රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීමට අමාත්‍යාංශවලට දෙන ප්‍රතිපාදන කප්පාදුවක්

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීමට අමාත්‍යාංශවලට දෙන ප්‍රතිපාදන කප්පාදුවක්


රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීමට අමාත්‍යාංශවලට දෙන ප්‍රතිපාදන කප්පාදුවක්

(10.01.2023 – 11:10 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය සේවක, විශ්‍රාම වැටුප් ඇතුළු අනෙකුත් සේවා වියදම් පියවා ගැනීමේ අර්බුදයක් පවතින බැවින් මෙවර අයවැයෙන් අමාත්‍යංශ සඳහා වෙන්කළ මුදලින් 05% කපා හැරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එමෙන්ම සමෘද්ධි සහ වැඩිහිටි දීමනා ලබාදීම ද සතියකින් හෝ දෙකකින් ප්‍රමාද වනු ඇති බවට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (09) රැස්වූ අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ.

මේ අතර ජනවාරි මාසයේ විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා අද (10) පෙරවරුවේ රාජ්‍ය බැංකු වෙත පැමිණි විශ්‍රාමිකයින් අපහසුතාවට පත්වී තිබුණේ විශ්‍රාම වැටුප නිකුත් කිරීමට කටයුතු කර නොතිබීම හේතුවෙන්.

කෙසේවෙතත් එම ගැටලුව නිරාකරණය කිරීමට මේ වනවිට කටයුතු කර ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ.

+

+


මැණික් ගල් සහිත පාෂාණමය චෛත්‍යක අනුරුවක් සමඟ දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(10.01.2023 – 10:37 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි 100 ක මුදලට අලෙවි කිරීමට සූදානම් කර තිබූ මැණික් ගල් ඔබ්බවන ලද පාෂාණමය චෛත්‍යක අනුරුවක් සමග සැකකරුවන් දෙනෙකු (2) පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පාෂාණමය චෛත්‍යක අනුරුව නිධානයකින් ගත් බවට පැවසෙන අතර පොලිස් විශේෂකාර්ය බලකායකට ලද තොරතුරකට අනුවයි ඊයේ (09) වේයන්ගොඩ – යටගම ප්‍රදේශයේ මෙම වැටලීම සිදු කර ඇත්තේ.

එහිදී පුරාවිද්‍යා වටිනාකමකින් යුත් මෙම පාෂාණමය චෛත්‍යක අනුරුව සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්වැල්ල සහ කෝනගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

+


විදුලි ගාස්තු සඳහා ඉන්ධන මිල සූත්‍රයට සමාන මිල සූත්‍රයක්

(10.01.2023 – 11:22 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල සූත්‍රයට සමාන මිල සූත්‍රයක් විදුලි ගාස්තු සඳහා හඳුන්වා දෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට උපදෙස් ලබාදී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

මේ අතර යෝජිත විදුලි ගාස්තු 2023 ජනවාරි 01 වැනිදා සිට සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව සමඟ තවදුරටත් සාකච්ඡා කරන බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසන්නේ.

+


මෙරට මැණික් අලෙවිකරන ආයතනයක් අල්කයිඩා සංවිධානය සමඟ සබඳතාවක

(10.01.2023 – 12:14 +0530 – hirunews.lk/sinhala)

අල්කයිඩා ඇතුළු ත්‍රස්ත සංවිධානවලට පහසුකම් සපයා ඇති ‘අහමඩ් ලුක්මාන් තාලීබ්’ නැමැත්තා සමඟ මෙරට මැණික් වෙළඳාමේ නිරත පෞද්ගලික ආයතනයක් සබඳතා පවත්වන බවට ජාත්‍යන්තර සංවිධානයක් හෙළිකර තිබෙනවා.

‘අහමඩ් ලුක්මාන් තාලීබ්’ නැමැත්තා පසුගිය කාල සීමාවේ ජාත්‍යන්තර පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ද ත්‍රස්ත සංවිධාන සදහා අධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන්.

ත්‍රස්ත සංවිධාන සමඟ සබදතා පැවැත්වීම හේතුවෙන් අමෙරිකාව ද ඔහුට එරටට ඇතුළු වීම තහනම් කර තිබෙනවා.

එවන් පසුබිමක , මෙරට මැණික් වෙළදාමේ නිරත අදාළ පෞද්ගලික ආයතනය ‘අහමඩ් ලුක්මාන් තාලීබ්’ සමඟ තවදුරටත් සබඳතා පවත්වන බවයි සමීක්ෂණය සිදු කළ ‘කැරෝන්’ නැමැති ජාත්‍යන්තර සමීක්ෂණ සංවිධානය පෙන්වා දෙන්නේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ජනාධිපති කොමිසම ‘අහමඩ් ලුක්මාන් තාලීබ්’ සම්බන්ධයෙන් විමර්ශන සිදුකර අතර ‘ජමාතේ ඉස්ලාමීයා’ ශිෂ්‍ය ව්‍යාපාරය මෙරට 1980 වර්ෂයේ දී ස්ථාපිත කිරීමට ක්‍රියාකළ පුද්ගලයින් අතර ‘අහමඩ් ලුක්මාන් තාලීබ්’ ද සිටි බවටයි වාර්තා පළවුණේ ෴


මසකට ලක්ෂ 14 ක මුදල් ඉපයීමේ අරමුණක් – සේපාල් අමරසිංහ තවත් සතියක් රිමාන්ඩ්

(10.01.2023 – 19:10 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී දළදා වහන්සේට අපහාස වන අයුරෙන් ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සේපාල් අමරසිංහ ලබන 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවේ අද (10) යළි නඩුව කැඳවූ අවස්ථාවේදීයි.

විත්තියේ පාර්ශවයෙන් ඉල්ලා තිබූ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් වන තීන්දුව එදිනට නිකුත් කරන බවද මහේස්ත්‍රාත්වරයා එහිදී ප්‍රකාශ කළා.

සේපාල් අමරසිංහ විසින් දළදා වහන්සේට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදුකර ඇත්තේ, 172,000 ග්‍රාහකයන් පිරිසක් සිටින සිය සමාජ මාධ්‍ය පරිශීලකයන් හරහා එය බෙදාහරිමින් මුදල් උපයා ගැනීමේ අරමුණින් බවටයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට පෙන්වා දී ඇත්තේ.

ඔහු මෙම ගිනුම් මඟින් මසකට රුපියල් ලක්ෂ 14 ක මුදලක් උපයා ඇති බවටද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා සඳහන් කළා.

මේ අතර සේපාල් අමරසිංහ විසින් සිදුකළ මෙම ප්‍රකාශය චේතනාන්විතව, දළදා වහන්සේට හෝ බුදුදහමට අපහස වන අයුරින් නොකළ බවට සේපාල් අමරසිංහ වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කියා සිටියා.

කෙසේ වෙතත් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේ සැකකරු පුරාවිද්‍යා අඥා පනත යටතේද වරදක් සිදුකර ඇති බවට කරුණු අනාවරණය වන බවයි ෴

++++++++

++++++++

+


පළාත් පාලන ඡන්දයට නව සන්ධානයක්

(10.01.2023 – 12:52 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ඡන්ද විමසීමට නව සන්ධානයක් යටතේ තරග කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජාතික සභාව සහ උත්තර ලංකා සභාගය විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඊයේ (09) ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති එම සාකච්ඡාවට ඩලස් අලහප්පෙරුම, දයාසිරි ජයසේකර, විමල් වීරවංශ ඇතුළු එම කණ්ඩායම් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්වුණා.

මේ අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (10) ඇප තැන්පත් කරනු ලැබුවා.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් පිරිසක් මේ වනවිට මැතිවරණ කොමිසම හමුවට පැමිණ තිබෙනවා.

එමෙන්ම පළාත් පාලන ඡන්දයට ඉදිරිපත් විය යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින්ගේ හමුවක් අද (10) පෙරවරුවේ එම පක්ෂයේ නායක ආර්. සම්බන්ධනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.

එම හමුවට දෙමළ සන්ධානයේ හවුල්කාර පක්ෂ තුනේ (3) නායකයින් එක්ව සිටින බව සඳහන්.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජාගේ නායකත්වයෙන් යුත් ඉලංගෙයි තමිල් අරුසු පක්ෂය පළාත් පාලන ඡන්ද විමසීමට තනිව තරඟ කර යුතු බවට ප්‍රකාශ කරන අතර ප්ලොට් සහ ටෙලෝ යන පක්ෂ සන්ධනාගතව තරඟ කර යුතු බවට ප්‍රකාශ කර තිබෙනවා.

මේ අනුව අද (10) පැවැත්වෙන සාකච්ඡාවේ දී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙනු ඇති බවයි දෙමළ ජාතික සන්ධාන ආරංචිමාර්ග සඳහන් කළේ.

+


ජපන් රැකියා සඳහා ලංකාවේ තරුණ තරුණියන්ට වැඩි ඉඩක්

(10.01.2023 – 15:25 +0530 – hirunews.lk/sinhala)

ජපානයේ රැකියා සඳහා ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයින් ට වැඩි අවස්ථාවක් ලබාදීමට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති තුමා එකඟ වී තිබෙනවා.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ සමඟ අද (10) ක්‍රීඩා අමාත්‍යංශයේ දී දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් පැවැති සාකච්ඡාවක දී තානාපති වරයා මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකාව තුළ පුහුණු ශ්‍රමිකයින් බිහි කිරීම සඳහා ජපන් රජයේ මැදිහත්වීමෙන් පුහුණු ආයතනයක් ඇති කිරීමටත් ඒ සඳහා ජාතික තරුණ සේවා සභාවේ තරුණ තරුණියන්ට අවස්ථාව ලබා දීමටත් කැමැත්ත පළ කර තිබෙනවා.

ජපානය තුළ ඇති රැකියා අවස්ථාවන් පිළිබඳව සහ එම රැකියා සඳහා යොමු වීමේදී සපුරාගත යුතු දැනුම කුසලතාවය සහ භාෂා හැකියාවන් පිළිබඳව මෙම පුහුණු මධ්‍යස්ථානයේ දී අවබෝධය ලබාදීමට අපේක්ෂා කෙරෙනවා.

ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන ජලාශයක් ඉදි කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ජපාන නියෝජිතයින්ගෙන් ඉල්ලා තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය යෝජනා ඉදිරිපත් කරන ලෙසත් ඉදිරියේදී ඒ පිළිබඳ අවධානය යොමුකරන බවත් එහිදී ජපාන තානාපති වරයා පවසා තිබෙනවා.

ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා අවශ්‍ය පුහුණුකරුවන් ඇතුළු තාක්ෂණික නිලධාරීන් ශ්‍රී ලංකාවෙන් ලබාදීමට හැකි බව ක්‍රීඩා අමාත්‍යවරයා එහිදී පවසා තිබෙනවා.

මෙම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේෂන්, වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් චන්දන ජයලාල් , ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග, ඇතුළු නිලධාරීන් සහභාගි වුනා ෴


ආශු ගැන කියූ ආදර්ශාට අපේක්ෂිත ඇප නැහැ

(10.01.2023 – 16:17 +0530 – hirunews.lk/sinhala)

මහාචාර්ය ආශු මාරසිංහ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ ආදර්ශා කරඳන, අපේක්ෂිත ඇපයක් මත නිදහස් කරන ලෙසට කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ප්‍රතික්ෂේප කළා.

ඒ ඊට අදාළව ඇය ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත සළකා බැලූ අවස්ථාවේදියි. මීට අදාළව මහාචාර්ය ආශු මාරසිංහ කරන ලද පැමිණිල්ල පිළිබඳ මේ වනවිට විමර්ශන සිදුකරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට ප්‍රකාශ කළේ.

ඇයට අපේක්ෂිත ඇප ලබා දුනහොත් එකී විමර්ශනවලට බාධාවක් විය හැකි බව ඔවුන් එහිදී ප්‍රකාශ කළා ෴


රුපියල් ලක්ෂ 13 ක කේරළ ගංජා සමග පුද්ගලයකු STF අත්අඩංගුවට

(10.01.2023 – 16:50 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂ 13 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා සමග පුද්ගලයකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව වැල්ලම්පිටිය පොලිස් වසමේ වැල්ලම්පිටිය ‘කාගිල්ස් ෆුඩ්සිටි’ සුපිරි වෙළද සැල ඉදිරියේ ඇති Food Point වෙළද සැල ඉදිරිපිට ඇති බස් නැවතුම අසල දී වැටලීම සිදු කර තිබෙනවා.

එහි දී රුපියල් ලක්ෂ 13 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා සමග කඩවත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 51 ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා

මේ අතර අයිස් මත්ද්‍ර‍ව්‍ය, දේශිය නිෂ්පාදිත ජීව අත්බෝම්බ සහ කඩු සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු (2) කුරුවිට ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය සහ තලාවිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43 ක් සහ 47 ක් වන පුද්ගලයින් දෙදෙනෙක් (2).

මොවුන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කුරුවිට පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා ෴


රිළා කරදරවලට විසඳුම් ඉල්ලා කාන්තාවන් පිරිසක් ගල්කිරියාගම වනජීවී කාර්යාලයට

(10.01.2023 – 18:14 +0530 – hirunews.lk/sinhala)

රිළවුන්ගෙන් තමන්ට එල්ලවන පීඩාවන් මේ වනවිට ඉහළ ගොස් ඇති බව පවසමින් ගල්කිරියාගම – පලාගල – මාරසිංහ – හල්මිල්ලවැව ගම්මානයේ කාන්තාවක් පිරිසක් අද (10) පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ, ගල්කිරියාගම වනසත්ව අඩවි කාර්යාලයටයි. එහි පැමිණි කාන්තාවන් තම පීඩා පිළිබඳ තොරතුරු ඇතුළත් මහජන පෙත්සමක් ද නිලධාරීන්ට භාරදුන්නා.

ගම්මානයට මේ දිනවල පැමිණෙන රිළවුන් රංචුවක් තම දෛනික කටයුතුවලට බාධා කිරීම මෙන්ම ගෙවතු වගාවලටද හානි කරමින් සිටින බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

එසේම ආහාර වර්ග මෙන්ම ඇඳුම් පැළඳුම්ද රිළවුන් විනාශ කරන බව මෙම කාන්තාවන් වනජීවී නිලධාරීන්ට ප්‍රකාශ කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *