නව පාසල්වාරයට පෙළපොත් නිසි වේලාවට ලබාදෙනවා – අධ්‍යාපන අමාත්‍යාංශය

නව පාසල්වාරයට පෙළපොත් නිසි වේලාවට ලබාදෙනවා – අධ්‍යාපන අමාත්‍යාංශය


නව පාසල්වාරයට පෙළපොත් නිසි වේලාවට ලබාදෙනවා – අධ්‍යාපන අමාත්‍යාංශය

(23.01.2023 – 13:43 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය ණය ආධාර මත ලැබුණු පළමු කඩදාසි තොගය ද රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට ලැබී ඇති අතර මේ වනවිට (23) පෙළපොත් මුද්‍රණ කටයුතු සිදුකෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඒ අනුව, 2023 වර්ෂයේ නව පාසල් වාරය සඳහා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමිලේ පෙළ පොත් නිසි වේලාවට ලබාදීමට අදාළව සියලු පියවර ගනිමින් සිටින බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

පෙළපොත්වලින් සියයට 45 ක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට ද සියයට 55 ක් පෞද්ගලික මුද්‍රණ ආයතනවලට ද ලබාදීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ.

ඒ අනුව සුදුසුකම් ලැබූ පෞද්ගලික මුද්‍රණ ආයතන 22 ක් සඳහා මේ වනවිට මුදල් ඇණවුම් භාර දී ගිවිසුම් අත්සන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

මුද්‍රණය අවසන් කළ පෙළපොත් පෞද්ගලික මුද්‍රණාල කිහිපයකින් මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලැබී ඇති බව සඳහන් ෴


උසස් පෙළ ලියූ වැලිකඩ රැඳවියෝ – එක් අයෙක් මරණීය දණ්ඩනය ලැබූ අයෙක්

(23.01.2023 – 13:17 +0530 – hirunews.lk/sinhala)

විවිධ චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගත ව සිටින රැඳවියන් සිව්දෙනෙකු (4) අද (23) පෙරවරුවේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මෙලෙස විභාගයට පෙනී සිට ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් සිව්දෙනෙකු (4) යි.

ඔවුන් සිංහල මාධ්‍යය යටතේ කලා විෂය ධාරාවෙන් උසස් පෙළට මුහුණදී තිබෙනවා.

මෙම රැඳවියන් සිව්දෙනා (4) ගෙන් එක් (1) අයෙක් මරණීය දණ්ඩනය හිමි සිරකරුවෙකු වීම ද විශේෂත්වයක් බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (අතිරේක) චන්දන ඒකනායක පැවසුවේ.

එමෙන්ම යාපනය බන්ධනාගාරයේ සැකපිට රඳවා ඇති එක් (1) අයෙක් ද පිටතින් අයදුම් කළ අපේක්ෂකයෙකු ලෙස චාවකච්චේරිය ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක් තුළ විභාගයට මුහුණදීමට නියමිතයි ෴


රාජ්‍ය සේවකයින්ට අනිද්දා (25) වැටුප් – විධායක නිලධාරින්ගේ වැටුප් පමාවෙයි

(23.01.2023 – 14:08 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය සේවකයින්ගේ වැටුප ලබන 25 වනදා නියමිත පරිදි ගෙවීමට හැකිවන බවත්, විධායක නිලධාරින්ගේ වැටුප එදින හෝ දිනයක ප්‍රමාදයක් සහිතව ලබාදීමට කටයුතු කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ මුදල් අමාත්‍යාංශයේදී අද (23) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෴


බදු වැඩි කිරීමට එරෙහිව කළු විරෝධතාවක්

(23.01.2023 – 13:10 +0530 – hirunews.lk/sinhala)

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද (23) කලු පටි සහ කලු ඇදුමෙන් සැරසී රාජකාරි සඳහා වාර්තාකර තිබුණා.

බදු ප්‍රතිපත්තියට එරෙහිව සහ ඖෂධ හිඟයට පිළියම් සකසා දෙන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙලෙස කළු පටි සහ කළු ඇදුමෙන් සැරසී රාජකාරියට වාර්තා කළේ.

මේ අතර, ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ක්‍රියාත්මක කළ පැය 4 ක සංකේත වර්ජනය හේතුවෙන් රෝහල් වල බාහිර රෝගී අංශයේ කටයුතු සඳහා බාධා එල්ල වුණා.

කනිෂ්ඨ කාර්ය මණ්ඩල ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමය උදෑසන 08 සිට දහවල් 12 දක්වා දිවයින පුරා රෝහල්වල මෙම සේවයෙන් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කළ අතර, මේ නිසා කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල, රාගම ශික්ෂණ රෝහල ඇතුළු රෝහල් රැසක කටයුතුවලට බාධා එල්ල වුණා.

එමෙන්ම බදු වැඩි කිරීමට විරෝධය පළ කරමින් ලංකා බැංකු සේවක සංගමය අද (23) කළු වර්ණයෙන් සැරසී මෙන්ම කළු පටි පැළඳ සේවයට වාර්තා කර තිබුණා.

එම සංගමයේ සභාපති චන්න දිසානායක කියා සිටියේ උපයන විට බදු ගෙවීමේ ප්‍රතිපත්ති සංශෝධනය කරන ලෙස ඉල්ලා බැංකු සේවකයින් අත්සන් කළ පෙත්සම අද (23) දහවල් ජනාධිපති ලේකම්වරයා වෙත භාරදීමට කටයුතු කරන බවයි ෴

මෙරට ඖෂධ හිඟයක් නිර්මාණය වී ඇති බැවින් ඊට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස රජයට බලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය මහජන පෙත්සමකට අත්සන් ලබා ගැනීම අද (23) ආරම්භ කළා.

මීට සමගාමීව කළු සතියක් ප්‍රකාශයට පත් කරන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ ප්‍රකාශ කළා.

ඖෂධ අර්බුදයට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස බලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මහජන පෙත්සමකට අත්සන් ලබා ගැනීමේ ව්‍යාපාරයක් අද (23) ආරම්භ කළේ කොළඹ ජාතික රෝහලෙන්.

ඔවුන් පෙන්වා දෙන්නේ ඖෂධ නොමැති කමින් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවයි.

රජයේ සහ පෞද්ගලික රෝහල්වල පවතින ඖෂධ හිඟය, ඖෂධවල ඉහළ මිල ගණන් මෙන්ම රටෙහි සිදුවන හොරකම සහ දූෂණයට එරෙහිව කළු සතියක් ප්‍රකාශයට පත් කරන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ ප්‍රකාශ කළා.

ඒ අනූව කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් කළු පටි පැළද රෝගීන්ට ප්‍රතිකාර කරන අයුරු දක්නට ලැබුණා.

ඔෂධ මෙන්ම එක්ස්රේ පරීක්ෂණ , රුධිර පරීක්ෂණ ඇතුළුව රෝගීන්ට අවශ්‍ය සෙසු ප්‍රතිකාර කටයුතු පිළිබඳ ගැටලු අඩු වැඩි වශයෙන් දිවයිනේ සියලු රෝහල්වල පවතින බවට ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.

+


බදු ප්‍රතිපත්තියට එරෙහි ව වරායේ වෘත්තීය සමිති විරෝධතාවක

(23.01.2023 – 15:09 +0530 – hirunews.lk/sinhala)

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහි ව කොළඹ වරායේ වෘත්තීය සමිති අද (23) දහවල් වරාය ප්‍රධාන පිවිසුම අසල දී විරෝධතාවක නිරත වුණා.

වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානය විසින් එය සංවිධානය කර තිබූ අතර, ඒ හේතුවෙන් පළමු හරස් වීදිය සහ අබ්දුල් කාදර් මාවත සම්පූර්ණයෙන් ම අවහිර වූ බව යි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම විරෝධතාව පැවති ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් ද යොදවා තිබුණා ෴

+

+


විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් භාණ්ඩාගාරයට රුපියල් බිලියන 03ක්

(23.01.2023 – 17:14 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් අද (23) දින මහා භාණ්ඩාගාරය වෙත එකවර රුපියල් බිලියන තුනක (3) මුදලක් ලබා දීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් කටයුතු කර තිබෙනවා‍.

මෙලෙස විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් මෙයට පෙර ඉතිහාසය පුරා මහා භාණ්ඩාගාරයට ලබා දී ඇති මුළු මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 3382 ක් වන අතර එකවර රුපියිල් බිලියන තුනක් (3) ලබා දෙන ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙයයි.

රටේ පවතින ආර්ථික තත්ත්වය පිළිබද සැලකිල්ලට ගෙන මෙම මුදල ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පසුගිය වසරේ දී ලබාගෙන ඇති මෙහෙයුම් අතිරික්තයෙන්.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පිළිකා රෝහලට අවශ්‍ය ඖෂධ මිල දී ගැනීමට මිලියන 500 ක් ප්‍රදානය කරන අතර එයින් මිලිය 100 ක් මේ වන විට ලබා දී තිබෙනවා‍ ෴


විදුලි කප්පාදුවට හේතුව ඉංජිනේරුවන් කියයි

(23.01.2023 – 15:46 +0530 – sinhala.adaderana.lk)

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ අඛණ්ඩව විදුලිය ලබාදීමට නොහැකි වියහැක්කේ පසුගිය කාලසීමාව තුළ බලධාරීන් විසින් ගත් අත්තනෝමතික ක්‍රියාපිළිවෙත් හේතුවෙන් බව විදුලි ඉංජිනේරු සංගමය චෝදනා කරයි.

අද (23) පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා පැවසුවේ විදුලිය උත්පාදනයට අවශ්‍ය ඉන්ධන සහ ගල්අඟුරු නිසි කාලසීමාවන්හී දි ලබාදුන්නේ නම් මෙම ගැටලුව ඇති නොවන බවය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා :

“අපි සූදානමින් හිටියා විදුලිය ජනනය කරන්න. හිටි හැටියේය විභාග කටේ තියලා මේ මිල වැඩිකළා. අපි ලාභ ලබන ආයතනයක් නෙමේ. ලංවීමේ මුල්‍ය තත්ත්වය පිරිහුණ කතාව ඇත්ත. බිලියන 5 ක් දැන් දුන්නා කියලා බිලියන 5 කොළ ටික දාලා ඔය ජනන යන්ත්‍රය කරකවන්න බෑනේ. වතුර ටික අපි යවලා තියෙනවා. ආයේ අපිට වතුර පුරවා ගන්න විදියක් නෑනේ. දැන් එන්නේ නියං කාලේ. ගල්අඟුරු ටික ගෙනැල්ලා තිබුණානම් අපිට විදුලිය නිපදවන්න තිබුණා. ඒ දවස් ටිකේ ගල් අඟුරු නැති නිසා අපි වතුරෙන් විදුලිය ජනනය කළා. අපේ පද්ධතියම ක්‍රියාත්මක වෙන්නේ මේ සංකීර්ණ ක්‍රමවේදය තුළ. ගල් අඟුරු, නැප්තා, වතුර, ඩීසල් මේ ඔක්කේම ඕනේ. ඒකයි අපි කලින් සැලසුම් කරන්නේ. අද රුපියල් ගත්තට විදුලි කප්පාදුව නවත්වන්න බෑ.”

+


සක්විති රණසිංහට අධිකරණයෙන් නියෝගයක්

(23.01.2023 – 14:51 +0530 – sinhala.adaderana.lk)

මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය ආයතනයක් පිහිටුවා ගණුදෙනුකරුවන් වෙත අධික පොලී ලබාදෙන බව පවසා තැන්පත් කරවාගත් රුපියල් කෝටි 14 කට අධික මුදල නැවත ගෙවීමේ සැලැස්ම අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස සක්විති රණසිංහ ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් අද (23) නියෝග කළේය.

විත්තිකරුවන් විසින් අදාළ මුදල නැවත ගෙවීම සඳහා එකඟ වී ඇති බවද අධිකරණයේදී අනාවරණය විය.

විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා 19 ක් යටතේ ගොනුකර ඇති නඩුව අද (23) කැඳවූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණ විනිසුරු ආධිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම නියෝගය ලබාදුන්නේය.

ඒ අනුව අදාළ සැලැස්ම එළඹෙන නඩු දිනය වන මාර්තු මස 17 වනදා අධිකරණය වෙත දැනුම්දෙන ලෙසට අධිකරණය එහිදී වැඩිදුරටත් නියෝග කළේය ෴


සංචාරකයින් යුවළ නිදා සිටියදී කබානාව තුළට රිංගා ඩොලර් 800 ක් උස්සලා

(23.01.2023 – 13:05 +0530 – sinhala.adaderana.lk)

තිස්සමහරාම යෝධ වැව අයිනේ පිහිටි කබානා හෝටලයක නවාතැන් ගෙන සිටි විදෙස් ජාතික යුවළකගේ ඩොලර් 800 ක් පැහැරගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් ති‍දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ජනවාරි මස 19 වනදා එම විදෙස් යුවළ නිදාසිටිය දී කබානාව තුළට රිංගු සැකකරුවන් විසින් එම මුදල් සොරාගෙන ගොස් තිබුණි.

ඒ අනුව සිදුකළ පරීක්ෂණ මත අද (23) අලුයම අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

එහිදී සැකකරුවන් විසින් පැහැරගත් ඩොලර් 780 ක මුදලක් ද සොයාගෙන තිබේ.

යෝධ වැව පැත්තෙන් කම්බි වැටෙන් රිංගා පැමිණි සැකකරු ‘සිපර්’ (?) එකක් යොදා වසා තිබූ කබානාව තුළට ඇතුළු වී ඇති අතර එම අවස්ථාවේ සංචාරක යුවළ නිදා සිටි බවත් පසුව එහි තිබූ කුඩා බෑගයකින් අදාළ මුදල් සොරාගත් බවත් සැකකරු පොලීසියට පවසා ඇත.

කෙසේ වෙතත් සැකකරු නැවත කම්බි වැටෙන් රිංගා යන අවස්ථාවේ විදෙස් යුවළ අල්ලා ගැනීමට උත්සාහ දරා ඇති අතර එහිදී සැකකරු පොරවා ගෙන සිටි රෙද්ද පමණක් අතට හසුවී තිබේ.

පසුව සැකකරුවන් රැගෙන ආ පිහියක් හා පාවහන් යුවළ පොලිස් භාරයට ගෙන තිබූ අතර, සැකකරු කබානාව තුළට ඇතුළු වන අයුරු එහි සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබී ඇත.

එලෙස මුදල් සොරගෙන ඇත්තේ, ‘මහදේර කොටා’ යනුවෙන් හඳුන්වන ලබන පුද්ගලයෙකු බවත් පසුව එම මුදල් මාරු කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු හා ළඟ තබාගත් පුද්ගලයෙකු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අද (23) දින තිස්සමහාරාමය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එම මුදල් අදාළ සංචාරකයින්ට ලබාදීමට කටයුතු කරන බව පොලීසිය සඳහන් කළේය.

+


ගණපූර්ණය නො තිබූ බවට පළ වන වාර්තා මැතිවරණ කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කරයි

(23.01.2023 – 20:18 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ඡන්ද විසීම සඳහා දින නියම කරන අවස්ථාවේ ගණපූර්ණය නො තිබූ බවට පළ වන වාර්තා මැතිවරණ කොමිසන් සභාව ප්‍රතික්ෂේප කරනවා.

අදාළ වාර්තාවල දැක්වුණේ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය තීරණය කිරීම සඳහා පැවති සාකච්ඡාවට කොමිසමේ සාමාජිකයන් තිදෙනෙකු (3) සහභාගි වී නොමැති බව යි.

කෙසේ වෙතත් ඔවුන් මාර්ගගත ක්‍රමයට අදාළ සාකච්ඡාවට එක්වූ බව අප කළ විමසීමක දී මැතිවරණ කොමිසමේ සභාපති නිතිඥ නිමල් පුංචිහේවා ප්‍රකාශ කළා.

තාක්ෂණය දියුණු මෙවන් යුගයක මාර්ගත ක්‍රමයට අදාළ රැස්වීමට සහභාගි වීම ප්‍රමාණවත් බව යි සභාපතිවරයා කියා සිටියේ.

කෙසේ වෙතත් මැතිවරණ දිනය ගැසට් මඟින් මේ දක්වා ප්‍රකාශයට පත් නො කිරීම ගැටලු සහගත බව අප කළ විමසීමක දී හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයෙකු වන මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා සඳහන් කළා ෴


23-01-2023

+


සංජීව ධම්මික සහ ආනන්ද පාලිත අත්අඩංගුවට

(23.01.2023 – 23:32 +0530 – sinhala.adaderana.lk)

විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික සහ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගියදා මහජන උපයෝගිතා කොමිසමේ සමාජිකයින් දෙදෙනකුට තර්ජනය කිරීම සහ සාපරාධී බලහත්කාරය පෑම යන චොදනා මත ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය ෴


20-01-2023
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *