යාපනයේ මැර කල්ලි දෙකක් ගැටේ

යාපනයේ මැර කල්ලි දෙකක් ගැටේ


යාපනයේ මැර කල්ලි දෙකක් ගැටේ

(24.01.2023 – 15:19 +0530 – lankadeepa.lk)

යාපනයේ ක්‍රියාත්මක වන ‘ආවා කල්ලිය’ සහ ‘කැනී කල්ලිය’ අතර අද (24) දින චුන්නාකම් ප්‍රදේශයේදී වාහනද භාවිතා කරමින් සිදු වූ ගැටුමකින් සිව්දෙනකු තුවාල ලබා ඇතැයි යාපනය පොලීසිය පවසයි.

යාපනය කංකසන්තුරෙයි මාර්ගයේ චුන්නාකම් මංසන්ධිය ප්‍රදේශයේදී අදාල කල්ලි දෙකේ (2) සාමාජිකයින් කාර් රථයකින් සහ කැබ් රථයකින් මුහුණට මුහුණ ගැටී ඇති අතර වාහන දෙක (2) ගැටීමෙන් අනතුරුව එහි සිටි සාමාජිකයෙන් තියුණු ආයුධ අතැතිව පහරදීගෙන මාර්ගයේ ගමන්ගත් ජනතාවටද තියුණු ආයුධවලින් පහරදී පලා ගොස් ඇතැයි වාර්ථා වෙයි.

අදාල ගැටුමෙන් මෝටර් රථයකට සහ කැබ් රථයකට මෙන්ම යතුරුපැදියකටද බරපතල හානි සිදුව ඇත.

වාහන දෙක (2) මුහුණට මුහුණ ගැටීමෙන් සහ තියුණු ආයුධවලින් පහරදීගැනීම හේතුවෙන් දෙපාර්සවයේ සාමාජිකයන් සහ මාර්ගයේ ගමන්ගත් මගීන්ද ඇතුලුව සිව් දෙනකු (4) තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කල බවට පොලීසිය පැවසීය.

ගැටුම ඇති වී ඇති පිරිස් ‘ආවා කල්ලියේ’ සහ ‘කැනී කල්ලියේ’ සාමාජිකයින් බවට සැකපල කරන අතරම දෙපාර්සවය අතර වූ ආරවුලක් මත මෙලෙස ගැටී ඇතැයිද පොලීසිය පවසයි.

++++

යාපනය, චුන්නාකම් පොලීසිය පැවසූවේ, වාහන දෙකක් අනතුරට ලක්වීමෙන් අනතුරුව දෙපිරිසක් එකිනෙකාට පහරදීමෙන් පුද්ගලයින් හයදෙනෙකු (6) තුවාල ලබා ඇති බවය.

මීට පෙරද අවස්ථා ගණනාවක දී යාපනය ප්‍රදේශයේ දී මෙම කල්ලි දෙක අතර විවිධ ගැටුම් හටගෙන තිබු අතර, එහිදි පුද්ගලයින් රැසක් තුවාල ලබා තිබුණි ෴


‘බාස්මතී’ කියා ‘සුදු කැකුළු’ වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරම ‘උකුස්සා’ හෙළිකරයි

(24.01.2023 – 20:00 +0530 – sinhala.adaderana.lk)

පාකිස්තානයෙන් මෙරටට ආනයනය කරන ලද ‘සුදු කැකුළු’ සහල්වල නාමය ‘බාස්මති’ සහල් ලෙස වෙනස් කර වැඩි මිලට අලෙවි කරන කූට ව්‍යාපාරයක් පිළිඳබඳව ‘අද දෙරණ උකුස්සා’ ට තොරතුරු අනාවරණ විය.

අද (24) අනාවරණය ඒ පිළිබඳවය.

වත්තල, හේකිත්ත ප්‍රදේශයේ සහල් ඇසුරුම්කරන ස්ථානයක පාකිස්තානයෙන් ආනයනය කරන ලද සුදු කැකුළු සහල් එම ඇසුරුම්වලින් ඉවතට ගෙන වෙනත් ඇසුරුම්වලට දමන බවට ‘අද දෙරණ උකුස්සා’ට රහසිගත තොරතුරක් ලැබුණි.

ඒ පිළිබඳව ගවේෂණයක නිරත වූ ‘උකුස්සා’ට, පාකිස්තානයෙන් ආනයනය කරන ලද බවට සඳහන් සුදු පැහැති උරවල ඇති සුදු කැකුළු සහල්, බාස්මතී සහල් ලෙස සඳහන් කහ පැහැති උරවලට දමන ආකාරය දැකගත හැකිවිය.

එම සහල් ද බාස්මතී සහල්වල හැඩයට සමාන හැඩයකින් යුක්ත විය.

එහිදී කිලෝ 50 සහල් උරවල ඇති සුදු කැකුළු සහල් දමනු ලැබුවේ කිලෝ 25 හේ බාස්මතී ලෙස සඳහන් උරවලට වීම විශේෂත්වයකි.

පසුව ඒවා වෙළෙඳපොළට බාස්මතී සහල් ලෙස අලෙවිය සඳහා යොමුකරන බවද උකුස්සාට අනාවරණ වුණි.

එමෙන්ම ආනයනික සුදු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 175 ක් පමණ වන අතර මොවුන් එම මිලට මෙම සහල් මිලදී ගෙන පසුව වෙළෙඳපොලට බාස්මතී ලෙස සඳහන් කර සහල් කිලෝවක් රුපියල් 480 ත් 500 ත් අතර මිලකට අලෙවි කර තිබේ.

මෙම කූට ජාවාරම පිළිබඳව තොරතුරු තහවුරු කරගැනීමෙන් පසුව උකුස්සා ඒ පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයට දැනුම් දුනි.

ඒ අනුව එම නිලධාරීන් පැමිණ අදාළ ස්ථානය වැටලනු ලැබීය.

එහිදී ඇසුරුම් කිරීමට නියමිත සහල් සහ සහල් උර තොගයක් ද සොයාගැනුණි.

ඒ අතර බාස්මතී සහල් බව සඳහන් සහල් කිලෝ 25 හේ මළු 980 ක් සහ පාකිස්ථානයෙන් ආනයනය කරන ලද බව සඳහන් කිලෝ 50 සහල් මලු 326 ක් තිබූ බව වැටලීම් නිලධාරීන් සඳහන් කළේය.

මෙහිදී නිලධාරීන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණ වුණේ අධික මුදල් ලාභය වෙනුවෙන් මොවුන් මෙම ජාවාරම සිදුකරන බවය.

පසුව පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් අදාළ සහල් තොගයට මුද්‍රා තබනු ලැබීය.

මුදල් වෙනුවෙන් කන බත් පතට පවා වංචා කරන මෙවැනි කූට වෙළෙඳුන් පිළිබඳව ඉදිරියේදීත් රට හමුවේ අනාවරණ කිරීමට ‘අද දෙරණ උකුස්සා’ සූදානමින්.

+


මහජන ආරක්ෂක ඇමතිගෙන් පොලීසියට උපදෙසක්

(24.01.2023 – 21:12 +0530 – sinhala.adaderana.lk)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ව ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරුන් සහ පොලිස් නිලධාරීන් විසින් පෝෂණය කරමින් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (23) සුහුරුපායේදී පැවැති වි‍ශේෂ සම්මන්ත්‍රණයකදී මේ බව පවසා තිබුණි.

මෙහිදී පොලිස් දෙපාර්තමේන්තුවේ ඉදිරි සැලසුම්, අපරාධ මර්දනය, ජාතික ආරක්ෂාව ඇතුළු කරුණු රැසක් සාකච්ඡාවට ලක් වුණි.

මාර්ගගත ක්‍රමය ඔස්සේ ද පොලිස් ස්ථාන 250 ක නිලධාරීන් සම්මන්ත්‍රණය සඳහා සහභාගී වී තිබුණි.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා :

“මම කියන්න තියෙන ටික කියනවා. සමහර OICලට සමහර පොලිස් නිලධාරීන්ට ගෙදරට මස් මාළු ටික එවනවා. එළවලු ටික එවනවා. ඒවා වහාම නවත්වන්න. ඒවා ළමයින්ට කන්න දුන්නොත් ළමයින්ටත් හරියන්නේ නැහැ. මත්ද්‍රව්‍ය විකුණන අය එක්ක සම්බන්ධකම් පවත්වන්න එපා. මම මේ සියලු දේට බුද්ධි අංශ සහාය ලබාගන්නවා.”

+


නානුඔය ඛේදවාචකය ගැන අලුත්ම හෙළිදරව්ව ? (24.01.2023)

+


අපයෝජනයක් ගැන පැමිණිල්ලකට ආ දැරියට කොස්තාපල්ගෙනුත් අතවර

(25.01.2023 – dinamina.lk)

බරපතළ ලිංගික අපයෝජනයකට ලක්වීමක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පොලිසියට පැමිණි බාලවයස්කාර දැරිවියකට ත්‍රිරෝද රථයක් තුළ දී ලිංගික අතවර කළ පොලිස් නිලධාරියකුගේ වැඩ තහනම් කිරීමට මාතලේ සහකාර පොලිස් අධිකාරිවරයා පෙරේදා (23) පියවර ගෙන තිබේ. මෙසේ වැඩ තහනම් වී ඇත්තේ මහවෙල පොලිස් ස්ථානයට අනුයුක්තව මේ වන විට සේවයේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයකුගේය. මේ කොස්තාපල්වරයා මාතලේ කන්දෙනුවර පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටියදී මේ අපරාධය සිදු කර ඇත්තේ පසුගිය වසරේ අගෝස්තු 27 වැනිදාය.

මේ නිලධාරියා විසින් ලිංගික අතවර කර ඇති දැරිවිය පොලිසියට එදින පැමිණ ඇත්තේ ඇයට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීමක් ගැන පැමිණිලි කිරීමටය. දැරිවියට එම අපරාධය සිදු වී තිබුණේ ගල්ගමුව පොලිස් වසමේදීය. එබැවින් එම අපරාධය වූ ස්ථානයට දැරිවියව රැගෙන ගොස් ස්ථානීය පරීක්ෂාවක් කිරීමට කන්දෙනුවර පොලිසියේ නිලධාරීන් තීරණය කර තිබේ. කාන්තා නිලධාරිනියක් ඇය සමඟ අපරාධය වූ ස්ථානයට යා යුතුව ඇතත් ඇයව එහි රැගෙන ගොස් ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයකු සහ මේ සැකකාර කොස්තාපල්වරයා විසිනි. දැරිවියගේ සීයාද සමඟ දැරිවියව ඔවුන් දෙදෙනා පොලිස් ස්ථානයේ සිට ගල්ගමුවට රැගෙන ගොස් ඇත්තේ පුද්ගලික ත්‍රිරෝද රථයක නංවාගෙනය.

දැරිවිය මේ සම්බන්ධයෙන් මීගලෑව පොලිසියට පැමිණිලි කර ඇත්තේ එම ගමනේදී පොලිස් කොස්තාපල්වරයා විසින් තමාගේ කලව සහ සිරුරේ වෙනත් ස්ථාන ස්පර්ශ කරමින් අතවර කළ බවටය. මේ පැමිණිල්ල මාතලේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයට යොමු කිරීමට මීගලෑව පොලිසිය පියවර ගෙන තිබේ. ඒ අනුව මේ සිදුවීම සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී මාතලේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත්තේ දැරිවියට ත්‍රිරෝද රථය තුළ දී පොලිස් කොස්තාපල්වරයාගෙන් අතවර සිදුව ඇති බවය.

ඒ අනුව මේ පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව මාතලේ මහාධිකරණයේ නඩු පැවරීමටද පියවර ගෙන තිබේ. මේ සැකකාර පොලිස් කොස්තාපල්වරයා පෙරේදා (23) නීතිඥ සහාය මත අධිකරණයට ඉදිරිපත් වී තිබේ. එහිදී රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇප දෙකක් (2) මත සැකකරුව මුදාහැර ඇති අතර, නඩුව නැවත මාර්තු 31 වැනිදා කැඳවීමට නියමිතව ඇති බව මාතලේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය සඳහන් කළේය.

~ ගයාන් කුමාර වීරසිංහ


සොරාගේ සොර බඩු සොරා ගත්තේ කවුද ?

(25.01.2023 – 05:15 +0530 – lankadeepa.lk)

හිගුරක්ගොඩ නගරයේ වෙළදසල් දෙකක් (2) කඩා එහි භාණ්ඩ සොරාගෙන ඒ ආසන්නයේ නවතා තිබූ පාපැදියක පටවාගෙන යන අතරතුර තේ එකක් බීමට කඩයකට ගිය අවස්ථාවේ තවත් සොරකු එම සොරාගත් භාණ්ඩ සමග යතුරු පැදිය සොරා ගෙන යෑමේ පුවතක් හිඟුක්ගොඩ පොලිසියෙන් වාර්තා වේ.

මෙම වෙළසැල් දෙක (2) කැඩූ බව කියන සැකකරු ගලේවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 57 පමණ වන විවාහක පුද්ගලයකු වන අතර ඔහු මේවනවිට හිගුරක්ගොඩ නගරයේ නිරන්තරයෙන් ගැවසෙන පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා හිගුරක්ගොඩ රෝහල් හන්දියේ වෙළදසලකට රාත්‍රී කාලයේ රහසිගත ලෙස ඇතුළුවී එහි තිබූ රුපියල් 39,000 පමණ වටින කිරිපිටි සහ සිගරැට් ද රුපියල් 2000 පමණ කාසි රැසක්ද රැගෙන ඒම වෙළදසල ආසන්නයේ නවතා තිබූ පාපැදියක්ද රැගෙන ඒහි මෙම බඩු තොගය රැගෙන යන අයුරු ඒහි සවිකර තිබූ ආරක්ෂිත කැමරාවේ සටහන්ව තිබී ඇත.

පසුව මොහු ඒම ප්‍රදේශයේම වෙළදසලක ගබඩා කාමරයකට ඇතුළු වී ඒහි කල් ඉකුත්වූ ටොෆි තොගයක්ද ආහාරයට ගෙන ඇති බවට අනාවරණය වී ඇත.

පසුව මෙම වෙළසැල් දෙකෙහි (2) හිමිකරුවන් හිගුරක්ගොඩ පොලීයට කළ පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ෂණයන්වලදී ආරක්ෂිත කැමරාවේ සිටින මෙම පුද්ගලයා පොලිසිය විසින් හඳුනාගෙන අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු මීට පෙර වෙළදසැල් 317 කඩා වසර 17 සිර දඩුවම් ලැබ නැවත පැමිණි පුද්ගලයකු වීම හේතුවෙන් පොලිසියට මොහුව හදුනා ගැනීමට පහසු වී ඇත.

මෙම වෙළදසල් දෙක (2) කැඩූ බව කියන දිනට පෙර දින මොහු අධිකරණයෙන් පුද්ගලික ඇපයක් මත නිදහස්ව පැමිණි අයකු බවටද මූලික විමර්ෂනවලදී අණාවරණය වී ඇත.

සැකකරු හිගුරක්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිදු කළ මූලික පරික්ෂණවලදී අණාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා රහසිගත ලෙස සොරාගත් කිරිපිටි සහ සිගරැට් තොගය පාපැදියේ පිටුපස ගැටගසාගෙන යමින් සිටියදී ඔහු විසින් තේ ඒකක් බීමට වෙළදැලකට ඇතුළු වී නැවත ඒළියට පැමිණ බලන විට ඒම භාණ්ඩ තොගය වෙනත් අයකු විසින් සොරාගෙන තිබී ඇති බවයි.

තවද මොහු මෙම වෙළදසල් දෙක (2) කැඩීමට පෙර මැදිරිගිරිය ප්‍රදේශයේද වෙළදසල් දෙකක් (2) ද කඩා ඇති බවට අණාවරණය වී ඇත ෴


වාලච්චේනේ අනතුරකින් දෙකක් (2) මරුට හතරකට (4) තුවාල

(24.01.2023 – 19:10 +0530 – lankadeepa.lk)

පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාලච්චේන රිදීතැන්න ප්‍රදේශයේදි වෑන් රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරෙන් වෑන් රථයේ අසූවියැති (80) රියදුරු සහ මාස 4 ක් වයසැති පිරිමි දරුවකු මියගොස්, කාන්තාවන් සිව් දෙනකු (4) බරපතළ තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇති බව වාලච්චේන පොලිසිය කියයි.

අනතුරෙන් මියගොස් ඇත්තේ හලාවත පුත්තලම පාරේ අංක 72/1 ලිපිනයේ පදිංචිව සිටි අබ්දුල් මොහොමඩ් නව්ෆාර් යන අය බව පරික්ෂා සිදුකරන වාලච්චේන පොලිසිය පවසයි.

පුත්තලමේ සිට කාත්තන්කුඩිය බලා ධාවනය කරමින් තිබූ වෑන් රථය අක්කරෙයිපත්තු සිට කදුරුවෙල ලෙස දක්වා එමින් තිබූ බස් රථයේ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෙම අනතුරට සම්බන්ධ පෞද්ගලික බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව ද වාලච්චේන පොලිසිය කියයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *