කනිෂ්ඨ සේවක වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා

කනිෂ්ඨ සේවක වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා


කනිෂ්ඨ සේවක වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා

(09.01.2023 – 10:39 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ සේවකයින් ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝහල් රැසක කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

ජීවන වියදමට සරිලන වැටුපක් හෝ දීමනාවක් ලබානොදීම, ලබාගත් බැංකු ණය සඳහා ණය පොලී ඉහළ දැමීමට විරෝධය පළ කිරීම සහ බහුකාර්ය සේවා සඳහා බඳවා ගැනීම් නතර කරන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමක දී කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කියා සිටියේ මෙම වර්ජනයෙන් හදිසි සේවා ඇතුලු අනෙකුත් සේවාවන්ට බලපෑම් එල්ල වී ඇති බවයි.

කෙසේ වෙතත් රිජ්වේ ආර්යා ළමා රෝහල, අපේක්ෂා රෝහල ඇතුලු රෝහල් කිහිපයක මෙම වර්ජනය ක්‍රියාත්මක වන්නේ නැහැ ෴


කුවේට් හි වහල් සේවයේ යෙදවූ තවත් තරුණයින් පිරිසක් දිවයිනට

(09.01.2023 – 09:20 +0530 – hirunews.lk/sinhala)

කුවේට් රාජ්‍යයේ ඉරාන දේශසීමාව ආසන්නයේ කාන්තාරයක පවත්වාගෙන ගිය ගොවිපලක වහල් සේවයේ යොදවා සිටිය දී නිදහස් කරගත් තවත් ශ්‍රී ලාංකික තරුණයින් හයදෙනෙකු (6) දිවයිනට පැමිණ තිබෙනවා.

අද (09) අලුයම ජසීරා ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක වෙත පැමිණි ඔවුන් ත්‍රිකුණාමලය සහ කින්නියා ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

මෙම පිරිස කින්නියා ප්‍රදේශයේ තැරැව්කරුවෙකුගේ මාර්ගයෙන් කුවේට් වෙත පිටත්ව ගොස් ඇති බවට අනාවරණ වී තිබෙනවා ෴


තලවකැලේ ත්‍රිරෝද රථයක දමාගොස් තිබූ බිළිඳියක් සොයාගනී

(09.01.2023 – 11:37 +0530 – hirunews.lk/sinhala)

තලවකැලේ – හින්දු කෝවිල අසළ නවතා තිබූ ත්‍රිරෝද රථයක් තුළ දමා ගොස් සිටි බිළිඳියක් සොයාගෙන තිබෙනවා.

ලිදුල නගර සභාවේ සේවකයින්ට දරුවෙකු හඬන ශබ්දය ඇසීමෙන් අනතුරුව සිදුකළ සොයා බැලීමකදී ත්‍රිරෝද රථයේ පසුපස අසුනේ සිටියදී බිළිඳිය සොයාගෙන ඇති අතර, පසුව ඔවුන් පොලිසිය දැනුවත් කරනු ලැබුවා.

ත්‍රිරෝද රථය ගාල් කර තිබූ ස්ථානයේ ඇති සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ බිළිඳිය දමා ගිය පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, බිළිඳිය ලිදුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා ෴


කප්පම් ඉල්ලා ව්‍යාපාරිකයෙකු බිය වැද්දූ පුද්ගලයෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට

(09.01.2023 – 12:59 +0530 – hirunews.lk/sinhala)

මිදිගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු බියට පත්කොට රුපියල් දෙලක්ෂ පනස් දහසක (2,50,000) කප්පම් මුදලක් ඉල්ලා සිටිමින් එම ව්‍යාපාරිකයාගේ නිවස ඉදිරිපිට ගේට්ටුවට වෙඩි තැබීම සම්බන්ධයෙන් සැඟවී සිටි සැකකරුවෙකු මිදිගම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී හෙරොයින් මිලිග්‍රෑම් 3210 ක් ද ඔහු සන්තකයේ තිබී සිය භාරයට ගත් බවයි පොලිසිය පවසන්නේ.

පසුගිය වසරේ ඔක්තෝබර් මස 05 වැනි දින මිදිගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු බිය කොට කප්පම් මුදලක් ඉල්ලා ඔහුගේ නිවස ඉදිරිපිට ගේට්ටුවට වෙඩි තැබීමක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙවන (2) සැකකරු ලෙස මෙම සැකකරු හඳුනාගෙන තිබූණා.

සැකකරු වැලිගම, ඉබ්බාවල ප්‍රදේශයේ සැඟවි සිටිය දී පෙරේදා (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස 23 වන මෙම සැකකරු ඉබ්බාවල ප්‍රදේශයේ පදිංචි අයෙක්.

පොලිසිය පැවසුවේ ඔහු මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි ෴


බුත්තල – කතරගම මාර්ගයේ වනඅලින්ට ආහාර දුන්නොත් නඩු

(09.01.2023 – 13:29 +0530 – hirunews.lk/sinhala)

බුත්තල – කතරගම මාර්ගයේ මෙන්ම උඩවලව, හබරණ ආදී වෙනත් ස්ථානවලදී වනඅලින්ට ආහාර ලබාදෙන පුද්ගලයින් සහ එම සතුන්ට හිංසාවන පරිදි හැසිරෙන පිරිස් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා ලෙස වනජීවී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම මාර්ගයේ වන අලින්ගෙන් වාහනවලට සිදුවන පහරදීම් වැළැක්වීමට හා වන අලි පළවා හැරීම සඳහා ජංගම රථ යෙදවීමටයි වනජීවි දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව ඊට අදාළ වැඩපිළිවෙලක් පසුගිය දින කිහිපයේදී පෙරවරු 05 සිට මධ්‍යම රාත්‍රිය දක්වා යාල – ගල්ගේ වන අඩවි කාර්යාලයේ නිලධාරින් සහ වාහන යොදවා සිදුකර ඇති අතර එම වැඩපිලිවෙල අවශ්‍යතාව අනුව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට වනජීවි දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව සඳහන් ෴


ATM යන්ත්‍රවලින් මුදල් සොරකම් කළ විදේශිකයන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට

(09.01.2023 – 14:11 +0530 – hirunews.lk/sinhala)

දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක රාජ්‍ය බැංකුවල ATM යන්ත්‍රවලින් මුදල් සොරකම් කිරීමේ සිද්ධියට අදාළව විදේශිකයන් දෙදෙනෙකු (2) ඇතුළු පස්දෙනෙකු (5) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම විදේශිකයන් කැනේඩියානු සහ බල්ගේරියානු ජාතිකයින් බවයි දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

මෙම සැකකරුවන් කොළඹ සහ කටුනායක ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගාල්ල, හික්කඩුව සහ බද්දේගම යන ප්‍රදේශවල පිහිටි බැංකුවල ATM යන්ත්‍රවල පරිගණක පද්ධතියට අනවසරයෙන් පිවිස ඔවුන් සොරකම් කර ඇති මුදල් ප්‍රමාණය රුපියල් කෝටියකට (1,00,00,000) ආසන්න බවයි පොලිසිය පවසන්නේ.

ATM යන්ත්‍රවල ඇති පරිගණක මෘදුකාංග පද්ධතිය වෙනස් කරමින් මොවුන් මුදල් ලබාගෙන ඇති බව වැඩිදුර විමර්ශනවල දී අනාවරණ වී තිබුණා ෴

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති විදේශිකයින් දෙදෙනා (2) බල්ගේරියානු ජාතිකයින් බවත් එක් (1) අයෙකුට කැනඩා පුරවැසිකම ඇති බවත් අනාවරණය වී තිබෙනවා ෴

+++++++++

දකුණේ ATM වංචාවේ තවත් තොරතුරු එළියට

(09.01.2023 – 22:05 +0530 – sinhala.adaderana.lk)

ATM යන්ත්‍ර 3 ක් කඩා රුපියල් ලක්ෂ 110 කට ආසන්න මුදලක් සොරාගත් බල්ගේරියානු ජාතිකයින් දෙදෙනෙකු (2) සහ ඔවුන්ට සහාය දුන් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු (3) පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවටගත් පිරිස අතර මීගහතැන්න පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙකු ද සිටි.

ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, කරාපිටිය සහ හික්කඩුව යන ප්‍රදේශවල රජයේ බැංකුවකට අයත් ATM යන්ත්‍ර තුනක් (3) කඩා එහි තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ 110 කට ආසන්න මුදලක් යම්කිසි පිරිසක් විසින් සොරාගැනීමේ සිදුවීමක් පසුගිය දෙසැම්බර් 30 වනදා වාර්තා විය.

ඒ අතරින්, බද්දේගම ATM යන්ත්‍රයෙන් පමණක් රුපියල් පන්දහසේ (5000) නෝට්ටු 1,040 ක් සොරාගෙන තිබූ බව පොලීසිය සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණ වී තිබේ.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ පසුබිමක වැඩිදුර විමර්ශන පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පවරා ඇත.

ඒ අනුව විමර්ශන ඇරඹූ එම කොට්ඨාෂයේ නිලධාරීන්, පළමුව සිද්ධිය සිදු වූ ප්‍රදේශයේ සීසීටීවී කැමරා 79 ක් විශ්ලේෂණය කරන අතර එහිදී අනාවරණ වන්නේ විදේශිකයන් දෙදෙනෙකු (2) විසින් අදාළ මුදල් සොරකම සිදුකරන බවය.

අනතුරුව සැකකරුවන් පැමිණෙන මෝටර් රථය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ නිලධාරීන් එහි රියදුරා අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ කොළඹ හයේ (6) පිහිටි අධි සුඛෝපබෝගී නිවාස සංකීර්ණයක සැකකරුවන් රැඳී සිටින බවය.

ඒ අනුව, අදාළ නිවාස සංකීර්ණය පරීක්ෂා කළ නිලධාරීන්, එහි තිබී විදේශිකයන් භාවිත කරන ලද භාණ්ඩ තොගයක්ද සොයාගෙන තිබේ.

එම භාණ්ඩ අතර සැකකාර විදේශිකයන් දෙදෙනා (2) ATM යන්ත්‍ර ‘හැක්’ කිරීම සඳහා භාවිත කළ ලැප්ටොප් පරිගණක, වෝකි ටෝකී යන්ත්‍ර ඇතුළු භාණ්ඩ තොගයක් ද ඇත.

අදාළ නිවසේ සිටි තවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ඉන් එක් (1) අයෙකු මීගමුවේ රාත්‍රී සමාජ ශාලාවක හිමිකරුවෙකු බවය.

මේ අතර, සැකකාර විදේශිකයන් දෙදෙනා (2) ගෙන් අයෙක් (1) වැල්ලවත්තේ, පීටර්සන් පාරේ නිවසක සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ අනෙක් විදේශිකයා විදෙස්ගත වීම සඳහා ඒ වන විටත් කටුනායක ගුවන්තොටුපලට පිටත්ව ගොස් ඇති බවය.

අනතුරුව වහාම විදෙස්ගමන් තහනමක් ලබාගැනීමට කටයුතු කළ විමර්ශන නිලධාරීන් ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපල ඒකකයට දැනුම්දීමෙන් පසුව අදාළ විදේශිකයා එහිදී අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව සැකකරුවන් ගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, මොවුන් ATM යන්ත්‍රවලින් මුදල් සොරා ගැනීමට පෙර ආසන්නයේම ඇති CCTV කැමරාව ස්ටිකරයක් අලවා වසා දමන බවය.

ඔවුන් දෙදෙනා (2) විසින් සොරකම සිදුකර කරඇත්තේ ATM යන්ත්‍ර සඳහා වැඩිම මුදලක් බැංකු මගින් ඇතුළත් කරන සිකුරාදා දිනයන්වලදී වන අතර විනාඩි 40 ක් තුළ ඔවුන් අදාළ ATM යන්ත්‍රය ‘විවෘත කර’ (?) මුදල් සොරකම් කිරීම සිදුකරනු ලබයි.

මොවුන් විසින් එලෙස ලබාගන් මුදල් මෙරටින් රැගෙනයාමට නොහැකි බැවින් ‘ක්‍රිප්ටෝ කරන්සි’ ක්‍රමවේදයට හුවමාරු කර ඇති බවත් මෙහීදී අනාවරණ විය.

සැකාකාර විදේශිකයන්ගේ ජංගම දුරකතන පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ මොවුන් දෙදෙනා (2) විසින් දුප්පත් රටවල් රැසකට කලින් කලට ගොස් මෙවැනි සොරකම් සිදුකර ඇති බවය.

මේ අතර සැකකාර විදේශිකයන් දෙදෙනාට (2) ආධාර අනුබල දුන් බවට සැකපිට, මීගහතැන්න පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන පොලිස් පරීක්ෂකවරයෙකු ද විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව බල්ගේරියානු ජාතික සැකකරුවන් දෙදෙනා (2) සම්බන්ධයෙන් අන්තර් ජාතික පොලීසියට දැනුම්දීමට කටයුතු කරන අතර මෙම සොරකමට සම්බන්ධ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.

++++++++

10.01.2023

දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක රාජ්‍ය බැංකුවල ATM යන්ත්‍රවලින් මුදල් සොරකම් කිරීමේ සිද්ධින්වලට අදාළව අත්අඩංගුවට ගත් මීගහතැන්න පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පස්දෙනා මේ මස 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔවුන් බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (09) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රක්ෂිත බන්ධනාගාර ගත කළ පස්දෙනා (5) අතරට කැනේඩියානු සහා බල්ගේරියානු ජාතිකයින් දෙදෙනෙකු (2) ද අයත් ෴


විදුලි බිල වැඩිවීමට එරෙහි ’69 ලක්ෂයේ පෙත්සම’ මහජන උපයෝගීතා කොමිසමට

(09.01.2023 – 14:22 +0530 – hirunews.lk/sinhala)

විදුලි ගාස්තු ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් අත්සන් කෙරුණු හැට නව ලක්ෂයේ පෙත්සම අද (09) මහජන උපයෝගීතා කොමිසම වෙත භාරදී තිබෙනවා.

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය විසින් මෙම පෙත්සම අත්සන් කිරීම ආරම්භ කරනු ලැබුවේ පසුගිය දෙවැනිදා (02) සිටයි.

ඔවුන් කොටුව දුම්රිය ස්ථානයේ සිට පා ගමනින් මහජන උපයෝගීතා කොමිසම වෙත පැමිණ අද (09) එය භාරදෙනු ලැබුවා.

+


හම්බන්තොට ධීවර වරාය පරිශ්‍රයේදී සිදුවූ ගැටුම පාලනය කිරීමට අහසට වෙඩි

(09.01.2023 – 15:06 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට ධීවර වරාය පරිශ්‍රයේදී වෙරළාරක්ෂක නිලධාරින්ට පහරදීමට උත්සහ කළ ධීවරයින් 07 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ධීවරයින් දෙපිරිසක් අතර අද (09) ගැටුමක් හටගෙන ඇති අතර එහිදී තත්ත්වය පාලනය කිරීමට වෙරළාරක්ෂක නිලධාරින් අහසට වෙඩි තැබීමට පියවර ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී ධීවරයින් පිරිසක් හම්බන්තොට ධීවර වරායේ පිහිටුවා ඇති වෙරළාරක්ෂක නිලධාරින්ගේ කාර්යාලයටද පහරදී තිබෙනවා.

ධීවර බෝට්ටු දෙකක් (2) මුහුදේ දී ගැටී ඇති අතර එය මුල්කරගනිමින් මෙම ගැටුම හටගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.

එම අවස්ථාවේ වෙරළාරක්ෂක නිලධාරින් එය පාලනය කිරීමට මැදිහත් වී ඇති අතර එහිදී ධීවරයින් ඊට විරෝධය පළකර ඇති බව සඳහන්.

අනතුරුවයි තත්ත්වය පාලනය කිරීම සඳහා වෙරළාරක්ෂක නිලධාරින් අහසට වෙඩි තබා ඇත්තේ.

ගැටුමෙන් වෙරළාරක්ෂක නිලධාරියෙකු තුවාල ලබා හම්බන්තොට රෝහලට ඇතුළත් කර තිබෙනවා ෴

+


කඩවත නගරය බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට සැළසුම්

(09.01.2023 – 15:27 +0530 – hirunews.lk/sinhala)

සියලුම අධිවේගී මාර්ග එකිනෙකට සම්බන්ධ වන කඩවත නගරය බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මේ වනවිට අදාළ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇතත් එය විවෘත කිරීමට වසරකට අධික කාලයක් ප්‍රමාදවූයේ කොරෝනා වසංගතය හේතුවෙන්.

කෙසේ වෙතත් හැකි ඉක්මණින් කඩවත නගරය බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කර ජනතා අයිතියට පත් කරන ලෙසටයි විෂය භාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග උපදෙස් ලබා දී ඇත්තේ ෴


කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂමට වෙබ් අඩවියක්වත් නෑ. කෝප් කමිටුවේ දී හෙලිවෙයි

(09.01.2023 – 16:58 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ නිලධාරීන් මීට වඩා වැඩි වගකීමකින් කටයුතු කළ යුතු බවට රජයේ මුදල් කාරක සභාවේ සාමාජිකයන් පවසා සිටිනවා.

ඒ කොළඹ වරාය නගර අර්ථික කොමිෂන් සභා නිලධාරීන් කෝප් කමිටුව හමුවේ පෙනී සිටි අවස්ථාවේදීයි.

මෙහිදී කෝප් කමිටු සාමාජිකයින් විසින් සිදු කළ ප්‍රශ්න කිරීම්වල හමුවේ දී කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සඳහා නිල වෙබ් අඩවියක් නොමැති බවත් හෙළි වූ අතර විගණන වාර්තා පාර්ලිමේන්තුවට ලබාදීමේ ප්‍රමාදය පිළිබඳවත් කමිටු සාමාජිකයන් කොමිෂන් සභාවෙන් ප්‍රශ්න කළා.

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට සහභාගී නොවීම සහ ඒ පිළිබදව විධිමත්ව කාරක සභාව දැනුවත් නොකිරීම පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී දඩි අප්‍රසාදය පළ වුනා.

දෙසැම්බර් 21 වැනිදා කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ ඉහළ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා තිබුණද, ඊට සහභාගී නොවීම පිළිබද සාධාරණ පැහැදිලි කිරීමක් ලිඛිතව ඉදිරිපත් කරන ලෙස මෙහිදී කාරක සභාව විසින් කොමිෂන් සභා ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නා.

ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතීත්වයෙන් පසුගියදා (05) පැවති රජයේ මුදල් පිළිබද කාරක සභාවේ දී මෙම කරුණු අවධාරණය කෙරුණා.

මෙරටට ආයෝජන උත්පාදනය සඳහා වරාය නගර ව්‍යාපෘතියේ වැදගත්කම අවධාරණය කළ කාරක සභාව මෙතෙක් සිදු කර ඇති කාර්යයන් සතුටුදායක මට්ටක නොමැති බව පැවසූ අතර මෙවැනි ව්‍යාපෘති හසුරුවන වෘත්තිකයන් ලෙස මීට වඩා වගකීම් සහගත බවකින් ක්‍රියාත්මක විය යුතු බව ද මෙහිදී කමිටුව විසින් පැමිණ සිටි නිලධාරීන්ට පෙන්වා දුන්නා.

විශේෂයෙන්ම කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව මගින් සිදුකරන ලියාපදිංචි කි‍රීමේ කටයුතු සහ අයදුම් කිරීමේ කටයුතු අන්තර්ජාලය හරහා සිදුකිරීමට, කොමිෂන් සභාව අපේක්ෂා කරන සන්දර්භයක් තුළ නිසි මාර්ගගත වැඩපිළිවෙලක් හෝ වෙබ් අඩවියක් නොතිබුණේ මන්දැයි කාරක සභාව මෙහිදී විමසා සිටියා.

ඒ අනුව එම ගැටලුව විසඳීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙසත් කාරක සභාව විසින් පැමිණ සිටි කොමිෂන් සභා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

තවද, වාර්ෂික විගණන වාර්තා ඉදිරිපත් කිරීමේ ප්‍රමාදය පිළිබඳව ද මෙහි දී කාරක සභාවේ අවධානය යොමු වූ අතර විගණන වාර්තා කඩිනමින් ඉදිරිපත් කිරීම සහතික කරන ලෙසත් කාරක සභාව කොමිෂන් සභා නිලධාරීන්ට නියෝග කළා.

මේ අතර කැසිනෝ ව්‍යාපාරය නියාමනය සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබදව අධීක්ෂණය කිරීම සදහා අනුකමිටුවක් ස්ථාපනය කළ බව රජයේ මුදල් පිළිබද කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මෙහිදී සදහන් කළා.

මෙම අනු කමිටුවේ සභාපතිවරය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන කටයුතු කරන අතර, චන්දිම වීරක්කොඩි, එම් .ඒ සුමන්තිරන්, මයන්ත දිසානායක සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊට ඇතුලත් ෴


රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතනවලට උපයන විට බද්ද ගෙවීම අත්හිටුවමින් චක්‍රලේඛයක්

(09.01.2023 – 17:12 +0530 – hirunews.lk/sinhala)

උපයන විට බද්ද රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතන මගින් ගෙවීම අත්හිටුවීමට අදාළ චක්‍රලේඛය මෙම සතියේදී නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

උපයන විට බද්ද, කිසියම් සීමාවක් ඉක්මවා ආදායම් ලබාගන්නා පුද්ගලයින් විසින් රජය වෙත ගෙවිය යුතු අතර, ඇතැම් රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතන මගින් එම බද්ද ගෙවීමේ සිදුවීම් මීට පෙර වාර්තා වී ඇති බවයි ඔහු සඳහන් කළේ.

එහෙත් රටේ වර්තමානයේ පවතින තත්වය තුළ එවැනි අක්‍රමිකතාවලට ඉඩතැබිය නොහැකි බැවින් ඊට අදාළ චක්‍රලේඛයක් කඩිනමින් නිකුත් කරන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළා ෴

+


බෞද්ධ හා පාළි විශ්ව විද්‍යාලයේ ඉදිරි විමර්ශන සීඅයිඩී යට

(09.01.2023 – 19:04 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම පිටිපන බෞද්ධ හා පාළි විශ්ව විද්‍යාලය තුළ නවක වදය මෙහෙයවීමේ චෝදනාව ඇතුළු කරුණු හතරක් (4) සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින එම සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් හිමිනම ලබන 23 දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර කිරීමට හෝමාගම මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය (09) දා නියෝග කළාය.

මීට අමතරව මෙම නඩුවේ ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ සිදු කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය .

හෝමාගම පිටිපන බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය තුළ අමානුෂික ලෙස නවක වදය ලබා දීම, අයුතු සිරකර තැබීම, අයුතු අවහිරය සහ සිසුන්ට සුළු තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් පූජ්‍ය තලාවේ ධම්මික හිමියන් පොලිසිය කළ දැනුම් දීමකට අනුව පොලිසියට පැමිණි අවස්ථාවේ දී ප්‍රකාශයක් සටහන් කොට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව ජනවාරි මස 09 දා දක්වා එම හිමිනම රක්ෂිත බන්ධනාගාරගත කළ අතර , හෝමාගම මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය හමුවේ එම නඩුව යළි 09 දා කැදවන ලදී.

නඩුව 09 දා කැදවූ අවස්ථාවේ දී සැකකාර හිමිනම අධිකරණයට ඉදිරිපත් නොකොට ඒ වෙනුවෙන් නීතිඥයින් අධිකරණයට කරුණු දැක්වූ අතර එහිදී ඔවුන් ඉල්ලා සිටියේ සැකකාර හිමිනම ට ඇප ලබාදෙන ලෙසටයි .

එහෙත් අමානුෂික ලෙස නවකවදය ලබාදීම, අයුතු ලෙස සිරකර තැබීම, අයුතු අවහිරය, සහ සුළු තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකාර පුජ්‍ය තලාවේ ධම්මික හිමියන් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන අවසන් නොමැති හෙයින් ඇප ලබා දීමට පොලීසිය විරෝධය පළ කළාය.

ඒ අනුව උසස් අධ්‍යාපන ආයතන තුළ නවක වදය හා සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත ප්‍රකාරව බන්ධනාගාරගත කර සිටින එම සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් පූජ්‍ය තලාවේ ධම්මික හිමියන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ප්‍රකාශ සටහන් කොට ගෙන ඉදිරි විමර්ශන කටයුතු කඩිනමින් සිදු කරන ලෙසටත් එහි වාර්තාවක් ජනවාරි 23 දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත් මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

නඩුව ජනවාරි 23 දා යළි කැඳවීමට නියමිතය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *