මේරූ ළදරු කළළ මව් කුස තුලදීම මරා දමන ‘හොර දොස්තර’

මේරූ ළදරු කළළ මව් කුස තුලදීම මරා දමන ‘හොර දොස්තර’


මේරූ ළදරු කළළ මව් කුස තුලදීම මරා දමන ‘හොර දොස්තර’

(22.01.2023 – 20:45 +0530 – hirunews.lk/sinhala)

ගැබිණි කාන්තාවන්ගේ මාස 05 ඉක්මවු මේරූ ළදරු කළළ මව් කුස තුලදීම මරා දමා එම සිරුරු රහසිගතව වළදැමීමේ සංවිධානාත්මක ජාවාරමක තොරතුරු අනාවරණය වුණා.

මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් කලක් තිස්සේ සිදුකළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම ජාවාරමේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටද මේ වන විට හැකි වී තිබෙනවා.

15 හැවිරිදි දැරියක් තිදරු පියෙකු විසින් දුෂණය ලක් කිරීමෙන් පසුව පවරා තිබූ නඩුවකින් බේරීම සඳහා එම දැරිය වයස අවුරුදු 18 සම්පුර්ණවන විට විවාහ කර ගන්නා බවට පොරොන්දු ලබා දී අදාළ පුද්ගලයා මීට වසරකට (1) පමණ පෙර දෙයියන්දර ප්‍රදේශයේ කාමරයක එම දැරිය රදවා තබාගෙන තිබුනා.

එම අවස්ථාවේදී ගැබ් ගෙන තිබූ දැරිය සැකකරු විසින් මාතර – පිටබැද්දර හුලංදාව ප්‍රදේශයට රැගෙන ගොස් තිබුනා.

එහිදී තරුණියගේ කැමැත්තකින් තොරව මාස 5 ක් පමණ වයසැති බිළිදු කළලය ඝාතනය කර මාවරල ප්‍රදේශයේ සැකකරුගේ නිවස අසල වළදමා ඇති බවටයි තොරතුරු හෙලිව ඇත්තේ.

අදාල තොරතුරත් සමග මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා මහතාගේ උපදෙස් මත අදාල ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරුණා.

ඒ අනුව මාතර – දෙයියන්දර මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ පසුගිය දිනක එම ඝාතනය කළ ළදරු කළලය ගොඩගනු ලැබුවේ මෙලෙසින්.

+


ව්‍යාජ චීන භීතිකාවක් මවා ශ්‍රී ලංකාවේ අර්බුදය උත්සන්න නොකරනු.. – ඇමරිකානු තානාපතිනිට දන්වයි

(22.01.2023 – 12:00 +0530 – lankacnews.com)

ජාතික සංවිධාන එකමුතුව, ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චූන්ග් මහත්මිය වෙත යොමු කරව ලද ලිපියක සිංහල පරිවර්ථනය මෙහි දැක්වෙයි :

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි,
ගරු ජූලි චූන්ග් මැතිණිය,
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය,
අංක 210, ගාලු පාර,
කොළඹ 03.

ගරු තානාපති තුමියනි,

ව්‍යාජ ලෙස චීන භීතිකාවක් මැවීම මගින් ශ්‍රී ලංකාවේ අර්බුදය උත්සන්න කිරීමට දායක නොවන ලෙස ඉල්ලා සිටීම

ඔබ විසින් එක්සත් රාජධානියේ රූපවාහිනී වැඩසටහනක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් ශ්‍රී ලංකාවේ අර්බුදය උත්සන්න කිරීමට චීන රජයේ ක්‍රියාමාර්ග හේතුවී ඇති බවට මතයක් නිර්මාණය කිරීමට උත්සාහ කරනු ලැබීය. එහිදී ඔබ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව සිදුකරන සාකච්ඡාවලට බාධාවක් වී ඇත්තේ චීන රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ නොවීම යැයි බරපතළ චෝදනාවක් එල්ලකරනු ලැබීය. එමගින් ඔබ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට හේතුව චීනයෙන් ණය ලබාගැනීම බවට ව්‍යාජ මතයක් ගොඩනැගීමට උත්සාහ දරනු ලැබීය. ඒ තුළ මූල්‍ය අරමුදල විසින් ලබාදෙන ණය පහසුකම ලබාගැනීම සදහා සෙසු සියළු ණය ප්‍රතිව්‍යුහගත කළ යුතු බවට පනවනු ලබන අසාධාරණ කොන්දේසිය පිළිබද සාකච්ඡාව යටපත් විය.

විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති තීරණය කිරීම සදහා නිශේධ බලයක් සහිත ප්‍රධාන කොටස් හිමියා වන ඇමරිකානු රාජ්‍යයට එම අසාධාරණ කොන්දේසි වෙනස් කළ හැකි බව සැඟවීමට ඔබ විසින් උත්සාහ කරනු ලැබීය. ඉන්පසුව විශේෂ ප්‍රකාශයක් නිකුත්කරමින් ඔබ සදහන් කරන්නේ සියලු ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වන්නේ නම් ඊට සහාය ලබාදෙන බවය. ඒ අනුව සමස්ත ණය ප්‍රතිව්‍යුහගත කළයුතු බවට පූර්ව කොන්දේසියක් පැනවීම සාධාරණ බව ඔබ විසින් අවධාරණය කරනු ලබයි. ඉන්දියානු රජයද සඳහන් කර ඇත්තේ සෙසු ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නම් සමස්ත ක්‍රියාවලියට සහාය දක්වන බවය.

ඒ ආකාරයට ඇමරිකානු රජය සහ ඉන්දියානු රජය පූර්ව කොන්දේසි පනවන අතර චීනය විත්තිකරුවා බවට පත්කිරීම මෙන්ම චීන ණය මෙම අර්බුදයට හේතුවී ඇති බවට ව්‍යාජ මතයක් ගොඩනැගීම සාධාරණ වන්නේ කෙසේද ?

ඒ අනුව චීනයට විශේෂිතව දොස් පැවරීම මගින් චීනයට එරෙහිව මහජන මතයක් ගොඩනැගීමට සහ චීන රජය සහ ශ්‍රී ලංකා රජය අතර ප්‍රතිවිරෝධයක් ගොඩනැගීමට ඔබ විසින් උත්සාහ කරන බවට සාධාරණ චෝදනාවක් එල්ල කිරීමේ හැකියාව ඇත. මේ වන විට චීන රජය විදේශ ණය පිළිබඳ තම පොදු ප්‍රතිපත්තියට අනුව ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට එකඟවී ඇත. ඊට අමතරව ඛනිජ තෙල්, ඖෂධ, ආහාර, පාසැල් නිල ඇදුම් ආදිය සදහා විශාල වශයෙන් ආධාර ලබා දෙමින් අර්බුදයට මුහුණ දීම සදහා ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට සහාය ලබාදී ඇත.

එම නිසා ඔබ විසින් උත්සාහ කරනු ලබන්නේ ඊට බාධා එල්ලකරමින් ශ්‍රී ලංකාව තවදුරටත් අර්බුදයේ ගිල්ලවීමට ද යන්න ප්‍රශ්නයක් ලෙස ඇසිය යුතු වේ. ශ්‍රී ලංකාවේ ඡන්දයකින් පත්වූ ජනාධිපතිවරයා ධුරයෙන් පහකිරීම සදහා ඔබ විසින් සිදුකළ මැදිහත්වීම පිළිබදව හෙළිදරව් වී ඇති තොරතුරු අනුව එබඳු ප්‍රශ්නයක් ඇසීම තර්කානුකූල වන බව ඔබට පිළිගැනීමට සිදුවේ.

අවසන් වශයෙන් පහත සදහන් ඉල්ලීම් ඔබ වෙත ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.

  1. චීන විරෝධයක් ගොඩනැගීම මගින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට බාධා නොකරන ලෙස
  2. ආපදා අවස්ථාව යොදාගනිමින් චීන රජය හා ශ්‍රී ලංකාවේ රජය මෙන්ම චීන ජනතාව සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර පවතින දීර්ඝ කාලයක මිත්‍රත්වය බිදහෙළිම මගින් ඔබගේ ඉන්දු – පැසිෆික් න්‍යායපත්‍රයට අදාළ භූ දේශපාලන වුවමනාවක් ඉටුකර ගැනීමට උත්සාහ නොකරන ලෙස
  3. ඇමරිකාව සතු ප්‍රතිපත්ති තීරණය කිරීමේ නිශේධ බලය යොදාගනිමින් සියලු ණය ප්‍රතිව්‍යුහගත කළ යුතු බවට අසාධාරණ පූර්ව කොන්දේසි පැනවීම සිදු නොකළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට උපදෙස් ලබා දෙන ලෙස
  4. ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය තුළ ඩොලරය සතු බලය යොදාගනිමින් ඔබ රටේ මහ බැංකුව විසින් වසරකට ඩොලර් බිලියන ගණනින් මුද්‍රණය කරනු ලබන මූල්‍ය පහසුකම්වලින් බිඳක් යොදා ගනිමින් චීන රජය සිදුකරන ආකාරයට අත්‍යවශ්‍ය ඖෂධ සහ ඉන්ධන මිලදී ගැනීම සදහා ආධාර ලබාදීමට කාරුණික වන ලෙස (අමෙරිකා එක්සත් ජනපද රජය 2020 වසරේදී මුද්‍රණය කළ ඩොලර් ප්‍රමාණය බිලියන 3000 ක් බව ඔබ දන්නවා ඇත).

ස්තුතියි,
මෙයට විශ්වාසී,

ආචාර්ය ගුණදාස අමරසේකර,
කැඳවුම්කරු,
ජාතික සංවිධාන එකමුතුව


විදෙස් යුවළ ගමන්ගත් ත්‍රීරෝද රථයට වනඅලි ප්‍රහාරයක්

(22.01.2023 – 17:47 +0530 – sinhala.adaderana.lk)

හබරණ – මින්නේරිය ප්‍රධාන මාර්ගයේ මින්නේරිය බටු ඔය ප්‍රදේශයේදී අද (22) උදෑසන විදෙස් සංචාරකයින් ගමන් ගත් ත්‍රීරෝද රථයකට වන අලි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

පහරදීමෙන් ත්‍රීරෝද රථයට බරපතළ හානි සිදුව ඇති එහි ගමන්ගත් ජර්මන් ජාතික සංචාරකයින් යුවළට කිසිදු හානියක් සිදුව නොමැත.

අනතුරට පත් ත්‍රීරෝද රථය හබරණ සිට මඩකලපුව දෙසට ධාවනය වී ඇති අතර කිසියම් අවශ්‍යතාවක් මත ඔවුන් ත්‍රීරෝද රථය ප්‍රධාන මාර්ගය ආසන්නයේ නවතා ඇත.

එහිදී ප්‍රතිවිරුද්ධ දිශාවේ සිටි වන අලියෙකු එකවර පැමිණ එම විදේශීය සංචාරකයින් ගමන්කරමින් සිටි ත්‍රීරෝද රථයට පහර දී පෙරළා දමා තිබේ.

පසුව ත්‍රීරෝද රථය තුළ තිබූ සංචාරකයින්ගේ ගමන් මලුවලට හා බඩු මුට්ටුවලට හානි සිදුකර ඇත.

වනඅලි පහරදීමෙන් සංචාරකයින් දැඩි ලෙස බියට පත්ව ඇති බව ද අප වාර්තාකරු පැවසීය.

දින තුනක් (3) ඇතුළත හබරණ – මින්නේරිය ප්‍රධාන මාර්ගයේ වනඅලි ප්‍රහාරවලට ලක්වූ දෙවන (2) ත්‍රීරෝද රථය මෙය වේ.

පහරදීම සිදුකළ වනඅලියාව මින්නේරිය ජාතික වන උද්‍යානයේ වනජීවී නිළධාරීන් පැමිණ මින්නේරිය වන රක්ෂිතය වෙත පළවා හැරීමට කටයුතු කර ඇත.

පොලීසිය මැදිහත්ව විදෙස් ජාතික යුවළ වෙනත් රථයකින් එම ස්ථානයෙන් පිටත්කර යවා තිබේ.

+


House of Fashions මැරයන් පාරිභෝගිකයෙකුට පොලුවලින් ගහයි

(23.01.2023 – 09:20 +0530 – lankacnews.com)

= House of Fashionsහිදී පාරිභෝගිකයෙකුට පොලුවලින් ගහයි =

මෙරට ප්‍රකට රෙදිපිළි අලෙවි සලක් වන House of Fashions හි සේවකයන් පිරිසක් පාරිභෝගිකයකු සමඟ ගැටුමකට පැටළී සිටින ආකාරයේ වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙයි.

බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ පිහිටි මෙම අලෙවිසැලේ ගැටුම ඇති වී ඇත්තේ වාහන නැවැත්වීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මතයි.

මෙම ගැටුම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. පොලීසිය සඳහන් කරන්නේ ගැටුම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම පැමිණිලි ලැබී ඇති බවයි.

++++++++

From : facebook.com/HouseOfFashions/

+

+


හැටන් නගරයට පානීය ජල ගැටලුවක්

(23.01.2023 – 09:39 +0530 – hirunews.lk/sinhala)

හැටන් නගරයට ප්‍රධාන වශයෙන් පානීය ජලය සපයනා හැටන් සිංගිමලේ ජල තටාංගණයේ ජලය සිඳී යෑම හේතුවෙන් හැටන් දික්ඔය නගර සභා සිමාවට අද (23) සිට දිනකට එක් වරක් සිමා කර පානීය ජලය නිකුත් කිරිමට පියවර ගෙන ඇති බව හැටන් ජල පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ ස්ථානාභාර නිලධාරි ජානක හේරත් පවසනවා.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණය නිසා ප්‍රධාන වශයෙන් ජලය ලබා ගන්නා සිංගිමලේ රක්ෂිතයේ ජල මුලාශ සිඳී ගොස් තිබෙනවා.

ඒ හේතුවෙන්, සිංගිමලේ තටාංගණයේ ජලය උපරිම අයුරින් සිඳී යාම නිසා ජලය පොම්ප කළ නොහැකි බවයි ස්ථානාභාර නිලධාරියා පවසන්නේ.

දැනට දික්ඔය ඔටරි ප්‍රදේශයෙන් පමණක් ජලය පොම්ප කර ජලය නිකුත් කිරිමට පියවර ගෙන ඇති නමුත් එසේ ලබා ගන්නා ජලය හැටන් දික්ඔය නගර සභා සිමාවටම බෙදා හැරිමට ප්‍රමාණවත් නොවන බවයි ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ.

පවත්නා තත්ත්වය පිළිබඳව හැටන් දික්ඔය නගර සභා සිමාවේ ජල පාරිභෝගිකයන් දැනුවත් කිරිමට පියවර ගෙන ඇති බවත් දිනකට වරක් නිකුත් කරන ජලය එක්රැස් කර ගනිමින් පවතින වියළි කාලගුණය අවසන් වන තෙක් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසත් හැටන් ජල පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ ස්ථානාභාර නිලධාරි ජානක හේරත් පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා ෴


පාරේ ඉඩ දෙන්න ගිහින් ලොරිය වැටත් කඩාගෙන ඇළට පෙරළෙයි – දෙදෙනෙකුට (2) බරපතළයි

(23.01.2023 – 09:43 +0530 – hirunews.lk/sinhala)

යතුරුපැදියකට මාර්ගයේ ඉඩ ලබාදීමට ගිය කුඩා ලොරි රථයක් පාලමේ ආරක්ෂිත වැට කඩාගෙන දිඹුල – පතන ඩෙවෝන් ඇළට පෙරළීමෙන් එම ලොරියේ රියදුරාට සහ රිය සහායක බරපතළ තුවල ලබා රෝහල්ගත කර තිබෙනවා.

තුවාල ලැබූ තුවාලකරුවන් කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණ ද, වැඩිදුර ප්‍රතිකාර සඳහා දික් ඔය මූලික රෝහලට මාරු කර යවා ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ඊයේ (22) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇත්තේ හැටන් – කොටගල ‘යදන් සයිඩ්’ වතුයායට පිවිසෙන පාලම මතදියි.

මෙම ලොරිය අඩි 20 ක පමණ පහළින් පිහිටි ඇළට පෙරළී ගොස් තිබෙනවා.

කෙසේවෙතත් ලොරියේ පසුපස ගමන් කළ පුද්ගලයින් දෙදෙනාට (2) කිසිදු අනතුරක් සිදුව නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් දික් ඔය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.


‘රුවන්වැලි සෑ චෛත්‍යරාජයාගේ චුඩා මාණික්‍ය සොරකම් කරලා’

(23.01.2023 – 07:40 +0530 – sinhala.adaderana.lk)

අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑ චෛත්‍යරාජයාණන් වහන්සේගේ චුඩා මාණික්‍ය සොරකම් කර ඇති බව පැවසෙන සිද්ධියට අදාළව ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

ඒ අනුව පසුගිය සතියේ දි මීට අදාළ මුලික විමර්ශනයක් සිදුකළ බව එම කොමිසම සඳහන් කළේය.

මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් තිදෙනෙකු (3) ඓතිහාසික රුවන්වැලි සෑ චෛත්‍යරාජයාණන් වහන්සේ පිහිටි අනුරාධපුර ප්‍රදේශයට ගොස් මේ සම්බන්ධයෙන් මුලික විමර්ශනයක් සිදුකර ඇති අතර එහි වාර්තාව අද (23) දිනයේ දී කොමිසමේ සභාපතිවරිය වෙත භාරදීමට නියමිතව තිබේ.

බුදු දහම ආරක්ෂා කිරීමේ වගකීම ව්‍යවස්ථානුකුලව රජයට පැවරී ඇති අතර එම කරුණ පදනම් කර ගනිමින් මානව හිමිකම් කොමිසම වෙත රුවන්වැලි සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ චුඩා මාණික්‍ය සොරකම් කර ඇති බවට පවසමින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව සඳහන්ය.

මෙහි වගකීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශව 7 ක් නම් කරමින් පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව අදාළ පාර්ශවවලට පසුගිය සතියේ දී අනුරාධපුර රුවන්වැලි සෑ චෛත්‍යරාජයාණන් වහන්සේ වෙත පැමිණෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් දැනුම් දුන්න ද කිසිදු පාර්ශවයක් එහි පැමිණ නොමැති බව වාර්තා වේ.

ඒ අනුව යළිත් වරක් අදාළ විමර්ශන සඳහා පැමිණෙන ලෙස එම පාර්ශව වෙත දැනුම් දී ඇති අතර ඉදිරියේ දී පුළුල්ව මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළේය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *