කාමරයේ මුල්ලක හිරවුණු කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

කාමරයේ මුල්ලක හිරවුණු කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන


කාමරයේ මුල්ලක හිරවුණු කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

(19.01.2023 – 23:54 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලනව පැය 3 කට ආසන්න කාලයක් කාර්යාල අඩස්සියේ තැබීමට එම රෝහලේ සුළු සේවකයන් කටයුතු කළා.

ඒ රෝහලේ ඇතැම් සේවකයින් රාජකාරී වේලාව තුළ ‘අයිස්’ හා ගංජා භාවිතා කරන බවට නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සිදුකර තිබූ ප්‍රකාශයට විරෝධය පළ කරමින්.

මේ අතර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කළේ ජාතික රෝහලේ මතුව ඇති තත්ත්වය සමනය වන තුරු නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන තාවකාලිකව සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත කළ බවයි.

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඊයේ (18) හිරු ප්‍රවෘත්ති වෙත ප්‍රකාශයක් සිදුකරමින් රජයේ රෝහල්වල සුළු සේවකයින් රාජකාරී කරන අවස්ථාවේ මත්ද්‍රව්‍ය භාවිතා කරන බව හෙළි කළා.

රෝහල් සේවකයෙකු රාජකාරී වේලාව තුල සිය නිල ඇඳුමින්ම ගංජා භාවිතා කරන බව දැක්වෙන දර්ශන පෙළක් ද ඔහු මෙලෙස ඉදිරිපත් කළා.

නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ මෙම අනාවරණයට විරෝධය පළ කරමින් කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයින් අද (19) දහවල් රෝහල ඉදිරිපිටට රැස්ව විරෝධය පළ කළා.

විරෝධය දැක්වීමෙන් අනතුරුව රෝහල් සුළු සේවකයින් රෝහල තුළට ඇතුළුවුයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා තමන් සිදුකළ ප්‍රකාශයට සමාව ගත යුතු බව පවසමින්.

නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලනගේ කාර්යාලය ඉදිරිපිට ඔවුන් විරෝධය පළ කළ අයුරු දැකිය හැකියි.

තත්ත්වය පාලනය කිරීමට පොලිසිය ද කැඳවා තිබු අතර රෝහල් සුළු සේවකයින් පොලිසියට ද විරෝධය පළ කරන අයුරු දක්නට ලැබුනා.

විරෝධතාව හේතුවෙන් පැය 3 කට ආසන්න කාලයක් අඩස්සියේ සිටීමටයි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට සිදු වුයේ.

කෙසේ වෙතත්, පොලිස් ආරක්ෂාව මධ්‍යයේ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පස්වරු 04:00 ට පමණ කාර්යාල පරිශ්‍රයෙන් පිටව ගිය අතර එම අවස්ථාවේදී රෝහල් සේවකයින්ගෙන් එල්ල වුණේ දැඩි විරෝධයක්.

+


රඹුක්කන ද්විත්ව ඝාතනය ගැන ප්‍රධාන සැකකරු කරුණු රැසක් හෙළිකරයි

(19.01.2023 – 21:06 +0530 – sinhala.adaderana.lk)

රඹුක්කන හුරිමළුව ප්‍රදේශයේ නිවසක් පිටුපස තරුණයන් දෙදෙනෙකු (2) ඝාතනය කර වළදැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ‘හුරිමළුවේ ෆර්හාන්’ නම් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුව අද (19) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ඝාතනවලට අවශ්‍යව සිටි ‘හලීම්’ නමැත්තා ද සමගින් ඔහු පුත්තලම ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

‘මොහොමඩ් ෆර්හාන්’ හෙවත් ‘හුරිමළුවේ ෆර්හාන්’ නම් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පුත්තලම නගරයේ සිටින බවට කෑගල්ල කොට්ඨාස අපරාධ කාර්යාංශය වෙත තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව අදාළ ප්‍රදේශයට ගිය විමර්ශන නිලධාරීන් සැකකරුව එහිදී අත්අඩංගුවට ගත්තේ නිවසක සැඟව සිටියදීය.

එමෙන්ම අදාළ ඝාතනවලට සම්බන්ධ තවත් සැකකරුවකු වන ‘හලීම්’ නමැත්තා ද ඔහු සමග සිටියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

මොවුන් දෙදෙනාට (2) නවාතැන් හා ආහාර පාන සැපයූ පුද්ගලයෙකුව ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම සැකකරුවන් භාවිත කළ බවට සැක කෙරෙන මෝටර් රථයක් ද පොලීසිය විසින් සොයාගත් අතර අද (19) දහවල් සැකකරුවන්ව කෑගල්ල කොට්ඨාස අපරාධ කාර්යාංශය වෙත රැගෙනවිත් තිබුණි.

පසුව ප්‍රධාන සැකකරු වන ‘හුරිමළුවේ ෆර්හාන්’ නමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ අදාළ තරුණයක් දෙදෙනා (2) ඝාතනය කිරීමේ අරමුණින් පහර නොදුන් බවය.

එමෙන්ම මියගිය තරුණයින් දෙදෙනාට (2) වධ හිංසා පැමිණ වූ බවත් මියගිය පසු ඔවුන් දෙදෙනාව (2) වළදැමූ බවත් සැකකරු පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා තිබේ.

අනතුරුව සැකකරුවන් දෙදෙනාව (2) ඝාතනය සිදුවූ බව කියන හුරිමළුව ප්‍රදේශයේ අදාළ නිවසට රැගෙන ගොස් තිබේ.

එහිදී සැකකරු විසින් ඝාතනය සිදුකළ ස්ථානය සහ තරුණයන් දෙදෙනා (2) වළදමා තිබූ ස්ථානය පොලිස් නිලධාරීන්ට පෙන්වා තිබුණි.

අනතුරුව ප්‍රධාන සැකකරු වන ‘හුරිමළුවේ ෆර්හාන්’ නමැත්තාගේ පියාගේ නිවසට ඔහුව රැගෙන ගිය අතර, එහි ජල ටැංකියක් අසල සඟවා තිබූ ඝාතනයට යොදාගත් බවට සැකකෙරෙන කඩු දෙකක් (2) සහ යකඩ පොල්ලක් ද පොලීසිය සොයා ගත්තේය.

සැකකරුවන්ව හෙට (20) කෑගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල කොට්ඨාස අපරාධ කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතාගේ උපදෙස් මත එහි ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා අප්සරා අබේගුණසේකර මහත්මිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

+


නව බදු ගැන මහ බැංකුව තුළින්ම දැඩි තීරණයක්

(19.01.2023 – 20:09 +0530 – sinhala.adaderana.lk)

2023 ජනවාරි 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි හඳුන්වා දෙනු ලැබූ නව බදු ව්‍යූහයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය අප්‍රසාදය පළ කර තිබේ.

මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා වෙත ලිපියක් යවා ඇති අතර එහි පිටපතක් මහ බැංකු අධිපතිවරයාට ද යොමු කර ඇත.

මෙහිදී මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවමින් පවසන්නේ නව බදු තන්ත්‍රය විවිධ පැතිවලින් දැඩි හානියක් සිදුකරනු ඇති බවය.

මේ අතර රජය විසින් ක්‍රියාත්මක කර ඇති අසාධාරණ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් ලංකා බැංකු සේවක සංගමය ද අද (19) දහවල් කොටුව ලංකා බැංකු පරිශ්‍රයේදී විරෝධතා රැස්වීමක් සංවිධානය කර තිබුණි.

මෙවැනි පසුබිමක රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, බැංකු නිලධාරීන්, විධායක නිලධාරීන්, ඉංජිනේරුවන් සහ රාජ්‍ය නිලධාරීන් ඒකාබද්ධව අද ‘වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව’ යන නමින් නව සංවිධානයක් පිහිටවනු ලැබීය.

ඒ අනුව වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව අද (19) ප්‍රකාශ කළේ, රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව එළැඹෙන සතිය ‘කළු සතියක්’ බවට ප්‍රකාශයට පත් කරමින් රට පුරා විරෝධතා මාලාවක් සංවිධාන කරන බවය.

+


බස් බස් රේස් – යතුරුපැදිකරු යට වෙයි

(19.01.2023 – 15:50 +0530 – sinhala.adaderana.lk)

එකිනෙක ඉස්සර කිරීමට අධික වේගයෙන් ධාවනය වූ පෞද්ගලික බස් රථ දෙකකින් (2) එක් (1) බස් රථයකට යතුරුපැදිකරුවෙක් යටවීමෙන් අද (19) උදෑසන අනතුරක් සිදුවී තිබුණි.

අනතුර සිදුවී තිබුණේ හයිලෙවල් මාර්ගයේ පනාගොඩ ලක්ෂපාණ වංගුව අසලදීය.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරුව ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කෙරුණි.

සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

+


අමෙරිකානු තානාපතිනි ජූලි චුන්ග් මැතිණියගේ බොරු ප්‍රචාර වලට රැවටීමට තරම් චීන හෝ ශ්‍රී ලාංකික ජනතාව මෝඩ නැහැ – චීන රුසියා සහයෝගිතාවය සඳහා වන ශ්‍රී ලාංකික විද්වත් සංසදයේ ලේකම් නීතිඥ රාජා ගුණරත්න

(19.01.2023 – 22:34 +0530 – lankaleadnews.com)

දිගින් දිගටම ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චුන්ග් මහත්මිය ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ණය අර්බූදයට හේතුව ‘චීන ණය’ බව අවධාරණය කරමින් කරණු ලබන අසත්‍යය ප්‍රකාශ සම්බන්ධයෙන් ‘ලංකා ලීඩ්’ වෙබ් අඩවිය ‘චීන රුසියා සහයෝගිතාවය සඳහා වන ශ්‍රී ලාංකික විද්වත් සංසදයේ’ ලේකම්, විවෘත විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ රාජා ගුණරත්න මහතා ගෙන් විමසන ලදී. ඒ සම්බන්ධයෙන් ඒ මහතා දැක්වූ අදහස් දක්වමින් :

“අමෙරිකාව ලෝකය මත සිය ආධිපත්‍ය පතුරුවා හැරීමට මිලිටරි බලයට අමතරව ප්‍රධාන වශයෙන් බොරුව ජාත්‍යන්තර වශයෙන් සමාජගත කිරීම කරණු ලබනවා. ඔවුන් හිට්ලර්ගේ නාසි හමුදාවේ සිටි ගොබෙල්ස් හඳුන්වා දුන් න්‍යාය හිට්ලර්ටත් වඩා හොඳින් දීර්ඝ කාලයක් තිස්සේ ලෝකය පුරා භාවිතා කරනවා. ඔවුන් මේ වන විට යුක්‍රේනයට මුවාවී රුසියාව සමඟ පැටලී ඇති යුද්දයෙන් දිනෙන් දින පරාජය ලබමින් සිටිනවා. ඔවුන්ගේ හිතවත් මෙන්ම විශ්වාසවන්තම සගයන් වන ඊශ්‍රායලය සහ කොරියාව පවා ඔවුන්ට සහයෝගය දීම ප්‍රතික්ෂේප කරමින් සිටිනවා. ඒ නිසාම අප වැනි රටවල් විනාශයෙන් විනාශයට ඇද දමා ඔවුන්ගේ ආර්ථික හානි පූර්ණය කර ගැනීමට දඟලනවා. ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලී චූන්ග් මැතිනියගේ ‘චීනා, චීනා, චීනා’ මන්තරය ජප කරන්නේත් ඒ නිසාවෙන්මයි. ඇය පසුගියදා ශ්‍රී ලංකාවේ ණය අර්බූදය සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ රූපවාහිනී වැඩසටහනක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් නැවත චීන මන්ත්‍රය ජප කිරීමට කටයුතු කළා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව කරන සාකච්ඡාවලට බාධකයක් වී ඇත්තේ චීන ණය යැයි පවසමින් චීනයට දොස් පවරන්නට කටයුතු කළා. ඇය පදනම් විරහිතව චීනයට චෝදනා කිරීමට පෙර අඩුම තරමින් තමන්ගෙන්ම අසාගත යුතු ප්‍රශ්න කිහිපයක් තිබුණා. ඒවා නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති තීරණ සම්බන්ධයෙන් නිෂේධ බලයක් ඇති තනි විශාලතම කොටස් හිමියා කවුද?. 2020 වර්ෂයේදි පමණක් ට්‍රිලියන 3 කට වඩා වැඩි ප්‍රමාණයක් එක්සත් ජනපද ඩොලර් මුද්‍රණය කළේ කවුද? ඉහළම පොලී අනුපාත සහිත ශ්‍රී ලංකාවේ මුළු විදේශ ණය තොගයෙන් 40% කට උරුමකම් පවසන පුද්ගලික ණය හිමියන් කවුද? ශ්‍රී ලංකාව එම ණය ගෙවීම පැහැර හැරීමෙන් පසු ශ්‍රී ලංකාවට එරෙහිව ෆෙඩරල් අධිකරණයේ නඩු පැවරුවේ කවුද? යන මූලික ප්‍රශ්න කිහිපයයි.

ශ්‍රී ලංකාව අර්බූදයට මුහුණ දී සිටින මේ මොහොතේදී සහල් මෙට්‍රික් ටොන් 10,000 ක්, ඩීසල් ලීටර් මිලියන 10.6 ක් හෙවත් මෙට්‍රික් ටොන් 9000 ක්, රුපියල් බිලියන 5 ක් වටිනා ඖෂධ සහ පාසල් නිල ඇඳුම් රෙදි මීටර මිලියන 3 ක් චීනය විසින් පරිත්‍යාග කළ බව ජූලි චුන්ග් මැතිනියට ඇත්ත වශයෙන්ම අමතක වූවාද නැතහොත් බොරු කීමට ගොස් පැටලී ඇත්දැයි අපට සැක සිතෙනවා. චීනය ලබා දුන් පරිත්‍යාග ‘කිසිඳු බැඳීමක් තොරව’ ලබාදුන් ඒවා යැයි කිසිඳු සැකයක් නැති වුවත් එක්සත් ජනපද ආධාර (USAID) ලබා දීමට ඉදිරිපත් කරන දේශපාලන පූර්ව කොන්දේසි මොනවාදැයි ඇයට අමතක වී ඇතැයි අපට සිතෙනවා.

ශ්‍රී ලංකාව ගිලී ඇති ණය අර්බූදය සම්බන්ධව එක්සත් ජනපදය ස්වයං විවේචනයක් කරනවා වෙනුවට දොස් පැවරීමේ ක්‍රීඩාවට අවතීර්ණ වීම එක්තරා ආකාරයක ජාත්‍යන්තර කුහකකමක් ලෙස අපට හැඟෙනවා. ජූලි චුන්ග් මැතිණිය මෙලෙස චීනය සහ ශ්‍රී ලංකාව අතර අසමගිය වැපිරිමට කටයුතු කරන්නේ ඔවුන්ගේ ශ්‍රී ලංකික මිතුරන්ට පහසුවෙන් ශ්‍රී ලංකවේ ජනයා රැවටීමට බව තේරුම් ගැනීමට පසුගිය කාලය පුරා ඇයත් ඇයගේ ශ්‍රී ලාංකික මිතුරනුත් කටයුතු කළ ආකාරයෙන් පැහැදිලි වෙනවා. ශ්‍රී ලංකාවට වඩාත් සුවපහසු විසඳුමක් ලබාදීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තුල තීරණාත්මක ක්‍රියාමාර්ග නොගත්තා පමණක් නොව එක්සත් ජනපදය සෑම වසරකම රොකට් වේගයෙන් මුද්‍රණය කරන ඇමරිකානු ඩොලර් ප්‍රමාණයෙන් සොච්චමක් වියදම් කර ශ්‍රී ලංකාවට ආධාර ලබා නොදුන්නේ ඇයි දැයි යන පැනය අපට පැන නගිනවා. අවසාන වශයෙන් ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමයට දැඩි බාධා පමුණුවන්නේ කවුදැයි කිසිදු විදේශික උපදෙස් නොමැතිව විනිශ්චය කිරීමට තරම් චීන ජාතිකයන් මෙන්ම ශ්‍රී ලාංකිකයන් ද බුද්ධිමත් බව අවධාරණය කරනවා.”


මැයි 09 වාර්තාව තවමත් හංගාගෙන ඉන්නේ ඇයි ?

(19.01.2023 – facebook.com/WimalWeerawansa.sl)

පසුගිය මැයි 9 වැනිදා රටපුරා සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනය සිදුකළ ජනාධිපති කොමිසම් සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට සහ ජනතාවට ඉදිරිපත් නොකරන හේතු මොනවාදැයි පා.ම. විමල් වීරවංශ අද (19) දින පාර්ලිමේන්තුවෙන් විමසා සිටියේය.

මන්ත්‍රීවරයා පසුගිය දෙසැම්බර් 05 වන දිනද මෙම පැනයම පාර්ලිමේන්තුවෙන් විමසා සිටියේය.

+


පස් කන්දකට යට වීමෙන් හිමි නමක් අපවත් වෙයි

(20.01.2023 – 06:53 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (19) රාත්‍රී කාලයේ පේරාදෙණි පොලිස් වසමේ දඬුවාව පුරාණ රජ මහා විහාරයේ උඩ මළුවේ පූජාවක් පවත්වමින් සිටි හිමි නමකගේ ඇඟ මතට පස් කන්දක් කඩා වැටී තිබෙනවා.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ හිමි නම පේරාදෙණි ශික්ෂ්ණ රෝහලට ඇතුළු කිරීමෙන් පසු ව අපවත් වූ බව යි වාර්තා වන්නේ.

අපවත් වී ඇත්තේ, වයස අවුරුදු 18 ක දඬුවාව රජ මහා විහාරයේ වැඩ වාසය කරන හිමි නමක්.

අපවත් වූ හිමි නමගේ දේහය පේරාදෙණි රෝහල් මෘත ශරීරාගාරයේ තබා ඇති අතර, වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන්නේ, පේරාදෙණිය පොලිසිය යි ෴


සබරගමුව මහ සමන් දේවාලයේ පඬුරු සොරකම් කිරීමේ විමර්ශන සී.අයි.ඩී.යට

(20.01.2023 – 08:04 +0530 – hirunews.lk/sinhala)

සබරගමුව මහ සමන් දේවාලයේ පඬුරු කාමරයේ තිබූ මුදල් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ සිදුකිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා.

පසුගිය 08 වනදාත්, 09 වනදාත් අතර කාලසීමාවේ මෙම සොරකම සිදුව ඇති බවටයි දේවාලයේ භාරකාරත්වය පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

ඒ අනුව රත්නපුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් විමර්ශන සිදුකර තිබුණා.

ඒ අනුව පුද්ගලයන් විසි (20) දෙනෙකුගෙන් පමණ සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

කෙසේ වෙතත්, සබරගමුව මහ සමන් දේවාලයේ මුදල් බහා තිබූ ගෝනි සහිත පඬුරු කාමරයේ සී.සී.ටී.වී. කැමරා සවිකර තිබී ඇතත්, ඒවා අක්‍රීය ව පැවති බවට විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *