‘අද දෙරණ උකුස්සා’ හෙළි කළ වකුගඩු ජාවාරමේ වෛද්‍යවරුන් ගැනත් විමර්ශන

‘අද දෙරණ උකුස්සා’ හෙළි කළ වකුගඩු ජාවාරමේ වෛද්‍යවරුන් ගැනත් විමර්ශන


‘අද දෙරණ උකුස්සා’ හෙළි කළ වකුගඩු ජාවාරමේ වෛද්‍යවරුන් ගැනත් විමර්ශන

(17.01.2023 – 21:43 +0530 – sinhala.adaderana.lk)

‘අද දෙරණ උකුස්සා’ අනාවරණ කළ, බොරැල්ලේ පෞද්ගලික රෝහලක සිදුකළ වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාස විසින් අත්අඩංගුවට ගනු ලැබූ ග්‍රාම නිලධාරීන් දෙදෙනා (2) හා ප්‍රධාන තැරැව්කරුවන් දෙදෙනා ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (17) නියම කළේය.

නඩුව අද (17) කැඳවූ අවස්ථාවේදී අනාවරණ වුණේ සැකකාර එක් ග්‍රාම නිලධාරියෙක් විදේශිකයෙකුට මෙරට පදිංචිකරුවෙකු බවට තහවුරු කෙරෙන ග්‍රාම නිලධාරී සහතිකයක් ද සකස් කරදී ඇති බවය.

දිළින්දන්ට මුදල් ලබාදෙන බව පවසා ඔවුන් මුලාකර බොරැල්ලේ පෞද්ගලික රෝහලක් තුළදී සිදුකළ වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් ‘අද දෙරණ උකුස්සා’ පසුගිය දිනවල ආන්දෝලනාත්මක අනාවරණයක් සිදුකළේය.

අනාවරණයෙන් පසු සිද්ධියේ ප්‍රධාන තැරැව්කරු වන ‘බායි’ නැමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පළමුව අත්අඩංගුවට ගනු ලැබූ අතර ඊයේ (16) දහවල් තවත් තැරැව්කරැව්කරුවකු අත්අඩංගුවට ගැනුණි.

එමෙන්ම කොළොන්නාව දහම්පුර සහ රාජගිරිය යන ග්‍රාමසේවා වසම් දෙකේ (2) ග්‍රාම නිලධාරීන් දෙදෙනා (2) විමර්ශකයින් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පුද්ගලයන් දෙදෙනෙකුට (2) ව්‍යාජ සහතික නිකුත් කරමින් වකුගඩු ජාවාරම්කරුවන්ට ආධාර අනුබල දීම සම්බන්ධයෙනි.

සැකකරුවන් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවට අද (17) ඉදිරිපත් කෙරුණි.

කොළඹ අපරාධ කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ සමන් පෙරේරා හා උපුල් ඉන්ද්‍රජිත් යන ග්‍රාම නිලධාරීන් දෙදෙනා (2) වකුගඩු ලබාදෙන පුද්ගලයාට සහ ලබාගන්නා පුද්ගලයාට අනීතික ලෙස ග්‍රාම නිලධාරී සහතික නිකුත් කර ඇති බවය.

මොවුන්, අබුඩාබි ජාතිකයෙකු වන ‘අහමඩ් අල් කුබේනි’ නම් පුද්ගලයාට මෙරට ජාතික හැඳුනුම්පතක් සහ පදිංචිය සනාථ කරමින් ග්‍රාම සේවා සහතිකයක් නිකුත් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

එක් ග්‍රාම සේවා සහතිකයකට මොවුන් දෙදෙනා රුපියල් 20,000 බැගින් මුදල් ලබාගෙන ඇති බව එහිදී හෙළිවී ඇත. 

බොරැල්ලේ පෞද්ගලික රෝහලේ සිටින ‘සෆ්රාන්’ නැමැත්තෙකු මොවුන් සම්බන්ධීකරණය කර ඇති බවත් ඔහු මේ වනවිට රටින් පළාගොස් ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

කොලොන්නාව දහම්පුර ග්‍රාම නිලධාරියාවරයා ග්‍රාම සේවා සහතික නිකුත්කළ පොත ද මේ වනවිට අස්ථාන ගතවී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

“වකුගඩු ලබාදෙන්නා සහ ලබාගන්නා පුද්ගලයා ‘එතිකල් කමිටිය’කට යන්න ඕනේ. ඒ යන අයට රෝහලේ නිලධාරීන් පුහුණු කරනවා බොරු කියන්න. ඒක මිනිස් ජාවාරමේ සුවිශේෂී ලක්ෂණයක්” ලෙසත් ඔහු සඳහන් කළේය.

එහිදී අතිරේක මහ‍ෙස්‍ත්‍රාත්වරිය විමසුවේ “කිසිඳු කරුණක් සොයා නොබලාම ග්‍රාම නිලධාරීන් ග්‍රාම සේවා සහතික නිකුත් කර ඇත්ද?” යන්නය.

ග්‍රාම නිලධාරීන්ගේ අභිමතය පරිදි ග්‍රාම සේවා සහතික නිකුත් කිරීමට හැකියාව ඇති බව සැකකාර ග්‍රාම නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා එහිදී සඳහන් කළේය.

එසේනම් ත්‍රස්තවාදීන්ට වුවත් එම ක්‍රමය යටතේ ග්‍රාම සේවා සහතික ලබාදීමට හැකි බවත් එය ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් බැවින්, චක්‍රලේඛ තිබුණ ද එලෙස කළ නොහැකි බව මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

දිලීප පීරිස් මහතා පැවසුවේ මොවුන් විදේශිකයාට නිකුත් කර ඇති ග්‍රාම සේවා සහතිකයේ ඔහු මෙරට පදිංචිකරුවකු ලෙසට තහවුරු කර ඇති බවය.

මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් සඳහන් කළේ, වකුගඩු බද්ධ කළ වෛද්‍යවරු තවමත් නිදැල්ලේ සිටින බවය.

පියවරෙන් පියවර විමර්ශන සිදුකරන බව දිලීප පීරිස් මහතා ඊට ප්‍රතිචාර ලෙස පැවසීය. 

කරුණු සලකා බැලීමෙන් පසු ග්‍රාම නිලධාරීන් දෙදෙනා (2) ඇතුළු සැකකරුවන් සිව්දෙනා ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

+


සතියක් තුළ ඩෙංගු රෝගීන් 2,000 ඉක්මවයි

(18.01.2023 – 06:56 +0530 – sinhala.adaderana.lk)

මෙම මස දෙවන (2) සතිය තුළ ඩෙංගු රෝගීන් 2,030 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

පසුගිය 09 සිට 15 වනදා දක්වා කාලය තුළ එම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බව එම ඒකකය සඳහන් කළේය.

අදාළ කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 452 ක් වේ.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 417 ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 257 ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 123 ක්, කල්මුනේ ප්‍රදේශයෙන් 107 ක්, යාපනය දිස්ත්‍රික්කයෙන් රොගීන් 103 ක් වාර්තා වී ඇති බව සඳහන්ය.

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 4,172 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ සඳහන් කළේය ෴


උසස් පෙළ උපකාරක පංති ඊයේ (17) රාත්‍රියේ සිට තහනම්

(18.01.2023 – 07:37 +0530 – sinhala.adaderana.lk)

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති පැවැත්වීම ඊයේ (17) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණි.

උසස් පෙළ විභාගය ලබන 23 වනදා ආරම්භවීමට නියමිත අතර ඊට දින 05 කට පෙර උපකාරක පංති පැවැත්වීම තහනම් වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේය.

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ජනවාරි මස 23 වනදා සිට පෙබරවාරි මස 17 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

විභාගය හේතුවෙන් රජයේ සහ රජයේ අනුමත සියලු පෞද්ගලික පාසල් ලබන 20 වනදා සිට වසා දැමෙන අතර තෙවන (3) පාසල් වාරයේ තෙවන (3) අදියර සඳහා එම පාසල් යළි පෙබරවාරි මස 20 වන දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය ෴


මුදල් ආරවුලට පානදුර ප්‍රදේශයේ ගෙයක් ගිනි තියලා – තුවාලකරුවන් රෝහලට

(18.01.2023 – 08:48 +0530 – sinhala.adaderana.lk)

පානදුර ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෝදරවිල මහල් නිවාස සංකීර්ණයේ නිවසකට කිසියම් පිරිසක් ගිනිතබා විනාශ කර ඇතැයි පානදුර දකුණ පොලීසිය පවසයි.

ගින්නෙන් ජීවිත හානි සිදුව නොමැති බවත් සිදුව ඇති දේපල හානිය මෙතෙක් ගනන් බලා නොමැති බවත් පොලීසිය සදහන් කරයි.

ඊයේ (17) පස්වරුවේ පානදුර ජනප්‍රිය මාවතේදී මුදල් ආරවුලක් හේතුවෙන් දෙපිරිසක් අතර ගුටිබැට හුවමාරුවක් සිදුව ඇති බවත් එයින් පහරකෑමට ලක්වූ දෙදෙනෙකු (2) පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලීසිය පැවසීය.

එම පහරදීම මුල්කර ගනිමින් ඊයේ (17) රාත්‍රි 10:30 ට පමණ මෝදරවිල මහල් නිවාස සංකීර්ණයට පැමිණි නාඳුනන පිරිසක් පහරදීම සිදුකර එහි තුන්වන (3) මහලේ නිවසකට ගිනි තබා ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී තහවුරුව ඇති බව උසස් පොලිස් නිලධාරීයෙක් සඳහන් කළේය.

මොරටුව මහ නගර සභාවේ ගිනි නිවන රථයක් පැමිණ ප්‍රදේශවාසීන්ගේ සහායෙන් ගින්න පාලනය කර ඇතත් දැඩි ලෙස හානි සිදුව ඇතැයි සඳහන් වේ.

තුවාලකරුවන් පානදුර මුලික රෝහල් නේවාසිකව ප්‍රථිකාර ලබන බව රෝහල් ප්‍රකාශයකයෙක් පැවසීය.

පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාවුල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.

+


යාපනයේදී රුපියල් ලක්ෂ 10 ක අල්ලස් ගත් පොලිස් නිලධාරියා අත්අඩංගුවට

(18.01.2023 – 12:02 +0530 – sinhala.adaderana.lk)

යාපනයේදී රුපියල් ලක්ෂ 10 ක අල්ලසක් ගැනීමට උත්සාහ කළ පොලිස් නිලධාරියෙක්ව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (17) සවස යාපනය ඉරණමඩු ප්‍රදේශයේ කංකානි හන්දියේදී අදාළ පොලිස් කොස්තාපල්වරයාව අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසීය.

එම ප්‍රකාශකයා පැවසුවේ සැකකරු ඉඩමක් නීතිවිරෝධී ලෙස පවරා ගැනීමක් සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු කටයුත්තකට උදව් කිරීම සඳහා පැමිණිලිකරුගෙන් රුපියල් ලක්ෂ 10 ක මුදලක් ඉල්ලා ඇති බවය.

එම මුදල ලබාගන්නා අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ ෴


බසයට ගොඩ වුණු තරුණයින් දෙදෙනා (2) ‘යකා නටයි’ – මවකට දිවි අහිමිවෙයි (CCTV)

(18.01.2023 – 13:39 +0530 – sinhala.adaderana.lk)

මගීන් පිරිසක් බස් රියදුරෙකුට පහරදීමට උත්සාහ කිරීමේදී සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් වැලිගම ප්‍රදේශයෙන් පසුගිය දා වාර්තා වුණි.

කාන්තාව අනතුරට ලක්ව ඇත්තේ, මාතර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක ගැටී අනතුර සිදුවේ.

පසුගිය 16 වැනිදා මාතර සිට කොළඹ බලා පැමිණෙමින් සිටි එම බස් රථයට රාත්‍රී 9 ට පමණ වැලිගම ප්‍රදේශයෙන් තරුණයන් දෙදෙනෙකු (2) ගොඩවී තිබේ.

‘රෙස්ට් හවුස් හංදියෙන්’ බස් රථය නවත්වන ලෙස මෙම තරුණයන් දෙදෙනා (2) කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමත් සමග දෙපාර්ශ්වය අතර බහින් බස්වීමක් සිදුව තිබුණි.

අදාළ ස්ථානයෙන් රියදුරු බස් රථය නොනවත්වා ධාවනය කෙරුණත් තරුණයන් දෙදෙනා (2) ධාවනය වෙමින් තිබූ බස් රථයෙන් බිමට පැන තිබේ.

පසුව එම තරුණයන් දෙදෙනා (2) නැවතත් පසුපස දොරින් බස් රථයට ගොඩවී රියදුරු ආසනය වෙත පැමිණ රියදුරුට පහරදෙන ආකාරය බස් රථය තුළ සවිකර තිබූ CCTV කැමරාවේ සටහන්ව තිබුණි.

එහිදී රියදුරුට බස් රථය පාලනය කිරීම අපහසු වන අතර රියදුරුගේ පාලනයෙන් ගිලිහී යන බස්රථය බස් නැවතුම්පොළක සිටි කාන්තාවක සහ දරුවෙකුගේ ගැටී තිබේ.

අනතුරින් අදාළ කාන්තාව එම ස්ථානයේදී ම මියගොස් ඇති අතර දරුවා මතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

සිද්ධියට සම්බන්ධ වූ රියදුරු හා අනෙක් තරුණයන් දෙදෙනා (2) වැලිගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

+


උප්පැන්න අයදුම්පත්‍ර අවසන් වීම ගැන රජයේ මුද්‍රණාලයයෙන් ප්‍රකාශයක්

(18.01.2023 – 07:46 +0530 – hirunews.lk/sinhala)

උප්පැන්න සහතික අයදුම්පත්‍ර අවසන්ව ඇති බැවින් මරණ සහතික අයදුම්පතෙහි උප්පැන්න බව සඳහන් කොට අවශ්‍ය තොරතුරු ලබාදෙන ලෙසට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රදර්ශනය කර තිබෙන දැන්වීමක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

උප්පැන්න සහතික සහ මරණ සහතික අයදුම්පත් මුද්‍රණය කිරීම සිදු කරනු ලබන්නේ, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් වන අතර රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවෙන් ලබාදෙන ඇනවුම් අනුව එම අයදුම්පත් අවශ්‍යතාව මුද්‍රණය කර දීම සාමාන්‍ය ක්‍රමවේදය යි.

මෙලෙස උප්පැන්න සහතික අයදුම්පත්‍ර අවසන්වී ඇති බවට සමාජ මාධ්‍යයේ පළවන වාර්තා සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමක දී රජයේ මුද්‍රණාලය සඳහන් කළේ, රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවෙන් ලබාදුන් ඇනවුම් සියල්ල අවසන් කර යළි භාර දී ඇති බව යි.

පවතින ඩොලර් හිඟය හේතුවෙන් පසුගිය දිනවල දී කඩදාසි හිඟයක් මතු ව තිබුණ ද මේ වන විට එම තත්වයේ යම් පාලනයක් සිදු ව ඇති බැවින්, ලබාදෙන ඇනවුම් අනුව මුද්‍රණ කටයුතු දෛනික ව සිදු කරමින් සිටින බව ද රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව කියා සිටියා ෴


‘කන්ජිපානි ඉම්රාන්’ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ ජාලය මෙහෙයවූ පුද්ගලයෙකු අත්අඩංගුවට

(18.01.2023 – 09:19 +0530 – hirunews.lk/sinhala)

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘කන්ජිපානි ඉම්රාන්’ගේ සෘජු මෙහෙයවීමෙන් කොළඹ ප්‍රදේශයේ විවිධ වෙඩි තැබීම් හා මනුෂ්‍ය ඝාතන සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය කෙසෙල්වත්ත අක්බාර් පටුමඟ ප්‍රදේශයේ ඊයේ (17) සිදු කළ වැටලීමක දී මෙලෙස මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ 41 හැවිරිදි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

2018 වසරේ බොරැල්ල ප්‍රදේශයේදි පුද්ගලයෙකු ඝාතනය කිරීම, ජුම්මා මස්ජිත් පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනයට තැත් කිරීම, ලක්ෂිත සෙවන මහල් නිවාස සංකීර්ණය අසල දී පුද්ගලයෙකු ඝාතනයට තැත් කිරීම, ජුම්මා මස්ජිත් පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තැබීම, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනයට තැත් කිරීම සහ 2019 වසරේ දී හෙරෝයින් මිලිග්‍රෑම් 6150 ක් සහ අත්බෝම්බයක් සන්තකයේ තබා ගැනීම මොහුට එරෙහි ව පවතින චෝදනා යි.

එමෙන්ම විදෙස්ගත ව සිටින නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘මධුශාන් ආබෲ’ සහ ‘නදීෂ් කුමාර’ හෙවත් ‘බබා’ නමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ පුද්ගලයෙකු අහුන්ගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර පසුගිය වසරේ දෙසැම්බර් මස 18 වනදා හංවැල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තැබීම සඳහා සැකකරුවන්ට යතුරුපැදියක් ගෙනවිත් භාර දුන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

24 හැවිරිදි සැකකරු විදේශ රටක සිට මෙහෙයවනු ලබන සංවිධාන්තම අපරාධ කණ්ඩායමක සාමාජිකයෙකු බවද විමර්ශනවලදී අනාවරණය වුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *