පාස්කු ප්‍රහාරයට අදාල නඩුවේ තීන්දුව ප්‍රකාශ කෙරේ – මෛත්‍රීපාල ඇතුළු හතරකට (4) වන්දි ගෙවන්නත් නියම වෙයි

පාස්කු ප්‍රහාරයට අදාල නඩුවේ තීන්දුව ප්‍රකාශ කෙරේ – මෛත්‍රීපාල ඇතුළු හතරකට (4) වන්දි ගෙවන්නත් නියම වෙයි


පාස්කු ප්‍රහාරයට අදාල නඩුවේ තීන්දුව ප්‍රකාශ කෙරේ – මෛත්‍රීපාල ඇතුළු හතරකට (4) වන්දි ගෙවන්නත් නියම වෙයි

(12.01.2023 – 11:32 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන අය විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) තීන්දු කළා.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළේ, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් ඉහත නම් සඳහන් කළ චූදිතයන් වන්දි ගෙවිය යුතු බවයි.

ඒ අනුව,

• හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රුපියල් මිලියන 100 ක් ද,

• හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් රුපියල් මිලියන 75 ක් ද,

• හිටපු රාජ්‍ය සේවයේ බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් රුපියල් මිලියන 75 ක් ද,

• හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් රුපියල් මිලියන 50 ක් ද,

• හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් රුපියල් මිලියන 10 ක් ද

සිය පුද්ගලික මුදල්වලින් වන්දි වශයෙන් ගෙවිය යුතු බවයි.

• මීට අමතරව රජයේ විසින් රුපියල් මිලියනයක් (01) වන්දි වශයෙන් ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු, එස්.තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී නවාස්, ශිරාන් ගුණරත්න යන සත් (7) පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් වන අතර එම විනිසුරු මඩුල්ල වැඩිදුරටත් නියෝග කළේ, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය පියවර ගන්නා ලෙසයි.

2019 වසරේ අප්‍රෙල් මස 21 වැනි දින පෙරවරුවේ කොළඹ ඇතුළු දිවයිනේ ස්ථාන කිහිපයක කතෝලික දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කරගෙන සිදු වූ මෙම මරාගෙනමැරෙන බෝම්බ ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව පවසමින් පාර්ශවකරුවන් විසින් ඉදිරිපත් කළ පෙත්සම් 12 කට අදාලවයි මෙම තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කළේ.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට කටයුතු කළේ, බෝම්බ ප්‍රහාරයෙන් සිය දරු දෙදෙනා (2) මිය ගිය පියකු වන නන්දන සිරිමාන්න, සංචාරක ව්‍යපාරිකයකු වන ජනත් විදානගේ, සරත් ඉද්දමල්ගොඩ ඇතුළු කතෝලික පියතුමන්ලා තිදෙනෙකු (3), ෂැංග්‍රිලා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ නීතීඥ මෝදිත ඒකනායක ඇතුළු පිරිසක් විසින් ෴

++++++++

+

++++++++++

මෛත්‍රීට පෞද්ගලිකව දඬුවම් විඳීමට සිදු වුවද පාස්කු ප්‍රහාරයට පාර කැපුවේ මංගල, රනිල් ප්‍රතිපත්තියයි – ජාතික සංවිධාන කියයි

(12.01.2023 – 22:55 +0530 – lankaleadnews.com)

පාස්කු ප්‍රහාරයට අදාළව වගකීම් පැහැර හැරීම පිළිබදව රාජ්‍ය නිලධාරීන් 4 දෙනෙකු සහ ජනාධිපතිවරයකු පෞද්ගලිකව වගකිව යුතු බවට ලබාදී ඇති නඩු තීන්දුව පිළිබදව ‘ලංකා ලීඩ්’ විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනයෙන්.

“ජාතික ආරක්ෂාවට අදාළව විධායකයේ වගකීම් පැහැර හැරීමේ වගකීමෙන් ජනාධිපතිවරයකුට පවා ගැලවිය නොහැකි බව මෙම නඩු තීන්දුව මගින් ප්‍රකාශයට පත්වෙලා තියෙනවා. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් නඩු තීන්දුවක් බවට විවාදයක් නැහැ. අනාගත පාලකයන්ට ඒ මගින් ඉතා බරපතළ පිණිවිඩයක් ලබාදී තිබෙනවා.

ඒත් නැගෙනහිර පළාතේ ඔත්තු සේවා බිඳ වැටීම මගින් පාස්කු ප්‍රහාරයට මග පාදන්නේ මංගල – රනිල් විදේශ ප්‍රතිපත්තිය යි.

2015 දී මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවට ස්තූති පූර්වකව අනුමැතිය ලබාදීමෙන් පසුව ආරක්ෂක හමුදා නිලධාරීන්ට පරිපාලන වශයෙන් දඬුවම් කිරීමේ ක්‍රියාවලිය ඇරඹුණා.

ඒ අනුව නැගෙනහිර පළාත බාර ඔත්තු සේවා නිලධාරීන් අත්අඩංගුවට ගත් අතර එම අංශ වසාදමා ලිපිගොනු පවා අත්අඩංගුවට ගත්තා. එහි අවසන් ප්‍රතිඵලය තමයි ‘පාස්කු ප්‍රහාරය’.

එහෙත් අධිකරණය සලකා බලන්නේ අධිකරණයට ඉදිරිපත් වන කරුණු පමණයි. ඒ නිසා දැනට පරලොව සිටින මංගල සමරවීර මහතාට සහ මෙලොව සිටින රනිල් වික්‍රමසිංහ මහතාට තම වගකීමෙන් ගැලවීමට හැකි වෙලා තිබෙනවා.”


රුපියල් කෝටි දෙකක (2) සංස්ථා මුදලින් යැපෙන තෙල් යූනියන් ලොක්කෝ

(12.01.2023 – 13:11 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති නායකයන් තිදෙනෙකුට (3) අදාල ආයතනික නීතිරීතිවලට පටහැනිව සංස්ථාවෙන් රියදුරන් සමග කැබ් රථ ලබා දී ඇති බවත්, වෘත්තීය සමිති කටයුතුවලට ඔවුන්ගෙන් අයෙකු (1) නිදහස් කළ ද ඔහු මාසිකව අතිකාල දීමනා සහ එම වාහන සඳහා මාසිකව ඉන්ධන දීමනා ද ලබා ගන්නා බවට සංස්ථා ආරංචි මාර්ග පවසන බව ජාතික පුවත්පතක් අද (12) කරුණු අනාවරණය කළා.

එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කරන්නේ, වෘත්තීය සමිති කටයුතු සඳහා සේවයෙන් මුදා හැර ඇති සේවකයන්ට මූලික වැටුප සහ ජීවන වියදම් දීමනාව හැරුණුවිට අතිකාල දීමනා, බෝනස් ඇතුළු අනෙකුත් දීමනා හිමි නොවුනත් මෙම වෘත්තීය සමිති නායකයන් තිදෙනා (3) සඳහා මෙකී දීමනා සහ වාහන නඩත්තුව, ඉන්ධන දීමනා, රියදුරු වැටුප් හා අතිකාල දීමනා වෙනුවෙන් ආයතනය විසින් වාර්ෂිකව රුපියල් කෝටි 2 කට ආසන් මුදලක් වැය කරන බවයි.

මෙම වෘත්තීය සමිති නායකයන් තිදෙනා (3) අතරින් එක් අයෙකු විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු වන බවත් ඔහුව වෘත්තීය සමිති කටයුතු සඳහා සේවයෙන් නිදහස් කර ඇති බවත් එම පුවත් වාර්තා සඳහන් කරනවා.

මේ අතර අදාල තැනැත්තා භාවිත කරන, ආයතනයට අයත් රථයේ රියදුරු ලෙස සේවය කරන තැනැත්තා මාසිකව පැය 120 – 200 දක්වා වූ කාලයකට අදාල අතිකාල දීමනාවක් ලබන බවත් මෙම වෘත්තීය සමිති නායකන් තිදෙනා (3) ම භාවිත කරන රථ සඳහා මාසිකව ඉන්ධන ලීටර 200 කට ආසන්න දීමනාවක් ද ලබා ගන්නා බවත් එම පුවත්පත වැඩිදුරටත් පවසනවා.

මෙම වෘත්තීය සමිති නායකයන් තිදෙනා (3) ගෙන්, වෘත්තීය සමිති කටයුතු සඳහා සේවයෙන් නිදහස් කර නොමැති දෙදෙනා (2) ගෙන් අයෙක් ආයතනයේ ආරක්ෂක නිලධාරියෙකු බවත් අනෙකා ගබඩා කළමණාකරුවෙකු බවත් මොවුන් තිදෙනා (3) ගෙන් දෙදෙනෙක් (2) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අදාල වෘත්තීය සමිති නියෝජනය කරන‍ අය වන බවත් අනෙක් තැනැත්තා ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය නියෝජනය කරන අයෙකු බවත් සඳහන්.

කෙසේ නමුත් මොවුන් වෙත ආයතනයෙන් ලබා දී ඇති වාහන තුන (3) ම ඩබල් කැබ් රථ බවත් අදාල පුවත් වාර්තාව වැඩිදුරටත් සඳහන් කරනවා.

එසේ ම අදාල ආයතනයෙන් වාහනයක් හිමි වන්නේ එහි සභාපතිවරයා, සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු ඉහළ නිලධාරින් සඳහා පමණක් බවත් විධායක ශ්‍රේණියේ නිලධාරින්ට වාහනයක් ලබා ගැනීම සඳහා සියයට හතරේ (4%) පොලියට ණය පහසුකම් ලබා දීම පමණක් සිදු කෙරෙනවා.

තව ද සේවයෙන් නිදහස් කළ තවත් වෘත්තීය සමිති නායකයෙකු (1) පසුගිය කාලයේ දී සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කර ඇති බවත්, ඔහු රියදුරෙකු සමග වාහනයක් ද, මාසිකව ඉන්ධන ලීටර දෙසීයකට (200) අධික දීමනාවක් ලබන බවත් අදාල තැනැත්තා එම වාහනය යොදා ගනිමින් දේශපාලන කටයුතුවල නිරතවන බවත් එම පුවත් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වනවා.

කෙසේ නමුත් පසුගිය අගෝස්තු මාසයේ දී විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලැබීමට හේතුවන කරුණු 8 ක් හෙළි කළ අතර ඒ අතරින් පස්වැනි (5) කරුණ ලෙස අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු අධික කාර්ය මණ්ඩලය, අකාරයක්ෂමතාව සහ අධික වැටුප් ගෙවීමයි.

එහි ම දිගුවක් ලෙස අදාල සංස්ථාව පාඩු ලැබීම සඳහා බලපාන හයවැනි (6) කරුණ ලෙස අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, 2012 වසරේ දී ඇති කරගත් සාමුහික එකඟතාවකට අනුව සිදු කරන 25% ක වැටුප් ඉහළ දැමීම ද හේතුවක් වන බවයි.

මෙවැනි තත්ත්වයක් හමුවේ දිගින් දිගට ම පාඩු ලබන ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව එහි පාඩුව පියවා ගැනීම සඳහා අනුගමනය කරන උපාය මාර්ගයක් ලෙස නිරන්තරයෙන් ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කළ අතර පසුගිය සමයේ දී දැඩි ආන්දෝලනයකට තුඩු දුන් අදාල සංස්ථාවේ සේවකයන්ට බෝනස් ගෙවීම් ද ඒ ආකාරයෙන් ම සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් මේ ආකාරයේ පාඩු ලබන ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල උච්ඡාවචනයන්ට සාපේක්ෂව මිල ගණන් පසුගිය අවස්ථා කිහිපයක දී ම අඩු කළ ද එම මිල ගණන් අඩු වීම බස් ගාස්තු අඩු වීමට කිසිදු ආකාරයක බලපෑමක් ඇති නොවීම පිළිබඳවත් සමාජයේ කතාබහක් පවතිනවා ෴


මෙරට තුළ තහනම් කෙරුණු කටාර් සමාජ සේවා අරමුදලේ කාර්යාලයක් යළි විවෘත කෙරේ

(12.01.2023 – 13:34 +0530 – hirunews.lk/sinhala)

මෙරට තුළ තහනම් කෙරුණු ‘කටාර් සමාජ සේවා අරමුදලේ’ කාර්යාලයක් කොළඹ දී විවෘත කර තිබෙනවා.

ඊයේ (11) එය විවෘත කෙරුණේ විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ ‘අලි සබ්රි’ සහ එම අරමුදලේ ප්‍රධාන විධායක ‘යූසෙෆ් අල් කුවේරි’ ගේ ප්‍රධානත්වයෙන්.

ත්‍රස්තවාදි සංවිධානකයක් බව පවසමින් මෙම අරමුදල 2019 වසරේ දී තහනම් කෙරුණු අතර වත්මන් රජය විසින් එම තහනම ඉවත් කරනු ලැබුවා.

ඊයේ (11) එම කාර්යාලය විවෘත කිරීමෙන් පසු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යවරයා කියා සිටියේ මෙම අරමුදලෙන් මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 11.7 ක ආධාර මුදලක් ලබාදීමට තීරණය කර ඇති බවයි.

රජයේ මඟපෙන්වීම යටතේ එම අරමුදල් යෙදවීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළා ෴


විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන්නේ පෙබරවාරි 15 වැනිදා දක්වා පමණයි?

(12.01.2023 – 13:49 +0530 – hirunews.lk/sinhala)

පසුගිය ජනවාරි පළමුවැනිදා (01) සිට අමාත්‍ය මණ්ඩලය අනුමත කළ විදුලි ගාස්තු සංශෝධනය පෙබරවාරි 15 වැනිදා දක්වා ක්‍රියාත්මක බව විදුලිබල මණ්ඩලය සඳහන් කළා.

ඉන් පසු අදාළ ගාස්තු සංශෝධනයට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලැබීමෙන් පසු එය පෙබරවාරි 15 වැනිදා සිට ක්‍රියාත්මක වන බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.

ඒ අනුව නව විදුලි ගාස්තු සංශෝධනය යටතේ, ගෘහස්ථ විදුලිය සඳහා –

• ඒකක බින්දුවේ (0) සිට 30 දක්වා ස්ථාවර ගාස්තුව රුපියල් 400 ක්

• ඒකක 30 සිට 60 දක්වා ස්ථාවර ගාස්තුව රුපියල් 550 ක්

• ඒකක 60 සිට 90 දක්වා ස්ථාවර ගාස්තුව රුපියල් 650 ක්

• ඒකක 90 සිට 180 දක්වා ස්ථාවර ගාස්තුව රුපියල් 1500 ක්

• ඒකක 180 ට වැඩි සියලුම පාරිභෝගිකයින්ගෙන් ස්ථාවර ගාස්තුව රුපියල් 2000 ක්

ලෙස අය කරන බව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ඉංජිනේරු රොහාන් සෙනෙවිරත්න අද (12) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා.

මේ අතර, කර්මාන්ත සඳහා විදුලි ගාස්තු ඉහළ යාම සහනයක් ලබාදීමට කටයුතු කර ඇති බව ද ඔහු එහිදී සඳහන් කළා ෴

+++++++

නව විදුලි ගාස්තු සශෝධනය මේ මස විදුලි බිලට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය මේ වන තෙක් ලැබී නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එහි සභාපති නලින්ද ඉලංගකෝන් කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ විදුලි ගාස්තු වැඩිවීමේ ක්‍රමවේදය සඳහා පසුගිය ජනවාරි පළමුවනදා (01) සිට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබුණද එය ලිඛිතව මණ්ඩලය වෙත යොමු වී නොමැති බවයි.

+


කල්පිටිය සංචාරක කලාපයට අයත් ඉලන්තිඩිය මුහුදු තීරයේ තිබෙන, මුහුදට දියවෙන ‘කසකැලේ’

(12.01.2023 – 14:41 +0530 – hirunews.lk/sinhala)

කල්පිටිය සංචාරක කලාපයට අයත් ඉලන්තිඩිය මුහුදු තීරයේ ඇති කස කැලෑ පද්ධතිය දිනෙන් දින විනාශයට පත්වන බව ප්‍රදේශවාසීන් පවසනවා.

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයට ද බලපෑම් එල්ල වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කල්පිටිය සංචාරක කලාපයට අයත් ඉලන්තිඩිය වෙරළ තීරයේ මෙම කස ගස් රෝපණය 2006 වර්ෂයේදී ආරම්භ කළේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින්.

වන වගා ව්‍යාපෘතියක් යටතේ කිලෝමීටර් තුනකට (3) වැඩි දුරක් හා මීටර් 200 ක් පළලකින් යුක්තකව මෙම කස ගස් රෝපණය කර තිබෙනවා.

සුනාමි වැනි ව්‍යසනයන් යළි ඇති වුවහොත් ඉන් සිදුවන හානිය අවම කරගැනීමේ අරමුණ ඇතිව සහ වාරකන් කාලවල දී හමා එන දැඩි සුළං ප්‍රවාහය අවම කිරීම ද මෙම කස ගස් රෝපණය කිරිමේ ව්‍යාපෘතියේ අරමුණයි.

කෙසේ වෙතත් මේ දිනවල පවතින අයහපත් කාලගුණයත් සමඟ මුහුදු රළ වේගය වැඩි වීමෙන් වෙරළ ඛාදනය වී මෙම කස ගස් සහිත ප්‍රදේශයට දැඩි හානි සිදුව තිබෙනවා.

මෙම මුහුදු තීරයේ වෙරළ සංරක්ෂණ කලාපයේ මීටර් 50 ක ප්‍රමාණයක් සහ ඉන් ඔබ්බට පිහිටි කස කැළේ ආශ්‍රීත ප්‍රදේශයේ මීටර් 30 ක ප්‍රමාණයක් මුහුදුබත්ව ඇති අතර අඛණ්ඩව මෙම ක්‍රියාවලිය සිදුවෙමින් පවතින බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

සිදුව තිබෙන වෙරළ ඛාදනය හේතුවෙන් කස ගස් දහසකට ආසන්න ප්‍රමාණයක් බිම පතිත වී ඇති බවත් යම් යම් පිරිස් එලෙස බිම වැටුණු ගස් කපා රැගෙන යන බවත් ඔවුන් පෙන්වා දෙනවා.

එමෙන්ම සංචාරකයින්ගේ දැඩි ආකර්ෂණයක් දිනාගත් ප්‍රදේශයක් වූ මෙම වනාන්තරය ආශ්‍රිත ප්‍රදේශය දැඩි ලෙස අපවිත්‍ර වී ගොස් ඇති ආකාරයද දක්නට ලැබෙනවා.

ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කල්පිටිය සංචාරක කලාපයට අයත් මෙම සුවිශේෂී වෙරළ පද්ධතිය රැක ගැනීමට කටයුතු කරන ලෙසයි.

+


දෛවයේ කරුණාව නො ලද කරුණාරත්නගේ කතාව

(12.01.2023 – 14:59 +0530 – hirunews.lk/sinhala)

“වැලේ ගෙඩි වැලට බර නැහැ!” මේ අපේ පැරණි කියමනක්.

ඒ, කෙතරම් බාධක, අමාරුකම් පැමිණියත් දෙමව්පියන්ට දරුවන් බරක් නොවන බව පැහැදිලි කිරීම සඳහායි.

එලෙස අනේක විද දුක් කම්කටොලු මැද සිය ආබාධිත දරුවන් ජීවත් කරවීමට සිය ජීවිතය කැපකරන පියෙක් පිළිබඳවයි මේ තොරතුරු.

මේ, දඹුල්ල, ඉනාමළුව, බෙල්ලන්නේඔය ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි ‘ගම්ගෙදර කරුණාරත්න’.

මේ වනවිට ඔහුගේ ප්‍රධානතම කර්තව්‍ය බවට පත්ව ඇත්තේ වයස අවුරුදු 30 ත්, 35 ත් අතර පසුවන සිය ආබාධිත දරුවන් තිදෙනා (3) රැක බලා ගැනීමයි.

රැකියාවක් කිරීමට සුදුසු වයසක නොසිටියත්, කරුණාරත්නට හිතේ හයියෙන් හෝ එවැන්නක් පිළිබඳ සිතාබැලීමට නොහැකි වී ඇත්තේ ඇස් මානයෙන් වසන් වූ වහා ම, සිය පිරිමි දරුවන් දෙදෙනා (2) නිවසින් පලා යාම හේතුවෙන්.

මේ වනවිට නිවසට ඇති එකම ආදායම ආබාධිත දරුවන් වෙනුවෙන් රජයෙන් මාසිකව ලැබෙන රුපියල් 5,000 ක දීමනාව සහ සමෘද්ධි දීමනාව පමණයි.

මේ හේතුවෙන් මෙම දරුවන් තිදෙනා (3) සහ පියා කුසගින්නේ සිටින අවස්ථා ද විරල නැහැ.

ආබාධිත දරුවන් රැකබලා ගැනීමට පසුගිය කාලය පුරාම කරුණාරත්නට සහාය වූ ඔහුගේ බිරිඳ ද මේ වනවිට අසනීප තත්ත්වයෙන් අනුරාධපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

නමුත් සිය බිරිඳ පිළිබඳ සොයා බැලීමට හෝ රෝහලට යාමට පවා මොහුට හැකියාවක් නැහැ.

+


නඩු භාණ්ඩ වාහනවල බැටරි ගලවා අලෙවි කළ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

(12.01.2023 – 17:19 +0530 – hirunews.lk/sinhala)

නඩු භාණ්ඩ ලෙස අධිකරණ භාරයට ගත් ත්‍රීරෝද රථයක සහ ලොරි රථයක බැටරි දෙකක් (2) සොරකම් කළ පොලිස් කොස්තාපල්වරයෙකු සහ එවා මිල දි ගත් පුද්ගලයන් දෙදෙනෙකු (2) කල්පිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (11) රාත්‍රියේ කල්පිටියේදී සැකකටයුතු ලොරි රථයක් පරික්ෂා කිරිමේදි මෙම සොරාගත් වාහන බැටරි හමුවී ඇති අතර, එහිදී සිදුකළ වැඩිදුර විමර්ශන අනුවයි මේ පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇත්තේ.

ඔවුන්ට ඒවා කල්පිටිය පොලිසියට අනුයුක්ත කල්පිටිය සංචාරක උසාවියේ රාජකාරියේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකු විසින් රුපියල් 4500 ක මුදලකට අලෙවිකර ඇති බවට ලොරි රථයේ සිටි දෙදෙනා (2) ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී තිබෙනවා ෴


පුංචි ඡන්දයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ගැන සාකච්ඡාවක්

(12.01.2023 – 19:46 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සහ මුදල් අමාත්‍යංශය අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මැතිවරණ කොමිසමට පැමිණ මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා සමග ඊයේ (11) දිනයේදී එම සාකච්ඡාව පවත්වා ඇති බව සඳහන්.

එහිදී මැතිවරණ කොමිසමේ නිලධාරීන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දිය හැකි ආකාරය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශ නිලධාරීන්ගෙන් විමසා තිබෙනවා.

එම අවස්ථාවේදී මුදල් අමාත්‍යංශ නිලධාරීන් මැතිවරණ කොමිසමට පවතින මූල්‍ය දුෂ්කරතා සහ රටෙහි වත්මන් ආර්ථික ගැටළු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයින් මුදල් අමාත්‍යංශ නිලධාරින්ට පවසා ඇත්තේ තමන්ට පැවරී ඇති වගකීම වනනේ මැතිවරණයක් පැවැත්වීමට අදාළ වතාවරණය සකස් කිරීම බවයි.

ඊට අදාළ ප්‍රතිපාදන ලබාදීමට මුදල් අමාත්‍යංශය බැදී සිටින බවට ද මැතිවරණ කොමිසමේ නිලධාරීන් එම හමුවේදී ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය ප්‍රතිපාදන අයවැයෙන් වෙන් කර ඇති බවත් එම ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් ඒ සඳහා වැය වන බවටත් මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ට තම කොමිසම විසින් දැනුම් දුන් බවයි මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ ෴


මාවනැල්ලේ අභිරහස් ඝාතනය

(12.01.2023 – 19:57 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ආරවුලක් මත ඝාතනය කර වළදැමූ තරුණයන් දෙදෙනෙකුගේ (2) සිරුරු කොටස් ගොඩගැනීමේ සිද්ධියක් රඹුක්කන – හුරීමළුව ප්‍රදේශයෙන් අද (12) වාර්තා වුණා.

ඒ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අධිකරණයට කළ කරුණු දැක්වීමකින් අනතුරුවයි.

මාවනැල්ල – කිරිංගදෙණිය සහ කෙරමිනියාවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකු (2) යි මෙලෙස ඝාතනය කර වළ දමා ඇත්තේ.

තරුණයින් දෙදෙනා (2) අතුරුදන්වී ඇති බවට ඔවුන්ගේ ඥාතීන් පසුගිය වසරේ නොවැම්බර් 28 වනදා මාවනැල්ල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

එම පරීක්ෂණවලදී අනාවරණ කර ගත් කරුණු අනුව අතුරුදන්වූ තරුණයින් දෙදෙනාගේ (2) සිරුරු කොටස් අද (12) ගොඩගැණුනා.

රඹුක්කන – හුරීමළුව ප්‍රදේශයේ නිවසක පිටුපස කුකුළු කොටුවක් ආසන්නයේ ඔවුන්ගේ සිරුරු වළදමා ඇති අතර ඊට ඉහළින් කොන්ක්‍රීට් තට්ටුවක් ද දමා තිබෙනවා.

පසුගිය නොවැම්බර් මාසයේදී කිසියම් දිනකදී ඔවුන් ඝාතනය කර වළ දමා ඇති බවටයි පොලීසිය දැනට සැක කරන්නේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 6 දෙනෙකු මේ වනවිටත් හඳුනාගෙන ඇති අතර ඔවුන් මාවනැල්ල සහ රඹුක්කන ප්‍රදේශවල පදිංචිකරුවන්.

පොලිසිය සඳහන් කළේ ඝාතනයට ලක්වූ තරුණයින් දෙදෙනා (2) අයිස් මත්ද්‍රව්‍ය ලබාගෙන ඊට මුදල් නොගෙවීම නිසා මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට සැක පළ කරන බවයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *