විමල්, ඩලස්, මෛත්‍රීගේ සන්ධානය හෙට (11)

විමල්, ඩලස්, මෛත්‍රීගේ සන්ධානය හෙට (11)


විමල්, ඩලස්, මෛත්‍රීගේ සන්ධානය හෙට (11)

(10.01.2023 – 19:27 +0530 – hirunews.lk/sinhala)

මේ අතර පළාත් පාලන ඡන්දයට තරග කිරීම සඳහා ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය’, ‘නිදහස ජාතික සභාව’ සහ ‘උත්තර ලංකා සභාගය’ එක්ව නව සන්ධානයක් ගොඩනැගීම හෙට (11) දිනයේදී සිදුවනවා.

පක්ෂ රැසක මහජන නියෝජිතයින් 40 ක පමණ ප්‍රමාණයක් මෙම සන්ධානය ගොඩනැගීමේ අවස්ථාවට හෙට (11) දිනයේදී සහභාගි වන බවයි ‘එක්සත් ජනතා නිදහස් සන්ධානය’ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මෙම නව සන්ධානය ‘නිදහස් ජනතා පෙරමුණ’ ලෙස නම් කර ඇති අතර, එහි ලකුණ ‘හෙලිකොප්ටරය’ බවද වාර්තාවනවා.

ඊයේ (09) ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ දී ඊට අදාළ සාකච්ඡාවක් පැවති අතර, ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, දයාසිරි ජයසේකර සහ විමල් වීරවංශ ඇතුළු පිරිසක් එක්ව සිටියා ෴

(11.01.2023 – 07:55 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව සහ උත්තර ලංකා සභාගය එක්ව පළාත් පාලන මැතිවරණයේ දී තරග කිරීම සඳහා පිහිටුවන නව සන්ධානය අද (11) එළි දැක්වෙන බව වාර්තා වෙනවා. ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දීයි.

එම සන්ධානය නම් කර ඇත්තේ, ‘නිදහස් ජනතා සන්ධානය’ ලෙසයි.

නව සන්ධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු පැවසුවේ, ‘හෙලිකොප්ටරය’ ඡන්ද ලකුණෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයට කණ්ඩායම් ඉදිරිපත් කරන බවයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රමුඛ උත්තර ලංකා සභාගය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ප්‍රමුඛ නිදහස ජාතික සභාව, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ඇතුලු පාර්ශව කිහිපයක් මෙම නව සන්ධානයට එක්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පැවසුවේ ෴


ෂාෆ්ටර්ගේ සොහොයුරෙකුත් විනාඩි 45 ක් සාක්ෂි දෙයි

(10.01.2023 – 19:00 +0530 – hirunews.lk/sinhala)

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ සොහොයුරෙකුගෙන් අද (10) සාක්ෂි සටහන් කරගැනීම සිදු කෙරුණා.

ඒ, දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් වන මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (10) දෙවන (2) දිනටත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරියගේ නිල මැදිරියේදී සිදු කෙරුණු අවස්ථාවේදියි.

එහිදී ඔහුගෙන් මිනිත්තු 45 ක පමණ කාලයක් සාක්ෂි සටහන් කරගැනීම සිදු කෙරුණු බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

වැඩිදුර සාක්ෂි විභාගය එළඹෙන 13 වනදා දක්වා කල් තැබීමට අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළ අතර, සාක්ෂි විභාගය නිල මැදිරියේදී සිදු කිරීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට අවස්ථාවක් හිමිවූයේ නැහැ.

මේ අතර ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර්ගේ මරණය සියදිවි හානි කරගැනීමක්ද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ දක්වා තහවුරු වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව ප්‍රකාශ කළා.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් ඔහු කියා සිටියේ මේ වනවිට පුද්ගලයින් 175 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

බොරැල්ල පොදු සුසාන භූමියේ මෝටර් රථයක අසාධ්‍ය තත්වයෙන් සිටියදී ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් පසුගිය දෙසැම්බර් 15 වනදා සොයාගත් අතර, පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු ජීවිතක්ෂයට පත්වුණා ෴


භාණ්ඩාගාරයේ මූල්‍ය අර්බුදය දරුණු අතට

(10.01.2023 – 19:38 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට භාණ්ඩාගාරය දරුණු මූල්‍ය අර්බුදයකට මුහුණදී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (09) අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ අනුව ජනවාරි මාසයේ සමෘද්ධි දීමනාව ගෙවීම සති දෙකකින් (2) පමණ ප්‍රමාද විය හැකි බවයි අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා දැනුම් දුන්නේ.

මෙරට රාජ්‍ය වියදම්වල ප්‍රමුඛ අංශ වන්නේ රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ සමෘද්ධි සහනාධාරයයි.

රජයේ ඇස්තමේන්තු අනුව රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සඳහා මාසිකව වෙන් කෙරෙන මුදල රුපියල් බිලියන 93 ක් වන අතර, විශ්‍රාම වැටුප් සඳහා රුපියල් බිලියන 26 ක් වෙන් කෙරෙනවා.

එමෙන්ම සමෘද්ධි සහනාධාරය වෙනුවෙන් මාසිකව වෙන් කෙරෙන මුදල රුපියල් බිලියන 10 ක්.

2023 වසර සඳහා රජය අපේක්ෂිත බදු ආදායම රුපියල් බිලියන 3,130 ක් වන අතර, මේ වසරේ ජනවාරියේ සිට පැනවූ නව බදුවලින් රුපියල් බිලියන 1,300 ක අමතර ආදායමක් අපේක්ෂිතයි.

මේ වසරේ රාජ්‍ය සේවයේ වැටුප් සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 1,002 ක් වන අතර, විශ්‍රාම වැටුප් සඳහා රුපියල් බිලියන 376 ක් වෙන් කර තිබෙනවා.

එමෙන්ම මේ වසරේ සමෘද්ධි දීමනාව සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 66 ක්.

අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ මෙම ප්‍රධාන අංශයන්ට මුදල් වෙන් කිරීමට රජයට දැඩි අභියෝගයක් වී ඇති බව ජනාධිපතිවරයා දැනුම් දුන් බවයි.

ඒ අනුව මෙවර අයවැයෙන් අමාත්‍යාංශ සඳහා වෙන් කෙරුණු මුදලින් සියයට 5 ක් කපා හැර අතිරේක මුදලක් ඉතිරි කර ගත යුතු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව ඔහු එහිදී කියා සිටියා.

මේ අතර සෑම මසකම 10 වනදා විශ්‍රාම වැටුප් ගෙවීම සිදුවන අතර, ඒ අනුව අද (10) දින එය ලබාගැනීමට පැමිණි විශ්‍රාමිකයන්ට ඇතැම් ප්‍රදේශවල රාජ්‍ය බැංකු දැනුම්දී තිබුණේ විශ්‍රාම වැටුප් ලැබීමේ ප්‍රමාදයක් පවතින බවයි.

ඒ අනුව දිවයිනේ ප්‍රදේශ කිහිපයක විශ්‍රාම වැටුප් ලබාගැනීමට පැමිණි විශ්‍රාමිකයින්ට බැංකු අසළ රැඳී සිටීමට සිදුවුණා.

කෙසේ වෙතත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ රජයේ ආදායම් වියදම් කළමනාකරණයේදී රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ සුබසාධන දීමනා වෙනුවෙන් ප්‍රමුඛතාව ලබාදෙන බවයි.

එම නිසා අනියත බියක් ඇති කරගත යුතු නොවන බව ඔහු කියා සිටියා.

මේ අතර වෘත්තිකයන්ට අපහසුතාවක් ඇති නොවන පරිදි බදු පැනවීමට මෙරට ප්‍රතිපත්ති සම්පාදකයින් කටයුතු කළ යුතු බව දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා ෴


වාද්දුවේ දැරියකට අමානුෂිකව පහරදුන් හතරක් (4) අල්ලයි

(10.01.2023 – 19:42 +0530 – hirunews.lk/sinhala)

වාද්දුව – පොතුපිටිය ප්‍රදේශයේ නිවසකට පැමිණ එහි සිටි 14 හැවිරිදි දැරියකට, ඇයගේ පියාට සහ සීයාට අමානුෂික ලෙස පහරදුන් පුද්ගලයන් හතරදෙනෙකු (4) පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කඩු කිනිසි, පොලු මුගුරු රැගෙන නිවසට පැමිණි පිරිසක් දැරියට අමානුෂික ලෙස දත් කැඩෙන අයුරින් පහරදී ඇයගේ මුඛයේ දුම්වැටියක්ද රඳවා පැන ගොස් තිබුණේ පසුගිය 01 වනදා රාත්‍රියේයි.

ඔවුන් යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ මෝටර් රථවලින් පැමිණ තිබූ අතර, මේ වනවිට එම පිරිසෙන් හතරදෙනෙකු (4) සහ පැමිණි යතුරුපැදිය වාද්දුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජනවාරි 1 වනදා කළුතර හෝටලයක පැවති උත්සවයක් අතරතුරදී පුද්ගලයෙකු විසින් පහරකෑමට ලක්වූ දැරියට විවාහ යෝජනාවක් සිදුකර ඇති බව සඳහන්.

ඊට උරණ වූ දැරිය එම පුද්ගලයා තල්ලු කර බැණ වැදී තිබෙනවා.

එම අවස්ථාවේදි දැරියගේ ඥාතීන්ද ඊට මැදිහත්වීමත් සමඟ බහින්බස් වීම දුරදිග ගොස් ආරවුලක් හටගෙන තිබුණා.

පසුව දැරිය නිවසට පැමිණ සුළු වේලාවකට පසු වාහනවලින් සහ යතුරුපැදිවලින් පැමිණි සැකකරුවන් මෙම පහරදීම සිදුකර ඇති බවටයි පොලිසියට පැමිණිලි කර තිබුණේ ෴


විදුලිබල මණ්ඩලයේ පිරිවැය ගැන පරස්පරතා රැසයි – උපයෝගීතා කොමිසමෙන් යළි දෝස්මුරයක්

(10.01.2023 – 19:44 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ විදුලි ගාස්තු සංශෝධනය අතීතයට බලපාන අයුරින් සිදුකළ නොහැකි බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

කෙසේ වෙතත් නව විදුලි ගාස්තු සංශෝධනය ජනවාරි පළමුවැනිදා (01) සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

මේ අතර අද (10) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක කියා සිටියේ විදුලි බිල සංශෝධනයට අදාළ යෝජනාව සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට නම් දින 50 ක හෝ කාලයක් ගතවන බවයි.

ඒ අනුව කැබිනට් මණ්ඩලයේ මෙම යෝජනාව පිළිබඳ ඉදිරියේදී සලකා බැලීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

එමෙන්ම ජනවාරි 23 වනදායින් ආරම්භ වන උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළදී, විදුලිය කප්පාදුවක් නොකිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.

මේ අතර විදුලි ජනනය කිරීම සඳහා අවශ්‍යවන නැප්තා සහ ගල් අගුරු ආදිය මිලදී ගැනීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් දෙසැම්බර් 27 වනදා ඉදිරිපත් කළ සහ අද (10) දිනයේදී ඉදිරිපත් කළ තිබූ මිල ගණන් අතර විශාල පරස්පරතාවක් පවතින බව කොමිසමේ සභාපතිවරයා මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළා.

මේ අතර විදුලි බිල වැඩිකිරීමේ යෝජනාවට විරෝධය දක්වමින් විදුලිබල මණ්ඩල සේවකයන් අද (10) කොළඹ පිහිටි විදුලිබල මණ්ඩලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා ෴


‘ජාතික සම්පත් මුන්ට හුරන් කන්න දුන්නේ නැති නිසා මාව එළියට දැම්මා’ – සිමෙන්ති සංස්ථා හිටපු සභාපති (09.01.2023)

+


ICC T/20 ලෝක ශූරතාවයෙදී සිදු වූ සිදුවීම් සම්බන්ධව විමර්ශන කමිටු වාර්තාව අමාත්‍යවරයාට

(10.01.2023 – 20:56 +0530 – hirunews.lk/sinhala)

ICC T/20 ලෝක ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය සහ එයට අදාළ සිදුවීම් සම්බන්ධව සොයා බැලීම සඳහා විමර්ශන කමිටුවක් වාර්තාව අද (10) අමාත්‍යවරයාට කමිටු සභාපති තුමිය විසින් භාර දෙනු ලැබුවා.

ICC T/20 ලෝක ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය සහ එයට අදාළ සිදුවීම් සම්බන්ධව සොයා බැලීම සඳහා විමර්ශන කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පියවර ගත් අතර එහි වාර්තාව අද (10) දින අමාත්‍යවරයාට භාර දෙනු ලැබුවා.

2022.10.16 වන දින සිට 2022.11.13 වන දින දක්වා ඕස්ට්‍රේලියාවේ පැවැත් වූ ICC T/20 ලෝක ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය සහ මීට අදාළ සිදුවීම් සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 39(3) වගන්තිය ප්‍රකාරව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ සභාපතිත්වයෙන් සහ සාමාජිකයින් පස්දෙනෙකුගෙන් යුත් විමර්ශන කමිටුවක් පත් කළා.

එහි සභාපතිත්වය විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය ද සාමාජිකයින් ලෙස හිටපු අමාත්‍යංශ ලේකම් කිංස්ලි ප්‍රනාන්දු, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල, විශ්‍රාමික රියාද් අද්මිරාල් ආනන්ද පීරිස් , හිටපු ක්‍රිකට් ක්‍රීඩක නලීන්ද අල්විස් , නීතිඥ ශලනි රොශානා ප්‍රනාන්දු යන අය විසින් ක්‍රීඩා අමාත්‍යවරයාට සහ අමාත්‍යංශය ලේකම් කේ. මහේෂන්ට එම වාර්තාවන් ලබා දෙනු ලැබුවා.

අරමුදල් අවභාවිතාව, සමාජ මාධ්‍යයේ බලපෑම, ආගමික නිකාය බලපෑම, ඇතුළු ප්‍රධාන කාරණා කිහිපයක් පිළිබඳව මෙම කමිටු වාර්තාවේ විශේෂයෙන් සදහන් කර තිබෙනවා ෴


ව්‍යාජ දළදා මාලිගාවට සුදත්ත සහ නිලන්ත පැමිණීමත් සමග යුධ පිටියක් වෙයි, ආධාරකරුවන් බීමතින් – පොලිසියෙන් (10.01.2023)

+


කැනඩාවෙන් මහින්දට සහ ගෝඨාභයට සම්බාධක

(10.01.2023 – 21:50 +0530 – hirunews.lk/sinhala)

වර්ෂ 1983 සිට 2009 වසර දක්වා ශ්‍රී ලංකාවේ පැවති සන්නද්ධ ගැටුම් වලදී මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරීන් හතර දෙනෙකුට (4) එරෙහිව විශේෂ ආර්ථික පියවර පනතට අනුව රෙගුලාසි යටතේ ඉලක්කගත සම්බාධක පනවන බව කැනඩා විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලි අද (10) නිවේදනය කළා.

මෙලෙස කැනඩා රජය විසින් ඉලක්කගත සම්බාධක පනවා ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක සහ නාවික හමුදා ලුතිනන් කොමාණ්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන සිව්දෙනා (4) ටයි.

මෙම කැනේඩියානු විශේෂ ආර්ථික පියවර පනතේ රෙගුලාසි වලට අනුව මෙලෙස ලැයිස්තුගත පුද්ගලයින් හට විවිධ වාරණ පැනවෙන අතර, එමඟින් කැනඩාවේ ඔවුන් සතුව තිබිය හැකි ඕනෑම වත්කමක් තහනම් කෙරෙන අතර සංක්‍රමණ සහ සරණාගතයින් ආරක්ෂණ පනත යටතේ කැනඩාවට විසින් ඔවුන් පිළිගනු ලබන්නේ ද නැහැ.

මානව හිමිකම් සම්බන්ධයෙන් සිය වගවීම ආමන්ත්‍රණය කරන ලෙස කැනඩාව සහ ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවෙන් දිගින් දිගටම ඉල්ලා සිටියද, ශ්‍රී ලංකා රජය සිය මානව හිමිකම් බැඳීම් ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇත්තේ සීමිත අර්ථවත් සහ සංයුක්ත ක්‍රියාමාර්ග පමනක් බව එම නිවේදනයේ සඳහන්.

මෙම සම්බාධක පැනවීම මගින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සිදු කළ පුද්ගලයන්ට අඛණ්ඩව දණ්ඩමුක්තිය ලබා දීම කැනඩාව නොපිළිගන්නා බවට පැහැදිලි පණිවිඩයක් යවන බවද මෙම නිවේදනය හරහා කැනඩා විදේශ කටයුතු අමාත්‍යවරිය සඳහන් කරනවා.

කැනඩාව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ වගවීම වෙනුවෙන් පෙනී සිටීම සඳහා අදාළ බහුපාර්ශ්වික ආයතන ඇතුළුව ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කරන බවත්, එය ශ්‍රී ලංකාවට ආරක්ෂිත, සාමකාමී සහ වඩාත් හොඳ අනාගතයක් සුරක්ෂිත කිරීම සඳහා සුබවාදීව ගන්නා පියවරක් බවත් එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

එමෙන්ම කැනඩාව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ 51/1 යෝජනාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා අඛණ්ඩව පෙනී සිටින බත් එහි සඳහන්.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ දෙන දුෂ්කරතා සමනය කිරීම සඳහා සහ හදිසි දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා වන ප්‍රයත්නයන්ට ද කැනඩාව අඛන්ඩව සහාය දක්වන බවත් එරට විදේශ අමාත්‍යවරිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

ශ්‍රී ලංකාවේ මානුෂීය අර්බුදයට ප්‍රතිචාර වශයෙන්, ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය ඇතුළු ක්ෂණික අවශ්‍යතා සපුරාලීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය, රතු කුරුස සහ රතු චන්ද්‍ර සංගම් ජාත්‍යන්තර සම්මේලනය විසින් දියත් කරන ලද අභියාචනා සඳහා කැනඩාව ඩොලර් මිලියන 3 ක් ලබාදී ඇති බවත් ඊට අමතරව අවදානමට ලක්විය හැකි ළමුන් සහ කාන්තාවන් ගේ පෝෂණ ආධාර සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා වැඩි දියුණු කිරීමට සිය අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවත් කැනඩා විදේශ අමාත්‍ය මෙලනි ජොලි නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ෴

++++++++

කැනේඩියානු මහකොමසාරිස්වරයා විදේශ අමාත්‍යාංශයට කැඳවයි

(11.01.2023 – 10:11 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් විමසීම සඳහා මෙරට කැනේඩියානු මහකොමසාරිස්වරයා විදේශ අමාත්‍යාංශයට කැඳවා තිබෙනවා.

අද (11) පෙරවරුවේ මෙම කැඳවීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මෙන්ම මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායකට සහ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට කැනේඩියානු ආගමන හා සරණාගත ආරක්ෂණ පනත යටතේ සම්බාධක පැනවීමක් සිදුකරනු ලැබුවා.

1983 වසරේ සිට 2009 වසර දක්වා මෙරට පැවති සිවිල් ගැටුම්වල දී මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිදුවීම්වලට අදාළව මෙම සම්බාධක පැනවීම සිදුකළ බවයි කැනේඩියානු රජය නිවේදනය කළේ.

ඒ අනුව මෙම පිරිසට කැනඩාවට ඇතුළු වීමද තහනම් කර තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *