අද (17) මැදියම් රැයේ සිට අපොස උසස් පෙළ ටියුෂන්, දේශන, වැඩමුළු තහනම්

අද (17) මැදියම් රැයේ සිට අපොස උසස් පෙළ ටියුෂන්, දේශන, වැඩමුළු තහනම්


අද (17) මැදියම් රැයේ සිට අපොස උසස් පෙළ ටියුෂන්, දේශන, වැඩමුළු තහනම්

(17.01.2023 – 07:48 +0530 – hirunews.lk/sinhala)

ලබන 23 වනදා ආරම්භ වීමට නියමිත පසුගිය වසරට අදාළ අපොස උසස් පෙළ විභාගය ඉලක්ක කරගනිමින් උපකාරක පන්ති පැවැත්වීම සහ මෙහෙයවීම අද (17) මධ්‍යම රාත්‍රියෙන් තහනම් වනවා.

එමෙන්ම අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, බෙදාහැරීම ද තහනම් බව යි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර කියා සිටියේ.

ලබන මස 17 වනදා දක්වා මධ්‍යස්ථාන 2,200 ක දී උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා සුදුසුකම් ලබා ඇති අපේක්ෂකයින්ගේ සංඛ්‍යාව තුන්ලක්ෂ තිස් එක්දහස් හත්සිය නමයක් (3,31,709).

ඉන් දෙලක්ෂ හැත්තෑ අටදහස් එකසිය නවදෙනෙකු (2,78,109) පාසල් අයදුම්කරුවන් වනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර තවදුරටත් කියා සිටියේ, ප්‍රවේශ පත්‍රවල ගැටලු ඇත්නම් හෙට (18) දිනය දක්වා මාර්ගත ක්‍රමය ඔස්සේ ඒවා නිවැරදි කරගැනීමේ හැකියාව පවතින බවයි.

මේ අතර දැනට තාවකාලිකව වසා දමා ඇති බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ දේශන මාර්ගත ක්‍රමයට ආරම්භ කිරීමට එම විශ්වවිද්‍යාලය තීරණය කර තිබෙනවා ෴


විදුලි බිල වැඩි කිරීමට කොමිසමේ අකැමැත්ත

(17.01.2023 – 07:45 +0530 – hirunews.lk/sinhala)

කැබිනට් මණ්ඩලය අනුමත කළ විදුලි ගාස්තු ඉහළ දැමිමේ සංශෝධනය ප්‍රතික්ෂේප කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක අමාත්‍ය මණ්ඩලයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී තිබෙනවා.

විදුලි ගාස්තු සංශෝධනය නුසුදුසු බව සඳහන් කරමින් ඔහු මෙම දැනුම් දීම කර තිබුණා.

මහජන උපයෝගිතා කොමිසමට පැවරී ඇති බලතල අනුව විදුලි ගාස්තු සංශෝධනයක දී එම කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වනවා.

විදුලිය ගාස්තු ජනවාරි මස 01 වනදා සිට ඉහළ දැමීමට පසුගිය සතියේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කරනු ලැබුවා.

මේ අතර අද (17) සහ හෙට (18) යන දෙදින තුළත් පැය 02 යි මිනිත්තු 20 කාලයක් විදුලි කප්පාදු කෙරෙනවා ෴


පෑලියගොඩ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට

(17.01.2023 – 09:45 +0530 – hirunews.lk/sinhala)

පෑලියගොඩ – කළුපාලම ආසන්නයේදී අද (17) සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇති බව යි.

තුවාල ලැබූ 33 හැවිරිදි පුද්ගලයා මීට දින කිහිපයකට පෙර බන්ධනාගාරගතව සිට ඇප ලබා පැමිණි අයෙකු බව යි වාර්තා වන්නේ.

පෑලියගොඩ ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමකට ලක් වූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා ෴


අන්තරේ විරෝධතා පා ගමනට එක් වූ තවත් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(17.01.2023 – 08:50 +0530 – hirunews.lk/sinhala)

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලය කොළඹ ඊයේ (16) සංවිධාන කර තිබු විරෝධතා පාගමනට එක්වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු (2) පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කෙට්ඨාශය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (16) රැකියා විරහිත උපාධිධාරි සංගමයේ සම කැඳවුම්කරුවෙකු ධම්මික මුණසිංහ ද අත්අඩංගුවට ගත් බව යි.

ඒ අනුව මෙම පාගමන අතරතුර පුද්ගලයන් තුන්දෙනෙකු (3) මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලා මෙම විරෝධතා පාගමන පැවැත්වුණා.

එහි දී ඔවුන් විසුරුවා හැරීම සඳහා පොලිසිය අවස්ථා දෙකක (2) දී කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා ෴


විධායක සහ විධායක නො වන රජයේ සේවකයන්ගේ මාසික වැටුප් ගෙවීම් දින දෙකකට

(17.01.2023 – 09:22 +0530 – hirunews.lk/sinhala)

විධායක නො වන රජයේ සේවකයන්ගේ මාසික වැටුප් නියමිත දිනට ගෙවීමට සහ විධායක නිලධාරීන්ගේ වැටුප් දින කිහිපයකට පසු ව ගෙවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

අද (17) පැවැත්වුණු කැබිනට් සාකච්ඡාවේ දී මෙම අනුමැතිය හිමි වූ බව යි සඳහන් වන්නේ.

මේ අතර, අනුමත රජයේ වියදම් ඇස්තමේන්තුවල පුනරාවර්තන වියදමින් 6% ක් අවුරා තැබීමටත්, ඉන් 1% කට සමාන ප්‍රමාණයක් අත්‍යවශ්‍ය ඖෂධ සඳහා අතිරේක ප්‍රතිපාදන ලෙස, සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව යි වාර්තා වන්නේ.

+


සමෘද්ධි ඇතුළු අඩු ආදායම්ලාභින්ගේ මුදල් සහනය තවත් මාස 05 කින් දීර්ඝ කෙරෙයි

(17.01.2023 – 09:29 +0530 – hirunews.lk/sinhala)

සමෘද්ධි ප්‍රතිලාභින් ඇතුළු අවදානමට ලක්විය හැකි පවුල් සඳහා දැනට ලබාදෙන මුදල් සහනය තවත් මාස පහකින් (5) දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම සහනය නව සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය හදුන්වාදෙන තෙක් ක්‍රියාත්මක වන බවයි අද (17) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ.

මේ වසරේ මැයි මාසය දක්වා ඔවුන්ට අදාළ සහනය ලබාදීමට මෙවර අයවැයෙන් යෝජනා කළ අතර එය ලබන සැප්තැම්බර් දක්වා ලබා දීමට යි කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ.

නව සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය කඩිනමින් ආරම්භ කිරීම සඳහා නව සුදුසුකම් හා නිර්ණායක යොදා ගනිමින් ප්‍රතිලාභින් හදුනාගැනීමේ සමීක්ෂණය මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක බවද ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් 2002 සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ පවතින වගන්ති දෙකක් සංශෝධනය කරන තෙක් ප්‍රතිලාභින් හදුනාගැනීමේ සමීක්ෂණයෙන් ඉවත්වන බව සමෘද්ධි නිලධාරින් සහ ග්‍රාම නිලධාරින් ප්‍රකාශ කර තිබෙනවා.

ඊට අදාළ වාර්තාවක් අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියේ මෙම ගැටලුවට කඩිනම් විසදුමක් ලබාදීමට රජය කටයුතු කළ යුතු බවයි.

පනතේ පවතින එම වගන්ති සම්බන්ධයෙන් පවතින ගැටලුකාරිත්වය සම්බන්ධයෙන් කරුණු විමසූ අවස්ථාවේ දී තොරතුරු රැස්කිරීමට නිලධාරින්ට කිසිදු ගැටලුවක් නොමැති බව නීතිපතිවරයා දැනුම් දුන් බව ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අවධාරණය කළා ෴


QR ක්‍රමවේදයට පරිබාහිර ව කටයුතු කළ ඉන්ධනහල් කීපයක කටයුතු අත්හිටුවීමට පියවර

(17.01.2023 – 10:00 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන ඇනවුම් කිරීම සහ බෙදා හැරීම පිළිබඳ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛණිජ තෙල් ගබඩා පර්යන්තයේ නිලධාරීන් සමග ප්‍රගති සමාලෝචන හමුවක් ඊයේ (16) දිනයේ පැවැත්වුණා.

එහි දී QR ක්‍රමවේදයට පරිබාහිර ව කටයුතු කළ ඉන්ධනහල් කීපයක කටයුතු අත්හිටුවීමට පියවර ගත් බව යි වාර්තා වන්නේ.

ඉන්ධන බෙදා හැරීමේ දී ජාතික ඉන්ධන අවසරපත් ක්‍රමය අනුගමනය නො කරන ඉන්ධන පිරවුම්හල් ගණනාවක සේවය අත්හිටුවනු ලැබූ බව සඳහන්.

ඊයේ (16) වන විට ලංකා විදුලිබල මණ්ඩලයෙන් අය විය යුතු රුපියල් බිලියන 105 ක මුදල කඩිනමින් අය කර ගැනීමටත්, අඛණ්ඩව ඉන්ධන සැපයීම සිදු කිරීමට සහ පිරිපහදුව ක්‍රියාත්මකව පවත්වාගෙන යාමටත් අවශ්‍ය සැලසුම් සාකච්ඡා කරනු ලැබූ බව ද වාර්තා වනවා ෴


තීරු බදු නොගෙවා රැගෙන ආ එනසාල් තොගයක් සමඟ දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(17.01.2023 – 11:17 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිට තීරු බදු නොගෙවා මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ 150 කට අධික වටිනාකමකින් යුත් එනසාල් තොගයක් සමඟ දෙදෙනෙකු (2) කල්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කිලෝ ග්‍රෑම් 1200 ක් පමණ බරකින් යුත් එම එනසාල් තොගය කැබ් රථ දෙකකින් (2) ප්‍රවාහනය සඳහා සූදානම් කර තිබිය දී සිය භාරයට ගත් බවයි පොලිසිය පවසන්නේ.

එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 33 සහ 40 යන වයස්වල පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන්.

පොලිසිය ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වල දී අනාවරණය වී ඇත්තේ දීර්ඝ කාලයක සිට මොවුන් මෙම ජාවාරම සිදුකර ඇති බවයි ෴


උසස් පෙළ කාලසීමාවේ අඛණ්ඩ ව විදුලිය ලබා දීමට රුපියල් බිලියන 5 ක් වැය වෙන බවට හෙළිදරවුවක්

(17.01.2023 – 13:22 +0530 – hirunews.lk/sinhala)

ලබන 23 වැනි දා සිට පෙබරවාරි 17 වැනි දා දක්වා උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේ අඛණ්ඩ ව විදුලිය සැපයීමට නම් රුපියල් බිලියන 5 ක මුදලක් අවශ්‍ය බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත්, අදාළ දින 14 තුළ විදුලිය අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන බව යි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

මේ අද (17) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ඒ සම්බන්ධයෙන් පැහැදිලි කළ අමාත්‍ය බන්දුල ගුණවර්ධන.


මහනුවර ප්‍රසිද්ධ පාසලක ක්‍රීඩාපිටි මුරකරු අතපය බැඳ දමා ඝාතනය කර තිබිය දී සොයා ගැනෙයි

(17.01.2023 – 13:29 +0530 – hirunews.lk/sinhala)

මහනුවර නගරයේ ප්‍රසිද්ධ විදුහලක ක්‍රීඩාංගනය භාර ව කටයුතු කළ ආරක්ෂක නිලධාරියා ඝාතනය කර තිබෙනවා.

මොහුගේ මළසිරුර අද (17) උදෑසන පොලීසිය සොයා ගෙන ඇත්තේ ක්‍රීඩාංගනය ආසන්නයේ තිබූ ගොඩනැගිල්ලක් තුල තිබියදීයි.

පොලීසිය සඳහන් කළේ, ඔහුගේ මළ සිරුර සොයා ගන්නා අවස්ථාවේ දී අත්පා බැඳ දමා තිබූ බව යි.

එමෙන්ම, මුහුණෙහි තුවාල කිහිපයක් දක්නට ලැබුණු බව ද විමර්ශන සිදුකරන පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළා.

හංවැල්ල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ‘කුමාර සම්පත්’ නමැති පුද්ගලයෙකුයි මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ.

ඝාතනය කර ඇති ආකාරය සහ ඝාතනය සිදු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණ වී නැහැ ෴


පිරිමි සම්භාහනය කාන්තාවන්ට තහනම් මැයෙන් පළ වූ පුවත් අසත්‍ය බවට ආයුර්වේද කොමසාරිස්ගෙන් නිවේදනයක්

(17.01.2023 – 14:40 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (16) විවිධ ජනමාධ්‍යයන් ඔස්සේ පළ වූ පිරිමි සම්භාහනය ගැහැනුන්ට තහනම් යන පුවත සාවද්‍ය එකක් බව ආයුර්වේද කොමසාරිස් ආචාර්‍ය එම්.ඩී.ජේ. අබේගුණවර්ධන පවසනවා.

ලිපියක් නිකුත් කරමින් ඔහු මාධ්‍ය ආයතන වෙත දැනුම් දෙන්නේ, එම පුවත දැකීමෙන් තමන් වික්ෂිප්ත වූ බව යි.

එසේ පළ වී තිබුණු තමා විසින් කළේ යැ යි කියන ප්‍රකාශය සම්පූර්ණයෙන් ම සාවද්‍ය එකක් බව යි ආයුර්වේද කොමසාරිස්වරයා පවසන්නේ.

මෙවැනි අසත්‍ය පුවත් සමාජගත කිරීම ඉතා ම කනගාටුවෙන් බැහැර කරන බව පවසන ආයුර්වේද කොමසාරිස්වරයා මෙම පුවත හේතුවෙන් පෞද්ගලික ව තමන් බරපතළ ලෙස අපහසුතාවට පත් වූ බව ද සඳහන් කරනවා ෴


වසන්ත මුදලිගේ සහ සේපාල් අමරසිංහ 31 දක්වා යළි රිමාන්ඩ්

(17.01.2023 – 14:45 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මේ මස 31 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔහු අද (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එදින සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කරන බවයි විනිසුරුවරයා වැඩිදුරටත් කියා සිටියේ.

එම ඇප ඉල්ලීමට අදාළ ලිඛිත දේශන ඇත්නම්, ඒවා ලබන 24 වනදාට පෙර ගොනුකරන ලෙස ද විනිසුරුවරයා කළ නියෝගයේ සඳහන්.

මේ අතර, ශ්‍රී දළදා වහන්සේට අපහාස වන අයුරෙන් ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සේපාල් අමරසිංහ ලබන 31 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවේ ඊට අදාළ නඩුව අද (17) යළි කැඳවූ අවස්ථාවේදීයි.

සැකකරු සම්බන්ධයෙන් මහාධිකරණයෙන් ඇප ලබා ගැනීමට හැකියාව පවතින බවයි මහේස්ත්‍රාත්වරයා මෙහිදී පෙන්වා දුන්නේ ෴


පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා කැඳවීම හෙට (18) සිට

(17.01.2023 – 14:55 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා කැඳවීම හෙට (18) ආරම්භ වීමට නියමිත යි.

එළැඹෙන 21 වැනි දා මධ්‍යාහ්න 12 දක්වා ඒ සඳහා අවස්ථාව හිමි වන අතර පළාත් පාලන ඡන්ද විමසීම වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු අද (17) දිනයේත් සිදු කෙරෙනවා.

2023 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ව පළාත් පාලන ආයතන 341 න් 340 ක් සඳහා නාම යෝජනා කැඳවීම හෙට (18) සිට ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිසම මීට දෙසතියකට පෙර නිවේදනය කළා.

ඒ අනුව හෙටින් (18) ඇරඹෙන නාම යෝජනා කැඳවීමේ කටයුතු සඳහා එළැඹෙන 21 වැනි දා මධ්‍යාහ්න 12 දක්වා අවස්ථාව හිමිවනු ඇති.

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා කැඳවීමේ දැන්වීම ලැබුණු පසු ආරම්භ කෙරුණු ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු මේ දිනවලදී සිදුකෙරෙන්නේ ඒ අනුව යි.

දිස්ත්‍රික්ක 18 කට අදාළ පළාත් පාලන ආයතන 153 ක් සඳහා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් මැතිවරණ කාර්යාලවල දී ඇප මුදල් තැන්පත් කර ඇති බව යි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *