අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ මැර ශිෂ්‍ය නායකයෝ – මවක් හඬා වැටෙයි

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ මැර ශිෂ්‍ය නායකයෝ – මවක් හඬා වැටෙයි


අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ මැර ශිෂ්‍ය නායකයෝ – මවක් හඬා වැටෙයි

(22.01.2023 – 11:00 +0530 – hirunews.lk/sinhala)

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් තවත් සිසුවෙකුට පසුගිය 18 වැනි දා අමානුෂික අන්දමින් පහරදීම සම්බන්ධයෙන් මෙතෙක් පාසලෙන් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් හෝ විනය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට පහරකෑමට ලක් වූ ශිෂ්‍යයාගේ මව චෝදනා කරනවා.

තම දරුවා හට පාසලේ තවත් ශිෂ්‍යයින් පිරිසක් විසින් යකඩ ආවරණ අතට පැළඳ මෙම පහරදීම සිදු කර ඇති බවයි මව සඳහන් කළේ.

පහරකෑමට ලක්ව ඇත්තේ 12 වැනි ශ්‍රේණියේ ගණිත අංශයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක්.

සිය දරුවා හට රැවුල නොකැපීමේ සිද්ධියකට මෙලෙස පහර දී ඇති බව ද දරුවාගේ මව පැවසුවා.

පහරකෑමට ලක් වූ සිසුවාගේ මව පැවසුවේ මෙවැන්නක් :

“එයාට රේසරෙන් රැවුල කපන්න බෑ. ‘ඇලජික්’ එකක් එනවා. ඒ නිසා එයා මැෂින් එකෙන් තමයි රැවුල කපන්නේ. රැවුල පේන්න නෑ. ඒත් උදේට චෙක් කරනකොට ඇල්ලුවහම තියෙන බව පේනවා. එතකොට දවසක් ශිෂ්‍ය නායකයෙක් මෙයාව අල්ලගෙන තියෙනවා. අල්ලගෙන දිගින් දිගටම එයාව අපහසුතාවයට පත් කරලා තියෙනවා. ඒත් අංශ භාර ගුරුතුමා කියලා තියෙනවා මේ පිළිබඳ ලියුමකින් පාසල දැනුවත් කරලා තියෙන්නේ කියලා. ඒත් එයා ඒක අහන්නෙ නැතිව ඉතාම සැලසුම්සහගතව පිටතින් පිරිසක් ‘අඹ සෙවන’ කියන ස්ථානයට ගෙනල්ලා තියෙනවා. එතන පාසලේ 20 ක් විතර ඉඳලා තියෙනවා. කොහොම හරි ‘ඉන්ටර්වල්’ එකේ පඩිපෙළ වටකරලා මේ දරුවට යන්න බැරි විදියට, අතට යකඩ වළලු දාපු, ඩෙනිම් ඇඳපු තුන්දෙනෙක් (3) ඉඳලා තියෙනවා. පුතාට ගහලා බිම දාලා පාගලා, හක්කට එහෙම අතේ දාපු යකඩ වළලු වලින් ගහලා තියෙනවා.”

තම දරුවාගේ හිස, බඩ සහ පපුව ප්‍රදේශ අදාළ ශිෂ්‍ය මැරයන් විසින් පාගා තිබීම හේතුවෙන් දින 6-7 ක් බලපිටිය රෝහලේ ලේ වමනය සිදු කළ බවයි දරුවාගේ මව වැඩිදුරටත් පැවසුවේ.

මෙවන් ඛේදනීය සිදුවීමක් සිදු වුව ද, අදාළ සිදුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තම ස්වාමි පුරුෂයා සමග විද්‍යාලයේ විදුහල්පතිනිය මුණගැසීමට සෑහෙන උත්සාහයක් ගත් බවත්, පසුව ඇය මහත් පරිශ්‍රමයකින් අනතුරුව මුණගැසුණු විට දී, තමන් ඉල්ලා සිටියේ මේ පිළිබඳ නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන ලෙසයි.

එහෙත් තවමත් එම සිද්ධිය සම්බන්ධයෙන් පාසල විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගයක් හෝ සම්බන්ධයෙන් තමන්ව දැනුවත් කිරීමක් නොකළ බවත්, පාසලක සිදු වූ මෙවැනි හැසිරීම් සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරින්ගේ හෝ අවධානය ඊට යොමු කර දරුවාට සාධාරණයක් කර, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය ආරක්ෂා කර දෙන ලෙස මව අධ්‍යාපන බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.

+++++++++

+


උසස් පෙළ වෙනුවෙන් ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක්

(22.01.2023 – 13:21 +0530 – hirunews.lk/sinhala)

කිසිදු බාධාවකින් තොරව උසස් පෙළ විභාගය පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා.

හෙට (23) සිට ලබන පෙබරවාරි මස 17 වනදා දක්වා දින 22 ක් පුරා පැවැත්වෙන උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

මෙවර උසස් පෙළ විභාගයට සිසුන් 3,31,709 ක් අයදුම් කර ඇති අතර, ඉන් 2,78,196 ක් පාසල් අයදුම්කරුවන්.

53,513 දෙනෙකු පෞද්ගලික අයදුම්කරුවන් වන අතර, දීපව්‍යාප්තව විභාග මධ්‍යස්ථාන 2,200 කදී විභාගය පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.

ඒ අනුව එම විභාග මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කිරීම සඳහා දිවයින පුරා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 317 ක් පිහිටුවා ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ.

එම මධ්‍යස්ථාන සඳහා දින හයක් (6) සඳහා අවශ්‍ය ප්‍රශ්න පත්‍ර මේ වනවිටත් ලබාදී අවසන් බව ද ඔහු කියා සිටියා.

එමෙන්ම ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය සහ බලයලත් නිලධාරියෙකු විසින් සහතික කරන ලද අනන්‍යතා ලිපියක් මෙවර උසස් පෙළ විභාගය සදහා පෙනී සිටින සිසුන් සඳහා ඉදිරිපත් කළ හැකියි.

මේ අතර උසස් පෙළ විභාගය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ගමනාගමන කොමිෂන් සභාව එක්ව ප්‍රවාහන සැලැස්මක් සකස් කර තිබෙනවා.

ඒ අනුව සිසුසැරිය බස් රථ 1,617 ම විභාගය පැවැත්වෙන දිනවල ක්‍රියාත්මකයි.

එමෙන්ම මෙම ප්‍රවාහන සැළැස්මට සහයෝගය දැක්වීමට ලංකා ගමනාගමන මණ්ඩලයද එකඟතාව පළ කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ගමනාගමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මිලාන් මිරැන්ඩා කියා සිටියේ.

එම මාධ්‍ය හමුවට එක්ව සිටි දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ගමනාගමන අධිකාරී එන්.ජේ. ඉඳිපොලගේ කියා සිටියේ උසස් පෙළ විභාගය වෙනුවෙන් දුම්රිය ගමන් වාර 16 ක් ක්‍රියාත්මක කෙරෙන බවයි.

+


පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ සැපයීමට අරමුදලක්

(22.01.2023 – 14:28 +0530 – hirunews.lk/sinhala)

පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ සැපයීමට විගමණික ශ්‍රමික දායකත්වයෙන් අරමුදලක් පිහිටුවීමට ‘ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය’ පියවර ගෙන තිබෙනවා.

මෙම ව්‍යාපෘතියට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිළිකා රෝගීන් සඳහා ඖෂධ සැපයීම වෙනුවෙන් පවතින විශේෂ ගිණුම සඳහා රුපියල් මිලියන 500 ක් ලබාදීම ඉලක්කය බවයි එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

මින් රුපියල් මිලියන 100 ක් දැනට විදේශගතව සිටින විගමණික ශ්‍රමිකයන්ගේ දායකත්වයෙන් සපුරාගැනීමට අපේක්ෂා කෙරෙන අතර, තවත් රුපියල් මිලියන 400 ක් විදේශ රැකියා ක්‍ෂේත්‍රයට අදාළ සියලු පාර්ශවයන්ගේ දායකත්වයෙන් සපයා ගැනීමටයි සැළසුම් කර ඇත්තේ ෴


වරකාපොළ සිට අඹේපුස්ස දක්වා මාර්ගයේ කොටස එක් මංතීරුවකට සීමා කරයි

(22.01.2023 – 16:09 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ සිට අඹේපුස්ස දක්වා වූ කොටසේ වාහන ධාවනය අනිද්දා (24) සිට පෙබරවාරි මස 01 දා දක්වා එක් මංතීරුවකට පමණක් සීමා කෙරෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.

ඒ අදාළ කොටසේ කාපට් ඇතිරීමට නියමිත බැවින්.

ඒ අනුව එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවිය හැකි බැවින් වරකාපොළ සිට අඹේපුස්ස දක්වා කොටස හරහා ගමන්කිරීමට අපේක්ෂා කරන රියදුරන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි දැනුම් දෙන්නේ ෴


ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් ශ්‍රී ලංකාවට තහනමක්

(22.01.2023 – 18:22 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) FIFA විසින් 2023 ජනවාරි 21 සිට නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබෙනවා.

පසුගිය 14 වෙනිදා ක්‍රීඩා අමාත්‍යංශය විසින් පැවැත්වූ නිලවරණයෙන් පත් නිලධාරී මණ්ඩලය FIFA විසින් නොපිලිගන්න තත්වයක් තුල අදාල තහනම් නියෝගය දැනුම්දී ඇත්තේ, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු මහ ලේකම් උපාලි හේවගේ වෙතටයි.

මෙම තහනමට මුලිකව හේතුව වී ඇත්තේ, තුන්වන පාර්ශවයේ මැදිහත්වීම ලෙස පසුගිය නිලවරනයෙදී ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීම හා ක්‍රීඩා අමාත්‍යංශය විසින් පොරොන්දු වූ පරිදි පාපන්දු සම්මේලන ව්‍යවස්ථාව සංශෝධනය නොකිරීම හා පොරොන්දු මාර්ග සිතියමට එකඟව ක්‍රියා නොකිරීම බව වාර්තා වනවා.

මෙම තහනමට අනුව, ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයෙකුට හෝ නිලධාරියකුට හෝ පුහුණු කරුවෙකුට හා ජාතික කණ්ඩායමට ජාත්‍යන්තර තරඟ හෝ වෙනත් කිසිවකට සහභාගී වීමට නොහැකිවනු ඇතැයි පැවසෙන්නේ.

+


අ.පො.ස. උසස් පෙල විභාගය පැවත්වෙන කාලය තුල විදුලිය විසන්ධි කරන්න එපා – ජනක රත්නායක

(22.01.2023 – 18:47 +0530 – hirunews.lk/sinhala)

විභාග කාලසටහනේ විභාග පැවත්වෙන කාලය තුල හා රාත්‍රි කාලයේදී විදුලිය විසන්ධිකිරීම නිසා විභාග අපේක්ෂකයින් අපහසුතාවට හා දුෂ්කරතාවයට පත් වන බව විභාග කොමසාරිස් ජනරාල් විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට දන්වා තිබුණා.

ඊට ප්‍රතිචාරීව උසස් පෙල විභාගය සාර්ථකව පැවත්වීමට විදුලිය විසන්ධි කිරීමෙන් වැළකීම සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අපොහොසත් බව ලංකා විදුලිබල මණ්ඩලය කොමිෂන් සභාව වෙත දන්වා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් පල කල ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ජනක රත්නායක :

“සිසු දරුවන් තුන්ලක්ෂ පනස්දහසක් පමණ පෙනී සිටින උසස් පෙල විභාගය අඩාල වීමට ඉඩ නොදී ක්‍රියාකිරීම රජයේ මෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයේ ද වගකීමකි. ජාතික වැදගත්කමකින් හා රටේ මතු පරපුරේ අනාගතය තීරණය කරන උසස් පෙල කඩයිම් විභාගය සාර්ථකව හා අපහසුවකින් තොරව පැවත්වීමට විදුලිය සැපයීම සදහා අදාල පාර්ශ්වයන් සමග සම්බන්ධ වී ක්‍රියාකිරිම ලංකා විදුලිබල මණ්ඩලයේ වගකීමකි.
විභාගයට පෙනී සිටින සිසු දරුවන්ට දුෂ්කරතාවලින් තොරව විභාගයට පෙනීසිටීම සදහා මෙන්ම විභාගය සාර්ථකව පැවත්වීම සදහා විභාග දෙපාර්තමේන්තුවට සහාය වෙමින් කොමිෂන් සභාවේ විසදුම් යෝජනාව ක්‍රියාත්මක කිරීමට රජය හා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ක්‍රියාකරනු ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අපේක්ෂා කරයි.

එසේම දැයේ දු දරුවන් වෙනුවෙන් විභාගය පවත්වන කාලය තුල විදුලි ඉල්ලුම අඩුකිරීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව රාජ්‍ය ආයතන, පුද්ගලික ආයතන හා විදුලි පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී. විශේෂයෙන්ම විභාග පැවත්වෙන කාලය තුල (කාර්ය බහුල වේලාවන්හිදී) වායුසමීකරණ යන්ත්‍ර භාවිත නොකිරීම හා වෙනත් ආකාරයන්ගෙන් විදුලි පරිභෝජනය අවම කිරීමට ක්‍රියාකර විදුලි ඉල්ලුම අඩු කල හැකිය. විදුලිය ඉල්ලුම කළමනාකරනය කර විභාගය පැවත්වෙන කාලය තුලදී අවශ්‍ය විදුලි සැපයුම ලබාදීමට සියලු පාර්ශ්වයන් සහාය වනු ඇතැයි කොමිෂන් සභාව අපේක්ෂා පල කරනවා.”

+

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට ආරම්භ වුවත් පැය 02 යි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව තවදුරටත් ක්‍රියාත්මක බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක අද (22) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ උසස් පෙළ පැවැත්වෙන කාලය තුළ විදුලි කප්පාදුවක් සිදුනොකරන ලෙසට තම කොමිසම විදුලිබල මණ්ඩලයට නිර්දේශ කර ඇති බවයි.

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලි කප්පාදුවක් සිදුනොකරන ලෙස කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසමේ සහ විදුලිබල මණ්ඩලයේ එකඟත්වය හිමිවූ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා.

මේ අතර ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලින් ද අද (22) මාධ්‍ය හමුවක් කැඳවමින්, විභාග කාලසීමාවේ විදුලි කප්පාදුව සිදු නොකරන ලෙස ඉල්ලීමක් කළා.

උසස් පෙළ විභාගය වෙනුවෙන් අතිරේක දුම්රිය ගමන්වාර 16 ක් ක්‍රියාත්මක බවයි නියෝජ්‍ය දුම්රිය ගමනාගමන අධිකාරී එන්. ජේ. ඉදිපොළගේ කියා සිටියේ ෴


එළියට විසිවුණු ප්‍රධාන පක්ෂ වල නාම යෝජනා

(22.01.2023 – 20:20 +0530 – hirunews.lk/sinhala)

මාර්තු මස 09 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දය විමසීමට අදාළව ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් ඇතැම් පළාත් පාලන ආයතන වෙනුවෙන් භාර දුන් නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වී තිබෙනවා.

ඒ අනුව, දිස්ත්‍රික්ක 15 කින් ප්‍රතික්ෂේප වූ නාමයෝජනා පත්‍ර සංඛ්‍යාව 100 ඉක්මවනවා.

මේ අතර මැතිවරණ කොමිසම සඳහන් කළේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ලබන අඟහරුවාදා (24) මැතිවරණ මහලේකම් කාර්යාලයට පැමිණෙන ලෙස පිළිගත් දේශපාලන පක්ෂවලට දැනුම් දුන් බවයි.

මැතිවරණය සඳහා නාමයෝජනා භාරදුන් පිළිගත් සියලු දේශපාලන පක්ෂවලට මැතිවරණ මහලේකම් කාර්යාලයට පැමිණෙන ලෙස දැනුම් දුන්නේ, මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම සඳහා බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.

මෙවර මැතිවරණය වෙනුවෙන් හෙලිකොප්ටරය ලකුණින් සන්ධානගත වූ ‘නිදහස් ජනතා සන්ධානය’ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රාදේශීය සභාවට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වී තිබෙනවා.

‘එක්සත් ජාතික පක්ෂය’ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවට හා මහියංගණය ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රද ප්‍රතික්ෂේප වී ඇතැයි දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා ප්‍රකාශ කළා.

ඔහු පැවසුවේ, ‘ලංකා කම්කරු කොංග්‍රසය’ හාලිඇළ ප්‍රාදේශීය සභාව සඳහා ලබාදුන් නාමයෝජනා පත්‍රයද ප්‍රතික්ෂේප වූ බවයි. ඒ බව දැනගත් අපේක්ෂකයින් හඬා වැටුණු අයුරුද දක්නට ලැබුණා.

රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් ‘අකිල ඉලංගෙයි මහජන කොංග්‍රසය’ කන්තලේ ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයත්, ‘දෙමළ ජාතික සන්ධානය’ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවිල ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයත් ප්‍රතික්ෂේප වී තිබෙනවා.

කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා දේශපාලන පක්ෂ 10 ක් හා ස්වාධීන කණ්ඩායම් 03 ක් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ද ප්‍රතික්ෂේප වී ඇති අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට හා කලවාන ප්‍රාදේශීය සභා දෙක සඳහා ‘පෙරටුගාමී සමාජවාදී පක්ෂය’ ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රද ප්‍රතික්ෂේප වුණා.

ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කෙරුණු නාමයෝජනා පත්‍ර 06 ක් ද ප්‍රතික්ෂේප වී ඇති බව, දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා සඳහන් කළා.

මේ අතර ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ’ කොළඹ මහ නගර සභාවට, දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවට සහ කොලොන්නාව නගර සභාවට ඇප මුදල් තැන්පත් කර තිබූ නමුත් නාමයෝජනා පත්‍ර භාර දී තිබුණේ නැහැ.

එමෙන්ම, කොළඹ දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයා පැවසුවේ, ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය’ කඩුවෙල මහ නගර සභාවට ඇප මුදල් තැන්පත් කර තිබූ නමුත් නාම යෝජනා භාර නොදුන් බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *