ගංජා එක්ක අත් අඩංගුවට ගත් මොණරාගල SSPගේ වැඩ තහනම්

ගංජා එක්ක අත් අඩංගුවට ගත් මොණරාගල SSPගේ වැඩ තහනම්


ගංජා එක්ක අත් අඩංගුවට ගත් මොණරාගල SSPගේ වැඩ තහනම්

(13.01.2023 – 08:51 +0530 – hirunews.lk/sinhala)

ගංජා සමඟ අත්අඩංගුවට ගත් මොණරාගල කොට්ඨාසය භාරව සිටි වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ‘සිසිල කුමාර’ගේ වැඩ තහනම් කර තිබෙනවා.

පසුගිය 10 වනදා සිට පොලිස්පතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මොහු වැඩ තහනමට ලක් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර, නිවසේ සිවිලිමේ සඟවා තිබූ වියළි ගංජා කිලෝග්‍රෑම් 15 ක් සමඟ පසුගිය 08 වැනි දා රාත්‍රියේ දී අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්.

එහි දී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සමඟ ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයෙකු, තවත් පොලිස් සැරයන්වරයෙකු, මොණරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සහ මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු (2) ද අත්අඩංගුවට ගත්තා.

පසුව මෙම පිළිබඳ වැඩිදුර විමර්ශන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් අතර, එහි කණ්ඩායමක් මොණරාගල ප්‍රදේශයට පිටත්ව ගියා.

එහි දී අනාවරණ වූ තොරතුරු මතයි ඇතිමලේ පොලිසියේ ස්ථානාධිපති ‘සුදත් ධර්මදාස’ ඊයේ (12) අත්අඩංගුවට ගත්තේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ‘සිසිල කුමාර’ගේ නිවසින් හමුවූ ගංජා තොගය ඔහුගේ උපදෙස් මත සපයා ඇත්තේ ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් බව මේ වනවිට හෙළි වී තිබෙනවා.

+


75 වැනි නිදහස සමරන්න රුපියල් කෝටි විස්සක් (20)

(13.01.2023 – 09:04 +0530 – hirunews.lk/sinhala)

ලබන පෙබරවාරි මස 04 වනදා පැවැත්වෙන 75 වන නිදහස් සැමරුම දින උත්සවය සහ ඊට සමගාමී වැඩසටහන් වෙනුවෙන් රුපියල් කෝටි විස්සක (20,00,00,000) මුදලක් ඇස්තමේන්තු ගතකර ඇති බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත ප්‍රකාශ කළා.

මෙවර සැමරුම පැය එකහමාරකට (1½) සීමා කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති අතර ඔහු සාම්ප්‍රදායිකව ජාතිය ඇමතීම එහි දී සිදුනොකිරීමටයි තීරණය කර ඇත්තේ.

එමෙන් ම, නිදහස් දින සැමරුම ආරම්භයේ දී සිංහල භාෂාවෙනුත්, අවසානයේ දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමට නියමිතයි.

මේ අතර, නිදහස් දින සැමරුමට සමගාමීව මාර්තු මස 04 වන දා දළඳා වහන්සේ ප්‍රදර්ශනය කෙරෙන බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක් ප්‍රියන්ත මෙහි දී සඳහන් කළා.

එමෙන් ම, කපිලවස්තු සර්වඥ ධාතුන් වහන්සේ වැඩම කරවීම සහ ප්‍රදර්ශනය මැයි මාසයේ කොළඹ නගරයේ දී පැවැත්වීමටත්, චීනයේ වැඩ සිටින සර්වඥ ධාතූන් වහන්සේ වැඩම කරවීම සහ ප්‍රදර්ශනය ජුනි මාසයේ දී අනුරාධපුර නගරයේ දී පැවැත්වෙන බවත් ඔහු එහි දී කියා සිටියා.

පාකිස්තානයේ වැඩසිටින සර්වඥ ධාතූන්වහන්සේ වැඩම කරවා ජුලි මාසයේ දකුණු පළාතේ දී ප්‍රදර්ශනය කිරීම සිදුකෙරෙන බවයි ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ ෴

+++++++++

+


ණය ගෙවන්න බංග්ලාදේශය ලංකාවට කල් දෙයි

(13.01.2023 – 09:15 +0530 – hirunews.lk/sinhala)

විනිමය හුවමාරු ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ගත් ඩොලර් මිලියන 200 ක ණය මුදල ගෙවීමේ කාලය යළි දීර්ඝ කර තිබෙනවා.

බංග්ලාදේශ මහ බැංකුව නිවේදනය කළේ ශ්‍රී ලංකාවට අදාළ ණය ගෙවීම සඳහා තවත් මාස 06 ක කාලයක් ලබාදෙන බවයි.

පවතින ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින් එම කාලය දීර්ඝ කිරීම සිදුකළ බවයි බංග්ලාදේශ මහ බැංකුව සඳහන් කළේ.

අදාළ ණය ගෙවීම සඳහා තවදුරටත් කාලය ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව බංග්ලාදේශ රජයෙන් ඉල්ලීමක් කර තිබූ අතර, එම ඉල්ලීම ඊයේ (13) බංග්ලාදේශ මහ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සලකා බලා තිබුණා.

එහි දී ඔවුන් ඒකමතිකව තීරණය කර ඇත්තේ මෙම ඩොලර් මිලියන 200 ක ණය ගෙවීම සඳහා ලබන සැප්තැම්බර් මාසය දක්වා කාලය ලබා දීමටයි.

විදේශ සංචිත පහළ යෑම හේතුවෙන් ශ්‍රී ලංකා රජය විනිමය හුවමාරු ක්‍රමය යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදලක් ලබාගත්තේ 2021 වසරේ මැයි මාසයේදීයි.

එය පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී ගෙවීමට නියමිතව තිබුණද රට තුළ පැවති ආර්ථික අර්බුදය හමුවේ එය යළි ගෙවීමට නොහැකි වුණා ෴

++++++++++++

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන මූල්‍ය අරමුදලෙන් අනතුරු ඇඟවීමක් (13.01.2023)

+


වනඅලියෙකු ගැටී නැගෙනහිර දුම්රිය ගමනාගමනය නවතී

(13.01.2023 – 09:57 +0530 – hirunews.lk/sinhala)

අද (13) අලුයම හබරණ ගල්ඔය ප්‍රධාන දුම්රිය මාර්ග‍යේ දී මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය වූ පුලතිසි සිග්‍රගාමි දුම්රියෙ ගැටි වනඅලියෙකු මියගොස් තිබෙනවා.

මෙම වනඅලියා ගැටිම නිසා දුම්රියෙ ඉදිරිපස ඇන්ජීම පිලිපැන ඇති අතර අනතුර නිසා නැගෙනහිර පළාතේ දුම්රිය ගමනා ගමනය ද මේ වන විට ඇණහිට ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරින් දුම්රිය මාර්ගයෙ මිටර් 15 ක් පමණ දුරට වනඅලියා ඈදිගොස් තිබෙන අතර දුම්රිය මාර්ගයේ අතුරා තිබූ කොන්ක්‍රීට් සිල්බර කොට 10 ක් පමණ ද කැඩිගොස් තිබෙනවා.

අනතුරින් මිය ගිය වනඅලියා වසර 20 ක් පමන වයස වන අලියකූ බවයි වනජීවි නිලධාරීයෙකූ සඳහන් කරන්නේ.

එසේ ම අනතුරට පත් වනඅලියා අලියා දුම්රියෙ ඉදිරිපස ඇන්ජීම තුළ සිරවි සිටින අතර දුම්රිය ගමනාගමනය ඇණ හිටීම නිසා පීඩාවට පත් වූ මගීන් පොලීසිය විසින් බස්රථවලින් පිටත් කර ‍යවා තිබෙනවා.

අනතුරින් කිසිදු මගියෙකුට හානියක් සිදුව නොමැති අතර පීලි පැනීමට ලක් වූ දුම්රිය තවමත් පීලි ගත කර නොමැති බවයි අප වාර්තාකරු පවසන්නේ.

කවුඩුල්ල සහ මින්නෙරිය වන උද්‍යානවල සිටින වනඅලින් මෙසෙ දුම්රිය මාර්ගය හරවා රංචු පිටින් මාරුවන වීට මෙම අනතුරු වලට මුහුණ දෙන බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.


හමුදා සාමාජිකයන් අඩු කිරීමේ සූදානමක්

(13.01.2023 – 10:15 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා යුද හමුදාවේ අනුමත සංඛ්‍යාව 2,00,783 ක් වුව ද, ලබන වසර (2024) වනවිට යුද හමුදාවේ මුළු ඇස්තමේන්තු ගත සංඛ්‍යාව 1,35,000 දක්වා අඩුවනු ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ වසර 2030 වනවිට එම සංඛ්‍යාව ලක්ෂය (1,00,000) දක්වා ප්‍රමාණයක පවත්වාගෙන යාමට පියවර ගන්නා බවයි.

ඕනෑ ම ආරක්ෂක අභියෝගයකට මුහුණදීම සඳහා වසර 2030 වනවිට තාක්ෂනිකව සුදුසුකම් ලත් උපායශීලී සමතුලිත හමුදාවක් නිර්මාණය කිරීම ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ගේ අරමුණ බව එම නිවේදනයේ සඳහන් ෴


කැළණිතිස්සට පැය විසි හතර (24)කට ‘නැප්තා’

(13.01.2023 – 11:21 +0530 – hirunews.lk/sinhala)

කැළණිතිස්ස බලාගාරයට අවශ්‍ය නැප්තා ඉන්ධන නොමැති වීම හේතුවෙන් අද (13) රාත්‍රියේ සිට එය අක්‍රිය වනු ඇති බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අනතුරු අඟවනවා.

අද (13) කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් කියා සිටියේ නැප්තා මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ලංකා විදුලි බල මණ්ඩලය සතුව නොමැති බවයි.

කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ ඉදිරි පැය විසි හතර (24) සඳහා අවශ්‍ය නැප්තා කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයට ලබාදී ඇති බවයි. කෙසේ වෙතත් හෙට (14) දිනයට අවශ්‍ය නැප්තා ලබාගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇති බව විදුලිබල මණ්ඩල ප්‍රකාශකයෙකු කියා සිටියා.

මේ අතර ඛණිජ තෙල් බලපත්‍ර ලබාගැනීම සඳහා වන වාර්ෂික ගාස්තු ඉහළ දමමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ගිවිසුමේ වටිනාකම ඇමරිකානු ඩොලර් ලක්ෂයක් (1,00,000) දක්වා වන බලපත්‍ර සඳහා වාර්ෂික ගාස්තුව ඇමරිකානු ඩොලර් 100 දක්වා ඉහළ යනු ඇති.

ඇමරිකානු ඩොලර් ලක්ෂයේ (01) සිට ලක්ෂ ලක්ෂ 05 දක්වා වටිනාකමක් සහිත ගිවිසුම් සඳහා වාර්ෂික බලපත්‍ර ගාස්තුව ඇමරිකානු ඩොලර් 500 ක් වන අතර ගිවිසුමේ වටිනාකම ඩොලර් ලක්ෂ 05 සිට ලක්ෂ 10 දක්වා වන බලපත්‍ර සඳහා අයකෙරෙන ගාස්තුව ඇමරිකානු ඩොලර් දහසක් (1000) ෴


ඡන්දයට සියල්ල සූදානම් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

(13.01.2023 – 11:52 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය සියලු‍ම පියවර මේ දක්වා ගෙන ඇති බව මැතිවරණ කොමිසම අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

ඒ, පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ්‍රාමික යුධ හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව්. එම්. ආර් විජේසුන්දර විසින් ඉදිරිපත් කළ පෙත්සම අද (13) කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

මෙහි දී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හා එහි සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මෙම දැනුම්දීම සිදු කළා.

මෙම පෙත්සම අද (13) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්.තුරෙයිරාජා සහ ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහි දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව සංශෝධිත පෙත්සම ඉදිරිපත් කිරීම සඳහා අවසර ඉල්ලා සිටියා.

ඒ අනුව සංශෝධිත පෙත්සමක් ඉදිරිපත් කිරීම සඳහා පෙත්සම්කරුට අවසර ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සලකා බැලීම සඳහා ලබන 18 වනදා කැඳවන ලෙස නියම කළා.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හා සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ සඳහන් කළේ මැතිවරණ කොමිසම වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටිමක් නොකරන බව දන්වා ඇති බවයි.

ඒ අනුව මැතිවරණ කොමිසම වෙනුවෙන් තමන්ට පෙනී සිටින ලෙස එම කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් උපදෙස් ලබා දී ඇති බවත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණයට දන්වා සිටියා.

මේ අතර අදාළ පෙත්සම කැඳවූ අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා අතරමැදි පෙත්සම් ඉදිරිපත් කළ නීතිඥ සුනිල් වටගල, එරංග ගුණසේකර, පැෆරල් සංවිධානය ඇතුළු පාර්ශව කීපයක් වෙනුවෙන් ද නීතිඥවරු පෙනී සිටියා.

පෙත්සම්කරු කියා සිටින්නේ වර්තමානයේ රට තුළ විශාල ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති බැවින් මෙම අවස්ථාවේ දී පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම නුසුදුසු බවයි.

එබැවින් එම මැතිවරණය පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

+


හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක් සටහන් කරගැන්නැයි නියෝගයක්

(13.01.2023 – 13:36 +0530 – hirunews.lk/sinhala)

අරගලකරුවන් විසින් කොටුව ජනාධිපති මන්දිරයේ දී සොයාගෙන කොටුව පොලිසිය වෙත භාර දුන් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට (1,70,00,000) අධික මුදල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසයට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

ඒ, ඊට අදාළ නඩුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවේ අද (13) කැඳවූ අවස්ථාවේදියි.

පසුගිය වසරේ ජූලි මාසයේදී අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුලු වූ අවස්ථාවේදී එහි තිබී මෙම මුදල සොයාගනු ලැබුවා ෴


රුපියල් ලක්ෂ 20 ක අල්ලසක් ගන්න ගිය පොහොට්ටු ප්‍රා.ස. සභාපති අත්අඩංගුවට

(13.01.2023 – 12:30 +0530 – sinhala.adaderana.lk)

රුපියල් මිලියන දෙකක (20,00,000) අල්ලසක් ලබාගැනීමට යාමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ‘සමන්ත ස්ටීවන්’ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ සැකකාර සභාපතිවරයා මාවනැල්ල නගරයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අවසර ලබාදීම සඳහා මෙලෙස අල්ලස් ලබාගැනීමට උත්සාහ කර ඇති බවටය.

ඒ අනුව මාවනැල්ල ප්‍රදේශයේ හෝටලයක් තුළදී ව්‍යාපාරිකයෙකුගෙන් අල්ලස් ලබාගැනීමට සූදානම්වන අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ ෴


අයිස් ආරවුලකට ඝාතනය කළ තරුණයන් දෙදෙනාගේ (2) ම සිරුරු සොයා ගැනේ

(13.01.2023 – 14:15 +0530 – hirunews.lk/sinhala)

අයිස් මත්ද්‍රව්‍ය ආරවුලක් මත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් තරුණයන් දෙදෙනෙකු (2) ඝාතනය කර සිය නිවස අසල වළ දැමු සිදුවීමක තොරතුරු අප ඊයේ (12) අනාවරණ කළා.

කෑගල්ල මහේත්ත්‍රාත්වරයාගේ නියෝග අනූව එම මළසිරුරු සොයා කැණීම් සිදු කළ අතර මේ වන විට එම සිරුරු දෙක (2) ම සොයා ගෙන තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ 28 හැවිරිදි මොහොමඩ් අන්වර් මොහොමඩ් අර්ෂාත් හා මෙහොමඩ් ඉක්බාල් මොහොමඩ් අසාර් යන මාවනැල්ල ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙක්.

පසුගිය නොවැම්බර් මස 18 හා 25 යන දිනවල සිට ඔවුන් අතුරුදන්ව ඇති බවටයි පොලිසියට පැමිණිළි ලැබී ඇත්තේ.

ඒ අනුව අදාළ තරුණයන් සොයා කෑගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විමර්ශන ආරම්භ කර තිබූ අතර අදාළ තරුණයින් රඹුක්කන හුරිමළුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගෙන් මත්ද්‍රව්‍ය ලබාගැනීමට පැමිණ ඇති බවට මුලික විමර්ශනවල දී තොරතුරු හෙළිව තිබෙනවා.

එහි දී ඇති වු ගැටුමක් දුරදිග යාමෙන් මෙම තරුණයන් දෙදෙනා (2) මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් ඝාතනය කර ඇති බවට පොලිසියට සැක මතුව තිබුණා.

සිදුකළ පරීක්ෂණ අනුව, අදාල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ රඹුක්කන හුරිමළුව ප්‍රදේශයේ නිවසේ කුකුල් කූඩුවක් යට තරුණයන් ඝාතනය කර වළ දමා ඇති බවට තොරතුරු හෙළි වූ අතර ඒ අනුව මහේස්ත්‍රාත්වරියගේ හා කෑගල්ල මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ අදාල නිවසේ සැකකටයුතු භූමිය කැණීම් කටයුතු ඊයේ (12) පස්වරුවේ ආරම්භ කෙරුණා.

මෙම කැණිම්වලදී ඝාතනය කර වළ දමා තිබු එක් තරුණයෙකුගේ සිරුරක් මෙලෙස ගොඩගනු ලැබු අතර අනෙක් තරුණයාගේ සිරුරද මේ වන විට සොයා ගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *