චිත්‍ර ඇඳීමට ඇදුම් මෝස්තර නිර්මාණයට සහජ දක්ෂතාවක් දක්වන, දෛවයට අභියෝග කරන ‘විශ්මි’

චිත්‍ර ඇඳීමට ඇදුම් මෝස්තර නිර්මාණයට සහජ දක්ෂතාවක් දක්වන, දෛවයට අභියෝග කරන ‘විශ්මි’


චිත්‍ර ඇඳීමට ඇදුම් මෝස්තර නිර්මාණයට සහජ දක්ෂතාවක් දක්වන, දෛවයට අභියෝග කරන ‘විශ්මි’

(16.01.2023 – 13:05 +0530 – hirunews.lk/sinhala)

අභියෝග හමුවේ පලා යාම වෙනුවට ඊට සාර්ථකව මුහුණ දෙන පිරිස් අප සමාජයේ විරලයි.

දෛවයේ සරදම් අභියෝග කරන පාසල් දැරියක් පිළිබඳව මේ පුවත වාර්තා වන්නේ, තංගල්ල නොටොල්පිටිය ගැමුණු මහ විද්‍යාලයෙන්.

තංගල්ල නොටොල්පිටිය ගැමුණු මහ විද්‍යාලයේ විශේෂ ඒකකයේ ඉගෙනුම ලබන විෂ්මි විදුෂිකා දියණිය චිත්‍ර ඇඳීමට වගේම ඇදුම් මෝස්තර නිර්මාණයට සහජ දක්ෂතාවක් දක්වන දිරිය දියණියක්.

17 හැවිරිදි ඇය උපතින්ම ශ්‍රවණාබාධයකින් සහ කථානාබාධයකින් පෙළෙන අතර, පියාද නොමැතිව මව සමග ජීවත්වනනේ නොටොල්පිටිය ගොඩිගමුව ප්‍රදේශයේයි.

වසය අවුරුදු 8 දී විෂ්මි විදුෂිකාගේ වම් ඇසෙහි කෝටුවක් ඇනීම හේතුවෙන් ඇයගේ පෙනීමත් දුර්වල වී තිබෙනවා.

විෂ්මි විදූෂිකා දියණියගේ මව සදහන් කළේ පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් දැරියගේ ශල්‍යකර්ම කිරීමට ද මූල්‍ය පහසුකම් නොමැති බවයි.

+


රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් විදුලිබල මණ්ඩලයෙන් පෙත්සමක්

(16.01.2023 – 13:26 +0530 – hirunews.lk/sinhala)

රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් විදුලිබල මණ්ඩලයේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන 4,000 කගේ අත්සන් ඇතුළත් පෙත්සමක් අද (16) ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාරදෙනු ලැබුවා.

විදුලිබල මණ්ඩලයේ විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කරන වෘත්තිකයන් 50 දෙනෙකු පමණ සාමකාමී පා ගමනින් පැමිණ මෙම පෙත්සම භාරදුන් බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සම ලේකම් ඉසුරු කස්තුරිරත්න කියා සිටියා.

මේ අතර ලබන මැයි මාසයට පෙර උමා ඔය ජල විදුලි බලාගාරය, ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ප්‍රකාශ කළා.

ඒ අනුව, මෙම විදුලි බලාගාරය මගින් මෙගාවොට් 120 ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීමට අපේක්ෂිතයි.

+


අ.පො.ස උසස් පෙළට සිසුන් ඇතුළත් කර ගැනීමට ලිපි නිකුත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි

(16.01.2023 – 17:19 +0530 – hirunews.lk/sinhala)

අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් සිසුන් අ.පො.ස උසස් පෙළ සඳහා විෂය ධාරා අනුව පන්තිවලට ඇතුළත් කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලිපි නිකුත් කරනු නොලබන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ මේ සඳහා චක්‍රලේඛන මගින් පාසල්වලට අවසර ලබා දී ඇති බවයි.

ඒ අනුව, තමන් පදිංචි ප්‍රදේශය තුළ අදාළ විෂය ධාරාව පවතින පාසලක් ලබා ගැනීමට එම ප්‍රදේශයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මගින් කටයුතු කළ හැකි බව එම නිවේදනයේ වඩිදුරටත් සඳහන්.

මීට අමතරව 2023 වර්ෂය සඳහා අතරමැද පන්තිවලට (1 – 6 හැර) ළමුන් ඇතුළත් කිරීමේ නව චක්‍රලේඛනය ද නිකුත් කිරීමට නියමිත අතර ඒ අනුව, 2023 ප්‍රථම වාරය ආරම්භ වන මාර්තු 27 වැනි දින වන විට ඒ සඳහා අයදුම් කිරීමටත් මෙම නිවේදනය මගින් දන්වා තිබෙනවා.

එතෙක් අතරමැද පන්ති සඳහා ජාතික පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමට අමාත්‍යාංශය මගින් ලිපි නිකුත් නොකරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ ෴


ජපානයේ මිලියන තුනක (3) රැකියා අවස්ථා ඇති බව රොෂාන් රණසිංහ පවසයි

(16.01.2023 – 17:50 +0530 – hirunews.lk/sinhala)

තරුණ සේවා සභාව සතියෙ දින හතම (7) විවෘතව තබන්න ඓතිහාසික තීරණයක් ගන්නා බවත් එවිට එහි රාත්‍රී 10 වන තෙක් පාඨමාලා පවත්වන බවත් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

තරුණ හා ක්‍රීඩා කටයුතු සංවර්ධනය පිළිබඳ ඒකාබද්ධ ප්‍රවේශය දිස්ත්‍රික් වැඩසටහන අනුරාධපුරයේ පැවති අවස්ථාවේ දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

තවද දැනට මිලියන තුනක (3) රැකියා ප්‍රමාණයක් ජපානයේ තිබෙන බැවින් තරුණයින්ට ජපානයට යෑමට අවශ්‍ය ක්‍රියාවලිය මේ වන විට සිදු කරමින් පවතින බවයි අමාත්‍යවරයා පැවසූවේ.

ඒ සඳහා ජපන් භාෂාව ඉගෙන ගැනීම, වෘත්තීය පුහුණුව ලබා ගැනීමෙන් පසු අදාළ විභාගය සමත් වීම මෙන්ම ජපන් සංස්කෘතිය ඉගෙන ගැනීම ආදී සුදුසුකම් සපුරා ගැනීමට අවුරුද්දයි (1) මාස දෙකක් (2) වැනි කාල සීමාවක් පහු කළ යුතුයි.

එමෙන්ම හෙදියන් වැඩි ප්‍රමාණයකට එංගලන්තයේ රැකියා අවස්ථා හිමිකර ගැනීමට හැකියාව පවතින අතර ඒ සඳහා එංගලන්තයේ සෞඛ්‍ය අංශයේ MHS සමඟ ඉදිරි වැඩ කටයුතු කරන බව ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසුවා ෴


රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීමේ ක්‍රමවේදයේ වෙනසක්

(16.01.2023 – 19:45 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය ආයතනවල මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන නිලධාරින්ගේ වැටුප අවස්ථා දෙකකදී (2) ගෙවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ප්‍රථමයෙන් මාණ්ඩලික නොවන නිලධාරින්ගේ වැටුප් ගෙවීමටත්, අනතුරුව මාණ්ඩලික නිලධාරින්ගේ වැටුප් ගෙවීමටයි තීරණය කර ඇත්තේ.

රටේ දැනට පවතින මූල්‍ය අර්බුදය සැළකිල්ලට ගනිමින් අදාල තීරණය ගෙන තිබෙනවා. එමෙන්ම අමාත්‍යංශවල වියදම සියයට 05 කින් කපාහැරීමටද අද (16) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබූ බවයි ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු ප්‍රකාශ කළේ.

එසේම සමෘද්ධි ප්‍රතිලාභින් ඇතුළු අඩු ආදායම්ලාභි පවුල් ලක්ෂ 20 කට මසකට සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් ලබාදීම සඳහා වී මෙට්‍රික් ටොන් 61,600 ක් මිලදී ගැනීමටද අනුමැතිය හිමි වුණා. මාස දෙකක (2) කාලයක් සඳහා මෙම සහනය ලබාදීමටයි සැළසුම් කර ඇත්තේ ෴


ඇගිල්ල කපා රන් මුදුවක් සොරා ගත් සිද්ධියක් යාපනයෙන්

(16.01.2023 – 20:24 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයෙකුගේ ඇඟිල්ල කපා රන් මුදුවක් සොරාගැනීමේ පුවතක් යාපනය-පුවක්කරෛයි ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මඩකලපුව ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයා යාපනයේ සිය ඥාතියෙකුගේ නිවසට පැමිණි අවස්ථාවේ දී එහි පැමිණි දෙදෙනෙකු (2) අදාළ පුද්ගලයාගේ එක් මුදුවක් ගලවා ගෙන තිබෙනවා.

පසුව අනෙක් රන් මුදුව ගැලවීමට නොහැකි වීම හේතුවෙනුයි ඇඟිල්ල කපා එය සොරාගෙන ඇත්තේ ෴

මේ අතර මීට වසර 26 කට පෙර සොරකමක් සිදු කළ පුද්ගලයින් දෙදෙනෙකුට (2) කොළඹ මහාධිකරණය අද (16) ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කළා.

1997 වසරේ නොවැම්බර් මස 27 වනදා ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ දී අවි ආයුධ පෙන්වා නිවැසියන් බියට පත්කර මෙම සොරකම සිදුකර තිබූ අතර එහි දී ඔවුන් රුපියල් 7500 ක මුදල් සහ රුපියල් 25,000 වටිනා රන්මාල 03 ක් කොල්ල කා තිබුණා.

සැකකරුවන්ට එරෙහි ව නීතිපති දෙපාර්තමේන්තුව නඩු පවරා තිබූ අතර, තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ නියෝග කළේ, සැකකරුවන් දෙදෙනාට (2) එරෙහි ව ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කිරීමට යි ෴


මහජන උපයෝගිතා කොමිසම ජනතාවගෙන් යෝජනා ඉල්ලයි

(16.01.2023 – 20:27 +0530 – hirunews.lk/sinhala)

විදුලිබල මණ්ඩලය විසින් යෝජනා කළ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ යෝජනා අද (16) සිට දින 21 ක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස මහජන උපයෝගිතා කොමිසම ජනතාවට දැනුම් දෙනවා.

විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීම් සලකා පසුගිය දා අමාත්‍ය මණ්ඩලය මෙම වසර සඳහා සියයට 66.2 ක ගාස්තු ඉහළ දැමීමක් යෝජනා කරනු ලැබුවා.

එම ගාස්තු සංශෝධනයට අදාළව ගැටලු හෝ බලපෑම් තිබේනම් ඒවා ලිඛිත ව දැනුම් දෙන ලෙසයි එම මහජන උපයෝගිතා කොමිසන් සභාව දැනුම් දෙන්නේ.

පසු ව එම දැනුම් දී සළකා බලන කොමිසම, අවශ්‍ය වුවහොත් වාචික අදහස් දැක්වීමට අදාළ පාර්ශවයන්ට අවස්ථාව ලබාදෙන බවයි මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කළේ.

මේ අතර හෙට (17) සහ අනිද්දා (18) යන දෙදින තුළත් පැය 02 යි මිනිත්තු 20 ක කාලයක් විදුලි කප්පාදුව කිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව දහවල් කාලයේ පැය (1) කුත්, රාත්‍රි කාලයේ පැය 01 යි මිනිත්තු 20 කුත් විදුලි කප්පාදුව සිදුවනු ඇති ෴


නිදහස් ජනතා සන්ධානයේ මංගල මාධ්‍ය හමුව (2023-01-16)

+


බෝම්බය තියලා අවුරුද්දයි, තාම පරීක්ෂණ නෑ – බොරැල්ල දේවස්ථානයේ විරෝධතාවයක් (15.01.2023)

+


ගිරිඋල්ල ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(16.01.2023 – 22:45 +0530 – hirunews.lk/sinhala)

ගිරිඋල්ල – උදියාවල ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී තියුණු ආයුධවලින් සිදුකළ පහරදීමක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූ අය අතරින් එක් අයෙකු පොලිස් විශේෂ කාර්ය බලකා සැරයන්වරයෙක්.

පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ගැටුම හටගෙන තිබුණේ ගිරිඋල්ල උදියාවල ප්‍රදේශයේ දී.

එහි දී තියුණු ආයුධවලින් පහරදීමෙන් තුවාල ලබා සිටි දෙදෙනෙකු (2) දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගියේ දඹදෙණිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 41 සහ 39 වයස්වල පසුවූ දෙදෙනෙක්.

මෘත ශරීර දඹදෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (16) සිදු කිරීමට නියමිතයි.

ගිරිඋල්ල ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

+


2022 මැයි 09 සිද්ධි පිළිබඳ පෙස්සම් අභියාචනාධිකරණයේ විභාගයට

(16.01.2023 – 21:32 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා මැති ඇමැතිවරු ඇතුළු දේශපාලකයින්ගේ නිවාසවලට ඉකුත් 2022 මැයි මස 09 වනදා පහර දී ගිනිබත් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අපරාධ නීතිය යටතේ ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැ යි ඉල්ලා ගොනුකළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (16) අවසර දුන්නා.

මෙම නියෝගය නිකුත් කර තිබුණේ පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක බලධාරීන් වෙත යි.

මැයි මස 09 වනදා සිද්ධිවලින් නිවාස හානි වූ බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, සිරිපාල ගම්ලත්, එස්.එම්. චන්ද්‍රසේන, ශෙහාන් සේමසිංහ, රෝහිත අබේගුණවර්ධන, කෝකිලා ගුණවර්ධන, සහන් ප්‍රදීප් ඇතුළු නිවාස හානි වූ දේශපාලකයින් 39 දෙනකු විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

එම පෙත්සම් කැඳවනු ලැබුවේ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ යි.

+


බීමත් ව පැමිණ බස් රථ රියදුරකුට පහර දීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට

(17.01.2023 – 06:58 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (16) මාතර සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයකට බීමත් ව නැඟි පුද්ගලයන් පිරිසක් වැලිගම කප්පරතොට ප්‍රදේශයේ දී බස් රථයේ රියදුරුට පහර දීමට උත්සාහ කර තිබෙනවා.

එහි දී රියදුරුට බස් රථය පාලනය කරගත නො හැකි ව සිදු වූ අනතුරකින් මාර්ගයේ ගමන් අයෙකු ජීවිතක්ෂයට පත් ව තවත් අයකු බරපතළ තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කොට ඇතැ යි වැලිගම පොලිසිය පවසනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ, දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 68 ක කාන්තාවක්.

47 හැවිරිදි ඇයගේ පුත්‍රයා ද බරපතළ තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කොට ඇති බව සඳහන්.

මාතර සිට කොළඹ බලා ධාවනය වූ මෙම බස් රථයට වැලිගම නගරයෙන් බීමත් පුද්ගලයන් හතර දෙනෙකු (4) නැඟ ඇති බවත් එහි දී එම පිරිස බස් රථයේ රියදුරු සමඟ බහින් බස් වීමක් ඇති කරගෙන තිබෙනවා.

අනතුරු ව මෙම පිරිස වැලිගම කප්පරතොට පාලම අසල දී රියදුරුට පහර දීමට උත්සාහ ගෙන ඇති අතර, එහි දී රියදුරුට බස් රථය පාලනය කරගත නො හැකි ව ගොස් මෙම අනතුර සිදු වී ඇති බව යි වාර්තා වන්නේ.

මෙම අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු වන වයස අවුරුදු 28 ක රත්ගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සහ බීමත් ව පහර දීමට පැමිණි වයස අවුරුදු 20 ක් වන වැලිගම මහවීදිය ප්‍රදේශයේ පුද්ගලයකු පොලිසිය මඟින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.


රාජගිරියේ වකුගඩු ජාවාරමට අදාළ සැකකරුවන් තිදෙනෙකු (3) අත් අඩංගුවට

(17.01.2023 – 07:31 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක වකුගඩු ජාවාරම් කිරීමේ සිද්ධියේ ප්‍රධාන තැරැව්කරු සහ ඊට ආධාර අනුබල දුන් කොළොන්නාව සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවලට අයත් ග්‍රාමසේවා වසම් දෙකක (2) ග්‍රාම නිලධාරීවරුන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ඊයේ (16) ආමර්වීදිය – ලොන්ඩ්‍රිවත්ත ප්‍රදේශයේදී ප්‍රධාන තැරැව්කරු කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක්.

ඊට අමතර ව අත්අඩංගුවට ගත් ග්‍රාම නිලධාරීවරුන් දෙදෙනා 59 හැවිරිදි වියේ පසු වන රාජගිරිය සහ කඩුවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

(17.01.2023 – 13:40 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල පෞද්ගලික රෝහලක සිදුකළ වකුගඩු ජාවාරමට සැකපිට අත්අඩංගුවට ගත් තැරැව්කරු සහ ග්‍රාමනිලධාරි දෙදෙනා (2) ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ සැකකරුවන් අද (17) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යි.

මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අනෙක් තැරැව්කරුද එදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කෙරුණේ.

ඊයේ (16) අත්අඩංගුවට ගත් කොළොන්නාව සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවලට අයත් ග්‍රාම නිලධාරින් දෙදෙනා (2) ව්‍යාජ ග්‍රාම නිලධාරි සහතිකයක් ලබාදීම සඳහා රුපියල් 20,000 ක මුදලක් අයකරගෙන ඇති බව ද පැමිණිලි පාර්ශව අධිකරණය දැනුම් දුන්නා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *