සරසවි සිසුවිය ඝාතනය කළ පෙම්වතා ගඟට පනින්න යද්දී පොලිසිය අල්ලයි

සරසවි සිසුවිය ඝාතනය කළ පෙම්වතා ගඟට පනින්න යද්දී පොලිසිය අල්ලයි


සරසවි සිසුවිය ඝාතනය කළ පෙම්වතා ගඟට පනින්න යද්දී පොලිසිය අල්ලයි

(17.01.2023 – 19:13 +0530 – hirunews.lk/sinhala)

කොළඹ තුරග තරග පිටියේදී පිහි ඇනුමක් සිදුකර කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවියක් ඝාතනය කළ ඇගේ පෙම්වතා බව කියන තරුණයා වැල්ලම්පිටිය පොලිසිය මගින් අද (17) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

එම සැකකරුද කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකු බවයි වාර්තාවන්නේ.

අද (17) දහවල් 12:30 ට පමණ මෙම ඝාතනය සිදුකර ඇති අතර, පොලිසියට ලද තොරතුරකට අනුව බිම වැටී තිබූ අදාළ තරුණියගේ මළසිරුර සොයාගනු ලැබුවා.

මෙලෙස ඝාතනය කර තිබුණේ 24 හැවිරිදි හෝමාගම – කිරිවත්තුඩුව – පුබුදු උයන ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

ඇය, කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ ඉගෙනුම ලබන සිසුවියක් වන අතර, සැකකරුද එම පීඨයේම තුන්වන (3) වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු බවයි වාර්තාවන්නේ.

මෙම ඝාතනයෙන් පසු බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කඩිනමින් පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙම ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව අදාළ සිසුවා පලායන අයුරු අසළ තිබූ සී සී ටී වී කැමරාවලද සටහන් වී තිබූ අතර, අසළ සිටි සනීපාරක්ෂක සේවකයින් දෙදෙනෙකු (2) ද එය නිරීක්ෂණය කර තිබුණා.

පසුව මියගිය සිසුවියගේ පියාගේ මාර්ගයෙන් සැකකරු පදිංචි නිවස සොයාගෙන ඇති පොලිසිය වැල්ලම්පිටිය ප්‍රදේශයට පොලිස් කණ්ඩායම් පිටත් කර යවා තිබෙනවා.

එම අවස්ථාවේදී සැකකරුගේ දුරකථනයට ඇමතුම් කිහිපයක් ලබාගත්තද ඔහු ඊට ප්‍රතිචාර දක්වා තිබුණේ නැහැ.

අනතුරුව ඔහුගේ නිවස පරීක්ෂා කළ පොලිස් නිලධාරීන් සැකකරුගේ කාමරය තුළ තිබී ඝාතනය සඳහා යොදාගත් උල් පිහිය, ලේ තැවරුණු ටී ෂර්ටය සහ බෑගයක් සොයාගනු ලැබුවා.

කෙසේ වෙතත් සැකකරු එම අවස්ථාවේ නිවසින් පලාගොස් ඔහු පදිංචි නිවස පිහිටි වත්තේ සැඟව සිට තිබෙනවා.

ඒ, රාත්‍රී කාලයේදී කැළණි ගඟට පැන සියදිවි හානිකරගැනීමේ අරමුණින්.

කෙසේ වෙතත් කඩිනමින් ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මේ වනවිට මානසික කම්පනයෙන් පසුවන බවයි විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.

එම නිසා ඝාතනයට නිශ්චිත හේතුව අනාවරණ වී නොමැති අතර, ප්‍රේම සබඳතාවක් මුල් කරගෙන ඇතිවූ ආරවුලක් ඊට හේතුවන්නට ඇති බවට පොලිසිය සැක කරනවා.

+


මෙරටින් හමු වූ ලොව විශාලම මැණිකට මොකද වුනේ ?

(17.01.2023 – 15:24 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් හමු වූ ලොව විශාලම කොරන්ඩම් මැණික් පොකුර යළි මෙරටට රැගෙනවිත් ඇති බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සඳහන් කරනවා.

එය හමු වී තිබුණේ, රත්නපුර – පැල්මඩුල්ල ප්‍රදේශයෙන්.

එම මැණික අලෙවි කිරීම සඳහා ස්විට්සර්ලන්තය ඇතුළු රටවල් කිහිපයකට රැගෙන ගිය නමුත් එය අලෙවි නොවූ බවයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරි විරාජ් ද සිල්වා කියා සිටියේ.

මීට පෙර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ප්‍රකාශ කර තිබුණේ, කිලෝග්‍රෑම් 510 ක පමණ බරකින් යුත් මෙම මැණික් පොකුර ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක් නැතහොත් රුපියල් කෝටි 2,000 කට අධික වටිකාමකින් යුක්ත බවයි.


විදුලිය සල්ලි නොගෙව්වොත් පිරිපහදුව නවතින බව තෙල් සංස්ථාව කියයි

(17.01.2023 – 19:15 +0530 – hirunews.lk/sinhala)

විදුලිබල මණ්ඩලය මගින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු මුදල් නිසියාකාරව නොගෙවන්නේ නම් ඉදිරියේදී තෙල් පිරිපහදුව පවත්වාගෙන යෑමට නොහැකිවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ සුසන්ත සිල්වා පවසනවා.

කොළඹ අද (17) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ විදුලිබල මණ්ඩලය මේ වනවිට රුපියල් බිලියන 108 කට අධික මුදලක් ගෙවීමට ඇති බවයි ෴


අතිරේක මහෙස්ත්‍රාත්වරියගේ ක්‍රියා කලාපය ගැන පැමිණිල්ලක්

(17.01.2023 – 20:43 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ලබන 31 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළා.

එදින සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කරන බවයි විනිසුරුවරයා සඳහන් කළේ.

එම ඇප ඉල්ලීමට අදාළ ලිඛිත දේශන තිබේනම් ඒවා ලබන 24 වැනිදාට පෙර ගොනුකරන ලෙසත් අදාළ නියෝගයේ සඳහන්.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවටගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේගේ සම්බන්ධ පැමිණිල්ල අද (17) පළමුව කැඳවනු ලැබුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය ඉදිරියේයි.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම මහතා සමග පෙනී සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ විශේෂ ඉල්ලීමක් ඉදිරිපත් කළා.

“ස්වාමීනි.. මෙම සැකකරුවන් මුලින්ම නොවැම්බර් මස 17 වැනිදා සහ 22 වැනිදා ඔබතුමියගේ නිල මැදිරියට ඉදිරිපත් කළා. එහිදී ඔබතුමිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ට පොලිස් අධිකාරී ප්‍රසන්න ද අල්විස්, ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර, සහකාර පොලිස් අධිකාරී වසන්ත රත්නායක ඇතුළු 4 දෙනෙකු පොලිස්පතිවරයා වෙත දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කර තිබෙනවා. එම දිවුරුම් ප්‍රකාශ පොලිස්පතිවරයා විසින් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා. පොලිස්පතිවරයා ඉල්ලීමක් කර තිබෙනවා එම දිවුරුම් ප්‍රකාශ ඔබතුමිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා අධිකරණ සේවා කොමිසම වෙත යොමු කරන ලෙස. එම නිසා මෙම පැමිණිල්ල ඔබතුමිය විසින් විභාග කිරීම නුසුදුසු බවයි මගේ හැඟීම.”

එම අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පැමිණිල්ලේ ඉල්ලීමට දැඩි විරෝධය පළ කළා.

“ස්වාමීනි.. මෙම ඉල්ලීම අනුමත කරන්න බැහැ. නීතිපතිවරයාට නඩුවක් මාරු කිරීමට අවශ්‍ය නම් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 47 සහ 48 වගන්ති යටතේ අභියාචනාධිකරණය හමුවේ ඉල්ලීමක් කර එය කළ හැකියි. එසේ නොකොට මේ ආකාරයෙන් නඩුවක් මාරු කිරීමට උත්සාහ කිරීම යහපත් පරිචයක් නෙවෙයි. මේක අධිකරණය බියගැන්වීමට දරන උත්සාහයක්. ඒ වගේම අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කළ බලපෑමක්.”

එම අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය දන්වා සිටියේ අදාල දිවුරුම් ප්‍රකාශ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

එම දිවුරුම් ප්‍රකාශ අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා පැවසුවේ,

“මෙම සැකකරුවන් නොවැම්බර් මස 17 වැනිදා ඔබතුමියගේ නිල මැදිරියට ඉදිරිපත් කළා. එහිදී ඔබතුමිය ප්‍රකාශයක් කරමින් “අපි දන්නවා ඔයාලා මේ අරගලය කළේ අපි හැමෝම වෙනුවෙන්. නමුත් ඔයාලා මේ අද අදිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ. ඒ පනතෙන් අපේ අත් බැඳලා තියෙන්නේ. ඒ නිසා ඔයාලට ඇප දෙන්න මේ අධිකරණයට බලයක් නැහැ. ඔයාලා තවදුරටත් රැඳවුම් නියෝග මත හිටියා නම් ඔයාලාට ඇප ඉල්ලීමක් කරන්නවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් ඔයාලා දැන් අධිකරණයට ඉදිරිපත් කරලා තිබෙන නිසා දැන් ඔයාලට නිසි අධිකරණයකින් ඇප ලබාගැනීමේ හැකියාවක් තිබෙනවා. මෙම අධිකරණයට ඇප ලබාදීමේ බලයක් නැති නිසා නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනවා. ස්වාමීන් වහන්සේගේ අසනීප තත්ත්වය දැන් හොඳයිද? එදා මම TID එකට ගිය වෙලාවේ ඉංග්‍රීසි බෙහෙත් බොන්න වැඩි කැමැත්තක් නැහැයි කිව්වානේ. ඔබ වහන්සේට සිංහල බෙහෙත් මොනවා හරි ඕනේ නම් කියන්න. අරගල කරන්නත් ඇඟට ශක්තිය තියෙන්න ඕනෙනේ. සස්ටජන් එහෙම බොනවා නම් කියන්න මම අරගෙන දෙන්නම්.. සැකකාර සිරිධම්ම හිමියන්ට පස් පංගුවක් සහ සස්ටජන් ලබාදීම සඳහා ඔබතුමිය අධිකරණ නිලධාරීයෙකු වෙත රුපියල් 10,000 ක මුදලක් ලබා දී තිබෙනවා.”

මෙහිදී මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ කියා සිටියේ තමා මෙම ක්‍රියාව සිදු කළේ දෙවන සැකකාර සිරිධම්ම හිමි භික්ෂූන් වහන්සේ නමක් ලෙස සලකා මානුෂික චේතනාවකින් යුතුව බවත් තමා එම ප්‍රකාශය කළේ ත්‍රස්ත මර්දන කොට්ටාශයේ නිලධාරීන්ගේ ඉදිරිපිට බවයි.

“මා සඳහන් නොකළ ඇතැම් දේවලුත් එම කරුණු අතර තිබෙනවා. එසේ තිබියදී ප්‍රශ්නයක් ඇති කිරීමට උත්සාහ කිරීම අනුමත කරන්න බැහැ.”

ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා දිවුරුම් ප්‍රකාශ කීපයක් සන්තකයේ තබාගෙන අධිකරණය බියගැන්වීමට දරන උත්සාහය අනුමත කළ නොහැකි බව විවෘත අධිකරණයේ පැවැසුවා.

සාලිය පීරිස් මහතා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගෙන් ප්‍රශ්න කළේ මෙම දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසමට පැමිණිලි ඉදිරිපත් කර තිබේ ද යන්නයි.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා පැවසුවේ තමා විත්තියේ නීතිඥවරු මතු කරන ප්‍රශ්නවලට පිළිතුරු දීමට බැඳී නොසිටින බවයි.

ඉන් පසුව එම ප්‍රශ්නයම මහේස්ත්‍රාත්වරිය විසින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වෙත යොමු කළා.

ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ එම දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් අද දින හෝ හෙට පැමිණිලි ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් සහ ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම යන මහත්වරුන් සහ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් හා ගුණරත්න වන්නිනායක යන මහත්තුරු අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණා.

ඉදිරිපත්වූ සියලු කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය තීන්දු කළේ අදාළ පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට යොමු කිරීමටයි.

ඒ අනුව අදාළ පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවේ කැඳවනු ලැබුවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් වූ ඇප පිළිබඳ නියෝගය ලබන 31 වැනිදා ප්‍රකාශයට පත් කරන බවයි.

එම ඉල්ලීමට අදාළ ලිඛිත දේශන තිබේනම් ඒවා ලබන 24 වැනිදා ගොනු කරන ලෙසත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

ඒ අනුව වසන්ත මුදලිගේ ලබන 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා ෴


අරගලයට උර දුන් – ජනපති මැදුරේ තාප්පෙන් වැටුණු කමාන්ඩෝ සෙබළා මාස 6 කට පසු මියයයි

(17.01.2023 – 20:49 +0530 – hirunews.lk/sinhala)

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් පලවාහැරීම සඳහා 2022 මැයි 09 දා ගෝල්ෆේස් කේන්ද්‍ර කරගනිමින් පැවති අරගලය විරෝධතාවයේ දී වෙඩි පහරකින් හිසට සිදු වූ බවට සැක කෙරෙන බරපතළ තුවාලවලට ප්‍රතිකාර ලබමින් සිටි විශ්‍රාමික කමාන්ඩෝ නිලධාරි ජනක ජයසේන පසුගිය 15 වෙනිදා මියගොස් තිබෙනවා.

මාතර, වැල්ලමඩම ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වන ජනක ජයසේන, කොළඹ ජාතික රෝහලේ මැයි 09 සිට නොවැම්බර් 05 දක්වා ප්‍රතිකාර ලබා තිබුණා.

මෙම මුළු කාලය තුළ ම ඔහුට කතා කිරීමට හෝ තනිව නැගිටීමට ද හැකියාවක් තිබී නැහැ.

යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ සැරයන් මේජර්වරයෙකු ලෙස ජනක ජයසේන විශ්‍රාම ලබා ඇත්තේ 2004 වසරේ දී යි.

ඉන්පසු නිශ්ශංක සේනාධිපතිට අයත් ඇවන්ගාඩ් ආරක්ෂක සේවයේ සේවය කර ඇති ඔහු පසුව එයින් ඉවත් වී ඉරාකයේ සහ ජපානයේ සේවය කර ඇති අතර මෙම අනතුරට ලක්වන මොහොතේ ඔහු, අඹතලේ ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර නිෂ්පාදන සමාගමක ආරක්ෂක කළමනාකරුවෙකු ලෙස සේවය කරමින් සිටියා.

ඔහුට වෙඩි වැදුණු බව මුලදී වෛද්‍ය වාර්තා මගින් සඳහන් කොට ඇතත්, මරණ පරීක්ෂණ වාර්තාවේ එවැන්නක් සඳහන් නොවන බවයි පවුලේ සමීපතමයන් පවසන්නේ.

විශ්‍රාමික කමාන්ඩෝ නිලධාරි ජනක ජයසේන හොඳ ම කොමාන්ඩෝ සෙබළා ඇතුළු පදක්කම් රැසක් දිනාගෙන ඇති නිලධාරියෙකු වන අතර, යුද්ධය ආවරණය කළ වීඩියෝ ශිල්පියෙකු ලෙස ද රාජකාරි කර තිබෙන අයෙක්.

කෙසේ වෙතත් මෙම සැරයන් මේජර්වරයාගේ සිරුරට කමාන්ඩෝ නිල ඇඳුම ඇන්දවීම නොකළ යුතු බවට ආරක්ෂක අමාත්‍යංශයේ ඉහළ ම නිලධාරියෙකු විසින් යුද හමුදා කොමාන්ඩෝ බලකායට නියෝග කර ඇතැයි වාර්තා වෙනවා.

ඒ අනුව කොමාන්ඩෝ බලකායේ ඉහළ නිලධාරීන් මිය ගිය විශ්‍රාමික නිලධාරියාගේ මෘත දේහයට කොමාන්ඩෝ නිල ඇඳුම් ඇන්දවීමෙන් වළකින ලෙස පවුලේ සමීපතමයන්ට අදාළ උපදෙස් ලබාදී ඇතැයි වාර්ථා වනවා.

කෙසේ වෙතත් ඔහුගේ ඥාතීන් ප්‍රශ්න කරන්නේ කිසිදු අවස්ථාවක යුධ හෝ පිළිගත් අධිකරණයකින් වරදකරුවකු කර නොමැති මෙම සැරයන් මේජර්වරයා ට කමාන්ඩෝ නිල ඇඳුම ඇන්දවීමට හෝ හමුදා උත්තමාචාර අහිමි කිරීමට ඔහු සිදුකර ඇති වරද කුමක්දැයි යනුවෙන්.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රවී හේරත් ගෙන් සිදුකළ විමසීමක දී ඔහු කියා සිටියේ මෙම නිල නිලධාරියාගේ මරණය ඇති වීමට හේතු වූ තුවාල සිදු වූ ආකාරය පිළිබඳව පැහැදිලි තොරතුරක් නොමැති වීම නිසා යුද හමුද හමුදාව සම්ප්‍රදායානුකූලව ගනු ලබන තීරණ හා සබැඳිව අදාළ තීරණය ගෙන ඇති බවයි ෴


Hiru TV Salakuna Live – Udaya Gammanpila – EP 369 – 2023-01-16

+


Derana 360 – ආචාර්ය නාලක ගොඩහේවා – 16.01.2023

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *