කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත ලබා නොගත් සංචාරකයන් ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් නිවේදනයක්

කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත ලබා නොගත් සංචාරකයන් ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් නිවේදනයක්


කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත ලබා නොගත් සංචාරකයන් ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් නිවේදනයක්

(14.01.2023 – 18:10 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත ලබා නොගත් සංචාරකයන් පැය 72 කට පෙර පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකළ යුතු බවට මාර්ගෝපදේශයක් නිකුත් කර නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ සංචාරක සංවර්ධන අධිකාරිය ඊයේ (13) නිකුත් කළ නිවේදනයක් සම්බන්ධයෙන් අද (14) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින්.

මෙරටට පැමිණෙන සියලු සංචාරකයින් කොවිඩ් එන්නත් කාඩ්පත ළඟ තබාගත යුතු බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඊයේ (13) ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ එන්නත් ලබානොගත් සංචාරකයින් පැමිණීමට පැය 72 කට පෙර ලබාගත් කොරෝනා පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවයි.

+


රෙජිනෝල්ඩ් මිය ගියේ ගෙවිඳු බණිනකොට හැදුණු පපුවේ අමාරුවකින් – පුද්ගලික ලේකම් කියයි

(14.01.2023 – 13:12 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (13) අලුයම අභාවප්‍රාප්ත වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කළුතර දිස්ත්‍රික් නායක, හිටපු බස්නාහිර පළාත් මහඇමති රෙජිනෝල්ඩ් කුරේගේ අභාවයට හේතු වූ හදිසි හෘදයාබාධය ඇති වීමට හේතු වන්නට ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග ඇතුළු සිවු (4) දෙනෙක් සමග ඇති වූ උණුසුම් වචන හුවමාරුවක් බව හිටපු මහඇමතිවරයාගේ පෞද්ගලික ලේකම් ජේ. සෝමසිරි ‘හිරු නිවුස්’ වෙත පැවසුවා.

එළඹෙන පළාත් පාලන මැතිවරණය පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින්, නිදහස ජනතා සංධානයේ නියෝජිතයන් අතර පසුගිය 12 වැනිදා රාත්‍රී 8 ට පමණ පානදුර ප්‍රදේශයේ පිහිටි හෝටලයක පැවති සාකච්ඡාවක් අතරතුර දී හිටපු මහ ඇමතිවරයාට හෘදයාබාධය වැලඳුණු අතර ඊයේ (13) අලුයම 02:30 ට පමණ ඔහු කළුතර නාගොඩ රෝහලේ දී අභාවප්‍රාප්ත වුණා.

කෙසේ නමුත් හිටපු මහ ඇමතිවරයාගේ මරණ සම්බන්ධයෙන් පැවැත් වූ හදිසි මරණ පරීක්ෂණයේ දී සාක්ෂි වශයෙන්, මහ ඇමතිවරයාට හෘදයාබාධය ඇති වීමට පෙර සිදු වූවා යැයි කියන වචන හුවමාරුව සම්බන්ධයෙන් ද තොරතුරු ලබා දීමට පුද්ගලික ලේකම්වරයා කටයුතු කර තිබෙනවා.

එහි දී ඔහු පවසා ඇත්තේ, පසුගිය දා රාත්‍රියේ පැවති නිදහස ජනතා සංධානයේ සාකච්ඡාවට එහි නියෝජිතයෙක් සහභාගි නොවීම පිළිබඳව හිටපු මහ ඇමතිවරයා කළ විමසීමක දී ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා විසින් හිටපු මහ ඇමතිවරයාට බැණ වැදී ඇති බවයි.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහඇමතිවරයාගේ පෞද්ගලික ලේකම් ජේ. සෝමසිරිගෙන් ‘හිරු නිවුස්’ අප කළ විමසීමේ දී ඔහු පැවසුවේ, “ආණ්ඩුකාරතුමා ඇහුවා ලලිත් එල්ලාවල සාකච්ඡාවට ආවෙ නැත්තෙ ඇයි කියලා? එතකොට ගෙවිඳු මන්ත්‍රීතුමා කිව්වා අපේ පක්ෂෙ නියෝජිතයන්ගෙ සහභාගිත්වය පිළිබඳ ප්‍රශ්න කරන්න ඔයාට තියන අයිතිය මොකක්ද කියලා. එතකොට ඒකට උත්තරක් විදිහට ආණ්ඩුකාරතුමා කිව්වා සංයුතිය ගැන හැදෑරීමක් නැතුව කොහොම ද සාකච්ඡාව ඵලදායි වෙන්නෙ? කියලා. ඒකට උත්තර දීපු ගෙවිඳු මන්ත්‍රීතුමා කිව්වා ඔයා ශ්‍රී ලංකා එකෙන් ආවනම් අපේ පක්ෂෙ ගැන කතා කරන්න එපා කියලා උස් හඬින් කිව්වා. ඒත් එක්කම රෝගී තත්ත්වයෙන් හිටපු ආණ්ඩුකාරතුමා අමාරුයි කියලා පපුව අල්ලා ගත්තා. ඊට පස්සෙ කලන්තෙ හැදුණා. ඒත් එක්ක ම ආණ්ඩුකාරතුමාව පානදුර හොස්පිට්ල් එකට ගෙනිච්චා. එතනින් බරපතලයි කියලා කළුතරට යැව්වා. පාන්දර 02:30 විතර තමයි නැති වුණේ.” යනුවෙන්.

අභාවප්‍රාප්ත වූ ආණ්ඩුකාරවරයාගේ අවසන් කටයුතු එළඹෙන 18 වැනි දා පැවැත්වීමට නියමිතයි ෴


ක්‍රෙඩිට් කාඩ් ලෙස සැකසූ රුපියල් කෝටි 11 ක රත්‍රං සමඟ කතක් දැලේ

(14.01.2023 – 13:23 +0530 – hirunews.lk/sinhala)

ක්‍රෙඩිට් කාඩ් පත් ආකාරයට සකස් කරන ලද රුපියල් කෝටි 11 කට අධික රත්‍රං තොගයක් සමඟ කාන්තාවක් කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක, නීති කටයුතු භාර නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා කියා සිටියේ රේගු ආදායම් අධීක්ෂණ නිලධාරීන් විසින් සැකකාරිය අත්අඩංගුවට ගත් බවයි.

නීතිවිරෝධී රත්‍රං ශ්‍රී ලංකාවට ගෙන ඒමේ නවතම ක්‍රමයක් ලෙසට ක්‍රෙඩිට්කාඩ් පත් ආකාරයට මෙම රත්‍රං තොගය සකස් කර තිබූ බව ඔහු සඳහන් කළා.

30 හැවිරිදි සැකකාරිය ගම්පහ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර, ඇය සතුව තිබූ කිලෝ 6 කට අධික රත්‍රං ක්‍රෙඩිට් කාඩ්පත් 27 ක් සොයාගෙන තිබෙනවා.

එමෙන්ම තවත් ස්වර්ණාභරණ තොගයක් ද ඇය සතුව තිබී රේගු භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම ඇයගේ බෑගයක තිබී ‘රත්‍රං ජෙල්’ තොගයක් ද සොයාගත් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ෴

(ada.lk)

ආහාර විෂ වූ කොග්ගල ඇඟලුම් කර්මාන්තශාලාවේ සාමාන්‍යාධිකාරිව දුටු තැන අල්ලන්න නියෝග

(14.01.2023 – 14:17 +0530 – hirunews.lk/sinhala)

ඉකුත් දෙවැනි (02) දා කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ආහාර විෂවීමක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ කර්මාන්තශාලාවේ සාමාන්‍යාධිකාරිවරයා දුටු තැන අත්අඩංගුවට ගැනීමට ගාල්ල මහේත්‍රාත් අධිකරණය මගින් විවෘත වරෙන්තු නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ අතර අදාල කර්මාන්තශාලාවේ ආහාර සැපයුම් ආයතනයට රුපියල් 40,000 ක දඩ මුදලක් නියම කළ අතර එම ආයතනයේ කළමණාකරු රුපියල් 50,000 ක ශරීර ඇපයක් මත මුදා හැරීමටත්, සිදූ වැරදි අඩුපාඩු නිවැරදි කිරීමට අදාල පියවර ගන්නා ලෙසත් අධිකරණය නියෝග නිකුත් කර ඇති බව හබරාදූව මහජන සෞඛ්‍ය නිලධාරී කාර්‍යාලය පවසනවා.

නව අවුරුදු උදාව නිමිත්තෙන් කොග්ගල වෙළඳ කලාපයේ ඇඟළුම් කර්මාන්තශාලාවක දිවා සාදයක් සංවිධානය කොට තිබූ අතර එහි දී ආහාර ලබා ගන්නා ලද පිරිස අතරින් තුන්සියයකට (300) අධික පිරිසකට ආහාර විෂවීමකට අදාල රෝග ලක්ෂණ මතුව තිබූ අතර ගාල්ල කරාපිටිය රෝහල, අහංගම රෝහල, ඉමදුව රෝහල, සහ හබරාදුව රෝහල වෙත ඇතුළත් කොට අදාළ ප්‍රතිකාර ලබාදීමට පියවර ගැනුණා.

අදාල නඩුව කැඳවූ අවස්ථාවේ එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සාමාන්‍ය අධිකාරිවරයා ලෙස කටයුතු කරන ගල්මන්ගොඩ ගුරුගේ ගයත් චන්ද්‍රකුමාර අධිකරණයේ පෙනී නොසිටීම නිසායි ඔහුව දුටු තැන අත්අඩංගුවට ගැනීමට ගාල්ල මහේස්ත්‍රාත්වරයා විසින් විවෘත වරෙන්තු නිකුත් කිරීමට කටයුතු කළේ ෴


බලධාරී නොසැලකිල්ලෙන් මළකන කෝටි ගණනක කෘෂි යන්ත්‍රෝපකරණ

(14.01.2023 – 14:44 +0530 – hirunews.lk/sinhala)

‘වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ද මේ අවනඩුව’ යන පැරණි කියමන යළි යළිත් සිහි ගන්වමින් අද (14) ‘රතු මිනිත්තුවෙන්’ අවධානය යොමු කරන්නේ තවත් සුදු අලියෙකු බවට පත්වූ මහජන දේපළක් පිළිබඳවයි.

එප්පාවල, මැඩියාව මහවැලි කොට්ඨාස කාර්යාල භූමියෙහි රුපියල් කෝටි ගණනක වටිනාකමින් යුත් මෙම යන්ත්‍ර ගාල් කර ඇත්තේ මහවැලි H කලාපයේ ගොවි
ජනතාවට කාබනික පොහොර ලබාදීමේ ව්‍යාපෘතියක් වෙනුවෙන්.

මෙම ස්ථානයෙහි කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මෙන්ම ඊට අවශ්‍ය අමුද්‍රව්‍යද විශාල ප්‍රමාණයක් ගොඩගසා තිබෙනවා.

පසුගිය කාලයේදී රසායනික පොහොර ආනයනය ඉවත්කර කාබනික පොහොර සඳහා ගොවි ජනතාව යොමු කිරීමත් සමඟ බලධාරීන් පුරසාරම් දෙඩවූයේ රටට
අවශ්‍ය කාබනික පොහොර රට තුළම නිෂ්පාදනය කිරීමට කටයුතු සළසා ඇති බවටයි.

නමුත් එලෙස කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ගෙනැවිත් තිබෙන මෙම යන්ත්‍ර සූත්‍ර මෙලෙස දිරාපත්ව යාමට ඉඩහැර බලධාරීන් නිද්‍රාශීලීව සිටින්නේ දේශයේ
හදවත බඳු වූ ගොවි ජනතාව කබලෙන් ලිපට ඇදදමමින් නොවේද?

මහවැලි එච්. කලාපයේ ගොවීන් වෙනුවෙන් මහජන මුදල් කෝටි ගණනින් වැය කර ගෙන ආ යන්ත්‍ර සූත්‍රවලින් ඊට අදාළ ප්‍රයෝජන ගන්නා තෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

+


වැලි කොට්ට ගොඩකට යට වී දස (10) හැවිරිදි දරුවෙක් මරුට

(14.01.2023 – 14:51 +0530 – hirunews.lk/sinhala)

ඌව පරණගම – කරගහඋල්පත ප්‍රදේශයේ දස (10) හැවිරිදි පිරිමි දරුවෙකු, සිරුර මතට වැලි කොට්ට ගොඩක් පෙරළී සිදුවූ අනතුරකින් මියගොස් තිබෙනවා.

එම දරුවා අඹගස්දෝව පාසලේ 4 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර ඊයේ (13) සවස මව්පියන් නිවසේ නොමැති අවස්ථාවක සෙල්ලම් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සදහන් කළේ.

දරුවාගේ මව නිවසට පැමිණීමෙන් පසු දරුවා දැක, ඌව පරණගම රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් ඒ වනවිටත් දරුවා මිය ගොස් තිබූ බවයි වාර්තා වන්නේ.

+


වැදි ප්‍රජාවේ පිරිසක් පළමු වරට ඉදිරි පළාත් පාලන මැතිවරණයට

(14.01.2023 – 18:36 +0530 – hirunews.lk/sinhala)

වැදි ප්‍රජාවේ පිරිසක් එහි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ යටතේ පළමු වරට ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට තීරණය කර තිබෙනවා.

ඔවුන් මහියංගන, සොරණතොට සහ හාලිඇල ප්‍රාදේශීය සභා සහ බදුල්ල මහ නගර සභාව සඳහා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ධජය යටතේ තරග කිරීමට නියමිතයි.

මෙහිදී වන්නිල ඇත්තන් කියා සිටියේ :

“ආදිවාසී වංශයේ අපේක්ෂකයන් කිහිප දෙනෙකු මැතිවරණයට ඉදිරිපත් වෙනවා. නිදහසින් පසු නොකඩවා පැවැති මැතිවරණවලදී අපි ප්‍රධාන දේශපාලන පක්ෂවලට ඡන්දය දුන්නත් ඔවුන් අපිව විනාශයට ඇද දැම්මා.”

+


පොලිස්පති සමග කළ කතාව මැතිවරණ කොමිසම හෙළිකරයි

(14.01.2023 – 19:54 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ වියදම් නියාමනය කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත විවාදයට ගැනීම පිළිබඳ අවසන් තීරණය ගැනීමට ලබන බදාදා (18) පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වීමට තීරණය කර තිබෙනවා.

පළාත් පාලන ආයතන සහ පළාත් සභා මැතිවරණ, මහ මැතිවරණය සහ ජනාධිපතිවරණයට අදාළ ඡන්ද විමසීම්වලදී අපේක්ෂකයින් විසින් දරනු ලබන වියදම් නියාමනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් අධිකරණ, අමාත්‍ය විජයදාස රාජපක්ෂ පසුගිය දෙසැම්බර් මස 08 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

එහි දැක්වෙන්නේ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමකදී නාමයෝජනා භාරදීමේ කාලසීමාව අවසන් වීමෙන් පසුව, එම ඡන්ද විමසීමට තරග කරන පිළිගත් දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් සහ වෙනත් අපේක්ෂකයින් විමසා මැතිවරණ කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකා රුපියල් වලින් යම් මුදලක් නියම කරනු ලබන බවයි.

එම මුදල, ඡන්ද විමසීම පවත්වන බල ප්‍රදේශය තුළ ලියාපදිංචි මුළු ඡන්ද දායකයින් සංඛ්‍යාවෙන් ගුණ කිරීමෙන් ලැබෙන මුදල, අපේක්ෂකයෙකුට ශ්‍රී ලංකා රුපියල්වලින් වියදම් කළ හැකි බව, නව පනත් කෙටුම්පතෙන් දක්වා තිබෙනවා.

මේ අතර, පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආරක්ෂාව සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් මැතිවරණ කොමිසමේ සියලු‍ම සාමාජිකයින් සහ පොලිස්පතිවරයා අතර ඊයේ (13) පැවැත්වුණේ, මැතිවරණ මහලේකම් කාර්යාලයේදීයි.

මැතිවරණ කොමිසම පොලීසියට ගෙවීමට ඇති හිඟ මුදල් ගෙවනතුරු, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය මැතිවරණ රාජකාරී සඳහා යෙදවිය නොහැකි බවට එම සාකච්ඡාවේදී පොලිස්පතිවරයා පැවසූ බවට පැතිර යන ප්‍රචාර අසත්‍යය බව, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා හිරු ප්‍රවෘත්ති වෙත ප්‍රකාශ කළා.

+


මසකට සහල් මෝල් 10 ක් වැසෙයි

(15.01.2023 – 08:04 +0530 – hirunews.lk/sinhala)

සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් 10 ක් පමණ මසකට වැසී යමින් පවතින බව එක්සත් සහල් මෝල් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති මුදිත් පෙරේරා කියා සිටියේ පසුගිය වසර කිහිපයේ බැංකු ණය වාරික ගෙවා ගැනීමට නොහැකිවීම සහ බැංකු පොලී අනුපාත ඉහළ යෑම හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල්වල දේපළ වෙන්දේසි වන තත්ත්වයක් දක්නට ලැබෙන බවයි.

මේ අතර, සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති නිශාන්ත අත්තනායක පවසන්නේ තම කර්මාන්තය රැකගැනීමට රජයේ මැදිහත්වීම අපේක්ෂා කරන බවයි ෴


නොරොච්චෝලේ පළමු ජනන යන්ත්‍රය බ්‍රහස්පතින්දා ජාතික පද්ධතියට

(15.01.2023 – 08:25 +0530 – hirunews.lk/sinhala)

සුළු නඩත්තුවක් සඳහා අක්‍රීය කර ඇති නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය එළැඹෙන බ්‍රහස්පතින්දා වනවිට යළිත් ජාතික පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කරන බව විදුලිබල මණ්ඩලය පවසනවා.

මේ හේතුවෙන් ජාතික පද්ධතියට අහිමි වී ඇති ධාරිතාවය මෙගාවොට් 270 ක්.

මේ අතර, මේ වසරේ දිවයිනට පැමිණෙන 03 වන ගල් අඟුරු නෞකාව අද (15) පුත්තලමට ළඟාවීමට නියමිතයි.

මීට පෙර ගල් අඟුරු රැගත් නෞකා දෙකක් (2) මෙම මාසයේ දිවයිනට පැමිණි අතර, තවත් ගල් අඟුරු නෞකා දෙකක් (2) ජනවාරි 18 වනදා සහ 19 වන දා දිවයිනට ළඟාවීමට නියමිතව තිබෙනවා.

මේ අතර, තෛපොංගල් උත්සවය නිමිත්තෙන් අද (15) දිනයේ දී විදුලි කප්පාදුවක් සිදුනොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළා ෴


අක්ෂි ඖෂධ හිඟයක්

(15.01.2023 – 08:28 +0530 – hirunews.lk/sinhala)

ග්ලෝකෝමාව ඇතුළු අක්ෂි රෝග සඳහා බහුලව භාවිත කෙරෙන ඖෂධ වර්ගවල හිඟයක් මේ දිනවල අක්ෂි රෝහල්වල සහ වෙළඳපොලේ දක්නට ලැබෙන බව වාර්තා වනවා.

අක්ෂි රෝගීන් පවසන්නේ මේ හේතුවෙන් සිය ඖෂධ සපයා ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට තමන් අර්බුදයකට මුහුණ පා ඇති බවයි ෴


‘සීතාවක ඔඩිසි’ අද (15) මංගල ගමනේ

(15.01.2023 – 08:33 +0530 – hirunews.lk/sinhala)

සීතාවක – අවිස්සාවේල්ල සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අද (15) උදෑසන ‘සීතාවක ඔඩිසි’ දුම්රිය සිය මංගල ගමන ආරම්භ කරනු ලැබුවා.

එම දුම්රිය ප්‍රවාහන ජනමාධ්‍ය හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (15) උදෑසන 07:30 ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කළ අතර, එය, වග දුම්රිය ස්ථානය දක්වා ධාවනය වනු ඇති.

සීතාවක – අවිස්සාවේල්ල සංචාරක කලාපයේ පවතින සංචාරක ස්ථානයන් කේන්ද්‍ර කරගනිමින් මෙම දුම්රිය ධාවනය වන අතර, දෙස් විදෙස් සංචාරකයන් ආකර්ශනය කරගැනීමේ මූලික පියවරක් බව සඳහන් ෴

+


සිරිපතුලට රන් වියනක්

(15.01.2023 – 11:08 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී පාද පතුළට ඉහළින් රන්, මුතු මැණික් සහ රිදීවලින් නිම කරන ලද රන් වියනක් සවිකර තිබෙනවා.

ඉතිහාසයේ පළමු වතාවට සවි කෙරුණු මෙම රන් වියන ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න හිමියන්ගේ අනුශාසනාව පරිදියි ඊයේ (14) සවිකර ඇත්තේ.

රන් වියන ශ්‍රී පාද උඩමළුව වෙත පෙරහැරකින් වැඩමවූ බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

මෙම රන් වියන ශ්‍රී පාද වාරය අවසන්වීමෙන් පසු සධාතුක කරඬුව, සමන්දේව ප්‍රතිමාව සහ දේවාභරණ සමඟ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානය දක්වා වැඩමවීමට නියමිතයි ෴


අසත්‍ය තොරතුරු ලබා දී විදේශ ගතවන්නන්ට එරෙහිව නීතිමය පියවර

(15.01.2023 – 13:18 +0530 – hirunews.lk/sinhala)

තම ඥාතීන් හෝ මිතුරන් බැලීමට යන බවට පවසා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපල ඒකකයේ නිලධාරීන්ට අසත්‍ය තොරතුරු ලබාදී විදෙස් ගතවන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එලෙස ඔවුන් විදේශ ගතකිරීමට කටයුතු කළ පුද්ගලයින්ට එරෙහිව ද එම පියවර ගන්නා බවයි එම කාර්යාංශය නිවේදනය කළේ.

මේ අතර ඕමානයේ සුරක්ෂා නිවසේ සිට අද අලුයම දිවයිනට ගෙන්වා ගත් කාන්තාවන් අතරින් හත්දෙනකුම (7) විදේශගත වී ඇත්තේ නීතිවිරෝධී ලෙස සංචාරක වීසා මගින් බවට ද හෙළි වී තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *