ලෝක කුසලාන සංචාරයේ ‘ගැහිලි’ ගැන විශේෂ කමිටු වාර්තාවෙන් එළියට

ලෝක කුසලාන සංචාරයේ ‘ගැහිලි’ ගැන විශේෂ කමිටු වාර්තාවෙන් එළියට


ලෝක කුසලාන සංචාරයේ ‘ගැහිලි’ ගැන විශේෂ කමිටු වාර්තාවෙන් එළියට

(11.01.2023 – 17:36 +0530 – hirunews.lk/sinhala)

2022 ලෝක කුසලාන පන්දුවාර 20 තරගාවලියට අදාළ ආදායම් සහ වියදම් පිළිබද ස්වාධීන විගණනයක් සිදුකරන ලෙස ලෝක කුසලාන ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව නිර්දේශ කරනවා.

අදාළ පංච (5) පුද්ගල කමිටු වාර්තාවේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අරමුදල් අවභාවිත කළ සහ ඊට ආධාර උපකාර කළ සියලු දෙනාට එරෙහිව දණ්ඩනීති සංග්‍රහයේ විධිවිධාන අනුව කටයුතු කළ යුතු බවයි.

ඔස්ට්‍රේලියාවේ පැවති පන්දුවාර 20 ලෝක කුසලානය නිමාවීමත් සමගින් මෙරට ක්‍රිකට් කරළිය කැළඹීමට පත්වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයින් සම්බන්ධයෙන් එල්ල වූ විවිධ විනය විරෝධී චෝදනා නිසයි.

ඒ අතරින් ධනිෂ්ක ගුණතිලකට එල්ල වූ ස්ත්‍රී දුෂණ චෝදනාව සහ චාමික කරුණාරත්න කැසිනෝ ශාලාවකදී ඇතිකරගත් ගැටුම ප්‍රධාන තැනක් ගත්තා. මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයින් සම්බන්ධයෙන් ද විවිධ චෝදනා එල්ල වුණේ ඒ අතරතුරයි.

එමෙන් ම ‘ආගමික කණ්ඩායමක’ බලපෑම් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත එල්ල වන බවට ද කලක් තිස්සේ චෝදනා එල්ල වෙමින් තිබුණා.

අදාළ චෝදනා සියල්ල සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් පංච (5) පුද්ගල කමිටුවක් පත් කළේ පසුගිය වසරේ (2022) දෙසැම්බර් මස 02 වැනිදායි.

ඒ අනුව මෙම කමිටුව මාස එකහමාරකට (1½) ආසන්න කාලයක් තිස්සේ සිදුකරනු ලැබූ විමර්ෂණයේ වාර්තාව ඊයේ (10) ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙත භාර දුන්නා.

පිටු 161 කින් සමන්විත මෙම වාර්ථාවට අනුව ප්‍රධාන කරුණු කිහිපයක් අනාවරණ වී තිබෙනවා.

එම කරුණු වන්නේ,

  1. පන්දුවාර 20 ලෝක කුසලානය පැවැත්වෙන කාල සීමාවේදී ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයන්ගේ වියදම් අවම මට්ටමකින් පවත්වාගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය විසින් දැනුම් දී තිබියදී කමිටු සාමාජිකයින් 10 දෙනාගෙන් 9 දෙනෙකු සඳහා ගුවන් ගමන් ටිකට් පත් මිලදී ගැනීමට රුපියල් 2,56,87,498 ක් වැය කිරීම.
  2. අනෙකුත් වියදම් සඳහා අමෙරිකානු ඩොලර් 1,07,800 ක් වැයකර තිබීම.
  3. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් විසින් ආයතනයේ අරමුදල් අවභාවිත කර ඇති අන්දම මෙම විමර්ශන මණ්ඩලයට වසන් කිරීම සඳහා මෙම වාර්තාව සකසා ඇති බවයි විමර්ශන කමිටුවේ නිගමනය වී ඇත්තේ.
  4. එහි දී ‘ජෙරොම් ජයරත්න’ ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේ ඔස්ට්‍රේලියාවේ උසස් කාර්ය සාධන මධ්‍යස්ථානයේ ක්‍රියාකාරිත්වය නිරීක්ෂණ කිරීම සහ තරග නැරඹීමට සඳහා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ‘ශම්මි සිල්වා’ පවසා තිබුණ ද, ‘ජෙරොම් ජයරත්න’ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එම තනතුර නොදැරූ බවත් ඔහු කිසිඳු හෝ කාර්යකට සම්බන්ධ නොවී ඔහුගේ සොහොයුරියකගේ නිවසේ රැඳී සිට ඇති බවත් අනාවරණය වී තිබෙනවා.
  5. තවත් විධායක කමිටු නිලධාරින් කිහිප දෙනෙකුම ඔහු යම් යම් තරග නැරඹුවා යැයි පැවසුවද, ඔහුට එම දිනයන් හිදී තරග නැරඹීමට නොහැකි බවද නිරීක්ෂණය වී තිබෙනවා.
  6. 2022 ලෝක කුසලාන පන්දුවාර 20 ලෝක කුසලානයට අදාළ සංචාරක ආදායම් සහ වියදම් පිලිබඳ වහා ම ස්වාධින විගණයක් සිදුකිරීමටත්, එසේ විගණනය සිදුකිරීමට පෙර, අදාළ ලේඛන වෙනස් කිරීමට හෝ සැඟවීම වැළැක්වීමට පියවර ගන්නා ලෙසද මෙම වාර්ථාවෙන් නිර්දේශ කර තිබෙනවා.
  7. කරුණු සලකා බැලීමෙන් පසු අරමුදල් අවභාවිතා කළ සහ ඊට ආධාර උපකාර කළ සියළු දෙනාට එරෙහිව ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන ප්‍රකාරව මුදල් වංචා කිරීම, සාපරාධි විශ්වාසය කඩ කිරීම ඇතුළු චෝදනා ඉදිරිපත් කරමින් කටයුතු කරන ලෙසයි දන්වා ඇත්තේ.
  8. මෙම වාර්තාව මගින් වැඩිදුරටත් නිර්දේශ කර ඇත්තේ මින් ඉදිරියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු මුදල් ඉදිරියට පරිහරණය කිරීමේදී, විශ්වාසනීයත්වය සහ විනිවිදභාවය තහවුරු කිරීම පිණිසත්, අවභාවිත කිරීම වලක්වා ලීම පිණිස, වෙනත් ආයතනයක් සමඟින් ක්‍රිකට් ආයතනය සග ගිවිසුම්වලට එළඹීමේදී මෙන්ම විකිණීම් සහ මිලදී ගැනීම්වලදී ද, ක්‍රීඩා අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ විධිවිධාන වලට අනුකූලව කටයුතු කළ යුතු බවටයි.
  9. ආගමික කණ්ඩායමක් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉදිරියේදී බලපෑම් සිදුවීමට ඉඩ ඇති බවට නිරීක්ෂණය වීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීම ඉතා වැදගත් බව මෙම කමිටුව විසින් නිර්දේශ කර තිබෙනවා.
  10. ක්‍රීඩකයින්ගේ පෞද්ගලික කළමනාකරුවන් ප්‍රමිතිගත කළ යුතු බවත් කමිටුව ඉදිරිපත් කළ තවත් නිර්දේශයක්.
  11. රාත්‍රී ආහාර ගැනීම සඳහා යැයි පවසමින් ක්‍රීඩකයින් කැසිනෝ ශාලාවලට ගියත් එම පරමාර්ථය පමණක් ඉටු නොකරමින්, විනය විරෝධී කැසිනෝ ක්‍රීඩාවේ යෙදීම සහ අනවශ්‍ය ආරවුල්වලට ද යොමුවිය හැකි බැවින් ක්‍රීඩකයින් කැසිනෝ ශාලාවලට යාම තහනම් කිරීමටද නිර්දේශ කර තිබෙනවා.
  12. මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම් අත්සන් කර ඇති ක්‍රීඩකයින් සඳහා සමාජ මධ්‍ය භාවිතාව සම්බන්ධයෙන් ඉතා දැඩි නීති පැනවිය යුතු බවත් සහ එවැනි නීති කඩ කරන ක්‍රීඩකයින්ට දැඩි දඬුවම් දිය යුතුබව ද මෙම කමිටුවේ නිර්දේශයයි.
  13. විදේශ සංචාරයක් තුළදී ක්‍රීඩකයින්ගේ බිරින්දෑවරුන් රැගෙන යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් 2016 වසර වන තෙක් අවසර දී තිබුණත් දැනට එය අත් හිටුවා ඇති හෙයින් එය යළි ක්‍රියාත්මක කරන ලෙස ද නිර්දේශ කර ඇති අතර ඒ හරහා ක්‍රීඩකයින්ට මානසික සහනය මෙන්ම රාත්‍රී කාලයේදී අනවශ්‍ය ගමන්බිම ද වැළකී යන බවයි කමිටුවේ නිර්දේශය වී ඇත්තේ.
  14. ක්‍රීඩකයෙකුට යෝග්‍යතාවය මෙන්ම කැපවීම ද 100% ක් අවශ්‍ය සාධකයක් බව මෙම වාර්තාවෙන් පෙන්වා දී තිබෙන අතර ඔවුන් ශ්‍රී ලංකාව නියෝජනය කරන හෙයින් ඔවුන්ගේ වගකීම සහ යුතුකම් මොහොතකටවත් අමතක නොකළ යුතු බවද කමිටුව අවධාරණය කර තිබෙනවා ෴

+++++++++++

ක්‍රීඩකයන් බිලී බාන ‘බෝන් අගේන්’ අතක් ගැන විශේෂ අනාවරණයක්

(12.01.2023 – 09:45 +0530 – hirunews.lk/sinhala)

‘බෝර්න් අගේන්’ ආගමික කල්ලියක බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉදිරියේ දී දැඩි බලපෑමක් ඇති වීමට ඉඩ ඇති බවට නිරීක්ෂණය වන බවත් ඒ හේතුවෙන් අදාල කරුණ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් විමර්ෂණයක් පැවැත්වීමට පත් කළ පංච (5) පුද්ගල විශේෂ පරීක්ෂණ කමිටුවේ නිර්දේශය වී තිබෙනවා.

අදාල කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරින්ගෙන් හා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් ලබාගත් සාක්ෂි හා නිරීක්ෂණ මත පදනම්ව විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන, විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් කිංස්ලි ප්‍රනාන්දු, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල, විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස් හා ක්‍රිකට් ක්‍රීඩක නලින් ද අල්විස් යන අයගෙන් සැදුම්ලත් විශේෂ පරීක්ෂණ කමිටුව විසින් අදාල නිර්දේශය නිකුත් කර තිබෙනවා.

මෙහි දී ‘භානුක රාජපක්ෂ’ නමැති ක්‍රීඩකයා උපතින්ම බුද්ධාගම වැලඳගෙන සිටියදත්, 2015 අවසාන භාගයේ සිට ‘බෝර්න් අගේන්’ ආගමේ අනුගාමිකයෙක් බවට පරිවර්තනය වී ඇති බවත් නිරීක්ෂණය වී ඇති නමුත් ඇතැම් ක්‍රීඩකයන් තම අනාගතයට යම් බලපෑමක් වෙතැයි යන බිය මත මීට අදාළව සාක්ෂි දීමෙන් වැළකී සිට ඇතැයි ද එම මණ්ඩලය නිකුත් කළ වාර්තා වේ සඳහන් බව ජාතික පුවත්පතක් අද (12) වාර්තා කළා.

එහි දී එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කරන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සහ නිලධාරීන් අතර ‘බෝර්න් අගේන්’ ආගම වැලඳගත් අය සිටින බවත් ‘බෝර්න් අගේන්’ ආගමික නායක ‘ප්‍රොෆර්ට් ජෙරොම්’ විසින් සිය අනුගාමිකයන් වැඩිකර ගැනීමට විවිධාකාරයේ උපක්‍රම යොදන බවත් පත් කළ කමිටුව විසින් අනාවරණය වී ඇති බවයි.

එසේම ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ ‘බෝර්න් අගේන්’ අනුගාමිකයන් සංඛ්‍යාව සම්බන්ධව සත්‍ය කරුණු වසන් කරමින් සාක්ෂි ලබාදෙන බවත් ‘බෝර්න් අගේන්’ ආගමේ ‘ෆාස්ටර් ටෙරී’ නම් අයෙකු ‘චාමික කරුණාරත්න’ නැමති ක්‍රීඩකයාව මුණගැසී ‘බෝර්න් අගේන්’ ආගමේ වැදගත්කම පවසා තිබූ බවත් එම පරීක්ෂණ මණ්ඩලයට නිරීක්ෂණය වී ඇති බවත් එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කරනවා ෴

++++++++++


කුලී ගොඩනැගිලිවල රජයේ කාර්යාල බෑ

(12.01.2023 – 07:14 +0530 – hirunews.lk/sinhala)

කුලී බදු ලෙස අධික මුදල් ගෙවමින් පෞද්ගලික ස්ථානවල පවත්වාගෙන යන රජයේ සියලු කාර්යාල, රජය සතු ස්ථානවලට ගෙන යන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් හපුහින්න අදාළ ආයතන ප්‍රධානීන්ට ලිඛිතව දැනුම් දී ඇත්තේ, රාජ්‍ය වියදම් අවම කිරීම සඳහා මෙම තීරණය ගත් බවයි.  

එමෙන්ම සියලු රාජ්‍ය ආයතනවල ජලය, විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් අදාළ ලිපිය මඟින් දැනුම්වත් කර තිබෙනවා.

තවද සියලුම රාජ්‍ය ආයතනවල සේවය කරන නිලධාරීන් දිනපතා නියමිත රාජකාරි එදිනම නිම කරන ලෙසත් එසේ කරන්නේ ද යන්න සොයා බලන බවත් ලේකම්වරයා දැනුම් දී ඇති බවයි වාර්තා වෙන්නේ.

එමෙන්ම සෑම ආයතනයකම විදුලිපංකා, වායුසමන යන්ත්‍ර භාවිතය අවම කිරීමටත් එම ලිපියෙන් දැනුම දී ඇති අතර නිවාඩු දිනවල අතිකාල සඳහා සේවකයන් යෙදවීම සම්බන්ධයෙන් ද උපදෙස් දී තිබෙනවා ෴


නාකොටික් අත්අඩංගුවේ දී සිය පුත්‍රයා මිය යෑම ගැන විධිමත් විමර්ශනයක් කරන්නැයි මව ඉල්ලයි

(12.01.2023 – 08:46 +0530 – hirunews.lk/sinhala)

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන සිටිය දී මියගිය පුද්ගලයා පාතාල කල්ලි සාමාජික ‘පොඩි ලැසී’ගේ සමීපතමයෙකු බවට පොලීසිය සැක කරනවා.

මියගිය පුද්ගලයා වෘත්තීය පුහුණු අධිකාරියේ සහකාර කළමනාකරුවෙකු ලෙස සේවය කළ හික්කඩුව – තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙක්.

පසුගිය 10 වැනිදා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් හෙරොයින් ග්‍රෑම් 15 ක් සමඟින් මොහු නාරාහේන්පිට ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුව සැකකරුගෙන් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ප්‍රශ්න කරන අතරතුර ඔහු ඊට විරෝධය පළ කරමින් කළහකාරි ලෙස හැසිරී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

පොලිස් නිලධාරීන් තත්ත්වය පාලනය කිරීමට යාමේදී ඇති වූ සිද්ධියක් හේතුවෙන් සැකකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

එහිදී සැකකරු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

මියගිය පුද්ගලයා දෙදරු පියෙක් වන අතර, ඔහුගේ මව, ඥාතීන් සහ ප්‍රදේශවාසීන් ඉල්ලා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකර සාධාරණය ඉටු කරන ලෙසටයි ෴


රුපියල් ලක්ෂ 33 කට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

(12.01.2023 – 12:03 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ සිට හොර පාරෙන් මෙරටට ගෙන්වූ රුපියල් ලක්ෂ 33 කට අධික වටිනාකමක් ඇති කේරල ගංජා තොගයක් සමග පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකායේ අම්බලන්තොට කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම ඊයේ (11) තණමල්විල ප්‍ර‍දේශයේ දී සිදුකර තිබුණේ‍.

කිලෝග්‍රෑම් 38 යි ග්‍රෑම් 450 ක් සන්තකයේ තබාගෙන සිටි මෙම සැකකරු බලහරුව, ඌව කුඩාඔය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක පුද්ගලයක අයෙක්.

ඔහු වැඩිදුර විමර්ශන සඳහා තණමල්විල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා ෴


BIG FOCUS – ජනතා වගකීම සහ අපේ පොලීසියේ කාර්යභාරය (12.01.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *