ඇප තැන්පතු භාර නොගන්නැයි කළ නියෝගය රාජ්‍ය පරිපාලන ලේකම් ආපසු කැඳවයි

ඇප තැන්පතු භාර නොගන්නැයි කළ නියෝගය රාජ්‍ය පරිපාලන ලේකම් ආපසු කැඳවයි


ඇප තැන්පතු භාර නොගන්නැයි කළ නියෝගය රාජ්‍ය පරිපාලන ලේකම් ආපසු කැඳවයි

(11.01.2023 – 08:14 +0530 – hirunews.lk/sinhala)

දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් ඇප තැන්පත් කරන්නේ නම් එම ඇප තැන්පතු නියමිත පරිදි ලබාගැනීමට අවශ්‍ය කටයුතු කිරීම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ගේ වගකීමක් බව මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත දන්වා තිබෙනවා.

එසේම ජනවාරි 21 වැනිදා දහවල් 12 දක්වා කාලය තුළ නාමයෝජනා භාරගැනීම ද ඔවුන්ගේ වගකීමක් වන බවයි එමඟින් දන්වා ඇත්තේ.

අදාළ ඇප තැන්පත් භාරගැනීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවන ලෙසට දිස්ත්‍රික් ලේකම්වරුන්ට දන්වා ඇති බවට වන ලිපියක් ඊයේ (10) පස්වරුවේ සංසරණය වුණා.

එය නිකුත් කර තිබුණේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න විසින්.

අමාත්‍ය මණ්ඩල ලේකම්වරයාගේ ලිපියක් මත පදනම්ව එය නිකුත් කළ බව එහි වැඩිදුරටත් සටහන්ව තිබුණා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා සඳහන් කළේ තමාට ද ඒ පිළිබඳව දැනගැනීමට ලැබුණු බවයි.

ඔහු කියා සිටියේ තේරීම් භාර නිලධාරීන්ට උපදෙස් ලබාදීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මැතිවරණ කොමිසමට හැර වෙනත් කිසිදු අධිකාරියකට බලයක් නොමැති බවයි.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා එම ලිපිය නැවත කැඳවූ බවට අනතුරුව තොරතුරු වාර්තාවුණා.

මේ අතර අද (11) දිනයේ දී දේශපාලන පක්ෂ සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් එහිදී වැඩිදුර කරුණු සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ ෴


තැඹිලි අපනයනයෙන් අපේක්ෂිත ආදායම රුපියල් බිලියන හයක් (6)

(11.01.2023 – 08:24 +0530 – hirunews.lk/sinhala)

මේ වසර තුළ තැඹිලි අපනයනයෙන් රුපියල් බිලියන හයක (6) ආදායමක් අපේක්ෂා කරන බව පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති කීර්ති වීරසිංහ පවසනවා.

ඊයේ (10) කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු කියා සිටියේ පසුගිය වසර තුළ තැඹිලි අපනයනයෙන් රුපියල් බිලියන දෙකක (2) ආදායමක් ලැබුණු බවයි ෴


සබරගමුව මහ සමන් දේවාලයේ පඬුරු ගබඩාව බිඳීයි

(11.01.2023 – 08:32 +0530 – hirunews.lk/sinhala)

සබරගමුව මහ සමන් දේවාලයට අයත් පඬුරු ගබඩාවේ වහලය, සිවිලිම සහ යකඩ ආවරණය කඩා ඇතුළු වූ සොරුන් පිරිසක් එහි පඬුරු පෙට්ටි හතරකින් (4) එකතු කර ගෝණිවල එක්රැස් කර තිබූ රුපිල් ලක්ෂ ගණනක මුදල් පැහැරගෙන ගොස් තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මේ සම්බන්ධයෙන් විමර්ශන සඳහා කණ්ඩායම් දෙකක් (2) පත් කර ඇති බවයි.

මෙම පඬුරු ගබඩාව බස්නායක නිලමේවරයාට අයත් නිල නිවසේ කොටසක ඉදි කර ඇති අතර නිල නිවෙස ඉදිරිපිට පැය විසි හතර පුරා ක්‍රියාත්මක පොලිස් මුරපොළක් ද පවතිනවා.

පොලිස් නිලධාරීන්ට අමතරව දේවාලයේ ආරක්ෂාවට මුරකරුවන් යොදා දේවාල පරිශ්‍රයේ සීසීටීවී කැමරා 60 ක් පැය විසි හතර පුරා ක්‍රියාත්මකව තිබිය දී පසුගිය 08 වැනිදා මැදියම් රැයේ දීයි මෙම කොල්ලය සිදුව ඇත්තේ.

මෙම සොරකම සිදුවන අවස්ථාවේ පොලිස් මුරපොළේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන් වෙනත් පොලිස් ස්ථාන වෙත මාරු කර මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් රත්නපුර කොට්ඨාශය භාර පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත රත්නපුර පොලිසිය ආරම්භ කර තිබෙනවා.

මේ වනවිට එම පොලිස් මුරපොලේ රාජකාරි සඳහා වෙනත් නිලධාරීන් කණ්ඩායමක් යෙදවීමට ද පොලිස් අධිකාරිවරයා පියවර ගනු ලැබුවා ෴


තවදුරටත් මුඛ ආවරණ පළඳින්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලයි

(11.01.2023 – 08:37 +0530 – hirunews.lk/sinhala)

ලොව පුරා නව ඔමික්‍රෝන් අණු ප්‍රභේදනයක් පැතිර යාම හේතුවෙන් තවදුරටත් මුඛ ආවරණ පැළදීම සිදු කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලීමක් කරනවා.

රටවල් අතර සංචාරය කරන පුද්ගලයින් හරහා මෙය පැතිරයාමේ අවධානමක් පැවතිය හැකි බවයි ඔවුන් කියා සිටියේ.

එසේම චීනයේ නැවත වරක් කෙරෝනා රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන අතර ඔවුන් එහි සැබැ තත්ත්වය වසන් කරන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා ෴


ගාස්තු සංශෝධනය ඇතුළු ගැටළු ගැන සාකච්ඡාවට විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් දෙවන (2) වරටත් ඇමති හමුවෙයි

(11.01.2023 – 08:57 +0530 – hirunews.lk/sinhala)

විදුලි ගාස්තු සංශෝධන ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, විදුලිබල මණඩලයේ ඉහල කළමණාකාරීත්වය සහ ඉංජිනේරුවරුන් අවස්ථා දෙකක (2) දී ඊයේ (10) හමුවුණා.

මණ්ඩලයේ ඉහල කළමණාකාරීත්වය, අතිරේක සාමාන්‍යාධිකාරිවරුන් සහ ප්‍රධාන ඉංජිනේරුවන් සමඟ පෙරේදා (09) පැවති සාකච්ඡාවට සමගාමීවයි මොවුන් මෙලෙස හමුවී ඇත්තේ.

මෙහිදී විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති පිරිවැයට අනුරූපී ගාස්තු සංශෝධනය, එම ගණනය කිරීමට පාදක කරගත් දත්ත සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම විදුලිබල මණ්ඩලයේ පිරිවැය අඩු කර ගැනීමේ සැලසුම් සහ යෝජනා, ඉදිරි ජනන සැලසුම්, සැපයුම්කරුවන් වෙනුවෙන් ඇති ගෙවීම් සහ පුනර්ජනනීය බලශක්ති සැලසුම් පිළිබඳ අවධානය යොමු කර තිබුණා.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ හමුවට ඊයේ (09) එක්වෙමින් කියා සිටියේ විදුලි ගාස්තු සංශෝධනය ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවයි.

මේ අතර අද (11) දිනයේත් පැය 2 යි මිනිත්තු 20 ක් විදුලි කප්පාදු කෙරෙනු ඇති ෴


රූපවාහිණී සංස්ථාවට බලෙන් ඇතුළු වූ තවත් අයෙකු අත්අඩංගුවට

(11.01.2023 – 09:02 +0530 – hirunews.lk/sinhala)

ජාතික රූපවාහිණී සංස්ථාවට පසුගිය වසරේ ජුලි මස 13 වැනිදා බලහත්කාරයෙන් ඇතුළුවී විකාශය නතර කර අනර්ථයක් සිදු කිරීමේ සිද්ධියට තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (10) පස්වරුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි, මහනුවර ජලාශය පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මීට පෙර මෙම සිද්ධියට 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා ෴


ගංජා හේනක් විශේෂ කාර්ය බලකාය වටලයි

(11.01.2023 – 09:42 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකාය කතරගම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මත්තල පොලිස් වසමේ මත්තල ගුවන්පාලම අසන්න ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර තිබෙනවා.

එහි දී නීති විරෝධී ලෙස අක්කර 2½ ක පමණ භූමි ප්‍රමාණයක වගා කර තිබූ අඩි 4½ ක් පමණ උස ගංජා ගස් 18,956 ක් වගාකර තිබූ ගංජා හේනක් සමඟ සුරියවැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කතරගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.


ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ මාසයේ

(11.01.2023 – 09:55 +0530 – hirunews.lk/sinhala)

5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ මාසය තුළ නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, මේ වනවිට විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් අවසන් අදියරට ළඟා වී ඇති බවයි.

ඉදිරි දින දෙක (2) තුළ එම කටයුතු අවසන් කිරීමට හැකි බව ද දෙපාර්තමේන්තුව පවසනවා.

පසුගිය දෙසැම්බර් 18 වැනි දා පැවති ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව 334,698 ක් ෴


කොළඹ – මෝදර – ලෙල්ලම ධීවර වරායේ නවතා තිබූ කුඩා බෝට්ටු 7 ක් ගින්නකින් විනාශ වෙයි

(11.01.2023 – 10:27 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – මෝදර – ලෙල්ලම ධීවර වරායේ නවතා තිබූ කුඩා බෝට්ටු 7 ක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.

අද (11) අලුයම මෙම ගින්න හට ගෙන ඇති අතර ඉන් බෝට්ටු එන්ජින් දෙකක් (2) සහ ධීවර ආම්පන්න රැසක් ද විනාශ වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

කොළඹ මහනගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ රථයක් සහ මෝදර පොලීසිය එක්ව ගින්න පාලනය කරනු ලැබුවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර මෙය කඩා කප්පල්කාරි ක්‍රියාවක් ද යන්න සෙවීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴


හොරට ගෙන්වූ වල් නාශක තොගයක් සමඟ පුද්ගලයෙකු STF අත්අඩංගුවට

(11.01.2023 – 11:00 +0530 – hirunews.lk/sinhala)

තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වන ලද වල් නාශක තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු ජා ඇල ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකායයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.01.10 වන දින ජා ඇල පොලිස් වසමේ දඩුගම, Food City ඉදිරිපිට දී මෙම වැටලීම සිදුකර තිබෙනවා.

එහි දී තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වන ලද Anu71 වර්ගයේ 100g අඩංගු වල්නාශක පැකට් 4,250 ක් බලපත්‍ර නොමැතිව ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි කිරුළුපන ප්‍රදේශයේ වයස අවුරුදු 33 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ජා ඇල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා ෴


හිටපු ජනාධිපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාට ලබාදුන් දඩුවම ශ්‍රේෂ්ඨාධිකරණය ස්ථිර කරයි

(11.01.2023 – 11:14 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 20 ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම සහ දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායකට පළමු ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ලබාදුන් සිරදඩුවම ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) ස්ථිර කරනු ලැබුවා.

ඒ ඔවුන් ගොනුකර තිබූ අභියාචනයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.

මෙම චෝදනාවට එරෙහිව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාව සිටි කුසුම්සිරි මහානාමට වසර 20 ක සහ දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායකට වසර 12 ක සිරදඩුවමක් නියම කිරීමටයි මහාධිකරණ විනිසුරු මඩුල්ල මීට පෙර නියෝග කළේ ෴


බෝසත් ජානකගේ දළදා මාලිගාවේ නිධාන කතාව – 2023-01-11 – Neth Fm Balumgala

+++++++++++

+++++++++++

+++++++++++

පොතුහැර ව්‍යාජ දළදාවේ දී, සුදාට ඇත්තටම හූ කිව්වා ද..? – 2023-01-11

++++++++++++

මහින්දගේ වත් රනිල්ගේ වත් බලයක් මට අවශ්‍ය නෑ – මම මර්වින් සිල්වා – 2023-01-10

+


ආශුගේ වීඩියෝව ලීක් කළ ආදර්ශා අත්අඩංගුවට

(11.01.2023 – 18:15 +0530 – hirunews.lk/sinhala)

මහාචාර්ය ආශු මාරසිංහ සිදුකරන ලද පැමිණිල්ලකට අනුව ‘ආදර්ශා කරඳන’ නමැත්තිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාශය මගින් අද (11) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

ආශු මාරසිංහ සහ සුනඛයෙකු සම්බන්ධයෙන් ඇය පසුගියදා මාධ්‍ය හමුවක් ද කැඳවා කරුණු අනාවරණ කළා.

එම ප්‍රකාශය පදනම් කර ගනිමින් තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවත් ඊට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා ඇය පසුගියදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම්පතක් ද යොමුකළා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් සඳහන් කළේ ඇයට අපේක්ෂිත ඇප නියම කිරීම සුදුසු නොවන බවයි ෴

++++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *