බෙදුම්වාදීන්ගේ, අන්තවාදීන්ගේ වුවමනාවට 13 ක්‍රියාත්මක කරන්න ජනාධිපතිවරයාට කිසිම බලයක් නැහැ

බෙදුම්වාදීන්ගේ, අන්තවාදීන්ගේ වුවමනාවට 13 ක්‍රියාත්මක කරන්න ජනාධිපතිවරයාට කිසිම බලයක් නැහැ


බෙදුම්වාදීන්ගේ, අන්තවාදීන්ගේ වුවමනාවට 13 ක්‍රියාත්මක කරන්න ජනාධිපතිවරයාට කිසිම බලයක් නැහැ

(18.01.2023 – 14:26 +0530 – lankaleadnews.com)

බෙදුම්වාදීන්ගේ, අන්තවාදීන්ගේ වුවමනාවට 13 ක්‍රියාත්මක කරන්න ජනාධිපතිවරයාට කිසිම බලයක් නැහැ – රනිල්, බැසිල් ගේම් ප්ලෑන් එක ජාතික සංවිධාන හෙළිකරයි

දේශපාලන පිටියෙන් නෙරපා දැමූ පුද්ගලයකු ලෙස රනිල් වික්‍රමසිංහ ‘පත්කළ ජනාධිපතිවරයා’ට 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමට කිසිදු අයිතියක් නොමැති බවත්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපතිවරයා ලෙස පත්කිරීම මගින් ඔහුට ඡන්දය ලබාදුන් 69 ලක්ෂයක ජනතාව ඔහු විසින් පාවාදී ඇති බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම මගින් බෙදුම්වාදීන්ට කප්පම් ලබා දීම සහ සත්‍ය සෙවීමේ කොමිසමක් මගින් ආරක්ෂක හමුදා පාවාදීම පිළිබඳව කරුණු දැක්වීම සඳහා අද (18) පෙරවරුවේ බොරැල්ල කොටා පාරේ පිහිටි ඇන්.ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

මෙම අවස්ථාවට වෛද්‍ය ගුණදාස අමරසේකර, ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම, වෛද්‍ය වසන්ත බණ්ඩාර යන මහත්වරුන් සහභාගී විය.

එහිදී 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා මුළින්ම කරුණු පැහැදිලි කිරීමක් සිදු කළේය.

13 වැනි සංශෝධනය සිදුකිරීමේ වුවමනාව ඇත්තේ ඉන්දියාවට සහ ඇමරිකාවට බවද ඔවුන් ඒ සදහා යොදාගත් පුද්ගලයා වන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බවත් ඔහු මෙහිදී පැවසීය.

මෙම මාධ්‍ය හමුවේදී ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරණගම මහතා සදහන් කර සිටියේ දීපවාලී උත්සවයට යාපනයට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට එකගවීම මගින් බෙදුම්වාදීන්ට හා අන්තවාදීන්ට අතීතයේ සිටම අවශ්‍ය වූ දේ සිදුවන බවය.

ජනාධිපතිවරයා උතුරේදී සඳහන්කර ඇත්තේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට හා මුස්ලිම් ජනතාවට මෙන්ම වතුකරයේ දෙමළ ජනතාවට ප්‍රශ්න ගණනාවක් ඇති බවටත්, ඒවා විසදීම සදහා 13 වැනි සංශෝධනය බලාත්මක කරන බවත් යැයිද මෙහිදී කල්‍යානන්ද තිරණගම මහතා පැවසීය.

එහෙත් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම මගින් 30 වසරක යුද්ධයෙන් බෙදුම්වාදීන්ට දිනාගැනීමට නොහැකි වූ දේ දිනාගැනීමට හැකි බවද, මෙම සංශෝධන බලාත්මක කිරීමෙන් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ නිජබිම ලෙස පිළිගැනීම, සිංහල ජනාවාස එම ප්‍රදේශවල ඇතිකිරීමට නොහැකි වීම, උතුරු නැගෙනහිර එක් පළාතක් ලෙස කළින් තිබූ ලෙසම ඒකාබද්ධ කිරීම මගින් ෆෙඩරල් රාජ්‍යයකට පාර කැපෙන බවද ඔහු මෙහිදී පෙන්වා දෙන ලදී.

ඒකීය ලේබලය තබාගෙන එක්සත් රටක් ලෙස කෑලි කෑලිවලට බෙදීගිය රාජ්‍යක් මේතුළින් නිර්මාණය වන බව කල්‍යානන්ද තිරණගම මහතා පෙන්වා දුන් අතර, උතුරු නැගෙනහිර භූමියේ සම්පත් පාලනය කිරීමේ අයිතිය, පොලිස් බලතල, මූල්‍ය බලතල මෙන්ම උතුරු නැගෙනහිර සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට ඇති බලය වෙනස් කිරීමෙන් රට කැබලිවලට කැඩී වෙන් වෙන බවද සදහන් කළේය.

උතුරේ දේශපාලකයන් විසින් එසේ උතුරට අවශ්‍ය වෙනම රාජ්‍යයක් නිර්මාණය කරගද්දී, නැගෙනහිර මුස්ලිම් අන්තවාදීන් අතට පත්ව එහි ඔවුන්ගේ රාජ්‍යයක් බිහිවන බවත්, වතුකරයේ දමිළ ජනයා මෙමගින් උඩරට වෙනමම තමන්ගේ රාජ්‍යයක් ගොඩනගා ගැනීම සිදුවන බවත්, අවසානයේ රට කැබලි 5 කට පමණ කැඩී යාමේ අවදානමක් මෙමගින් මතුවී අති බවත් කල්‍යානන්ද තිරණගම මෙහිදී සදහන් කළේය.

වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙම මාධ්‍ය හමුවේදී සදහන් කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමය උත්සාහ දරන්නේ පරිපාලන ක්‍රියාවලියක් හරහා බවය.

13 වැනි සංශෝධනය බලාත්මක කිරීමට ක්‍රම දෙකක් (2) ඇතිබවත්, ඉන් පළමු ක්‍රමය වන්නේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට ව්‍යවස්ථාවෙන් පනවා ඇති බාධක ඉවත්කිරීම බවත් වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය.

එහෙත් එම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කළින් උත්සාහ දරා එය පරාජය වීම නිසා මෙහි දෙවැනි ක්‍රමය වන පරිපාලනමය වශයෙන් 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා උත්සහ දරන බව ඔහු සඳහන් කළේය.

එනම් ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමැතිවරයාට යටත් කළ හැකි ආණ්ඩුකාරවරයකු පත්කිරීම මගින් මෙහි ප්‍රඥප්ති සියල්ල සම්මත කරගැනීමට හැකියාව ලැබෙන බව ඔහු පෙන්වා දුන්නේය.

මෙම සියලු සැලැසුම් ක්‍රියාත්මක වූයේ අදක ඊයෙක සිට නොව අතීතයේ සිටම බවද පැවසූ වසන්ත බණ්ඩාර මහතා 2002 වසරේදීත් රනිල් වික්‍රමසිංහ මහතා මේ සඳහා සූදානම්වූ බවත් පසුව 2015 වසරේ දීත් ඔහු මෙයට උත්සාහ දැරූ බවත් පැවසුවේය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ එදත් අදත් උත්සාහය වී තිබුණේ මේ රටේ ඉතිහාසය අවසන් කිරීමට හා බෞද්ධ ශාසනය විනාශ කිරීමට බවද, එම සැලැසුම සකස්කරන ලද්දේ ඇමරිකාව සහ ඉන්දියාව ප්‍රමුඛ රාජ්‍යයන් බවද ඔහු පෙන්වා දුන්නේය.

එහි ඉන්දියානු නියෝජිතයාගේ භූමිකාව ඉටුකරනු ලබන්නේ බැසිල් රජපක්ෂ විසින් බවත්, ඔහු ජනාධිපතිවරයා සමග එක්වී මෙම කටයුතු මෙහෙයවමින් සිටින බවද වසන්ත බන්ඩාර මහතා පැවසුවේ ය.

+


මඩවතුරෙන් නහවද්දීත් නිහඬව මානව හිමිකම් රැක්ක ශ්‍රී ලංකා පොලිසිය

(18.01.2023 – 10:17 +0530 – lankaleadnews.com)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උතුරේ ගමනට විරෝධය පළ කරමින් දෙමළ ජනතා සංවිධාන විසින් සංවිධාන කරතිබූ විරෝධතාවයකදී ශ්‍රී ලංකා පොලිසියේ රාජකාරියේ නියුතු නිලධාරීන්ව මඩ වතුරෙන් නහවන සංවේදී විඩියෝ දර්ශනයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.

එම දෙමළ විරෝධතාකරුවන් එහිදී ‘රනිල්ට අපට අල්ලස් නොදෙව්, අපේ ආදරණීයයන් නැවත දියව්’ යනුවෙනුත් විරෝධතා පුවරු රැගෙන පොලිස් නිලධාරීන් වටකරගෙන සිටි අයුරු මෙම වීඩියෝව මගින් දැකගත හැකිය.

වීඩියෝව පහළින් :

+


ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදුලිබල මණ්ඩලයෙන් රුපියල් බිලියන 108 ක ‘පොල්ලක්’

(18.01.2023 – 15:13 +0530 – hirunews.lk/sinhala)

විදුලි උත්පාදනය සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදුන් ඉන්ධන සදහා රුපියල් බිලියන 108 කට අධික හිඟ මුදලක් ගෙවීමට ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එම මුදල් ගෙවීමට කටයුතු නො කළ හොත් විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන ලබා දීමට නොහැකි බවයි එහි කළමනාකාර අධ්‍යක්ෂවරයා පවසන්නේ.

+


රියදුරු හා කොන්දොස්තරවරුන්ගේ හිඟයෙන් දිනකට බස් රථ 800 ක් නවතී

(18.01.2023 – 17:11 +0530 – hirunews.lk/sinhala)

දැනට පවතින රියදුරු හා කොන්දොස්තරවරුන්ගේ හිඟය හේතුවෙන් දිනකට ශ්‍රී ලංගම බස් රථ 800 ක් පමණ ධාවනය කරගැනීමට නොහැකි බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

එබැවින් කඩිනමින් රියදුරන් සහ කොන්දොස්තරවරුන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී අද (18) අදහස් පළ කරමින් කියා සිටියේ ෴


අපට බල ශක්තිය දී, ත්‍රිකුණාමලය අත්පත් කර ගැනීමට පැමිණෙන ඉන්දීය විදේශ ඇමති

(18.01.2023 – 17:30 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්‍ය එස්. ජයශංකර් මාලදිවයින වෙත ලඟා වී තිබෙනවා.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා මාලදිවයිනේ සංචාරයක නිරත වන්නේ ඔහුගේ ශ්‍රී ලංකා සංචාරයට පුරෝගාමීවයි.

හෙට (19) දිවයිනට පැමිණීමට නියමිත ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ දෙදින නිල සංචාරය තුල දී ශ්‍රී ලංකාව සමග ප්‍රධාන වශයෙන් අවබෝධතා ගිවිසුම් දෙකක් (2) අත්සන් කිරීමට නියමිත බව වාර්ථා වනවා.

ඒ අනුව ඔහුගේ නිල සංචාරය තුළ දී ‘ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ඇතුළු වරාය සංවර්ධන ව්‍යාපෘතිය’ සහ ‘ඉන්දීය බලශක්තිය ලබා ගැනීම සඳහා ඉඩ සලසන හරස් සමුද්‍ර සන්ධි සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදිකිරීමේ සංවර්ධන ව්‍යාපෘතිය’ සඳහා ද අත්සන් තැබීමට නියමිතයි.

මේ වන විටත් ඉන්දියාවේ අසල්වැසි රාජ්‍යයන් වන නේපාලය, භූතානය සහ බංග්ලාදේශය වැනි රටවල් මෙම බලශක්ති ජාලය හා එක්ව කටයුතු කරනවා ෴


2021 වර්ෂයේ උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

(18.01.2023 – 17:38 +0530 – hirunews.lk/sinhala)

2021 වර්ෂයේ උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, https://www.doenets.lk/ වෙබ් අඩවිය හරහා එම ප්‍රතිඵල ලබාගත හැකියි.

මෙවර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා විභාගයට පෙනී සිටි අපේක්ෂකයින් 27,012 දෙනෙකු අයදුම් කර තිබුණා ෴


ආදිවාසීන් පාර්ලිමේන්තුවට පැමිණ සිය අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පනතක් ඉල්ලයි

(18.01.2023 – 18:40 +0530 – hirunews.lk/sinhala)

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ ප්‍රමුඛ මෙරට වෙසෙන ආදිවාසී නායකයෝ රැසක් ඊයේ (17) පාර්ලිමේන්තුවට පැමිණ කථානායක මහින්ද යාපා අබේවර්ධන, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා.

ඌව, නැගෙනහිර, උතුරු මැද සහ අනෙකුත් පළාත්වල ජීවත් වන ආදිවාසී කණ්ඩායම් හමු වී ඔවුන් මුහුණ දෙන විවිධ ගැටලු සම්බන්ධයෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සකස්කළ ප්‍රතිපත්ති සහ ඉල්ලීම් මාලාවක් කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා වෙත භාර දීම එහිදී සිදු වුණා.

එමෙන්ම එහිදී පැවැත් වූ සාකච්ඡාවක දී ආදිවාසී නායකවරයා පෙන්වා දුන්නේ ආදිවාසී ජනතාවගේ පැවැත්ම, අයිතීන් සහ නිදහස පිළිගෙන ඔවුන්ගේ යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා නීති සම්පාදනය කරමින් නව පනතක් සැකසීම කාලීන අවශ්‍යතාවයක් බවයි.

තවද ආදිවාසී ජනතාවගේ උන්නතිය සඳහා යම් පියවර විවිධ අවස්ථාවල දී ගෙන තිබුණ ද ඒවාට නෛතික ශක්තිමත් බවක් නොමැති වීම නිසා ජීවනෝපාය සිදුකිරීමේ දී ආදිවාසී ජනතාවට මුහුණ දීමට සිදුවන විවිධ ගැටලු පිළිබඳව ප්‍රාදේශීය ආදිවාසී නායකයෝ එහිදී පෙන්වා දුන්නා.

1963 වර්ෂයෙන් පසු මෙරට ආදිවාසී ජනතාවගේ දත්ත සම්බන්ධයෙන් සංගණනයක් සිදුකර නොමැති වීම ගැටලුවක් බව පැවසූ ආදිවාසී නායකයා එහිදී වැඩිදුරටත් පවසා සිටියේ, 1963 වර්ෂයෙන් පසුව සිදුකරන ලද සංගණනවල දී ආදිවාසී ප්‍රජාවගේ දත්ත ‘වෙනත්’ යන කාණ්ඩය යටතේ වර්ගීකරණය කිරීමෙන් අසාධාරණයක් සිදුව ඇති බවයි.


සුන්දර කතාවෙන් ගැමියන් අල්ලාගත් ‘කළුගල සණස බැංකු කළමනාකරු’ යතුරුත් එක්ක අතුරුදන්

(18.01.2023 – dinamina.lk)

කටුගස්තොට පොලිස් වසමේ කළුගල පිහිටි සණස බැංකුවේ කළමනාකාරවරයා පසුගිය 10 දා සිට අතුරුදන්ව ඇති නිසා බැංකුවේ මුදල් තැන්පත් කළ 800 කට වැඩි ගනුදෙනුකරුවෝ පිරිසක් දැඩි අපහසුතාවට පත්ව සිටිති.

මේ පුද්ගලයා පසුගිය 10 දා සිට ආ-ගිය අතක් නැති බවට ඔහුගේ පුතා විසින් කටුගස්තොට පොලිසිය වෙත පැමිණිල්ලක්ද කර තිබේ.

1982 වසරේ පමණ ආරම්භ කර ඇති මේ බැංකුවේ එදා පටන් මේ දක්වාම කළමනාකාරවරයා වශයෙන් කටයුතු කර ඇත්තේ මේ පුද්ගලයාය. කළුගල, කහල්ල, එගොඩගම, මෙගොඩගම, අඹැතැන්න,සසිරාකොටුව, මොළගොඩයාවත්ත, අක්කර 22, දෙමටගහදිරම, මිල්ලංග ආදි ගම්මානවල වෙසෙන බොහෝ පිරිසක් මේ සණස බැංකුව හා සම්බන්ධ වී ඇත්තේ ‘පියදාස’ නමැත්තාගේ ආකර්ෂණීය කතාබහ නිසාය. මුළු දිවයිනටම සාමදාන විනිෂ්චකාරවරයෙකුද වූ පියදාස නමැත්තා ගමේම උපන් පුද්ගලයකු වන අතර, ඔහු පදිංචිව සිට ඇත්තේ බැංකුවට යාබද පිහිටි නිවෙසකය. ගඩොළු කැපීමෙන් හා කුලී වැඩ කරමින් දිවි සරි කරගන්නා ගම්වැසියන් තමන් උපයාගත් මුදල් නගරයේ බැංකුවල නොදමා, ගමේම පිහිටි සණස බැංකුවේ තැන්පත් කිරීමටත්, ගමේ සමිති සමාගම්වල මුදල් සණසේ තැන්පත් කිරීමටත් පෙලඹී ඇත්තේ මේ පුද්ගලයා කෙරෙහි තැබූ විශ්වාසය නිසා බව ගනුදෙනුකරුවෝ කියා සිටිති. මේ ලෙස තැන්පත් කර ඇති මුදල දළ වශයෙන් රුපියල් කෝටි 8 කට වැඩි බවද ඔවුහු පවසති.

2023 නව වසරේ ගනුදෙනුකරුවන්ට 27% ක පොලියක් දෙන බවට ඔහු විසින් බැංකුව ඉදිරිපිට දැන්වීමක් අලවා ඇති අතර, එවැනි දැන්වීම් පත්‍රිකා ගනුදෙනුකරුවන් හටද බෙදා දී තිබේ. ගනුදෙනුකරුවන්ට තම නිවෙස්වල කැට දමා ඒවාට මුදල් එකතු කර බැංකුවට ගෙනැවිත් දුන් පසු කළමනාකරු ඒවා ගණන් කර ඒ මුදල බැංකු පොත්වල තැන්පත් කළ බවත්, ඒ කැටවල යතුරු ගනුදෙනුකරුවන්ට නොදී කළමනාකරු ළඟම තබාගෙන සිටි බවත් ඔවුහු පවසති. කළමනාකාරවරයා විසින් සණස බැංකුව වසාදමා ඇති බව දැනගත් ගනුදෙනුකරුවෝ විශාල පිරිසක් ඊයේ (17) පෙරවරුවේ බැංකුව ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිතර වූහ.

විරෝධතාවට එක් වූ බොහෝ දෙනා තමන්ට සිදුව ඇති අසාධාරණය ගැන මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ හඬා වැලපෙමිනි :

වීරසිරි නීරකැටිය අදහස් දැක්වූයේ මෙලෙසිනි : “මගෙත් රුපියල් තුන් ලක්ෂ විසිදාහක (3,20,000) පමණ මුදලක් මේ බැංකුවේ තියෙනවා. හිටපු කළමානකරවරයා හරිම දක්ෂ විදියට මේ ගම්මානවල ජනතාව තමන්ගේ මුඛරිභාවයෙන් අල්ල ගත්තා. ලේකම් හා භාණ්ඩාගරිකවත් මෙයා නොමඟ යවලා. මේ වටේ ඉන්න ජනයා කකුල්වලින් මැටි පාගලා මුදල් හොයපු අය. ඒ සියලු දෙනා මේ මුදල් දැම්මේ බැංකුව පිළබඳ විශ්වාසෙන්. අපට පොලිසියේදි කිවුවා ඇයි මේච්චර බැංකු තියෙද්දි මේවායේ මුදල් දැම්මේ කියල. ඒත් සණස බැංකුව කියන්නෙ ලංකාවේ පිළිගත් බැංකුවක්. මම කාරුණිකව ඉල්ලනවා මෙහි සභාපතිත්වය දරන කිරිවන්දෙණිය මහත්තයාගේ ඇස ඇරේවා කියල. කටුගස්තොට පොලිස් ස්ථානධිපතිතුමනි, අපි වැරදි විදියට මුදල් ඉපයුවේ නැහැ. ඒවා සාධාරණව දුක සේ ඉපැයූ මුදල්. සමුපකාර දෙපාර්තමේන්තුවත් පොලිසියත් සාධාරණ පරීක්ෂණයක් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.”

පී.ජී. දයාවතී මෙගොඩගම, පී.ජී. ශ්‍රියාණි, පී.ජී. සුමනාවතී, කේ.ජී. ඉන්ද්‍රපාල යන අයද මෙහිදී අදහස් දැක්වූහ ෴

++++++++

කටුගස්තොට බැංකුවක සභාපති රුපියල් කෝටි 7 ක් සමග අතුරුදන්

(18.01.2023 – 19:28 +0530 – hirunews.lk/sinhala)

සභාපතිවරයා රුපියල් කෝටි 7 කට වැඩි මුදලක් රැගෙන අතුරුදන්වී ඇති බව පවසමින් සහ තමන්ගේ තැන්පතු මුදල් ලබා දෙන ලෙස ඉල්ලමින් ගනුදෙනුකරුවන් පිරිසක් කටුගස්තොට – කහල්ල ප්‍රදේශයේ පිහිටි බැංකුවක් ඉදිරිපිට අද (18) විරෝධතාවයක නිරත වුණා.

ඔවුන් කියා සිටියේ දහසකට (1000) වැඩි පිරිසක් එහි මුදල් තැන්පත්කර ඇති බවයි.

++++

මේ අතර, ව්‍යාජ හැදුනුම්පතක් ඉදිරිපත් කර රුපියල් මිලියන 65 ක මුදලක් රජයේ ප්‍රධාන බැංකුවකින්, වංචා කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් එම බැංකුවේම මුදල් අංශයේ නිළධාරියෙකු ලබන මස පළමු වැනිදා (01) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ අදාළ බැංකුවේ සේවකයන් පිරිසක් විසින් සංවිධානාත්මකව මෙම මුදල් වංචාව සිදු කර ඇති බවයි.

ඒ අනුව, තවදුරටත් විමර්ශන සිදු කරන බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ ෴


රජයේ රෝහල්වල සුළු සේවකයින් රාජකාරී වේලාවන් තුළ මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් රෝගීන් අපහසුතාවයට

(18.01.2023 – 20:07 +0530 – hirunews.lk/sinhala)

රජයේ ඇතැම් රෝහල්වල සුළු සේවකයින් රාජකාරී වේලාවන් තුළ අයිස් හා ගංජා භාවිතා කර සේවය කරන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා.

ඒ හේතුවෙන් ඇතැම් සුළු සේවකයින් රෝගීන්ගේ බඩු භාහිරාදිය පවා සොරකම් කිරීමට පෙළඹී ඇති බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.

කොළඹ ජාතික රෝහලේ සේවකයෙකු රාජකාරී වේලාව තුළ සිය නිල ඇඳුමින්ම ගංජා භාවිතා කරන බවට දර්ශන සාක්ෂි සහිතව මේ වනවිට තහවුරු වී තිබෙනවා.

ඇතැම් සෞඛ්‍ය සේවකයින් මෙලෙස මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් රෝගීන්ට බලපෑම් එල්ල වී ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කළේ.

+


ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

(19.01.2023 – 09:26 +0530 – sinhala.adaderana.lk)

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඇය 88 හැවිරිදි වියේ පසුවිය.

ඇය ආසියාවේ මහා සිනමාකරුවකු මෙන්ම හෙළයේ මහා සිනමාවේදියා ලෙස ද සැලකූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ගේ බිරිඳයි ෴


ප්‍රේමකීර්ති ඝාතකයන් මාවටා කැරකෙනවා – ඝාතකයාගේ නමත් සමඟ නිර්මලා අල්විස් ඇඬූ කඳුළින් හෙළිකරයි (18.01.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *