ගම්පොළ, මහනුවර මාර්ගයේ පිහිටි පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රයක් සොරු රැගෙන යති

ගම්පොළ, මහනුවර මාර්ගයේ පිහිටි පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රයක් සොරු රැගෙන යති


ගම්පොළ, මහනුවර මාර්ගයේ පිහිටි පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රයක් සොරු රැගෙන යති

(25.01.2023 – 07:45 +0530 – sinhala.adaderana.lk)

ගම්පොළ, මහනුවර මාර්ගයේ පිහිටි පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රයක් කිසියම් පිරිසක් විසින් ගලවා රැගෙන ගොස් තිබේ.

ඊයේ (24) රාත්‍රි 12:40 ට පමණ මෙය සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් සිව්දෙනෙකු (4) වෑන් රථයකින් පැමිණ ආරක්ෂක නිලධාරියා ගැට ගසා ATM යන්ත්‍රය ගලවාගෙන ගොස් ඇති බව සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴

sinhala.newsfirst.lk

(25.01.2023 – 09:09 +0530 – hirunews.lk/sinhala)

ගම්පොළ පෞද්ගලික බැංකුවක් කොල්ල කෑමට සැකකරුවන් පැමිණි වෑන් රථය, රියදුරු සමඟ පේරාදෙණියේ දමා ගොස් තිබිය දී සොයා ගෙන තිබෙනවා.

වෑන් රථය තුළ රියදුරා ව ගැට ගසා සිටි බව යි පොලිසිය පවසන්නේ ෴

+

(Bank : HNB – Gampola)

++++++++

(25.01.2023 – 09:59 +0530 – lankadeepa.lk)

ගම්පොල නගරයේ ප්‍රධාන පුද්ගලික බැංකුවකට අද (25) අලුයම එකට (01:00) පමණ කඩා වැදුණු ආයුධ සන්නද්ධ කොල්ල කණ්ඩායමක් ආරක්ෂකයා ගේ හිසට ගිනි අවියක් තබා බියකර පුටුවක ගැටගසා එහි තිබූ මුදල් තැන්පත් යන්ත්‍රය රැගෙන නවීනපන්නයේ වෑන් රථයකින් පලා ගොස් ඇතැයි ගම්පොල පොලිසිය පවසයි .

ගම්පොල නගරයේ නුවරවිදියේ ඇති මෙම පුද්ගලික බැංකුව සමඟ තවත් පුද්ගලික බැංකු දෙකක් (2) ද ඇති අතර එම බැංකු තුනේම (3) ආරක්ෂකයන් මේ වෙලාවේ සිට තිබේ.

මංකොල්ලය සිදු වූ බැංකුවේ ඉදිරිපසට පැමිණ ඇති කේ.ඩී.එච්. වර්ගයේ වෑන් රථයක් එහි හරස් අතට නවතා මුදල් යන්ත්‍ර ඇති ස්ථානයට පැමිණ ඇති මුහුණු වසාගත් සිව්දෙනකු (4) එහි ආරක්ෂකයා ගේ හිසට පිස්තෝලයක් එල්ල කර ඔහු ගැට ගසා තිබේ.

අනතුරුව බිම සවි කර ඇති මුදල් තැන්පත් යන්ත්‍රය ඇද ගලවා ඇති මොවුන් එය ඔසවා වෑන් රථයට දමා පලා ගිය බව එම ආරක්ෂකයා පොලිසියට පවසා තිබේ.

ආරක්ෂක නිලධාරියා ගැටගසා තිබූ රැහැන් පට ගලවාගෙන බැංකුවේ හදිසි නලාව ගසා ඇති අතර ඔහු වෑන් රථයේ අංකය ද ලියා ගෙන තිබේ .

සයිරන් නළා හඬ සමග බැංකුව ආසන්නයේ ඇති ගම්පොල මූලස්ථාන පොලිසියේ නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබේ ෴

+++++++++

+


විදුලිබල ලේකම්වරයා සහ උපයෝගීතා කොමිසමේ සභාපති මානව හිමිකම් කොමිසමට

(25.01.2023 – 08:41 +0530 – hirunews.lk/sinhala)

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා අද (25), ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත කැඳවා තිබෙනවා.

ඒ උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේ දී විදුලි විසන්ධි කිරීම වළක්වාලීමට අවශ්‍ය සුදුසු පියවරක් නො ගැනීම හේතුවෙන්.

ඊයේ (24) දිනයේ රටේ විදුලි අවශ්‍යතාවය වෙනුවෙන් ගිගා වොට් පැය 42.58 ක විදුලි උත්පාදනයක් කර විදුලිබල මණ්ඩලය විසින් ජාතික පද්ධතියට එක්තු කර ඇති අතර, විදුලි කප්පාදුවෙන් ගිගා වොට් පැය 2.22 ක ධාරිතාවක් ඉතිරි කර ගැනීමට හැකි වූ බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර කප්පාදුවකින් තොර ව විදුලිය ලබාදීමේ හැකියාව මෙන්ම නොරොච්චෝලේ තාප බලාගාරයට අවශ්‍ය ගල් අඟු‍රු ලබා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා ගල් අඟු‍රු සමාගමේ නිලධාරීන් සමග විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (24) පවත්වනු ලැබුවා.

එහි දී අනාවරණ වී ඇත්තේ ජනවාරි මාසය වෙනුවෙන් සැලසුම් කළ ගල් අඟු‍රු නෞකා 7 න් 5 ක ගල් අඟු‍රු මේ වන විට ලබා ගෙන ඇති බව යි.

එසේම තවත් ගල් අඟුරු නෞකා 2 ක් මෙම මාසය තුළදී දිවයිනට ළඟා වීමට නියමිත යි.

ඒ අනුව මේ වන විට ගල් අඟු‍රු නෞකා 10 ක් මෙම කාල සීමාව වෙනුවෙන් ලබාගෙන ඇති අතර සම්පුර්ණ අවශ්‍යතාවය වෙනුවෙන් ගල් අඟු‍රු නෞකා 33 ක් ලබා ගත යුතුව ඇති බව ද එහි දී අනාවරණ වුණා.

එමෙන්ම පෙබරවාරි මාසයේ දී ගල් අඟු‍රු නෞකා 7 ක්, මාර්තු මාසයේදී නෞකා 7 ක් සහ අප්‍රේල් මාසයේදී නෞකා 7 ක් ලබා ගැනීමට සැලසුම් සකස් කර තිබෙනවා.

ඒ වෙනුවෙන් අවශ්‍ය මුදල් ලබා ගැනීම වෙනුවෙන් මේ වන විට රාජ්‍ය බැංකු දෙකකින් ඉල්ලීම් කර ඇති බවයි අනාවරණ වුණේ ෴

+


උසස් පොලිස් නිලධාරියා පහර දුන්නා කියමින් කැබිතිගොල්ලෑව වැඩබලන ඕ.අයි.සී. රෝහලේ

(25.01.2023 – 08:46 +0530 – hirunews.lk/sinhala)

උසස් පොලිස් නිලධාරියෙකු තමාට පහර දුන් බව පවසමින් කැබිතිගොල්ලෑව පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා රෝහල් ගත වී තිබෙනවා.

පළමුවෙන් ඔහු කැබිතිගොල්ලෑව රෝහල වෙත ඇතුළත් වීමෙන් අනතුරු ව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇති බව සඳහන්.

ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු, තමාගේ කම්මුලට සහ මුඛයේ අභ්‍යන්තරයට හානි සිදු වන අයුරින් පහර දුන් බව පවසමිනු යි වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා රෝහල්ගත ව ඇත්තේ.

මේ අතර ගංජා සමඟ අත්අඩංගුවට ගත් මොණරාගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර ඇතුළු විත්තිකරුවන් 05 දෙනා සහ ඇතිමලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා පෙබරවාරි මස 03 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, මොවුන් ඊයේ (24) මොණරාගල මහේස්ත්‍රාත් සජිනි අමරවික්‍රම හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව යි ෴


රනිල් උතුර වෙනම රාජ්‍යයක් කරයි – ප්‍රභාට කරන්න බැරිවුණු දේ රනිල් කරලා දෙයි – අක්මීමන හිමි හෙළිකරයි (25.01.2023)

+


එකම දිනක දී සිව්වරක් (4) කළ සොරකම – CCTV

(25.01.2023 – 10:08 +0530 – sinhala.adaderana.lk)

මතුගම, යටදොලවත්ත ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලකට පැමිණි පුද්ගලයෙකු එම වෙළෙඳසැලේ ඇති බිස්කට්, කිරිපිටි ඇතුළු ඇසුරුම්කළ ද්‍රව්‍ය සොරාගෙන යට ඇඳුම් තුළ සඟවා ගන්නා අයුරු වෙළෙඳ සැලේ CCTV කැමරාවේ සටහන්ව තිබුණි.

එකම දිනයක දී පැය 4 ක පමණ කාලයක් තුළ දී අදාළ පුද්ගලයා විසින් සිව් (4) වරක් පැමිණ භාණ්ඩ සොරකම් කර ඇති අතර, දෙවරක් (2) කුඩා දරුවෙකු සමග පැමිණ ඇති බව එම දර්ශනවල සටහන්ව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මතුගම පොලීසියට පැමිණිලි කර ඇති අතර සැකකරු සොයා පොලිසිය පරීක්ෂණ සිදුකරයි.

+


25-01-2023

උසස් පෙළ සමයේ විදුලි විසන්ධිය වළක්වා නො ගැනීම ගැන කරුණු දැක්වීමට ජ්‍යේෂ්ඨ නිලධාරින් දෙදෙනෙකු මානව හිමිකම් කොමිසමට

(25.01.2023 – 11:30 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ විභාගය අවසන් වන තුරු විදුලිය විසන්ධි කිරීම වැළැක්වීමට පියවර නො ගැනීම ගැන පරීක්ෂණයට, විදුලිබල අමාත්‍යාංශ අතිරේක ලේකම් සුගත් ධර්මකීර්ති සහ උපයෝගිතා කොමිසමේ සභාපති මානව හිමිකම් කොමිසමට පැමිණ තිබෙනවා.

මෙතෙක් විදුලිය විසන්ධි වුණේ, දිනකට පැය 2 යි මිනිත්තු 20 ක් වශයෙන්.

නමුත් උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනවල එම කාලය විනාඩි 20 කින් අඩු කෙරුණා.

නමුත් තවදුරටත්, විදුලිය විසන්ධි කිරීම හමුවේ සිසුන්ගෙ අධ්‍යයන කටයුතු ඉතා ම අපහසුතාවක පවතින බව යි වාර්තා වන්නේ.

+


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පළමු වරට රැස්වෙයි

(25.01.2023 – 13:21 +0530 – hirunews.lk/sinhala)

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව, ස්ථාපිත කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මංගල රැස්වීම කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (25) උදෑසන පැවැත්වුණා.

කතානායකවරයාගේ රැස්වීමේ කාමරයේ පැවැත්වුණු මෙම හමුවට දස (10) දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් වන කතානායකවරයා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂනායකවරයා, මෙන්ම ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස සාගර කාරියවසම් සහ විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා ලෙස කබීර් හෂීම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්වුණා.

එමෙන්ම, සිවිල් සාමාජිකයින් ලෙස පසුගියදා පත් කෙරුණු ආචාර්ය ප්‍රභාත් රාමනුජන්, වෛද්‍ය අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂ් සමරරත්න ද ඊට සහභාගි වූ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, ව්‍යවස්ථා සභාවේ සෙසු පක්ෂ නියෝජිතයා මේ වනතුරුත් නම් කර නැහැ.

මෙම සාකච්ඡාවේ දී මැතිවරණ, සීමානිර්ණ, රාජ්‍ය සේවා, පොලිස් විගණන සේවා, මුදල්, ප්‍රසම්පාදන, මානව හිමිකම්, අල්ලස් හෝ දූෂණ යන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත්, ඒ සඳහා අද (25) සාමාජිකයින් පත් නොකෙරුණු බව ව්‍යවස්ථා සභාව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු සඳහන් කළා.

මෙහිදී ව්‍යවස්ථා සභාවේ ඝණ පූර්ණය, ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සහ එය රැස්වන දින වකවානු පිළිබඳ සාකච්ඡා වී තිබෙනවා.

ඡන්දයට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයට ඊයේ (24) දැනුම් දී තිබෙනවා.

පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර කියා සිටියේ ඡන්ද විමසීමට අදාළ කටයුතු කරගෙන යන ලෙස ජනාධිපතිවරයා විසින් පක්ෂ නිලධාරීන්ට උපදෙස් දුන් බවයි.

මේ අතර, පොදුජන පෙරමුණ සහ සමගි ජනබලවේගය ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හෙට (26) දිනයේ සිය මන්ත්‍රී කණ්ඩායම සමග සාකච්ඡා කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, මැතිවරණ කොමිෂන් සභාව සහ නිරීක්ෂණ සංවිධාන අතර සාකච්ඡාවක් ද හෙට (26) දිනයේ පැවැත්වීමට නියමිතයි.

පළාත් පාලන මැතිවරණයේ මූලික වියදම් සඳහා ඇස්තමේන්තු කල රුපියල් බිලියන 3 ක මුදල ලබා දිය හැකිදැයි මේ වනතුරුත් මහා භාණ්ඩාගාරය මැතිවරණ කොමිසමට දැනුම්දී නැහැ.

මැතිවරණ කොමිෂන් සභාව මෙවර පළාත් පාලන මැතිවරණයේ වියදම් ඇස්තමේන්තුව බිලියන 9 ක් පමණ වන බවට ප්‍රකාශ කළ අතර පසුව ඔවුන් ඉන් බිලියන 5 ක් පමණක් නිදහස් කරන ලෙස ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් පසුව ඔවුන් භාණ්ඩාගාරය වෙත දන්වා යවනු ලැබුවේ මූලික වියදම් සඳහා රුපියල් බිලියන 3 ක පමණ මුදලක් ප්‍රමාණවත් වන බවයි.

+


මහබැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත වෙනස් නොකිරීමට තීරණය කරයි

(25.01.2023 – 13:43 +0530 – hirunews.lk/sinhala)

මහබැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (24) රැස්වූ මුදල් මණ්ඩලය තීරණය කර ඇත්තේ නිත්‍ය තැන්පතු සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතික පිළිවෙලින් 14.5% ක සහ 15.5% ක අගයක තවදුරටත් පවත්වාගෙන යාමටයි.

මෑතකාලීන හා අපේක්ෂිත වර්ධනයන් මෙන්ම දේශීය සහ ගෝලීය සාර්ව ආර්ථික තත්ත්වයන් සලකා ඔවුන් මෙම තීරණය කර තිබෙනවා.

මෑත මාසවල දී අපේක්ෂා කළ පරිදි උද්ධමනය අඛන්ඩව පහළ ගිය අතර, ඉදිරියේ දී තවදුරටත් උද්ධමනයේ පහළ යාමක් අපේක්ෂා කරන බවයි මහබැංකුව සඳහන් කළේ.

+


රජයේ මුදල් කාරක සභාවෙන් විශේෂ තීරණයක්

(25.01.2023 – 14:03 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිසංස්කරණ සඳහා උපරිම සහය ලබාදීමට ‘රජයේ මුදල් කාරක සභාව’ තීරණය කර තිබෙනවා.

ඒ, මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රැස් වූ අවස්ථාවේ දී යි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *