සිය නිවසේ විදුලිබිල වැඩියි කියා මනු කියවන්නාට පහර දීලා

සිය නිවසේ විදුලිබිල වැඩියි කියා මනු කියවන්නාට පහර දීලා


සිය නිවසේ විදුලිබිල වැඩියි කියා මනු කියවන්නාට පහර දීලා

(16.01.2023 – 07:22 +0530 – hirunews.lk/sinhala)

සිය නිවසේ විදුලිබිල ඉහළ ගොස් ඇති බවට පවසමින් විදුලි මනු කියවන්නාට පොලුවලින් පහරදීමේ පුවතක් පුත්තලම මහකුඹුක්කඩවල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

පහරදීමෙන් බරපතල තුවාල ලැබූ මනු කියවන්නා හලාවත රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ හලාවත විදුලි ඉංජිනේරු කාර්යාලයට අනුයුක්තව සේවය කරන පුද්ගලයෙක්.

පහරදීම සිදුකළ පුද්ගලයා ද ඊයේ (15) අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මේ මස 25 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

+


අද (16) සිට දුම්රිය ගමන්වාර 30 ක් අවලංගුයි

(16.01.2023 – 07:33 +0530 – hirunews.lk/sinhala)

අද (16) සිට කෙටි දුර දුම්රිය ගමන්වාර 30 ක් අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය 18 ක්, කැළණිවැලි සහ පුත්තලම මාර්ගයේ දුම්රිය 02 බැගින් අවලංගු වනු ඇති.

එමෙන්ම මුහුදුබඩ මාර්ගයේද අද (16) සිට දුම්රිය ගමන්වාර 08 ක් අවලංගු කිරීමට පියවර ගෙන තිබෙනවා.

සේවක හිඟය හේතුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා සිට දෛනිකව දුම්රිය ගමන් වාර 42 බැගින් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව මීට පෙර තීරණය කර තිබූ අතර එය අත්හිටුවනු ලැබුවේ එම තීරණය යලි සමාලෝචනය කළ යුතු බව පවසමින්.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් 500 කට වැඩි පිරිසක් එකවර විශ්‍රාම ගැන්වීම හේතුවෙන් දෙපාර්තමේන්තුව තුළ දැඩි සේවක හිඟයක් ඇති වුණා.

ඒ අනුව ඉකුත් සතියේ දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය ගමන්වාර 40 කට වැඩි ප්‍රමාණයක් අවලංගු කර තිබුණා ෴


වෛද්‍ය චමල්ගේ වැඩ තහනම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වාර්තාවක් කැඳවයි

(16.01.2023 – 07:58 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්දපෝෂණය සම්බන්ධයෙන් කරුණු අනාවරණ කළ වෛද්‍ය චමල් සංජීව ගේ වැඩ තහනම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වාර්තාවක් කැඳවීමට පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් පිළිබඳව කාරක සභාව තීරණය කර තිබෙනවා.

ඒ ඔහු විසින් පසුගිය වසරේ නොවැම්බර් මස 28 වන දා පාර්ලිමේන්තු මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි.

ඒ අනුව ඉකුත් 10 වනදාට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඊට අදාළ වාර්තාවක් කැඳවීමටයි මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත්තේ.

දැනට වැඩ තහනමට ලක්ව සිටින වෛද්‍ය චමල් සංජීවගේ සේවය අත්හිටුවීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද විභාග වෙමින් පවතිනවා ෴


තලවාකැලේ ගින්නකින් නිවාස 12 ක් විනාශ වෙයි

(16.01.2023 – 08:06 +0530 – hirunews.lk/sinhala)

තලවාකැලේ වතුයායේ ඕඩ්ලන්ඩ් කොටසේ වතු නිවාස පේළියක ඇතිවූ ගින්නකින් නිවාස 12 ක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.

ඊයේ (15) රාත්‍රියේ හටගත් මෙම ගින්නෙන් කිසිදු ජීවිත හානියක් වාර්තාවී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

එක් නිවසකින් හටගත් ගින්න සෙසු නිවාසවලටද පැතිර ගොස් ඇති අතර, විනාශ වූ නිවාසවල පදිංචි පවුල් 12 කට අයත් සාමාජිකයන් 47 දෙනෙකු ඥාති නිවෙස්වල තාවකාලිකව පදිංචි කර තිබෙනවා.

තෛපොංගල් දින උත්සවය ඊයේට (15) යෙදී තිබූ අතර, මේ නිසා බොහෝ පිරිසක් වතු යායේ තිබූ තෛපොංගල් සැමරුමට එක්ව සිට ඇති බවයි වාර්තාවන්නේ.

විදුලි කාන්දුවක් ගින්නට හේතුව බව පොලිසිය සැක පළ කරනවා ෴


තරුණයන් මරා වැළලූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු (2) අල්ලයි

(16.01.2023 – 08:16 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ආරවුලක් මත තරුණයන් දෙදෙනෙකු (2) ඝාතනය කර වළදැමීමේ සිද්ධියට පුද්ගලයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (15) අත්අඩංගුවට ගත් මොවුන් මාවනැල්ල සහ වැලිඔය ප්‍රදේශවල පදිංචිකරුවන්.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළා.

ඉන් එක් (1) සැකකරුවෙකුගේ නිවසේ සඟවා තිබී ඝාතනයට ලක්වූ තරුණයෙකුගේ යතුරුපැදියක්ද සොයාගෙන තිබෙනවා.

29 හැවිරිදි සහ 30 හැවිරිදි සැකකරුවන් දෙදෙනා (2) මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ඝාතනය කළ තරුණයන් දෙදෙනාගේ (2) මළසිරුරු පසුගිය බ්‍රහස්පතින්දා රඹුක්කන – හුරීමලුව ප්‍රදේශයේ කුකුල් කොටුවක් ආසන්නයේ වළදමා තිබියදී ගොඩගෙන තිබුණා.

මෙලෙස ඝාතනය කර වළ දමා තිබුණේ මාවනැල්ල – කිරිංගදෙණිය සහ කෙරමිනියාවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙක් (2).

මෙම තරුණයින් දෙදෙනා (2) අතුරුදන්වී ඇති බවට ඔවුන්ගේ ඥාතීන් පසුගිය වසරේ නොවැම්බර් 28 වනදා මාවනැල්ල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

++++++++++

පෞද්ගලික ආරවුලකට STF සාජන් කෙනෙක් ඇතුළු දෙදෙනෙකු (2) ඝාතනය කරලා

(16.01.2023 – 08:27 +0530 – hirunews.lk/sinhala)

ගිරිඋල්ල – උදියාවල ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් 39 හැවිරිදි සහ 41 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු (2) මියගොස් තිබෙනවා.

ඉන් එක් අයෙක් පොලිස් විශේෂ කාර්ය බලකායේ සැරයන්වරයෙකු බව සඳහන්.

පෞද්ගලික ආරවුලක් දුරදිග ගොස් තියුණු ආයුධවලින් පහරදී මෙම ඝාතන සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

එසේ ම වැල්ලම්පිටිය – ලන්සියාවත්ත ප්‍රදේශයේ නිවසකදී 61 හැවිරිදි කාන්තාවක් ද තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

නිවසේ මෙහෙකාර කාන්තාව විසින් ඝාතනය සිදුකර ඇති අතර, ඇය, පලාගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියා සිටියේ.

+++++++++++

හොරණ – කුඹුක දී පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරයක්

(16.01.2023 – 09:20 +0530 – hirunews.lk/sinhala)

හොරණ – කොළඹ මාර්ගයේ ගෝනපොල – කුඹුක ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට අද (16) අලුයම එකට (01:00) පමණ යතුරුපැදියකින් පැමිණි අයෙකු වෙඩි තබා පලාගොස් තිබෙනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ මෝටර් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

ලී මෝලක හිමිකරුවෙකු වන ඔහු හොරේතුඩුව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙක් ෴

+++++++++++

+


වාලම්පුරියක් විකුණන්න දැරූ තැත වරදියි

(16.01.2023 – 09:52 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්‍ය බලකාය කලවංචිකුඩි කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව සිදු කරන ලද වැටලීමක දී වාලම්පුරියක් විකිණීමට තැත් කළ පුද්ගලයෙකු විශේෂ කාර්‍ය බලකාය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පෙරේදා (14) වව්නතිව් පොලිස් වසමේ ඉරට්ටචෝනමඩු පාසල අසලදියි මෙම වැටලීම සිදු කෙරුණේ.

එහිදී නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ වට ප්‍රමාණය සෙ.මීටර් 34 ක් හා දිගින් සෙ.මී.23 ක් වන වාලම්පුරියක් සොයා ගැනුණා.

අත් අඩංගුවට ගත් සැකකරු 37 හැවිරිදි කන්නන්කුඩා ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

+


ජීව උණ්ඩ හා පැරණි නිලඇඳුම් තොගයක් පාළු නිවසකින් හමුවෙයි

(16.01.2023 – 09:53 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්‍ය බලකාය කුරුණෑගල කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව සිදු කළ මෙහෙයුමක දී අතහැර දමා තිබූ පාළු නිවසක තිබී ජීව උණ්ඩ හා පැරණි නිල ඇඳුම් තොගයක් සොයාගෙන තිබෙනවා.

මෙම සෝදිසි කිරීම ඊයේ (15) සිදු කෙරුණේ නිකවැරටිය – ගලපිටියාගම ප්‍රදේශයේදියි.

සෝදිසි මෙහෙයුමේ දී හමු වූ භාණ්ඩ අතර 303 (7.7 x 56mm R) වර්ගයේ ජීව උණ්ඩ 47 ක්, 9mm ජීව උණ්ඩ 42 ක්, බෝර 16 වර්ගයේ නිල් පැහැති ජීව උණ්ඩ 25 ක්, යකඩ හෙල්මට් 01 ක්, පොසැ 1446 අංක තහඩුව සහිත උරහිස් ලාංඡන සඳහන් පොලිස් නිල ඇඳුම් කමීස 01 ක්, තහඩුව සහිත බෙල්ට් 02 ක් ඇතුළු භාණ්ඩ රැසක් හමු වී තිබෙනවා.

අදාළ භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිසියට භාර දී ඇති බවයි වාර්තාවන්නේ.


‘සාකුන්තලය’ වත්කම සොරාගත් ජඩයා – තොරතුරක් වෙතොත් දන්වන්න

(16.01.2023 – 10:15 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල ‘නාමෙල් මාලිනි පුංචි තියටර්’ හි දී අද (16) දින රඟ දැක්වීමට සූදානම් කර තිබූ ‘සාකුන්තලය’ වේදිකා නාට්‍යයේ රංග වස්ත්‍ර හා රංග භාණ්ඩ සොරාගෙන තිබෙනවා.

මෙම සොරකම ඊයේ (15) පස්වරු 03:30 ට පමණ සිදු ව ඇත්තේ බොරැල්ල ‘නාමෙල් මාලිනි පුංචි තියේටර්’ පරිශ්‍රයේ දියි.

ඊයේ (15) දිනයේ දී ‘ඊඩිපස්’ නාට්‍ය පුංචි තියටර් රඟහලේ දී රඟ දැක්වෙන අතරතුරදියි මෙම සොරකම සිදුව ඇත්තේ.

‘සාකුන්තලයේ’ රංග වස්ත්‍ර හා රංග භාණ්ඩ අසුරා තිබූ සූට්කේසය අදාළ පුද්ගලයා විසින් රැගෙන යන අයුරු ද අසල තිබූ සී.සී.ටී.වී. කැමරාවක සටහන් ව තිබුණා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර, මෙම පුද්ගලයා අදාළ බෑගය ද රැගෙන බොරැල්ල ෆෙයාර්ෆීල් උද්‍යානය පාරෙන් සහස්පුර මහල් නිවාස සංකීර්ණය දෙසට ඇතුළු වන ආකාරයයි අදාළ කැමරා දර්ශනවල සටහන් ව ඇත්තේ.

මෙම සිදුවීම හේතුවෙන් සාකුන්තලයේ නිෂ්පාදක මණ්ඩලය දැනුම්දී ඇත්තේ, අදාළ වේදිකා නාට්‍යය රඟ දැක්වීම් කටයුතු අද (16) දිනයේ දී සිදු නොකෙරෙන බවත්, දින නියමයකින් තොරව එය කල් දැමූ බවත්, ඒ සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයෙන්ට ඔවුන් සිය කනගාටුව පළ කරන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිස් විමර්ශන ක්‍රියාත්මක අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් හෝ අදාළ සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් ඒ පිළිබඳ ‘නාමෙල් මාලිනි පුංචි තියෙටර්’ වෙත දැනුම්දෙන ලෙසත් ‘සාකුන්තලය’ නාට්‍යයේ නිෂ්පාදක මණ්ඩලය ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

+


ත්‍රිරෝද රථයක් පෙරළී කුඩා දරුවෙකු මරුට

(16.01.2023 – 10:53 +0530 – hirunews.lk/sinhala)

රාගල සමගිපුර ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් සිදුවූ අනතුරකින් කුඩා දරුවෙකු මියගොස් තවත් දැරියක තුවාල ලබා තිබෙනවා.

ත්‍රිරෝද රථය පදවා ඇත්තේ 16 හැවිරිදි තරුණයෙකු විසින්. මියගිය දරුවා වයස අවුරුදු දෙකහමාරක් (2½) වන රාගල සෙන් ලෙනාඩ් වතුයායේ පදිංචිකරුවෙක්.

මේ අතර නාවලපිටිය – දොළොස්බාගේ මාර්ගයේ මොන්තක්‍රිස්තෝ විද්‍යාලය අසළදී බස් රථයකින් ඇද වැටීමෙන් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

16 හැවිරිදි ඔහු නාවලපිටිය උඩහේන්තැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ගලෙන්බිඳුණුවැව – සීප්පුකුලම මාර්ගයේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින්ද තරුණයන් දෙදෙනෙකු (2) ඊයේ (15) ජීවිතක්ෂයට පත්වුණා ෴


පිරිමි සම්බාහනය කිරීම කාන්තාවන්ට තහනම්?

(16.01.2023 – 12:45 +0530 – hirunews.lk/sinhala)

පිරිමින් සම්බාහනය කිරීම කාන්තාවන්ට තහනම් කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙනවා.

ඒ අනුව, ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානවල දී පිරිමින්ට පිරිමි සහ ගැහැණුන්ට ගැහැණු ලෙස පමණක් සම්භාහනය කළ හැකි පරිදි නීති රීති සකස් කිරීමට පියවර ගන්නා බවයි ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධම්මික අබේගුණවර්ධන පවසන්නේ.

ඒඩ්ස් ඇතුළු ලිංගාශ්‍රිත රෝග බහුලව පැතිර යාම මෙම තීරණය ගැනීමට හේතුව වී ඇති බව ද ඔහු පවසනවා.

එමෙන්ම සම්බාහන මධ්‍යස්ථාන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු අතර එහි පළපුරුදු වෛද්‍යවරයකු ද සිටීම අනිවාර්ය විය යුතු බව පැවසූ ආයුර්වේද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ, සම්බාහන කටයුතුවල නිරත වන කාර්ය මණ්ඩලය වෘත්තීමය දැනුමකින්, පුහුණුවකින් හෙබි විය යුතු බවයි ෴


ඩොලර් ගේන්න රට යන ‘බෙහෙත් එඬරු’

(16.01.2023 – 12:59 +0530 – hirunews.lk/sinhala)

මෙරට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ඩොලර් උත්පාදනය ප්‍රධානතම අංගයක් බවට පත්ව තිබෙනවා.

මේ තොරතුරු ඩොලර් උත්පාදනය සඳහා ක්‍රියාත්මක ව්‍යාපෘතියක් පිළිබඳවයි.

මේ පොළොන්නරුව, කලහගල ප්‍රදේශයේ පිහිටි රජයේ භුමියක ස්ථාපිත ‘බෙහෙත් එඬරු’ වගාවක්.

2020 වසරේදී එවක රජයේ මූලිකත්වයෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ මූලික වශයෙන් ‘බෙහෙත් එඬරු’ ආනයනය හරහා අහිමි වන ඩොලර් ආදායම ඉතිරි කර ගැනීමේ අරමුණින්.

ඊට අමතරව අතිරේක අස්වැන්න අපනයනය හරහා විදේශ විනිමය උත්පාදනය කිරීමද එහි තවත් අවශ්‍යතාවක් වුණා.

මෙම ‘බෙහෙත් එඬරු’ වාහන එන්ජින් තෙල් වර්ගයක් නිෂ්පාදනයට මෙන්ම ඖෂධ සහ සුවඳ විලවුන් නිෂ්පාදනයටද යොදා ගත හැකි වීම හේතුවෙන් ලොව පුරා ඒ සඳහා ඉහළ ඉල්ලුමක් ලැබී තිබෙනවා.

මේ වනවිට මෙම වගාවේ අස්වැන්න නෙලීමේ කටයුතු ආරම්භ වී ඇති අතර, ඒ හේතුවෙන් ගොවීන්ගේ අතමිට ද සරුවී ඇති බවයි ඔවුන් පැවසුවේ.

‘බෙහෙත් එඬරු’ වැඩි වශයෙන් නිෂ්පාදනය කෙරෙන්නේ චීනයේ සහ ඉන්දියාවේයි.

වන අලින් ඇතුළු සතුන්ගෙන් සිදුවන හානි අවම වීම හේතුවෙන් බෙහෙත් එඬරු වගාව සිදුකරගෙන යාම එතරම් අපහසු නොවන බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.

ඩොලර් අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස දැඩි ආර්ථික අවපාතයකට ලක්ව සිටින ශ්‍රී ලංකාවට මෙවැනි ව්‍යාපෘති හරහා විශාල ඉදිරි පියවරක් තැබීමට හැකි බව නොරහසක්.

වැය කළ මුදලට සරිලන ප්‍රතිලාභ නොලැබෙන මහා පරිමාණ ව්‍යාපෘති වෙනුවෙන් මහජන මුදල් කාබාසිනියා කරනු වෙනුවට අඩු වියදමකින් මෙන්ම අඩු ශ්‍රමයකින් ක්‍රියාත්මක කළ හැකි ප්‍රතිඵලදායක ව්‍යාපෘති පිළිබඳව දැන්වත් රට කරවන ඇත්තන්ගේ අවධානය යොමු විය යුතු නොවේද ?

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *