කොළඹ තුරඟ තරග පිටියේදී සරසවි සිසුවිය ඝාතනය වේ – ඝාතක සරසවි ‘පෙම්වතා’ පැය 4 න් අල්ලයි

කොළඹ තුරඟ තරග පිටියේදී සරසවි සිසුවිය ඝාතනය වේ – ඝාතක සරසවි ‘පෙම්වතා’ පැය 4 න් අල්ලයි


කොළඹ තුරඟ තරග පිටියේදී සරසවි සිසුවිය ඝාතනය වේ – ඝාතක සරසවි ‘පෙම්වතා’ පැය 4 න් අල්ලයි

(18.01.2023 – divaina.lk)

‘ප්‍රේම සම්බන්ධතාවක්’ මුල්කරගෙන ඇතිවූ ආරවුලක් මත කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ තුන්වන වසරේ ශිෂ්‍යාවක කොළඹ තුරඟ තරග පිටිය අසලදී ඊයේ (17 වැනිදා) දහවල් තියුණු ආයුධයකින් ගෙල කපා සාහසික අන්දමින් ඝාතනය කර පලා ගිය ‘පෙම්වතා’ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ක්‍ෂණිකව ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී ඝාතනය සිදුවී පැය 4 ක් ගතවීමට පෙර සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකාර පෙම්වතා කැලණි ගඟට පැන දිවි නසාගැනීමට උත්සාහ ගනිද්දී පොලිසිය විසින් එය වළකා ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කොළඹ විශ්වවිද්‍යාලයේම විද්‍යාපීඨයේ අධ්‍යාපනය ලබන සිසුවකු වන අතර ඔහුගේ නිවසේ තිබී පෙම්වතිය ඝාතනය කිරීමට යොදාගත් ලේ තැවරුණු පිහිය සහ පොත් බෑගය ද පොලිසිය මගින් සොයාගෙන ඇත.

පොලිසිය ක්‍ෂණිකව ක්‍රියා නොකරන්නට සැකකාර පෙම්වතා ද දිවි හානිකර ගැනීමට ඉඩ තිබූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

සිය පෙම්වතා අතින් මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කිරිවත්තුඩුව හෝමාගම පදිංචිව සිටි 24 හැවිරිදි ‘චතුරි හංසිකා මල්ලිකාරච්චි’ නමැති සිසුවියක බව පොලිසිය පවසයි.

ඊයේ (17) දහවල් 12:30 ට පමණ මෙම ශිෂ්‍යාව සිය පෙම්වතා ද සමග කොළඹ තුරඟ තරග පිටිය අසල සිමෙන්ති පඩියක වාඩිවී කතා කරමින් සිට ඇත. එහිදී දෙදෙනා අතර ආරවුලක් හටගෙන ඇති අතර පෙම්වතා තියුණු ආයුධයකින් ඇගේ ගෙල කපා ඝාතනය කර පලා ගොස් තිබේ.

තුරඟ තරග පිටිය ආසන්නයේ මාර්ග පිරිසිදු කිරීමේ යෙදී සිටි පුද්ගලයකු මෙම සිසුවිය වැටී සිටිනු දැක ඒ බව පොලිසියට දැනුම්දී ඇත. සිද්ධිය සැලවූ වහාම පොලිසිය එම ස්ථානයට පැමිණ ඇති අතර ඒ වනවිටත් සිසුවිය මියගොස් සිට ඇත.

සිසුවිය වැටී සිටි ස්ථානය රුධිරයෙන් නැහැවී ගොස් තිබූ අතර ඇගේ සිරුර පුරා රුධිරය ගලා ගොස් තිබූ බව පොලිසිය පවසයි. එම ස්ථානයේ තිබී සිසුවියගේ බවට සැක කරන පොත් බෑගය, ජංගම දුරකථනය සහ දින පොත පොලිසිය සොයාගෙන තිබේ.

පෙම්වතාගේ බවට සැකකරන ජංගම දුරකථනයක් ද එහි වැටී තිබී පොලිසිය සොයාගෙන ඇත.

මෙම ඝාතනයට හේතුව කුමක් දැයි මෙතෙක් අනාවරණය වී නැතත් ප්‍රේම සම්බන්ධය පිළිබඳව ඇති වූ ආරවුලක් ඊට හේතු වන්නට ඇති බවට පොලිසිය සැක කරයි. ඝාතනයට ලක්වූ හංසිකා 2019 වර්ෂයේ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයට ඇතුළත් වී ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් චතුරි හංසිකාගේ සමීප මිතුරු මිතුරියන් කීපදෙනකුගෙන්ම පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර පෙම්වතා කුරුඳුවත්ත පොලිසියේ රඳවාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත විමර්ශන පැවැත්වෙයි.

~ හේමන්ත රන්දුණු

++++++++++

සරසවි ‘පෙම්වතා’ගේ පිහි පහරින් සරසවි සිසුවිය මරුට

(18.01.2023 – dinamina.lk)

•’එයා වෙන කෙනෙක් ළඟට යයි කියලා බය හිතුණා’ – සැකකාර සිසුවා කියයි
• දෙදෙනාම කොළඹ සරසවියේ විද්‍යා පීඨයේ තෙවැනි වසරේ

පෙම්වතියගේ ගෙල කපා මරා දැමුවේ ඇය තමා අතහැර යනු ඇති බවට පැවති බිය නිසා යැයි කොළඹ තුරඟ තරග පිටියේදී සිය පෙම්වතියගේ ගෙල කපා මරා දැමූ ‘පෙම්වතා’ විසින් පොලිස් ප්‍රශ්න කිරීමේදී ඊයේ (17) පවසා තිබේ.

පෙම්වතා විසින් මෙසේ ගෙල කපා මරා දමා ඇත්තේ කොළඹ සරසවියේ විද්‍යා පීඨයේ තෙවැනි (3) වසරේ අධ්‍යාපනය ලැබූ සිසුවකගේය.

හෝමාගම කිරිවත්තුඩුව පුබුදු උයනේ පදිංචි චතුරි හංසිකා මල්ලිකාරච්චි (24) නමැති මේ සිසුවිය මෙසේ සිය පෙම්වතාගේ පිහිපහරකින් ඝාතනය වූයේ ඊයේ (17) සවස 01:00 ට පමණය.

ඇගේ ගෙල කපා මරා දැමූ පෙම්වතාද කොළඹ සරසවියේ ඇය සමඟ තෙවැනි (3) වසරේම අධ්‍යාපනය ලබන සිසුවෙකි. වැල්ලම්පිටිය චිත්තම්පහුවේ පදිංචිකරුවකු වන ඔහු ‘පසිඳු චතුරංග’ නමැති අයෙකි.

වැල්ලම්පිටිය, කොළොන්නාව, කොටිකාවත්ත, කිරිබත්ගොඩ ආදි ප්‍රදේශවල 9, 10, 11 ශ්‍රේණි සඳහා උපකාරක පන්ති පවත්වමින් මේ සිසුවා නමක්ද දිනාගෙන සිටින්නකු බව පොලිසිය කියයි.

“මට එයාව ඕනේ. එයා නැතිව බැහැ. මම එයාට අවංකවම හදවතින්මයි ආදරේ කළේ. එයා වෙන කෙනෙක් ගාවට යන්න හැදුවා” මේ සිසුවාව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු පොලිස් නිලධාරීන් හමුවේ මෙවැනි දෑ පවසමින් හඬා ඇතැයිද පොලිස් තොරතුරු සඳහන් කළේය.

මේ සිසුවා විසින් සිය පෙම්වතිය වෙනත් තරුණයකු සමඟ පෙම් සම්බන්ධයක් ඇති කර ගනීවි යැයි බියකින් සිට ඇති බවත් ඒ හේතුව නිසා ඇයට දැඩි තහංචි දමා තිබී ඇති බවත් විමර්ශනවලින් පෙනී ගොස් ඇත. ඇයට වෙනත් සිසුන් සහ පිරිමින් සමඟ කථා කිරීමටද ඔහු තහනම් කර තිබී ඇත.

“එයා මම කියපු දේවල් ඇහුවේ නැහැ. ඒ නිසා මට වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ” යැයිද සැකකාර සිසුවා පොලිස් ප්‍රශ්න කිරීමේදී පවසා තිබේ. සිසුවියගේ ගෙල කැපූ පිහිය ඔහු විසින් වෙළෙඳසලකින් මිලදී ගෙන කල්තියාම ඇයව මරා දැමීමට සැලසුම් කරගෙන ඇති බවද විමර්ශනවලින් පෙනී ගොස් ඇත. එම පිහිය ඔහු සිය බෑගයේ දමාගෙන ඊයේ (17) ඇය සමඟ තුරඟ තරග පිටියට දහවල් 12:30 ට පමණ පැමිණ ඇත. ඇය සමඟ කථාබහ කරමින් සිට ඇත. එහිදීද සිසුවා විසින් සිය පෙම්වතියට නීති දමා සිර කිරීමට උත්සාහ දරා ඇති බවත්, ඇය එම නීති පිළි ගැනීමටත් ඔහු සමඟ තවදුරටත් මෙසේ ඇසුරු කිරීමට නොහැකි බව පැවසීමත් සමඟ කලබල වී ඇගේ ගෙල කපා ඝාතනය කර ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

තුරඟ තරග ක්‍රීඩාංගණයේ ලකුණු පුවරුව අසල පඩිපෙළේ අසුන්ගෙන සිටියදී දහවල් 01:00 ට පමණ මේ ඝාතනය සිදුව ඇති බව පොලිසිය කියයි. සිය පෙම්වතියව ඝාතනය කිරීමෙන් පසු ඔහු සිය ගමන්මල්ලෙහි ලේ තැවුරුණු පිහිය දමාගෙන දෑතේ ගෑවුණු ලේ බෑගයේ පිහිදමින් තුරඟ තරග පිටියේ සිට කොළඹ සරසවිය දෙසට දිවගොස් ඇති බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ. එම සැකකාර සිසුවා විශ්වවිද්‍යාල දෙසට දිව යන අයුරු ආරක්ෂක කැමරා කිහිපයකම සටහන් වී තිබී ඇත.

විශ්වවිද්‍යාලයට ගිය මේ සිසුවා පසුව එහි සිට වැල්ලම්පිටියේ පිහිටි නිවෙසට ගොස් සිය ජංගම දුරකතනය හා හැඳුනුම්පත නිවෙසේ තබා පිටව ගොස් ඇති බවද පොලිසිය කියයි. එසේ ඔහු නිවෙසින් පිටව ගියේ කැලණි ගඟට පැන සියදිවි හානිකර ගැනීමේ සූදානමකින්දැයි සැකයක්ද පොලිස් විමර්ශනවලින් මතු වී තිබිණි. නමුත් ඔහු නැවත නිවෙසට පැමිණ සිටියදී ආරක්ෂක කැමරා දර්ශනවලින් මේ සිසුවාගේ අනන්‍යතාව හඳුනාගත් පොලිස් කණ්ඩායමක් වැල්ලම්පිටියේ නිවෙසට පැමිණ තිබේ.

එම පොලිස් කණ්ඩායම වැල්ලම්පිටියේ නිවෙසට පැමිණෙන විට සැකකාර සිසුවා සාමාන්‍ය ලෙස එහි රැඳී සිටි ඇත. පොලිස් නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඔහුගේ ගමන්මල්ල පරීක්ෂා කර තිබේ. එහි තිබී සිසුවියගේ ගෙල කපා ඝාතනය කිරීමට යොදාගත් ලේ තැවුරුණු පිහියද පොලිසිය විසින් සොයාගෙන ඇත. සිසුවියගේ ගෙල කැපීමෙන් පසු විසිරුණු ලේ බෑගයේද වැදී තිබී ඇතැයි පොලිසිය කියයි.

ඝාතනය වූ සිසුවියගේ මවුපියන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය කර විශ්‍රාම ලබා සිටින්නන්ය. ඔවුන් මේ විට කිරිවත්තුඩුව අඹගස් හන්දියේ ඔසුසලක් පවත්වාගෙන යයි.

ඝාතනයට ලක් වූ චතුරි හංසිකා එම පවුලේ වැඩිමල් දරුවා වන අතර ඇයට තවත් නැඟණියක් සිටින බවත් ඇය තවමත් පාසල් යන ශිෂ්‍යයාවක් බවත් ප්‍රදේශවාසීහු පවසති.

නුගේගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ කාන්තා පාසලක ඉගෙනුම ලැබූ චතුරි හංසිකා කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට තේරී පත්ව ඇත්තේ උසස් පෙළ ඉහළින්ම සමත්වය. ඝාතනය වූ මේ සිසුවිය යූටියුබ් නාලිකාවක්ද පවත්වාගෙන යන බවත් එය අධ්‍යාපන නාළිකාවක් බවත් ඇගේ සරසවි මිතුරෝ සඳහන් කරති.

~ ගයාන් කුමාර වීරසිංහ, කොට්ටාව – ප්‍රදීප් කුමාර සහ මීගොඩ – බී.කේ. කත්‍රිආරච්චි

+++++++++

hirunews.lk/sinhala :
සැකකාර තරුණයා පෞද්ගලික උපකාරක පන්ති පවත්වන්නෙකු ලෙස වැල්ලම්පිටිය, කොලොන්නාව, කොටිකාවත්ත සහ කිරිබත්ගොඩ ප්‍රදේශවල ප්‍රසිද්ධියට පත්ව සිටි බවත් වාර්තා වනවා ෴

+++++++++

(18.01.2023 – lankadeepa.lk)

+++++++++++

(18.01.2023 – gossiplankanews.com)

වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් 24 හැවිරිදි පසිඳු මධුෂංක නමැති සැකකාර පෙම්වතාගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වල දී පවසා ඇත්තේ චතුරි හංසිකා නම් මෙම තරුණිය තමාට අහිමි වේ යැයි සිතා ඇයව ඝාතනය කළ බව ය.

ඔහු මීට ඉහත පෙම් සබඳතාවයක් පවත්වා ඇති තරුණිය ද ඔහුව හැරගොස් ඇති අතර එම අවස්ථාවේදී ඔහු ගෙළ වැළලාගෙන දිවිනසාගන්නට උත්සාහ කර තිබූ බව වාර්තාවේ.

ඔහු මානසික ආතතිය සම්බන්ධයෙන් ඖෂධ ලබාගනිමින් සිටි අයෙකු බවද වාර්තා විය.

මියගිය තරුණියගේ මුහුණු පොතේ හා වට්ස්ඇප්වල පළකළ බව කියන පෝස්ටුවක තම පෙම්වතා අකැමැති මිතුරන් ඇසුරු කිරීම සම්බන්ධ දෙන්නා අතර වාදයක් ගැන සටහනක් තිබෙන බවත් මේ දෙන්නා දිගින් දිගටම මේවා ගැන ප්‍රශ්න කරමින් ඇයට වෙනත් සම්බන්ධයක් ඇතැයි චෝදනා නගමින් පසිදු හැසිරී ඇති බවත් මිතුරන් හා මිතුරියන් ලබාදුන් සාක්ෂි මගින්ද කරුණු හෙළිවේ.

අත්අඩංගුවට පත් තරුණයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴

+++++++++++

++++++++++

චතුරිගේ ඝාතනයේ සැකකරු රිමාන්ඩ්

(18.01.2023 – 16:28 +0530 – sinhala.adaderana.lk)

කොළඹ තුරඟ තරග පිටිය ප්‍රදේශයේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයා ව රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ.

ඒ අනුව එම ශිෂ්‍යාවගේ පෙම්වතා බව කියන තරුණයෙකු ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) නියම කළේය.

කුරුඳුවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරු අද (18) සවස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාගේ නිල මැදිරිය වෙත ඉදිරිපත් කළේය.

කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් මෙම සැකකරු මානසික ආබාධ තත්ත්වයකින් පෙලෙන බැවින් ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳව ජාතික මානසික වෛද්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමුකර වාර්තාවක් කැඳවන ලෙස ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරු ජාතික මානසික වෛද්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත වෙත යොමුකර වාර්තාවක් කැඳවීමට ද බන්ධනාගාර නිලධාරින්ට නියෝග කළා ෴

+++++++++++

+++++++++++

++++++++++

++++++++++

++++++++++

චතුරි තම මානසික රෝගී වෛරවතා සමග

කොළඹ සරසවියේ මානසික රෝගී සිසුවා සිද්ධිය වමාරයි

(18.01.2023 – 23:15 +0530 – lankadeepa.lk)

= කොළඹ සරසවි සිසුවා සිද්ධිය වමාරයි =

විශේෂ දෙයක් කථා කරන්න ඕන කියලා මම ඇය තුරඟ තරඟ පිටියේ පිටියට රැගෙන ආවා. එහි දී ‘ඔයාව සප්‍රයිස් කරන්න ඕන’ කියලා මම ඇගේ ඇස් බැඳ ගෙලට පිහියෙන් ඇන්නා යැයි කොළඹ තුරඟ තරඟ පිටියේ දී සිය පෙම්වතින බව කියන තරුණියගේ ගෙලට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු වන සරසවි සිසුවා පොලීසිට ප්‍රකාශ කර ඇත.

” ‘චුටි’ මට නිතරම ‘මම මානසික රෝගියකු’ කියලා පරිභය කරනවා. ඒ නිසා මම වේදනාවෙන් හිටියේ. මට අහිමි වන ඇයව වෙන කිසිවකුටත් අයිති නොවන්න ඇය මරන්න ඕන කියලා මම මාසයක පමණ කාලයක සිට සැලසුම් කළා. හදිසි කථාවක් තිබෙනවා කියලා මම ‘චුටි’ව තුරඟ තරඟ පිටියට කැඳවාගෙන රැගෙන ආවා.”

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි චතුරි හංසිකා මල්ලිකාරච්චි (24) නමැති තරුණියකි.

එම පීඨයේම ඉගෙනුම ලබමින් සිටි පසිදු චතුරංග නමැති සැකකාර තරුණයා පොලිසියට කළ ප්‍රකාශයේ තවදුරටත් මෙසේද සඳහන් වේ :

“මම 2019 වසරේ සිට මානසිත ව්‍යාකූල තත්තවක් වෙනුවෙන් බෙහෙත් ගන්නවා. චුටි සමග 2020 මිතුරු වුනා. මම බෙහෙත් ගන්නා බව ඇයට කිව්වේ නැහැ. නමුත් ඇය මීට මාස 4-5 පෙර ඒ බව දැනගෙන, මා සමග අමනාප වුණා. ‘අපේ සම්බන්ධය නතර කරමු’ කියලා ඇය එය නරත කළා.

ඇය වෙනස් වුණා. ඇය මට නිරතව ‘පිස්සා’ කියලා බනිනවා. ඇය වෙනස් වුනේ වෙනත් සම්බන්ධයක් නිසා ද කියල මම හොයලා බැලුවා. නමුත් ඇයට එහෙම සම්බන්ධයක් තිබුණේ නැහැ. මට ඇය සම්බන්ධයෙන් සැකයක් තිබුණෙත් නැහැ. අය මට නිරතම ‘මානසික රෝගියා’ කියලා බැන වදින නිසා මම ඇය සමග වේදනාවෙන් හිටියේ.

සම්බන්ධය නැති නිසා ඇය මට අයිති නැහැ. ‘මට අහිමි වු ඇය වෙන කිසිවෙකුටත් හිමිවෙන්න ඉඩ දෙන්නේ නැහැ’ කියලා මම ඇයව ඝාතනය කරන්න ඕන කියලා සැලසුම් කළා.

පසුගිය සෙනසුරාදා ඇය මා සමග බහින් බස් වුනා. ඇය කිව්වා ‘අපි මේ සම්බන්ධය නවත්වමු’ කියලා. ඒ වනවිටත් ඇය සම්බන්ධය නවත්වලා තිබුණේ.

ඇය මරන්න ඕන කියලා මම සැලසුම් කළා. ඉරිදා වැල්ලම්පිටිය හංදියෙන් මම පිහියක් මිළ දී ගත්තා. අඟහරුවාදා ගෙදර ඉඳන් ආවේ ඒ පිහිය බෑගයේ දමාගෙන.

උදේ පළමු දේශනයට සහභාගි වුණාට පසුව මම ‘චුටි’ ට කිව්වා ‘විශේෂ කතාවක් තියනවා කියන්න තුරඟ තරඟ පිටියට යමු’ කියලා.

මුලින්ම ඒයා අකමැත්ත පළ කළා. පසුව බලකළ නිසා කැමති වුනා. අපි දෙන්නා ඇවිදගෙනම තුරඟ තරඟ පිටියට ආවා. පොකුණ තියන තැන අපි දෙන්න නැවතිලා කථා කළා. ඇය පිළිබඳ තරහත් තිබුණ නිසා මට ඇය මරන්නම හිත දුන්නා.

මම ඇයට කිව්වා ‘මට ඔයාට සප්‍රයිස් එකක් තියනවා දෙන්න’ කියලා. මම ඇය තුරඟ තරඟ පිටියේ ලකූණු පුවරුව වෙත කැඳවාගෙන ආවා.

ඇයි යළිත් ඇහැව්වා ‘මොකක් ද සප්‍රයිස් එක’ කියලා. ඒත් සමගම මම එකවරම එක් පිහි පහරක් ඇගේ ගෙල වෙත එල්ල කළා. ඒ සමගම ඇය හයියෙන් කෑ ගහගෙන කළබල වෙලා ඇස් දෙක බැද තිබු ලේන්සුව ගලවාගෙන උදව් ඉල්ලා කෑ ගැහුවා . ඒ අවස්ථාවේ මම ඇයට තවත් පිහි පහරක් එල්ල කළා. සිද්ධිය වු ස්ථානයට ආසන්නයේ තරුණියන් පිරිසක් සිටියා. ඔවුන් එම ස්ථානයට පැමිණෙතැයි බියෙන් මම එම ස්ථානයෙන් පැනලා ගියා.

මම පලා යන මොහොතෙත් මම ‘චුටි’ දිහා නැවතත් හැරිලා බැලුවා. ඒ මොහොතේ ‘චුටි’ කිසිදු හැල්හොල්මනත් නැතිව වැටිලා හිටියා.

එළියට දිව ගිය මම කෙලින්ම බස් එකක නැගලා වැල්ලම්පිටියට ගියා. ගියේ කෝචිචියට පනින්නයි. නමුත් බොහෝ වෙලාවක් හිටියත් දුම්රියක් ආවේ නැහැ. එම නිසා මම ගෙදරට ගියා. ගෙදරට ගොස් මගේ පොත් බෑග් ඇතුළු භාණ්ඩ ගෙදර තියලා සිය දිවි නසාගන්න කැලණි ගඟට දෙපාරක්ම පැන්නා.

අවසානයේ පොලිස් අත්අඩංගුවට පත් වුනා ෴

++++++++++

19-01-2023

+


මෛත්‍රීගේ වන්දි මුදල් වෙනුවෙන් සුදත්ත තිලකසිරි කැටයක් සොලවා මුදල් එකතු කරයි

(18.01.2023 – 10:50 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාර නඩුව අනුව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට නියම වූ රුපියල් කෝටි 10 ක වන්දි මුදල ගෙවීම වෙනුවෙන් කලාකරුවෙකු වන සුදත්ත තිලකසිරි ඊයේ (17) කොළඹ කොටුවේ දී කැටයක් සොලවා මුදල් එකතු කිරීමක් සිදු කර තිබෙනවා.

මෙහි දී රුපියල් 1810 ක මුදලක් එකතු වූ ඇති අතර, එම මුදල ඔහු විසින් හිටපු ජනපතිවරයා වෙත භාරදීමට කටයුතු කර ඇති බව යි වාර්තා වන්නේ.

හිටපු ජනපතිවරයා පසුගිය දා ප්‍රකාශ කළේ, අධිකරණයෙන් නියම වූ රුපියල් කෝටි 10 ක වන්දි මුදල ගෙවීමට ප්‍රමාණවත් තරම් වත්කමක් තමන්ට නොමැති බව යි.

ඒ හේතුවෙන් එම මුදල හිතවතුන්ගෙන් ලබා ගැනීමට කටයුතු කරන බවත් ඔහු ප්‍රකාශ කළා.

18-01-2023

+++++++

18-01-2023

++++++++

19-01-2023

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *