පුංචි ඡන්දය පැවැත්වීම සැකයි – මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා

පුංචි ඡන්දය පැවැත්වීම සැකයි – මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා


පුංචි ඡන්දය පැවැත්වීම සැකයි – මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා

(24.01.2023 – 09:04 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ඡන්දයට තරඟ වදින සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන් අද (24) මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.

නාම යෝජනා භාර ගැනීමෙන් පසු මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ හමුවන පළමු අවස්ථාව මෙය යි.

පෙරවරු 10 ට පැවැත්වෙන මෙම හමුවේ දී මැතිවරණය සම්බන්ධයෙන් දැනට මතු ව ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව යි වාර්තා වන්නේ.

එමෙන්ම පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ව තැපැල් ඡන්ද අයදුම්කිරීමට ලබාදුන් කාලය ඊයේ (23) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වුණා.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම ගැන තමාටද සැකයක් පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ‘හිරු ටීවි’ ඔස්සේ ඊයේ (23) රාත්‍රී විකාශය වූ ‘සලකුණු’ දේශපාලන වැඩසටහනට එක්වෙමින්.

+

+

පළාත් පාලන ඡන්ද විමසීමේ දී අපේක්ෂකයෙකුට ඡන්දදායකයෙකු වෙනුවෙන් වැය කළ හැක්කේ රුපියල් 15 ක් පමණක් බවට තීරණය කර තිබෙනවා. එම තීරණය ගෙන තිබුණේ, දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමඟ මැතිවරණ කොමිසම සමඟ අද (24) පැවති සාකච්ඡාවේ දී යි ෴


පණුවන් සිටින බවට ගොවීන්ගේ චෝදනා වී පර්යේෂණ ආයතනය ප්‍රතික්ෂේප කරයි

(24.01.2023 – 08:33 +0530 – hirunews.lk/sinhala)

කාබනික පොහොරවල පණුවන් සිටි බවට ගොවීන් චෝදනා කළ ද ඒ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවල දී එවැන්නක් තහවුරු නො වූ බව බතලේගොඩ වී පර්යේෂණ ආයතනය පවසනවා.

තිස්සමහාරාම – ලුණුගම්වෙහෙර ව්‍යාපාරයේ වගා කරන ලද කුඹුරු අක්කර එකොලොස් දහසකට (11,000) පමණ ‘නෙමටාඩෝ වටපණු රෝගය’ වැළදී ඇති බවත්, බේරාගත නොහැකි නිසා වගාව අතහරින ලෙස බතලේගොඩ වී පර්යේෂණ ආයතනය උපදෙස් දුන් බවත් කිරිඳිවල ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එස්. ජාලියගොඩ ප්‍රකාශ කළා.

පසුගිය කන්නයේ ලබා දුන් කාබනික පොහොර හා කාබනික දියර පොහොර ප්‍රමිතියෙන් තොර බවත්, එමගින් කුඹුරුවල ලවනතාව වැඩි වී කුඹුරු විනාශ වී යන බවත් ගොවීන් චෝදනා කරනවා ෴


විදුලි බිල පනත පිළිබඳ මහජන උපයෝගිත කොමිසමෙන් ඒකමතික තීරණයක්

(24.01.2023 – 08:26 +0530 – hirunews.lk/sinhala)

2009 විදුලි බිල පනත පිළිබඳ මහජන උපයෝගිතා කොමිසම විසින් ඒකමතික තීරණයක් ගෙන තිබෙනවා.

ලංවිම ගාස්තු යෝජනාව කඩිනම් කිරීමට සහ අතුරු ගාස්තු පිළිබඳ කැබිනට් ඉල්ලීම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නීතිමය මතය විමසීමට යි මෙම තීරණය ගෙන ඇත්තේ.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මේ බව සඳහන් කළා ෴


උසස් පෙළ විභාගයට යමින් සිටි අපේක්ෂිකාවකට ඇසිඩ් ප්‍රහාරයක්

(24.01.2023 – 09:16 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ විභාගයට පෙනීසිටීම සඳහා සිය පියා සමඟ ත්‍රිරෝද රථයකින් යමින් සිටි 21 හැවිරිදි තරුණියකට කෑගල්ල – පරගම්මන ප්‍රදේශයේ දී තරුණයෙකු විසින් ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කරනු ලැබ තිබෙනවා.

අදාළ තරුණයා තරුණියගේ පෙම්වතා බවට පැවසෙන අතර ඔහු ඊයේ (23) යතුරුපැදියකින් පැමිණ මග හරස් කොට ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇති බව යි පොලිසිය සඳහන් කළේ.

එහි දී පියා විසින් එය ව්‍යාර්ථ කර ඇති අතර, පසුව තරුණියගේ පියා, තරුණයාට යළි ඇසිඩ් ගැසීමට සූදානම් වූ අවස්ථාවේ දි ඇති වූ උණුසුම් තත්වයත් සමඟ ඔවුන් තිදෙනාට ම ඇසිඩ් වැදී තිබෙනවා.

තරුණියට අමතර ව 45 හැවිරිදි පියා සහ 21 හැවිරිදි තරුණයා ද කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව යි පොලිසිය සඳහන් කළේ ෴

+

+


මිනිස්සු අඩු වයසින් මැරෙන එක ගැන බටහිර රටක් ප්‍රභල සාක්ෂි හෙළි කරයි.. කරාපිටිය දොස්තරත් වැඩ පටන් ගනී (20.01.2023)

+


පසුගිය වසරට (2022) ඇවිදින මංතීරු 25 ක්

(24.01.2023 – 11:05 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසර තුළ ඇවිදින මංතීරු ව්‍යාපෘති 25 ක් ඉදිකර අවසන් කෙරුණු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසනවා.

ඒ සඳහා වැයකර තිබූ මුදල රුපියල් මිලියන 1263 ක්.

කැස්බෑව, බලංගොඩ, අම්පාර, රඹුක්කන, ත්‍රිකුණාමලය, බලපිටිය, ගම්පහ, කුරුණෑගල, මාතලේ, ලුනාව සහ ඉංගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක මෙම මංතීරු ඉදිකර තිබෙනවා ෴


තායිලන්ත ජාතික තරුණියන් පිරිසක් ආගමන විගමන දෙපාර්තමේන්තු භාරයට

(24.01.2023 – 12:58 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධි ලෙස මෙරට රැදී සිටිමින් කොළඹ නගරයේ පවත්වාගෙන ගිය සම්බාහන ආයතන 06 ක සේවය කළ තායිලන්ත ජාතික තරුණියන් 15 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශයේ නිලධාරින් භාරයට ගෙන තිබෙනවා.

ඉන් 05 දෙනෙකු කොල්ලුපිටියේ සහ ගල්කිස්ස ප්‍රදේශවල පවත්වාගෙන ගිය සම්බාහන ආයතන 05 ක සේවයේ නිරතව සිටිය දී ආගමන විගමන දෙපාර්තමේන්තු භාරයට ගෙන ඇති අතර ඔවුන්ගෙන් 04 දෙනෙකුගේ වලංගු වීසා කාලය අවසන්ව තිබී ඇති බව සඳහන්.

එමෙන්ම එක් (01) කාන්තාවක් සංචාරක වීසා මත දිවයිනට පැමිණ තිබෙනවා.

අනෙක් තායිලන්ත ජාතික තරුණියන් 10 දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ, හැව්ලොක් පාරේ , තුන්මුල්ල මංසන්ධියේ දී පවත්වාගෙන ගිය සම්බාහන ආයතනයක සිටිය දීයි.

ඔවුන් සංචාරක වීසා මත පසුගිය වසරේ නොවැම්බර් මස දිවයිනට පැමිණ තිබෙනවා.

අත්අඩංගුවට ගත් තායිලන්ත ජාතික තරුණියන් 15 දෙනා මෙරටින් පිටුවහල් කරන තෙක් වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තැබීමටයි ආගමන විගමන දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත්තේ ෴


අජිත් ප්‍රසන්නට බරපතළ වැඩ සහිත ව වසර හතරක (4) සිර දඬුවමක්

(24.01.2023 – 13:08 +0530 – hirunews.lk/sinhala)

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු ලෙස නම් කර තිබූ ‘විශ්‍රාමික යුධ හමුදා මේජර් නීතීඥ අජිත් ප්‍රසන්න’ ට ශ්‍රේෂ්ඨාධිකරණය බරපතළ වැඩ සහිත වසර 4 ක සිරදඩුවමක් හා රුපියල් ලක්ෂ 3 ක දඩ මුදලක් නියම කර තිබෙනවා.

ඒ ඊට අදාළ නඩුව ප්‍රීති පද්මන් සූරසේන, එස්. තුරෙයිරාජා සහ ගාමිණි අමරසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (24) කැඳවූ අවස්ථාවේ දී යි.

ඔහු දඩ මුදල ගෙවීම පැහැර හැරිය හොත් අමතර ව මාස 6 ක සිර දඩුවමක් ද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල නියම කළා ෴


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ගෙන් CIDයට පැමිණිල්ලක්

(24.01.2023 – 13:11 +0530 – hirunews.lk/sinhala)

තමාගේ අත්සන ව්‍යාජ ලෙස භාවිතයට ගෙන මෙවර මැතිවරණයට නාමයෝජනා ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

දෙහිවල – ගල්කිස්ස මහනගර සභාව සඳහා තරගකරන අපේක්ෂකයෙකු නිදහස් පක්ෂයේ මහලේකම්වරයාගේ අත්සන ව්‍යාජ ලෙස භාවිත කරමින් නාමයෝජනා භාර දී ඇති බවයි වාර්තා වන්නේ ෴


හෘද රෝගීන්ට අවශ්‍ය එන්නත් මාත්‍රා මිල දී ගැනීමට ලංසු කැඳවීමට කැබිනට් අනුමැතිය

(24.01.2023 – 13:31 +0530 – hirunews.lk/sinhala)

හෘද රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කරන ‘එනොක්සපාරින් සෝඩියම්’ මිල දී ගැනීම සඳහා ඉන්දියානු නිෂ්පාදකයින් සහ සැපයුම්කරුවන්ගෙන් ලන්සු කැඳවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව එන්නත් මාත්‍රා 80,000 ක් මිල දී ගැනීමට නියමිතයි.

එමෙන්ම කොළඹ ගුවන් ගමන් තොරතුරු කලාපයට ඉහළින් පියාසර කරන ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා අය කරන ගුවන් ගමන් සංතරණ ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවුණා.

1985 වර්ෂයෙන් පසුවයි එම ගාස්තු සංශෝධනය කිරීමට සීමාසහිත ගුවන්තොටුපල සහ ගුවන් සේවා සමාගම තීරණය කර තිබුණේ.

ඒ අනුව, ලබන මස පළවැනිදා (01.02.2023) සිට කොළඹ ගුවන් ගමන් තොරතුරු කලාපයට ඉහළින් පියාසර කරන ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා ගුවන් ගමන් සංතරණ ගාස්තු සංශෝධනය කෙරෙන බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ.

තවද දකුණු ආසියානු වානිජ හා සේවා සැපයුම් කේන්ද්‍රස්ථාන ව්‍යාපෘතියට ඇමෙරිකානු ඩොලර් බිලියන 150 ක ආයෝජනයක් සහිතව එහි පළමු (1) අදියර ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමව තිබෙනවා.

කොළඹ දකුණු වරායට අයත් බැටන්බර්ග් ප්‍රදේශය සහ බ්ලූමැන්ඩල් ප්‍රදේශය යන සේවා සැපයුම් ප්‍රදේශ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ දියුණු කළ හැකි ප්‍රදේශ ලෙස හඳුනාගෙන තිබුණා.

අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් ඉදිරිපත් කර ඇති නිර්දේශ මත පදනම්ව යෝජිත ව්‍යාපෘතිය චයිනා මර්චන්ට් පෝට් සමාගම, කොළඹ ජාත්‍යන්තර බහාලු පර්යන්ත සමාගම, ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතර රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් වශයෙන් මෙය ක්‍රියාත්මකයි ෴


යාපනයේ කල්ලි දෙකක් (2) අතර ගැටුමකින් සිව්දෙනෙකුට (4) තුවාලයි

(24.01.2023 – 14:02 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ ක්‍රියාත්මක කල්ලි දෙකක් (2) අද (24) දහවල් යාපනය, චුන්නාකම් ප්‍රදේශයේ දී ගැටුමක් ඇති කරගෙන තිබෙනවා.

එහිදී ඔවුන් වාහන එකිනෙක ගැටීමට සළස්වා ඇති අතර, අනතුරුව කඩුවලින් පහර දීමක් සිදුකර ඇති බවයි වාර්තාවන්නේ.

දකුණු ඉන්දීය සිනමා පටවල දැක්වෙන ආකාරයෙන් කුඩා ලොරි රථයක්, කුඩා මෝටර් රථයක් සහ යතුරුපැදියක් මෙලෙස එකිනෙක ගැටීමට සළස්වා ඇති අතර, සිද්ධියෙන් තුවාල ලැබූ හතරදෙනකු (4) යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම කල්ලි සාමාජිකයන් විසින් යාපනය ප්‍රදේශයේ මංකොල්ලකෑම්, පහරදීම් සහ පුද්ගල බියවැද්දවීම් සිදුකරන බවට ද තොරතුරු වාර්තා වන අතර, මීට පෙරද අවස්ථා ගණනාවක දී ඔවුන් අතර විවිධ ගැටුම් හටගෙන ඇති බව සඳහන් ෴


කිතුල්ගල ආශ්‍රිත ව ජල ක්‍රීඩාවට මතු ව ඇති බාධා සොයන්න කමිටුවක්

(24.01.2023 – 13:36 +0530 – hirunews.lk/sinhala)

බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘතිය හේතුවෙන් කිතුල්ගල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක ‘වයිට් වෝටර් රාෆ්ටින්’ ජල ක්‍රීඩාව ආශ්‍රිත ව මතු ව ඇති ගැටලු සොයා බලා ඊට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකනායක උපදෙස් ලබාදී තිබෙනවා.

අදාළ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී යි ඔහු මෙම උපදෙස් ලබා දී ඇත්තේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, සංචාරක අමාත්‍යාංශයේ සහ රේඛීය ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත ව පත් කෙරෙන මෙම කමිටුව මඟින් ඒ ආශ්‍රිත ව ඉදිරිපත් ව ඇති ගැටලු පිළිබඳ ක්‍ෂේත්‍ර පරීක්ෂණයක් සිදු කර සති දෙකක් (2) ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස උපදෙස් ලබා දී ඇති බව යි.

කිතුල්ගල ආශ්‍රිත ව ක්‍රියාත්මක ‘වයිට් වෝටර් රාෆ්ටින්’ දෙස් විදෙස් සංචාරකයින්ගේ දැඩි ආකර්ශනයට ලක්ව තිබූ අතර, බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘතිය හේතුවෙන් ඊට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව අදාළ සේවා සපයන පාර්ශව විසින් පෙන්වා දී තිබුණා ෴


ආනන්ද පාලිත සහ සංජීව ධම්මික අනිද්දා (26) දක්වා රිමාන්ඩ්

(24.01.2023 – 14:10 +0530 – hirunews.lk/sinhala)

මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකුට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමඟි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත සහ විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික අනිද්දා (26) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට අද (24) ඉදිරිපත් කළ අවස්ථාවේ දී යි.

තමන්ට මරණ තර්ජන එල්ල කළ බවට මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයන් වන උදේනි වික්‍රමසිංහ සහ ආචාර්ය මොහාන් සමරනායක පසුගිය දා කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කර තිබුණා ෴


පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමිසමට

(24.01.2023 – 14:01 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ඡන්දයට තරග වදින සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන් අද (24) මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.

නාම යෝජනා භාර ගැනීමෙන් පසු මැතිවරණ කොමිසම, දේශපාලන පක්ෂ හමුවන පළමු (1) අවස්ථාව මෙය යි.

මේ අතර, පළාත් පාලන ඡන්ද විමසීමේ දී අපේක්ෂකයෙකුට ඡන්දදායකයෙකු වෙනුවෙන් වැය කළ හැක්කේ රුපියල් 15 ක් පමණක් බවට තීරණය කර තිබෙනවා.

එම තීරණය ගෙන තිබුණේ, දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමඟ මැතිවරණ කොමිසම සමඟ අද (24) පැවති සාකච්ඡාවේ දී යි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *