මැතිවරණ කොමිසමේ නිලධාරින් දෙදෙනෙකුට (2) මරණ තර්ජන

මැතිවරණ කොමිසමේ නිලධාරින් දෙදෙනෙකුට (2) මරණ තර්ජන


මැතිවරණ කොමිසමේ නිලධාරින් දෙදෙනෙකුට (2) මරණ තර්ජන

(20.01.2023 – 07:18 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ කොමිසමේ නිලධාරින් වන කේ.ජී.ජී. පතිරණ හා එස්.බී. දිවාරත්න යන නිලධාරින් දෙදෙනාට (2) නාඳුනන දුරකථන ඇමතුමකින් මරණ තර්ජන එල්ල වී ඇති බව වාර්තා වනවා.

“අස් වෙයල්ලා, පවුල් පිටින් මරනවා” යනුවෙන් අදාළ දුරකථන ඇමතුම් හරහා තමන්ට තර්ජනය කළ බව යි නිලධාරින් දෙදෙනා (2) පවසන්නේ.

මේ හේතුවෙන් අදාල නිලධාරින් දෙදෙනාට (2) පොලිස් ආරක්ෂාව ලබා දීමට තීරණය වී ඇති අතර, දුරකථන ඇමතුම් හරහා සි.අයි.ඩී. විමර්ශන ද ආරම්භ කර ඇති බව සඳහන්.

පෙරේදා (18) මෙම දුරකථන ඇමතුම් දෙක (2) අදාළ නිලධාරින්ට ලැබී තිබෙන අතර, තර්ජනය කළ පිරිස තමන් ‘අරගළයේ සංවිධානයෙන්’ කියා පැවසූ බව ද වර්තා වනවා ෴


පුංචි ඡන්දයේ ඇප තැන්පත් කිරීමේ කාලය අදින් (20) අවසන්

(20.01.2023 – 07:45 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ඡන්ද විමසීමේ ඇප තැන්පත් කිරීම සඳහා දේශපාලන පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට ලබාදී තිබූ කාලය අද (20) මධ්‍යහ්න 12 න් අවසන් වනවා.

නාම යෝජනා භාරදීමට වෙන්කර ඇති කාලය හෙට (21) දහවල් 12 ට අවසන් වීමට නියමිත බවයි මැතිවරණ කොමිසම නිවේදනය කළේ.

මේ අතර, තර්ජන එල්ල වී ඇති මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනාට (2) පොලිස් ආරක්ෂාව ලබා දී තිබෙනවා.

ඒ, ඊයේ (19) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි යි. ජී.එස්.බී. දිවාරත්න, කේ.පී.පී. පතිරණ යන මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙදෙනාට (2) මෙලෙස තර්ජන එල්ල වී ඇති බව සඳහන්.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණර්ධන ඊයේ (19) කියා සිටියේ ෴


‘හරක්කටා’ගේ අනියම් බිරිඳ ‘ටීනා’ හෙරොයින් සමඟ විශේෂ කාර්ය බලකා අත් අඩංගුවට

(20.01.2023 – 09:09 +0530 – hirunews.lk/sinhala)

‘හරක්කටා’ගේ අනියම් බිරිඳ ‘ටීනා’ හෙරොයින් සමඟ විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත් අඩංගුවට පත් වී තිබෙනවා.

ඒ පෙරේ දා (18) මහරගම පොලිස් වසමේ අංක 107/15 A1, උඩහේන පාර, මහරගම ලිපිනයේ දී සිදු කළ වැටලීමකින්.

අත් අඩංගුවට ගන්නා විට සැකකාරිය සතු ව හෙරොයින් ග්‍රෑම් 12 යි මිලි ග්‍රෑම් 800 ක් තිබුණු බව සඳහන්.

අත් අඩංගුවට ගෙන ඇත්තේ, මහරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31 ක කාන්තාවක්.

වැඩිදුර විමර්ශන කටයුතු තිහගොඩ පොලිසිය මඟින් මෙහෙයවනු ඇති.

මෙම කාන්තාවගේ ස්වාමිපුරුෂයා වන ‘දිනේෂ් මදුසංඛ’ නොහොත් ‘බුලා’ යන අය දැනට රක්ෂිත බණ්ධනාගාරගත ව සිටින අතර මෙම කාන්තාව ඝාතනයට ලක් වූ ‘එම්.ඩබ්. මදුර ලක්ෂිත’ නොහොත් ‘මිදිගම හිච්චි මල්ලි’ යන අය සමඟ ද අනියම් සබඳතාවත් පවත්වාගෙන ගොස් ඇති බව ද වාර්තා වනවා ෴


ආදිවාසී නායකයාගේ පැමිණිල්ල ගැන මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක්

(20.01.2023 – 09:14 +0530 – hirunews.lk/sinhala)

ආදිවාසීන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ආදීවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ඉදිරිපත් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පෙරේදා (18) ආදිවාසි නායකයා මානව හිමිකම් කොමිසමට එම පැමිණිල්ල ඉදිරිපත් කළ අතර, ආදීවාසීන්ට විධිමත් ව්‍යවස්ථාමය පිළිගැනීමක් නොමැති වීම ඇතුළු ප්‍රධාන කරුණු 5 ක් එහි අන්තර්ගත වුණා.

නිවේදනයක් නිකුත් කරමින් මානව හිමිකම් කොමිසම කියා සිටියේ, ආදිවාසී නායකයාගේ මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් කොමිසම ආරම්භ කළ බව යි.

ඒ අනුව, ආදිවාසීන්ගේ ගැටළු සහ ඔවුනට අදාළව පුද්ගල නීතියක් සකස් කිරීම සඳහා මූලික සාකච්ඡාවක් මෙම මස 27 වනදා මානව හිමිකම් කොමිසම කැඳවා තිබෙනවා ෴


පාසල් සිසුවියක් නිවසේ නාන කාමරයේ දී දරුවකු ප්‍රසූත කරයි

(20.01.2023 – 10:10 +0530 – hirunews.lk/sinhala)

තිස්සමහාරාම ප්‍රදේශයේ පාසලක එකොළොස් (11) වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් සිය නිවසේ නාන කාමරයේ දී දරුවකු ප්‍රසූත කළ සිද්ධියක් වාර්තා වනවා.

නාන කාමරයෙන් බිළිඳකු හඬන හඬක් ඇසී දැරියගේ මව නාන කාමරය විවෘත කර තිබෙනවා.

එහි දී සිය දියණිය දරුවකු ප්‍රසූත කර ඇති බව යි මව දැක තිබෙන්නේ.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන්නේ, තිස්සමහාරාම පොලිසිය යි ෴


අපනයනකරුවන් ඩොලර් බිලියන 40 කට වැඩි මුදලක් විදෙස් රටවල තැන්පත් කරලා – ලංකා බැංකු සේවක සංගමය

(20.01.2023 – 10:34 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසර 10 ක කාලය තුළ රටේ අපනයනකරුවන් විසින් උපයාගත් ඩොලර් බිලියන 40 කට වැඩි මුදලක් විදෙස් රටවල තැන්පත් කර තිබෙන බවත්, මෙම මුදල් මෙරටට රැගෙන ඒමට නීති සකස් කළ යුතු බවත් ලංකා බැංකු සේවක සංගමය පවසනවා.

එම සංගමයේ ජ්‍යේෂ්ඨ උපසභාපති අනුප ලන්දුල පවසන්නේ, රට තුළ අර්බුදයක් ඇති වූ බවට පාලකයන් පෙන්වීමට උත්සහ කළ නමුත් සිදුව ඇත්තේ රට අර්බුදයකට පත් කිරීම බවයි.

මේ හේතුවෙන් රට අර්බුදයට පත් කළ පිරිස් වලට අයත් මුදල්වලින් කොටස් හෝ ලබා ගැනීමට කටයුතු කළහොත් අර්බුදයෙන් ගොඩ ඒමට හැකි බවයි ජ්‍යේෂ්ඨ උපසභාපතිවරයා පෙන්වා දෙන්නේ.

එමෙන්ම ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා වෘත්තිකයින්ට හා ජනතාවට අධික ලෙස බදු ගසමින් සිටින බවත් මෙම පිරිස්වලින් අයකර ගැනීමට නියමිත බදු මුදල්වලින් රාජ්‍ය ආදායම ඉහළ යන්නේ 2% ක් වැනි ප්‍රමාණයකින් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ ෴


මුජිබර් රහුමාන් මැතිසබයට සමු දෙයි

(20.01.2023 – 10:37 +0530 – hirunews.lk/sinhala)

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ, කොළඹ නගරාධිපති ධූරයට තරග කිරීම සඳහා යි.

ඔහු මේ බව අද (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා ෴


පාසල් දරුවන්ට නිසි වේලාවට පෙළ පොත් නොලැබෙන ලකුණු

(20.01.2023 – 11:07 +0530 – hirunews.lk/sinhala)

මෙම වසරේ දී පාසල් දරුවන්ට නිසි වේලාවට පෙළ පොත් ලබා දීමට නොහැකිවීමේ දැඩි අවදානමක් මතුව ඇති බව පෞද්ගලික මුද්‍රණකරුවෝ පවසනවා.

මුද්‍රණකරුවන්ට හිමි විය යුතු අත්තිකාරම් හා අනෙකුත් ගෙවීම් මේ වන තෙක් නිසි පිරිදි නොකිරීම හේතුවෙන් පාසල් පෙළ පොත් මුද්‍රණය ඇනහිට ඇති බවයි ඔවුන් පවසන්නේ.

මේ අතර, පෙළ පොත් මුද්‍රණය කිරීම සඳහා ටෙන්ඩරය ලබා ගත් මුද්‍රණකරුවන්ට ලබා දෙන මූලික මුදල වන අත්තිකාරම් මුදල හා මුද්‍රණය කළ පොත් වෙනුවෙන් ලැබිය යුතු මුදල් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නොගෙවීම නිසා පෙළ පොත් මුද්‍රණය අතරමග නැවතීම සිදුව ඇති බව ටෙන්ඩරය ලබා ගත් ආයතනය පැවසූ බවයි මාධ්‍ය වාර්තාවල සඳහන් වුණේ ෴


ඡන්දය පැවැත්වීමෙන් අර්බුදය උග්‍රවනු ඇතැයි භාණ්ඩාගාර ලේකම්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්

(20.01.2023 – 13:14 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණයක් පැවැත්වීමෙන් රටේ වත්මන් ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍රවන බව මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

අත්‍යාවශ්‍ය සේවාවන් වෙනුවෙන් පවා මුදල් වෙන්කිරීමට අපහසු තත්ත්වයක් උද්ගතව ඇති අවස්ථාවක මැතිවරණයක් සඳහා මුදල් සොයාගැනීම මහා භාණ්ඩාගාරයට දැඩි අභියෝගයක් වනු ඇති බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.

පළාත් පාලන ඡන්දය පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු ගොනු කළ රිට් පෙත්සමට අදාළව දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මේ බව සඳහන් කර තිබෙනවා.

ඔහු එමඟින් පෙන්වා දී ඇත්තේ කොවිඩ් වසංගතයෙන් පසු 2021 වසරේ මෙරට අපනයන ආදායම 8.2% කින් පහත වැටී ඇති බවයි.

එම වසරේ අයවැය පරතරය 11.6% කින් ඉහළ ගොස් ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙස බවත් මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන ශේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

පවතින ආර්ථික අර්බුදය හමුවේ 2022 වසරේ පොලී ගෙවීම සඳහා රුපියල් බිලියන 114 කට අධික මුදලක් මෙන්ම ණය ගෙවීම සඳහා රුපියල් බිලියන 169 කට අධික මුදලක්ද වැය කිරීමට සිදුවූ බවයි අදාළ පෙත්සම මඟින් පෙන්වා දී ඇත්තේ.

ජාත්‍යන්තර ණය ශේණිගත කිරීමේ දර්ශකයන්ට අනුව ශ්‍රී ලංකාව පහත හෙළීමක් සිදුකර ඇති නිසා, ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් අරමුදල් සම්පාදනය කර ගැනීම ද අපහසු වී ඇති බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පෙන්වා දී දෙනවා.

ඒ හේතුවෙන් අරමුදල් සම්පාදනය කරගැනිමට සිදුව ඇත්තේ බැංකු නොවන මූලාශ්‍රවලින් අධික පොලී අනුපාත යටතේයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට සූදානම් වන මෙම අවස්ථාවේ දී රට තුළ දේශපාලන ස්ථාවරභාවය පවත්වා ගැනීම ඉතා වැදගත් බවත් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා යොමුකළ දිවුරුම් පෙත්සමේ සඳහන්.

කෙසේ වෙතත්, මෙම පසුබිම හමුවේ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීම භාණ්ඩාගාරයට අභියෝගයක් වනු ඇතැයි ද මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සිය දිවුරුම් ප්‍රකාශයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

+


13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීම වැදගත් බවට එස්. ජයිශංකර් ගෙන් ප්‍රකාශයක්

(20.01.2023 – 13:30 +0530 – hirunews.lk/sinhala)

‍13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීම සහ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීම මේ අවස්ථාවේදී වැදගත් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් පවසනවා.

අද (20) පෙරවරුවේ පැවති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, මේ පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග පැවති සාකච්ඡාවේ දී දැනුම් දුන් බව යි.

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාව අද (20) පෙරවරුවේ පැවැත්වුණේ, ජනාධිපති කාර්යාලයේ දී.

අනතුරු ව ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණේ ජනාධිපතිවරයාගේ ද සහභාගීත්වයෙන්.

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා අතර හමුව පැවැත්වුණේ, ඊයේ (19) රාත්‍රීයේ යි.

මෙරට ණය ප්‍රතිව්‍යුහගතරණයට ඉන්දියාව සූදානම් බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා එහිදී දැනුම් දී ඇත්තේ.

ඉන්දු – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබතා සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය අතර එහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් මෙරට ආයෝජන මාර්ගයන් තවදුරටත් ශක්තිමත් කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

අදාල හමුවෙන් අනතුරුව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ යටිතල පහසුකම්, බලශක්ති සහ සෞඛය යන ක්‍ෂේත්‍රවල ඉන්දු – ශ්‍රී ලංකා සහයෝගීතාව වර්ධනය කිරීම වෙනුවෙන් මෙම සාකච්ඡාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි.

මේ අතර ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ දෙදින නිල සංචාරය අදින් (20) අවසන් වීමට යි නියමිත ව ඇත්තේ.

+


මාංශ භක්ෂක අලියෙක් මින්නේරියෙන් මතු වෙයි

(20.01.2023 – 13:42 +0530 – hirunews.lk/sinhala)

මින්නේරිය ප්‍රදේශයේ වන අලි ගම් වැදීම පිළිබඳ බොහෝ පුවත් පසුගිය දිනවල වාර්තා වුණා.

එලෙස ගම් වැදුණු වන අලියෙකු ප්‍රදේශයේ ධීවර සංස්ථා ගොඩනැගිල්ලකට ඇතුලු වී මසුන් අහාරයට ගත් වෙනස් ආකාරයේ පුවතක් ද වාර්තා වනවා.

මින්නේරිය ධීවර සංස්ථා ගොඩනැගිල්ලට මෙම වන අලියා ඇතුළු වී ඇත්තේ ඊයේ (19) අලුයම යි.

ගොඩනැගිල්ලේ ශීතකරණයේ ගබඩා කර තිබු මසුන් මෙම වනඅලියා විසින් ආහාරයට ගෙන තිබෙනවා.

මෙම වන අලියා මින්නේරිය හබරණ ප්‍රධාන මාර්ගය දෙපස ඇති වෙළදසැල්වලට ද ඇතුළු වී ඇතැම් ආහාර ද්‍රව්‍ය ආහාරයට ගන්නා අතර, දීර්ඝ කාලයක සිට පවතින මෙම ගැටලුවට බලධාදාරීන්ගෙන් නිසි විසදුමක් නොමැති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

මේ අතර, ගල්නෑව ප්‍රදේශයේ බඩඉරිගු වගාවකට ඇතුලු වූ වන අලි රංචුවක් එම බඩඉරිගු වගාවට දැඩි හානි සිදු කර තිබුණේ මෙලෙසින්.

වන අලි ගම් වැදීම නිසා ගොවිතැන් කටයුතුවලට දැඩි බලපෑමක් ඇති වී ඇති බව යි ප්‍රදේශවාසීන් පවසන්නේ.

+


බත වනසන දොම්පේ ගුරුවල කර්මාන්ත ශාලාව

(20.01.2023 – 13:50 +0530 – hirunews.lk/sinhala)

දොම්පේ ගුරුවල ප්‍රදේශයේ පවත්වා ගෙන යන කර්මාන්ත ශාලාවක් මගින් නිසි ක්‍රමවේදයකින් තොරව අපජලය බැහැර කිරීම නිසා ප්‍රදේශයේ කුඹුරු අක්කර 150 ක පමණ වගා කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ, මෙම අපජලය භූගත ජලයට ද එක්වීමේ අවදානමක් පවතින බවයි.

දොම්පේ ගුරුවල ප්‍රදේශයේ පවත්වාගෙන යන කර්මාන්තශාලාවක අප ජලය නිසි ක්‍රමවේදයකින් තොරව ඇල මාර්ගයකට බැහැර කිරීම නිසා ප්‍රදේශවාසී ගොවි ජනතාව දැඩි අසීරුතාවයකට ලක්වී තිබෙනවා.

මෙම කර්මාන්තශාලාව මීට මාස කිහිපයකට පෙර ආරම්භ කර ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

මෙම කර්මාන්තශාලාවේ අප ජලය ප්‍රදේශයේ කුඹුරු යාය හරහා යන ඇල මාර්ගයට එක් කර ඇති අතර ඒ හේතුවෙන් කුඹුරු කටයුතු වලටද දැඩි බලපැමක් එල්ල වී තිබෙනවා.

මේ පිළිබද දැනුවත්කිරීමට හෝ එම කර්මාන්තශාලාවේ හිමිකරුවෙකු ඉදිරිපත් නො වීම ගැටලුවක් වී තිබෙනවා.

මෙම අප ජලය භූගත ජලයටද එක්වීමේ අවධානමක් පවතින බැවින් බලධාරීන් මැදිහත් වී මේ සදහා නිසි වැඩපිළිවෙළක් සලසා දෙන ලෙසයි ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *