ වෑන් රථය පේරාදෙණිය හරහා ගලහා ප්‍රදේශයට රැගෙන එන ලෙසටයි.

එහිදී ගලහ ප්‍රදේශයෙන් වෑන් රථයට තිදෙනෙකු (3) ගොඩවී තිබෙනවා.

ඔවුන් දෙල්තොට ප්‍රදේශයට ගොස් එම ස්ථානයෙන් ද තවත් දෙදෙනෙකු (2) වෑන් රථයට නංවාගෙන ඇති අතර මඳ දුරක් ගිය පසු තමාගේ දෑස් බැඳ, එක් (1) අයෙකු සමග තමාව දෙල්තොට ප්‍රදේශයේ ස්ථානයකින් බැස්සවූ බවටයි රියදුරා පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ.

අනතුරුව කොල්ලකරුවන් පෞද්ගලික බැංකුවේ මුදල් තැන්පතු යන්ත්‍රය ගලවා ඉවත් කර, තම රථයෙන් පැමිණ තමන්ව රථයට නංවාගෙන පේරාදෙණිය ගලහ ප්‍රදේශයෙන් වෑන් රථය දමාගිය බව රියදුරු පොලීසියට ප්‍රකාශ කර තිබෙනවා ෴

+

+

+


ඇමතිගේ ක්‍රීඩා නීතියට එරෙහිව ක්‍රීඩා සමාජ පෙළ ගැසේ

(25.01.2023 – 20:08 +0530 – hirunews.lk/sinhala)

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කර ඇති සංශෝධිත නව ක්‍රීඩා නීතිය පිළිබඳ ගැසට් නිවේදනයට එරෙහි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුබද්ධිත ක්‍රීඩා සමාජ බහුතරයක් ක්‍රිකට් ආයතනයට ලිපි මගින් දැනුම්දී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ ක්‍රීඩා සමාජ 50 කට වැඩි ප්‍රමාණයක ලිපි ක්‍රිකට් ආයතනය සතුව ඇති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ වනවිට අධිකරණයේ ගොනුකර ඇති පැමිණිල්ලට අදාළව මෙම ලිපි ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කරනු ඇති බවද වාර්තා වනවා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ තවත් පාර්ශවයක් චෝදනා කරන්නේ ක්‍රිකට් විධායක කමිටුවේ ඇතැම් සාමාජිකයින් ක්‍රීඩා සමාජවලට බලපෑම් කරමින් මෙම ලිපි ලබාගැනීමට උත්සාහ කරන බවයි ෴


ජනපති මන්දිරයෙන් සොයාගත් මුදල් ගැන අධිකරණය දුන් නියෝගය

(25.01.2023 – 21:19 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති මන්දිරයේ තිබී සොයාගත් රුපියල් 1,78,50,000 ක මුදල සම්බන්ධයෙන් වන විමර්ශන, නිසි පරිදි සිදු කළ පොලිස් විශේෂ විමර්ශන අංශයෙන් එය ඉවත් කර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද (25) පොලිස්පතිවරයාට නියෝග කළා.

පොලිස්පතිවරයාගේ එම නියෝගය නීති විරෝධී බවත්, එලෙස කිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න අද (25) අධිකරණයේදී කරුණු පෙන්වා දුන්නා.

අදාළ මුදල් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙසට තම අධිකරණය නියෝග කළත් එය මෙතෙක් සිදුකොට නොමැති බවද අද (25) අධිකරණයේදී අනාවරණය වුනා.

අදාළ විමර්ශනය පොලිස් දෙපාර්තමේන්තුවේ කුමන අංශයක් කළ ද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රකාශ සටහන් කිරීම ඇතුළු නියෝග ප්‍රමාද කිරීමට හෝ මගහැරීමට කිසිසේත්ම සූදානම් නොවන ලෙස ද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

එම කටයුතු ප්‍රමාද කළහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව නිසි පියවර තම අධිකරණය විසින් ගනු ලබන්නේ යැයි ද මහේස්ත්‍රාත් වරයා දැනුම් දුන්නා ෴


බැංකුවක් උකස් ගත් රුපියල් කෝටි 2 ක රන් භාණ්ඩ අතුරුදන්

(25.01.2023 – 15:40 +0530 – sinhala.adaderana.lk)

රුපියල් කෝටි 2 කට අධික වටිනා රන් භාණ්ඩ තොගයක් මඩකලපුව ඔට්ටමාවඩි බැංකුවකින් අස්ථානගතවී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

ගනුදෙනුකරුවෙකු රන් සුරැකුම් ණය ලබාගැනීම සඳහා බැංකුව වෙත උකස් කර තිබූ රන් භාණ්ඩ තොගයක් බේරා ගැනීම සඳහා ගිය අවස්ථාවේදී රන් භාණ්ඩ අඩංගු ඇසුරුම සේප්පුවේ නොමැති බවට මුලින්ම දැනගැනීමට ලැබී ඇතැයි එම නිලධාරියා සඳහන් කරයි.

මේ පිළිබඳ අදාළ බැංකුවේ කළමනාකරු ප්‍රධාන කාර්යාලයට කරන ලද පැමිණිල්ලක් අනුව එම බැංකුවට අයත් මඩකලපුව ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් පැමිණ සිදුකළ මූලික අභ්‍යන්තර පරීක්ෂාවේදී එම ගනුදෙනුකරු උකස් තබන ලද රන් භාණ්ඩ තොගයට අමතරව තවත් ගනුදෙනුකරුවන් 12 දෙනෙකුගේ රන් භාණ්ඩ ඇතුළත් ඇසුරුම් අස්ථානගතවී ඇති බවට දැනගන්නට ලැබී ඇතැයි ද උසස් පොලිස් නිලධාරියා පැවසීය.

2022 වර්ෂයේ ජනවාරි මස සිට දෙසැම්බර් මාසය දක්වා රන් සුරැකුම් ණය ලබාගැනීම සඳහා ගනුදෙනුකරුවන් බැංකුව වෙත උකස් තබන ලද රන් භාණ්ඩ එලෙස අස්ථානගතවී ඇති බවට එම පැමිණිල්ලේ සඳහන් වෙයි.

අදාළ රන් භාණ්ඩ තොගය අස්ථානගතවීම සම්බන්ධයෙන් එම බැංකුවේ මඩකලපු ප්‍රධාන කාර්යාලයේ ප්‍රාදේශීය කළමනාකාරවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර ඇතැයි ද උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේය.

ගනුදෙනුකරුවන් උකස් තබන ලද රන් භාණ්ඩ තොගය තැන්පත් කර තිබූ සේප්පුවේ යතුරු දෙකක් (2) අදාළ බැංකුවේ නිලධාරීන් දෙදෙනෙකු (2) භාරයේ තිබී ඇතැයි ද පැවසෙයි.

රුපියල් කෝටි දෙකක් (2) පමණ වටිනා රන් භාණ්ඩ අස්ථානගතවීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් මඩකලපුව බලා යාමට නියමිත බවද උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය ෴


බස් රියදුරුගේ නොසැලකිල්ලෙන් 6 හැවිරිදි දැරියට දිවි අහිමිවෙයි

(25.01.2023 – 11:02 +0530 – sinhala.adaderana.lk)

පරසන්ගස්වැව පොලිස් වසමේ, ගම්බිරිගස්වැව ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් 6 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක ගමන් කළ කුඩා දැරියක් ඉදිරිපස දොරෙන් බිමට බැසීමට යෑමේ දී ඇදවැටී බස් රථයට යට වී අනතුර සිදුවී ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ දැරිය අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස මියගොස් ඇත්තේ 6 හැවිරිදි ගම්බිරිස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි අලුත්ගම, දරුසලාම් මුස්ලිම් ප්‍රාථමික විද්‍යාලයේ පළමු (1) වසර අධ්‍යාපනය ලබමින් සිටි දැරියකි.

අනතුර සම්බන්ධයෙන් රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, පරසන්ගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි ෴

+


18-01-2023

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *