‍නානුඔය අනතුරට මුහුණපෑ බස් රථය බලපත්‍රලාභී රියක් නෙවෙයි – ගැමුණු විජේරත්න

‍නානුඔය අනතුරට මුහුණපෑ බස් රථය බලපත්‍රලාභී රියක් නෙවෙයි – ගැමුණු විජේරත්න


නානුඔය අනතුරට මුහුණපෑ බස් රථය බලපත්‍රලාභී රියක් නෙවෙයි – ගැමුණු විජේරත්න

(21.01.2023 – 16:30 +0530 – hirunews.lk/sinhala)

නානුඔය – රදැල්ල දුර්ග මාර්ගයේ දී ඊයේ (20) රාත්‍රියේ දී සිදු වූ මාරක අනතුරට මුහුණපෑ බස් රථය පෞද්ගලික බස් යටතේ ලියාපදිංචි කරන ලද හෝ මහා මාර්ගයක ධාවනය කරන, බලපත්‍රලාභී බස් රථයක් නොවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

සභාපතිවරයා විශේෂ මාධ්‍ය හමුවකට අද (21) එක්වෙමින් කියා සිටියේ, මෙම බස් රථය පෙර ධාවනය කර ඇත්තේ මාර්ග අංක 280 හා 315 බවත්, පසුව බස් රථය හිමි තැනැත්තා විදෙස්ගත වීම නිසා ඉන් අනතුරුව මාර්ගයේ ධාවනයෙන් ඉවත් කර, විශේෂ චාරිකා පමණක් ධාවනය කිරීමට කටයුතු කර ඇති බවයි.

මේ දිනවල විශාල වශයෙන් බොහෝ පාසල්වල අධ්‍යාපන චාරිකා සඳහා දරුවන් රැගෙන යාමට තම සංගමය විසින් බස් රථ යොමු කළේ, බස් රථයෙහි යෝග්‍යතා සහතිකය, බලපත්‍ර සහතිකය සහ රක්ෂණ සහතිකය ආදී ප්‍රධානතම ලියකියවිලි ඉදිරිපත් කිරීමෙන් පමණක් බව ද සභාපති ගැමුණු විජේරත්න පැවසුවා.

මෙම අනතුරෙහි පූර්ණ වරද බස් රථයෙහි රියදුරුට පැවරිය යුතු බවත්, බස් රථය සකසා ඇත්තේ ‘නයිට් ක්ලබ්’ එකක් ලෙස බවත් මෙම මාධ්‍ය හමුවේදී ගැමුණු විජේරත්න හෙළි කළා.

මේ වනවිට ‘තොරණ් වැනි බස් රථ’ ඇති බැවින්, ඒ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෙන් ම පොලිසිය ද දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරන්නේ.

කෙසේවෙතත් මෙම අනතුරට පාදක වූ බස් රථය තෝරාගැනීමේ දී පාසලේ විදුහල්පති සහ ආචාර්‍ය මණ්ඩලය ද මීට වඩා වැඩි අවධානයක් බස් රථයෙහි ප්‍රමිතිය සම්බන්ධයෙන් යොමු කළ යුතු බවත් ගැමුණු විජේරත්න සඳහන් කළා.

+++++++

+++++++

+++++++

+++++++

නානු ඔය රිය අනතුරින් පාසල් සිසුවෙක් මිය යයි

(21.01.2023 – 10:23 +0530 – hirunews.lk/sinhala)

නානු ඔය දී ඊයේ (20) සිදු වූ බස් – වෑන් රථ අනතුරින් පාසල් සිසුවෙක් මිය ගොස් තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ 14 හැවිරිදි Ahamed Zain.

ඔහුගේ දේහය දික්ඔය ජුම්මා පල්ලියේ තැන්පත් කර තිබෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අද (21) පස්වරු 03:30 ට සිදුකිරීමට නියමිතයි ෴

නුවරඑළිය නානුඔය ප්‍රදේශයේ දී ඊයේ (20) රාත්‍රියේ සිදුවූ අනතුරින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

එම අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලීසිය බස් රථයේ රියදුරාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ අදාළ බස් රථය නොසැලකිලිමත් ලෙස ධාවනය කර ඇති බවයි.

අධික වේගයෙන් පැමිණි බස්රථය ප්‍රපාතයකට ගොස් නැවතී තිබූ අතර එහි සිටි කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් 41 දෙනෙක් සහ මව්පියන් ඇතුළු 53 දෙනෙකු සුළු තුවාල ලබා රෝහල්ගත කර තිබුණා ෴

අනතුරෙන් පුද්ගලයින් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ අතර තවත් 53 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

මියගිය අය අතරින් 5 දෙනෙකුම එකම පවුලේ සාමාජිකයන් වන අතර, ඒ අතර වයස අවුරුදු 7, 11 යන වයස් වල පසුවූ ගැහැණු ළමයින් දෙදෙනෙකු සහ 14 හැවිරිදි වියේ පසුවූ පිරිමි ළමයෙකු ද වනවා.

තුවාල ලබා රෝහල් ගත කළ 53 දෙනා අතරින් 43න් දෙනෙකු මේ වන විට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴

++++++++

++++++++

+


පුංචි ඡන්දය 2023 මාර්තු 09 වැනිදා

(21.01.2023 – 16:15 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට දින තීරණය කර තිබෙනවා.

මැතිවරණ කොමිසන් සභා ආරංචි මාර්ග සඳහන් කළේ, ඒ අනුව 2023 මාර්තු මස 09 වැනි දින මෙම මැතිවරණය පැවැත්වෙනු ඇති බවයි ෴


රජයේ රෝහල්වලට එන රෝගීන්ගේ ඉහළ යාමක්

(21.01.2023 – 07:34 +0530 – hirunews.lk/sinhala)

වැට් ඇතුළු බදු ඉහළ නැංවීමත් සමඟ පෞද්ගලික රෝහල් ගාස්තු හා ඖෂධ මිල ඉහළ යාම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රජයේ රෝහල් වෙත පැමිණෙන රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ, රජයේ රෝහල් වල බාහිර ප්‍රතිකාර ඒකක සහ සායන වලට පැමිණෙන රෝගීන්ගේ වැඩි වීමක් වාර්තා වුවද, ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම වෙනුවෙන් ප්‍රමාණවත් ඖෂධ රෝහල් තුළ නොමැති බවයි ෴


උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේ විදුලි කප්පාදුව ගැන අනාවරණයක්

(21.01.2023 – 07:54 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේ දෛනික විදුලි කප්පාදුව රාත්‍රී 7 න් පසුව සිදු නොකරන්නැයි මහජන උපයෝගිතා කොමිසම නිර්දේශ කර තිබෙනවා.

මේ අතර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේ අඛණ්ඩව විදුලිය සැපයීමට නම් රුපියල් බිලියන 5 ක මුදලක් අවශ්‍ය බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කැබිනට් මණ්ඩලයට පසුගියදා දැනුම් දී තිබුණා.

කෙසේ වෙතත්, අදාළ දිනයන් හී විදුලිය අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර තවත් දින දෙකකින් (2) පසුව එනම්, එළඹෙන එළඹෙන සඳුදා (23) ආරම්භ වන උසස් පෙළ විභාගය සඳහා මේ වනවිටත් සියලු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා.

ඔහු කියාසිටියේ කිසියම් අපේක්ෂකයෙකුට වලංගු හැඳුනුම්පත් හෝ ප්‍රවේශ පත්‍රයක් නොමැති වුව ද විභාගයට පෙනී සිටිය හැකි බවයි.

එමෙන්ම විභාග කොමසාරිස්වරයා කියා සිටියේ විභාග ගැටලු සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් දැනුම්දීමට 1911 ක්ෂණික දුරකථන අංකය මෙන්ම, 011 278 4208, 011 278 4537, 011 278 5211 සහ 011 278 6616 යන අංක පැය 24 පුරා විවෘත බවයි ෴


කුණ්ඩසාලේ ‘සඳගල’ සොරාගැනීමේ සිද්ධියට තවත් දෙදෙනෙකු (2) සී.අයි.ඩී. අත්අඩංගුවට

(21.01.2023 – 10:29 +0530 – hirunews.lk/sinhala)

කුණ්ඩසාලේ උඩමළුව රක්ෂිතයේ තිබූ සඳගල සොරාගැනීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙකු (2) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, අපරාධ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන ඒකකයේ නිලධාරීන් මෙම සැකකරුවන් ඊයේ (20) මහනුවර දී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන් අද (21) තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


‘රාමේ සුද්දා’ එස්.ටී.එෆ්. අත්අඩංගුවට

(21.01.2023 – 11:07 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘නදුන් චින්තක’ හෙවත් ‘හරක් කටා’ගේ සමීපතමයෙකු වන ‘සම්පත් හේමන්ත රාමනායක’ හෙවත් ‘රාමේ සුද්දා’ හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකා මාධ්‍ය ඒකකය සඳහන් කළේ අකුරැස්ස – හේනේගම ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

ඔහු සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් 21 යි මිලිග්‍රෑම් 230 ක් ද පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් භාරයට ගෙන ඇති අතර, 35 හැවිරිදි සැකකරු වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ ෴

රාජගිරිය ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝ ග්‍රෑම් 1 යි ග්‍රෑම් 254 ක් සමග මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයින් තිදෙනෙකු (3) පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකා මාධ්‍ය ඒකකය සඳහන් කළේ සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් 1,47,000 ක මුදල් තොගයක් ද සොයා ගත් බවයි ෴


විදේශ රැකියා ඒජන්සි ගැන පැමිණිලි කළ පාර්ශවයන්ට රුපියල් කෝටි 4 ක වන්දි

(21.01.2023 – 12:28 +0530 – hirunews.lk/sinhala)

විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් විදේශ රැකියා ඒජන්සිවලට එරෙහිව පැමිණිලි සිදු කළ පාර්ශවයන්ට රුපියල් කෝටි 4 කට ආසන්න මුදලක් අයකර දීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර තිබෙනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක ගාමිණි සෙනෙවිරත්න යාපා කියා සිටියේ විදේශ රැකියා ලබා දීමේ දී වැඩිපුර මුදල් අයකිරීම ඇතුළු අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබූ බවයි ෴


පානීය ජලය නොමැතිවීමෙන් කුඩා සීගිරිය ගම්මානයේ ජනතාව දැඩි දුෂ්කරතාවයක

(21.01.2023 – 13:52 +0530 – hirunews.lk/sinhala)

මහවැලි සී කලාපයට අයත් කජුවත්ත සහ කුඩා සීගිරිය ගම්මානයේ පවුල් 1,485 ක පුද්ගලයින් 7000 කට අධික පිරිසක්, සිය මූලික අවශ්‍යතාවක් වන පිරිසිදු පානීය ජල බිඳක් හෝ නොමැතිවීමෙන් දුෂ්කරතාවකට පත්ව තිබෙනවා.

තම ගම්මාන දෙක (2) සඳහා තිබෙන එකම වගා ළිඳෙන් සහ නළ ළිඳෙන් පානීය ජල පහසුකම් සපුරාගැනීමට සිදුව ඇති මෙම ගම්වැසියන් අතරින් සැලකිය යුතු පිරිසක් මේ වන විටත් වකුගඩු රෝගයට ද දැඩි ලෙස ගොදුරු වී අවසන්.

වසර 10 ක් ඇතුළත කජුවත්ත සහ කුඩා සීගිරිය ගම්මාන දෙකේ (2) පමණක් වකුගඩු රෝගයට ගොදුරු වී ජීවිතය අහිමි වූ පිරිස 13 දෙනෙක් බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

2014 වසරේ දී මෙම ගම්මාන සඳහා පිරිසිදු පානීය ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අදාළ මූලික සැලසුම් සකස් කෙරුණ ද එය අතරමඟ නතර වී ඇත්තේ තවත් සුදු අලියෙකු වූ ව්‍යාපෘතියක් බවට පත්කරමින්.

මේ හේතුවෙන් පානීය ජල බිඳක් සොයා ගැනීම සඳහා මෙම ගම්වාසීන්ට දෛනිකව කිලෝමීටර් 8-10 ක් පමණ දුර ගෙවා දැමීමට සිදුව තිබෙනවා.

කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ 1990 වසරේ දී තමන් මෙම ගම්මානවල පදිංචි වූ දා පටන් මේ දක්වාම පිරිසිදු පානීය ජලය නොමැතිවීම ඛේදනීය තත්ත්වයක් බවයි ජනතාව පෙන්වා දෙන්නේ.

+


රාජගිරියේදී පුද්ගලයෙකුට වෙඩි

(21.01.2023 – 18:22 +0530 – hirunews.lk/sinhala)

වැලිකඩ පොලිස් වසමට අයත් රාජගිරිය බුත්ගමුව පාර ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

රාජගිරිය- බුත්ගමුව මාර්ගයේ මහනියර හන්දිය ප්‍රදේශයේ දී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු (2) මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 52 හැවිරිදි පුද්ගලයෙක් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *